සදාදරණීය T.D.ප්‍රනාන්දු ගුරුපියාණනි…

මැයි 26, 2020 at ප.ව. 11:09 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , , , , , , , , )

E225F31D-280C-4ADD-830D-6BAA335398BA

T.D.ප්‍රනාන්දු ගුරුපියාණනි… ඔබට අමා මහ නිවන්සුව අත්වේවා!!!

මේ කතාව වෙන්නේ 2004 දවසක හවස 1.45ට විතර පාසලේ අන්තිම Period එකේ…. එතකොට මම 11 වසරේ…අ.පො.ස.සා.පේ. පන්තියේ… ටිකක් පරණ කතාවක් වුණාට තාම සිද්ධිය මතකයි…

පාසලේ අන්තිම Period එක කියන්නේ ඉතින් සතුටු සාගරයක්… උදේ 4.30 ඉදන්ම යුද්ධෙට යන්න වගේ ලෑස්තිවෙලා බස්වල තෙරෙපිලා පීඩනයකින් ඉස්කෝලෙට ඇවිල්ලා ඊට පස්සේ පැය 8 ක් බොහෝම අමාරුවෙන් ඉඳලා ගෙදර යන්න ඉස්සෙල්ලා ගෙවෙන අන්තිම විනාඩි 40… මම හිතන්නේ නෑ එක ළමයෙක්වත් ඔය වෙලාව 100% ඵලදායිව ගෙවලා ඇති කියලා… ගත තිබ්බට පන්තියේ හිත තියෙන්නෙ එළියේ… බස් එක miss වෙයිද? class එකට වෙලාවට යාගන්න පුළුවන්වේද? අද වලියක් දාගන්නවාද අංචියක් අදිනවාද? අදත් අර කෙල්ල දකියිද?එයාට අද love letter එක දෙනවද?එකට එකක් වෙනස් ප්‍රශ්න හැමෝගෙම ඔළු ඇතුළේ….විද්‍යාව ගණන් වගේ subject එකක් තිබ්බොත් ආයේ ඉතින් sorry.com…. මොකෝ අහන් ඉන්නව වගේ උන්නට අහන් ඉන්න එකක්යැ…. වෙලාව යන්නෙත් ඉබි ගමණින්… කොහම කොහොමහරි එදත් අන්තිම සීනුව නාදවෙන්න ගත්තා… පන්තියේ හිටපු ගුරුතුමියත් ආයුබෝවන් කියලා staff room එක පැත්තට ගියා…

“දුකින් පෙළන සත් දුකින් මිදෙත්වා….“

මොන දුකද කොල්ලෝ ගජරාමෙට හිනාවෙනවා…කෑගහනවා… ඒ දවස් ඇත්තටම සුන්දරයි… දැන් තියෙන ප්‍රශ්නවලින් අරික්කාලක්වත් තිබුණේ නැත්ද මන්දා… කොහම නමුත් උදේ හවස ආගමික වතාවත්වලින් අපිට ඒ කාලේ දුක තේරුණත් නැතත් මතක් කරල දුන්නා… ඒ ආගමික වතාවත්වලින් පස්සේ තමයි ජාතික ගීය වාදනය වෙන්නේ…

දැන් කොල්ලන්ගේ ගෙදර යන්න තියෙන morale එකට ජාතික ගීය ඇහෙන්නෙත් නෑ… උන් උන්ගේ ලෝක වල… කාටහරි කියන්න පුළුවන් මුංට ජාතිය ගැන කැක්කුමක් නෑ කියලා… නමුත් මේ දේ වෙන්නේ උන් නොදැනුවත්ම… සමහරවෙලාවට අපි දන්නෙත් නෑ මොනවද වටපිට වෙන්නෙ කියලා… ඒ අපි ඉන්න mood එක අනුවයි…

මට හිතෙනෙ විදිහට ඊට වඩා බරපතල වැරැද්දක් අපි හොඳ සිහියෙන් ඉන්න ඕනි වෙලාවක වැරැදි මිනිස්සු ජනතා නියෝජිතයෝ විදිහට පත්කරගන්න එක… නමුත් ඒ වගේ බැරෑරුම් මාතෘකාවක් මේ ලිපියේ කතාකරන්න මම කල්පනා කරන්නේ නෑ… ඒක වෙනම දවසක කතා කරමු ටිකක් බරපතලව… දැනට මට කියන්න ඕනි වුණේ මේ කොල්ලන්ගේ වැරැද්ද අවුරුදු 6-7 කට බරපතල සිරදඬුවම් දෙන්න තරම් වැරැද්දක් නොවන බවයි…. මේ වැරැද්ද ප්‍රාථිමික අවදියේම හදන්න පුළුවන් විශේෂයෙනම් දෙකොට්ඨාශයකට… ඒ තමයි ගෙදරදිනම් දෙමව්පියන්ට, පාසලේදීනම් ගුරුවරුන්ට… මේ ලිපියේ කතාකරන්නේ මා පාසලේ එවන් ගුරුපියෙකු ගැනයි… අපි දැන් සිද්ධියට යමු…

කොහමහරි ජාතික ගීයත් ඉවරවුණා… ජාතික ගීයට ආචාර කරන්න හිස නමපු ගමන් ඊලගට පටන්ගන්නේ ජවන හා මළල පිටි‍යේ ඉසව්…. ඩෙස්ක්, පුටු උඩින් පැනීම, මීටර් 100 දිවීම වගේ, සමහරවෙලාවට බාධක දිවීම වගේ ඉසව්වක් වෙන්නත් පුළුවන්… කොහමහරි එදත් ඒ වගේම දවසක්… සැරසේන්… එලවේන්…එතකොටම ඇහුණා ගාම්භීර ගොරෝසු හඬක්…

”හේයි… හේයි… ඔහම නවතිනවලා….”

කොල්ලන්ගේ දුවන්න පනින්න හිටපු කකුල් මැන්ඩලීන් ගහන්න පටන් ගන්නේ දැන්… ඒ හඬට අපේ ඉස්කෝලේ ඔක්කම surrender …. සමහරවෙලාවට Principal සර්ටත් වඩා අපි මේ හඬට බයවුණා කිව්වට වරදක් නෑ… උස අඩි 6 ක් විතර හොඳ දේහධාරී ඒ රූපය අදටත් මැවිලා පෙනවා… ඒ වෙන කවුරුත් නෙමෙයි… අප පාසලේ හිටපු නියෝජ්‍ය විදුහල්පති වගේම විනයභාර ගුරුපියාණන්… T.D.ප්‍රනාන්දු ගුරුපියාණන්….

“හැමෝම අපිට විශ්වවිද්‍යාලයට යවන්න බැහැ….. ඒත් අපිට පුලුවන් හොඳ විනය ගරුක පුත්තු ටිකක් සමාජයට දෙන්න”

මේ දේ නිතරම වගේ සර්ගෙ මුවඟේ රැඳී තිබුණා….

විනය… කොළඹ ඩී.එස්.සේනානායක් විදුහලේ හදවත… පාසලේ ප්‍රමුඛම තැන තිබුණේ විනයට… මම හිතන විදිහට ඒ විනය ආරක්ෂා කරන භාරදූර වගකීම පැවරිලා තිබුණේ නියම සුදුස්සට.., ලේසි නෑ කොල්ලො 5000-6000ක් ආම්බාන් කරන එක… ඒ වුණාට ඒ ගොරෝසු දරදඬු හඬට ඒ දේ කරන්න පුළුවන් වුණා කියලා බය නැතුව කියන්න පුළුවන්…

දැන් කොල්ලෝ full හොල්මන්… ඊලඟට වෙන දේ හැමෝම දන්නවා… ගුරුපියාණන් බර අඩි තියලා පන්තියට ඇතුළුවෙලා ඉඳගත්තා ගුරු පුටුවෙන්…. හැමෝගේම ඇස් blade තලයකින් කැපිලා යන විදිහේ බැල්මක් දාලා මෙහෙම අණකලා…

“වාඩිවෙනවලා… වාඩිවෙනවලා…”

ඉතිපිසෝ ගාථාව සිහිකරගෙන set එකම වාඩිවුණා… දැන් කොල්ලන්ට කිසිම කඩිකුලප්පුවක් නෑ… හැබැයි ඕනි එකෙක්ගේ පපුවේ බිත්තර 1000 ක් වුණත් තම්බන්න පුළුවන්…, මොකද ත්‍රාසජනක episode එකට දැන් වේදිකාව තැනිලා තියෙන්නේ… එකම ප්‍රශ්නේ රංගධරයෝ කවුරුද කියන එක විතරයි… වැරැදි කරපු ඈයන්ගේ ඉහ කණින් බේරෙනවා දහඩිය…. කොටින්ම full speed යන fan එකටත් බෑ ඒවා වාෂ්ප කරන්න…

දැන් නඩුව අහන්නයි ලෑස්තිය…

“ ඔය පිටිපස්සෙ ඉන්න එකා… මෙහෙට වරෙන්…. ඌට අනිත්පැත්තෙන් වාඩිවෙලා ඉන්න එකත් වරෙන්…”

චූදිතයෝ දෙන්නා කැඳෙව්වා… උන් දෙන්නා දැන් බිම බලාගෙන එනවා ගුරු මෙසේ ගාවට…. සර්ට ආයේ සාක්ෂිකාරයෝ ඕනි වෙන්නේ නෑ… මොකද සර්ට සර්ගේ ඇස් දෙක sure…. අනික සර් දන්නවා කොල්ලන්ගෙන් අහලා වැඩක් නෑ කියලා… මොකද 99.99% ක් ම sure කොල්ලෝ එකෙක්වත් පාවල දෙන්නෙ නෑ කියලා…

හෙමීට ගුරු මේසේ කිට්ටුවට ආපු සගයෝ දෙන්නගේ බඩවල්වලින් කොනිත්තලා ඇඳල ගත්තා ගුරු මෙසේ ගාවට….

“ඈ බොල තොපි දෙන්නගේ අම්මා තාත්තා දෙන්නා කන්නේ තණකොලද තොපි දෙන්නා වගේ වස්සෝ දෙන්නෙක් හදන්න??? තොපි බොන්නේ පුන්නක්කුද ජාතික ගීය යන වෙලාවට ඩෙඟා නටන්න??? බලපන් දැන් අනික් උන්ටත් යන්න විදිහක් නෑ තොපි දෙන්න හින්දා”

“මේ වගේ ඉස්කෝලෙකට එන්නේ අයාලේ යන හරකෙක් වෙන්න නෙමෙයි බොල… විනය කියන එක හදාගනින් තප්පුලන්නේ නැතුව… දෙන්න හිතෙනව…” කියලා අතක් ඉස්සුවට ගැහුවෙත් නෑ… අපේ උන් දෙන්නා තක්බීර් වෙලා… අපිත් තක්බීර් වෙලා…

ඊට පස්සේ සර් cool down වෙනවා…

“උඹලා මේ ඉස්කෝලෙට එන්නේ ඉගෙනගන්නම නෙමෙයි…. විනය හදාගන්නත් එක්ක… දෙමව්පියෝ සෑහෙන සල්ලි වියදම් කරගෙන මේකට එවන්නෙත් මේකට… මොනවද මේ ලැජ්ජා නැති වැඩ…. සුදු කලිසම ගැහුවට පස්සෙත් මෙහෙම ඇණ ඇණ කියන්න උඹලා බබ්බු නෙමෙයිනෙ.., ආයේ මෙහෙම කරන්නේ නෑ හරිදා…. හ්ම් දැන් යනවා ගෙදර සේරම… මතක තියාගනිල්ලා මම බලං ඉන්නේ….”

සර් එදා පන්තියෙන් ගියා… අපිත් ගෙදර ගියා… හැබැයි එකක් ඇත්තටම වුණා…

සර් විශ්‍රාම ගන්නකන් අපි හැමෝම දිහා හොඳින් බලා උන්නා…

T.D.ප්‍රනාන්දු ගුරුපියාණන්…. කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ ඉතිහාසයෙන් නොමැකෙන චරිතයක්…. කොල්ලන්ට සර් ගැන තිබ්බේ ගෞරවයක් වගේම බයක්…. වරදකදී ටිකක් දරුණු වුණාට අතිශයින්ම සංවේදී මානුෂීය හිතක් තිබුනු ගුරු පියෙක්…

ඇත්ත… මම දැකලා තියෙනවා වැරදිවලට කොල්ලන්ට තලපු අවස්ථා එමට… විනය කඩකිරීම්වලදී හරිම දරුණුයි… විශේෂයෙන්ම වලිවලදී එහෙම මාට්ටු වුණොත් කොල්ලෝ කම්මුතුයි… ඒ පහරවල් වැදුනේ අතකින් කම්මුලටද නැත්නම් වේවැල්වලින් පශ්චාත් ප්‍රදේශයටද අදාලම නෑ… ඒ පහරවල් කාපු ගොඩක් උන් ඒ වැරැද්ද ආයේ කරන්නේ නෑ ඒ පහරවල්වල තිබුණු රස දන්න නිසා…

නමුත් සර්ට තිබුණා මානුෂීය හදවතක්… මට මතක් වෙනවා එහෙම සිද්ධියකුත්…

එදා free period එකක් අපිට… අහන්න දෙයක් නෑ ඉතින්… ඔබට මැවී පේනවා ඇති…. Free period ඉතින් කොල්ලන්ට පැදුරු පාටියක් නැත්නම් සාදයක්… එකම කාල ගෝට්ටියක් පන්තියෙම… මේවෙලාවට ඉතින් අපිට කිසිම නිච්චියක් නෑ එන යන අය ගැන… ඔන්න එදත් සර් ආව පන්තියට මේ කාලගෝට්ටිය අස්සේම…

“හේයි හේයි මොකද මේ හරක් පැටව්… වහගනිල්ලා කටවල්” කියලා ආවා ගුරුමේසේට තට්ටුවක් එහෙම දාලා වේවැලෙන්… දැන් ඉතින් වේවැල් කසාය තමා කියලා අපි ඉතින් දෙයියෝ බුදුන් සිහිකරගත්තා…

හැබැයි එදා approach එක ටිකක් වෙනස් sir ගේ…

පොදුවේ හැමෝටම කනේ ඇඟිලි ගහගන්න දේශානාවක් ලැබුණා… ඊට පස්සේ පන්තියේ කෙළවරක ඉඳන් හැම ළමයෙක්ගෙන්ම අහන්න ගත්තා කොහේ ඉඳන්ද එන්නේ, අම්මා තාත්තාගේ විස්තර… මට මතකයි මගේ මිත්‍රයෙකුට අවස්ථාව ලැබුණාම ඔහු කිව්වා ඔහුගේ පියා නැති විත්තිය… ඇත්තටම මගේ මිත්‍රයාට ඔහු කුඩා කාලයේම පියා අහිමව ගිහින් තිබ්බා… ඒක කිව්වාම සර් පොඩ්ඩක් සලිතවුණා…

“මෙහෙට වරෙන් කොල්ලෝ” කියලා ගුරු මේසේ ළඟට අපේ සහෝදරයාට කතාකලා… ඉන් පස්සේ දෙන්නා අතර ඈතිවුණේ ඇහෙන නොඇහෙන ගානේ කතාබහක්… වරදවා වටහගන්න එපා ඒක අතිශය මානුෂීය කතාබහක්
මම එදා පොඩ්ඩක් ගුරු මේසේ ළඟ පේළියක වාඩිවෙලා උන්නේ…ඒ හින්දා ඒ කතාබහ ශ්‍රවණය වුණා මට…

“පුතා කොයි කාලේද තාත්තා නැතිවුණේ”

“සර් මම පොඩි කාලේමයි”

“එහෙමද? මොනවාවෙලාද?”

උත්තරයවුණේ පිළිකාවකින් කියලයි.

මට එහෙමටම මතක නෑ ඊට පස්සේ දෙබස් නම්… නමුත් කතාවේ අන්තිම හරය වුණේ සර්ට අපේ සහෝදරයාට ඉස්කෝලේ වෙනුවෙන් උදව් කරන්න තිබුණු ඕනිකම… මට මතකයි ආර්ථික තත්වයන්, ලැබෙන උදව් උපකාර වගේ ඒවා ඒ කතාබහේ තිබුණා…. අවසානයේ මගේ මිත්‍රයාගේ පිටට තට්ටුවක් දාලා කිව්වා

“හොදට ඉගෙනගන්න ඕනි”

මගේ මිත්‍රයා අද හොඳ තැනක ඉන්නවා…

ඩී.එස්.සේනානායක විදුහල කියන්නේ එක පවුලක්… අප පාසලේ නිර්මාතෘ අලස් ගුරු පියාණන් පාසල පවත්වගෙන ගියේ පවුලක් විදිහට… ඒ සංකල්පය ඉදිරියට පවත්වගෙන යන්න විනයක් ඕනි… ඒ විනය ඇති කරන්න මහන්සිවූ කෙනෙක් විදිහට T.D.ප්‍රනාන්දු ගුරුපියාණන් හඳුන්වන්න පුලුවන්…ඒ පෞරෂයට හැකිවුනා කොල්ලන්ගේ චණ්ඩිකම් මෙල්ල කරන්න… ඒකට කොල්ලන්ට ගහන්න ඕනි වුණේ නෑ… ඒ ගැඹුරු හඬම ඇති… එතුමාගෙන් ඊට ලැබුණු දායකත්වය මෙතැකයි කියන්න අමාරුයි…

එතුමා විටෙක සැර පරුෂ ගුරුවරෙයෙක් වුණත් කොල්ලෝ කවුරුත් සර් එක්ක වෛර බැඳගත්තේ නෑ… මොකද අපි හැමෝම දැනගෙන උන්නා ඒ සැර පරුෂ භාවයට යටින් තිබ්බේ වෙඬරු පිඬක්වන් දුකට උණුවෙන පියෙකුගේ හදවතක් විත්තිය…

සර්ට කොල්ලන්ගේ ලෝකේ තේරුම් ගන්න හැකියාවක් තිබ්බා., ගොඩක් වෙලාවට මේ තරම් හොඳ ගණුදෙණුවක් තිබ්බේ ඒ නිසාම වෙන්න ඕනි… කොල්ලෝ හැරෙද්දි එන්නේ මොකාටද කියන එක sir දැනගෙන උන්නා…

තව කතාවක් මතක් වුණා…

වාරවිභාගයක  paper එකක් ඉවරවෙලා set එකම ground එකට බැස්සා වාර්ෂික මහා ක්‍රිකට් තරඟයට පෙරහුරුවක් ලබාගන්න… අහන්න දෙයක් නෑනෙ… ටෙනිස් බෝලෙයි, bat එකයි, nonstrikerට  ලී පතුරකුයි, wicket එකට පුටුවකුයි, bowlers end එකේ විකට් එකට පාගන්න ගඩොල් කැටයෙකුයි තිබ්බනම් ඒ දවස්වල ඉතින් මඩකරියෝ වගේ තමා ගෙදර යන්නේ… ඒ කාලේ ඔය පිට්ටනියේ තණපිඬලි අල්ලපු මුල් කාලේ… ඒ නිසා ඕකට බහින්න දෙන්නේ නෑ… Basket ball එක තමා සමාන්‍යයෙන් pitch එක…. හැබැයි ඉතින් වාරවිභාගය ඉවරවෙන දාට ඔය නීති ගැන කොල්ලෝ වැඩිය හිතන්නේ නෑ… එදත් ඉතින් එහෙම දවසක්…

දැන් match එක පටන්ගත්තා… ආයේ ඉතින් කඩියෝ වගේ…

“අල්ලපන්…”

“ දෙක වරෙන් දෙක වරෙන්…”

“ මෙහෙට දාපන්…“

“ shot මචං shot“

“ යකෝ no ball… ඉර පැනල මේ බලපන්”

“ යකෝ no ball… side එක කිව්වේ නෑ“

“ අඩෝ පිටිපස්ස ඔට්ටු නෑ… Keeper නෑ…”

“ umpire බෝල කීයද…”

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් වගේ… ගිරා පෝතක අධ්‍යපන ක්‍රමය නොවෙන්න හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෝ ටිකක් බිහිවෙන්නත් තිබ්බා අම්මපා ඒ match එකෙන්… කොහම හරි වැඩේ නැඟලා යනවා… කොල්ලන්ට අව්ව රස්නය දූවිල්ල ගාණක් නෑ… ඒත් එකපාරටම කොල්ලන්ගේ රෝම කූප තිග්ගැස්සෙන හඬ ඇහුණා… තරඟ තීරක ප්‍රධාන දැන්වීම් පූරුව ළඟට ඇවිල්ලා උන්නා… ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ ආදරණීය “ගඩ්ඩා” සර්…

“ හේයි හේයි…. මෙහෙ වරෙව් …. මොනවද උඹලා ඔයකරන්නේ… මෙහෙ වරෙව්….”

මෙච්චර වෙලා අව්වේ රස්නය නොදැනුණ අපිට දැන් දැනුණේ සහරා කාන්තාරයේ ඉන්නවා වගේ හැඟීමක්… අපි ඉතින් දැන් හෙමිහිට බෝලෙයි,bat එකයි,ලී පතුරයි අරන් අර ප්‍රධාන දැන්වීම් පූරුව පැත්තට ගාටන්න ගත්තා… හරි අපූරුවට සර් අතේ වේවැලකුත් එහෙමෙහෙ වෙනවා… කොල්ලෙක් මගේ කනට ඇහෙන නොඇහෙන ගාණට මෙහෙම කිව්වා…

“අඩෝ අදනම් ගඩ්ඩා අපිව හම ගහයි යකෝ”

නොකිව්වට අවංකවම මටත් ඒක දැනිලා තිබ්බේ…

“විභාගේ ඉවරද? මොකද මේ හරක් ගාලක් වගේ ගාල කඩාගෙන බෝලයක් පස්සෙන් දුවන්නේ… බලනවා තණකොල පිඬලිවලට කරල තියෙනදේ…උඹල කන්නේ තණකොල උලලද… හිටගන්නවා පෝළිමට…”

වැඩේ හරි… අදනම් double bonus වගේ… දෙයියෝ බුදුන් සිහිකරගත්තොත් හොඳයි… මම මටම කියාගත්තා…

“කියනවලා තමුන්ගේ විභාග ඉවරද?”

අපේ එකෙක් හෙමිහිට උත්තර දුන්නා මෙහෙම…

“නෑ සර්… තව paper එකක් හෙට තියෙනවා….

“යකෝ එහෙම තියාගෙනද මේ උඹල මේ බෝල පස්සේ දුවන්නේ… දැන් මෙතන එකෙක් ඔළුව පලාගත්තාම අපි වගකියන්න ඕනි…දීපිය ඔය බෝලෙයි ලී කෑල්ලයි මෙහෙට… “

අපි shape එකේ බෝලෙයි bat එකයි දුන්නා…

“උඹලට අම්මා තාත්තා නැහිලා උගන්නන්න හදනවා තොපි මෙතන හරක් වගේ තණකොළ උලනවා.. දුවපිය ගෙදර… ගිහින් පාඩම්කරපිය”

“අම්මා… ඔයින් ගියා ඇති“

මට අම්මපා හිතුණා… අනිත් උන්ටත් එහෙම අනිවාර්යෙන්ම හිතෙන්න ඇති…

සර් එදත් අපිට ගැහුවේ නෑ… හැමදේටම ගහන්න ගියේ නෑ සර්… මොකද සර් වුණත් දන්නවා ළමයි මේ වයසට මේ දේවල් කරන විත්තිය… සර්ට පුළුවන් වුණා ළමයින්ගේ පැත්තෙනුත් හිතන්න… සර් සම්බන්ධයෙන් අදත් කොල්ලෝ ගෞරවයෙන් කතාකරන්නේ ඒ නිසා වෙන්න ඕනි… කියන්න සන්තෝසයි මිත්‍රවරුනි මිතුරියනි අපිට පහුවෙනිදා ඒ bat එකයි බෝලෙයි ආයේ හම්බවුණා… කොටින්ම අපි ඒ අවුරුද්දේ වාර්ෂියක ක්‍රිකට් තරඟය සෙල්ලම් කලෙත් ඒ bat එකෙනුයි බෝලෙනුයි…

මම පාසලෙන් ඉවත්වෙනකන්ම වගේ සර් පාසලේ උන්නා… මට ඊට පස්සේ sir අන්තිමට හැබැහින් හම්බවුණේ අලස් ගුරුපියාණන්ගේ දේහය ඉස්කෝලෙට ගෙන ආව දවසේ…පස්සෙ කාලෙක තිබුණු  after school එකට මට එන්න බැරිවුණත් මම video එකක දැක්කා සර් ඒකට සහභාගී වෙලා තිබුණා… ඇත්තටම හිතට සතුටක් දැනුණා ඒක දැක්කාම..

ඒ දවස්වල අපිට විනය කියනදේ බරපතලව දැනුනේ නෑ… නමුත් අද කරදඬු දික්වෙලා රස්සාවල් කරද්දි තමයි ඒකේ අගය දැනෙන්නේ… උගත්කමක් තිබ්බත් ඵලක් නෑ විනයක් නැත්නම්… කොටින්ම මේ covid වසංගතය අවසන් කරන්නත් ඒ මිනිස් හික්මීම නැත්නම් විනය කියන දේ ඕනි විත්තිය හැමෝටම දැන් තේරෙනවා… පහුගියකාලවල රටේ සිදුවුණු බොහෝ ප්‍රශ්නවල මුල බැලුවොත් විනයක් නැතිවීම හේතුවූ බව පැහැදිලිවෙනවා…

T.D.ප්‍රනාන්දු  ගුරුපියාණන් හැමවිටම බැලුවේ ඒ විනය ඇතිකරන්න… කියන්න සතුටුයි සර් බහුතර ශිෂ්‍යයෝ ප්‍රමාණයක් ඔබ අපිට පෙන්වූ ඒ මඟ ඔස්සේ ගිහින් බොහෝ ඉහල නිලතලවල වගේමසාමාන්‍ය සමාජයේත් යහපත් පුරවැසියෝ විදිහට ජීවත්වෙනවා…

සර් මේ ලෝකෙන් සමු අරන් මේ වසරට වසර දෙකක්… මට මතකයි ලෝකේ නන් දෙසින් සර්ට අවසන් ගෞරව වශයෙන් ආව ශෝක පණිවිඩ හා පුෂ්ප උපහාර…  අදටත් කොහේ හරි අපේ ඉස්කෝලේ මතකයක් ස්මරණය කළොත් සර්ගේ නමත් ඒකට ඇඳිලා තිබුණා… ඒකෙන් එක් දෙයක් පැහදිලිවුණා අපිට…

ඔව් සර්… ඔබ අපිට ගුරුවරයෙක් නෙමෙයි පියෙක්…

සියදහස්ගණනක් දරුවන්ගේ නෙත් පාදා විනයගරුක පුරවැසියන් කළ පිනම ඇති ඔබට මේ සසරෙන් එතෙරවෙන්නට…

T.D.ප්‍රනාන්දු ගුරුපියාණනි… ඔබට අමා මහ නිවන්සුව අත්වේවා!!!

