මේ දියතේ ඇති… එකම නොහිඳෙනා… ආදර උල්පත ඒ ඔබමයි…

"මේ දියතේ ඇති... එකම නොහිඳෙනා... ආදර උල්පත ඒ ඔබමයි..."
මේ දියතේ ඇති….
එකම නොහිඳෙනා….
ආදර උල්පත ඒ ඔබමයි….
මා දිවිගමනට….
එකම සඳයි ඔබ….
අම්මේ ඔබ මගෙ…. දිවිය පුරා….
මා හඬනාවිට…. බිළිඳුවියේ…
තුරුලට ගෙන සනසවමින්…..
ලේ කිරි කරලා…. පොවා හොවා මා….
ආදරයෙන් මා නැළවූවා….
ඔබ මතු බුදුවී…. සක්මන් කරනා….
මලුවේ මා වැලි අහුරක්වී….
ඔබේ දෙපා වැඳ…. පුදදෙන්නමි මා….
ඉන් පෙර භවවල පුතුන් ලෙසේ….
නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
පියාණනි ඔබ… මිහිපිට ජීවය… මේ ලෝ දියතම… සරසන්නේ…

" මව්වරු පමණද... මතු බුදු වන්නේ... පියවරු නැතිවදො... බුදු වන්නේ... "
අම්මා සඳනම්…. ඔබ ඒ සඳහට….
එළිය දුන් ඉරයි…. මා දනිමි….
ඔබගෙන් විහිදුණු…. රැස් කිරණෙන් මා….
ජීවන ගමනම…. එළිය වුනේ…
සඟවා සිටිමුත්…. මහමෙරු පර්වත….
මෙන් ඔබ දරු පෙම…. සිත් කුටියේ….
පියාණෙනි ඔබෙ…. දෙනෙත් වලින් බැහැ….
එය සඟවන්නට…. සිත් රිසි සේ….
මව්වරු පමණද…. මතු බුදු වන්නේ….
පියවරු නැතිවදො…. බුදු වන්නේ….
පියාණනි ඔබ…. මිහිපිට ජීවය….
මේ ලෝ දියතම…. සරසන්නේ….
නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
ඉරිතැලී ගිය… ජීවිතේ මගේ… නිමවු වැස්සයි… ඔබේ ආදරේ…

" ඔබෙ සුවඳ ඇවිත්... රහසේ... හද දොර ලඟ... ඉඟි කෙරුවේ... "
මුලු ලොවම…. නිදිවු මොහොතේ….
මා ඇහි පිල්ලම් නැත….
නිදි පැතුවේ….
ඔබෙ සුවඳ ඇවිත්…. රහසේ….
හද දොර ලඟ….
ඉඟි කෙරුවේ….
මිහිඳුම් බිඳගෙන…. එන හිරු කැන් දහරා….
පුබුදු කරාවී….
කැකුලු මල් නිදනා….
මා හද ගැඹුරේවූ…. සෙනෙහස් රුහි දහරා….
ජීවත්කරවන….
රුධිරය ඔබම තමා….
ජීවිතය නම්….. හිමව් ගිරි අරණේ….
තනිකමම විඳි….
නියං රුදු සමයේ….
ඉරිතැලී ගිය…. ජීවිතේ මගේ….
නිමවු වැස්සයි….
ඔබේ ආදරේ….
නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
ඉතින් අවසරයි… කරුණා ගුරුමෑණියනි සමුගන්නට…

" ඉතින් අවසරයි... කරුණා ගුරුමෑණියනි සමුගන්නට... "
දිනය 2011.10.24…. ඒ කියන්නේ පසුගිය සඳුදා…
වේලාව ප.ව. 7.00 ට විතර ඇති….
විශ්වවිද්‍යාලයේ නව වාරය ඇරඹුණේ එදා…. වැඩි වැඩකුත් තිබුණේ නැති එකේ gym එකට ගිහින් badminton පාරකුත් ගහලා ගෙදර ඇවිල්ලා මුහුණු පොතට log වෙලා හිටියේ මං….
මගේ ජංගම දුරකථනයට call එකක් ආවා…. තිරයේ දිස්වෙන අංකයෙන් ඒ මා මිතුරු ජාගොඩගේ අංකය බව මන් දැනගත්තා…. මං ඇමතුම ගත්තා…
” මචං… මැඩම් නැතිවුනා…”
” සිරාවට… ” මං ඇහුවා…
” ඔව් මචං… අද 4 ට වගේ නැතිවුනේ… ”
කරුණා දිසානායක ගුරුමෑණියන්…. ඔව්, මගේ ජීවිතේ මට හමුවූ කරුණාබරම හදවතක් තිබූ ගුරුමෑණියන්…. එහෙම කිව්වට මං වැරැදි නෑ…. මං හිතන්නේ මැඩම්ගෙන් ඉගෙනගත්තු ඕනිම කෙනෙක් මාත් එක්ක එකඟවෙයි ඒ කාරණයත් එක්ක…
සාමාන්‍යයෙන් මේ සමාජයේ පුද්ගලයන්ට දාලා තියෙන නම්වල තේරුම් හා ඔවුන්ගේ හැසිරීම් බැලුවාම හරියට අහසයි පොළවයි වගේ දුරස්ථභාවයක් තියෙන්නේ…. ඒත් කරුණා මැඩම් සම්බන්ධයෙන් ගත්තාම ඇයට තිබුණේ ඇගේ ගතිගුණවලටම ඔබින නමක්… ඒ ගැන කිසිම විවාදයක් හෝ තර්කයක් අපට නෑ….
කරුණා මැඩම් අපිට ඉගැන්නුවේ සිංහල භාෂාව සහ සාහිත්‍ය… මට ඈ ඉස්සෙල්ලාම සහ අවසන් වතාවට ඉගැන්නුවේ අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගයේ කඩඉම් වර්ෂ 2… ඒ කියන්නේ 10 සහ 11 වසරවල…. සිංහල pass නොවුනොත් O\L විභාගෙත් අසමත්…
අද ලංකාවේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ තමන්ගේ මව් භාෂාව හොඳින් දැනගෙන සිටීම ලැජ්ජවාට කාරණයක් කියලා…. මව් භාෂාව වරද්ද වරද්ද…. වෙනත් රටක භාෂාවක් චතුර විදිහට කතාකිරීමට දැනගෙන සිටීම ගෞරවාන්විත දෙයක් කියලා ඒ අය හිතන්නේ…. ඒකට ඒගොල්ලෝ යස නමක් දාලා තියෙනවා…. modern trend කියලා…. හදිසියේ වත් සිංහල භාෂාව හොඳින් හසුරුවන කෙනෙක් දැක්කාම ඔහු හෝ ඇය දිහා අවඥා සහගතව බලන්න ඒ ඈයෝ කොහෙත්ම පසුබට වෙන්නේ නෑ…. ඒවගේ අයට ඒගොල්ලෝ කියන්නේ ” ගොඩයා “කියලා… ආහ්!!! වැරදුණා ” ගොඩේ type ” කියලා… ඒකටත් පොඩි western type එකක් තියෙන්න ඕනිනේ….
ඇත්ත… භාෂාවක් අපිට අවශ්‍ය අපේ හැඟීම්, දැනුම හා තොරතුරු අන් අය සමඟ හුවමාරුවට… සිංහල භාෂාව කොටුවෙලා තියෙන්නේ ලංකාවේ ඇතුලේ විතරයි…. ඒ හින්දා ලෝකෙත් එක්ක ගනුදෙණු කරන්න ඒ භාෂාවෙන් අමරුයි…. පොඩි කාලේ ඉඳන්ම ඉංග්‍රීසි භාෂාව උගන්වන්නේ…. උසස් අධ්‍යාපනය පවා ඉංග්‍රීසි භාෂාවෙන් ලබාදෙන්නේ…. ඒක තමා ඇත්ත…. නමුත් අවාසනාවට අපේ සිංහල බොහෝ අය තමන්ගේ මව්භාෂාව බවට ඉංග්‍රීසි භාෂාව පෙරලගන්න වෑයමක යෙදෙනවා…. සත්‍ය අවබෝධ කරනොගෙන…. ඇත්තටම ඉතින් මුකුත් කියන්නත් බැහැ…. මොකද ඒක ප්‍රජාතන්ත්‍රවාදයෙන් උරුමු වූ අයිතියක් නිසා… නමුත් සිංහල භාෂාව හොඳින් හසුරුවන කෙනෙක් දැක්කාම ඔහු හෝ ඇය දිහා අවඥා සහගතව බලන අය මේ රටේ ඕනෑ තරම් හොයාගන්න පුලුවන්….
මට හිතෙනවා මෙහෙම දෙයක් කියන්න එහෙම සිංහල භාෂාව තමන්ගේ ජීවිතෙන් ඉවත්කරන්න උත්සහ කරන අයට…. වැසිකිලියට ගියාම සබන් ගා වතුරෙන් පශ්චාත් ප්‍රදේශය හෝදගන්න එක නවත්තලා ඒ වෙනුවට පුළුන් හෝ පත්තර කෑලි යොදාගන්න…. මං හිතන්නේ ඒ දේ ඔබට තවත් උපකාරී වෙවී… ඒ ප්‍රයත්නයට… මොකද සිංහල සංස්කෘතිය හා හැසිරීම් බොහෝදුරට භාෂාව එක්ක බැඳිලා තියෙන හින්දා…. ගොඩ සුද්දෙක් වීමට වඩා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුද්දෙක්වීම නම්බුකාරයි මට හිතෙන විදිහට… පොඩ්ඩක් ඒ ගැන හිතල බලන්න… මොකටද නිකන් ” ගොඩ” කෑල්ලක් තමන්ගේ ” සුද්දා ” කමට ඈඳගන්නේ නේද???…
ඇතැම්විට මෙම බ්ලොග් සටහන් කියවන ඔබ මට කියාවී මෙය මුලුමනින්ම සිංහලෙන් ලියා නොමැති බව…. පිළිගනිමි…. මා මෙය පවත්වාගෙන යන්නේ ඔබට සිංහල භාෂා ව්‍යාකරණ ඉගැන්වීමට නොවේ…. හුදෙක් මා සමාජය පිළිබඳ දකින දෘෂ්ටිකෝණය ඉදිරිපත් කරන්නටය….. ඒ හරහා ඔබටද පණිවිඩියක් දෙන්නටය….. විච්ඡූරණ ලෝකයෙන් මිදී සැබෑ සමාජය දෙස බලන්නට අත්වැලක් ලෙසය….
අවශ්‍යනම් මට මේ Blog සටහන සිංහල භාෂාවෙන්ම පවත්වගෙන යන්න පුලුවන්… නමුත් මේ Blog සටහනේ පරමාරථය ඔබ සියල්ල වෙත හොඳින් ගෙනයන්නටයි මා මේ මඟ තෝරගත්තේ…. එහෙම නොවුණානම් මේ පණිවිඩය ග්‍රහණය කරගන්නේ එක් කොට්ඨාශයක් පමණක් බව මං දන්නවා…. නමුත් ඇත්තම කතාව තමයි මා මගේ මව්භාෂාවට අප්‍රමාණව ආදරය කරනබවයි….
මං මගේ ජීවිතයේ ඉගෙනගත් සුන්දරම භාෂාව කුමක්ද කියලා කිසිවෙකු ඇසුවොත් ඒ සිංහල භාෂවයි… ඒක අර ඡන්දේ කාලෙට market වන සිංහලකමවත්, අවුරුදු කාලෙට market වන සිංහලකමවත් වගේ නෙමෙයි…. ජීවිත කාලෙටම නොවෙනස්වන කාරණයක්…. මං දන්නවා ඒ විදිහට තමන්ගේ මව් භාෂාවට අප්‍රමාණව ආදරය කරන මිනිස්සු මේ රටේ තවමත් ඉන්න විත්තිය….
කරුණා මැඩම් සිංහල භාෂාවේ වැදගත්කම අපිට නිරතුරුව කියාදුන්නු ගුරුමාතාවක්…. මට මතකයි වරක් ඈ කිව්ව දෙයක්…
” අපි ඉස්සෙල්ලම හිතන්නේ සිංහලෙන්…. ඊට පස්සේ තමයි අපි ඒක ඉංග්‍රීසියට පෙරලන්නේ…. ”
ඒ කතාවේ ඇත්තක් තියෙනවා…. බොහෝවිට අපි හිතන පතන දේවල් අපේ භාෂාව හා සංස්කෘතිය මත රඳා පවතින විත්තිය මට පුද්ගලිකව දැනිලා තියෙන කාරණයක්…. ඒහින්දා මං මැඩම් එක්ක ඒ කාරණේදි එකඟයි….
මැඩම්ට අපේ වයසේම පුතෙක් උන්නා… අනුරාධ කියලා… ඔහු හිටියෙත් අපේ පාසලේ අපේ පන්තිවල… අපේ මිතුරෙක්… ඒ නිසාම මැඩම්ව අපට දැනුනේ අපේම මවක් විදිහටයි… මැඩම් අපව භාරගතෙත් මැඩම්ගේ පුතාලා හැටියටයි…. ඒහින්දා අපි බොහොම සුහදව පන්ති කාමරේ ඇතුලේ වැඩකලා…. සුළු සුළු ආරවුල්, ගැටුම් නොතිබුණා නෙමෙයි… නමුත් ඒවා තිබුණේ බත ඉදෙනකන් විතරයි වගේ…. ඒ දේවල් එහෙම යටපත්වුණේ මැඩම්ගේ කරුණවාන්තකම නිසා කියලා මට අද හිතෙන්නේ…. මොකද ඒවා මැඩම් කවදාවත් බැරෑරුම් විදිහට භාරගත්තේ නෑ…
සිංහල එතරම් පහසු විෂයක් නෙමෙයි…. ඒකේ නීති මාලවක්ම තියෙනවා…. ඒ විතරක් නෙමෙයි අක්ෂර වින්‍යාසය පවා නිවැරදි වියයුතුයි…. ඇත්තම කිව්වොත් ලකුණු ගන්න අමාරුම විෂය කිව්වට වරදක් නෑ…. පැය 5ක් පුරාවට දිවෙන ප්‍රශ්ණ පත්‍ර 3 ක්…. එකක් බහුවරණ ප්‍රශ්ණ පත්‍රයක්… එකක් සාහිත්‍ය ප්‍රශ්ණ පත්‍රයක්… අනික රචනා, සාරංශ ලිවීම ගැන වූ ප්‍රශ්ණ පත්‍රයක්…. ඉතින් මේ ප්‍රශ්ණ පත්‍ර 3 ම හරියට ලියගත්තොත් ගොඩම තමා…. නැත්නම් ඉතින් ආයේ ලියන්න සුදානම් වෙන්න වෙනවා….
ව්‍යාකරණ නීතිරීතී, උපසර්ග, උපමා උපමේයන්, විභක්ති, උක්ත ආඛ්‍යාත සම්බන්ධයන්, ප්‍රථමා පුරුෂ, මධ්‍යම පුරුෂ, සමාන පද, විරුද්ධ පද වැනි තවත් බොහෝ දේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ සිංහල විෂය සමත්වෙන්න…. ඒහින්දාම තමයි බොහෝවෙලාවට මව්භාෂාව වුනත් සිංහල භාෂාව ගොඩක් දෙනෙක් අසමත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාව අසමත්වෙන සංඛ්‍යාවටත් වඩා…. තව හේතුවක් තමයි ගොඩක් අය හිතන්නේ මේ මව්භාෂාව නිසා ලෙහෙසියෙන් සමත්වෙන්න පුලුවන් කියලා…. නමුත් යථාර්තය ඒක නෙමෙයි….
සිංහල සාහිත්‍ය ගත්තාම ජාතක කථා, කවි වගේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ…. විශේෂයෙන්ම යමක විචාරතමක දෑසින් දකින්නට හැකියාවක් තියෙන්න ඕනෑ… එහෙම නොවුනොත් සාහිත්‍ය විෂයට ලකුණු ගන්නවා බොරු…. තව දෙයක් කවියක් කියවලා ඒකේ තෙරුම නිවරදිව ග්‍රහණය කරගන්න බැරිවුණොත් ඒකට උත්තර සපයනවා කියන්නේ ඉතින් සිහිනයක්ම තමා…. අනික ජාතක කථා හා විවධ යුග වල ලියැවුණු කෘතිවල භාෂාව අපිට එතරම් හුරු නැහැ…. ඒ වචන විවිධයි… කියෙව්වාට තේරුම් ගන්නත් බැරි තරම්…. ඒත් විභාගය සමත්වෙන්න ඒවායේ තේරුම් පවා දැනගතයුතුයි…
රචනා ගැන කතාකලොත් කොතරම් කරුණු දැන සිටියත් වැඩක් නෑ ඒවා රසවත් විදිහට ගලපලා ලියන්න බැරිනම්…. ඒවගෙම උක්ත ආඛ්‍යාත සම්බන්ධතා පවා නිවැරදි විය යුතුයි…. අක්ෂර වින්‍යාසය නිවැරදි විය යුතුයි…. සාරංශ ලිවීමේදී අවශ්‍ය දෑ සාරාංශයට අන්තර්ගත කලයුතුයි….අවශ්‍ය දෑ පවා ලියන්න ඕනෑ අඩු වචන සංඛ්‍යාවකින්…. එහෙම නොවුනොත් වචන 20 -25 කින් සාරාංශය ලියනවා බොරු…. සිංහල විෂය සමත්වීම ඒ හින්දා හිතෙන තරම්ම ලේසි නෑ….
ඉතින් ඒ සඳහා හොඳ මඟ පෙන්වීමක් තිබිය යුතුයි…. කරුණා මැඩම් ඇත්තටම ඒ දේවල් රසවත් ලෙස කියාදුන්නා…. සිංහලවලට පෞද්ගලික පන්තියකට නොගිය මට සිංහලවලට අධි සාමාර්ථයක් ලැබීමට ඇයගේ ඉගැන්වීම උපකාරීවූ බව මං අදත් සෙනෙහේ සිතින් සිහිපත් කරන්න කැමතියි…. මා මියෙනතුරාවට ඇයට ණයගැතියි ඒ වෙනුවෙන්….
සමහරක් වෙලාවට අපේ අයට ඒ විෂය නයාට අඳුකොල ගාණට පෙනුනා….. ඇත්තම කිව්වොත් ඒ මැඩම්ගේ වැරැද්ද නෙමෙයි… ඒ තමා සිංහල භාෂාවේ තිබ්බ බැරෑරුම් භාවය…. ඒත් මැඩම් බොහොම ඉවසීමෙන් කරුණාවෙන් අපිට ඒ විෂය ඉගැන්නුවා…. තාමත් මතකයි මට අපෙන් සිංහල හෝඩිය කට පාඩම් ගත්ත් හැටි…. එදා ඒ දේ විනෝදයක් හැටියට භාරගත්තත් අදටත් සිංහල හෝඩිය කට පාඩමෙන් දෙන්න පුලුවන් වෙලා තියෙන්නේ ඒ හින්දයි….
සිංහල භාෂාව හරිම වැදගත් පාසැල් කාලයේදී… මොකද මොන විෂය ඉගෙනගත්තත් ( English, English Literature, සමහරවිට Western Music සහ වෙනත් භාෂා හැර ) ඒ දේවල්වලට පිළිතුරු සපයන්න වෙන්නේ සිංහලෙන්…. ඒ හින්දා සිංහල භාෂාව කියන දේ කොහෙත්ම ජීවිතෙන් අමතක කරන්න බැරි දෙයක්…. කරුණා මැඩම නිරතුරුවම උත්සහකලේ අපි තුල ඒ දේ ගම්‍යකරවන්නයි….
කරුණා මැඩම්ගෙන් මං ඉගෙනගත්තේ අවුරුදු 2 ක් වුණාට ඊට කලින් සිදුවුණු රසබර සිදුවීමක් තියෙනවා ඇය හා බැඳුණු…. මේක වුණේ 2001දී… එතකොට මං 8 වසරේ…. අපි ඉස්සර උදේට, interval එකට cricket ගහන්න පුරුදුවෙලා හිටියා…. Bat එක විදිහට ලී කෑල්ලක් අරගෙන බෝලෙකට තඩිබාන එක තමා කරන්නේ… ඒකේ ඉතින් ඔය cricket වල තියෙන technique එහෙම නෑ…. ඒත් ඉතින් ඒක හරියට 20 20 වගේ තමයි දැන් තියෙන….
ඉතින් එදා මං bat කර කර හිටියේ last man විදිහට…. Intervalඑකේ අනික් පැත්තට bat කරන්න දීලා ඉක්මණින්ම දවාගැනීම තමා අපේ team එකේ අරමුණ…. ඉතින් ටිකක් වේගයෙන් ලකුණු රැස්කරමින් උන්නේ මම ඒ වෙලාවේ…. ඔය වෙලවේ ආපු බෝලෙකට මං දෑත බැදලා ගැහුවා…. සෑහෙන වේගයකින් බෝලේ ඇදිලා ගියා හැබයි වැඩි උසකින් නෙමෙයි…. Flat උසකින්….
මට බෝලේ ගිය දිහාව බැලුනේ ඒවෙලාවේ…. බෝලේ යන දිහාවේ උන්නේ කරුණා මැඩම්!!!… මැඩම් 9 වසර staff room එකට ඇවිදගෙන යන ගමන්…. මට ඉතින් තරු පෙනුණා කිව්වට වැරැද්දක් නෑ ඒවෙලාවේ…. මොකද කැගැහුවත් මැඩම්ට අයින්වෙන්න වෙලාවක නෑ… මොකද බෝලේ වේගයෙන් ඒ දිහාවට ඇදිලා ගිය හින්දා….
මැඩම්ගේ දකුණු අත පැත්තෙන් අය්යා කෙනෙකුත් ඇවිදගෙන ආවේ ඔය වෙලාවේ…. මැඩම්ගේ වාසනාවට, අය්යාගේ අවාසනාවට, මගේ වෙලාවට බෝලේ වැදුනේ ඒ අය්යාගේ ඔළුවේ…. ඒත් මැඩමුත් ගැස්සුණා අන්තිම මොහොතේ බෝලේ දැකලා…. මට යන්තම් සැනසීමක් ආවා…. මැඩම් මං දිහාවට හැරුණා… දැන්නම් ගුටි කෑවත් කමක් න කියලා මට හිතුනේ… මං එතකොට කරුණා මැඩම් කොයි වගේ මැඩම් කෙනෙක්ද කියලා දැනගෙන උන්නේ නෑ….
” පරිස්සමෙන් සෙල්ලම කරන්නකෝ ” මැඩම් මට කියලා ගියා….
හොඳවෙලාවට අර බෝලේ වැදුණු අය්යාට එච්චර අමාරුවක් වුනෙත් නෑ…. ඒත් එදායින් පස්සේ සෙල්ලම් කරනකොට පරිස්සමෙන් සෙල්ලම් කරන්න මං හිතාගත්තා… ඒ තමා එකම සිදුවීම මට මේ වෙලාවේ මතක් වෙන මැඩම් හා බැඳුණු….
මැඩම් 2007 දී පාසලෙන් හා ගුරු වෘත්තියෙන් සමුගත්තා…. අපිත් පාසලෙන් සමුගත්තේ ඒ වර්ෂයේදීමයි…. ඊට පස්සෙ මැඩම් මට හම්බවුණේ නෑ….
මැඩම් මෙලොවින් සමුගන්න දවස් 3 කට ඉස්සෙල්ලා තමයි මං දැන්ගත්තේ මැඩම පිළිකා රෝගයට ගොදුරුවෙලා රෝහලක ප්‍රතිකාර ලබන බව…. ඒක කිව්වෙත් මට ජාගොඩ සහෝදරයා…. මට තිබුණු කාර්යබහුල බව නිසාත්, ඒ වැඩකටයුතු මඟ දමා යන්න බැරි නිසාත් මට මැඩ්ම්ව ඒ දවස් 3 බලන්න යනන් බැරිවුණා…. ඇත්තටම මං යන්න වෙලාවක් සොයමින් වෙලාව සමඟ අරගලයක යෙදෙමින් උන්නේ… ඒත් කාලය මාව පරාජයට පත්කලා…. මට කරුණා මැඩම් බලන්න යන්න ඉඩක් කාලය දුන්නේ නෑ…. මුළු ජීවිතය පුරාවටම මට ඒ පසුතැවිල්ල තියේවී….
මැඩම් සදහටම ගතින් සමුගත්තා…. ඒත් මැඩම් ඔබ සැමදාම අපේ හිත්වල රැඳේවී අමරණීය චරිතයක් විදිහට….
ඔබේ ඔය කරුණාබර මුහුණ, සිනහව, වදන් කවදාවත් අමතක නොවේවී…. පන්හිඳෙන් සිංහල අකුරු අමුණා කරන නිර්මාණයකදීම, ලියන හැම ලිපියක්දීම ඔබව අපට සිහිවේවී…. ලිපිය අවසන් කිරීමට කරුණා මැඩම් වෙනුවෙන් මා ලිවූ නිස්දැසක් මා යොදාගනිමි…. මං ඉස්සරහටත් නිසදැස් ලියාවී… නමුත් මේ නිසදැස මා ලිවූ සුවිශේෂීම නිසදැසක් බව මට ඉඳුරාම කියන්න පුලුවන්….
පන්හිඳට අපේ අමුණන්නට…
අරුත්බර සිංහල වදන්… කියාදුන්…
අඳකරව තිබූ අපේ නෙත්…
නුවණැසින් විවරකල…
මවක සේ කරුණාබරව… අප වෙත දෑත පෑ…
ආදරණීය…
කරුණා දිසානායක ගුරුමෑණියනී…
ඔබට අමා මහ නිවන් සැප ලැබේවා!!!…
අප අද දියතේ…
ජයක් ලබා ඇත්නම්…
ඒ ඔබ අපට… ඉගැන්වූ දෙයට පින්සිදුවෙන්නටය…
අපි එයට සදා ඔබට… ණයගැතිය…
ඉතින් අවසරයි…
ඔබේ දෙපා නැමද අපට සමුගන්නට...
ඉතින් කරුණා ගුරුමෑණියනී..... අවසරයි ඔබෙන් සමුගන්නට දෙපා නැමද සදහට ගතින්.... ඒත් මැඩම් ඔබ සැමදාම අපේ හිත්වල රැඳේවී අමරණීය චරිතයක් විදිහට... ඔබට අමා මහ නිවන්සුව ගුරුමෑණියනී!!!
ජීවිතේ සුන්දරද මෙතරම්….

” ජීවිතේ සුන්දරද මෙතරම්…. “
” Good morning ඔයාලා ඔක්කටම…. Programme එක පටන් ගන්න හදන්නේ….මම නදී… අද ඉතින් special day එකක් කියල ඔයාලා ඔක්කම දන්නවනේ…. අද Valentine’s Day එක…. ඉතින් ඕගොල්ලෝ ආදරය කරන girlට හරි boyට හරි song එකක් dedicate කරන්න ඕනි නම් කතාකරන්න අපේ hotline එකට…. අහ්!!!! කියල ඉවරකරන්න ලැබුණේ නෑ…. මෙන්න අපිට caller කෙනෙක් ඉන්නවා????? කවුද මේ???? කොහෙන්ද කතාකරන්නේ ඔයා අපිට???…. ”
” මං ආශා…. කතාකරන්නේ දෙහිවලින්…. ”
” ආශා!!! ෂා!!!! ලස්සන නමක්නේ. මං හිතන්නේ name එක වගේම ඔයත් ලස්සන ඇති…. කොහමද Valentine’s Day එක??? Boyfriend call කලාද??? මොනවද දුන්නේ Day එකට???….”
” මුකුත් තාම දුන්නේ නෑ අක්කී… උදේ call කලා… අද හවසට අපි meet වෙනවා… එතකොට දේවී…. ”
” Okay නංගා…. ඔයාට හොඳ surprise gift එකක් ලැබෙන්න කියලා මං wish කරනවා… මං හිතන්නේ ඔයා call කලේ song එකක් request කරන්න වෙන්නැති… කියන්නකෝ ඔයා ඉල්ලන song එක මොකද්ද කියලා…. ”
” අක්කී මට දෙන්නකෝ ‘ තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න ‘ song එක…. මං ඒක dedicate කරනවා මගේ boyfriend අසේලට”
” ආහ්!!! ඔයා අද ඉල්ලන්නේ kiss එකක්ද gift එකට???? හොඳයි හොඳයි…. ඒකම ලැබේවා කියල කරනවා ”
” නෑ අනේ… මං ඒ song එකට කැමතියි…. ”
” ආහ් okay, okay නංගා!!! … එහෙනම් මෙන්න ‘ තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න ‘ song එක එක ආශා ගෙන් අසේලට….”
මේ සංවාදය ඇතිවුනේ පෞද්ගලික FM නාලිකාවක ගීත ඉල්ලීම් වැඩසටහනකදී පෙබරවාරි 14 වෙනිදාවක…. ඒ කියන්නේ ආදරවන්තයන්ගේ දිනය හෙවත් Valentine’s Day එකේදී…. මුලින්ම කිව යුතුයි මෙහි දැක්වූ නම් ගම් සියල්ල මනඃකල්පිත බව නමුත් සිදුවීම සත්‍යයයි කියලා… අනික මේ ලිපියෙන් මං කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නෑ අරුත්සුන් වදන් දොඩවන ගිරව් වගේ දොඩවන අපේ FM ඈයො ගැන කතාකරන්න…. ඒක වෙනම කතාකල යුතු කාරණයක්…. මේ ලිපියේ කතාකරන්න යන්නේ මං දිනයට මුවාවෙලා අපේ උදවිය කරන කියන දේ ගැන….
තව දෙයක් කියලම පටන්ගන්න හිතුවා ලිපිය ආරම්භ කරන්න ඉස්සෙල්ලා… මේ ලිපියේ කිසිම අරමුණක් නෑ මේ Valentine’s Date එක නතරකරන්නවත්, ඊට විරුද්ධව මතයක් ගොඩනඟන්නවත්,අකුල් හෙලන්නවත්…. ඒක සැමරීම හෝ නොසැමරීම තම තමන්ගේ කැමත්ත මත තීරණයවන්නක්… අනික ඔය දිනය ජාත්‍යන්තරව මිනිස් සමාජය කට වහරින් සම්මත කරගත් දිනයක්…. ඒහින්දා ඒක සමරන්න එපා කියලා කියන්න මට අයිතියක් නෑ…. නමුත් මං මේ කතාකරන්න යන්නේ ඒ දිනයට අපි මුලාවෙලා ඉන්න හැටි පෙන්වන්නයි…. එහෙම නැතුව විප්ලවවාදී මතයක් ඔබ තුළ ගොඩනඟන්න මගේ කිසිම අදහසක් නැහැ….
ආදරය…. Love…. ඔව්… මනුෂ්‍යයෙකු ජීවත්කරවන්න අවශ්‍ය අත්‍යවශ්‍යම සාධකයක්…. ජීවිතේ පටන්ගත්ත ගමන් අපිට දෙමව්පියන්ගේ ආදරය ලැබෙනවා…. ඒක ජීවිතේ අවසන් තත්පරය දක්වාම නොවෙනස්ව ලැබෙන සෙනෙහසක්…. ඊට පස්සේ සහෝදර සහෝදරියන්ගේ, නෑදෑයන්ගේ, ගුරුවරුන්ගේ, මිත්‍රයන්ගේ ආදරයට අපි පාත්‍රවෙනවා…. ඊට පස්සේ නව යොවුන්වියෙදී විරුද්ධ ලිංගිකයෙකුගේ ආදරය ලබන්නට අපි පෙලඹෙනවා… මේක සාමන්‍ය සිද්ධියක්…. ඒක magic එකක් නෙමෙයි…. හෝමෝන ක්‍රියාකාරිත්වය, සමාජයෙන් ලැබෙන පීඩනය, යොවුන් ආකල්ප වගේ දේවල් අපිව මෙතනට මෙහෙයවනවා…. ඉතින් ඒකේ කිසිම magic එකක් නෑ….