Photo Banner Credits: Jade Neo

තිරසබැඳිය ප්‍රතිචාරයක් ලබාදෙන්න

වෙළඳාම තළුමරමින්…. කලාව ගිලියි….

පෙබරවාරි 27, 2013 at ප.ව. 5:23 (ජීවිතය පුරාවට දැනෙවී..., සමාජ ඇසෙන් කතාවක්...) (, , , , , , , , , , , )

හැම මනුස්සයෙකුටම කලා කෘතියක් රස විඳින්න පුලුවන්

පහුගිය දවස්වල බොහොම අවිවේකී සමයක් ගතකරපු මට යන්තම් හුස්මක් කටක් ගන්න දැන් ඉඩ ලැබුණා…. කාලෙකින් ඔබ සියළුදෙනාම ආමන්ත්‍රණය කරන්න නොලැබුණ එක ගැන සමාව අයැද සිටිනවා සියල්ලන්ගෙන්ම…. මම මඟේ ලිපිවල ලියනවා වගේම මේක business marketing ලෝකයක්…. ඒහින්දා ඒ race එක දිගේ මටත් දුවන්න සිද්ධවෙලා තියෙනවා හති වැටෙනකන්ම මං කැමතිවුනත් අකමැතිවුනත් …. ඒ structure එක දැන් වෙනස්කරනවා බොරු මේ මනුෂ්‍ය ලෝකයේ…

ඇත්තටම පහුගියකාලේ මං නිශ්ශබ්දව හිටියට මං ඔබ වෙනුවෙන් ලියන්න යමක් හොයමින් හිටියේ දිගටම…. ඒ කාල සමයේ ඇතිවුණු සිද්ධීන් මගේ කෙටි blog ඉතිහාසය තුල මං මුද්‍රිත අකුරුවලට හරවල තිබුණේ කලින්ම… ඒ නිසා නැවත නැවත ඒවාම ලියන එක එහෙමත් නැතිනම් keyboard එකේ කොටන එක හරි නෑ වගේ මට හිතුණා…. මගේ අරමුණ ඔබට සමාජයේ මා දකින විවිධ කාරණා සම්බන්ධයෙන් මා දකින කෝණය ඉදිරිපත් කිරීමයි…. ඒ නිසා හැමවිටම් ඔබට මට සංවේදීවන අලුත්ම අලුත් මාතෘකාවක් තෝරාගැනීමයි මගේ අරමුණ… ඒ නිසා මගේ ලිපි දෙකක් අතර කාලය සෑහෙන්න දිගු වෙන්න පුලුවන්…. ඒ ගැන මා නැවතත් සමාව ඇයද සිටිනවා මගේ පාඨකයන්ගෙන්…..

ඉතින් කලින් කිව්වා වගේ යන්තම් busy schedule එකෙන් ඈත්වෙලා හුස්මක් කටක් ගන්න ලැබුණ වෙලාවේ මට හිතුනා කලාව පැත්තට ටිකක් නැඹුරු වෙන්න…. මොකද ලෝකේ මොන වස්තු බීජ තිබ්බත් වැඩක් නෑ මනුස්සයෙක් කලාවට ටිකක් හරි නැඹුරු වුණේ නැතිනම්…. මොකද මනුස්සයෙක්ට යමක් විඳින්න මොනව හරි දෙයක් තියෙනවනම් ඒ තියෙන්නේ කලාවේ ඇතුලේ…. එයින් ලැබෙන සැනසීම, සිත් පහන් කිරීම වෙන කිසිම දේකට ඉටු කරන්න අමාරුයි…. ඒ නිසා මනුෂ්‍ය ජීවිතයට කලාවෙන් ඉටුවෙන සේවය ඉමහත්…. හැම රජෙක්ම මනුස්සයෙක් වුනත් හැම මනුස්සයෙක්ම රජෙක් නෙමෙයි වගේම තමයි හැම කලාකාරයෙක්ම මනුස්සයෙක් වුණත් හැම මනුස්සයෙක්ම කලාකාරයෙක් නෙමෙයි…. ඒත් හැම මනුස්සයෙකුටම කලා කෘතියක් රස විඳින්න පුලුවන්…. ඒක තමයි කලාවේ තියෙන අරුමය… රටේ උසස්ම තන්තුරුවල ඉඳලා අලුත ඉපදුනු බිළිඳෙකු දක්වාම මේ කාරණය සත්‍යයක්… අලුත්ම පර්යේෂණවලින් හොයන් තියෙන විදිහට මව් කුස තුළ ඇති කළලය පවා කලාවට බොහොම ලැදියාවක් දක්වනවා….

ඔන්න ඉතින් මමත් මගේ හෙම්බත් වෙච්චි මනසට විවේකයක් දෙන්න කියලා අම්මගේ radio එක tune කර කර සිංදු අහන්න ගත්තා… අප්පා!!! නානා ප්‍රකාර විදිහේ සිංදු ලංකාවේ තියෙනවා….. නානා ප්‍රකාර විදිහේ වගේම තමයි ඒ සිංදු නාගෙන තියෙන තරම දැක්කාම මගේ අර හෙමබත් වෙච්චි මනස තවත් හෙම්බත්වුණාද මන්දා…. ඒවට සිංදු කියනවාද???? එහෙමත් නැත්නම් පුවත් සිරස්තල කියනවාද???? එහෙමත් නැත්නම් පොඩි උන් ලියපු රචනාවක්ද කියන්නද???? කියලා මට හිතෙන්න පටන්ගත්තා… ඒත් පොඩි උනුත් අවංකවම ඊට වඩා ලස්සනට රචනා ලියනවා…. ඔය කඩල දෙන කඩල ගොටු වලත් මේ සිංදු කියලා ලේබල් ගහලා තියෙන “නිර්මාණ” වලට වඩා හොඳ නිර්මාණ අම්මපා මං දැකලා තියෙනවා….

මේක මේ පද රචනයේ විතරක් නෙමෙයි කටහඬවල්වලත් තියෙන ප්‍රශ්ණයක්…. තනුවලත් තියෙන ප්‍රශ්ණයක්… සමහර විරහ ගීතවල තියෙන තනු අඟර දඟර පාලා නටන්න තරම් පට්ටයි…. අම්මපා සතුට ගලාහැලෙන පදරචනාවලත් නැති තරම් dance කරන්න හොඳ beats තියෙනවා ඒවා වල!!!!… මගේ දැනීම හැටියට ගීයකට තනුවක් දාද්දී ඒ ගීතයේ හැඟීම හා ඒ ගීතයේ නිධන්ගතවෙලා තියෙන කාරණය ගැන සිතිය යුතුය… සමහරවිට මේ business ලෝකයේ ඒ හැඟීමවලට ප්‍රතිචාර දක්වන විදිහත් modify වෙලාද දන්නේ නෑ!!!! ….

ඒවගේම තමයි කටහඬවල්!!!!…. සමහරු ගිරිය පුප්පන් කෑගහනවා… සමහරු කොඳුරනවා…. සමහරු සිංදු කියනවා නෙමෙයි news කියවනවා…. සමහරු කම්මල්වල යකඩ තලන ශබ්දෙන් ගීත කියන්න ට්‍රයි කරනවා… ශ්‍රැති කොහෙවත්, තාල කොහේවත්…. අපේ අල්ලපු ගෙදර ඉන්න පොඩි එකා ඊට වඩා ශ්‍රැතියට,තාලයට කියනවා “හා හා හරි හාවා”…. ඒවුණාට මේවා hit සිංදු…. හැම chart එකකම ඉහලින්ම වැජඹෙන ගීත…. …. ඒවට ගොඩක් TV,Radioවල ඉන්න නිවේදක නිවේදිකාවෝ කියන්නේ “talents” කියලනේ…. සමහර විදිහට ඒ ගොල්ලොත් අර ගිරව් වගේ මෙලෝ රහක් නැතිව කියවන එකම කරන නිසා ඒක කියනවා ඇති… මට මතක් වෙනවා එච්.ආර්.ජොතිපාල‍යාණන් ගයනා කල “නුග රුකක් වෙමින්”ගීතයේ line එකක්… “අරුත්සුන් වදන් දොඩවන… ගිරව් දොඩමළු”… හැබෑට ඒක මේ වෙනුවෙන් ම ලියැවුනු පද පේලියක් තමයි කියලා හිතෙන්නේ!!!!…. මොකද ඒ අයම දන්නේ නෑ ඒ අය කියන්නේ මොකද්ද කියලා… ඒත් ඒවා පට්ට talents කියල තමයි ලංකාවේ පිළිගැනීම… හැබයි ඉතින් අපිට අහන් ඉන්න තමයි අමාරු…. සමහරවිට ඒ talents සැර වැඩි ඇති අපේ කන්බෙරවලට!!!!….

දැන් මේ දේත් කියන්න ඕනි…. අලුත් නිර්මාණ හැම එකක්ම මෙහෙම නෑ…. කුහක විදිහට මේ ලිපිය ලියන්න මට උවමනාවක් නෑ…. ගොඩක් හොඳ අලුත් නිර්මාණකරුවන් කරලා තියෙනවා… නමුත් අවාසනාවට ඒ නිර්මාණවලටත් නිසි තැනක් මාධ්‍යවලින් ලැබෙන්නේ නෑ අසන්නන් බහුතරයකට අසා ඉන්න බැරි Tv, Radio presentersලට විතරක් පට්ට talents වෙච්චි නිර්මාණ නිසා…. බොරු කියන්න අවශ්‍ය නෑ… නූතන පරපුරේ හොඳ ගායක ගායිකාවන් බොහොමයක් ඉන්නවා…. ඒ අය අතින් බිහිවුණු ගුණාත්මක නිර්මාණ ගොඩක් තියෙනවා…. නමුත් ඒවට තියෙන මඟ ඇහිරලා තියෙන්නෙත් ඉහත කීව නිර්මාණ නිසයි…

මා සංගීතය සම්බන්ධ විශාරදයෙකු නොවෙයි…. නමුත් මා දන්න කරුණු කීපයක් මේ ලිපිය හරවත් කිරිමට ඉදිරිපත් කරන්නට කැමතියි…. මූලික වශයෙන් මිනිස් කටහඬ ranges 4කට බටහිර සංගීතයේ බෙදා වෙන්කරනවා…. ඒවා තමයි Soprano, Alto, Tenor සහ Bass කියන හතර…. ඒ අතරේ තව Baritone වගේ ranges තියෙනවා… සාමාන්‍යයෙන් මේ මූලික කටහඬවල් අතරේ තම්යි සිංදුවක් දෝලනය වන්නේ…. ඇත්ත… හැමෝටම් මේ හැම range එකේම ගායනා කරන්න බැහැ…. නමුත් ගායකයෙක් වීමට අවම වශයෙන් මේකේ අනුයාත ranges දෙකක වත් ගායනාකරන්න හැකිවිය යුතුයි… නමුත් අවාසනාවට අද ලංකාවේ ඇහෙන බොහෝමයක් ගීතවල ඉන්න බොහෝමයක් ගායක ගායිකාවන්ට අවම වශයෙන් එක range එකක්වත් හරිහැටි ගායනා කරගන්න බැහැ….

ගීතයක් කියන්නේ ශ්‍රවණයෙන් මිනිසෙකු තෘප්තිමත් කලයුතු දෙයක්…. නමුත් අද ගීතය කියන්නේ ඇස් පිනවන දෙයක් වෙලා…. මොකද බොහොමයක් ගායක ගායිකාවන් සැලකිලිමත්වන්නේ රූපරචනයට එහෙමත් නැතිනම් music video එකට… ඒක සාර්ථක කරගන්න නොකරන දෙයක් නෑ… cheese,noodles,tofee,choclate,lolipop කාවී…. පැණි බීම,cofee බොයි…. Shoes, New fashion ගනියි…. Bank කාඩ් උසසන් නටාවී…. Brand new vehicles එලවාවී…. ඇහැට නම් හරි සුන්දරයි…. කනටත් මිහිරිවුනාණම් පට්ටයි…. ඒත් අවාසනාවට ඒක එහෙම වෙන්නේ නැහැ… හැබැයි කට්ටියට හොඳ වැඩක් කරන්න පුළුවන් ඕනිනම්…. TV එකේ සද්දේ mute කරගෙන රූප ටික බලන් ඉන්න පුලුවන්…. රඟපෑම උපරිමයි!!!!…. අම්මපා!!! අද නළු නිළියෝ කියලා රඟපාන අයට වඩානම් රංගනය උසස්… මගේ අදහස මේ අය වෙනුවෙනුත් සම්මාන උළෙලක් අරඹන්න ඕනි…. හැබැයි ගායනය වෙනුවෙන් නෙමෙයි…. රූප රචනයේ රඟපෑම් වෙනුවෙන්!!!!!…. Stage වලට නැග්ගාම හති වැටෙනකන් නටනවා මිසක් කරන ගායනයක් නෑ…. ඒකට කියන්නේ Performing ලු…. අනේමන්දා ගායකයාගේ කටහඬ ඇහෙන්නෙ නැත්නම් ඒ එක Dance Performance ද දන්නේ නෑ!!!!….

අතීතයේ ගායක ගායිකාවන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලියක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට තිබුනා…. ඒ කාල සමය තමයි බොහොදෙනෙක් හඳුන්වන්නේ ලංකාවේ ගීත ඉතිහාසයේ ස්වර්ණමය යුගය විදිහට…. ඒ කාල සමයේ නිර්මාණය වූ ගීතවල රසය තාමත් එලෙසම පවතිනවා…. අනික ඒ ගීත හුදෙක් ජනතාව අතරට ගියේ සංගීතය, පද රචනය හා ගායනය කියන ගීතයේ මූලිකාංග තුන උපයෝගී කරගෙන මිසක් අමතර කාරණයක් වුන රූප රචනය හා වෙලඳ දැන්වීම සංගීතය හරහා නොවෙයි….

ඒ කාලයේ හින්දි තනුවලට ගීත ලිවීම බොහොම විදිහට විවේචනය කර තිබුනා… නමුත් මටනම් අවංකවම ඒ පද රචනා නූතනයේ නිර්මාණය වන බොහෝ ස්වතන්ත්‍ර නිර්මාණවලට වඩා ඉහළයි… එහෙම තනුවකට ගීතයක් අර්ථවත් ලෙස ලිවීම හිතන තරම් ලේසි පහසු දෙයක් නොවෙයි…..විශේෂයෙන්ම ගීතමය වචන යොදාගෙන ලියන එක… ඇත්තටම ඒවා තමයි talents….

ගීතයක් නිර්මාණය වියයුත්තේ හුදෙක් ringing tone හෝ වෙළඳ දැන්වීම සඳහාම පමණක් නොවිය යුතුයි…. හුදෙක් ව්‍යාපාර මානසිකත්වයකින්ම ගීත නිර්මාණය කල නොයුතුයි…. ඇත්ත අද බොහෝදෙනෙක් තමන්ගේ වෘත්තිය ලෙස සංගීතයේ නිරතවෙනවා…. ඒ නිසා මුදල් අවශ්‍යයයි… නමුත් මෙසේ සිතන්න…. ඔබ යනවා කාර්යාලයකට වැඩක් කරගන්න… එතන ඉන්නවා මහ කම්මැලි, ඔබව මුලාවේ දමන සේවකයෙක්…. ඔබ රස්තියාදුවෙනවා ඔහු නිසා සෑහෙන්න…. නමුත් අදාළ ආයතනය එය දන්නේ නෑ… මාසේ අන්තිමට ඔහු සේවය නිසි පරිදි ඉටු කල සේවකයෙක් ලෙස තමන්ගේ වේතනය අරන් ගෙදර යනවා කිසිදු ලැජ්ජාවක් නැතිව…. ඔබේ නිර්මාණ හුදෙක් market එකටම නිර්මාණය වන්නේනම් ඔබ මුලාකරන්නේ සමස්ත ලක්වැසියාමයි… ඔබට මුදල් ලැබේවී market එකෙන් සහ අනුග්‍රහවලින්… Market එක target නිසා ඕනෑ තරම් මාධ්‍ය ආයතනත් සිංදුව කරයි…. නමුත් ඔබ සමාජයට හෝ කලාවට් කිසිදු දෙයක් කර නැත….. ඔබද කර ඇත්තේ අර සේවකයාසේම ලැජ්ජා නැතුව සමාජයට සේවයක් නොකර සමාජයෙන් සල්ලි ගරාගැනීමක් පමණි!!!…. ඕවා සිහිපත්වන්නේ තරුණ කාලයේදී නොව හැරමිටියෙන් යන කාලයටය!!!!…. එදාට ඒ වැරද්ද හදාගන්න ඔබට වෙලාව නැතිවේවී…. එහෙම වෙළඳාම වෙනුවෙන්ම නිර්මාණකරණයේ යෙදේනම් ඔබ කලාවට ආදරේ මනුස්සයෙක්ද නොවේ….

ගායනයෙන් අපි යමු රංගනයට….. ඒකෙත් කියන්න දෙයක් නෑ…. ටෙලි වීකශනයෙන් බහුතර කාලයක් අරක් අරන් ඉන්නේ Mega නාට‍ය කියාගත්තු ඒවා යි,ඒවාට අනුග්‍රහය දක්වන වෙළඳ භවතුන්ගේ වෙළඳ දැන්වීමුයි විතරයි….. හරියට කැලෑවල ගස්වලට අරක්ගත්ත වෘක්ෂ දේවතාවන් වගේ…. අන්තිමට නාට්‍යයෙන් ගන්න දෙයක් නෑ ජීවිතයට…. අපි පැය ගණන් නාසති කරලා තියෙන්නේ TV advertisements බලන්න විතරයි…. පෙර පාසල්වල ළමයිනුත් මීට වඩා හොඳ නාට්‍ය පෙර පාසවල්වල ප්‍රසංගවල රඟපානවා…. මං හිතන්නේ මේ mega නාට්‍ය සංස්කෘතියේ ඉන්න උදවිය වෙලාවක් තියෙන වෙලාවකට පෙර පාසවල්වල ප්‍රසංග බලන්න යනවනම් හොඳයි…. මොකද ඒ පොඩි උන් හොඳ තේමාවල් තෝරාගෙන හොඳට රඟපානවා mega නාට්‍යවලට වඩා ….

සිනමාව ගැන කතාකරනවනම් දැන් තියෙන්නේ ඉතිහාසය විකුණන් කන කාලයක්… ඉතිහාසය නිරවද්‍ය ලෙස සිනමාවට නඟනවානම් ඒකේ වරදක් නෑ…. නමුත් ලංකාවේ ඒ විදිහට ඉතිහාසය තේමා කරගෙන ගොඩනඟන සිනමා කෘතිවල තිබෙන අතාත්විකභාවය මැනවින් පිලිබිඹු වෙනවා…. සිනමා අධ්‍යක්ෂකවරයාට නළු නිලියන් හසුරුවගන්න තිබෙන නොහැකියාවයි කැපී පෙනෙන්නේ… මොකද මේ ඉතිහාස කතාවෘතාන්ත වල රඟපාන බොහොමයක් නළු නිළියන් සීමාව ඉක්මවා යමින් රංගනයේ යෙදෙන්න උත්සහකරන්නේ බොහෝවිට…. මේ දේ හැම සිනමා පටයකම මා දකින දෙයක්…. එවිට ගිලිහෙන්නේ සිනමාවේ තාත්විකභාවයයි…. එවිට එය නරඹන්නන්ට සංවේදී වන තීව්‍රතාවය අඩුයි…. එමෙන්ම ටෙලිනාට්ය වේවා, සිනමා වේවා නළු නිළියන් තෝරාගැනීම ලංකාවේ අධ්‍යක්ෂවරුන්ගේ බොහොම දුර්වලයි… ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්න අධ්‍යක්ෂවරු තමන්ගේ නිර්මාණ සඳහා යොදාගන්නේ ඒ කාල සමයේ වඩා කතාබහට ඇතිවූ යුවළක් නැතිනම් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක්… සමහරවිට ඒ අදාල රංගන ශිල්පියා හෝ ශිල්පිණිය කොතරම් දක්ෂවූවත් ඔවුන්ගේ රංගන පරාසය විදහා දැක්වීමට ඔවුන්ට ලැබෙන චරිතය ප්‍රමාණවත් නෑ…. වර්තමානයේ රංගන කර්තව්‍යයකට නළුවෙක් හෝ නිළියක් තෝරාගන්නේ අදාල සිත්තම විකාශනය වන මාධ්‍ය ආයතනයට හෝ ප්‍රධාන අනුග්‍රහක භවතාට අවැසි පරිදියි… ඒ නිසා අධ්‍යක්ෂකවරයාට තමන්ට අවැසි පරිදි නිර්මාණය කරගන්න බැරි එක එක අතකින් පුදුමයකට කාරණයක් නෙමෙයි…..

මිලියන ගණන් වියදම් කර තැනූ රන්මිණි තැන්න ටෙලි ගම්මානයෙන් අපේ නාට්‍යකරුවන් නිවැරදි ප්‍රයොජනයක් ගන්නවාද????… ඒ පිළිබඳවනම් සැකයක් තියෙනවා… ගුණාත්මක නිර්මාණ බිහිවීම බොහොම අඩුයි…. රසිකයන් විදේශයන්ගෙන් ගෙන්වා සිංහලෙන් හඬ කැවූ නිර්මාණවලට නැඹුරුවීම අරුමයක් නෙමෙයි…. ඒ නිර්මාණවල ඇති තාත්විකභාවය,රංගන ශිල්පී ශිල්පීනියන්ගේ රංගන දක්ෂතාවය, අධ්‍යක්ෂවරුන්ට නළු නිළියන් හැසිරවීමට ඇති දක්ෂතාවය ඊට ඇති මූලික හේතුයි…. ඔවුන්ගෙන් අපට ඉගෙනගත හැකි දේ බොහොමයි….

ලංකාවේ ඉහළගණයේ රංගන ශිල්පීන් ශිල්පිනියන් සිටිනවා… ඒ ගැන කිසිදු අවිවාදයක් නෑ… නමුත් සමහර ශිල්පීන් හා ශිල්පිනියන් සිතා සිටින්නේ මුණට makeup ටිකක් උලාගත්තාම එහෙමත් නැත්නම් excercise කරලා අයෝමය ශරීරයක් හදාගත්තාම ඒ තමයි මූලික සුදුසුකම කියලා…. නමුත් මේ අයගේ හැඟීම් ප්‍රකාශනය පොඩි කාලේ පොඩි එකෙක් බඩගිනිවී කිරි ඉල්ලා හඬනවාට වඩා දුර්වලයි…. ඉතින් මේ අය ප්‍රතිභාසම්පන්න යයි හැඳින්විය හැකිද???? රෑට sunglass දාල වාහන එලෙව්ව පලියට මිනිස්සුන්ගේ හිත් තුළ එවැනි ගරුත්වයක් ලබාගන්න බැහැ….

Mega නාට්‍යයකින් ඉගෙනගත හැකි දෙයක් නැත…. අවම වශයෙන් සමාජයේ දැවෙන ගැටලුවක් පිළිබඳව පුළුල් විචාරනයක්වත් කරන්නට Mega නාට්‍යකරුවා අසමත්වී ඇත…. Mega නාට්‍ය පසුපස ඇත්තේ සුකිරි බටිල්ලෝ වැනි තමන්ට හිතවත් නළු නිළියන්ට රූපවාහිනියේ සතිය පුරාම තමන්ගේ මුහුණත් තහඩුව ප්‍රදර්ශන්ය කිරීමට් ඉඩ සලසා දීමත්, Media එකට නාට්‍ය sale කර අනුග්‍රහක භවතාගේ මනදොළ සංසිඳුවා සල්ලි ගරාගැනීමත් පමණි….

දැන් පිවිසෙමු නර්තනය දිහාවට…. අද ලංකාවේ සිටින නර්තන කණ්ඩායම් බොහොමායක් ස්ත්‍රීන්ගේ ශරීර අංග ලක්ෂණ නර්තනයට වඩා ඉස්මතු කරන්න උත්සහකරන්නේ… විශේෂයෙන්ම එළිමහන් සංගීත ප්‍රසංගවල මේ තත්වය මැනවින් දකින්න ලැබෙනවා… අවිවාදයක් නෑ ස්ත්‍රී දේහය පිරිම දේහයකට වඩා ලාලිත්‍යයෙන් පිරිපුන්…. එමෙන්ම ස්ත්‍රියක් නර්තනයේ යෙදෙනවිට පිරිමියෙකුට වඩා නෙතට රසඳුනක්…. නමුත් නර්තනය යනු කාමුකත්වය නෙමෙයි….

නාඹර කෙල්ලෙකුගේ නාභිය දකින එකවත්, ලැම පෙදෙස දකින එකවත්, පිරිපුන් කලවා දකින එකවත් නෙමෙයි නර්තනයක් කියන්නේ… නර්තනය කියන්නේ ඊට වඩා අර්ථවත් දෙයක්…. නමුත් අවාසනවට මේ ලෝකයේ නර්තනයට වඩා මේ වගේ කාමුක ආශාවන් මිනිසුන්ගේ සන්තර්පණය කරන්න තමයි ගොඩක් දෙනෙක් උත්සහ කරන්නේ… නමුත් මේ දේවල් කරන්න කලින් මේ අය මතක් කරගත්තොත් හොදයි මේ දේත්… ඒ තමයි අපි කවුරුත් මේ ලෝකෙට එන්නේ අම්මගේ කුස තුල ඉදලා බවත්, ඒ අම්මාත් ගැහැණියක් බවත්….

නර්තනයේ විවිධ ශෛලියන් තියෙනවා… හැම ශෛලියක්ම නිවැරදි ලෙස අධ්‍යයනය කිරීම ගොඩක් හොඳයි… නමුත් ඊට වඩා වැදැගත් ගීතයකට නර්තනයක් නිර්මාණය කිරීමේදී ඒ ගීතයේ අදහස ඉස්මතුවන ලෙස නර්තනය නිර්මාණය කිරීම… නර්තනයේ දක්ෂතාවය හැටියට මා දකින්නේ එයයි…. නර්තනයක් සමීපවන්නේ නරඹන්නාට එවිටයි….

චිත්‍රකලාවේනම් යම් ප්‍රගමනයක් තවමත් ලංකාවේ දකින්න ලැබෙනවා… උසස් ගණයේ නිර්මාණ, ඒ නිර්මාණ සිදුකරන්නට නව චිත්‍ර ශිල්පීන දක්වන වෑය්යම අගය කළයුතු කාරණයක්…. බොහොම උසස් නිර්මාණ කරන්නට ඒ අයට හැකිවේවා යැයි මෙතන්දී ප්‍රාර්ථනා කරන්න කැමතියි… ඒ වගේම මේ සඳහා බලධාරීන්ගේ අවධානය යොමුවූවහොත් මේ චිත්‍ර ශිල්පීන් ශිල්පිනියන්ට ජාත්‍යන්තරය පවා ජයගත හැකි බවට මගේ විශ්වාසයයි… මෙය ඒ තරමට දියුණු කල හැකි කලා මාධ්‍යයක්… ඒ තරමට දක්ෂයන් මේ පුංචි දිවයින තුළ අපේ ඉන්නවා!!!….