ආයේ බොරු මොකටද??? අපි ඉස්සෙල්ලාම කෙනෙකුට බැඳෙන්නේ නැතිනම් ළංවෙන්නේ රූපෙට…. භෞතිකව දකින රූපයට…. සමහරවිට ඒ ඇස්වලට, තොල්වලට, මුහුණේ හිනාවට, ශරීර හැඩයට, කේශකලාපයට වෙන්න පුළුවන්…. ඔය බහුතරයක් කවියෝ, ගීත රචකයෝ පෙම් කවි, ප්‍රේම ගීත රචනා කරද්දී මේ ලක්ෂණ වැඩියෙන් තම නිර්මාණ තුළ මතුකරන්නෙත් ඔය හේතුව නිසාම වෙන්න ඕනෑ…. සමහරු පෙම් බඳින්නේ සමාජ තත්වෙට, බුද්ධියට, තානාන්තරවලට, ජනප්‍රියත්වයට, ධනයට වගේ කාරණා හින්දා වෙන්නත් පුලුවන් ඉස්සෙල්ලාම…. නමුත් ඔය අතරේ අදහස්වලට කැමතිවෙලා පෙම්වතුන්වූ යුවලුත් නැතුවම නෙමෙයි…එහෙම අයත් ඉන්නවා…. කොහමහරි කුමක් හෝ හේතුවක් පදනම්වෙලා ප්‍රේම කතාවකට අඩිතාලමක් වැටෙනවා…. ලිංගිකත්වය, රූපය පදනම්වෙලා ආදරය පටන්ගත්තට පස්සේ ඒ දේ ආත්මීය වන්දනාවක් වෙන්න ඕනෑ…. ඒ කියන්නේ ඔබ හදවතින් ආදරය කරන්න පටන්ගන්න ඕනෑ…. ආදරයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඒ මතයි…
ඇත්තටම ආදරය කරන්නනම් ඔවුන්ගේ අදහස්වල ගැලපීමක් තිබිය යුතුයි… ඒවගේම එකිනෙකා අතර හොඳ විශ්වාසයක් තිබිය යුතුයි කියලා මට හිතෙන්නේ…. රූපෙට වහ වැටිලා ආදරය කරන්න පටන්ගත්තාට අදහස් අතර දැවැන්ත මත ගැටුමක් තියෙනවනම්, සාධාරණ විශ්වාසයක් තමන්ගේ සහකරු හෝ සහකාරිය අතර නැතිනම් හොඳම දේ තමයි හිතේ උපන් ප්‍රේම සිතුවිල්ල උපන්ගෙයිම මරා දාන ඒක…. එහෙමනොවුණොත් වෙන්නේ පසුකාලෙක හැමදාටම විඳවන එක…
නමුත් දැන් මේක වැරදියට වටහගන්න එපා…. ඒ කියන්නේ විශ්වාසයක් නැහැ කිව්වේ සාධරණ විශ්වාසයක් නැති කමයි… ඒ කියන්නේ විශ්වාසයක් නැහැ කියන දෙයට තමන්ට සාධරණ සාධක තියෙන්න ඕනෑ පෙන්වන්න කියන එකයි…. නිකමට කියන්නම් උදාහණයක්… ඔබ යවනවා පෙම්වතියට හෝ පෙම්වතාට SMS එකක්…. Reply නෑ… දැන් ඔබට පුලුවන්ද එක පාරටම පෙම්වතා හෝ පෙම්වතිය අවිශ්වාස කරන්න… එහෙම කරනවනම් කනගාටුයි, ඔබ ඉන්නේ ආදරයේ මොන්ටිසෝරියේ….
කවුද දන්නේ phone එකේ credit නැද්ද කියලා…. එහෙමත් නැතිනම් phone එක නැතිවෙලා හරි අමතක වෙලා ගිහිල්ල තියෙන්න පුළුවන්…. සමහරක්විට ඔහුට හෝ ඇයට වැදගත් කටයුත්තක් යෙදී තියෙන්න පුළුවන්…. ඒ නිසා හැරෙන වෙලාවෙන් ඔබට reply කරන්නේ නැතිවෙන්න පුලුවන්…. සමහරක්විට ලෙඩවෙලා නිදියගෙන හිටියා හන්දා වෙන්න පුලුවන්…. සමහරක්විට වෙනත් කරදරයක් නිසා වෙන්න පුලුවන්…. මේ වගෙ නොකී මානුෂීය කාරණා සෑහෙන්න තියෙන්න පුලුවන්….
දැන් මේ හින්දා සැක කරන්න පුළුවන්ද ඇය හෝ ඔහු ඔබේ විශ්වාසය කැඩුවා කියලා???? උත්තරය කොහෙත්ම බෑ කියන එකයි….. සමහරක්විට මේ උදාහරණය සීනිබෝල උදාහරණයක් වගේ පේන්න පුළුවන්…. නමුත් ඇත්ත ජීවිතේ මේ වගේ බොළඳ කාරණා නිසා සබඳකම් බිදවැටුනු අවස්ථා එමට ඇති…..
ඒත් මේ වගේ අසාධාරණ කාරණා උලුප්පලා පෙන්නලා වෙනත් කෙනෙකුට කවුරුහරි හේත්තු වෙන්න හදනවනම්…. ඒ කෙනාට කියන්න තියෙන්නේ…. ඒකෙනා තාම ආදරය කරන්න තරම් මනස වර්ධනය කරගෙන නැතිවිත්තියයි…. භෞතිකව සියලුම පුරුෂ ලක්ෂණ හා ස්ත්‍රී ලක්ෂණ මතුවෙලා තිබ්බත් මානසිකව තාම ඒ අය ඉන්නේ ළඳරු වියේ…. මොකද පොඩි උන් තමා අලුත් සෙල්ලම් බඩුවක් ලැබුණාම පරණ සෙල්ලම් බඩුව අමතක කරලා ඒක එක්ක සෙල්ලම් කරන්නේ… මේ හැසිරීම ඒ හා සමානයි….
දැන් කතාකරමු මේ Valentine දවස ගැන… Valentine දවසේ උත්පත්තිය වටා ගෙතුණු කතන්දර බොහොමයක් තියෙනවා…. ඒත් එයින් එක් කතන්දරයක් මෙතන සඳහන් කරන්න මං කැමතියි සාරාංශයක් විදිහට…. මොකද මං හිතනවා මේ ලිපියේ ගලායාමට ඒ කතන්දරේ සෑහෙන්න දායකවෙයි කියලා ඉස්සරහට…
පුරාණ රෝමය පාලනයකල Claudius II අධිරාජ්‍යවාදියා තමන්ගේ හමුදාව ශක්තිමත් කිරීමට හමුදාවට බැඳෙන තරුණයින්ට විවාහ වීම තහනම්කරන නීතියක් පනවල තියෙනවා…. මේ කාරණයට විරුද්ධව රෝමයේම හිටපු වැලන්ටයින් නම් පූජකවරයෙක් ආදරයෙන් වෙලුණු ඒ තරුණ සෙබළුන් හා ඔවුන්ගේ පෙම්වතියන් අතර විවාහයන් තමන්ගේ දේවස්ථානය තුල රහසිගතව සිදුකරලා තියෙනවා… ඒ ගැන කිපුණු Claudius II අධිරාජ්‍යවාදියා වැලන්ටයින් හිමිපාණන්ව ඝාතනය කරවලා තිබෙනවා….. ආදරය වෙනුවෙන් ඒ කල උදාරතර ජීවිත කැපවීම වෙනුවෙන් වැලන්ටයින් පූජකතුමාව ශාන්ත වැලනටයින්තුමා බවට උසස් කරල තිබෙනවා…. එතුමා සිහිකරන දිනය තමා Valentine දිනය කියලා අද අපි හඳුන්වන්නේ….ඔය Valentine’s Dayඑක මොස්තරේට සැමරුවට ඒකෙ ඉතිහාසයවත් බහුතරයක් අපේ අය දන්නේ නැතුව ඇති…. එක අතකින් දැන්ගත්තා කියල වැඩකුත් නෑනේ…. අපිටත් ඕනෑ change එකට දවසක් විතරනේ….
ඉතින් මේ දිනය අද ලෝකයේ වැඩිම පිරිසක් සමරන, එමෙනම් වැඩිම උත්සව ගණනක් සංවිධානයකරන දිනය කියලා නම්කලාට මම වැරදි නෑ මං හිතන්නේ….. සොයාගෙන තිබෙනවා මිලියන 141 කට ආසන්න Valentine Card ප්‍රමාණයක් ලෝකය තුළ මේ දිනයට හුවමාරුවෙන බව…. ඒ ගණන දෙවෙනි වෙන්නේ නත්තල් කාලයට හුවමාරු වෙන Christmas Cards ප්‍රමාණයට පමණයි….
හැම මාධ්‍ය ආයතනයක්ම, හැම වෙළඳ ආයතනයක්ම මේ දිනය ඉලක්ක කරගෙන තමන්ගේ marketing strategies එළියට දානවා… මේ marketing ලෝකයේ මේ වගේ දිනයන් හොඳ business ඉල්ලම්…. තව දෙයක්…. මේ වගේ මානුෂීය කාරණාවලට විශේෂයෙන්ම ආදරය වගේ කාරණාවලදී අපි හරි සංවේදියි…. ඉතින් අපි පෙළඹෙනවා නිතැතින්ම අපෙ සහකරුට හෝ සහකාරියට සුළුවෙන් හෝ යමක් අරන් දෙන්න මේ valentine දිනයට…. ඒ නිසා මේ මානුෂිය කාරණා ඉලක්ක කරල business කරන එක අනික් කාරණා ඉලක්ක කරලා business කරනවට වඩා ලේසියි….. එහින්දා ඇත්තම කාරණේ තමයි මේ marketing ලෝකයේ ආදරය එහෙමත් නැතිනම් Love කියන්නේ හොද business opportunity එකක් නැතිනම් target එකක්…
මාධ්‍ය ආයතන විශේෂ වැඩසටහන් සංවිධානය කරනවා…. Valetine’s day parties , සංගීත වැඩසටහන්, විද්‍යුත් සුභ පැතීමේ වැඩසටහන් හැම මාධ්‍ය ආයතනයක්ම සංවිධානය කරනවා…. ඉතින් මේවාට පෙම් යුවලවල් සහභාගී වෙන්නේ බොහොම සන්තෝසෙන්…. එක අතකින් වැඩේ මානුෂීය පැත්ත ගත්තාම මේ වැඩසටහන් නරකම නෑ…. මොකද ඒ තරම ඒවා මානුෂිය ගුණ ඉස්මතුවෙන්න දැනෙන්න කරන නිසා… හැබයි ඇත්තම කතාව තමයි ඒ යට තියෙන්නේ mastermind marketing plan එකක්….. ඇත්තම කිව්වොත් මේ පෙම්වතුනෙ ඒ marketing දාම් ලෑල්ලේ ඉත්තන් වෙන්නේ නිරායාසයෙන්මයි…
ස්වර්ණාභරණ ආයතන මේ දිනය වෙනුවෙන්ම විශේෂ ස්වර්ණාභරණ නිර්මාණය කරනවා…. සමහර ඒවායේ මිල ගණන් දැක්කාම අපේ භෂාවෙන් කිව්වොත් තරු විසිවෙනවා… නමුත් ඔබ හිතන්නේ ඒවා විකිණෙන්නේ නෑ කියලද???? නෑ ඒවා හොඳට විකිණෙනවා…. මොකද ආදරෙ කියන දෙයට අපි ගොඩක් සංවේදියි…. ඉතින් ඒ වෙනුවෙන් අපේ උදවිය වියපැහැදම් කරන්න පසුබට වෙන්නේ නැහැ… සමහරවිට මේ තෑගි ගන්නේ ණය අරගෙන වෙන්න පුලුවන්…. නැතිනම් තමන්ගේ දෙයක් උගස්කරල වෙන්නත් පුලුවන්…. සමහරවිට අතේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි නිසා වෙන්නත් පුළුවන්….. කොහම නමුත් අන්තිමේදී මේ හැමදෙයකින්ම වාසි ලැබෙන්නේ වෙළෙන්ඳාට…. ඒක තමා යථාර්තය….
ඊලඟට ගත්තොත් chocolate…. විවිධාකාර රසයෙන් යුතු, සුවඳින් යුතු chocolate වැහි වැහලා කඩවල…. දියවැඩියාව තියෙනවනම් පොඩ්ඩක් කල්පනාවෙන් කෑවොත් හොඳයි…. මං හිතන විදිහට ලංකාවේ chocolate වලට ඔය තරම් තැනක් ලැබෙන්නේ ඔය දවසෙදී තමයි….. සමහර chocolate තියෙනවා box එක හෙන size heart shape එකක්…. එවුනාට ඇතුලේ තියෙන්නේ හෙන පොඩි chocolate කෑලි ටිකක්… Chocolate කෑලි කටකටවත් මදිවුණාට මොකද ගාණ නම් ඉතින් හෙන සැරයි… ඒත් ඒවා විකිණෙන්නේ උණු කැවුම් වගේ…. මොකද ආදරය ඒ තරම්ම අපේ මිනිස්සුන්ට සංවේදී කාරණයක් නිසා….
සුපිරි වෙළඳ සංකීර්ණවලට ගියොත් කාලෙට ඔබට අනිවාර්යෙන්ම හොයාගන්න පුලුවන් දිනය වෙනුවෙන්ම පිළියෙල කල විසිතුරු තෑගි…. මේ තෑගිවල මිල ගණන් ගත්තාම ඉලක්කම් 3 ඉඳන් ඉලක්කම් 5 දක්වාම ව්‍යාප්තවෙලා තියෙනවා…. රතු රෝස මල්වලට මේ කාලයේදී ලැබෙන්නේ ලොකු ස්ථානයක් market එකේ…. රතු රෝස මලක්, Valentine Card එකක් නොගන්න පෙම්වතෙක් පෙම්වතියක් නැතිතරම්….
මේ තමයි valentine දවසේ business side එක…. ඕකෙන් ඉතින් ගැලවෙන්න අමාරුයි…. මොකද අපේ බහුතරයක් valentine’s day එක සැමරීමට බැඳිලා ඉන්න නිසා…. ඒකට මුකුත් කියන්න බැහැ… මොකද ඒක ඒ අයගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය…. ඒකට හරස් කපන්න කාටවත්ම බැහැ… කොහමවුණත් business වලට කල්ල මරේ මේ කාලයෙදී…. ඒක තමා ඉතින් සැඟවුණු ඇත්ත මේ හැමදෙයක්ම යට…. නමුත් අපි පිවිසෙමු මේකේ වඩාත්ම කතාකලයුතු අංශයකට…. මං හිතනවා පෞද්ගලිකවම ඒ අංශය ගැන කතාකිරීම මේ අන් හැමදෙයකටම වඩා වටිනවා කියලා….
Valentine’s day එක ඉවරවෙලා පහුවෙනිදාට business profit analyzing එක කරනවා වෙනුවට එදා දවසේ කීයක් යුවල් තමන්ගේ චරිතය කෙලසගත්තද කියන එක හොයල බැලුවනම් valentine දවසේ කාටත් නොපෙනී සැඟවුණු අඳුරු තිත්ත කතාව හොයාගන්න තිබ්බා… කිසිම තර්කයක නෑ ඔබට බොහෝදෙනෙක් හමුවේවී ඒ තත්වෙට පත්වෙච්චි… අන්තිමට valentine දවසේ ආදරය ගැන මහ ලොකුවට අඬබෙර ගැහුවට මොකෝ කඳුලෙන් පිරුණු අනාගතයක් උරුමවෙලා බොහෝදෙනෙකුට…. මේකට එක පාර්ශවයකට විතරක් ඇඟිල්ල දිගුකරන්න පුළුවන්ද???? නෑ…. මේකට දෙපාර්ශයම වග කියන්න ඕනෑ…..
අවිවාදයක් නෑ… ලිංගිකත්වය කියන්නේ ප්‍රේම සම්බන්ධතාවයකදී එක්තරා සුවිශේෂී කාරණයක් කියන එක ගැන….. නමුත් ඒක ප්‍රධානම කාරණය හෝ ප්‍රබලම කාරණය නොවේ ආදරයකදී….ඒ හින්දා ආදරය කියන කාරණයෙදී වඩා වැදගත් ලිංගික ගණුදෙනු නෙමෙයි…. ඊට වඩා කතාකල යුතු හුවමාරු කරගතයුතු අදහස් තියෙනවා…
දැන් වැරදියට වටහගන්න එපා… මේ කියන්නේ අතින් අල්ලන්න එපා,ඉනෙන් අල්ලන්න එපා, වැළඳගන්න එපා, හාදු දෙන්න එපා කියලා…. පෘථග්ජන මිනිසුන් විදිහට එවැනි සීමා මායිම්, වාරණ අපිට යොදාගන්න අමාරුයි…. නමුත් අපිට පුළුවන් එතැනින් එහාට බරපතල කාරණාවලට නොයන්න…. තේරෙන භාෂාවෙන් කිව්වොත් ආදරය කල පලියට යහන්ගතවෙන්න අවශ්‍ය නෑ… නමුත් අවාසනාවට අද ආදරය කියන දේ ඇතුළේ ගොඩක් අය ඒක මහා පොදු සාධකය කරගෙන…. අද අපිට නිතරම පුවත්පත්වල, විද්‍යුත් මාධ්‍යවල අහන්න දකින්න වෙන ඛේදාන්තවල මුල ඕක තමයි….
ඇත්ත… ප්‍රතිවිරුද්ධ ලිංගික ආකර්ෂණය නිසා තමයි අපි ආදරයකට පෙළඹෙන්නේ…. සමහරක්විට අපිව එතැනට මෙහෙයවන්නේ සහකාරියගේ හෝ සහකරුවාගේ බාහිර රූපයේ තියෙන ලස්සන හෝ කඩවසම් බව වෙන්න පුළුවන්… නමුත් එහෙම කියලා ආදරයක් පටන්ගත්තාට පසුව කාටවත් licenseදීලා නැහැ කෙනෙකුගේ කුමරි බඹසර හො කුමර බඹසර බව වනසන්න…. ප්‍රේම සම්බන්ධතාවයක් කියන්නේ ඒකට බලපත්‍රයක් නෙමෙයි….නමුත් අද සමාජයේ බොහෝදෙනෙකුට ඒ බව අමතකයි…. ඒ අය හිතාගෙන ඉන්නේ කෙල්ල හෝ කොල්ලා ” I Love You” කිව්ව පමණින් ඒක තමන්ගේ කායික ආශාවන් සංසිඳුවාගන්න දුන්න ආශිර්වාදයක් කියලා….
මං කලින් වතාවක් දෙවතාවක් මේ කතාව කියල තියෙනවා…. නමුත් ආයේ මතක් කරන්න හිතුණා මේ කාරණේ මෙතැනට ඒක වැදගත් වෙන නිසා…. අපි පරිණාමවාදයෙන් බිහිවුනු සත්ව කොට්ඨාශයක්…. ඒ නිසා අපිට යම් යම් තිරිසන් ලක්ෂණ කාන්දුවෙලා තියෙන්න පුළුවන්… ඒත් එහෙව් වුණු පලියට අපි ඒ ලක්ෂණ උලුප්පලා ගන්න ඕනෑ නෑ…. ඊට වඩා ඒ ලක්ෂණ යටපත්කරගැනීමයි කල යුත්තේ…. ඒකට සොබාදහමෙන් ඔබට බුද්ධියක් දීලා තියෙනවා…. ඒ ඇර මිනිස් සමාජය අනුගමනය කරන ආගම් දර්ශන මේ කාරණේදී යොදාගන්න පුලුවන්…..
දකින දකින තමන්ගේ වරිගයේ සතුන් එක්ක වෙලාවක් අවේලාවක් නැතුව සංවාසයේ යෙදීම තිරිසන් ලක්ෂණයක්…. මිහිපිට ඉන්න බුද්ධිමත්ම සත්ව කොට්ඨාශය කිය කිය පම්පොරී ගහමින් අපිත් ඒ ඝනයටම වැටෙන්න ඕනෑද???? මං කියන්නේ ඔබම ඒකට පිළිතුරක් හිතලා බලන්න කියලා…..
ආදරයකදී සම්බන්ධතාවයක් ඇතිකරගන්නා දෙදෙනා විශේෂයෙන්ම කල්පනා කළයුතු කාරණයක් තියෙනවා…. ඒ තමා ආත්ම ගෞරවය කියනදේ…. එතැනදී තමන්ගේ ආත්ම ගෞරවයක් විතරක් නෙමෙයි අනෙක් කෙනාගේ ආත්ම ගෞරවය ගැනත් හිතනවනම් මෙහෙම දෙයකට ඔබ කිසිවිට පෙළඹෙන්නේ නෑ…. ඒක තමා යථාර්තය…..
කිසිම විටෙක තමන්ගේ සහකාරිය හෝ සහකරුවා දිහා සෙල්ලම් බඩුවක් වගේ බලන්න එපා…. මිනිස් ජීවිතවලට ඊට වඩා අර්ථයක් තියෙනවා…. සෙල්ලම් බඩුවක් එක් කාලයකට හිතේ හැටියට පාවිච්චිකරලා පස්සේ ඒවා කැඩුණාම විසික් කරලා දාලා ආයේ අලුත් එකක් අරන් සෙල්ලම් කරනවා…. මේ කාරණේ ආදර සම්බන්ධයකදී අනුගමනය කරන්න ගියොත් ඔබ කරගන්නේ කිසිම දවසක ගෙවා නිමකල නොහැකි පාපකර්මයක්…. මේ කාරණේ ගැහැනු පිරිමි දෙවර්ගයටම වලංගුයි….. මේක තමා ඇත්ත…..
ඔබ valentine දවසට අරන් දෙන තෑග්ගේ වටිනාකම්න් ඔබේ ආදරේ තරම තීරණයවෙන්නේ නැහැ…. ඔබේ ආදරයේ තරම තීරණය වෙන්නේ ඔබ මනුෂ්‍යයෙකු විලසින් ඔබේ සහකාරිය හෝ සහකරුවා එක්ක ආදරයකදී හැසිරෙන විදිහ මතයි…. ඒ නිසා ඔබ ලක්ෂ ගණන් තෑගි අරන් දුන්නාට පලක් නෑ ඔබේ හැසිරීම ඇය හෝ ඔහු සමඟ අපුලනම්…. මට වෙලාවකට හිතෙනවා valentine දවසේදී මුල්‍යමය වටිනාකමකට තෑග්ගක් දීලා අපේ අය කරන්නේ තමන්ගේ ආදරේ බාල කිරීමක්ද කියලත්…. මොකද මානුෂික කාරණයක් මිම්මකින් මනින්න බැරි නිසා….. ඒත් ඒ වගේ මතයක් ගොඩනඟන්න මට අයිතියක් නෑ…. මොකද තෑග්ගක් අරන් දීම හුදෙක් ප්‍රජාතාන්ත්‍රික කාරණයක් වෙන හින්දා….
කවදාවත්ම අපිට බැහැ පිරිමියෙකුගේ හෝ ගැහැණියෙකුගේ වටිනාකම අවතක්සේරු කරන්න…. මොකද අපේ අම්මා, තාත්තාත් ගැහැනියෙක් හා පිරිමියෙක්…. අම්මාගේ මව් කිරිවලට පින්සිද්ධවෙන්න අපි මෙලොව මත පය ගහනවා…. තාත්තාගේ දහඩිය කඳුලුවල ප්‍රතිඵලයක් විදිහට අපි උස් මහත්වෙනවා….. එහෙව් හැදෙන අපි කොහමද ගැහැණු හෝ පිරිමි ජීවිතේක වටිනාකම අවතක්සේරු කරන්නේ…. ඒ හින්දා කිසිම විටෙක අවලංගු කාසියක ගණයට ජීවිතයක් දාන්න එපා…. විශේෂයෙන්ම ආදරයක්දී කවදාවත් තම්න්ගේ සහකාරිය හො සහකරුවා අතරමං කරන්න එපා…. ඒක මහා පාපයක්….
Valentine දවසට විතරක් නෙමෙයි… ඔබ හැම තත්පරයක්ම, පැයක්ම, දිනක්ම, ජීවිතේ පුරාවට හොඳට ආදරය කරන්න…. ආදරයට සොබාදහමෙන්වත් බාධාවක් නෑ…. වඩා වැදගත් වන්නේ ඔබේ ආදරේ අවංකව පිරිසිදු වීමයි…. ආදරය කියන දේ කුමන හේතුවක් මත තමන්ගේ සිතට පිවිසියත් තමන් ආදරය කල යුත්තේ පපුවෙන්…. හදපත්ලෙන්…. එවිට ඔබට එහි මිහිර හොඳට දැනෙවී…. එය හුදෙක් ලිංගිකත්වය මත නොව ඊට වඩා බැරෑරුම් විෂය පථයක් බව ඔබටම තේරේවී….
මට හිතෙනවා මෙහෙම දෙයක් සටහන් කරන්න අන්තිමට…. ඔබ හොඳට ආදරය කරන්න…. නමුත් ඔබ ආයේ ගෙදර ගියාම තමන්ගේ සහකාරිය හෝ සහකරුවා ළඟ කාලය ගතකර…. ඔබට පුළුවන් වෙන්න ඕනෑ තමන්ගේ අම්මා හා තාත්තා දිහා සෘජුව නෙත්වලින් බලන්න…. එහෙම බලන්න බැරිනම් ඔබ ආදරයෙදී අන්ත පරාජිතයෙක්…. එහෙම බලන්න පුලුවන් නම් ඔබ අති සාර්ථකයි ආදරයේදී….. එවිට ඔබට ආදරේ ගැන ලියැවුණු රූකාන්ත ගුණතිලකයන් ගායනා කරන ” සුවඳ දැනී දැනෙනවා ” ගීයේ පද පෙලක අර්ථය නිරායාසයෙන්ම තේරේවී…. නමුත් එහි අර්ථය තේරුම් ගැනීම නොගැනීම රඳා පවතින්නේ ඔබේ අතේ…
” ජීවිතේ සුන්දරද මෙතරම්…. “
අවිගත්තෝ…. අවියෙන්ම නැසෙති….

" අවිගත්තෝ.... අවියෙන්ම නැසෙති.... "
ලොව බිහිවූ ඒකාධිපතීන් බලය තමන් අත තිබෙනවිට සිතන්නේ ඔවුන් තරම් ලොක්කන් මේ ලෝකයේ නැතිබවයි… ඔවුන් තමන්ට සිතුණු සිතුණු දේ කරයි… ජනතාව තලා පෙලා දමයි… මිනිස් ජීවිතවල වටිනාකම නොසලකාහරියි… අනික් මිනිසුන් දුක් විදිනවිට ඉහළ සැප සම්පත් ලබමින්, වස්තු ධනය උපයමින් වැජඹෙයි…
ඒත් ඒ හැමදේම නැතිවෙන්නට යන්නේ සුළු මොහොතයි… ඒ හැමදේම මරණයට යටයි… ඉන් ගැලවෙන්නට කාටත් බැරිය… නමුත් මනුෂ්‍යයෙකුසේ මෙලොව ඉපිද… මනුෂ්‍යයෙකුසේ මෙලොව හැර යාම තරම් වාසනාවක් හා වටිනාකමක් මිනිස් ජීවිතයේ තවත් නැත… තමන් මිය ගියාට පසු මිනිස්සු අතර අමරණීයවන්නේ එවිටයි… එසේ නොවුණු තැන මිනිසුන් සැමදාම මිනිසුන් ඒ ජීවිතවලට මරණයෙන් පසුව වූවද ශාප කිරීම වැලැක්විය නොහැක…
අවුරුදු 42 ක් ඒකාධිපතිත්වයෙන් වැජඹීමට ගොස් අවසානයේ මනුෂ්‍යයත්වයට නිගා කිරිමේ පාපයට වන්දි ගෙවා වෙඩි උණ්ඩවලට බිලිව අමනුෂ්‍යයෙකු සේ මෙලොව හැරගිය ගඩාෆිගේ ජීවිතය ඊට ඇති කදිම උදාහරණයකි… නමුත් දැන්වත් මේ ආයුධ සංස්කෘතිය ලොවෙන් තුරන්විය යුතුය… ඒත් එය සිදුවේද???… තවත් මිනිස් ජීවිත කීයක් බල තණ්හාව නිසා අවිවලට බිලිවෙයිද????… පිළිතුරක් පෙනෙන තෙක් මානයක නැත…
අහස හෙවණ කරගත් ළමයි….

ඒත් මේ ළමයින්ගේ කුසගින්න හෙට දවසේ නිවෙයි කියලා කියන්න පුලුවන් කාටද?????
” අද ඔක්තොම්බර් 1 වෙනිදා…. ලෝක ළමා දිනය…. මේ විශේෂ වැඩසටහන අප මාධ්‍ය ආයතනය සංවිධානය කලේ ළමයින්ටම පමණක් විශේෂ වූ මේ දිනය සමරන්නටයි ”
මේ ඔක්තොම්බර් 1 වෙනිදා බොහෝ ජනමාධ්‍ය වලින් කියැවුණු කාරණයක්…. එක් එක් මානුෂීය කාරණා සම්බන්ධව අවුරුද්දේ 365 දවස් වෙනවෙනම වෙන්කිරීම අනුමත නොකලත් අවම වශයෙන් ළමුන් වෙනුවෙන් එක දවසක් හෝ මේ කාර්යබහුල marketing සමාජය තුළ වෙන්වී තිබිම ගැන ඇත්තටම සන්තෝසයි……..
නමුත් යථාර්තය නම් මේ දිනය සමරන්නේ marketing රාමුවේ ඉඳන්…. නමුත් කමක් නෑ…. ඒ චේතනාව අතරේ හොඳ චේතනාවක් තියෙන නිසා ප්‍රශ්නයක් නෑ…. මොකද marketing ලෝකයට හැමවෙලේම ඇඟිල්ල දික්කරන එක වැරදියි…. ඒකෙ ඇතුලේ හැමවෙලේම වෙන්නේ වැරදි වැඩ විතරක් නෙමෙයි…. හොඳ දේවලුත් සිද්ධවෙනවා…. ඒ නිසා ඒ දේවල් අගය කලයුතුයි….
දැන් හැරෙමු ලෝක ළමා දිනයට ආයෙමත්…. Programme එකට ආපු පොඩි උන්ට නිවනක් නැහැ…. සමහරු නටනවා…. සමහරු නටනවා කියල උඩපනිනවා…. සින්දු කියනවා…. අත්පුඩි තලනවා….. නාට්‍ය රඟපානවා…. ඉඳල හිටලා වලියකුත් තියෙනවා ලොකු මිනිස්සු වගේ… ලැජ්ජාවෙන් ඇඹරෙනවා….. වැඩ කෝටියයි….!!!!! ඒ තමයි පොඩි උන්ගේ ලෝකය….
ඇත්ත තමයි පොඩි උන් මල් වගේ කියන්නේ…. ඒ අයගේ හිත් අපිරිසිදුවෙලා නෑ…. ඒ අය ළඟ ඉන්න මනුස්සයගේ ජාතිය ජන්මය හොයන්න යන්නෙ නෑ…. ඒ හින්දා ඒක ඒ අයට ප්‍රශ්නයක් නෙමෙයි…. ඒක ප්‍රශ්නයක් වෙන්නේ ලොකු මිනිස්සුන්ට…. ඒ අය තමා මේ බෙදාවෙන්කරන්න උත්සහකරන්නේ එක එක කුලකවලට පොඩි කාලේ ඉඳන්ම…. අන්තිමට ඔය පොඩි ළමයා ලොකු මනුස්සයෙක් වුණු දවසට කරන්නෙත් ඔය ටිකමයි ඒ අඩි පාරේ ගිහිල්ලා….
එක පැත්තක සුනඛ සංදර්ශන ( Dog Shows )…. පොඩි උන් කටත් ඇරගෙන බලන් ඉන්නේ සුනඛයන්ගේ වැඩකිඩ ගැන…. එක පැත්තක ice cream…. එදාට ඔය සෑහෙන වියදමක් දරා ඇතුල්වෙන්න තියෙන amusement parksවලට ඇතුලුවීම නොමිලේ…. නැතිනම් ticket වල ගාණ අඩුයි…. ඒනිසා පොඩි උන්ටත් මාර chance එක විනෝදවෙන්න….
ඒ ඔක්කෝටම වඩා පොඩි එකාට කාලේකට පස්සෙ තමන්ගේ දෙමව්පියන් එක්ක දවසක් විනෝදයෙන් කාලේ ගතකරන්න ලැබිලා…. මොකද අනික් දවස්වලට අම්මයි තාත්තයි machine වගේ…. ඒගොල්ලෝ උදේම office නැතිනම් වැඩට යනවා…. දරුවා එක්කො ආච්චි ගාවා…. නැතිනම් ආයා ගාවා…. එහෙමත් නැතිනම් day care center එකේ…. මේ marketing ලෝකය ඇතුලේ ඒ දෙන්නාට ලොකු තරඟයක් කරන්න වෙලා ජීවත්වෙන්න…. මොකද මේ පොඩි එකාගේ අනාගතය සවිමත් කරන්න ආරථිකමය වශයෙන් ශක්තිමත් වෙන්න වෙලා තියෙනවා ඒ දෙන්නාට….
ඉතින් පොඩි එකාට අම්මගේ තාත්තාගේ උණුසුම ලැබෙන්නේ නිදාගන්න පැය කිහිපයදීයි…. එතැනින් ගියාම නිවාඩු දවස්වලයි….. සමහරක්විට පොඩි උන් නොකිව්වට උන් වැඩියෙන්ම සන්තෝස වෙන්නේ ඒ කාරණේ නිසා වෙන්න ඇති…. ඔය පොඩි හිත්වලට දැනෙන හැමදේම කියන්න තරම් උන් වචනවලින් පොහොසත් නෑ…. ඒක තමා ඇත්ත…. වචනවලින් පොහොසත් වෙනකොට උන් ලොකු මිනිස්සුන්ගේ කුලක ඇතුලේ බෙදිලා ඉවරයි…. ඒක තමා කරුමේ….