ඊළඟට සෘජුවම් සම්බන්ධ නැත්තත් නිවේදනය ගැන සලක බලමු…. ලංකාවේ ඉන්න බහුතර නිවේදක නිවේදිකාවන් ප්‍රමාණයක් විනාඩියකට කටින් පිටකරන වචන සංඛ්‍යාව තෝරන තරගයක් තිබ්බොත් උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුනපාවී…. ඒ ජයග්‍රාහකයා කවුද කියන එක තොරන්න ගිහිල්ලා…. ඒ තරමට ඒ වැඩේට දක්ෂයි…. ඒත් ඒ ඉදිරිපත් කිරීම අර්තවත්ද???? ඒ අයවත් දන්නේ නැහැ ඒ අය කිව්වේ මොනවද කියලා…. ඉතින් අපිට ඒවා තේරේවිද එහෙනම්???? අන්තිම්ට හෑල්ලක් කිව්වට මොකෝ කාටවත් තේරෙන්නේ නෑ…

වරක් දිවංගත ප්‍රේමකීර්ති ද අල්විස් මහතා රූපවාහිනී වැඩසටහනක් ඉදිරිපත්කරන අතරවාරයේ නිවෙස්වල සිටින් පොඩි දරුවන්ගෙන් ඉල්ලීමක් කලේය….

“පුතාලා, කඩදාසියක් අරන් ඇවිත් රූපවාහිනිය ඉස්සරහින් වාඩිවෙන්න”

ඉන් ටික වෙලාවකට පසුව ඔහු මෙසේ කීවේය….

“දැන් ඔය කඩදාසිය පුංචි කෑලිවට ඉරන්න”

ඉන් සුලු මොහොතකට පසු ඔහු මෙසේ කීවේය…

“දැන් ඔය කඩදාසි කෑලි ටික ඉන්න තැන විසිරුවා හරින්න”

ඉන් ටික වෙලාවකට පසු ඔහු පොඩි දරුවන්ට කියා දුන්නේ අපූරු පාඩමකි…

“දුවලා පුතාලා ඔය තමයි පරිසර දූෂණේ…. ඔය විදිහට ආයේ කවදාවත් පරිසර දූෂණය කරන්නෙපා”

මෙය කොතරම් අපූරු සංවාදයක්ද???? අවසානයේඔහු සමාජයට දුන්නේ අපූරු පණිවිඩියක්… මෙයයි ඉදිරිපත්කිරීම යැයි මා දකින්නේ… කටට එන හැම දේම වක්කඩේ කැඩුවාසේ කියවීම නෙමෙයි…. හරවත් ලෙස භාෂාව හැසිරීමයි… නමුත් අවංකව අද ඉන්නේ අරුත් සුන් වදන් පවසන ගිරව් වැනි නිවේදක නිවේදිකාවන්ය…. සමහරු අවමවශයෙන් වැඩිහිටියෙකුට වැදගත් පුද්ගලයෙකුට ගෞරව සම්පන්න ලෙස කතාකිරීමටද නොදනී…. ඒත් ඒව පට්ට “talents” ලෙස සමහරු දැකීම අභාග්‍යසම්පන්න දෙයකි…එමෙන්ම ලංකාවේ සිටින බොහොමයක් වැඩසටහන් ඉදිරිපත්කරන්නන් ඔවුන් ඉදිරිපත් කරන වස්තු බීජය සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් නොකර බව ඔවුන් වැඩසටහන ඉදිරිපත්කරනවිට මනාව පැහදිලි වේ… ඒ අයට වඩා හොඳ දැනුමක් පාසල් යන පොඩි දරුවන්ට ඇත…

වර්තමානයේ ඇති Businness ලෝකය ඇතුලත අපිද market වන කලෙක කලාව market වීම අරුම පුදුම දෙයක් නොවේ…. නමුත් කලාවේ ගුණාත්මක භාවය මුදල් හමුවේ යටපත් නොවිය යුතුයි…. කලාවේ ප්‍රගමනයට් මුදල් අවශ්‍යයය… නමුත් ඒ වෙනුවෙන් කලාව විනාශකිරීම කිසි සේත් පිලිගත නොහැක…. මේ ලිපියේ තේමාවේ ඇති පරිදි වෙළඳාමට කලාව තළුමරා ගිලින්නට ඉඩ නොදිය යුතුය….. ඒ නිසා market එක ගැන පමණක් සිතා නිර්මාණ කිරීම කිසිසේත්ම කලාව ලෙස හැඳින්විය නොහැක…. එය business ය…. එලෙස නිර්මාණ කර ලැබෙන මුදල් ලැබෙන්නේදෙ සමාජයෙන් නිසා එක්තරා ආකරයක සමාජය මුලාකිරීමක් ලෙස මෙම තත්වය හඳුන්වා දිය හැක…. එලෙස ලබාගන්න මුදල හුදෙක් ලැබෙනුයේ ලැජ්ජා නැතිකමටය…. වෙන කුමකටවත් නොවේ…..

කොතරම් කලාවට විනකලද එලෙස විනකරන කලාකරුවා ( සත්‍ය කලාකරුවන් මෙම ගණයට අයත් නැත ) දේශපාලන වේදිකාවලට නම් ආභරණයකි… කලාවේ තමන්ගේ සේවය නිසි පරිදි ඉටු නොකලද ඡන්දය කාලයට දේශපාලන වේදිකාවලට ගොඩ වැදී උඩ පනිමින් එක් එක් පාටවලට ඡන්දය දෙන ලෙස ඉල්ලීම හස්‍යෝත්පාදක කාරණාවකි…. අපට ඔවුන්ගේ අදහස් පිලිගත හැකිද???? කලාකරුවා මුලින්ම තමන්ගේ නිර්මාණ හරහා රටට සේවයක් කළ යුතුයි… එවිට මේ ඉල්ලීමේ පදනමක් ඇත… නමුත් ලංකාවේ කලාවේ එවැනි ප්‍රගමනයක් දකින්නට නැතුව එවැනි ඉල්ලීම් ඉල්ලන්නේ නම් ජනතාව ඒ ගැන කල්පනාකල යුතුය….

කලාව යනු අතිශයින්ම පූජනීය දෙයකි…. එය විනාශ කිරීම හෝ නොකිරීම ඇත්තේ කලාකරුවා හෝ කලාකාරියටය…. නමුත් අවංකව කිසිදු මිනිසෙකුට කලාව විනාශ කිරීමට අයිතියක් නැත…. කලාව හරහා සමාජයට කලහැකි කාර්යභාරය අතිමහත්ය…. ඒ නිසා කලාව නිසි මාර්ගයට යොමු කර ස්වර්ණමය යුගයක් අනාගතයේදී ඇතිකරගැනීමට හැකිවේවා යැයි පතමින් මේ දීර්ඝ ලිපිය නිම කරමි….

තිරසබැඳිය ප්‍රතිචාරයක් ලබාදෙන්න

අකලට දියවෙන අහිංසක හීන – සරසවි සිසුවෙකුගේ දෑසින්….

සැප්තැම්බර් 14, 2012 at ප.ව. 3:09 (ජීවිතය පුරාවට දැනෙවී..., සමාජ ඇසෙන් කතාවක්...) (, , , , , , , , , , , , , )

බොහොම කාලෙකට පසුව මගේ Blog සටහනට අද ලිපියක් එක්කරන්න හිතුවා…. මෙච්චර දවසක් සුදුසු මාතෘකාවක් හොයහොයා හිටිය මට ඊයේ රෑ හිතුණා මේ දවස්වල මා අත්විඳින මේ ” දීර්ඝ නිවාඩුව” ගැන ඔබට යමක් කියන්න…. ඇත්තටම මේ නිවාඩුව අපි කිසිදිනෙක අපේක්ෂා නොකල එකක්…. මේකේ අභාග්‍යසම්පන්න බව කියන්නේ මේ නිවාඩුව හුදෙක් විනෝදබර එකක් නෙමෙයි…. මොකද මේ  නිවාඩුවේ දින වැඩිවෙන්න වෙන්න දියවෙලා යන්නේ අපේ හීන…. සමහරවිට ඔබ හිතනවා ඇති මේ මොන අපභ්‍රංශයක්ද කියලා…. ඇත්ත…. මොකද තාම මං ඔබට කිව්වේ නෑනේ මේ මොකද්ද කියලා…. අපි පටන්ගමු කතිකාවත දැන්….

මේක පටන් ගන්න කලින් කියන්න ඕනි….  අපේ ගම්වල කියනවා වගේ පුදන කොටම කාපි යකා කියලා…. මේක කියවන්න පටන්ගන්නකොටම මේ ලිපිය දිහා පාදඩ දේශපාලන පාට කණ්නාඩියකින් බලන්නෙපා කියලා…. මොකද මට කොහෙත්ම අවශ්‍ය නෑ කාගේවත් දේශපාල න්‍යායපත්‍රයක ගැත්තෙක් වෙන්න…. මට අවශ්‍ය සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් අපේ අවංක හැඟීම ගැන කියන්න….

කෙටියෙන්ම කාරණේ සාරාංශගත කලොත් මම ලංකාවේ විශ්විද්‍යාලයක සිසුවෙක්…. මං හිතන්නේ එහෙම කිව්වාම මේ නිවාඩුව මොකද්ද කියලා ඔබල හැමදෙනාම දන්නවා ඇති…. ඒත් කියන්න බෑ…. මොකද මේ රටේ ඉන්න සමහර නෝනලා මහත්තයලට මේවා පේන්නේ නෑ…. ඒ දෑස්වල අඳභාවය නිසා නෙමෙයි…. චින්තනයේ හිතේ තියෙන අඳභාවය නිසයි….ඔය රූපවාහිනි ගුවන්විදුලිවල ඡන්දේ කාලේට “අපි සංවේදි  _ _කරුවෝ ” ගාගෙන සිරික්කිය දාන බොහෝදෙනෙකුට ඔය ධර්මතාවය පොදුයි…. මොකද අද වෙනකන් ඒ ඇත්තන්ට ඒ සංවේදී හිත පහලවෙලා නැති හින්දා මේ කාරණේට ඒ කතාව මැනවින් ඔප්පුවෙනවා….  ඒ හින්දා මේ නිවාඩුව මොකද්ද කියලා මම කියන්නම්…. ” විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය”….

“අල්ලට සිඟාවත් රස නැති කැවිලි                  කකා

තල්කොළ බිම අතුර නිදි නොලැබ දුක්          තකා

කල්ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන්            වකා

ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ                 තකා”

මේ අපි බාලාංශ පන්තියේදී ඉගෙනගන්නා අපූරු කවියක්…. මේ කවිය තරම් අධ්‍යාපනේ වටිනාකම කියාදෙන කවියක් සිංහල සාහිත්‍යයේ නැති තරම්…. මේ කවිය වනපොත් නොකෙරුව , මේ කවිය නොඇසූ කෙනෙක් නැතුව ඇති…. සමහරවිට ඔබ නොදන්නවා ඇති කුඩාකාලයේ මේ කවිය ඇයි ඔබට කියාදෙන්නේ කියලා…. කුඩාකාලයේම ඔබට අධ්‍යාපනයේ ඇති වටිනාකම ඔබට කාන්දුකාරවන්නට තමයි ඒ දේ කරන්නේ…. නමුත් කණගාටුයි කියන්න….. අද මේ කවිය නිකන්ම නිකන් පුස්සක් වෙලා ඉවරයි…. වඩාත්ම කණගාටුව තියෙන්නේ මේ කවි වනපොත් කල ඈයොම තමයි ඒ දේ විනාශ කරලා තියෙන්නේ….

කාටවත් ලෙහෙසියෙන් ලාංකීය විශ්විද්‍යාලයකට ඇතුලුවෙන්න බැහැ…. කවුරුහරි එහෙම කියනවනම් ඒක බොහොම වැරදි අර්ථකතනයක්…. ඒ වෙනුවෙන් කරන්න වෙන කැපකිරීම් බොහොමයි…. සතුට, ප්‍රීතිය, වින්දනය හැම දේම අවුරුදු 2කට අමතකරලා ඒ ගෙවන සමය… සමාන්‍යයෙන් ඒකට කියන්නේ “කට්ට” කියලයි….. ඒ “කට්ට” කාපු ඕනිම කෙනෙක් දන්නවා ඒක තමයි ජීවිතේ දුෂ්කරම කාල පරිච්ඡේදය කියලා…. මෙයින් අදහස් වෙන්නේ නෑ විශ්විද්‍යාලයට නොතේරුන අය ඒ “කට්ට” කෑවේ නෑ කියලා…. එතනදී කන “කට්ටේ ” තරමට අනුව තමයි තේරීමට නොතේරීමට බලපාන්නේ….  

එහෙම විශ්විද්‍යාලවලට ඇතුලුවුනු අපිත් ලේ, මස්, ඇට, නහරවලින් හැදුනු මිනිස්සු….. එහෙම නැතිනම් විශේෂ ග්‍රහලෝකයකින් කඩාපාත්වුණු පිටසක්වල ජීවියෝ නෙමෙයි…. අපිත් ඔය විශ්විද්‍යාලවලට ඇතුලුවෙන්නේ හීන කන්දක් පපුවට තුරුල්කරගෙන…. අපිටත් හැඟීම් තියෙනවා…. දැනීම් තියෙනවා…. කොහෙත්ම උවමනාවක් නැහැ සමාජයෙන් වෙන්ව ජීවත්වෙන්න…. පොළවේ පයගහලා ජීවත්වෙන්නයි අපිටත් ඕනෑ…. රටට සේවයක් කරන්න, යහපත් ජීවිතයක් ගතකරන්න අපිත් කැමතියි…. මේක මේ විශ්විද්‍යාලයට ගිය නොගිය ඕනිම කෙනෙකුට තියෙන බලාපොරොත්තුවක්…. ඒකේ කිසිම අසාමාන්‍යතාවයක් නෑ….

නිල් කොට කලිසමෙන්, සුදු කලිසමට සංක්‍රාන්ති වෙනකොට බොහෝ පාසල සිසුවන්ට අධ්‍යාපනයේ වටිනාකම තේරිලා ඉවරයි…. ඒ නිසා බලවත් තරඟකාරීත්වයක් ඇතිවෙනවා විශ්විද්‍යාල ප්‍රවේශයට…. රට කරවපු අදූරදර්ශී නායකයන් නිසා රටේ හැමෝටම නිදහස් උසස් අධ්‍යාපනය දෙන්න බැරිවෙන හින්ද තමයි මේ තරඟකාරීත්වය ඇතිවෙන්නේ….. මේ නිසා සියලුම අපොස උ.පේ. දරුවන් බලවත් මානසික ආතතියකට පත්වෙනවා….. සටනින් සමහරු පරදිනවා සමහරු දිනනවා…. මේක තමා යථාර්තය…..

විශ්විද්‍යාලයට ඇතුලුවන අයට විතරක් නෙමෙයි හීන තියෙන්නේ…. ඒ අයගේ දෙමව්පියන්ටත්….. අවුරුදු 13 ක් නැත්නම් ඊට වැඩිකාලයක් අමාරුවෙන් මහන්සියෙන් දරුවන් උස්මහත්කල දෙමව්පියන්ගේ ජීවිතේ වැදගත් සංධිස්ථායක් තමයි දරුවන් උසස් අධ්‍යාපනයට ඇතුලුවීම…. මොකද ඔවුන් පැහදිලිවම බලාපොරොත්තුවෙනවා දරුවන්ගේ අනාගතය එයින් බොහෝදුරට සුරක්ෂිතවෙනවා කියලා…. ඒවා ඡන්ද කාලේ මිනිස්සුන්ට දේශපාලුවන් මිනිස්සුන්ට දෙන fantasy හීනවලට වඩා බොහොම අහිංසක හීන…. මොන අම්මයි තාත්තයිද කැමති තමන්ගේ දරුවන් දුක් විඳිනවා බලන්න….. කවුරුහරි එහෙම දෙමව්පියො ඉන්නවා කියනවනම් මට කියන්න තියෙන්නේ උන් ඉපදිලා ඉන්නේ මව්කුසෙන් නොවෙයි කියන එකයි….

විශ්විද්‍යාල ශිෂ්‍යයෝ සරසවිවලට පිවිසි දා ඉඳන් අරගල කරනවා…. බොහෝවිට සමාජයේ ඉන්න පිරිස් දකින්නේ ඒ අරගල කිසිදු පලක් නෑ කියලා…. තවත් සමහරු කියන්නේ ” මුන් ඉගෙන්ගන්නේ අපේ සල්ලිවලින්….. කාලකණ්ණි !!!! ඉගෙනගන්න නැතුව අරගල කරනවා… ” …. මට හිතෙනවා අන්න ඒ ” අපේ සල්ලි ” කියන දේ යොදාගෙන ඔබට මෙන්න මේ දේ පැහදිලි කරන්න…..

ඇත්ත… අපි ඉගෙනගන්නේ ඔබ විසින් රජයට ගෙවන බදුමුදලෙන්….. එහෙමත් නැත්නම් ජාතික අයවැයෙන් වෙන්කරන මුදල් සම්පාදනවලින්…. ඒ නිසා ඇත්තටම් අපි ඔබ සියලුදෙනාට ණයගැතියි… එමෙන්ම එයින් නිසි ප්‍රයෝජන අප ගතයුතුයි… නමුත් ඔබ කිසිදවසක ඔබේ අවධානය යොමුකර තියෙනවද ඔබ මහන්සියෙන් උපයා රටේ අධ්‍යාපනය වෙනුවෙන් යටකරන මුදලට නිසි වටිනාකමක් ලබාදී තිබෙනවද කියලා????…..ඇත්තම උත්තරය නැහැ කියන එකයි….

ඔබේ මුදලෙන් මේ ලබාදෙන අධ්‍යාපනය අද කාලයට ගැලපේද කියා ඔබ සොයා බලා තිබෙනවද???? අවශ්‍යකරන සම්පත් ලබාදී තිබෙදනවාද???? ලෝකය සමඟ තරඟකරන්නට තරම් අපි දැනුමෙන් සවිමත් වී ඇතැයිද ඔබ සොයා බලා තිබෙනවද???? මා දකින විදිහට ඔබලා කිසිම කෙනෙක් මේ දේවල් කිසිදාකවත් සොයා බලා නැති බවයි… ඒ වෙනුවෙන් අරගල කරන සරසවි සිසුන් ත්‍රස්තවාදින්. කුමන්ත්‍රණකරුවන් ලෙස ඔබ හංවඩුගසන්නේ ඒ නිසාය….

ඔබ නොදන්නවා වෙන්න පුලුවන්…. සරසවිවල විද්‍යාගාරවල අඩුපාඩුකම් සපුරගන්න ශිෂ්‍යයන් විවිධ ආධාර වැඩසටහන් සංවිධානය කරනවා…. ඒ හරහා එන මුදල්වලින් විද්‍යාගාරවල අඩු ලුහුඬුකම් සපුරගන්නවා…. නමුත් අවාසනාවට මාධ්‍ය මඟින් ඒවාට ලැබෙන ප්‍රචාරණය හරිම අඩුයි…. කොටින්ම නැති තරම්….  ඒකට හේතුව තමයි සමාජය බලන් ඉන්නේ සරසවි සිසුන්ගේ වැරද්දක් හොයාගන්නයි…. හොඳ දෙයකට කිසිම business marketing value එකක් නෑ…. උද්ඝෝෂණයක්. සත්‍යග්‍රහයක්, ගැටුමක් නම් එතනට ලෝකේ තියෙන ඔක්කම කැමරා, මයික්‍රෆෝන focus වේවි… සමහරවිට Breaking News එකකුත් දේවී…. නමුත් හොඳ වැඩකට මාධ්‍ය අනුග්‍රහය ගන්න ගියාම ඒක ඉබ්බගෙන් පිහාටු ගන්නවටත් වඩා අමාරුයි… රටේ ජනතාව මේවා දන්නේ නෑ…. ඉතින් හැමදාම් සරසවි සිසුවා කුමන්ත්‍රණකාරයෙක් නැතින්ම ජාතික ද්‍රෝහියෙක් විදිහට හංවඩු ගැහෙනවා….

ඔබට හැකිනම් සරසවියකට ගිහින් බලන්න බනින්න පෙර…. විද්‍යාගාර බහුතරයක තියෙන්නේ කැඩී ගිය භාණ්ඩ…. සමහරවෙලාවට සියලු වසරවල් වල ශිෂ්‍යයන්ට භාවිතාකරන්න තියෙනනේ එක උපකරණයයි…… ඒ නිසා ඒ උපකරණ අසල තියෙන්නේ දිගු පෝලිම්…. අවම වශයෙන් වැසිකිලියක්වත් හරියට තියෙනවද කියල වතුර නොඋතුරන…. සමහර ඉහල මහල්වල බිමට අතුරා ඇති ලී දිරාපත් වෙලා… බිත්ති පුපුරලා….. ඒ නිසා කටට එන හැමදේම පිටකරනවට වඩා මේවා සියැසින්ම දැකගත්තොත් හොඳයි…. 

දේශපාලකයින් ගොඩක් වෙලාවට කියන්නේ සරසවි තුළ දේශපාලනය තිබීම නිසා ලු මේ ප්‍රශ්න…. මෙන්න මේ ආකල්පේ මිනිස්සුන්ගේ ඔලුවට දාලා සරසවි සිසුවා ත්‍රස්තවාදියෙක් කියන වැරදි චිත්‍රය මිනිසුන්ගේ ඔලුවේ නිර්මාණය කරනවා… නමුත් මට තියෙන්නේ එක ප්‍රශ්ණයයි…. දේශපාලන විද්‍යාව උගන්වන සරසවියෙන් කොහමද දේශපාලනය අතුගාලා දාන්නේ කියන එකයි…. පුස්ථකාලයේ වෙනම අංශ කිහිපයක් දේශපාලනය හා බැඳුණු දේවල්වල පත පොතට වෙන්වී තියෙනවා…. විෂයන් පිළිබඳ සංවාදාත්මක වාදයක් ඇතිවෙන හොඳම තැන සරසවිය…. වෙලඳපොලක ගිහින් මේ සංවාදය ඇතිකරන්න බැහැ….  අනික ලෝක දේශපාලනයේ ආරම්භය අරන් බැලුවත් සිදුවෙලා තියෙන්නේ සරසවියෙන්…. දේශපාලන මූලධර්ම බිහිවෙලා තියෙන්නේ සරසවියෙන්….. ඔය අදහස ඉදිරිපත්කරන අපේ ජනතා නියෝජිතයෝ දිහා බැලුවාම පෙන්නේ ඒ අය ඇවිත් තියෙන්නේ දේශපාලන කරලියට මුදල් හා මැර බලයෙන් මිස නිවැරදි දේශපාලන චින්තනයකින් නොවෙන බවයි….  අවම වශයෙන්  දේශපාලන විෂය පිළිබඳව ඔවුන්ට අවම අවබෝධයක් නෑ…

නමුත් ජනතාව නොදන්න අපූරු කාරණයක් තියෙනවා… රටේ ප්‍රධාන පක්ෂ සියල්ලටම සරසවි තුළ දේශපාලන කණ්ඩායම් ඉන්නවා…. ඔය පිටට පේන කතන්දර නෙමෙයි ඇත්තටම තියෙන්නේ… මැතිවරණයක් කිට්ටු වෙනකොට ඔය සිසු කණ්ඩා‍යම් කැඳවලා සංග්‍රහ පවත්වලා මැතිවරණවලට් උපරිම දායකත්වය ගන්න දේශපාලන පක්ෂ කටයුතුකරනවා….. දේශපාලනය සරසවියෙන් අතුගාලා දාන්න කියන අයම තමයි ඕවයේ මුලසුන් දරන්නෙත්…. ඒක නිසා බොරු දේවල් රටට මවා පාන දේශපාලකයන්ට වඩා සරසවි ශිෂ්‍යයා සාධාරණයි… මොකද පිටින් එකක් ඇතුලින් එකක් කරන සිල්ලර game  සරසවි ශිෂ්‍යයාට නැති නිසා…. 

රටට සේවයක් කරන්නයි අපිට ඕනි…. නමුත් ඇත්තම කිව්වොත් කාරණා මේ විදිහට සිද්ධවෙනකොට රට අත් හැරලා බොහෝ දෙනෙක් යන එක පුදුමයක් නෙමෙයි….. මේ ඉගෙනගන්න අධ්‍යාපනය මේ ශතවර්ෂයේ අභියෝග එක්ක පෑහෙන්නේ නෑ…. ඇත්තටම Lipton  වටරවුම ගාවා රැකියා විරහිත උපාධිධාරීන් ගොඩගැහෙන්නේ මේ හින්දයි….  මේ දේ මෙච්චර කාලෙකට රට කරවපු අයට නොතේරුණු එකයි පුදුමය…. එක අතකින් පුදුම වෙන්න දෙයක් නෑ…. මොකද උගතුන්, බුද්ධිමතුන් බිහි නොවෙන තරමට රට කරවන එක හරි ලේසියි…..

රටේ ඇමතිවරු, ඒ අයගේ වන්දිබට්ටයෝ ලක්ෂ ගණන් අල්ලස් ගද්දී, වංචාකරද්දී, පණ නැති කොන්ක්‍රීට් කණුවලට  හයියෙන් යන්න highway හදන්න කෝටි ගණන් මුදල් යටකරද්දී…. ඇයි අධ්‍යාපනය කියන දේට වැඩි මුදලක් ආයෝජනය කරන්න බැරි????… ” තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා”….. මේකයි අධ්‍යාපනයේ වටිනාකම…. අනික් සියලුදේවල් තාවකාලිකයි… නමුත් කෙනෙකුට ලබාදෙන විධිමත් අධ්‍යාපනය කිසිදාක අපතේ යන්නේ නෑ නිසි වැඩපිලිවෙලක් නැත්නම්….

අද වෙනකොට එක පැත්තකින් Z-Score ප්‍රශ්නයක් නිසා අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී හිටපු අපේ නංගිලා මල්ලිලා බලවත් මානසික ආතතියකට ලක්වෙලා…. මේ පාර අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රශ්නපත්‍ර තාම සමීක්ෂණයට ලක් කරලා නෑ….. විශ්වවිද්‍යාල මට්ටමේ බලවත් ගැටලුවක් මතුවෙලා…. සමහරවිට ඔබ නොදන්නවා වෙන්න පුලුවන් මේවායේ අනිසි විපාක….සමහරවිට සරල ගැටලුවක් විදිහට දකින්න පුලුවන්.. ඒ හින්දා මා කැමතියි මේවයේ ප්‍රතිපල ගැන මඳක් ඔබට කියන්න….