ඉතින් දවස පුරාම විවිධ වැඩසටහන්…. විවිධ තරඟ…. අන්තිමට ඇමති කෙනෙක් ඇවිල්ලා තෑගිත් දුන්නා…. පොඩි උන්ටත් කල්ල මරේ…. කාලෙකින් හිතේ හැටියට විනෝදවෙලා අන්තිමට ගෙදර ගෙනියන්න තෑගිත් ලැබිලා…. මුණ පුරා මලක් පිපිලා…. හා හා මලක් පිපිලා!!!!!
කොහොමහරි දවස අවසන්වුණා…. පොඩි උනුත් ගෙවල්වලට ගියා ඒත් සන්තෝසෙන් නෙමෙයි…. මොකද උන් දන්නවා හෙට ඉඳන් ඒ අයට අම්මයි තාත්තයි වැඩට ගියාම තමන්ගේම ලෝකය ඇතුලේ තමන්ට සිරකාරයෙක් වෙන්න වෙන බව…. අත පය හොල්ලලා චණ්ඩි පාට් දානවා බොරු….
සමහරවිට මේ අද දිනාගත්ත තෑගි ඒ අයගේ තනියට ඉදිවී…. සමහරක්විට ඒකත් නැතිවෙයි…. මොකද අපේසමහර අම්මල තාත්තලා ඒ තෑගි තියන්නේ ලස්සනට cabinet එකක කඩයි කියල බයට…. පොඩි එකාට වෙන්නේ ඒ දිහා බලන් සුසුම් හෙලන්නයි…. ඒ අය සෙල්ලම් බඩු එක්ක පොඩි කාලේ සෙල්ලම් කරන්නෙ නැතුව දීග ගිය කාලෙක සෙල්ලම් කරන්නද???? එහෙම සෙල්ලම් කලොත් ඉතින් අනිවාර්යෙන්ම ගිහිල්ලා නතරකරයි අංගොඩ….
ඒක හරිම වැරැදි වැඩක්…. ඇත්ත සමහරක් සෙල්ලම් බඩු ළමයින්ට අහිතකරයි…. ඒවායේ තියෙන කොටස් කටේ දාලා උගුරේ දාලා හිරේ කරගන්න පුලුවන්…. නමුත් අනික් සෙල්ලම් බඩු දෙන්න පුලුවන් ළමයින්ට සෙල්ලම් කරන්න…. ළමුන්ගේ නිර්මාණත්මක චින්තනය දියුණු කරන්න ඒවා ඉවහල්වෙනවා….
එහෙම නොදෙනවානම් ඒක ඇත්තටම ඒ ළමයාගේ මුලික මිනිස් අයිතිවාසිකමක් කඩකිරීමක්…. සමහරවිට අඩි හප්පලා… ගිරිය පුප්පලා කෑගහල අඬන්නේ ඒක දරාගන්න බැරිව වෙන්න ඇති…. පොඩියට හිටියට උනුත් හොඳ විප්ලවවාදියෝ!!!!….
දැන් ඔක්තොම්බර් 1 වෙනිදා ඉවරවෙලා ටික දවසක්…. මිනිස්සු සුපුරුදු ලෙස වෙලා…. මාත් ගියා ඊයේ පෙරේදා දවසක බොරැල්ලට මගේ පෞද්ගලික කාරණයකට…. වෙනසකටත් එක්ක මං ගියේ කොස්වත්ත්ට ගිහින් 171 ක… එතකොට මට Ritz සිනමාහල ළඟින් බහින්න පුලුවන්…. Ritz එක ගාවින් බැස්ස මම ඇවිදගෙන ආවා 154 bus halt එකට…. මේ එන පදික වේදිකාවේ කෙලවරක තියෙනවා උමං මාර්ගයට පිවිසෙන ස්ථානයක්….
එතැන ඉන්නවා සිඟමන් යදින පවුලක්…. මෙතැන මගෙ ඇස් ගියේ එතැන හිටපු පොඩිම සමාජිකයන් දිහාවට…. ඇත්තටම ඒ ළමයි අපි T.V.වල, Addවල දකින පියුරු ගාපු ලස්සනට අන්ඳපු ලමයි නෙමෙයි…. අපිරිසිදු වැරහලිවලින් සැරසුනු, සොටු පෙරාගත්තු, අපිරිසිදු ළමයි…. ඒත් ඒ ළමුන්ගේ මුහුණේ ලස්සන හිනාවක් තිබ්බා…. ඇත්තම කිව්වොත් අනික් අහිංසක ළමයින්ගේ වගේමයි…
මේ ළමයි අර සමබල ආහාර කන, sausages කන, cheese කන, noodlesකන ළමයි නෙමෙයි…. කොටින්ම බොන්නෙත් රොන්මඩ, මළකඩ මුසුවෙච්චි ජලය…. වැසිකිලි කැසිකිලි පහසුකම් නෑ…. අම්මගෙ හරි තාත්තාගේ හරි අතේ එල්ලිලා බෙලෙක් එකකුත් අරගෙන පාර පුරා ගිනි අව්වේ ඇවිදල තමන්ගේ එදා වේල පිරිමහගන්න ලොකු මිනිස්සු එක්ක හරි හරියට සටන කරන ළමයි….
එදා වේල හොයගන්න බැරිවුනාම කුණුගොඩක් හරි අවුස්සලා කන්නට යමක් හොයගන්නවා…. පාන්වාටියක්, ඉතුරුවෙච්චි බත් ඔය මොනවහරි කුසට දාගන්නවා…. මිනිස්සු කාලා ඉවත දාපු පාර්සල්වල මස් කටු ඒ ලමයි සූප්පු කරන්නේ හරියට දිව්‍ය භෝජනයක් වගේ…. මේක විරල සිද්ධියක් නෙමෙයි… මේ ගිනිගහන සෙයිලමේ මේවගේ දේවල් ඕනිතරම් අපි දැකල තියෙනවා…. කණගාටුව මේකයි… එ ළමයි එහෙම තමන්ගේ බඩගින්දර නිවාගන්නකොට ඒ අය සිඟමන් යදින මාර්ගයේම තියෙන තරු 5 හෝටල්වල ආහාර කිලෝ ගණන් අහක දමනවා….
අපේ ගොඩක් අය සෑහෙන්න වියදම් කරල උපන්දින සාද, අවුරුදු සාද ගන්නවා…. මං කියන්නේ නෑ ඒක වැරදියි කියලා… ඒක ඒ අයගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය…. ඒත් ඇත්තම කිව්වොත් මේ වගේ අහිංසක දරුවන්ගේ කුසගින්න එක දවසකට හරි ඔබට නිවන්න ලැබුනොත් ඒක තමන්ගේ ජීවිත කාලය පුරාවට කරගන්න ලොකු පිනක්…. සාද පවත්වනවට වඩා සැනසීමක් ඔබට දැනේවී…. රජ බොජුන් අවශ්‍ය නෑ ඒකට…..
ගිනි අව්වෙ ඇවිදලා ඒ ළමයින්ගේ මුහුණ පිච්චිලා…. පුංචි ළමයි මල් වගේ කිව්වට මේ ළමයින්ගේ මුහුණු ඒතරම් පියකරු නැහැ…. ඒත් අහිංසක හිනාවකින් පිරිලා…. කොණ්ඩේ බොකුටු ගැහිලා…. ඉපදුණු දා ඉඳන් ඒ කොණ්ඩේ පීරලා නැතුව ඇති….
ඇඟ පුරාම තුවාල, කැළල්…. පොඩි ළමයි ළඟ එන සුවඳ විලවුන් සුවඳ වෙනුවට මේ ළමයින්ගේ ළඟින් එන්නේ දාඩිය පෙරුණු නාවර ගඳ…. ඒත් ඒ මුහුණේ තිබ්බේ අහිංසක දරුවෙකුගේ හිනාවක්…. ඇත්තටම මේත් ළමයි නේද????
ගෙවල්වල ඉන්න ළමයි සැපට උණුසුම් පොරෝණ පොරවගෙන නිදියද්දී මේ ළමයි නිදියන්නේ කඩපිලක නැතිනම් මහ පාර අයිනේ සීතලට ගුලිවෙලා…. වැස්සක් වැස්ස දවසට ඒ නින්දත් නෑ…. අපිට නිදාගන්න බැරිවුණාම කොච්චර අමාරුද????ඒත් ඒ දෙයින් ඒ අයට මිදෙන්න බැහැ…. මොකද ඒ අයගේ හෙවණ අහසම නිසා….කොච්චර අමාරුවුනත් ඊළඟ දවසේ මේ ළමයි සිඟමන් ගියේ නැත්නම් ඒ ළමයි බඩගින්නේ… ඒක තමා ඒ ජීවිතවල යථාර්තය….
පුංචි ළමයි ආස සෙල්ලම් බඩුවලට…. උන්ට සෙල්ලම් බඩුවලින් තොර ලෝකයක් නැහැ…. ඒත් මේ ළමයි තමන්ගේ ඒ ආශාවල් සන්සිඳුවගන්නේ බෙලෙක් පියන් වලින් නැතිනම් පොල්පිතිවලින්…. එහෙමත් නැතිනම් කුණුගොඩකින් අහුලගත්තු අණ්ඩ කැඩිච්චි බෝනික්කෙක්ගෙන්, කැඩිච්චි car එකකින්….
සෙල්ලම් බඩු කඩ ළඟින් යද්දී ඒ පුංචි හිත්වලට කොච්චර රිදෙනවා ඇත්ද????… ඒ ඇස්වලට කඳුලු පිරෙනවා ඇත්ද???? උන් කොච්චර දුකක් හිත ඇතුලේ හංගගෙන ඇත්ද???? ඒත් ඒ අයට මෙව්ව කියන්න කවුරුත් නැහැ…. කාට කියන්නද ඇත්තටම….
සමහරවිට මේ ළමයි මේ අවනඩුව කියනවා ඇති…. ඔව්, ඒ වෙන කාටත් නෙමෙයි රෑ අහසේ ඉන්න හඳටයි තරුවලටයි…. දවල්ට ඉර දිහා බලලා කතාකරන්න ඒ පුංචි ඇස්වලට බැහැ…. මොකද හිරුගේ රැස් චණ්ඩයි කුරිරුයි…. හරියට ඒ අයගේ දෛවය වගේ…. ඒත් හඳටවත්, තරුවලටවත් උත්තර නැහැ මේවාට….
මොකද සොබාදහම තමන්ට පුලුවන් විදිහට හැමදෙයක්ම සමව බෙදලා දීලා තියෙනවා මිනිස්සුන්ට…. ඇත්තටම මේ තත්වවලට මිනිස්සු වැටුණේ තමන් විහින්ම…. ඒත් ඒකට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ මේ අසරණ 6 ක් 4ක් නොතේරෙන කිරිසප්පයින්ට…. ඒක තමා තිත්තවුණත් ඇත්ත….
රාගයෙන් මත්වුණු පිරිමියෙකුගෙන් හා ගැහැනියෙකුයි අතර ඇතිවුනු කායික සම්බන්ධතාවයකින් පුංචි අහිංසක දරුවෙක් ලැබිලා…. ඒ කාරණය ඇතුලේ පවුල් සැලසුම්කරනයවත්, අනාගතය පිළිබඳ දැක්මක්වත් නෑ…. තියෙන්නේ රාගය පමණයි…. අවසානයේ ඒ ඉපදුණු ළමයා ලෝකෙටම බරක්…. ඒ ළමයත් ලොකු මනුස්සයෙක් වුණුදාට කරන්නෙත් ඔය ටිකමයි….
පුංචි කාලේ ළමයි ආසයි අහන්න හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා…. ඒත් මේ ළමයින්ට ඉස්කොලේ යන එක, තමන්ගෙම ගෙයක ඉන්න එක, දවස්සේ තුන්වේලම කාලා හොඳට ඇදලා පැළඳලා ඉන්න එකම සුරංගනා කතාවක්…. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා ඇහුව දවසට ඒ ළමයි අහාවී ඒ කියන්නේ දිව්‍යලෝකය ගැනද කියලා…. ඒක තමා යථාර්තය….
ලංකාව ඇතුලේ ළමයි ගැන කතාකරන්න බොහොම අය ඉන්නවා…. ඡන්දෙ කාලෙට ළමයෙක් වඩාගෙන photo එකක් දාන්න අපේක්ෂකයෝ හරි ආසයි…. මොකද ඕනිම කෙනෙකුගේ ඇහැ යනවා පොඩි දරුවෙකුට….. හැබැයි අමතක කරන්නෙපා ඔය අපේක්ෂකයෝ ළමයි වඩාගන්නකොට වඩාගන්නේ හොඳට powder ගාලා, ඕඩිකොලෝන් ගාලා පිරිසිදුවට අන්දපු ළමයි….
මං මේ කියන්නේ නෑ ඒ අයට මේ විදිහට අපිරිසිදු සොටු පෙරාගත්හු ළමයි වඩාගන්න කියලා නෙමෙයි…. මොකද මිනිස්සු විදිහට අපිට ඒවගෙ දෙයක් කරන්න ජුගුප්සාජනකයි…. ඒත් මං මේ කියන්නේ ඒ අයට මේ වගෙ දරුවන්ගේ අනාගතය සුරක්ෂිතකරන්න නිශ්චිත වැඩපිළිවෙලක් නැහැ කියලා…. තිබ්බා නම් මෙලහකටත් මේ වගේ වීදි දරුවන් ඉන්න විදිහක් නැහැ….. ඒ හින්දා මහ හයියෙන් බෙරිහන් දුන්නට වේදිකාවල දරුවෝ ගැන කැක්කුමකින් ඒවා නිකන්ම නිකන් පුස් වචන…. ඇත්තම කිව්වොත් ඒ අය ළමයින්වත් market කරලා තමන්ගේ මැතිවරණය වෙනුවෙන්…
ළමා අයිතිවාසිකම් ගැන බැරෑරුම්ව කතාකරන කාලයක් මේක…. මං හිතන්නේ මේ ළමයි ගැනත් අවධානය යොමුවෙනවනම් හොඳයි…. දෙමව්පියන්ගේ වැරදිවලට මේ ළමයි පලි නෑ…. ඒක මේ ළමයින්ට නෙමෙයි හැම ළමයටම පොදු කාරණයක්….. එහෙම නොකලොත් මේ ළමයි කවදහරි මේ සමාජයට ලොකු මිනිස්සු වුණු දවසක වෛරකරයි…. අපරාධ වැඩිවෙයි…. මානව සංහතිය වැනසෙයි….. මේක තමා යථාර්තය…..
මහලොකුවට අඬබෙර ගහගෙන ලෝක ළමාදින සැමරුවට ඉන් ඵලක් නෑ…. මේ වගේ දරුවෝ පාරවල්වල අතරමන්වෙලා ඉද්දී දඩාවතේ යන බල්ලන් රැල්ලක් වගේ කුණු කූඩවලින් අහුලගෙන කද්දී…. හිතට එකඟව ඒ දිනය සමරන්න පුලුවන්ද???? මෙ ප්‍රශ්නය එක දවසකට සීමා කරල වැඩක් නෑ… ඒ වගේම ළාමකව සාකච්ඡාකරල ඵලකුත් නෑ…. මේක ඇත්තටම ප්‍රබල ගැටලුවක්….
ළමයි කියන්නේ ළමයි…. ඒ අය ඉපදුනේ මොන ආගමක අම්මෙකුට තාත්තෙකුට දාවද කියන එක වැඩක නැහැ…. ඉපදුණේ කුරුදුවත්තෙඩ, ගෙදරද, රෝහලේද, පාරේද කියන එක වැඩක් නැහැ…..
මං දැකල තියෙනවා මිනිස්සු වපර ඇහින් බලනවා උප්පැන්න සහතිකේ තාත්තගේ නම ඉස්සරහ හිස්තැනක් තියෙන ළමයි දිහා…. ඒකට ඒ පොඩි එකා පලි නෑ…. ඒකට වගකියන්න ඕනෑ රාගයෙන් මත්වෙලා ඇඟ ඇතුලේ තියෙන තිරිසන් ලක්ෂණ පාලනයකරගන්න බැරිවුනු ඒ ගැහනියයි පිරිමියයි…. දරුවා සම්පුර්ණයෙන්ම ලෝකෙට ආගන්තුකයෙක්…. ඇත්තටම අහිංසකයෙක්….
තව දෙයක් තියෙනවා…. ඔය මුඩුක්කු පරිසරයක නාගරික පැලපතකින් එන ළමයා ඒ වත්තේ නම යටතේ වර්ගකරන්න… අපේ “ශිෂ්ට ” කියන මිනිස්සු පෙළඹිලා…. ඇත්තටම ඒක ඒ ළමයගෙ වැරැද්දක් නෙමෙයි….. අපි එහෙම ඒ ළමයා කොන්කරන්න කොන්කරන්න ඒ ළමයා තල්ලුවෙන්නේ සමාජයේ දුසිරිතට….. අමතක කරන්නෙපා….. ලෝකය ජයගත් බොහෝදෙනා ආවේ සිටුමැදුරුවලින් නෙමෙයි…. මේවගේ අන්ත දුප්පත් පැලපත්වලින්…. ඒ නිසා ඒ ජීවිත අවතක්සේරු කරන්නෙපා…. ඔවුන්ට දිරි දෙන්න නැගිටින්න….
154ක් ආවා… මා යායුතුයි…. අතේ තිබ්බා රු.10ක්… මං ඒක ඒ ළමයගෙ අතට දුන්නා…. අහිංසක හිනාවක් ඒ මුහුණේ ඇඳුණා…. ඒක ඒ ළමයට රටක් රාජ්‍යයක් ලැබුන තරම් වටිනවා….
ඒත් මේ ළමයින්ගේ කුසගින්න හෙට දවසේ නිවෙයි කියලා කියන්න පුලුවන් කාටද?????
අවසරයි පොඩිහාමුදුරුවනේ….

" මඩ ගොහොරු සමාජයේ සියපතක් සේ පිපී දහමේ ගැඹුරු සැබෑ අරුත වටහාදෙන්නට ඔබවහන්සේට හැකිවේවා!!!!! "
ළපටි දෙනෙත් පුස්තකයට යොමුකර පොඩිනම කල්පනාබරව මෙනෙහි කරන්නේ උන්වහන්සේ සතුව ඇති උදාර වගකීම වියයුතුය… හතරවරිගයම සසරෙන් එතෙරකරන්නට පොඩිනම සුදානම්ය…
ඇතැම්විට පොඩිනම ඔබ ඉදිරියේ සුරතල් සිඟිති හඬින් උන්වහන්සේ අවබෝධකරගත් ධර්මය දේශනා කරනු ඇත….. එයට සවන් දෙන්න…. මඟහරින්නට එපා….
අපේ බොහෝ දෙනා ගාථා, සුත්‍ර,පාලි පාඨ දැන සිටියත් එහි සැබෑ අරුත දන්නේ කීයෙන් කීදෙනාද….
සමහරු ආගම දහම අදහන්නේ මොස්තරයටය….. සමහරු අදහන්නේ උප්පැන්න සහතිකයේ ආගම සඳහන්වී ඇති නිසාය…. සමහරු අදහන්නේ වෙනත් වාසිතකාය…. හොඳම උදාහරණය රට කරවන අපේ ඇත්තන්ය….. ඒ අයට හොඳින් ගාථා, සුත්‍ර,පාලි පාඨ කටපාඩම්ය…. සිව්පසේ පිහිටුවා වැඳනමස්කාර කරන්නට පුළුවන…. මල්වට්ටි උස්සගෙන යන්නට පුලුවන…. නමුත් ඔවුන් ඒවායේ අරුත දන්නේ නැත….
ගිරා පෝතකයෝ මෙන් සියළුදේ මුමුණා….. ආගමික සිද්ධස්ථානවලින් පිටට බැස ගිනිඅවි අතට ගනිති…. වෙඩි තියාගනිති…. නිස්කාරණේ මිනිස් ජීවිත විනාශකරති…. ඔවුන් ආගමද දේශපාලන වෙළදාමේ යෙදෙති….අපේ බහුතරයක් දෙනා නොදැන හෝ දැන ඒ දේවල්වලට පණ නැති කතිරයෙන් සහය දෙති…. අවසානයේ විඳවති….
ඇතැම්විට මේ පොඩි නම ඒ දේවල් මැනවින් අවබෝධකරගත්තා විය හැකිය….. ඒ නිසා උන්වහන්සේට ඇහුම්කන්දෙන්න….
පොඩිනම ශරීරයෙන් කුඩාය…. බොහොම කුඩාය…. එහෙත් සිත ඉතාමත්ම පිරිසිදුය….. දිය උල්පතකින් නැඟෙන ජල බිඳුවක් තරම් පිරිසිදුය…. සෙල්ලමට හිත ගියද අවබෝධය ඉහල මට්ටමක විය හැකිය…. ඒ නිසා අපට වඩා උන්වහන්සේ දහමේ අරුත විනිවිද දකිනවා ඇති…. ඉතින් ඇයි අපි උන්වහන්සේට සවන් නොදෙන්නේ?????….
වයසින්, ගතින් කුඩාවූවත් ඉගෙනගැනීමට දෙයක් ඇත්නම් අපි එය නොපැකිලිව ඉගෙනගනිමු…. ” මනුෂ්‍යයෙකු සේ ඉපිදී, මනුෂ්‍යයෙකු සේ මෙලොව හැරයන්නට” එය ඔබට මහඟු සේ උපකාර වෙන්නට පුළුවන…. “දැනෙනවද ඔබට….” එය????….
අපේ පොඩි හාමුදුරුවනේ!!!! ගතින් වැඩෙනවත් සමඟ ඔබ වහන්සේගේ දහම පිළිබඳ දැනුම තව තවත් වැඩිවේවා….!!!! මොස්තරයට ආගම අදහන උදවිය ඉන් ගලවාගන්නට ඔබවහන්සේට හැකිවේවා!!!! සමාජයේ වැරදි සිදුවනකල ඒ දෙස බලාසිටීම වෙනුවට ඒ දේවල්වලින් මිනිස් සංහතිය ගලවාගන්නට ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා!!!!
මේ දුර්ජන වූ මඩ ගොහොරු සමාජයේ සියපතක් සේ පිපී දහමේ ගැඹුරු සැබෑ අරුත සකල සත්වයින්ට වටහාදෙන්නට ඔබවහන්සේට හැකිවේවා!!!!!
සාධූ!!!! සාධූ!!!! සාධූ!!!!
ඉතින් කොහමද….

" මේ මිත්‍රයා මාව හැරයන්නේ නැතිවේවී කවමදාවත්.... "
එදා campus එකේ වැඩිය වැඩක් තිබ්බ දවසක් නෙමෙයි…. ඉර මුදුන් වෙන්න කලින් lectures අවසන්වුණා…. ඉතින් අද කලින් ගෙදර යන්න පුලුවන්…. මට හිතුණා…. Notes වල photocopyයකුත් ගහගෙන මං ගෙදර යන්න ආවා ප්‍රධාන ගේට්ටුව දිහාවට…. ඒත් අද මාත් එක්ක යන ගමන් සගයා නැහැ…. මිනිහට මොකද්ද වැඩක් කියලා මිනිහා ගියා නුගේගොඩ….. මං යන්න ඕනෑ කොස්වත්තට…. ඒ හින්දා මං එදා ගියේ තනිවම….
Campus එක ළඟ පාර oneway එකක්….. පාරත් හොඳයි….. ඉතින් වාහන එන්නේ පිඹගෙන පාර පුරාම….. කහ ඉර තියෙන්නෙ ගෙට්ටුවේ ඉඳන් 50m ක් විතර දුරින්…. සාමාන්‍යයෙන් ඉතින් අපි ඔය කහ ඉරෙන්ම පාර පනින්නේ නැහැ…. Signal light එකේ රතු වැටුණු ගමන් ටක්ගාලා පාර පැනගන්නවා ගේට්ටුව ඉස්සරහින්ම….
ඉතින් මමත් ගමන slow කරල ආවා ගේට්ටුව පහුකරලා පාර අද්දරට…. මං කලින් කිව්වා වගේම පාර පුරා වාහන යනවා…. කරුමෙට හරි ඉතින් පාරට වැටුනොත් පාංශුකූලේ දීල තමයි නතරවෙන්නේ…. අපේ අයටත් oneway,highway පේන්න බැහැනේ….. පාගනවා ලෑල්ලටම…. හැබැයි ඒක වැරැදි නෑ…. මොකද මං හිතනවා පෞද්ගලිකවම ඒවගේ පාරවල්වල ටිකක් හයියෙන් යන එක වැරැද්දක් නැහැ කියලා….. ගොඩක් වෙලාවට යන්න පුලුවන් පාරවල්වල ඉබි ගමනින් යන වාහන හින්දා තමයි traffic එක වැඩිවෙන්නේ…. නමුත් ඉතින් රියැදුරන් වගකීමෙන් හා පරිස්සමෙන් වාහන එලවනවනම් ගොඩක් හොඳයි…. එහෙම එලවනවනම් මේ පාරවල්වල අනතුරු ගොඩක් වලක්වගන්න පුලුවන්…..
රතු එලිය වැටුනා…. මාත් ඉතින් පාර පැනගත්තා… හැබැයි ඒත් විමිසිලිවත්ව….. මොකද සමහර රියැදුරු මහත්වරුන්ට accelator එක තියෙන්නෙ කොහෙද කියල මතක තිබ්බට break එක කොහෙද කියල මතක නැහැ…. එහෙම බහුතරයක් තමන්ගේ වාහනේ නතරකරගන්නේ එක්කො තව වාහනයක හප්පගෙන නැත්නම් ගහක, තාප්පයක හප්පගෙන එහෙමත් නැතිනම් තව කාව හරි යටකරගෙන ගිහිල්ලා….!!!! ඉතින් මොකද අපි විහින් නැහෙන්නේ???? මාර්ග සංඥා තිබ්බට මොකෝ විමසිල්ලෙන් පාරේ යන එක කොයි එකටත් ගුණයි…..!!!!
” හ්ම්….. 138 නැඟලා glasshouse බහිනවද??? පයින්ම glasshouse යනවද???? නැත්නම් කොල්ලුපිටියටම walk එකක් දානවද???? ” මං මගේ හිතෙන් ප්‍රශ්නකලා…. අද හොඳට අව්ව තියෙනෙ එකේ, ඒවගෙම ගෙදර ගිහින් මහ වැඩක් ( practical report එකක් ලියන්න නැති නිසා )කරන්න නැති නිසාත්, ගමන් සගයා නැති නිසාත්, ඇඟට හොඳ ව්‍යායාමයකුත් ලැබෙන නිසා මං තීරණය කලා පයින්ම කොල්ලුපිටියට යන්න….. මොකද කොල්ලුපිටියෙන් 177 ට නැගගත්තොත් මට ගමනාන්තය වෙනකන් පහසුවෙන් ඉඳගෙන යන්න පුලුවන් දෙයියනෙගේ පිහිටෙන්….
ඔන්න මං පටන්ගත්තා මගේ සක්මන රහීමා එක පැත්තෙන් කොල්ලුපිටිය දිහාවට…. අද ගමන් සගයා නැති එකේ කවුරුත් නැහැ කදයක් දාන්නවත්…. කලින් වැඩ ඉවරවුණාට මොකද හෙන කම්මැලියි දවසම…. මං ඉතින් එනවා ගස්වල හෙවණ යටින්… හොඳ සුළං පොඳකුත් එනවා…. පරිසරය සෞම්‍යයි…. ඉරත් එච්චර සැරට නැහැ…. එකම අඩුපාඩුව කවුරුත් නැති එක දොඩව දොඩව යන්න…. ජීවිතෙත් ඉතින් හැමදේම එක පාර සම්පුර්ණ වෙන්නෙ නැති එකේ ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි කියලා මට හිතුණා…එහෙම හිතෙනකොටම මට ඇහුණා කටහඬක් මගේ වම් අත පැත්තෙන්…..
” Hello මචං!!!!…. කොහමද???? ”
” අඩෝ!!! සෑහෙන කාලෙකින්…. හොඳයි මචං…. ඉතින් කොහමද උඹට???? ”
” උඹ සෑහෙන්න වෙනස්වෙලා…. සෑහෙන කලෙකින් කතා කලට මං නම් උඹව හැමදාම දකිනවා මචං ”
” මං විතරක්ද????උඹත් සෑහෙන්න වෙනස්වෙලා….. සිරාවට???? ඉතින් ඇයි බං උඹ මාත් එක්ක කතා නොකලේ… ඇවිල්ල කතාකරන්න එපැයේ මචං ”
” උඹත් එක්ක කතාකරන්න යන හැමවෙලවකම උඹට මොකක් හරි වැඩක් වැටෙනවා මචං…. ඉතින් උඹට disturb කරන්න හොඳ නැති නිසා මං එකෙ කතා නොකර ඉන්නවා” මගේ මිතුරා මට සිනාසී කිව්වා…
” අනේ බං, මේ දවස්වල පුදුම විදිහට busy මචං…. ”
” ආහ්!!!! අවුලක් නැහැ මචං, මං ඒක දන්නවා ” නැවතත් ඔහු සිනාසුනා….
කාලෙකට පස්සේ ළඟම මිතුරෙක් හම්බවෙලා කුළුපඟ කතාබහක යෙදෙන්න ලැබෙන එක ගැන මං උද්දාමයට පත්වෙලා උන්නේ…. දැන් නම් ඉතින් කිසිම තනියක් නැහැ… මොකද මේ මිත්‍රයා දැන් මගේ ගමනාන්තය දක්වාම එන බව මං දන්නවා….
අපි ඔය කතාබහ අස්සේ රහීමා එක ගාවට ලංවුනා….
” මචං මොකෝ කියන්නේ???? මොනවහරි කාලා plain tea එකක් ගහල යමුද???? ” මං ඇහුවා…..
” එළ… යමං….” මිතුරත් එක පයින්…
දෙන්නම ගියා රහීමා හෝටලයට…. Counter එක කිට්ටුවෙන්ම තියෙන මේසෙක ඉඳගත්තා දෙන්නම….. මෙච්චර වෙලා මගේ වම් පැත්තෙන් ආපු මිත්‍රයා මගේ දකුණු අත පැත්තේ ඉඳගත්තා…. මෙතැනට මුළු හෝටලයම පේනවා…. එදා වැඩිය සෙනඟක් උන්නේ නෑ…..
” මොනවද මචං කන්නේ?”මං ඇහුවා….
” උඹ කැමති දෙයක් ගෙනෙන් මචං” වේටර් අය්යා ආවා එතැනට ඒ වෙලාවේ…..
” මොනවද ඕනෑ????”
” Shorteatsයි,ප්ලෙන්ටියි ගෙන්න ” මං කිව්වා…..
” Shapeනෙ මචං” මං වේටර් අය්යා ගියාට පස්සේ මිත්‍රයා දිහාවට හැරිලා ඇහුවා….
” ඕනි දෙයක් බං ” ඔහු ම්ට කිව්වා….
ඇණවුම අරන් එනකන් මගේ ඇස් එහෙ මෙහෙ යන්න පටන්ගත්තා හෝටලය පුරාම….. මිනිස්සු එක එක දේවල් ඇණවුම් කරලා ආහාර ගනිමින් ඉන්නවා….. සමහරක් අය ආහාරයට ගන්නේ තමන් කැමති දේ වෙන්න පුලුවන්…. සමහරක් අය ආහාරයට ගන්නේ තමන් කැමති දේ නොවෙන්න පුලුවන්….ඔය හැමදේටම පොදු සාධකය වෙන මුකුත් නෙමෙයි ආහාරයේ මිල….
ඇත්තටම සමහර මිනිස්සු ආහාර ගන්නේ කුස පුරවගන්න මිසක් ඒක රස විඳින්න නෙමෙයි…… ඒක තමා ඇත්ත කාරණේ….අපි පොඩි කාලයේ ඉගෙනගත්ත සෞඛ්‍ය පතපොතේ තිබ්බේ ආහාර ගන්නකොට රස විඳින්න ඕනෑ කියලා….. නමුත් මේ marketing ලෝකේ ඒවට ඉඩක් නෑ….
ඒ න්‍යායාත්මක කාරණා මේ ලෝකය තුල practical නෑ…. වතුර වීදුරුවකින් හරි කුස පුරවගෙන මිනිස්සුන්ට සිද්ධවෙලා තියෙනවා ජීවිතේ වෙනුවෙන් සටන් කරන්න….
” ජීවිත සටන “…. චාල්ස් ඩාවීන් පරිණාමවාදය ඉදිරිපත්කරන්න ඉස්සෙල්ලා මේවා දැක්කද මන්දා???? මොකද ඒ තරම්ම ඒ න්‍යායාත්මක කාරණා අපෙ ජීවතත් එක්ක බැඳිලා තියෙන නිසා…
සමහරවිට මේ අයට මේ සටනකරන්න වෙලා තියෙන්නේ තමන්ගේ ජීවිතෙ වෙනුවෙන් විතරක් නෙමෙයි…. සමහරවිට ඒ කීපදෙනෙක් වෙනුවෙන්…. ඒ හින්දා මිනිස්සුන්ට සිද්ධවෙලා තියෙනවා තමන්ගේ කැමැත්ත කැපකරන්න අන් අයගේ සතුට වෙනුවෙන්…. හොඳම උදාහරණය තමයි දෙමව්පියන්…. ඒ අය තමන්ගෙ ඕනෑ සතුටක් කැපකරන්න සුදානම් තමන්ගේ දරුවන් වෙනුවෙන්….