මේ හරහා පෙනියනවා අනාගත බලවත් රැකියා අර්බුදයක්…. ලිප්ටන් වටරවුමට නිවනක් නැතිවෙයි…..ඒ වගේම රටේ ඉදිරි ගමනට බාධාවක්…. ඕනිම රටක ජවය නැත්නම් spirit එක රටේ යෞවන යෞවනියන්…. ඔවුන්ට තම උපරිම දායකත්වය රටේ ආර්ථිකයට දෙන්න පුලුවන් ඒ කාලේදී…. ඊළඟට මා දකිනව රටේ උගත් පරපුර රට අත්හැරයාමේ ප්‍රවණතාවයක්…. ඒ කියන්නේ තවත් විදිහකට උග්‍ර බුද්ධි හා ශ්‍රම ගලනයක්…. මෙය රටක පැවත්මකට කොතරම් දුරට බලපානවද කියන එක මා විස්තර කරන්න යන්නේ නෑ… මා හිතනවා ඔබට ඒ දේ තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙනවා කියලා….

විදෙස් ගතව අධ්‍යාපනය ලබන්නට බොහෝදෙනා උත්සහ දැරුවොත් එයින් සිද්ධවෙන්නේ රtei මුදල් වෙනත් රටක සාක්කුවට බැරවීම්ක්…. එවිට කිසිදු සංවර්ධන  ඉලක්කයකට ලඟාවෙන්න රටට බැරිවේවී… අනික එහෙම ඉගෙනගන්න හැමෝම තමන්ගේ ශ්‍රමය තම මව් රටට ලබාදේවිද???…. එහෙම යන බොහෝදෙනා ඒ රටේම පුරවැසිකම ලබාගන්නවා… ඔවුන් වැරදි නෑ…. මොකද මේ රටේ සුදුස්සාට නිසි තැනක් දෙන්නේ නෑ….. අර තරම් මුදල් වියදම් කරන් යන මිනිස්සු ආයේ ඒවිද මෙහේ දුක් විඳින්න….. මිනිස්සු වෙන අපි කාටත් ඕනෑ සුවපහසු ජීවිතයක් ගතකරන්න… මොකද අපි කවුරුත් තාම මේ ලෞකික ලෝකයේ කොටස්කාරයෝ….

මේ වසරේ බහුතර සිසු සිසුවියන් පිරිසක් සරසවියට ගන්නා නිසා නිසැකවම අධ්‍යාපනයට වෙන්කලයුතු මුදල් සම්පාදන වැඩිකල යුතුමයි…. දැනට විශ්විද්‍යාලවල සිසු සිසුවියන් අධ්‍යාපනය ලබන්නේ බලවත් බාධක හමුවේ…. ඒ නිසා මුදල් වෙන්නොකලහොත් බලවත් ගැටලු රැසක් පැන නැඟීම නවත්වන්න බෑ…..  විශේෂයෙන්ම විද්‍යාගාර, නේවාසිකාගාර, සනීපාරක්ෂක, පුස්ථකාල, දේශන ශාලා පහසුකම් ඉහල නංවන්න වෙනවා…. ජනතාව ගෙවන බදු මුදලට නිසි වටිනාකමක් රටට අරන් දෙන්නටනම්  ඒ දේ කලයුතුමයි…. මොකද එහෙම නොවුනොත් අපතේ යන්නේ ඒ අයගේ දහඩිය මහන්සිය විතරක් නෙමෙයි…. රටේ අනාගතෙත් අඳුරට යනවා…. එදාට ” We Are Srilankan”  T- shirt ඇඳන් හිටියට වැඩක් නැති වෙයි…

සරසවි අර්බුදය දිහා පාට කණ්ණාඩිවලින් බලන්නෙපා…. ඔය සරසවිවල ඉන්නේ එක පක්ෂෙකට අයත් සිසුන් නෙමෙයි…. හැම පක්ෂ‍යකටම අයත් සිසුන් ඉන්නවා…. වඩා වැදගත් වෙන්නේ ඒ අයට හෙට දවසට ඔබින විදිහට අධ්‍යාපන ක්‍රමවේදයක් හා පැහැදිලි අනාගතයක් හදලා දෙන එකයි…. ඒ දෙයින් රටට නිසි ප්‍රතිලාභයක් ලැබෙනවා…. කවුරුහරි කියනවනම් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභයක් නෑ කියලා…. ඒක අමූලික බොරුවක්…. අධ්‍යාපනය කියන්නේ හොඳම ආයෝජනයක්… මේවයේ ප්‍රතිපල දීර්ඝකාලීනයි…. තාර පාරවල්වලට, කොන්ක්‍රීට් කණුවලට මුදල් යටකරනවට වඩා බොහොම වටිනවා…. නමුත් ඒ මුදල් යටකරනකොට ලෝකය  සමඟ ඉදිරියට යන්න පුලුවන් අධ්‍යාපන රටාවක් නිර්මාණය කරන්න ඕනි..  මේ ගිරා අධ්‍යාපන රටාව හා විභාග රටාව රටට තවදුරටත් සුදුසුදැයි සිතා බැලිය යුතුයි… ඒ වගේම රටේ බහුතරයකට උසස් අධ්‍යාපනයට ඇතුලුවෙන්නට දොරටු විවෘත කරන්න ඕනි….. අන්න ඒකයි දළ ජාතික නිෂ්පාදන්යෙන් වැඩි කොටසක් අධ්‍යාපනයට වෙන්කරන්න කියන්නේ…. සාගින්නෙන් පෙලෙන දහස් ගණන් රෝගවලින් මියැදෙන ඉතියෝපියාවටත් අධ්‍යාපනයට  වැඩි ප්‍රතිශතයක් ( අපේ රටේ ප්‍රතිශතයට වඩා) දළ ජාතික නිෂ්පාදනයෙන් වෙන්කරන්න පුලුවන්නම් සාමය තියෙන මේ නිවහල් රටේ ඒක කරන්න බැරි ඇයි….  මේක විහිලුවක් නෙමෙයි….

සරසවි ආචාර්යවරුන් කියන්නේ දේශද්‍රොහී පිරිසක් නෙමෙයි…. ලෝකයත් එක්ක සසඳල බැලුවොත් ඔවුන්ගේ සේවය නිසි පරිදි ඇගයීමකට ලක්කරලා නෑ…. ඔබ සමහරවිට නොදන්නවා ඇති… සරසවිවල ආචාර්යවරුන් සිටිනවා දුප්පත් සිසුන්ට තමන්ගේ වේතනයෙන් උදව් උපකාර කරන…. එහෙම කරන්නේ මහ පොළ ප්‍රමාණවත් නැති නිසා සිසුන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන්යන්න තරම් අද තියෙන ආර්ථික තත්වය අනුව….  අද ආචාර්යවරුන්ට මඩ ගහන ඇතැම් දේශපාලකයින්ට එවැනි කාරුණික සිතක් පහළවෙන්නේ මැතිවරණ සමයෙදී පමණයි….  ජනතාව නොදන්න දේවල් මේවා…. ඒ හින්දා නිස්කාරණේ මිනිස්සුන්ට බැනලා පව් පුරෝගන්නෙපා….

මේ අර්බුදය බලවත් අර්බුදයක්… උගසට තියන් ඉන්නේ අපේ හීන…. මිනිස්සුන්ගේ හීනත් එක්ක , බලාපොරොත්තු එක්ක සෙල්ලම් කරන එක විහිලුවක්වත් හාස්‍යයට කාරණයක්වත් නෙමෙයි… බොළඳ ප්‍රේම කතාවක මල් ගස් වටේ දුවන හීනවලට වඩා ප්‍රබලයි…. ඒකට හේතුව මේ හීනවල තියෙන්නේ අපේ අනාගතය නිසා…. කොටින්ම කිව්වොත් මේක බලවත් අසහනයක් අපිට දැන්….. ඇතැම්විට ඔබට නොතේරෙන්න පුලුවන්…. නමුත් මෙතනට එන්න විඳපු දුක්වල හැටියට අපිට දැන් තියෙන්නේ බලවත් කලකිරීමක් අපි ගැනම….. මාධ්‍යවලට රසබර taste තියෙන markeing කතන්දරයක් වුනත් මේ සෙල්ලම් කරන්නේ අපේ ජීවිතත් එක්ක….. ගොඩක් දෙනෙකුට  ඒක තේරෙන්නේ නෑ…..

අපිට අවශ්‍ය උපාධිය අවසන්කර අපේ හීන සැබෑ කරගෙන දෙමව්පියන්ගෙත් හීන සැබෑ කරන්නයි…. රටට සේවයක් කරන්නයි… ඒ නිසා මේ ගැටලු විසඳන්න බැරි ගැටලු නෙමෙයි…. සරසවි ඇඳුරන්ට නිසි පිලිගැනීමක් දීලා, අධ්‍යාපනයට එවැනි ධන්ස්කන්දයක් ආයොජනය කලා කියලා අපතේ යන්නේ නෑ…. තාර පාරවල්, කොන්ක්‍රීට් කනුවලට මුදල් යටකරනවට වඩා වටිනවා…

සමාජවාදී ආර්ථික රටාව ගත්තත්, ධනේශ්වර ආර්ථික රටාව ගත්තත් අධ්‍යාපනය කියන්නේ සුවිශේෂී අංගයක් ඒ ආර්ථික රටාව ඇතුලේ…. සමාජවිද්‍යා විශේෂඥයින් බහුතරයකගේ නිගමනය වන්නේ අධ්‍යාපනය කියන්නේ රටක කොඳුනාරටිය කියලයි….. ඒ කියන්නේ රටේ යුක්තිය, නීතිය, ආර්ථිකය කියන ප්‍රධාන බලකණු තුනේම අත්තිවාරම අධ්‍යාපනය කියන එකයි…. දැන් වරදවා තෙරුම් ගන්න එපා සමාජවිද්‍යා විශේෂඥයින් කියන්නේ සමාජවාදියෝ හෝ විපලවවාදියෝ කියලා… සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සු හරි ලෙහෙසියෙන් කෙනෙකුට ලේබල් එකක් ගහන්න රුසියෝ…. ඒ හින්දයි එහෙම කිව්වේ….

සමහරවිට ඔබේ කවුරුත් මේ ප්‍රශ්නයෙන් බැට කන්නේ නැතිව ඇති…. නමුත් අමතක කරන්නෙපා හෙට දවසේ ඔබේ කවුරු හෝ මෙයට ගොඳුරුවිය හැකිය… ඇතැම්විට ඒ ඔබේ නංගී මල්ලී විය හැකිය…. එහෙමත් නැත්නම් ඔබේම දරුවෙක් වෙන්න පුලුවන්….. ඒ නිසා අද දවසේ මේ ගැටලුව අවඥාසහගතව ප්‍රතික්ෂේප කිරීමෙන් අනාගතයේ ඔබට දුක් වන්නට සිදුවෙන්න පුලුවන්….

ආවට ගියාට අධ්‍යාපනයක් දීලා වැඩක් නෑ…. ලෝකයත් එක්ක ඉදිරියට යන අධ්‍යාපනයක් දෙන්න ඕනෑ…. තවමත් ශ්‍රී ලාංකීය සරසවිවල තිබෙන්නෙ යල් පැන ගිය අධ්‍යාපන නිර්දේශයක්…. ඒ නිසයි සරසවි ඇඳුරන් ඉල්ලන්නේ ඒ නිර්දේශයේ වෙනසක් ඇති කළයුතු වගත් ඒ සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා ගත යුතු වගත්…. තමන්ගේ රාජකාරියවත් නිසි පරිදි කරගන්න බැරි ජනතා නියෝජිතයින් කොහම්ඩ රටක උසස් අධ්‍යාපන විෂය නිර්දේශයක් වෙනස් කිරීම වැනි දේ ගැන තීන්දු තීරණ ගන්නේ නිසි අවබෝධයක් නැතිව ඒ ගැන…. මොකද මේක රටේ අනාගතය හා බද්ධ වෙන කාරණයක්….  පුද්ගලිකව මා සිතන්නේ පාසල් අධ්‍යාපනයේ සිට මේ වෙනස ඇතිකලයුතු වගයි…. එය එක සැරේ කරන්න බැහැ… ඒක කලයුත්තේ පියවරෙන් පියවර නමුත් ඉක්මනින්…. ඒ බව ආචාර්යවරුත් කියාසිටිනවා….. අනික පර්යේෂණ ආදිය කිරීමට බොහෝ පිරිවැයක් දරන්න වෙනවා… ඒ දේවල් නොකර රටේ ආර්ථිකයට  ඉදිරියට යන්න සෑහෙන්න අමාරුයි…. ලෝකයේ දියුණුවූ රටවල් ඉදිරියට ගියේ පර්යේෂණවලින් ලැබූ ප්‍රතිඵලත් එක්ක….. ඒක ලෝක ඉතිහාසය අධ්‍යයනය කල ඕනෑම කෙනෙකුට පෙනෙන පැහැදිලි කාරණයක්…. පරමාණු බෝම්බයෙන් බැට කා ෆීනික්ස් පක්ශියෙකුසේ නැගිට්ට ජපානයේ දියුණුවේ එක රහසක් එය…

හෙට දවසේ අනාගතයක් පැහැදිලි නැතිව අඳුරේ අතපත ගාන්නට සිදුවීම බලවත් කණගාටුවක්…. ඊටත් වඩා බලවත් කලකිරීමක්….. අප දෑස් ඉදිරියේ දියවෙන්නේ අපගේ සිහිනයි…. මෙතෙක් කල් කටට හා අදහස්වලට මුකවාඩ්ම දාගෙන හිටියේ මේ ප්‍රශ්නය මෙතරම් ඔඩු දුවයි යන සැකය නොතිබුන හින්දයි…. නමුත් තවදුරටත් නිදහස් අධ්‍යාපනය ලැබූ නිවට මිනිසෙක් සේ මුකවාඩම් බැඳගෙන සිටිය නොහැකි නිසා මගේ අදහස් විශ්විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස ඉදිරිපත්කලේ…. මෙය හුදෙක් මාගේ ස්වාධීන දැක්මයි… කිසිදු දේශපාලන න්‍යාය පත්‍රයක් මෙහි නැත…..

කොහමත් මේ රටේ බහුතරයකට නිදහස් අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නේ නැති විත්තිය ඉතිහාසය පවා පෙන්වා දී තිබෙනවා…. නිදහස් අධ්‍යාපනය මෙරටට හඳුන්වාදුන්  C.W.W.කන්නන්ගර මැතිතුමා ඊළඟ මැතිවරණයේදී පරාජයට පත්වුනා…. අද වුනත් මේ බරපතල අර්බුදයේදී ඇතැමුන් හැසිරෙන පිළිවෙල දැක්කාම ජුගුප්සාජනකයි…. එවිට ඇතිවන්නේ මේ රටේ මිනිසුන් ගැන බලවත් කලකිරීමක්…. එක නිවහල් රටක් තනාගන්න එකට එක්ව කටයුතු කල අපේම සහෝදර සහෝදරියන් වැඩිහිටියන් දේශපාලකයින්ගේ අතකොලු බවට පත්වීම සැබැවින්ම කණගාටුවට කාරණයක්….

මේ රටේ තියෙන්නේ නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයක්…. නියෝජිතයෝ පත්කරගන්නේ ඔබමයි… ඒවගේම රටෙ සංවර්ධනයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සොයාදෙන්නෙත් ඔබමයි…. ඒ නිසා ඔබට පරම අයිතියක් තියෙනවා සොයා බලන්න ඔබ වෙහෙස මහන්සිවී උපයා දෙන ඒ මුදල්වලට නිසි වටිනාකමක් ලැබෙනවද කියලා…. එයින් රටට සෙතක් වෙනවද, හෙටක් හැදෙනවාද කියලා….. රටට ආදරේ කරනවා කියන්නේ එකයි…. එහෙම නැතුව සිංහ ධජයකුයි, ” We Are Srilankan” T- shirt එකකුයි cricket match  බලන්න ඇඳලා ගිහින් හති වැටෙනතුරු නටන එක නෙමෙයි….

මේ සමස්ත ලිපියේම ගැබ්වෙලා තියෙන්නේ මෙතෙක් කල් මුකවාඩම් පැළඳගෙන උන්නු මගේ හැඟීම්… මීටත් වඩා හැඟීම් තිබ්බත් ඒවා වචනවලට පෙරලන්න අමාරුයි…. මේ ලිපියෙන් කිසිදු නිශ්චිත පුද්ගල්යෙකුට ප්‍රහාර එල්ලකරලා නෑ…. මේ ලිපිය අර්බුදය හා සාපේක්ෂව ගත්තම බොහෝම තනුක ලිපියක්…. අපිට රජය පෙරලන්නවත් රට විනාශකරන්නවත් උවම්නා නෑ…. නමුත් සමාජය කිසියම් දැනුවත් කිරීමකට ලක් කිරීමක් කල යුතුයි…. අවසානයේ කිව යුතුයි මේ දේ…..

” අපි සටන් කරන්නේ… අපේ අහිංසක හීන වෙනුවෙන්….. “

තිරසබැඳිය අකලට දියවෙන අහිංසක හීන – සරසවි සිසුවෙකුගේ දෑසින්….හි ප්‍රතිචාර වසා ඇත.

යෞවනයේ මේ සගයා… අපෙන් එකෙකි මේ මිනිසා…

අප්‍රේල් 22, 2012 at ප.ව. 2:32 (ජීවිතය පුරාවට දැනෙවී..., සමාජ ඇසෙන් කතාවක්...) (, , , , , , , , , , , , , , , , )

” යෞවනයේ… මේ සගයා… අපෙන් එකෙකි… මේ මිනිසා… මේ මිනිසා… “

මේ බක් මහේ මගේ නිවාඩු සමය අවසන්වන්නට ඇත්තේ තව දිනයයි… ඊට පස්සේ ආයෙමත් කාර්යබහුල ජීවිතයක ඇරඹුමක්…. බොහෝවිට බක් මහේ මා අතින් ලියවෙන අවසන් ලිපිය මේ වේවී… එවන් පසුබිමක් යටතේ මෙවැනි මානුෂීය, සැබැවින්ම සංවේදී වූ ලිපියක් ලියන්නට ලැබීම ඇත්තෙන්ම මා ලද භාග්‍යයක්… ඒවගේම මේ ලිපිය මා අතින් මෙතෙක් කල් රචනා වූ ලිපිවලට වඩා සැබවින්ම මගේ හිතට බොහෝමත්ම සමීපවූ ලිපියක් කියන දේත් මෙහිම සඳහන් කරන්නට කැමතියි… මේ ලිපියට දාලා තියෙන මාතෘකාව ඔබට මට අපි හැමෝටම හුරුපුරුදු වචන පෙළක්…. දන්නේ නෑ දැනටත් කීදෙන්කුට ඒ වචන පෙළ මතකද කියලත්… මතක අය දන්නවා ඇති මේ ලියන්න යන මාතෘකාව ගැන හොඳින්… ඒ නිසා වැඩි අටුවා ටීකා නැතිව මාතෘකාවට අදාළ ඒ සංවේදී කාරණා ගැන මට හැඟුනු දේ ගැන ඔබට කියන්නට මම සුදානම්…

Sri Lanka Saukyadana Movement (SLSM) – Special Task Unit සංවිධානය විසින් සංවිධානය කල පුණ්‍යකර්මයකට අහම්බයෙන් සම්බන්ධවන්නට ලැබුණා මටත් ගිටාර් වාදකයෙක් විදිහට මිතුරෙකුගේ හා මිතුරියකගේ මැදිහත්වීඑමක් ප්‍රයත්නයකින්…. ඒ දේ භාරගන්න ඉස්සෙල්ලම තරමක් අදි මදි කලටහ් කාර්යබහුල ජීවිතේ ඇතුලේ අවසානයේදී මට ඒ දේ භාරගන්න හිතුණා… එහෙම හිතුන එක කොතරම් හොඳද කියල හිතෙන්නේ දැන් තමයි… ඒ නිසා මුලින්ම අර ආරාධනාව කල මිතුරියටත්, මිතුරාටත් මගේ ප්‍රණාමය පුද කරන්න කැමතියි….නැත්නම් ඒක ලොකු අඩුවක් විදිහටයි මා දකින්නේ… දිනය 2012.04.20 වෙනිදා… උදේ 7.45 ට වගේ කොළඹ විශ්වවිද්‍යාලයේන් ගමන් ආරම්භකළ පුණ්‍යකර්මය සඳහා අවශ්‍ය කළමණාද රැගත් බස් රථයක නැග අපි රාගම බලා පිටත්වුණා…. බස් රථය ඉතින් රාගමට ළඟාවෙනකන් සංගීතයෙන් කවට කතාවලින් පිරී තිබුණ ආ කියන දේ අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ… සංගීත භාණ්ඩත් අතේ තියාගෙන නිහඬව යන්නේ නැහැනේ කවුරුවත්…. එහෙම වුණානම් ඒක ලෝක පුදුමයක්… ඉතින් ඒ ධර්මතාවය අපේ කට්ටියටත් පොදුයි… හැබැයි අපේ ගමනාන්තය කිට්ටුවෙනකොට මුළු බස් රථයම නිහඬ වුණා…. ඒකය හේතුවා මේ ලිපිය කියවගෙන යනකොට ඔබට තේරේවී…

අපේ ගමනාන්තය වුනේ රාගම පිහිටි “රණවිරු සෙවණ” භූමියයි… රමණීය පරිසරයක ඉදිකර ඇති අලංකාර ගොඩනැඟිලිවලින් සම්න්විතයි…. නමුත් ඒ ගොඩනැඟිලි තුල සිටින මිනිසුන්ට තියෙන්නේ එච්චර ලස්සන ජීවිතයක් නෙමෙයි…. ඒත් ඒ අය කල ඒ කැපකිරීම නිසා අපේ මිනිසුන්ට අද සැබෑ නිදහස් අත්විඳින්න හැකියාව ලැබිලා තියෙන්නේ…. එක අතකින් ලෝකෙත් ඇත්තටම අසාධාරණයි… හේතුව තමයි කෙනෙක් සතුටු වෙනකොට තවත් කෙනෙකුට දුකක් හිමිවෙලා… නමුත් ලෝක ධර්මතාවය මෙයයි… ඒකට මුහුණදෙන්න වෙනවා කැමත්තෙන් හෝ අකමැත්තෙන්…. අවශ්‍ය දේවල් හොඳින් සුදානම් කරගත්තාට පස්සේ අපි වාට්ටුවලට ගමන් කලා… සංවේදී, මානුෂීය එමෙන්ම ඇහට කඳුළු උනන කතාව ආරම්භවන්නේ එතැනින්…. අපි වාට්ටුවකට ඇතුළුවුණා…. එහි හිටියා අපිට වඩා ඔනිනම් අවුරුදු 3ක් 4ක් වැඩි තරුණයෝ පිරිසක්…. ඒත් ඔවුන් හා අපි අතර වෙනසක් තිබුණා… එතැන හිටපු සමහරුන්ට අත් පා අහිමි වෙලා තිබුනා… සමහරුන්ට ඇස් අහිමි වෙලා තිබුණා… තවත් සමහරුන්ට දෙපා අහිමි වෙලා තිබ්බා… සමහර අයට හිසට හානිවෙලා තිබුණා… සමහරුන්ට වාරු නැහැ…. සමහරුන්ට නැඟිටගන්නවත් පණ නැහැ කාගෙවත් වාරුවක් නැතිව… සමහරුන්ගේ හිසට ඇතිවුනු බරපතල හානි නිසා ඔවුන්ගේ හැසිරීම් රටාව පොඩි දරුවන්ට සමානයි…. මේ දේවල් මේ විනෝද වෙන්න ගිහින් ඇතිවුනු ඒවා නෙමෙයි…. ඒ තමා රට වෙනුවෙන් කල සැබෑ ජීවිත පරිත්‍යාග… වේදිකාවල බෙරිහන්දෙන කාඩ්බෝඩ් වීරයන් නෙමෙයි මේ තමා සැබෑ වීරයින්…. IPL ගිහින් මුදලට Cricket ගහන කොන්ඩේ පාටකරපු , තරුණ සවිබල ඇත්තන්ට අපි හුරේ දැම්මට මොකද ඒ හුරේ ලැබිය යුත්තේ මේ අයයි…. ඒ අතින් බලනකොට අපි මොනවද රට වෙනුවෙන් කරල තියෙන්නේ…. මේ කැපවීම් එක්ක බැලුවාම අපි රටට සාපේක්ෂව නිකන්ම නිකන් බොල් වී ගොඩක්… මට හිතුණේ එහෙමයි…. ඒ අහිංසක කෙළිලොල් ජීවිත කුරිරු යුද්ධය ඒ අයගෙන් උදුරාගෙන තිබ්බා….

යුද්ධයේ භයානක කම ඒ අයට සිද්ධවෙලා තියෙන දේවල් දැක්කාම හිතාගන්න පුලුවන්…. අද අපි හැමෝටම යුද්ධය ජයග්‍රහණය කලා කියලා පුරසාරම් දොඩන්න පුලුවන්… ඒත් ඒ සඳහා මේ මිනිසුන් කල උදාරතර කැපවීම ගැන කතාකරන්නේ කීයෙන් කීදෙනාද… අද මේ ජයග්‍රහණය එක් එක් පුද්ගලයා තමන්ගේ ගිණුම්වලට බැරකරගෙන වෙනත් වාසි ලබාගන්න හදනවා මිසක් මේ කැපවීම් ගැන කිසිම සඳහනක් කරන්නේ නැහැ…. දුක ඒකයි… සමහරුන්ගේ ඇස්, නිකට, ගෙල ප්‍රදේශවල වෙඩි උන්ඩවල සලකුනු තිබ්බා…. සමහරුන්ට දරුණු sniper ප්‍රහාර එල්ලවෙලා තිබ්බා… සමහරු ජීවිතයත් මරණයත් එක්ක සටන් කරලා ආයේ මේ ලොකේ හිරු එලි‍ය දකින්න තරම වාසනාවන්ත වෙල තිබ්බා…. නමුත් ඒ ජීවිතවලින් කිසියම් දෙයක් උදුරාගන්නට මේ කුරිරු යුද්ධය දරුණුවෙලා තිබ්බා… සමහරුන්ට මුළු ජීවිත කාලය පුරාවටම ඇඳක් උඩ ඉන්නට තරම් ඒ දේවල් දරුණුවෙලා තිබ්බා…. සමහරුන්ට රෝද පුටුවකින් විතරයි එහේ මෙහේ යන්න පුළුවන්… ඇත්තටම හිතට බොහොම හැඟීමක් දනවන දර්ශනයක් ඒක… අපිව දැක්කාම එහි හිටපු ගොඩක් අය සතුටු වුණා…. ඒක ඒ අයගේ මුහුණෙන් අපිට පෙනුණා… ඉඩෝර සමයක වැටුන මල් වැහි පොඳක් දිහා බලන් ඉන්න තරමින් සතුටකින් අපි දිහා ඒ අය බලාසිටියා… ඇත්තටම ඒක නෙතට කඳුලු උනන දර්ශනයක්… මට හැඟුනේ එක දෙයයි…. ඒ තමා මේ ” මනුෂ්‍යත්වය” කියන එකයි….