මං එතැන දැක්ක සිදුවීමක් මෙතැන සටහන්කරන්න කැමතියි….. එතැන හිටපු මහත්තයෙක් ප්ලේන්ටියකුයි, පරාටේ රොටියකුයි ඇණවුම් කලා…..වේටර් අය්යා ඇහුවා කරි ඕනෑද කියලා… “නැහැ මට ලුණු ටිකක් ගෙනැල්ල දෙන්න” කියලා ඒ මහත්මයා කීවා…. මාත් පුදුමෙන් බලාඋන්නා…. ඒ දිහා…. ඇත්තටම මට ඇතිවුණේ කුහුලක්…. සාමාන්‍යයෙන් මං අනික් අය කරන් දේවල් දිහා විපරමෙන් බලන් ඉන්නේ නැහැ…. ඒත් මේ පුද්ගලයා දිහා මං හොරෙන් බලා උන්නා…..
ප්ලේන්ටියයි, පරාටේ රොටියයි, ලුණු කුප්පියකුයි ඒ මහත්තයට ලැබුණා… ඉස්සෙල්ලම තේ උගුරක් බිවවා ඒ මහත්මයා…. ඊට පස්සෙ ලුණු කුප්පියෙන් ලුණු ඉහලා ඒ මහත්මයා පරාටේ එක කන්න ගත්තා!!!!!…. අපේ රටේ තරු පහේ හෝටල් වල දවසකට කොච්චර කෑම අපතේ දානවද…. ඒවගේම ඊට සාපෙක්ෂව කීදෙනෙක් මේ විදිහට තමන්ගේ වේල පිරිමහගන්නව ඇත්ද???
සමහරවිට මේ තාත්තෙක් වෙන්න පුලුවන්…. තමන්ගේ දරුවන්ගේ කුස පුරවන්න තියෙන වගකීමට ඒ මහත්තයට බඩ පිරෙන්න කැමතිදෙයක් කන්න බැරිව ඇති…. කරියක් ගත්තොත් එතැනට වියදමක් යනවා…. එතකොට දරුවන්ගේ අවශ්‍යතාවය සපුරන්න එයාට බැරිවෙනවා…ඒ හින්දා ඒ තාත්තා තමන්ගේ බඩගින්න දන්දෙනවා….. එහෙමත් නැත්නම් ඉවසනවා ඒ කැපකිරීමට….
සමහරවිට දරුවෝ දන්නෙත් නැතුව ඇති තාත්තා තම්න් වෙනුවෙන් කරන කැපකිරීම…. මොකද තාත්තා හවසට ගෙදර යන්නේ ඒ දරුවන් වෙනුවෙන් කන්නට යමක් අරගෙන…. දරුවන් ඒක භුක්ති විඳිනකොට ඒ තාත්තාගෙ මුහුණේ හසරැල්ලක් මතුවෙවී…. ඒ හසරැල්ලට පුලුවන් තමන් වින්ද දුක වසන්න…. ඇත්තටම බාහිරෙන් බලන කෙනෙක්ට ඒක පේන්නේ නෑ….. ඒක තමා ඇත්ත කාරණේ…
මටවත් නොදැනිම සුසුමක් පිටවුණා….
” මාත් දැක්කා මචං……” මගේ මිතුරා මට කිව්වා….
” ඔව් මචං…. සිරාවට මට දුකයි ඒ මනුස්සය ගැන… මගේ අතේ අද එච්චර ගාණක් නැහැ මචං… තිබ්බනම් කරියක් අරන් දෙනවා….”
” මචං උඹ මේ මනුස්සයට අද කරියක් අරන් දේවී…. ඒක හොඳයි….. ඇත්තටම හොඳයි…. ඒත් හෙට වෙන්නෙත් ඔය දේමයි….. මේ marketing ලෝකේ හැටි එහෙම තමයි මචං…. මේ වගේ කොච්චර අය මේ ලෝකේ ඇත්ද…..”
” ඒකනම් ඇත්ත මචං….” මම තවත් සුසුමකින් කිව්වා….
ඒත් එක්කම් අපේ ඇණවුම අපිට ලැබුණා….. හිතේ තිබ්බ කලබලයත්, මේ දැක්ක දෙයත් නිසා මට ඕනෑ වෙල තිබුණේ මෙතැනින් ඉක්මණට පිටවෙන්න…. ඒ හින්දා ඉක්මණින්ම කර්තව්‍ය අවසන්කලා… තරමක බිලකුත් වැටුණා…. Bill එකත් ගෙවලා වේටර් අය්යට tip එකකුත් තියලා අපි දෙන්න ඉකමණින්නම් එතැනින් පිටවුණා…
දැන් අපි දෙන්න ආයෙත් පාරේ… මගේ මිත්‍රයා මගේ වම් පැත්තෙන් ආයෙත් ගමන්කරනවා….
” ජීවිතේ මාරයි නේද මචං ” මගෙ මිත්‍රයා කතාව ආරම්භකලා…..
” ඒකනම් ඇත්ත මචං ”
” සමහරක්වෙලාවට අපි ඇස් දෙකෙන් දකින දේවල් ඇත්තටම ඇත්ත නෙමෙයි ”
” ඒ කිව්වේ???? ” මං පුදුමෙන් ඇහුවා….මොකද මට ඒ දේ හරියට වැටහුණේ නැහැ….
” මිනිස්සු එලිපිට හිනාවුනාට, සතුටුවුනාට සමහරවෙලාවට ඒ මිනිස්සුන්ගේ හිත අතුලේ තියෙන්නේ මහ දුකක්… ඇත්තම කිව්වොත් ඒ අය පිටින් හිනාවුනාට හිත ඇතුලෙන් සෑහෙන්න වැලපෙනවා ”
මං ආයේ කල්පනාවට වැටුනා මගේ මිත්‍රයා කී දෙය ගැන හිතන්න…. ඔව් ඇත්ත තමයි…. ඇත්තටම ඒකට ඕනෑ තරම් සාක්ෂි තියෙනවා සාමන්‍ය ලෝකයේ…
උදේට මිනිස්සු කොච්චර ප්‍රශ්න කන්දරාවක් තියන් රස්සවට යනව ඇත්ද???? ඒත් ඒවා රැකියාව කරන ස්ථානයට වලංගු නැහැ….. තමුන්ගේ හිත ඇතුලේ මොන විදියෙ ප්‍රශ්නයක් තිබ්බත් ඒක යටපත්කරගෙන මිනිස්සුන්ට වෙලා තියෙනවා හිනාවෙන්න….
මේ marketing ලෝකයේ හිනාව කියන්නේ හොඳ වෙළඳ භාණ්ඩයක්…. ඒත් කඳුලට market එකක් නැහැ…. ඒහින්දා අඬන්න ඕනෑ වුනත් ඒ මිනිස්සුන්ට සිද්ධවෙනවා ඒ කඳුලුවලට හිත අතුලේ වැලපෙන්න බලකරන්න….
ටෙලිනාට්‍යයකට, චිත්‍රපටියකට, වේදිකා නාට්‍යකට හෝ වීදි නාට්‍යයකට විතරක් හැඬුම සීමා කරන්න මිනිස් සමාජය ස්වයංවාරණයක් පනවගෙන….. ඒත් ඒ එතැනදී කඳුලට marketing value එකක් ලැබෙන නිසා…. සමහරක්විට මිනිස්සුන්ට කඳුලු හලන්න marketing ලෝකයේ අවසර නැති නිසා වෙන්න ඇති තමන්ගේ කඳුලු කියලා මේ රැඟුම්වල කඳුලු දිහා බලන් සැනසී ඉන්නේ…. හැබැයි යථාර්ථය තමයි ඒක යට තියෙන්නේ වෙළදාමක්….
බොහෝ ධන කුවේරයන් තමන්ගේ ජීවිතේ කොච්චර සල්ලි හම්බකලත් ජීවිතෙන් තෘප්තිමත් නෑ….. ඇත්තම කිව්වොත් ඒ අය තරම් හිත ඇතුලෙන් වැලපෙන මිනිස්සු ලෝකේ කොහෙවත් නැතිව ඇති…. ඒ අයට කඳුලු හෙලන්න බැහැ…. මොකද ඒ අවංකව හෙලන කඳුල වෙනත් කෙනෙක් තමන්ගේ මල්ල තරකරගන්න භාවිතාකරාවී…. එච්චරට මේ marketing ලෝකය කෲරයි…මේක ධන කුවේරයන්ට විතරක් නෙමෙයි සාමන්‍ය මිනිස්සුන්ටත් පොදුවූ කාරණයක්…. කෙනෙක් කඳුලු හෙලනකොට සමහරු මතු පිටින් දුක් වෙනවා පෙන්නුවට හිත ඇතුලෙන් හිනාවෙනවා සමච්චලයට…. කීයෙන් කීදෙනාද අවංකවම දුක්වෙන්නේ????…. ඒක තමා ඇත්ත….
අපි දැන් යන්නේ කොළඹ කාන්තා විදුහල අද්දරින්…. මට යමක් එකවිටම මතක්වුණා….
” මචං මතකද මධූව? ” මම ඇහුවා….
එකපාරටම මගේ මිතුරාගෙ ඉරියව් මුහුණේ වෙනස්වුනා…. ඇත්තටම මං පසුතැවුණා ඒ දේ අහපු එක ගැන…. එහින්දම මම කිව්වා…
” අඩෝ මචං…. මට නිකමට ඇහුනේ මධූ ගැන…. ”
ටිකවෙලාවකට පස්සෙ සුසුමක් හෙලපු මගෙ මිත්‍රයා හිනාවකින් මුහුණ සරසගත්තා…
” නැහැ මචං…. අවුලක් නැහැ…. ඇත්තටම මගේ ජීවිතෙ තිබ්බ සුන්දරම කාලයක් තමා මචං ඒක…. මං දැන් ඒ දේවල් හිතෙන් මකලදාලා තියෙන්නෙ සදහටම… ඉදල හිටල මධූ හම්බවෙනවා මට… ඒත් මං හිනාවෙලා යනවා මචං….”
” උඹට් පොඩ්ඩක්වත් දුක නැද්ද මධූ උඹෙන් වෙන්වුණ එක ගැන මචං??? අඩුම ගාණේ උඹව රවට්ටපු එක ගැන වෛරයක්වත් නැත්ද??? ” මං ඇහුවා….
මගේ මිතුරා නැවත සිනාසුනා….
” මචං, පෘථග්ජන මනුස්සයෙක් විදිහට මට දුකක් නැහැ කියන එක බොරුවක්…. නමුත් ඇත්තටම මට එක අතකින් සන්තෝසයි… මොකද එයා මට බොරුකලාට මං එයාට බොරු කලේ නැහැ…..මං අවංකවම එයාට ආදරයකලා… මගේ ආදරයට අවංකවුණා…. ඒ හින්දා ඒක මට සතුටක් මැරෙනතුරාවට…. ”
” අඩුම ගානේ වෛරයක්වත් නැත්ද මචං??? ” මං ඇහුවා ආයෙමත්…
“නැහැ මචං ඇත්තටම මට වෛරයක් නැහැ මධූ ගැන බං…. එක දවසක හරි ආදරේ කල කෙනාට වෛරකරන්න මට බැහැ මචං…. මං හැමදාම හිතුවේ එයාගේ සතුට ගැන…. එයා අද සතුටින්නම් මට ඒ ඇති මචං….. ඇත්තටම මධූ ඔය දේ කලින් කිව්වනම් මට එයාගෙන් ඈත්වෙන්න තිබ්බ ආදරේ නොකරම.. ඒ ගැනනම් මට පොඩි කණගාටුවක් තියෙනවා…. ”
” ඉතින් උඹට තිබ්බනේ මධූව නවත්තගන්න???”
” මොකටද මචං මං එහෙම කරන්නේ…. එයාට යන්න ඕනෑ හින්දා එයා ගියේ…. එහෙම කෙනෙක් නවත්තගන්න එක එයාට කරන වැරැද්දක් විතරක් නෙමෙයි මචං මං මටත් කරගන්න වැරැද්දක්…. එහෙම නවත්තගත්තත් ඒක වැඩි කාලයක තියෙන්නේ නැහැ…. එහෙම තිබ්බත් අපි කරන්නෙ එකිනෙකාට වංචාවක් මචං…. මට එහෙම ආදරේකින් වැඩක් නැහැ….. ඊට වඩා හොඳයි අපි මෙහෙම දුරස් වෙලා ඉන්න එක ”
මං ආයෙ කල්පනාවට වැටුනා…. ඇත්ත… තමන්ට අවංකවම ආදරේ නොකරන කෙනෙක් එක්ක ජීවත්වෙන එක ඇත්තටම අමාරු වැඩක්…. ගොඩක් අය මායාවක ගැලිලා අන්තිමට දුක් මතක සටහන් රැසක් තුරුළුකරගෙන ජීවිතෙ පුරාවට වන්දිගෙවනවා…. සමහරවිට ජීවිතෙන් වන්දි ගෙවනවා…. ඊට වඩා හොඳ අවබෝධයෙන් යුතුව වෙන්වෙන එක…..
” ඔව් උඹ හරි මචං” මගේ මිතුරාට මං කිව්වා….ඔහු නැවතත් සිනාසුණා…..
” උඹ කොහමද මචං ඇත්තටම ඔහම දෙයක් වෙලා තියෙද්දී හිනාවෙන්නේ???? උඹ කවදාවත් ඔය හිනාව නැතිකරගත්තෙ නැහැනේ ඔහම දෙයක් වෙලත්???? ” මං ආයේ ඇහුවා…. ඔහු නැවතත් සිනාසුණා….
” මචං මිනිහෙකුට පුලුවන් වෙන්න ඕනෑ ඕනෑම දෙයක් දරාගන්න…. නැත්නම් ඒ ජීවිතෙන් වැඩක් නැහැ…. ඇත්ත….යමක් සිදුවුනාම ඒක ඒවෙලාවෙම දරාගන්න අමාරුයි…. නමුත් හැමදාම ඒ මත්තෙම අඬ අඬ ඉන්න ඕනෑ නෑ…. ඒ දේ ජීවිතේට එකතුකරගෙන ඉස්සරහට යන එක තමා අපි කරන්න ඕනෑ…. ”
“හරි බං මට තේරෙනවා… ඒත් කොහමද ඔහම හිනාවෙන්නේ??? ” මං ආයෙත් ඇහුවා….
මගේ මිත්‍රයා බොහොම සන්සුන්ව කතාකලා…
” මචං මිනිහෙකුට කඳුලු මතින් හිනාවෙල ජීවිතේ ජයගන්න පුලුවන්නම් ඒක තමා මචං මනුස්සයෙකුගේ තියෙන වටිනාකම… එහෙම ජය අරන් පරාජිත අතීතයට හිනාවෙන්න පුලුවන් නම් ඒ තරම් ජයග්‍රහණයක් ජීවිතේ නැහැ තවත්….මං ගෙවුණු අතීතයෙන් පාඩම් ඉගෙනගත්තා… අතීතයෙන් කියන්නේ පොඩිකාලේ ඉඳන්ම….. ඒ දේවල් මං ගැම්මක් කරගත්තා…. මං මාව මටම අභියෝගයක් කරගත්තා… අද මං මගේ අතීතයට හිනාවෙනවා මචං… මොකද අද මං යම් තැනකට ඇවිල්ලා ඉන්නවා මචං… මං දන්නවා මගේ ගමන තව දුරයි කියලා…. මං ඒ ගමන යනවා මචං මට පුලුවන් විදිහට…. ”
මං ආයේ කල්පනාවට වැටුණා…. ඇත්ත… මෙහෙම කෙනෙකුට හිතන්න පුලුවන්නම් කොච්චර හොඳද???? එතෙකොට තමන්ගේ ගමන යන්න පුලුවන් ඉදිරියටම.. මට හිතුණා…
ලෝකේ ඉන්න බහුතරයක් දෙනා තමන්ගේ ජීවිතේ බහුවරණ ප්‍රශ්න පත්‍රයක් කරගන්නවා…. ඉතින් ඒ අය හිතන්නේ ජීවිතේ තියෙන ප්‍රශ්නවලට එක විසඳුමයි තියෙන්නේ කියලා… ඒ මත්තෙම නැහෙන්න යනවා…. බැරිවෙලාවත් වැරදි පිලිතුරක් යටින් ඉරක් ගැහුණොත් ජීවිතකාලය පුරාවටම විඳවනවා…. සමහරක්විට ජීවිතෙනුත් වන්දි ගෙවනවා….