අපි ඔවුන් සමඟ ගී ගයා විනෝද වුණා… නටන්නට දෙපයට වාරු නැත්තත් ඔවුන් ඒ මොහොතේ ගොඩක් විනෝදයෙන උන්නා… සමහරු අබාධත් එක්ක සොඳුරු රංගනයක යෙදුනා…. සමහරු බොහෝ ලස්සන ගී ගැ‍යුවා…. සමහරු අපේ අත්වලින් අල්ලගෙන කතා කලා…. සමහරු ඇඬුවා…අපි ඔවුන් සමඟ ගී ගයා විනෝද වුණා… නටන්නට දෙපයට වාරු නැත්තත් ඔවුන් ඒ මොහොතේ ගොඩක් විනෝදයෙන උන්නා… සමහරු ආබාධත් එක්ක සොඳුරු රංගනයක යෙදුනා…. සමහරු බොහෝ ලස්සන ගී ගැ‍යුවා…. සමහරු අපේ අත්වලින් අල්ලගෙන කතා කලා…. සමහරු ඇඬුවා… ඒ ගලාගියේ මොන හැඟීම්වලට අයත් කඳුලුද කියල විග්‍රහකරන්න තරම් මම දක්ෂ නෑ…. ඒත් මට හිතෙනවා ඒ කඳුළුවල සතුට, දුක, තනිකම, පාළුව, සන්තාපය කියන හැම මානුෂීය කාරණයක්ම මුසුවෙලා තිබුණා කියලා…. සමහරු නෙතින් හැඬුවේ නෑ…. නමුත් ඔවුන්ගේ දෑස් තුළින් මා දුටුවේ වැලපෙන සිතයි…. මේ කාරණේ කියන්න මට එවෙලේ ඉඳන්ම හිතුණා….

ඡන්දේ කාලේ වේදිකාවල හැම පක්ෂයකම මිනිස්සු කඹ ඇඳගන්නවා යුද ජයග්‍රහණයේ උරුමය ලබාගන්න… ඒකට නොගහන මඩක් නෑ…. නොගහන් දහන් ගැටයක් නෑ… නමුත් අපි මේ රණවිරු සෙවණේ හිටපු ඒ හෝරා කීපයේ කිසිම කෙනෙක් කිව්වේ නෑ ඔවුන් නිසා යුද්ධය ජයග්‍රහණය කලා කියලා… මට මේ උදාරතර මිනිස්සු ගැන දැනෙන්නේ පුදුම අභිමානයක්…. ඒත් එක්කම මට දැනෙනවා වේදිකාවල බෙරිහන් දෙන ඈයෝ ගැන පුදුම පිළිකුලක්…. ඇත්තටම හැම පක්ෂයටම අදාළ එවැනි කාඩ්බෝඩ් වීරයන් ළඟින් දැනෙන ඒ පිළිකුල් ගඳ මේ විරු මිනිසුන්ගේ තුවලා වලට ගල්වන බෙහෙත් වලට වඩා ගඳයි…. කොතරම් සුවඳ විලවුන් ගැල්වුවත් ඒ ගඳ යන්නේ නෑ…. ඒක තමයි ඇත්ත… යථාර්ථය….

මේ තරුණ ජීවිත සමහරවිට සටන් බිමට එන්න ඇත්තේ රස්සාවක් නැති කමින් දුප්පත් කමින් මිරිකුණු නිසා වෙන්න පුළුවන්… ඒත් එහෙමැයි කියලා මේ කල කැපකිරීම කාටවත් අවතක්සේරු කරන්න බැහැ…. ඒ සහොදරයන්ගේ අම්මලා තාත්තලාත් මේ අය පොඩි කාලේ පරිස්සමෙන් බලාගන්න ඇති අනිවාර්යෙන්ම පරිස්සමෙන්…. කිසිම අනතුරක් නොවෙන්න…. ඒත් මේ අය රට වෙනුවෙන් ඒ දේවල් නැතිකරගත්තා…ඒ ගැන ඒ අයට වැඩි දුකක් නැහැ… නැත්තෙමත් නැතුව ඇති…. ඒත් ඒ දුක පෙන්නන්නේ නෑ… ඒ අය ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙනවා…. මොකද ඒ අය ඒ දේ කළේ රට වෙනුවෙන් අවංක සිතින් නිසා…. ඒක තමා ඇත්ත… අපි ඇත්තටම ඔවුන් අහන්න ආස ගීත වාදනය කරන්න ගියේ… නමුත් ඒ වීර මිනිසුන් කිව්වෙ එක දෙයක්…. ” මල්ලිලා කැමති දෙයක් කියන්න මල්ලී… අපිව බලන්න ආපු එකම ලොකු දෙයක්ද???? මෙහෙම එනවනම් අපි ගොඩක් සතුටුයි….” ඇත්තටම නෙතට කඳුළු උනන කතාවක් ඒක…. කෙතරම් අහිංසක සතුටක්ද,ඉල්ලීමක්ද…. නිකමට හිතන්න ඒ අයගේ හිත කොතරම් තැලෙනවද කියලා යුද ජයග්‍රහණය එක් එක් ගිණුමට බැර කරගන්න හදන වෑයම දකිද්දී…. ඒ අය දිවිපරදුවට තියලා අත් පා නැති කරගෙන ලබාගත් මේ අභිමානවු ජයග්‍රහණය වෙන අය බලෙන් උදුරාගන්න එක මානුෂීයව අසාධාරණද… ඒත් මේ වීර මිනිසුන් ඒ දේත් ඉවසීමෙන් දරාගන්නවා…. ඇත්තටම කෙතරම් උදාරතර මනුෂ්‍ය කොට්ඨාශයක්ද….

අවසන් සටන සමයේ බොහෝ ගීත හැඳුණා සොල්දාදුවන් දිරිමත් කරන්න… මම හිතුවා අවංකවම යුද ජයග්‍රහණයෙන් පසුව ත්‍රිවධ හමුදාවට අවශ්‍ය කරන නිසි ගෞරවය, ආදරය හැම පාර්ශවයකින්ම ලැබේ කියලා…. නමුත් ඇත්තටම යුද් ජයග්‍රහණයෙන් පස්සේ ර්‍රටේ විකාශනය දිහා බැලුවාම පේන්නේ යුද ජයග්‍රහණය හුදෙක් ඡන්ද ගුණ්ඩුවක් කරගෙන කියලා විතරයි…. අඩුම ගාණේ යුද ගැටුමට හේතුවුණු කාරණාවලටවත් තාම් පිළියම් යොදලද කියලවත් සැක සහිතයි…. අර නිර්මාණය කල ගීත ගොන්න marketing අරමුණකට මිසක් හද පතුලෙන් නිර්මාණයවූ ඒවා නෙමෙයි කියලා දැන්මට හිතෙන්නේ… මොකද ඒ ගීත නිර්මාණය කල අයත් විවිධ වාසි සඳහා යුද ජයග්‍රහණය එක් එක් අයගේ ගිණුමට බැරකරන්න කඹ අදින නිසා….. අද අපි මේ රටේ පොලවේ පය ගහලා නිදහසේ හුස්ම ගන්නේ මේ විරෝදාර සෙබලුන්ගේ ලෙයට, කැපකිරීමට පින්සිද්ධවෙන්න… මේ පොලව රත් ලෙයින් පොඟවල තමා ඔවුන් ඒ නිදහස අපිට අරන් දුන්නේ…. නමුත් ඒ නිසා ඒ අයට තමන්ගේ සෞඛ්‍යමත් ජීවිතය, සිහින, බලාපොරොත්තු හැම දේම නැතිවුණා…. ඒ නිසා එක් අවිහිංසක ඉල්ලීමක් කරන්න කැමතියි ඔබ සැමගෙන්… අවුරුද්දකට වරක්වත් ඔවුන් බලන්නට යන්න…. තනියම බැරිනම් කණ්ඩායමක් විදිහට හරි…. ඒ අය ඔබ දකින්නට කැමතියි… ඒ අය ආසයි තාමත් අපි ඔවුන්ගෙන් දුරස්වෙලා නැහැ කියල දැනෙනවට… ඒ අය අපෙන් බලාපොරොත්තුවෙන්නේ එක දෙයයි… ඒ තමයි ” කවදාවත්ම අපිව තනිකරන්න එපා” කියන දේ… ඔව්, අපි කිසිම දවසක ඔබව තනිකරන්නේ නැහැ…. ඒ හින්දා යන්න ඔවුන්ව බලන්න…. ඒ අයට සැනසුමක් ගෙන දෙන්න…. මා ඔබට දෙයක් කියන්නම්… එසේ ගිය දවසක ඔබේ සිතට දැනෙන සැනසුම,තෘප්තිය ඔබට වෙන කිසිම දේකින් අත්පත්කරගන්න බැහැ…. මං මේ දේ කියන්නේ මගේ අත්දැකීමෙන්…. තව දෙයක්…

ලේ,දහඩිය ,කඳුළු වගුරලා නිදහස් කරගත්ත මේ රටේ සමහර උදවිය විවිධ ගැටුම්කාරී තත්ව වලට පාර කපාගෙන යන්න හදනවා දැන් පේනවා… දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ දේ සිද්ධවෙනවද මම දන්නේ නැහැ…. විශේෂයෙන්ම ආගම් අතර සහජීවනෙයේ විශාල බිඳවැටීමක් මේ කාලයේ දක්නට ලැබෙනවා…. ඒ හින්දාම මේ දේත් කියන්න හිතුණා…. ඒ රණවිරු සෙවනේ රට වෙනුවෙන් සටන් වැදිලා අබාධිත වුණු විරෝදාර මිනිස්සු අතරේ ඔය හැම ආගමකට, ජාතියකටම, කුලයකටම, වර්ගයකටම අය්ති අය හිටියා… ඒ අය සටන් වැදුණේ රට වෙනුවෙන් මිසක් තමන් අය්ති කුලේ, ජාතිය, ආගම සඳහා නෙමෙයිඋ… එහෙම හිතුවානම් අපි මැරුණු තැන්වල ගසුත් පැලවෙලා…. එහෙම නිදහස් කරගත්ත රටක අනවශ්‍ය හේතුවක් හින්දා ගැටුම් ඇතිවෙන්න ඕනෑ නෑ… විශෙෂයෙන්ම මිනිසුන්ගේ යහපත වෙනුවෙන් තියෙන ආගම් හින්දා ඇයි මේ ගැටලු හදාගන්නේ???? ඒක එක පැත්තකින් මේ විදිහට රට දැය වෙනුවෙන් උදාර කැපකිරීම් කල මිනිසුන්ට කරන අවමානයක්…. එහෙව් ප්‍රශ්නවලට පාර කපන මිනිසුන්ට මට කියන්න තියෙන්නේ… මව්බිමේ නාමයෙන් ඔය කරන රටට කරන විනය නවත්තන්න… මේක එක ආගමක නෙමෙයි හැම ආගමක ඉන්න මෙවැනි කොට්ඨාශවලට වලංගුයි…. නැත්නම් තවත් තරුණ ජීවිත ගණනාවක් මේ විදිහට දුක් විදිවී…. මොකද ඇත්තම කථාව තමයි ප්‍රශ්ණ ඇති කරන මිනිස්සු කවමදාවත් ඒ වගේ සටන්වලට එන්නේ නැහැ…. මුලදී ඉඳලා අන්තිමට shape එකේ මාරුවෙනවා…. අන්තිමට බැටකන්නේ අහිංසක මේවගේ තරුණ දුප්පත් කොට්ඨශ…. හදිසියෙවත් එහෙම දෙයක් වුනොත් ඒ ප්‍රශ්ණ ඇති කල අයට මට කියන්න තියෙන්නේ එක දෙයයි… “නුඹලාට වැහි නැති අකුණු වදිනවාම තමයි….” මේක ටිකක් රළු ප්‍රාර්ථනාවක් වුනත් මේ අහිංසක රණවිරු සගයින්ගෙ අභීත කැපකිරීම හමුවේ ඒක රළු ප්‍රාර්ථනාවක් නෙමෙයි…. රටට යහපතක්… ප්‍රශ්ණයක් තියෙනවනම් ඒක නීතියෙන් හරි, සුහද සාකච්ඡාවකින් හරි විසඳගමු… ඒකෙන් තමන්ට කිසිම අවමානයක් වෙන්නේ නෑ…. හරියට තමන්ගේ ආගම දහම අදහනවනම් ඒ විදිහටයි ප්‍රශ්ණ විසඳගන්නේ…. නැත්නම් ගහ මරාගෙන, ගරහගෙන නෙමෙයි…. එහෙම ප්‍රශ්න විසඳගන්නේ ආගමේ මතු ඔපේ දකින අය විතරයි…. එහෙම විසඳගන්නවනම් ප්‍රශ්ණ, අපියි තිරිසන් සත්වයොයි අතරේ කිසිම වෙනසක් නෑ….. ඒ හින්දා ප්‍රශ්නවලදී බුද්ධිමත්ව ක්‍රියාකරමු…. අඩුම ගාණේ මේ විරොදාර මිනිසුන්ට ඒ විදිහට හරි කළගුණ සලකමු….

රණවිරු සෙවනේ දරුණු ප්‍රහාරයකට ලක්වෙලා ශරීරය අඩපණ වුනු මැදි වයසේ හමුදා නිලධාරියෙක් හිටියා…. ඔහු අපි දිහා අමාරුවෙන් ඇස් කරකව කරකව බැලුවා….. ඔහුට හරිහැටි කතාකරගන්නත් අමාරුයි… ඔහු අමාරුවෙන් කිව්ව ක්ලැරන්ස් විජෙවර්ධනයනෙගේ සින්දු අහන්න අසයි කියලා… අපි ගීත 3ක් වගේ ඔහු ලඟ ගායනා කලා… ඒ හැම ගීතය්ක්ම ගායනාකරන කොට ඒ ඇස් වලින් කඳුලු ගැලුවා…. අපිත් ඇත්ත්ටම කඳුලු වලින් හිත ඇතුලෙන් හඬමින් උන්නේ… ඇත්තටම් මේ දර්ශන තම්න්ගේම ඇස් දෙකෙන්ම දැක්කානම් මේ රටේ මිනිස් සිතක් තියෙන කිසිම මිනිහෙක් යුද්ධයකට හේතුවෙන කිසිම දෙයක් රට ඇතුලට ගේන්නේ නෑ… මා ඔබෙන් කාරුණික් ඉල්ලීම්ක කරනවා…. අනේ ආයේ නම් යුද්ධයක් මේ රට ගේන්න නම් එපා…. අඩුම ගානේ ආගමික ගැටුමක්වත්… තරුණ ජීවිත දස දස් ගණනක් ලක්මෑණීයන්ට නැතිවෙයි…..මේක හරි මානුෂීය ඉල්ලීමක්…. එතැන උන්නා අවුරුදු 35 ක් වූ දෙපා පණ නැති ආබාධිත උදාරතර රණවිරු නිලධාරියෙක්…. බොහොම් සුහද ඒ වගේම මිත්‍රශීලී හමුදා නිලධාරියෙක්… එක වෙලාවක හිතුණා ඔහු අපේ කුළුපඟ මිත්‍රයෙක්ද කියලත්….. එතරම් සුහඳශීලී අහිංසක මනුස්සයෙක්…. නිලධාරියෙක් වූවත් ඔහු අපිව ආමනත්‍රණය කලේ ” මල්ලී, නංගී” කියලයි…. ඔහු පැවසූ දෙයක් කිසිදු සංස්කරණයකින් තොරව මෙහි සටහන් කරන්නට කැමතියි…. මේ දේ මා මැරෙනතුරාවට මට මතක තියෙයි… ” මල්ලි මට දැන් අවුරුදු 35 ක් වෙනවා…. මගේ කකුල් දෙක පණ නැහැ…. මට ආයේ නැගිටින්න බැහැ…. මගේ කාලේ දැන් ඉවරයි… ඉස්සරහට එන්නේ ඔයගොල්ලන්ගේ කාලේ…. ඔගොල්ලෝ තමා මෙ රට රැකගන්න ඕනෑ…. තව දෙයක් මල්ලී… ලද දෙයින් සැනසෙන්න…. ඊට වඩා දේවල් බලාපොරොත්තුවෙන්න එපා…” ඒ නිලධාරියා කිව්ව දේවල් ඇත්ත…. මේ අපි හැමෝගෙම රටයි…. කාටවත් ඒ වගකීමෙන් මිදෙන්න බැහැ…. අපි මේ රටේ හැම ගහ කොලකටම, මනුස්සයෙක්ටම, සතෙක්ටම ආදරේ කරන්න ඕනෑ…. කොටින්ම පස් පිඬක්, ගංගාවක්ම, ඇලක් දොලක්ම අපේ ආදරේට නතුවෙන්න ඕනෑ….. හැබැයි එහෙම රටේ අනවශ්‍ය ගැටළු හඳන්න අපිට අයිතියක් නෑ…. ජාතිවාදය, ආගමවාදය, මූලධර්මවාදය මේ හැමදේම පුස් උණ්ඩ වගේ… මේ හැම දේම අයින් කරල බැලුවාම අපි ඔක්කෝම ලෙයින් මසින් තැනුණු මිනිස්සු…. කවදහරි මැරුණාම පොළවට පස්වෙන මිනිස්සු…. එච්චරයි….. මේ රටට තවත් ගැටළු එපා…. එවායින් අපි බැට කෑවා හොඳටම ඇති…. මේ ප්‍රශ්ණ නිසා පොළවට බොහොම වටිනා ජීවිත පස් වුණා… මතක් තියාගන්න අපි අද කෑමට ගන්න ගහ කොල, ඵල හැමදේකම අඩුමගානේ ඒ උදාර සිරුරුවලින් නිපදවුනු පොහොර ටිකක් හරි තියෙනවා…. ඒ හින්දා එහෙව් දේව ආහාරයට ගනිමින් රට තුළ ප්‍රශ්ණ හදන්න කවුරුන්හරි උත්සහ ගන්නවනම් ඒ පුද්ගලයා රටට කිසිම ආඩහරයක් නැති නොමිනිස් ගතිගුණ හියෙන මනුෂ්‍යයෙක් විදිහට මා දකින්නේ…. එහෙම ප්‍රශ්ණ හදන්න උත්සහ කරනවනම් ඒ අය කරන්නේ මේ උදාර රණවිරුවන්ගේ ලේ, දහඩිය, කැපකිරීමට අවමානයක් වගේම නිග්‍රහයක්…. ආගමික, ජාතිවාදී, මූලාධර්මවාදී කිසිම ගැටලුවක් මේ රටට එපා…. තවත් ලේ ගංගා අපිට ඕනෑ නැහැ…. ලද දෙයින් සතුටු වෙමු…. තව තව දේවල් හඹායන්න ඕනැ නෑ… ආගමික සහජීවනය, ජාතික සහජීවනයයි දැන් මේ රටට ඕනෑ…. මේ රට බොහොම ලස්සන රටක්…. දේශගුනිකව ගත්තත්, භෞතික පරිසරය ගත්තත්, පරිසර අලංකාරය ගත්තත් අපි ගොඩක් පොහොසත්… ඒත් රටක් හැටියට අපිට ඉස්සරහට යන්න බැරිවෙලා තියෙන්නේ මේ ජාතිවදී, ආගම්වාදී, මූලදර්මවාදී, ගැතිවාදී මත නිඅසයි…. ඒ හින්දයි අපි තාම නිදහස ගත්තට පස්සේත් එදා හිටපු තැනම ඉන්නේ… මේ දේවල් නැතිකරගෙන ආකල්ප අතින් පොහොසත් වෙලා සහෝදරත්වයෙන් මේ ගමන යමු… හැමෝට්ම සම අයිතිවාසිකම් ලැබෙන සමාජයක් ගොඩනඟමු… අන් මතවලට,ආගම්වලට, සංස්කෘතිවලට ගරු කරමු…. අපට මේ අභීත රණවිරුවන් වෙනුවෙන් කල හැකි ලොකුම උත්තමාචාරය එකයි….. හෝරා කීපයක් මනුෂ්‍යත්වය සමඟ ගතකරලා අපි එතැනින් එන්න සුදානම් වුණා… බොහෝ දෙනෙක් අපිට අතවැනුවා… ඒ දෑස්වල දුකක සේයාවක් සටහන්වෙලා තිබ්බා… ගොඩ දෙනෙක්ගේ ඇස් වල ලියවෙලා තිබුනා ආයෙමත් එන්න කියන ආරාධනය… ඔව්, අපි ආයෙමත් ඒවී…. ඒක අපේ යුතුකමක්… රණවිරු දිනය එක් දිනෙකට සීමා විය යුතු නෑ… ඒ දේ අපි හැමෝගෙම හද පතුලේ හැමදාටම තියාගත යුතුයි… එතැනට යනකොට ගිය පුද්ගලයා නොවෙයි එතැනින් එලියට එනකොට මා තුල හිටියේ…. වෙනස්ම පුද්ගලයෙක්… ඇත්තටම මගේ හිතට දැනුණා පුදුම සැනසුමක්…. මං හිතන්නේ බොහෝ දෙනෙකුට ඒ සැනසීම දැනෙන්න ඇති…. මේ දේ ලියන්න මට හිතුනෙත් ඒ හින්දමයි…. මා දැන් දන්නවා “මනුෂ්‍යයෙක් සේ ඉපිද… මනුෂ්‍යයෙක් සේ ලොව හැර යාමේ” වටිනාකම… ඔබටත් ආරධනා කරනවා සුහදව එය විදගන්න ලෙසට…. මේ ලිපිය අවසන් කරන්නට මා යොදාගන්නේ රංජන් සාලිය ගායක‍යාණන් විසින් ගායනා කල අපූරු ගීතයක පද රචනාවක් එක්ක…. මුහුද දෙබෑකරන…. අහස පොළව සිඹින…. රටට සෙනෙහෙ පුදන…. ලෙයින් මසින් සැදුන…. සැබෑ පියෙකි…. දරු දහසකි…. මුළු රටේම…. ලේ නෑයකි…. අපෙන් එකෙකි…. සිය දහසකි…. ඒ දරුහට…. මව් දහසකි…. යෞවනයේ මේ සගයා…. අපෙන් එකෙකි මේ මිනිසා…. මේ මිනිසා…. රණවිරු සොයුරු සොහොයුරියනි,අපි ඔබට සැමදා ණයගැතිය…. අපේ උත්තමාචාරය!!!!

තිරසබැඳිය යෞවනයේ මේ සගයා… අපෙන් එකෙකි මේ මිනිසා…හි ප්‍රතිචාර වසා ඇත.

“එරන්දියේ” නුඹ… හැර ජීවිතයක්… කිසිදින නොපතන්නම්….

මාර්තු 11, 2012 at ප.ව. 1:30 (ජීවිතය පුරාවට දැනෙවී..., නිර්මාණාත්මක දෑස..., මා අතින් රචිත ගීත...) (, , , , , , , , , )

" 'එරන්දියේ' නුඹ... හැර ජීවිතයක්... කිසිදින නොපතන්නම්..."

ඔබ තව තරුවක්… නොව ගණඳුර රෑ…

සඳකට තනි රකිනා…

ඉරබටු තරුවකි… මං සලකුණවී…

පැතුමට ඉඟි කරනා…

සුදු හංසිනියකි… ආදර විල මැද…

කෝඩුව සැරිසරනා…

වසන්තයේ පිපි… “එරන්දියයි” නුඹ…

හදකට පණ පොවනා…

අනාගතේ යුග… ගී නුඹගේ මා…

දෑසින් කියවන්නම්…

ආදර සිහිනය… හද තුල අතුරා…

නුඹ එහි සතපන්නම්…

ජීවිතයේ යලි… මිදී නොයන්නට…

හෙවනැල්ලක් වෙන්නම්…

“එරන්දියේ” නුඹ… හැර ජීවිතයක්…

කිසිදින නොපතන්නම්….

සිහින අසපුවෙන්… මිදී සැබෑලොව…

නෙතඟට හමුවෙන්න…

ඉස්පාසුව නැති… කාරණයක් ඇත…

සිත තුළ දඟකරන…

හුරතල් දෙබසින්… මනමත් කරවන…

රහසක් දැනගන්න….

ආදරයට පණ.. හුස්ම පොවන ඒ…

දිනය උදාවෙන්න…

නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන

තිරසබැඳිය ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඉතින් අවසරයි “බටනළාවට”!!!…

මාර්තු 11, 2012 at ප.ව. 12:58 (ජීවිතය පුරාවට දැනෙවී..., නිර්මාණාත්මක දෑස...) (, , , , , , , , , )

" නිසැකවම එය කල හැක්කේ... ඒ "බටනළාවට" පමණි... ♥♥♥ "

“ගිටාරය” දඩබ්බරය… හිතුවක්කාරය…
ඇඟිලිවලට අවැසි පරිදි… තත්පුවරුව මත….
පිළිවෙලක් නැතිව දුවන්නට…
අවසරදී “ගිටාරයක්” ඔහේ බලා උන්නේ ඒ නිසාය…
වාදනය මිස…
ස්වර එකින් එක පිලිවෙලකට අමුණන්නට….
“ගිටාරයට” උවමනාවක් තිබුනේ නැත…
කාටවත් යටත්වන්නට…
උවමනාවක් තිබුනේද නැත…

එහෙත් නොසිතු මොහොතක…
තනිව වාදනය වූ “ගිටාරයට”…
සෞම්‍ය”බටනළාවක” හඬ…
වසන්තයේ “එරන්ද” මලක්… “එරන්දියක්” හා දොඩමළුවන….
දිනෙක සවනතට ඇසුණි… …
දඩබ්බර හිතුවක්කාර “ගිටාරය”….
කෙමෙන් කෙමෙන් ස්වර… “බටනළාව” වාදනයවූ පිළිවෙලට…
අමුණන්නට පෙළඹුනි…
දඩබ්බර… හිතුවක්කාර… “ගිටාරය”… සෞම‍ය හැඟීමේ….
කැඩපතක් බවට පෙරළුණි….
මෙතෙක් නොවිඳි ස්වර අලංකාර….
“ගිටාරය” දැන් ජීවිතය ලෙස භාරගෙන….
විඳින්නට පටන්ගෙන ඇත…

අවසානයේ ගම්‍ය වුයේ… “ගිටාරය”… ”
බටනළාවකට”… යටත්වී ඇති බවය…
එහෙත් ඒ ගැන “ගිටාරය” සිටින්නේ… අහිතකින් නොව ඉමහත් ප්‍රීතියකිනි….!!!!
ඉතින් අවසරයි “බටනළාවට”!!!!…
ජීවිතයේ ස්වර පෙල සදාකල් අමුනා… “ගිටාරයට” වාදනය කරන්නට දෙන්නට….
නිසැකවම එය කල හැක්කේ…
ඒ “බටනළාවට” පමණි. … ♥♥♥

නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන

තිරසබැඳිය ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඉතින් අවසරයි… කරුණා ගුරුමෑණියනි සමුගන්නට…

ඔක්තෝබර් 28, 2011 at ප.ව. 3:50 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , , , , , , )

" ඉතින් අවසරයි... කරුණා ගුරුමෑණියනි සමුගන්නට... "

දිනය 2011.10.24…. ඒ කියන්නේ පසුගිය සඳුදා…

වේලාව ප.ව. 7.00 ට විතර ඇති….

විශ්වවිද්‍යාලයේ නව වාරය ඇරඹුණේ එදා…. වැඩි වැඩකුත් තිබුණේ නැති එකේ gym එකට ගිහින් badminton පාරකුත් ගහලා ගෙදර ඇවිල්ලා මුහුණු පොතට log වෙලා හිටියේ මං….

මගේ ජංගම දුරකථනයට call එකක් ආවා…. තිරයේ දිස්වෙන අංකයෙන් ඒ මා මිතුරු ජාගොඩගේ අංකය බව මන් දැනගත්තා…. මං ඇමතුම ගත්තා…

” මචං… මැඩම් නැතිවුනා…”

” සිරාවට… ” මං ඇහුවා…

” ඔව් මචං… අද 4 ට වගේ නැතිවුනේ… ”

කරුණා දිසානායක ගුරුමෑණියන්…. ඔව්, මගේ ජීවිතේ මට හමුවූ කරුණාබරම හදවතක් තිබූ ගුරුමෑණියන්…. එහෙම කිව්වට මං වැරැදි නෑ…. මං හිතන්නේ මැඩම්ගෙන් ඉගෙනගත්තු ඕනිම කෙනෙක් මාත් එක්ක එකඟවෙයි ඒ කාරණයත් එක්ක…

සාමාන්‍යයෙන් මේ සමාජයේ පුද්ගලයන්ට දාලා තියෙන නම්වල තේරුම් හා ඔවුන්ගේ හැසිරීම් බැලුවාම හරියට අහසයි පොළවයි වගේ දුරස්ථභාවයක් තියෙන්නේ…. ඒත් කරුණා මැඩම් සම්බන්ධයෙන් ගත්තාම ඇයට තිබුණේ ඇගේ ගතිගුණවලටම ඔබින නමක්… ඒ ගැන කිසිම විවාදයක් හෝ තර්කයක් අපට නෑ….

කරුණා මැඩම් අපිට ඉගැන්නුවේ සිංහල භාෂාව සහ සාහිත්‍ය… මට ඈ ඉස්සෙල්ලාම සහ අවසන් වතාවට ඉගැන්නුවේ අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගයේ කඩඉම් වර්ෂ 2… ඒ කියන්නේ 10 සහ 11 වසරවල…. සිංහල pass නොවුනොත් O\L විභාගෙත් අසමත්…

අද ලංකාවේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ තමන්ගේ මව් භාෂාව හොඳින් දැනගෙන සිටීම ලැජ්ජවාට කාරණයක් කියලා…. මව් භාෂාව වරද්ද වරද්ද…. වෙනත් රටක භාෂාවක් චතුර විදිහට කතාකිරීමට දැනගෙන සිටීම ගෞරවාන්විත දෙයක් කියලා ඒ අය හිතන්නේ…. ඒකට ඒගොල්ලෝ යස නමක් දාලා තියෙනවා…. modern trend කියලා…. හදිසියේ වත් සිංහල භාෂාව හොඳින් හසුරුවන කෙනෙක් දැක්කාම ඔහු හෝ ඇය දිහා අවඥා සහගතව බලන්න ඒ ඈයෝ කොහෙත්ම පසුබට වෙන්නේ නෑ…. ඒවගේ අයට ඒගොල්ලෝ කියන්නේ ” ගොඩයා “කියලා… ආහ්!!! වැරදුණා ” ගොඩේ type ” කියලා… ඒකටත් පොඩි western type එකක් තියෙන්න ඕනිනේ….

ඇත්ත… භාෂාවක් අපිට අවශ්‍ය අපේ හැඟීම්, දැනුම හා තොරතුරු අන් අය සමඟ හුවමාරුවට… සිංහල භාෂාව කොටුවෙලා තියෙන්නේ ලංකාවේ ඇතුලේ විතරයි…. ඒ හින්දා ලෝකෙත් එක්ක ගනුදෙණු කරන්න ඒ භාෂාවෙන් අමරුයි…. පොඩි කාලේ ඉඳන්ම ඉංග්‍රීසි භාෂාව උගන්වන්නේ…. උසස් අධ්‍යාපනය පවා ඉංග්‍රීසි භාෂාවෙන් ලබාදෙන්නේ…. ඒක තමා ඇත්ත…. නමුත් අවාසනාවට අපේ සිංහල බොහෝ අය තමන්ගේ මව්භාෂාව බවට ඉංග්‍රීසි භාෂාව පෙරලගන්න වෑයමක යෙදෙනවා…. සත්‍ය අවබෝධ කරනොගෙන…. ඇත්තටම ඉතින් මුකුත් කියන්නත් බැහැ…. මොකද ඒක ප්‍රජාතන්ත්‍රවාදයෙන් උරුමු වූ අයිතියක් නිසා… නමුත් සිංහල භාෂාව හොඳින් හසුරුවන කෙනෙක් දැක්කාම ඔහු හෝ ඇය දිහා අවඥා සහගතව බලන අය මේ රටේ ඕනෑ තරම් හොයාගන්න පුලුවන්….

මට හිතෙනවා මෙහෙම දෙයක් කියන්න එහෙම සිංහල භාෂාව තමන්ගේ ජීවිතෙන් ඉවත්කරන්න උත්සහ කරන අයට…. වැසිකිලියට ගියාම සබන් ගා වතුරෙන් පශ්චාත් ප්‍රදේශය හෝදගන්න එක නවත්තලා ඒ වෙනුවට පුළුන් හෝ පත්තර කෑලි යොදාගන්න…. මං හිතන්නේ ඒ දේ ඔබට තවත් උපකාරී වෙවී… ඒ ප්‍රයත්නයට… මොකද සිංහල සංස්කෘතිය හා හැසිරීම් බොහෝදුරට භාෂාව එක්ක බැඳිලා තියෙන හින්දා…. ගොඩ සුද්දෙක් වීමට වඩා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුද්දෙක්වීම නම්බුකාරයි මට හිතෙන විදිහට… පොඩ්ඩක් ඒ ගැන හිතල බලන්න… මොකටද නිකන් ” ගොඩ” කෑල්ලක් තමන්ගේ ” සුද්දා ” කමට ඈඳගන්නේ නේද???…

ඇතැම්විට මෙම බ්ලොග් සටහන් කියවන ඔබ මට කියාවී මෙය මුලුමනින්ම සිංහලෙන් ලියා නොමැති බව…. පිළිගනිමි…. මා මෙය පවත්වාගෙන යන්නේ ඔබට සිංහල භාෂා ව්‍යාකරණ ඉගැන්වීමට නොවේ…. හුදෙක් මා සමාජය පිළිබඳ දකින දෘෂ්ටිකෝණය ඉදිරිපත් කරන්නටය….. ඒ හරහා ඔබටද පණිවිඩියක් දෙන්නටය….. විච්ඡූරණ ලෝකයෙන් මිදී සැබෑ සමාජය දෙස බලන්නට අත්වැලක් ලෙසය….

අවශ්‍යනම් මට මේ Blog සටහන සිංහල භාෂාවෙන්ම පවත්වගෙන යන්න පුලුවන්… නමුත් මේ Blog සටහනේ පරමාරථය ඔබ සියල්ල වෙත හොඳින් ගෙනයන්නටයි මා මේ මඟ තෝරගත්තේ…. එහෙම නොවුණානම් මේ පණිවිඩය ග්‍රහණය කරගන්නේ එක් කොට්ඨාශයක් පමණක් බව මං දන්නවා…. නමුත් ඇත්තම කතාව තමයි මා මගේ මව්භාෂාවට අප්‍රමාණව ආදරය කරනබවයි….

මං මගේ ජීවිතයේ ඉගෙනගත් සුන්දරම භාෂාව කුමක්ද කියලා කිසිවෙකු ඇසුවොත් ඒ සිංහල භාෂවයි… ඒක අර ඡන්දේ කාලෙට market වන සිංහලකමවත්, අවුරුදු කාලෙට market වන සිංහලකමවත් වගේ නෙමෙයි…. ජීවිත කාලෙටම නොවෙනස්වන කාරණයක්…. මං දන්නවා ඒ විදිහට තමන්ගේ මව් භාෂාවට අප්‍රමාණව ආදරය කරන මිනිස්සු මේ රටේ තවමත් ඉන්න විත්තිය….

කරුණා මැඩම් සිංහල භාෂාවේ වැදගත්කම අපිට නිරතුරුව කියාදුන්නු ගුරුමාතාවක්…. මට මතකයි වරක් ඈ කිව්ව දෙයක්…

” අපි ඉස්සෙල්ලම හිතන්නේ සිංහලෙන්…. ඊට පස්සේ තමයි අපි ඒක ඉංග්‍රීසියට පෙරලන්නේ…. ”

ඒ කතාවේ ඇත්තක් තියෙනවා…. බොහෝවිට අපි හිතන පතන දේවල් අපේ භාෂාව හා සංස්කෘතිය මත රඳා පවතින විත්තිය මට පුද්ගලිකව දැනිලා තියෙන කාරණයක්…. ඒහින්දා මං මැඩම් එක්ක ඒ කාරණේදි එකඟයි….

මැඩම්ට අපේ වයසේම පුතෙක් උන්නා… අනුරාධ කියලා… ඔහු හිටියෙත් අපේ පාසලේ අපේ පන්තිවල… අපේ මිතුරෙක්… ඒ නිසාම මැඩම්ව අපට දැනුනේ අපේම මවක් විදිහටයි… මැඩම් අපව භාරගතෙත් මැඩම්ගේ පුතාලා හැටියටයි…. ඒහින්දා අපි බොහොම සුහදව පන්ති කාමරේ ඇතුලේ වැඩකලා…. සුළු සුළු ආරවුල්, ගැටුම් නොතිබුණා නෙමෙයි… නමුත් ඒවා තිබුණේ බත ඉදෙනකන් විතරයි වගේ…. ඒ දේවල් එහෙම යටපත්වුණේ මැඩම්ගේ කරුණවාන්තකම නිසා කියලා මට අද හිතෙන්නේ…. මොකද ඒවා මැඩම් කවදාවත් බැරෑරුම් විදිහට භාරගත්තේ නෑ…

සිංහල එතරම් පහසු විෂයක් නෙමෙයි…. ඒකේ නීති මාලවක්ම තියෙනවා…. ඒ විතරක් නෙමෙයි අක්ෂර වින්‍යාසය පවා නිවැරදි වියයුතුයි…. ඇත්තම කිව්වොත් ලකුණු ගන්න අමාරුම විෂය කිව්වට වරදක් නෑ…. පැය 5ක් පුරාවට දිවෙන ප්‍රශ්ණ පත්‍ර 3 ක්…. එකක් බහුවරණ ප්‍රශ්ණ පත්‍රයක්… එකක් සාහිත්‍ය ප්‍රශ්ණ පත්‍රයක්… අනික රචනා, සාරංශ ලිවීම ගැන වූ ප්‍රශ්ණ පත්‍රයක්…. ඉතින් මේ ප්‍රශ්ණ පත්‍ර 3 ම හරියට ලියගත්තොත් ගොඩම තමා…. නැත්නම් ඉතින් ආයේ ලියන්න සුදානම් වෙන්න වෙනවා….

ව්‍යාකරණ නීතිරීතී, උපසර්ග, උපමා උපමේයන්, විභක්ති, උක්ත ආඛ්‍යාත සම්බන්ධයන්, ප්‍රථමා පුරුෂ, මධ්‍යම පුරුෂ, සමාන පද, විරුද්ධ පද වැනි තවත් බොහෝ දේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ සිංහල විෂය සමත්වෙන්න…. ඒහින්දාම තමයි බොහෝවෙලාවට මව්භාෂාව වුනත් සිංහල භාෂාව ගොඩක් දෙනෙක් අසමත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාව අසමත්වෙන සංඛ්‍යාවටත් වඩා…. තව හේතුවක් තමයි ගොඩක් අය හිතන්නේ මේ මව්භාෂාව නිසා ලෙහෙසියෙන් සමත්වෙන්න පුලුවන් කියලා…. නමුත් යථාර්තය ඒක නෙමෙයි….

සිංහල සාහිත්‍ය ගත්තාම ජාතක කථා, කවි වගේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ…. විශේෂයෙන්ම යමක විචාරතමක දෑසින් දකින්නට හැකියාවක් තියෙන්න ඕනෑ… එහෙම නොවුනොත් සාහිත්‍ය විෂයට ලකුණු ගන්නවා බොරු…. තව දෙයක් කවියක් කියවලා ඒකේ තෙරුම නිවරදිව ග්‍රහණය කරගන්න බැරිවුණොත් ඒකට උත්තර සපයනවා කියන්නේ ඉතින් සිහිනයක්ම තමා…. අනික ජාතක කථා හා විවධ යුග වල ලියැවුණු කෘතිවල භාෂාව අපිට එතරම් හුරු නැහැ…. ඒ වචන විවිධයි… කියෙව්වාට තේරුම් ගන්නත් බැරි තරම්…. ඒත් විභාගය සමත්වෙන්න ඒවායේ තේරුම් පවා දැනගතයුතුයි…

රචනා ගැන කතාකලොත් කොතරම් කරුණු දැන සිටියත් වැඩක් නෑ ඒවා රසවත් විදිහට ගලපලා ලියන්න බැරිනම්…. ඒවගෙම උක්ත ආඛ්‍යාත සම්බන්ධතා පවා නිවැරදි විය යුතුයි…. අක්ෂර වින්‍යාසය නිවැරදි විය යුතුයි…. සාරංශ ලිවීමේදී අවශ්‍ය දෑ සාරාංශයට අන්තර්ගත කලයුතුයි….අවශ්‍ය දෑ පවා ලියන්න ඕනෑ අඩු වචන සංඛ්‍යාවකින්…. එහෙම නොවුනොත් වචන 20 -25 කින් සාරාංශය ලියනවා බොරු…. සිංහල විෂය සමත්වීම ඒ හින්දා හිතෙන තරම්ම ලේසි නෑ….

ඉතින් ඒ සඳහා හොඳ මඟ පෙන්වීමක් තිබිය යුතුයි…. කරුණා මැඩම් ඇත්තටම ඒ දේවල් රසවත් ලෙස කියාදුන්නා…. සිංහලවලට පෞද්ගලික පන්තියකට නොගිය මට සිංහලවලට අධි සාමාර්ථයක් ලැබීමට ඇයගේ ඉගැන්වීම උපකාරීවූ බව මං අදත් සෙනෙහේ සිතින් සිහිපත් කරන්න කැමතියි…. මා මියෙනතුරාවට ඇයට ණයගැතියි ඒ වෙනුවෙන්….

සමහරක් වෙලාවට අපේ අයට ඒ විෂය නයාට අඳුකොල ගාණට පෙනුනා….. ඇත්තම කිව්වොත් ඒ මැඩම්ගේ වැරැද්ද නෙමෙයි… ඒ තමා සිංහල භාෂාවේ තිබ්බ බැරෑරුම් භාවය…. ඒත් මැඩම් බොහොම ඉවසීමෙන් කරුණාවෙන් අපිට ඒ විෂය ඉගැන්නුවා…. තාමත් මතකයි මට අපෙන් සිංහල හෝඩිය කට පාඩම් ගත්ත් හැටි…. එදා ඒ දේ විනෝදයක් හැටියට භාරගත්තත් අදටත් සිංහල හෝඩිය කට පාඩමෙන් දෙන්න පුලුවන් වෙලා තියෙන්නේ ඒ හින්දයි….

සිංහල භාෂාව හරිම වැදගත් පාසැල් කාලයේදී… මොකද මොන විෂය ඉගෙනගත්තත් ( English, English Literature, සමහරවිට Western Music සහ වෙනත් භාෂා හැර ) ඒ දේවල්වලට පිළිතුරු සපයන්න වෙන්නේ සිංහලෙන්…. ඒ හින්දා සිංහල භාෂාව කියන දේ කොහෙත්ම ජීවිතෙන් අමතක කරන්න බැරි දෙයක්…. කරුණා මැඩම නිරතුරුවම උත්සහකලේ අපි තුල ඒ දේ ගම්‍යකරවන්නයි….

කරුණා මැඩම්ගෙන් මං ඉගෙනගත්තේ අවුරුදු 2 ක් වුණාට ඊට කලින් සිදුවුණු රසබර සිදුවීමක් තියෙනවා ඇය හා බැඳුණු…. මේක වුණේ 2001දී… එතකොට මං 8 වසරේ…. අපි ඉස්සර උදේට, interval එකට cricket ගහන්න පුරුදුවෙලා හිටියා…. Bat එක විදිහට ලී කෑල්ලක් අරගෙන බෝලෙකට තඩිබාන එක තමා කරන්නේ… ඒකේ ඉතින් ඔය cricket වල තියෙන technique  එහෙම නෑ…. ඒත් ඉතින් ඒක හරියට 20 20 වගේ තමයි දැන් තියෙන….

ඉතින් එදා මං bat කර කර හිටියේ last man විදිහට…. Intervalඑකේ අනික් පැත්තට bat කරන්න දීලා  ඉක්මණින්ම දවාගැනීම තමා අපේ team එකේ අරමුණ…. ඉතින් ටිකක් වේගයෙන් ලකුණු රැස්කරමින් උන්නේ මම ඒ වෙලාවේ…. ඔය වෙලවේ ආපු බෝලෙකට මං දෑත බැදලා ගැහුවා…. සෑහෙන වේගයකින් බෝලේ ඇදිලා ගියා හැබයි වැඩි උසකින් නෙමෙයි…. Flat උසකින්….

මට බෝලේ ගිය දිහාව බැලුනේ ඒවෙලාවේ…. බෝලේ යන දිහාවේ උන්නේ කරුණා මැඩම්!!!… මැඩම් 9 වසර staff room එකට ඇවිදගෙන යන ගමන්…. මට ඉතින් තරු පෙනුණා කිව්වට වැරැද්දක් නෑ ඒවෙලාවේ….  මොකද කැගැහුවත් මැඩම්ට අයින්වෙන්න වෙලාවක නෑ… මොකද බෝලේ වේගයෙන් ඒ දිහාවට ඇදිලා ගිය හින්දා….

මැඩම්ගේ දකුණු අත පැත්තෙන් අය්යා කෙනෙකුත් ඇවිදගෙන ආවේ ඔය වෙලාවේ…. මැඩම්ගේ වාසනාවට, අය්යාගේ අවාසනාවට, මගේ වෙලාවට බෝලේ වැදුනේ ඒ අය්යාගේ ඔළුවේ…. ඒත් මැඩමුත් ගැස්සුණා අන්තිම මොහොතේ බෝලේ දැකලා…. මට යන්තම් සැනසීමක් ආවා…. මැඩම් මං දිහාවට හැරුණා… දැන්නම් ගුටි කෑවත් කමක් න කියලා මට හිතුනේ… මං එතකොට කරුණා මැඩම් කොයි වගේ මැඩම් කෙනෙක්ද කියලා දැනගෙන උන්නේ නෑ….

” පරිස්සමෙන් සෙල්ලම කරන්නකෝ ”  මැඩම් මට කියලා ගියා….

හොඳවෙලාවට අර බෝලේ වැදුණු අය්යාට එච්චර අමාරුවක් වුනෙත් නෑ…. ඒත් එදායින් පස්සේ සෙල්ලම් කරනකොට පරිස්සමෙන් සෙල්ලම් කරන්න මං හිතාගත්තා… ඒ තමා එකම සිදුවීම මට මේ වෙලාවේ මතක් වෙන මැඩම් හා බැඳුණු….

මැඩම් 2007 දී පාසලෙන් හා ගුරු වෘත්තියෙන් සමුගත්තා…. අපිත් පාසලෙන් සමුගත්තේ ඒ වර්ෂයේදීමයි…. ඊට පස්සෙ මැඩම් මට හම්බවුණේ නෑ….

මැඩම් මෙලොවින් සමුගන්න දවස් 3 කට ඉස්සෙල්ලා තමයි මං දැන්ගත්තේ මැඩම පිළිකා රෝගයට ගොදුරුවෙලා රෝහලක ප්‍රතිකාර ලබන බව…. ඒක කිව්වෙත් මට ජාගොඩ සහෝදරයා…. මට තිබුණු කාර්යබහුල බව නිසාත්, ඒ වැඩකටයුතු මඟ දමා යන්න බැරි නිසාත් මට මැඩ්ම්ව ඒ දවස් 3 බලන්න යනන් බැරිවුණා…. ඇත්තටම මං යන්න වෙලාවක් සොයමින් වෙලාව සමඟ අරගලයක යෙදෙමින් උන්නේ… ඒත් කාලය මාව පරාජයට පත්කලා…. මට කරුණා මැඩම් බලන්න යන්න ඉඩක් කාලය දුන්නේ නෑ…. මුළු ජීවිතය පුරාවටම මට ඒ පසුතැවිල්ල තියේවී….

මැඩම් සදහටම ගතින් සමුගත්තා…. ඒත් මැඩම් ඔබ සැමදාම අපේ හිත්වල  රැඳේවී අමරණීය චරිතයක් විදිහට….

ඔබේ ඔය කරුණාබර මුහුණ, සිනහව, වදන් කවදාවත් අමතක නොවේවී…. පන්හිඳෙන් සිංහල අකුරු අමුණා කරන නිර්මාණයකදීම, ලියන හැම ලිපියක්දීම ඔබව අපට සිහිවේවී…. ලිපිය අවසන් කිරීමට කරුණා මැඩම් වෙනුවෙන් මා ලිවූ නිස්දැසක් මා යොදාගනිමි…. මං ඉස්සරහටත් නිසදැස් ලියාවී… නමුත් මේ නිසදැස මා ලිවූ සුවිශේෂීම නිසදැසක් බව මට ඉඳුරාම කියන්න පුලුවන්….

 

පන්හිඳට අපේ අමුණන්නට…

අරුත්බර සිංහල වදන්… කියාදුන්…

අඳකරව තිබූ අපේ නෙත්…

නුවණැසින් විවරකල…

මවක සේ කරුණාබරව… අප වෙත දෑත පෑ…

ආදරණීය…

කරුණා දිසානායක ගුරුමෑණියනී…

ඔබට අමා මහ නිවන් සැප ලැබේවා!!!…

අප අද දියතේ…

ජයක් ලබා ඇත්නම්…

ඒ ඔබ අපට… ඉගැන්වූ දෙයට පින්සිදුවෙන්නටය…

අපි එයට සදා ඔබට… ණයගැතිය…

ඉතින් අවසරයි…

ඔබේ දෙපා නැමද අපට සමුගන්නට...


ඉතින් කරුණා ගුරුමෑණියනී..... අවසරයි ඔබෙන් සමුගන්නට දෙපා නැමද සදහට ගතින්.... ඒත් මැඩම් ඔබ සැමදාම අපේ හිත්වල  රැඳේවී අමරණීය චරිතයක් විදිහට...  ඔබට අමා මහ නිවන්සුව ගුරුමෑණියනී!!!     

 

තිරසබැඳිය ප්‍රතිචාර 2

ජීවිතේ සුන්දරද මෙතරම්….

ඔක්තෝබර් 21, 2011 at ප.ව. 6:29 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , , , , , , )

93E7DDAC-B6E8-4966-9B3A-9BFDD6779357

” ජීවිතේ සුන්දරද මෙතරම්…. “

” Good morning ඔයාලා ඔක්කටම…. Programme එක පටන් ගන්න හදන්නේ….මම නදී… අද ඉතින් special day එකක් කියල ඔයාලා ඔක්කම දන්නවනේ…. අද Valentine’s Day එක…. ඉතින් ඕගොල්ලෝ ආදරය කරන girlට හරි boyට හරි song එකක් dedicate කරන්න ඕනි නම් කතාකරන්න අපේ hotline එකට…. අහ්!!!! කියල ඉවරකරන්න ලැබුණේ නෑ…. මෙන්න අපිට caller කෙනෙක් ඉන්නවා????? කවුද මේ???? කොහෙන්ද කතාකරන්නේ ඔයා අපිට???…. ”

” මං ආශා…. කතාකරන්නේ දෙහිවලින්…. ”

” ආශා!!! ෂා!!!! ලස්සන නමක්නේ. මං හිතන්නේ name එක වගේම ඔයත් ලස්සන ඇති…. කොහමද Valentine’s Day එක??? Boyfriend call කලාද??? මොනවද දුන්නේ Day එකට???….”

” මුකුත් තාම දුන්නේ නෑ අක්කී… උදේ call කලා… අද හවසට අපි meet වෙනවා… එතකොට දේවී…. ”

” Okay නංගා…. ඔයාට හොඳ surprise gift එකක් ලැබෙන්න කියලා මං wish කරනවා… මං හිතන්නේ ඔයා call කලේ song එකක් request කරන්න වෙන්නැති… කියන්නකෝ ඔයා ඉල්ලන song එක මොකද්ද කියලා…. ”

” අක්කී මට දෙන්නකෝ ‘ තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න ‘ song එක…. මං ඒක dedicate කරනවා මගේ boyfriend අසේලට”

” ආහ්!!! ඔයා අද ඉල්ලන්නේ kiss එකක්ද gift එකට???? හොඳයි හොඳයි…. ඒකම ලැබේවා කියල කරනවා ”

” නෑ අනේ… මං ඒ song එකට කැමතියි…. ”

” ආහ් okay, okay නංගා!!! … එහෙනම් මෙන්න ‘ තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න ‘ song එක එක ආශා ගෙන් අසේලට….”

මේ සංවාදය ඇතිවුනේ පෞද්ගලික FM නාලිකාවක ගීත ඉල්ලීම් වැඩසටහනකදී පෙබරවාරි 14 වෙනිදාවක…. ඒ කියන්නේ ආදරවන්තයන්ගේ දිනය හෙවත් Valentine’s Day එකේදී…. මුලින්ම කිව යුතුයි මෙහි දැක්වූ නම් ගම් සියල්ල මනඃකල්පිත බව නමුත් සිදුවීම සත්‍යයයි කියලා… අනික මේ ලිපියෙන් මං කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නෑ අරුත්සුන් වදන් දොඩවන ගිරව් වගේ දොඩවන අපේ FM ඈයො ගැන කතාකරන්න…. ඒක වෙනම කතාකල යුතු කාරණයක්…. මේ ලිපියේ කතාකරන්න යන්නේ මං දිනයට මුවාවෙලා අපේ උදවිය කරන කියන දේ ගැන….

තව දෙයක් කියලම පටන්ගන්න හිතුවා ලිපිය ආරම්භ කරන්න ඉස්සෙල්ලා… මේ ලිපියේ කිසිම අරමුණක් නෑ මේ Valentine’s Date එක නතරකරන්නවත්, ඊට විරුද්ධව මතයක් ගොඩනඟන්නවත්,අකුල් හෙලන්නවත්…. ඒක සැමරීම හෝ නොසැමරීම තම තමන්ගේ කැමත්ත මත තීරණයවන්නක්… අනික ඔය දිනය ජාත්‍යන්තරව මිනිස් සමාජය කට වහරින් සම්මත කරගත් දිනයක්…. ඒහින්දා ඒක සමරන්න එපා කියලා කියන්න මට අයිතියක් නෑ…. නමුත් මං මේ කතාකරන්න යන්නේ ඒ දිනයට අපි මුලාවෙලා ඉන්න හැටි පෙන්වන්නයි…. එහෙම නැතුව විප්ලවවාදී මතයක් ඔබ තුළ ගොඩනඟන්න මගේ කිසිම අදහසක් නැහැ….

ආදරය….  Love…. ඔව්… මනුෂ්‍යයෙකු ජීවත්කරවන්න අවශ්‍ය අත්‍යවශ්‍යම සාධකයක්…. ජීවිතේ පටන්ගත්ත ගමන් අපිට දෙමව්පියන්ගේ ආදරය ලැබෙනවා…. ඒක ජීවිතේ අවසන් තත්පරය දක්වාම නොවෙනස්ව ලැබෙන සෙනෙහසක්…. ඊට පස්සේ සහෝදර සහෝදරියන්ගේ, නෑදෑයන්ගේ, ගුරුවරුන්ගේ, මිත්‍රයන්ගේ ආදරයට අපි පාත්‍රවෙනවා…. ඊට පස්සේ නව යොවුන්වියෙදී විරුද්ධ ලිංගිකයෙකුගේ ආදරය ලබන්නට අපි පෙලඹෙනවා… මේක සාමන්‍ය සිද්ධියක්…. ඒක magic එකක් නෙමෙයි…. හෝමෝන ක්‍රියාකාරිත්වය, සමාජයෙන් ලැබෙන පීඩනය, යොවුන් ආකල්ප වගේ දේවල් අපිව මෙතනට මෙහෙයවනවා…. ඉතින් ඒකේ කිසිම magic එකක් නෑ….

ආයේ බොරු මොකටද??? අපි ඉස්සෙල්ලාම කෙනෙකුට බැඳෙන්නේ නැතිනම් ළංවෙන්නේ රූපෙට…. භෞතිකව දකින රූපයට…. සමහරවිට ඒ ඇස්වලට, තොල්වලට, මුහුණේ හිනාවට, ශරීර හැඩයට, කේශකලාපයට වෙන්න පුළුවන්…. ඔය බහුතරයක් කවියෝ, ගීත රචකයෝ පෙම් කවි, ප්‍රේම ගීත රචනා කරද්දී මේ ලක්ෂණ වැඩියෙන් තම නිර්මාණ තුළ මතුකරන්නෙත් ඔය හේතුව නිසාම වෙන්න ඕනෑ…. සමහරු පෙම් බඳින්නේ සමාජ තත්වෙට, බුද්ධියට, තානාන්තරවලට, ජනප්‍රියත්වයට, ධනයට වගේ කාරණා හින්දා වෙන්නත් පුලුවන් ඉස්සෙල්ලාම….  නමුත් ඔය අතරේ අදහස්වලට කැමතිවෙලා පෙම්වතුන්වූ යුවලුත් නැතුවම නෙමෙයි…එහෙම අයත් ඉන්නවා….  කොහමහරි කුමක් හෝ හේතුවක් පදනම්වෙලා ප්‍රේම කතාවකට අඩිතාලමක් වැටෙනවා…. ලිංගිකත්වය, රූපය පදනම්වෙලා ආදරය පටන්ගත්තට පස්සේ ඒ දේ ආත්මීය වන්දනාවක් වෙන්න ඕනෑ…. ඒ කියන්නේ ඔබ හදවතින් ආදරය කරන්න පටන්ගන්න ඕනෑ…. ආදරයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඒ මතයි…

ඇත්තටම ආදරය කරන්නනම් ඔවුන්ගේ අදහස්වල ගැලපීමක් තිබිය යුතුයි… ඒවගේම එකිනෙකා අතර හොඳ විශ්වාසයක් තිබිය යුතුයි කියලා මට හිතෙන්නේ…. රූපෙට වහ වැටිලා ආදරය කරන්න පටන්ගත්තාට අදහස් අතර දැවැන්ත මත ගැටුමක් තියෙනවනම්, සාධාරණ විශ්වාසයක් තමන්ගේ සහකරු හෝ සහකාරිය අතර නැතිනම් හොඳම දේ තමයි හිතේ උපන් ප්‍රේම සිතුවිල්ල උපන්ගෙයිම මරා දාන ඒක…. එහෙමනොවුණොත් වෙන්නේ පසුකාලෙක හැමදාටම විඳවන එක…

නමුත් දැන් මේක වැරදියට වටහගන්න එපා…. ඒ කියන්නේ විශ්වාසයක් නැහැ කිව්වේ සාධරණ විශ්වාසයක් නැති කමයි… ඒ කියන්නේ විශ්වාසයක් නැහැ කියන දෙයට තමන්ට සාධරණ සාධක තියෙන්න ඕනෑ පෙන්වන්න කියන එකයි…. නිකමට කියන්නම් උදාහණයක්… ඔබ යවනවා පෙම්වතියට හෝ පෙම්වතාට SMS එකක්…. Reply නෑ… දැන් ඔබට පුලුවන්ද එක පාරටම පෙම්වතා හෝ පෙම්වතිය අවිශ්වාස කරන්න… එහෙම කරනවනම් කනගාටුයි, ඔබ ඉන්නේ ආදරයේ මොන්ටිසෝරියේ….

කවුද දන්නේ phone එකේ credit නැද්ද කියලා…. එහෙමත් නැතිනම් phone එක නැතිවෙලා හරි අමතක වෙලා ගිහිල්ල තියෙන්න පුළුවන්…. සමහරක්විට ඔහුට හෝ ඇයට වැදගත් කටයුත්තක් යෙදී තියෙන්න පුළුවන්…. ඒ නිසා හැරෙන වෙලාවෙන් ඔබට reply කරන්නේ නැතිවෙන්න පුලුවන්…. සමහරක්විට ලෙඩවෙලා නිදියගෙන හිටියා හන්දා වෙන්න පුලුවන්…. සමහරක්විට වෙනත් කරදරයක් නිසා වෙන්න පුලුවන්…. මේ වගෙ නොකී මානුෂීය කාරණා සෑහෙන්න තියෙන්න පුලුවන්….

දැන් මේ හින්දා සැක කරන්න පුළුවන්ද ඇය හෝ ඔහු ඔබේ විශ්වාසය කැඩුවා කියලා???? උත්තරය කොහෙත්ම බෑ කියන එකයි….. සමහරක්විට මේ උදාහරණය සීනිබෝල උදාහරණයක් වගේ පේන්න පුළුවන්…. නමුත් ඇත්ත ජීවිතේ මේ වගේ බොළඳ කාරණා නිසා සබඳකම් බිදවැටුනු අවස්ථා එමට ඇති…..

ඒත් මේ වගේ අසාධාරණ කාරණා උලුප්පලා පෙන්නලා වෙනත් කෙනෙකුට කවුරුහරි හේත්තු වෙන්න හදනවනම්…. ඒ කෙනාට කියන්න තියෙන්නේ…. ඒකෙනා තාම ආදරය කරන්න තරම් මනස වර්ධනය කරගෙන නැතිවිත්තියයි…. භෞතිකව සියලුම පුරුෂ ලක්ෂණ හා ස්ත්‍රී ලක්ෂණ මතුවෙලා තිබ්බත් මානසිකව තාම ඒ අය ඉන්නේ ළඳරු වියේ…. මොකද පොඩි උන් තමා අලුත් සෙල්ලම් බඩුවක් ලැබුණාම පරණ සෙල්ලම් බඩුව අමතක කරලා ඒක එක්ක සෙල්ලම් කරන්නේ… මේ හැසිරීම ඒ හා සමානයි….

දැන් කතාකරමු මේ Valentine දවස ගැන… Valentine දවසේ උත්පත්තිය වටා ගෙතුණු කතන්දර බොහොමයක් තියෙනවා…. ඒත් එයින් එක් කතන්දරයක් මෙතන සඳහන් කරන්න මං කැමතියි සාරාංශයක් විදිහට…. මොකද මං හිතනවා මේ ලිපියේ ගලායාමට ඒ කතන්දරේ සෑහෙන්න දායකවෙයි කියලා  ඉස්සරහට…

පුරාණ රෝමය පාලනයකල  Claudius II අධිරාජ්‍යවාදියා තමන්ගේ හමුදාව ශක්තිමත් කිරීමට හමුදාවට බැඳෙන තරුණයින්ට විවාහ වීම තහනම්කරන නීතියක් පනවල තියෙනවා…. මේ කාරණයට විරුද්ධව රෝමයේම හිටපු වැලන්ටයින් නම් පූජකවරයෙක් ආදරයෙන් වෙලුණු ඒ තරුණ සෙබළුන් හා ඔවුන්ගේ පෙම්වතියන් අතර විවාහයන් තමන්ගේ දේවස්ථානය තුල රහසිගතව සිදුකරලා තියෙනවා… ඒ ගැන කිපුණු Claudius II අධිරාජ්‍යවාදියා වැලන්ටයින් හිමිපාණන්ව ඝාතනය කරවලා තිබෙනවා….. ආදරය වෙනුවෙන් ඒ කල  උදාරතර ජීවිත කැපවීම වෙනුවෙන් වැලන්ටයින් පූජකතුමාව ශාන්ත වැලනටයින්තුමා බවට උසස් කරල තිබෙනවා…. එතුමා සිහිකරන දිනය තමා Valentine දිනය කියලා අද අපි හඳුන්වන්නේ….ඔය  Valentine’s Dayඑක මොස්තරේට සැමරුවට ඒකෙ ඉතිහාසයවත් බහුතරයක් අපේ අය දන්නේ නැතුව ඇති…. එක අතකින් දැන්ගත්තා කියල වැඩකුත් නෑනේ…. අපිටත් ඕනෑ change එකට දවසක් විතරනේ….

ඉතින් මේ දිනය අද ලෝකයේ වැඩිම පිරිසක් සමරන, එමෙනම් වැඩිම උත්සව ගණනක් සංවිධානයකරන දිනය කියලා නම්කලාට මම වැරදි නෑ මං හිතන්නේ….. සොයාගෙන තිබෙනවා මිලියන 141 කට ආසන්න Valentine Card ප්‍රමාණයක් ලෝකය තුළ මේ දිනයට හුවමාරුවෙන බව…. ඒ ගණන දෙවෙනි වෙන්නේ නත්තල් කාලයට හුවමාරු වෙන Christmas Cards ප්‍රමාණයට පමණයි….

හැම මාධ්‍ය ආයතනයක්ම, හැම වෙළඳ ආයතනයක්ම මේ දිනය ඉලක්ක කරගෙන තමන්ගේ marketing strategies එළියට දානවා… මේ marketing ලෝකයේ මේ වගේ දිනයන් හොඳ business ඉල්ලම්…. තව දෙයක්…. මේ වගේ මානුෂීය කාරණාවලට විශේෂයෙන්ම ආදරය වගේ කාරණාවලදී අපි හරි සංවේදියි…. ඉතින් අපි පෙළඹෙනවා නිතැතින්ම අපෙ සහකරුට හෝ සහකාරියට සුළුවෙන් හෝ යමක් අරන් දෙන්න මේ valentine දිනයට…. ඒ නිසා මේ මානුෂිය කාරණා ඉලක්ක කරල business කරන එක අනික් කාරණා ඉලක්ක කරලා business කරනවට වඩා ලේසියි….. එහින්දා ඇත්තම කාරණේ තමයි මේ marketing ලෝකයේ ආදරය එහෙමත් නැතිනම් Love  කියන්නේ හොද business opportunity එකක් නැතිනම් target එකක්…

මාධ්‍ය ආයතන විශේෂ වැඩසටහන් සංවිධානය කරනවා…. Valetine’s day parties , සංගීත වැඩසටහන්, විද්‍යුත් සුභ පැතීමේ වැඩසටහන් හැම මාධ්‍ය ආයතනයක්ම සංවිධානය කරනවා…. ඉතින් මේවාට පෙම් යුවලවල් සහභාගී වෙන්නේ බොහොම සන්තෝසෙන්…. එක අතකින් වැඩේ මානුෂීය පැත්ත ගත්තාම මේ වැඩසටහන් නරකම නෑ…. මොකද ඒ තරම ඒවා මානුෂිය ගුණ ඉස්මතුවෙන්න දැනෙන්න කරන නිසා…  හැබයි ඇත්තම කතාව තමයි ඒ යට තියෙන්නේ mastermind marketing plan එකක්….. ඇත්තම කිව්වොත් මේ පෙම්වතුනෙ ඒ marketing දාම් ලෑල්ලේ ඉත්තන් වෙන්නේ නිරායාසයෙන්මයි…

ස්වර්ණාභරණ ආයතන මේ දිනය වෙනුවෙන්ම විශේෂ ස්වර්ණාභරණ නිර්මාණය කරනවා…. සමහර ඒවායේ මිල ගණන් දැක්කාම අපේ භෂාවෙන් කිව්වොත් තරු විසිවෙනවා… නමුත් ඔබ හිතන්නේ ඒවා විකිණෙන්නේ  නෑ  කියලද???? නෑ ඒවා හොඳට විකිණෙනවා…. මොකද ආදරෙ කියන දෙයට අපි ගොඩක් සංවේදියි…. ඉතින් ඒ වෙනුවෙන් අපේ උදවිය වියපැහැදම් කරන්න පසුබට වෙන්නේ නැහැ… සමහරවිට මේ තෑගි ගන්නේ ණය අරගෙන වෙන්න පුලුවන්…. නැතිනම් තමන්ගේ දෙයක් උගස්කරල වෙන්නත් පුලුවන්…. සමහරවිට අතේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි නිසා වෙන්නත් පුළුවන්….. කොහම නමුත් අන්තිමේදී මේ හැමදෙයකින්ම වාසි ලැබෙන්නේ වෙළෙන්ඳාට…. ඒක තමා යථාර්තය….

ඊලඟට ගත්තොත් chocolate…. විවිධාකාර රසයෙන් යුතු, සුවඳින් යුතු  chocolate වැහි වැහලා කඩවල…. දියවැඩියාව තියෙනවනම් පොඩ්ඩක් කල්පනාවෙන් කෑවොත් හොඳයි…. මං හිතන විදිහට ලංකාවේ chocolate වලට ඔය තරම් තැනක් ලැබෙන්නේ ඔය දවසෙදී තමයි….. සමහර chocolate තියෙනවා box එක හෙන size heart shape එකක්…. එවුනාට ඇතුලේ තියෙන්නේ හෙන පොඩි chocolate කෑලි ටිකක්… Chocolate කෑලි කටකටවත් මදිවුණාට මොකද ගාණ නම් ඉතින් හෙන සැරයි… ඒත් ඒවා විකිණෙන්නේ උණු කැවුම් වගේ…. මොකද ආදරය ඒ තරම්ම අපේ මිනිස්සුන්ට සංවේදී කාරණයක් නිසා….

සුපිරි වෙළඳ සංකීර්ණවලට ගියොත් කාලෙට ඔබට අනිවාර්යෙන්ම හොයාගන්න පුලුවන් දිනය වෙනුවෙන්ම පිළියෙල කල විසිතුරු තෑගි…. මේ තෑගිවල මිල ගණන් ගත්තාම ඉලක්කම් 3 ඉඳන් ඉලක්කම් 5 දක්වාම ව්‍යාප්තවෙලා  තියෙනවා…. රතු රෝස මල්වලට මේ කාලයේදී ලැබෙන්නේ ලොකු ස්ථානයක් market එකේ…. රතු රෝස මලක්, Valentine Card  එකක් නොගන්න පෙම්වතෙක් පෙම්වතියක් නැතිතරම්….

මේ තමයි valentine දවසේ  business side එක…. ඕකෙන් ඉතින් ගැලවෙන්න අමාරුයි…. මොකද අපේ බහුතරයක් valentine’s day එක සැමරීමට බැඳිලා ඉන්න නිසා…. ඒකට මුකුත් කියන්න බැහැ… මොකද ඒක ඒ අයගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය…. ඒකට හරස් කපන්න කාටවත්ම බැහැ… කොහමවුණත් business වලට කල්ල මරේ මේ කාලයෙදී…. ඒක තමා ඉතින් සැඟවුණු ඇත්ත මේ හැමදෙයක්ම යට…. නමුත් අපි පිවිසෙමු මේකේ වඩාත්ම කතාකලයුතු අංශයකට…. මං හිතනවා පෞද්ගලිකවම ඒ අංශය ගැන කතාකිරීම මේ අන් හැමදෙයකටම වඩා වටිනවා කියලා….

Valentine’s day එක ඉවරවෙලා පහුවෙනිදාට business profit analyzing එක කරනවා වෙනුවට එදා දවසේ කීයක් යුවල් තමන්ගේ චරිතය කෙලසගත්තද කියන එක හොයල බැලුවනම් valentine දවසේ කාටත් නොපෙනී සැඟවුණු අඳුරු තිත්ත කතාව හොයාගන්න තිබ්බා… කිසිම තර්කයක නෑ ඔබට බොහෝදෙනෙක් හමුවේවී ඒ තත්වෙට පත්වෙච්චි… අන්තිමට valentine දවසේ ආදරය ගැන මහ ලොකුවට අඬබෙර ගැහුවට මොකෝ කඳුලෙන් පිරුණු අනාගතයක් උරුමවෙලා බොහෝදෙනෙකුට…. මේකට එක පාර්ශවයකට විතරක් ඇඟිල්ල දිගුකරන්න පුළුවන්ද???? නෑ…. මේකට දෙපාර්ශයම වග කියන්න ඕනෑ…..

අවිවාදයක් නෑ… ලිංගිකත්වය කියන්නේ ප්‍රේම සම්බන්ධතාවයකදී එක්තරා සුවිශේෂී කාරණයක් කියන එක ගැන….. නමුත් ඒක ප්‍රධානම කාරණය හෝ ප්‍රබලම කාරණය නොවේ ආදරයකදී….ඒ හින්දා ආදරය කියන කාරණයෙදී වඩා වැදගත් ලිංගික ගණුදෙනු නෙමෙයි…. ඊට වඩා කතාකල යුතු හුවමාරු කරගතයුතු අදහස් තියෙනවා…

දැන් වැරදියට වටහගන්න එපා… මේ කියන්නේ අතින් අල්ලන්න එපා,ඉනෙන් අල්ලන්න එපා, වැළඳගන්න එපා, හාදු දෙන්න එපා කියලා…. පෘථග්ජන මිනිසුන් විදිහට එවැනි සීමා මායිම්, වාරණ අපිට යොදාගන්න අමාරුයි…. නමුත් අපිට පුළුවන් එතැනින් එහාට බරපතල කාරණාවලට නොයන්න…. තේරෙන භාෂාවෙන් කිව්වොත් ආදරය කල පලියට යහන්ගතවෙන්න අවශ්‍ය නෑ… නමුත් අවාසනාවට අද ආදරය කියන දේ ඇතුළේ ගොඩක් අය ඒක මහා පොදු  සාධකය කරගෙන…. අද අපිට නිතරම පුවත්පත්වල, විද්‍යුත් මාධ්‍යවල අහන්න දකින්න වෙන ඛේදාන්තවල  මුල  ඕක තමයි….

ඇත්ත… ප්‍රතිවිරුද්ධ ලිංගික ආකර්ෂණය නිසා තමයි අපි ආදරයකට පෙළඹෙන්නේ…. සමහරක්විට අපිව එතැනට මෙහෙයවන්නේ සහකාරියගේ හෝ සහකරුවාගේ බාහිර රූපයේ තියෙන ලස්සන හෝ කඩවසම් බව වෙන්න පුළුවන්… නමුත් එහෙම කියලා ආදරයක් පටන්ගත්තාට පසුව කාටවත් licenseදීලා නැහැ කෙනෙකුගේ කුමරි බඹසර හො කුමර බඹසර බව වනසන්න…. ප්‍රේම සම්බන්ධතාවයක් කියන්නේ ඒකට බලපත්‍රයක් නෙමෙයි….නමුත් අද සමාජයේ බොහෝදෙනෙකුට ඒ බව අමතකයි…. ඒ අය හිතාගෙන ඉන්නේ කෙල්ල හෝ කොල්ලා ” I Love You”  කිව්ව පමණින් ඒක තමන්ගේ කායික ආශාවන් සංසිඳුවාගන්න දුන්න ආශිර්වාදයක් කියලා….

මං කලින් වතාවක් දෙවතාවක් මේ කතාව කියල තියෙනවා…. නමුත් ආයේ මතක් කරන්න හිතුණා මේ කාරණේ මෙතැනට ඒක වැදගත් වෙන නිසා…. අපි පරිණාමවාදයෙන් බිහිවුනු සත්ව කොට්ඨාශයක්…. ඒ නිසා අපිට යම් යම් තිරිසන් ලක්ෂණ කාන්දුවෙලා තියෙන්න පුළුවන්… ඒත් එහෙව් වුණු පලියට අපි ඒ ලක්ෂණ උලුප්පලා ගන්න ඕනෑ නෑ…. ඊට වඩා ඒ ලක්ෂණ යටපත්කරගැනීමයි කල යුත්තේ…. ඒකට සොබාදහමෙන් ඔබට බුද්ධියක් දීලා තියෙනවා…. ඒ ඇර මිනිස් සමාජය අනුගමනය කරන ආගම් දර්ශන මේ කාරණේදී යොදාගන්න පුලුවන්…..

දකින දකින තමන්ගේ වරිගයේ සතුන් එක්ක වෙලාවක් අවේලාවක් නැතුව සංවාසයේ යෙදීම තිරිසන් ලක්ෂණයක්…. මිහිපිට ඉන්න බුද්ධිමත්ම සත්ව කොට්ඨාශය කිය කිය පම්පොරී ගහමින් අපිත් ඒ ඝනයටම වැටෙන්න ඕනෑද???? මං කියන්නේ ඔබම ඒකට පිළිතුරක් හිතලා බලන්න කියලා…..

ආදරයකදී සම්බන්ධතාවයක් ඇතිකරගන්නා දෙදෙනා විශේෂයෙන්ම කල්පනා කළයුතු කාරණයක් තියෙනවා…. ඒ තමා ආත්ම ගෞරවය කියනදේ…. එතැනදී තමන්ගේ ආත්ම ගෞරවයක් විතරක් නෙමෙයි අනෙක් කෙනාගේ ආත්ම ගෞරවය ගැනත් හිතනවනම් මෙහෙම දෙයකට ඔබ කිසිවිට පෙළඹෙන්නේ නෑ…. ඒක තමා යථාර්තය…..

කිසිම විටෙක තමන්ගේ සහකාරිය හෝ සහකරුවා දිහා සෙල්ලම් බඩුවක් වගේ බලන්න එපා…. මිනිස් ජීවිතවලට ඊට වඩා අර්ථයක් තියෙනවා…. සෙල්ලම් බඩුවක් එක් කාලයකට හිතේ හැටියට පාවිච්චිකරලා පස්සේ ඒවා කැඩුණාම විසික් කරලා දාලා ආයේ අලුත් එකක් අරන් සෙල්ලම් කරනවා…. මේ කාරණේ ආදර සම්බන්ධයකදී අනුගමනය කරන්න ගියොත් ඔබ කරගන්නේ කිසිම දවසක ගෙවා නිමකල නොහැකි පාපකර්මයක්…. මේ කාරණේ ගැහැනු පිරිමි දෙවර්ගයටම වලංගුයි….. මේක තමා ඇත්ත…..

ඔබ  valentine දවසට අරන් දෙන තෑග්ගේ වටිනාකම්න් ඔබේ ආදරේ තරම තීරණයවෙන්නේ නැහැ…. ඔබේ ආදරයේ තරම තීරණය වෙන්නේ ඔබ මනුෂ්‍යයෙකු විලසින් ඔබේ සහකාරිය හෝ සහකරුවා එක්ක ආදරයකදී හැසිරෙන විදිහ මතයි…. ඒ නිසා ඔබ ලක්ෂ ගණන් තෑගි අරන් දුන්නාට පලක් නෑ ඔබේ හැසිරීම ඇය හෝ ඔහු සමඟ අපුලනම්…. මට වෙලාවකට හිතෙනවා valentine දවසේදී මුල්‍යමය වටිනාකමකට තෑග්ගක් දීලා අපේ අය කරන්නේ තමන්ගේ ආදරේ බාල කිරීමක්ද කියලත්…. මොකද මානුෂික කාරණයක් මිම්මකින් මනින්න බැරි නිසා….. ඒත් ඒ වගේ මතයක් ගොඩනඟන්න මට අයිතියක් නෑ…. මොකද තෑග්ගක් අරන් දීම හුදෙක් ප්‍රජාතාන්ත්‍රික කාරණයක් වෙන හින්දා….

කවදාවත්ම අපිට බැහැ පිරිමියෙකුගේ හෝ ගැහැණියෙකුගේ වටිනාකම අවතක්සේරු කරන්න…. මොකද අපේ අම්මා, තාත්තාත් ගැහැනියෙක් හා පිරිමියෙක්…. අම්මාගේ මව් කිරිවලට පින්සිද්ධවෙන්න අපි මෙලොව මත පය ගහනවා…. තාත්තාගේ දහඩිය කඳුලුවල ප්‍රතිඵලයක් විදිහට අපි උස් මහත්වෙනවා….. එහෙව් හැදෙන අපි කොහමද ගැහැණු හෝ පිරිමි ජීවිතේක වටිනාකම අවතක්සේරු කරන්නේ…. ඒ හින්දා කිසිම විටෙක අවලංගු කාසියක ගණයට ජීවිතයක් දාන්න එපා…. විශේෂයෙන්ම ආදරයක්දී කවදාවත් තම්න්ගේ සහකාරිය හො සහකරුවා අතරමං කරන්න එපා…. ඒක මහා පාපයක්….

Valentine දවසට විතරක් නෙමෙයි… ඔබ හැම තත්පරයක්ම, පැයක්ම, දිනක්ම, ජීවිතේ පුරාවට හොඳට ආදරය කරන්න…. ආදරයට සොබාදහමෙන්වත් බාධාවක් නෑ…. වඩා වැදගත් වන්නේ ඔබේ ආදරේ අවංකව පිරිසිදු වීමයි…. ආදරය කියන දේ කුමන හේතුවක් මත තමන්ගේ සිතට පිවිසියත් තමන් ආදරය කල යුත්තේ පපුවෙන්…. හදපත්ලෙන්…. එවිට ඔබට එහි මිහිර හොඳට දැනෙවී…. එය හුදෙක් ලිංගිකත්වය මත නොව ඊට වඩා බැරෑරුම් විෂය පථයක් බව ඔබටම තේරේවී….

මට හිතෙනවා  මෙහෙම දෙයක් සටහන් කරන්න අන්තිමට…. ඔබ හොඳට ආදරය කරන්න…. නමුත් ඔබ ආයේ ගෙදර ගියාම තමන්ගේ සහකාරිය හෝ සහකරුවා ළඟ කාලය ගතකර…. ඔබට පුළුවන් වෙන්න ඕනෑ තමන්ගේ අම්මා හා තාත්තා දිහා සෘජුව නෙත්වලින් බලන්න…. එහෙම බලන්න බැරිනම් ඔබ ආදරයෙදී අන්ත පරාජිතයෙක්…. එහෙම බලන්න පුලුවන් නම් ඔබ අති සාර්ථකයි ආදරයේදී….. එවිට ඔබට ආදරේ ගැන  ලියැවුණු රූකාන්ත ගුණතිලකයන් ගායනා කරන ” සුවඳ දැනී දැනෙනවා ” ගීයේ පද පෙලක අර්ථය නිරායාසයෙන්ම තේරේවී…. නමුත් එහි අර්ථය තේරුම් ගැනීම නොගැනීම රඳා පවතින්නේ ඔබේ අතේ…

” ජීවිතේ සුන්දරද මෙතරම්…. “

තිරසබැඳිය ප්‍රතිචාර 2

අවිගත්තෝ…. අවියෙන්ම නැසෙති….

ඔක්තෝබර් 20, 2011 at ප.ව. 9:19 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , , , , , , )

" අවිගත්තෝ.... අවියෙන්ම නැසෙති.... "

ලොව බිහිවූ ඒකාධිපතීන් බලය තමන් අත තිබෙනවිට සිතන්නේ ඔවුන් තරම් ලොක්කන් මේ ලෝකයේ නැතිබවයි… ඔවුන් තමන්ට සිතුණු සිතුණු දේ කරයි… ජනතාව තලා පෙලා දමයි… මිනිස් ජීවිතවල වටිනාකම නොසලකාහරියි… අනික් මිනිසුන් දුක් විදිනවිට ඉහළ සැප සම්පත් ලබමින්, වස්තු ධනය උපයමින් වැජඹෙයි…

ඒත් ඒ හැමදේම නැතිවෙන්නට යන්නේ සුළු මොහොතයි… ඒ හැමදේම මරණයට යටයි… ඉන් ගැලවෙන්නට කාටත් බැරිය… නමුත් මනුෂ්‍යයෙකුසේ මෙලොව ඉපිද… මනුෂ්‍යයෙකුසේ මෙලොව හැර ‍යාම තරම් වාසනාවක් හා වටිනාකමක් මිනිස් ජීවිතයේ තවත් නැත… තමන් මිය ගියාට පසු මිනිස්සු අතර අමරණීයවන්නේ එවිටයි… එසේ නොවුණු තැන මිනිසුන් සැමදාම මිනිසුන් ඒ ජීවිතවලට මරණයෙන් පසුව වූවද ශාප කිරීම වැලැක්විය නොහැක…

අවුරුදු 42 ක් ඒකාධිපතිත්වයෙන් වැජඹීමට ගොස් අවසානයේ මනුෂ්‍යයත්වයට නිගා කිරිමේ පාපයට වන්දි ගෙවා වෙඩි උණ්ඩවලට බිලිව අමනුෂ්‍යයෙකු සේ මෙලොව හැරගිය ගඩාෆිගේ ජීවිතය ඊට ඇති කදිම උදාහරණයකි… නමුත් දැන්වත් මේ ආයුධ සංස්කෘතිය ලොවෙන් තුරන්විය යුතුය… ඒත් එය සිදුවේද???… තවත් මිනිස් ජීවිත කීයක් බල තණ්හාව නිසා අවිවලට බිලිවෙයිද????… පිළිතුරක් පෙනෙන තෙක් මානයක නැත…

තිරසබැඳිය ප්‍රතිචාරයක් ලබාදෙන්න

අහස හෙවණ කරගත් ළමයි….

ඔක්තෝබර් 14, 2011 at ප.ව. 3:13 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , , , , , , )

F31CB9B6-BD0E-4D89-BD59-5ADABAB18EED

ඒත් මේ ළමයින්ගේ කුසගින්න හෙට දවසේ නිවෙයි කියලා කියන්න පුලුවන් කාටද?????

” අද ඔක්තොම්බර් 1 වෙනිදා…. ලෝක ළමා දිනය…. මේ විශේෂ වැඩසටහන අප මාධ්‍ය ආයතනය සංවිධානය කලේ ළමයින්ටම පමණක් විශේෂ වූ මේ දිනය සමරන්නටයි ”

මේ ඔක්තොම්බර් 1 වෙනිදා බොහෝ ජනමාධ්‍ය වලින් කියැවුණු කාරණයක්….  එක් එක් මානුෂීය කාරණා සම්බන්ධව අවුරුද්දේ 365 දවස් වෙනවෙනම වෙන්කිරීම අනුමත නොකලත් අවම වශයෙන් ළමුන් වෙනුවෙන් එක දවසක් හෝ මේ කාර්යබහුල marketing සමාජය තුළ වෙන්වී තිබිම ගැන ඇත්තටම සන්තෝසයි……..

නමුත් යථාර්තය නම් මේ දිනය සමරන්නේ marketing රාමුවේ ඉඳන්…. නමුත් කමක් නෑ….  ඒ චේතනාව අතරේ හොඳ චේතනාවක් තියෙන නිසා  ප්‍රශ්නයක් නෑ…. මොකද marketing ලෝකයට හැමවෙලේම ඇඟිල්ල දික්කරන එක වැරදියි…. ඒකෙ ඇතුලේ හැමවෙලේම වෙන්නේ වැරදි වැඩ විතරක් නෙමෙයි…. හොඳ දේවලුත් සිද්ධවෙනවා…. ඒ නිසා ඒ දේවල් අගය කලයුතුයි….

දැන් හැරෙමු ලෝක ළමා දිනයට ආයෙමත්…. Programme එකට ආපු පොඩි උන්ට නිවනක් නැහැ…. සමහරු නටනවා…. සමහරු නටනවා කියල උඩපනිනවා…. සින්දු කියනවා…. අත්පුඩි තලනවා…..  නාට්‍ය රඟපානවා…. ඉඳල හිටලා වලියකුත් තියෙනවා ලොකු මිනිස්සු වගේ… ලැජ්ජාවෙන් ඇඹරෙනවා….. වැඩ කෝටියයි….!!!!! ඒ තමයි පොඩි උන්ගේ ලෝකය….

ඇත්ත තමයි පොඩි උන් මල් වගේ කියන්නේ…. ඒ අයගේ හිත් අපිරිසිදුවෙලා නෑ…. ඒ අය ළඟ ඉන්න මනුස්සයගේ ජාතිය ජන්මය හොයන්න යන්නෙ නෑ…. ඒ හින්දා ඒක ඒ අයට ප්‍රශ්නයක් නෙමෙයි…. ඒක ප්‍රශ්නයක් වෙන්නේ ලොකු මිනිස්සුන්ට…. ඒ අය තමා මේ බෙදාවෙන්කරන්න උත්සහකරන්නේ එක එක කුලකවලට පොඩි කාලේ ඉඳන්ම…. අන්තිමට ඔය පොඩි ළමයා ලොකු මනුස්සයෙක් වුණු දවසට කරන්නෙත් ඔය ටිකමයි ඒ අඩි පාරේ ගිහිල්ලා….

එක පැත්තක සුනඛ සංදර්ශන ( Dog Shows )…. පොඩි උන් කටත් ඇරගෙන බලන් ඉන්නේ සුනඛයන්ගේ වැඩකිඩ ගැන…. එක පැත්තක ice cream…. එදාට ඔය සෑහෙන වියදමක් දරා ඇතුල්වෙන්න තියෙන amusement parksවලට ඇතුලුවීම නොමිලේ…. නැතිනම් ticket වල ගාණ අඩුයි…. ඒනිසා පොඩි උන්ටත් මාර chance එක විනෝදවෙන්න….

ඒ ඔක්කෝටම වඩා පොඩි එකාට කාලේකට පස්සෙ තමන්ගේ දෙමව්පියන් එක්ක දවසක් විනෝදයෙන් කාලේ ගතකරන්න ලැබිලා…. මොකද අනික් දවස්වලට අම්මයි තාත්තයි machine වගේ…. ඒගොල්ලෝ උදේම office නැතිනම් වැඩට යනවා…. දරුවා එක්කො ආච්චි ගාවා…. නැතිනම් ආයා ගාවා…. එහෙමත් නැතිනම් day care center එකේ…. මේ marketing ලෝකය ඇතුලේ ඒ දෙන්නාට ලොකු තරඟයක් කරන්න වෙලා ජීවත්වෙන්න…. මොකද මේ පොඩි එකාගේ අනාගතය සවිමත් කරන්න ආරථිකමය වශයෙන් ශක්තිමත් වෙන්න වෙලා තියෙනවා ඒ දෙන්නාට….

ඉතින් පොඩි එකාට අම්මගේ තාත්තාගේ උණුසුම ලැබෙන්නේ නිදාගන්න පැය කිහිපයදීයි…. එතැනින් ගියාම නිවාඩු දවස්වලයි….. සමහරක්විට පොඩි උන් නොකිව්වට උන් වැඩියෙන්ම සන්තෝස වෙන්නේ ඒ කාරණේ නිසා වෙන්න ඇති…. ඔය පොඩි හිත්වලට දැනෙන හැමදේම කියන්න තරම් උන් වචනවලින් පොහොසත් නෑ…. ඒක තමා ඇත්ත…. වචනවලින් පොහොසත් වෙනකොට උන් ලොකු මිනිස්සුන්ගේ කුලක ඇතුලේ බෙදිලා ඉවරයි…. ඒක තමා කරුමේ….

ඉතින් දවස පුරාම විවිධ වැඩසටහන්…. විවිධ තරඟ…. අන්තිමට ඇමති කෙනෙක් ඇවිල්ලා තෑගිත් දුන්නා…. පොඩි උන්ටත් කල්ල මරේ…. කාලෙකින් හිතේ හැටියට විනෝදවෙලා අන්තිමට ගෙදර ගෙනියන්න තෑගිත් ලැබිලා…. මුණ පුරා මලක් පිපිලා…. හා හා මලක් පිපිලා!!!!!

කොහොමහරි දවස අවසන්වුණා…. පොඩි උනුත් ගෙවල්වලට ගියා ඒත් සන්තෝසෙන් නෙමෙයි…. මොකද උන් දන්නවා හෙට ඉඳන් ඒ අයට අම්මයි තාත්තයි වැඩට ගියාම තමන්ගේම ලෝකය ඇතුලේ තමන්ට සිරකාරයෙක් වෙන්න වෙන බව…. අත පය හොල්ලලා චණ්ඩි පාට් දානවා බොරු….

සමහරවිට මේ අද දිනාගත්ත තෑගි ඒ අයගේ තනියට ඉදිවී…. සමහරක්විට ඒකත් නැතිවෙයි…. මොකද අපේසමහර අම්මල තාත්තලා ඒ තෑගි තියන්නේ ලස්සනට cabinet එකක කඩයි කියල බයට…. පොඩි එකාට වෙන්නේ ඒ දිහා බලන් සුසුම් හෙලන්නයි…. ඒ අය සෙල්ලම් බඩු එක්ක පොඩි කාලේ සෙල්ලම් කරන්නෙ නැතුව දීග ගිය කාලෙක සෙල්ලම් කරන්නද???? එහෙම සෙල්ලම් කලොත් ඉතින් අනිවාර්යෙන්ම ගිහිල්ලා නතරකරයි අංගොඩ….

ඒක හරිම වැරැදි වැඩක්…. ඇත්ත සමහරක් සෙල්ලම් බඩු ළමයින්ට අහිතකරයි…. ඒවායේ තියෙන කොටස් කටේ දාලා උගුරේ දාලා හිරේ කරගන්න පුලුවන්…. නමුත් අනික් සෙල්ලම් බඩු දෙන්න පුලුවන් ළමයින්ට සෙල්ලම් කරන්න…. ළමුන්ගේ නිර්මාණත්මක චින්තනය දියුණු කරන්න ඒවා ඉවහල්වෙනවා….

එහෙම නොදෙනවානම් ඒක ඇත්තටම ඒ ළමයාගේ මුලික මිනිස් අයිතිවාසිකමක් කඩකිරීමක්…. සමහරවිට අඩි හප්පලා… ගිරිය පුප්පලා කෑගහල අඬන්නේ ඒක දරාගන්න බැරිව වෙන්න ඇති…. පොඩියට හිටියට උනුත් හොඳ විප්ලවවාදියෝ!!!!….

දැන් ඔක්තොම්බර් 1 වෙනිදා ඉවරවෙලා ටික දවසක්…. මිනිස්සු සුපුරුදු ලෙස වෙලා…. මාත් ගියා ඊයේ පෙරේදා දවසක බොරැල්ලට මගේ පෞද්ගලික කාරණයකට…. වෙනසකටත් එක්ක මං ගියේ කොස්වත්ත්ට ගිහින් 171 ක… එතකොට මට Ritz සිනමාහල ළඟින් බහින්න පුලුවන්…. Ritz එක ගාවින් බැස්ස මම ඇවිදගෙන ආවා 154 bus halt එකට…. මේ එන පදික වේදිකාවේ කෙලවරක තියෙනවා උමං මාර්ගයට පිවිසෙන ස්ථානයක්….

එතැන ඉන්නවා සිඟමන් යදින පවුලක්…. මෙතැන මගෙ ඇස් ගියේ එතැන හිටපු පොඩිම සමාජිකයන් දිහාවට…. ඇත්තටම ඒ ළමයි අපි T.V.වල, Addවල  දකින පියුරු ගාපු ලස්සනට අන්ඳපු ලමයි නෙමෙයි…. අපිරිසිදු වැරහලිවලින් සැරසුනු, සොටු පෙරාගත්තු, අපිරිසිදු ළමයි…. ඒත් ඒ ළමුන්ගේ මුහුණේ ලස්සන හිනාවක් තිබ්බා…. ඇත්තම කිව්වොත් අනික් අහිංසක ළමයින්ගේ වගේමයි…

මේ ළමයි අර සමබල ආහාර කන, sausages කන, cheese කන, noodlesකන ළමයි නෙමෙයි…. කොටින්ම බොන්නෙත් රොන්මඩ, මළකඩ මුසුවෙච්චි ජලය…. වැසිකිලි කැසිකිලි පහසුකම් නෑ…. අම්මගෙ හරි තාත්තාගේ හරි අතේ එල්ලිලා බෙලෙක් එකකුත් අරගෙන පාර පුරා ගිනි අව්වේ ඇවිදල තමන්ගේ එදා වේල පිරිමහගන්න ලොකු මිනිස්සු එක්ක හරි හරියට සටන කරන ළමයි….

එදා වේල හොයගන්න බැරිවුනාම කුණුගොඩක් හරි අවුස්සලා කන්නට යමක් හොයගන්නවා…. පාන්වාටියක්, ඉතුරුවෙච්චි බත් ඔය මොනවහරි කුසට දාගන්නවා….  මිනිස්සු කාලා ඉවත දාපු පාර්සල්වල  මස් කටු ඒ ලමයි සූප්පු කරන්නේ හරියට දිව්‍ය භෝජනයක් වගේ…. මේක විරල සිද්ධියක් නෙමෙයි… මේ ගිනිගහන සෙයිලමේ මේවගේ දේවල් ඕනිතරම් අපි දැකල තියෙනවා…. කණගාටුව මේකයි… එ ළමයි එහෙම තමන්ගේ බඩගින්දර නිවාගන්නකොට ඒ අය සිඟමන් යදින මාර්ගයේම තියෙන තරු 5 හෝටල්වල ආහාර කිලෝ ගණන් අහක දමනවා….

අපේ ගොඩක් අය සෑහෙන්න වියදම් කරල උපන්දින සාද, අවුරුදු සාද ගන්නවා…. මං කියන්නේ නෑ ඒක වැරදියි කියලා… ඒක ඒ අයගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය…. ඒත්  ඇත්තම කිව්වොත් මේ වගේ අහිංසක දරුවන්ගේ කුසගින්න එක දවසකට හරි ඔබට නිවන්න ලැබුනොත් ඒක තමන්ගේ ජීවිත කාලය පුරාවට කරගන්න ලොකු පිනක්…. සාද පවත්වනවට වඩා සැනසීමක් ඔබට දැනේවී…. රජ බොජුන් අවශ්‍ය නෑ ඒකට…..

ගිනි අව්වෙ ඇවිදලා ඒ ළමයින්ගේ මුහුණ පිච්චිලා…. පුංචි ළමයි මල් වගේ කිව්වට මේ ළමයින්ගේ මුහුණු ඒතරම් පියකරු නැහැ…. ඒත් අහිංසක හිනාවකින් පිරිලා…. කොණ්ඩේ බොකුටු ගැහිලා…. ඉපදුණු දා ඉඳන් ඒ කොණ්ඩේ පීරලා නැතුව ඇති….

ඇඟ පුරාම තුවාල, කැළල්…. පොඩි ළමයි ළඟ එන සුවඳ විලවුන් සුවඳ වෙනුවට මේ ළමයින්ගේ ළඟින් එන්නේ දාඩිය පෙරුණු නාවර ගඳ…. ඒත් ඒ මුහුණේ තිබ්බේ අහිංසක දරුවෙකුගේ හිනාවක්…. ඇත්තටම මේත් ළමයි නේද????

ගෙවල්වල ඉන්න ළමයි සැපට උණුසුම් පොරෝණ පොරවගෙන නිදියද්දී මේ ළමයි නිදියන්නේ කඩපිලක නැතිනම් මහ පාර අයිනේ සීතලට ගුලිවෙලා…. වැස්සක් වැස්ස දවසට ඒ නින්දත් නෑ…. අපිට නිදාගන්න බැරිවුණාම කොච්චර අමාරුද????ඒත් ඒ දෙයින් ඒ අයට මිදෙන්න බැහැ…. මොකද ඒ අයගේ හෙවණ අහසම නිසා….කොච්චර අමාරුවුනත් ඊළඟ දවසේ මේ ළමයි සිඟමන් ගියේ නැත්නම් ඒ ළමයි බඩගින්නේ… ඒක තමා ඒ ජීවිතවල  යථාර්තය….

පුංචි ළමයි ආස සෙල්ලම් බඩුවලට…. උන්ට සෙල්ලම් බඩුවලින් තොර ලෝකයක් නැහැ…. ඒත් මේ ළමයි තමන්ගේ ඒ ආශාවල් සන්සිඳුවගන්නේ බෙලෙක් පියන් වලින් නැතිනම් පොල්පිතිවලින්…. එහෙමත් නැතිනම් කුණුගොඩකින් අහුලගත්තු අණ්ඩ කැඩිච්චි බෝනික්කෙක්ගෙන්, කැඩිච්චි car එකකින්….

සෙල්ලම් බඩු කඩ ළඟින් යද්දී ඒ පුංචි හිත්වලට කොච්චර රිදෙනවා ඇත්ද????… ඒ ඇස්වලට කඳුලු පිරෙනවා ඇත්ද???? උන් කොච්චර දුකක් හිත ඇතුලේ හංගගෙන ඇත්ද???? ඒත් ඒ අයට මෙව්ව කියන්න කවුරුත් නැහැ…. කාට කියන්නද ඇත්තටම….

සමහරවිට මේ ළමයි මේ අවනඩුව කියනවා ඇති…. ඔව්, ඒ වෙන කාටත් නෙමෙයි රෑ අහසේ ඉන්න හඳටයි තරුවලටයි…. දවල්ට ඉර දිහා බලලා කතාකරන්න ඒ පුංචි ඇස්වලට බැහැ…. මොකද හිරුගේ රැස් චණ්ඩයි කුරිරුයි…. හරියට ඒ අයගේ දෛවය වගේ…. ඒත් හඳටවත්, තරුවලටවත් උත්තර නැහැ මේවාට….

මොකද සොබාදහම තමන්ට පුලුවන් විදිහට හැමදෙයක්ම සමව බෙදලා දීලා තියෙනවා මිනිස්සුන්ට…. ඇත්තටම මේ තත්වවලට මිනිස්සු වැටුණේ තමන් විහින්ම…. ඒත් ඒකට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ මේ අසරණ 6 ක් 4ක් නොතේරෙන කිරිසප්පයින්ට…. ඒක තමා තිත්තවුණත් ඇත්ත….

රාගයෙන් මත්වුණු පිරිමියෙකුගෙන් හා ගැහැනියෙකුයි අතර ඇතිවුනු කායික සම්බන්ධතාවයකින් පුංචි අහිංසක දරුවෙක් ලැබිලා…. ඒ කාරණය ඇතුලේ පවුල් සැලසුම්කරනයවත්, අනාගතය පිළිබඳ දැක්මක්වත් නෑ…. තියෙන්නේ රාගය පමණයි…. අවසානයේ ඒ ඉපදුණු ළමයා ලෝකෙටම බරක්…. ඒ ළමයත් ලොකු මනුස්සයෙක් වුණුදාට කරන්නෙත් ඔය ටිකමයි….

පුංචි කාලේ ළමයි ආසයි අහන්න හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා…. ඒත් මේ ළමයින්ට ඉස්කොලේ යන එක, තමන්ගෙම ගෙයක ඉන්න එක, දවස්සේ තුන්වේලම කාලා හොඳට ඇදලා පැළඳලා ඉන්න එකම සුරංගනා කතාවක්…. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා ඇහුව දවසට ඒ ළමයි අහාවී ඒ කියන්නේ දිව්‍යලෝකය ගැනද කියලා…. ඒක තමා යථාර්තය….

ලංකාව ඇතුලේ ළමයි ගැන කතාකරන්න බොහොම අය ඉන්නවා…. ඡන්දෙ කාලෙට ළමයෙක් වඩාගෙන photo එකක් දාන්න අපේක්ෂකයෝ හරි ආසයි…. මොකද ඕනිම කෙනෙකුගේ ඇහැ යනවා පොඩි දරුවෙකුට….. හැබැ‍යි අමතක කරන්නෙපා ඔය අපේක්ෂකයෝ ළමයි වඩාගන්නකොට වඩාගන්නේ හොඳට powder ගාලා, ඕඩිකොලෝන් ගාලා පිරිසිදුවට අන්දපු ළමයි….

මං මේ කියන්නේ නෑ ඒ අයට මේ විදිහට අපිරිසිදු සොටු පෙරාගත්හු ළමයි වඩාගන්න කියලා නෙමෙයි…. මොකද මිනිස්සු විදිහට අපිට ඒවගෙ දෙයක් කරන්න ජුගුප්සාජනකයි…. ඒත් මං මේ කියන්නේ ඒ අයට මේ වගෙ දරුවන්ගේ අනාගතය සුරක්ෂිතකරන්න නිශ්චිත වැඩපිළිවෙලක් නැහැ කියලා…. තිබ්බා නම් මෙලහකටත් මේ වගේ වීදි දරුවන් ඉන්න විදිහක් නැහැ….. ඒ හින්දා මහ හයියෙන් බෙරිහන් දුන්නට වේදිකාවල දරුවෝ ගැන කැක්කුමකින් ඒවා නිකන්ම නිකන් පුස් වචන…. ඇත්තම කිව්වොත් ඒ අය ළමයින්වත් market කරලා තමන්ගේ මැතිවරණය වෙනුවෙන්…

ළමා අයිතිවාසිකම් ගැන බැරෑරුම්ව කතාකරන කාලයක් මේක…. මං හිතන්නේ මේ ළමයි ගැනත් අවධානය යොමුවෙනවනම් හොඳයි…. දෙමව්පියන්ගේ වැරදිවලට මේ ළමයි පලි නෑ…. ඒක මේ ළමයින්ට නෙමෙයි හැම ළමයටම පොදු කාරණයක්….. එහෙම නොකලොත් මේ ළමයි කවදහරි මේ සමාජයට ලොකු මිනිස්සු වුණු දවසක වෛරකරයි…. අපරාධ වැඩිවෙයි…. මානව සංහතිය වැනසෙයි….. මේක තමා යථාර්තය…..

මහලොකුවට අඬබෙර ගහගෙන ලෝක ළමාදින සැමරුවට ඉන් ඵලක් නෑ…. මේ වගේ දරුවෝ පාරවල්වල අතරමන්වෙලා ඉද්දී දඩාවතේ යන බල්ලන් රැල්ලක් වගේ කුණු කූඩවලින් අහුලගෙන කද්දී….  හිතට එකඟව ඒ දිනය සමරන්න පුලුවන්ද???? මෙ ප්‍රශ්නය එක දවසකට සීමා කරල වැඩක් නෑ… ඒ වගේම ළාමකව සාකච්ඡාකරල ඵලකුත් නෑ…. මේක ඇත්තටම ප්‍රබල ගැටලුවක්….

ළමයි කියන්නේ ළමයි…. ඒ අය ඉපදුනේ මොන ආගමක අම්මෙකුට තාත්තෙකුට දාවද  කියන එක වැඩක නැහැ…. ඉපදුණේ කුරුදුවත්තෙඩ, ගෙදරද, රෝහලේද, පාරේද කියන එක වැඩක් නැහැ…..

මං දැකල  තියෙනවා මිනිස්සු වපර ඇහින් බලනවා උප්පැන්න සහතිකේ තාත්තගේ නම ඉස්සරහ හිස්තැනක් තියෙන ළමයි දිහා…. ඒකට ඒ පොඩි එකා පලි නෑ…. ඒකට වගකියන්න ඕනෑ රාගයෙන් මත්වෙලා ඇඟ ඇතුලේ තියෙන තිරිසන් ලක්ෂණ පාලනයකරගන්න බැරිවුනු ඒ ගැහනියයි පිරිමියයි…. දරුවා සම්පුර්ණයෙන්ම ලෝකෙට ආගන්තුකයෙක්…. ඇත්තටම අහිංසකයෙක්….

තව දෙයක් තියෙනවා…. ඔය මුඩුක්කු පරිසරයක නාගරික පැලපතකින් එන ළමයා ඒ වත්තේ නම යටතේ වර්ගකරන්න… අපේ “ශිෂ්ට ” කියන මිනිස්සු පෙළඹිලා…. ඇත්තටම ඒක ඒ ළමයගෙ වැරැද්දක් නෙමෙයි….. අපි එහෙම ඒ ළමයා කොන්කරන්න කොන්කරන්න ඒ ළමයා තල්ලුවෙන්නේ සමාජයේ දුසිරිතට….. අමතක කරන්නෙපා….. ලෝකය ජයගත් බොහෝදෙනා ආවේ සිටුමැදුරුවලින් නෙමෙයි…. මේවගේ අන්ත දුප්පත් පැලපත්වලින්…. ඒ නිසා ඒ ජීවිත අවතක්සේරු කරන්නෙපා…. ඔවුන්ට දිරි දෙන්න නැගිටින්න….

154ක් ආවා… මා යායුතුයි…. අතේ තිබ්බා රු.10ක්… මං ඒක ඒ ළමයගෙ අතට දුන්නා…. අහිංසක හිනාවක් ඒ මුහුණේ ඇඳුණා…. ඒක ඒ ළමයට රටක් රාජ්‍යයක් ලැබුන තරම් වටිනවා….

ඒත් මේ ළමයින්ගේ කුසගින්න හෙට දවසේ නිවෙයි කියලා කියන්න පුලුවන් කාටද?????

තිරසබැඳිය ප්‍රතිචාරයක් ලබාදෙන්න

Next page »