ඇත්තටම ජීවිතේ එහෙම නැහැ… ඒකේ එක ප්‍රශ්නයකට තියෙන්නේ එක විසඳුමක් නෙමෙයි…. මං හිතන්නේ ජීවිතේ රචනා ප්‍රශ්න පත්‍රයක් කරගත්තොත් හොඳයි කියලා…. මොකද එක point එකක් වැරදුණත් අනික් points වලට ලකුණු ලැබෙන නිසා…. අපි හැමෝටම ජීවිතෙ වතාවක් දෙවතාවක් වරදින්න පුලුවන්…. නමුත් එහෙම වැරැදුණා කියලා ඒ මත්හේම නැහිලා ඉන්න ඕනෑ නෑ….. එතැනින් පාඩමක් ඉගෙනගෙන ඉදිරි ජීවිතේ සාර්ථක කරගැනීමයි වැදගත්….
ඒවගේම යම් කාරණයක් සම්බන්ධයෙන් එකපාරක් උත්සහ කරලා වැරදුනාට පස්සේ…. ඒ කාරණය නැවත උරගා බලන්න බියවෙන්න ඕනෑ නෑ…. පැකිලෙන්න ඕනෑ නෑ….. මොකද එහෙම බියවීමෙන් තමන් තමන්ට කරගන්නේ වැරැද්දක්…. මෙතැනදී තමන්ට ඉස්සෙල්ලා වැරදුනේ කොතැනද ඒ දේ නැවත නොවෙන්නට වග බලා ගැනීම තමා වැදගත්…. ඒ වැරැද්ද තමන් යලි යලිත් කරනවනම් ඒකෙන් අදහස් වෙන්නේ තමුන් කිසිම පාඩමක් කලින් සිදුවීමෙන් ඉගෙනගෙන නැති විත්තියයි….
මේ දේවල් කල්පනා කර කර ආපු මමයි, මගේ මිත්‍රයයි Liberty Plaza එක ගාවෙන් පාර පැනලා 177 bus halt එකට ආවා….. 177 බස් එකක් නවත්තල තිබ්බා halt එකේ….
” මචං මං මේකෙන් ගෙදර යනවා…. උඹ මොකද කරන්නේ???…. ”
” එහෙම යන්න දෙන්න පුළුවන්ද???? හිටපන් මාත් එනවා උඹත් එක්ක සදහටම”
මගේ ම්ත්‍රයා මට කිව්වා…..”
ඔව්!!! ඇත්ත!!! මගේ ජීවිතේ මට ගොඩක් අය හම්බවේවී…. ගොඩක් අය මගෙන් දුරස්වේවී…. සමහරු සදහටම වෙන්වේවී…. සමහරු කවමදාවත් හමුනොවේවී…
නමුත් මේ මිත්‍රයා මාව හැරයන්නේ නැතිවේවී කවමදාවත්…. මා මියැදුණ දිනෙක මාත් එක්කම ඔහුත් සැතපේවී සදහටම…..
මොකද ඒ මිත්‍රයා වෙන කවුරුත් නෙමෙයි….
ඒ මගේම හෙවනැල්ල නිසා….
බස් එකත් මාරයි….

" බස් එකත් එක්තරා විදිහක නිලනොලත් සරසවියක් "
මං ඉන්නවා බස් එකක් එනකන් වීදුරු ගෙවල් ( Glass House ) බස් නැවතුම්පොළ ළඟ…. වෙලාව හවස 5 ට විතර ඇති…. බස් යනවා මං ගාවින් හරියට ගොන්ප්‍රී එකේ රේස් යනවා වගේ….
එක බස් එකක් නවත්තලා තියෙනකොට අනික් බස් එක ඉස්සර කරගෙන ගිහිල්ලා නවත්තනවා ඊලඟ halt එකේ….. එතකොට මේ බස් එක ආයෙ අනිත් එක පහුකරගෙන ගිහිල්ලා නවත්තනවා අනික් halt එකේ…. පුදුම තරඟයක්…. කටුකුරුන්දේ වත් දියතලාවෙවත් යන්න ඕනෑ නෑ රේස් බලන්න…. මේවා තමා රේස්…..
විශේෂයෙන්ම 138 route එකේතමා රේස් එක තියෙන්නේ…. සමහරක්විට මෑත කාලයේ සිංදුවකුත් ආවේ 138 ගැන මේ රේස් එක හින්දමද දන්නෙ නෑ…. ඒකිනෙකාට ඉස්සරකරනගමන් පොඩි නක්කලයකුත් දාන් යන්න කොන්දොස්තර අය්යයි, ඩ්‍රයිවර් අය්යයි අමතක කරන්නෙ නැහැ….
” කෝ මේ 177???….” මං පොඩ්ඩක් එබිලා බැලුවා පාරට…. ඒත් ඒකත් මහ අවදානම් වැඩක්…. මොකද වාහන එන්නේ පිඹලා…. ලෑල්ලටම පාගලා එන වාහන හරියට කුලප්පු වෙච්චි ස්පාඤ්ඤයේ ගොන් පොරයක ඉන්න ගොන්නු වගේ…. පරිස්සම් නොවුනොත් ඉතින් කඳ වෙනම ඔලුව වෙනම වෙන්වෙලා තමා නතරවෙන්නේ….. Sorry.com ම තමා…. ඔය සමහර බස්වල උඩ ගහලා තියෙනව ” බුදු සරණයි!!! “, ” දෙවිපිහිටයි!!!” කියලා…. ඇත්තටම බස් යනකොට බස් ඇතුලේ ඉන්න අයට විතරක් නෙමෙයි පාරේ ඉන්න අයටත් ඒ පිහිට හැර වෙන පිහිටක් නෑ!!!!
ප්‍රධාන බස් නැවතුම්පොලේ ඉඳන් බස් එක එන්නේ ශාන්ත දාන්තව…. හරියට පසළොස්වකට සිල් ගත්තා වගේ…. හැබැයි පස්සේ බස් එකේ වේගය වැඩිවෙන්නේ බලන් ඉද්දී….. Load එක වැඩිවෙනකොට ඊට අනුලොමව සමානුපාතිකව Speed එක වැඩිවෙනවා…. අනාගතයේ පොඩි එකෙක්ගෙන් ඇහුවොත් අනුලෝම සමානුපාතිකයට උදාහරණයක් දෙන්න කියලා…. මේ සංසිද්ධිය කියන්න බැරි නැහැ සිරාවට…..
ඒවෙලාවට තමා නිව්ටන්ගේ නියම මතක්වෙන්න ගන්නේ…. ආයේ ඕනෑ නැහැ Practical ඒවා අවබෝධකරගන්න…. බස් එකේ ගියාම ටක්කෙටම Theory අවබෝධකරගන්න පුලුවන්… ඒ අතින් බසුත් කරන්නේ ඉගෙනුමට අත්වැලක් වගේ ඔය අපේ T.V. වල පෙන්වන….
ඈතින් දැක්කා 177 ක් එනවා…. ” හප්පේ!!!! යන්තම් ඇති” මට කියැවුණා ඉබේටම…. බෑග් එකත් අතින් අරන් පොඩ්ඩක් හැරිලා බැලුවා මං නිකන් පිටිපස්සට…. මගේ සතුට එවෙලේම නැතිවෙලා ගියා…. බස් එකට නඟින්න ඉන්නවා සේනාවක්ම…. කලින් නැග්ගේ නැත්නම් අදත් ඉතින් footboard තමා…. footboard යනවා කියන්නේ ඉතින් අන්තිම කැමති පත්තරේ ලියල යනවා වගෙ තමා…. මොකද කරුමෙට හරි අත හැරියොත් හරි පය ලිස්සුවොත් හරි නතරවෙන්නෙ ඉතින් නිරවාණයෙ නැතිනම් අපායේ…. කල පින් පව් අනුව ඒක තීරණයවේවී….
මොනවහරි කරල ඉස්සෙල්ලම බස් එකට නැග්ගොත් හරි!!! බෑග් එකත් උස්සගෙන මම හිතාගත්තා…. බස් එක ආවා වේගය අඩුකරගෙන මාත් එල්ලුණා බස් එකේ පඩිපෙල ළඟ තියෙන ආධරකේ….බස් එක නවත්තන්නත් කලින්…. නැතිනම් ඉතින් නඟිනවා බොරු….
එක අතකින් අපි වානරයන්ගෙන් පැවත එන එක හොදයි…. මොකද මේ වගෙ පැනලා බස් එකක කෝච්චියක එල්ලෙන්න පුලුවන් වෙන්නේ….. ඔය වානරයන්ගෙන් පැවත එන පරිණාමික ලක්ෂණ නිසා වෙන්න ඕනෑ….. හැබැයි ඉතින් මේ කාරණේ ඔය එක පක්ෂෙකින් ඡන්දය අරගෙන පස්සේ අනික් පැත්තට ගිහිල්ලා වාඩිවෙන අයටනම් වලංගු නැහැ…..!!!! ඒකනම් මම හිතන්නේ කිසිම සත්ව කුලකයක දකින්න නොලැබෙන මනුෂ්‍යයන්ටම ආවේණිකවූ ලක්ෂණයක් වගේ…මනුෂ්‍යන්ටම කිව්වට හැම මනුෂ්‍යයෙකුටම නෙමෙයි…. කිසියම් වෘත්තියකට පොදු වූ කාරණයක්… සමහරවිට ඒක වෘත්තීය නිපුණතාවයක්ද දන්නෙත් නැහැ…..
කොහමහරි බස් එකට ගොඩවුණු මම ඉස්සෙල්ලාම බැලුවේ ඉදගන්න Seat තියෙනවද කියලා…. හ්ම්!!!! නැහැ… බස් එකේ හොඳ සෙනඟක් ඉන්නවා…. කොහමත් තව ටික වෙලාවක් යනකොට ඇඟිල්ලක් ගහන්න බැරිතරමට සෙනඟක් පිරෙනවා….. ඊට කලින් පහසුවෙන් හිටගෙන ඉන්න පුලුවන් වාතාවරණයක් හදාගන්න ඕනෑ….
බස් එකේ පෙම්මුල්ල කිට්ටුව හිටගන්න පුලුවන් ඉඩක් දැක්කා මං…. ගිහිල්ලා එතැන හිටගත්තා මම….. දැම්මා බෑග් එක උඩ Rack එකට…. මේ ටික කරන්න මට ගතවුනේ තත්පර කීපයයි!!!! ඒක ඉවරවෙනවත් එක්කම තමා එකේ හිටපු ඉතුරු අය බස් එකට නඟින්න ගත්තේ…..
කොන්දොස්තර අය්යා දෙනවා කන පිරෙන්න සද්දෙන් බස් එකේ විස්තරේ ගැන….
” කඩුවෙල,මාළඹේ,බත්තරමුල්ල,කොස්වත්ත,කොස්වත්ත….”
මිනිහා මේක චක්කරේ කටපාඩම් කරනවා වගේ කියවගෙන කියවගෙන යනවා…. එක අතකින් ඒක අනික් අයට කන්දොස්කිරියාවක් වුණාට ඒක ඒ මනුස්සයගේ රස්සාව…. ඇස්පෙන්නේ නැති අයට, අකුරු බැරි අයට බස් එක ගැන දැනුම්දෙන එක කොච්චර ප්‍රයොජනවත්ද????…. සමහරක්විට ඒක අපිටත් වාසි වෙනවා හදිසියෙන් අපිත් ගමන්බිමන් යනකොට….
මේ කොන්දොස්තර රස්සාව කරන හැමෝම විභාග Fail වුණ අය නෙමෙයි… සමහරවිට උපාධිධාරියෝ, හොඳට A/L Pass වෙලා සල්ලි නැතිකමින් Campus යන්න බැරිවුනු අයත් මේ රස්සාව කරනවා…. ඊටත් වඩා මට හිතෙනවා බහුතරයක් අපේ අය කරන වැරැද්දක් කියල හිතෙන දෙයක් මෙතැන සටහන් කරන්න….
කවමදාවත් වපර ඇහෙන් රස්සවක් දිහා බලන්න එපා…. රස්සාව කියන්නේ ම්නිහෙක් මනින්න පුළුවන් මිම්මක් නෙමෙයි… සමහර උසස් නිලතල දරණ මිනිස්සුන්ට වඩා අඩු රැකියාවන් කරන මිනිස්සු මනුස්සකමින් පොහොසත්…. ඉහළ රස්සාවක් කරලා තමන්ගේ දූදරුවන්ගේ, අඹුවගේ අවශ්‍යතා සපුරනවා වගේ තමයි කුඩා රස්සවාක් කරන මනුස්සයත් කරන්නේ…. වෙනස තියෙන්නේ වියදම් කරන මුදලේ වටිනාකමයි…. නමුත් චේතනාව එකමයි….
බස් එකට එන්න එන්න සෙනඟ පිරෙනවා….. මගෙ කොඳුඇට පේලියට ඒක හොඳට දැනෙනවා…. කොන්දොස්තර අය්යත් කෑගහනවා….
” ඔය මැද පේලිය ඉස්සරහට යන්නකෝ…. ඉස්සරහ හොඳට ඉඩ තියෙනවා…. ඔය දෙපැත්තේ ඉන්න අය පැත්තකට වෙලා ඉඩ දෙන්න…. ”
මැද ඉන්න මිනිස්සු sandwich එකක filling එක වගේ…. දෙපැත්තෙන්ම හොඳට තැලෙනවා…. ඇත්තම කිව්වොත් ඒ මිනිස්සු ගැන කණගාටුවක් දැනෙනවා…. office එකක හරි වෙනත් සේවා ස්ථානයක හරි වැඩකරලා මෙ මිනිස්සු යන්නේ බාගෙට මැරිලා… ඒත් කොච්චර අමාරුකම් තිබුණත් රස්සවට නොආවොත් ඒකෙන් වදින්නෙත් ඒ මනුස්සයගෙම බඩටයි…. මේවට වැරැදිකාරයෝ කව්ද කියල ඉතින් හොයල වැඩකුත් නැහැ….
යන්තම් ඇති බස් එක යන්න පිටත්වුණා…. කොන්දොස්තර අය්යා ticket කඩන්න පටන්ගත්තා…. Ticket කඩනවා කිව්වට සල්ලි එකතුකරනවා විතරයි…. නමුත් සමහර බස්වල්නම් ticket එකක් කඩනවා…. අතේ උණ්ඩි කරගෙන උන්නු රු.25 මන් කොන්දොස්තර අය්යාට දුන්නා….
” කොස්වත්ත” මං කිව්වා…
” හන්දියෙද? හන්දියෙන් එහාද? ”
” එහා ”
කොන්දොස්තර අය්යාත් සල්ලි අරගෙන ඉස්සරහට යන්න ගත්තා…. අනේ මන්දා මේ මනුස්සයා අර සෙනඟ මැද්දේ කොහම යනවද කියලා….එක අතකින් ඒක තමා චාල්ස් ඩාවින් කිව්වේ ” ජීවිත සටන ” කියලා…. මේ ලෝකයේ රැඳෙන්නනම් ඕක නොකර බැහැ…
” මාරු සල්ලි තියෙනවනම් අතට ගන්න…. ලොකු කොල මාරු කරන්න නැහැ…. ”
ලංකාවෙ බස් ticketවල ගණන් අරුම පුදුමයි…. බොහොම ටිකයි 0 න් හරි 5 න් හරි අවසන් වන ගණන් තියෙන්නේ…. ඉතින් ඉතුරු සල්ලි දෙන්න ගියාම කොන්දොස්තරත් අමාරුවේ…. ඒ නිසා මගියොයි කොන්දොස්තරයි වලි….
ඔය අස්සේ මට නිකමට පෙම්මුල්ල දිහා බැලුණා ( බැලුණද? බැලුවද? කියලා හරියටම කියන්න බැහැ , මොකද මමත් පෘථග්ජන මනුස්සයෙක්නේ!!!! )…. පෙම් මුල්ලේ පෙම් ජෝඩුවක්….
තරුණයෙක් ඉන්නවා තරුණියක්ගේ කර වටේ අතක් දාගෙන…. තරුණිය ඉඳගෙන ඉන්නේ කව්ළුව අද්දර… දෙන්නා කාටවත් නොදැනෙන්න secret කතාවක…. ඉඳල හිටල මුහුණේ හිනාවකුත් මතුවෙනවා….
එකම ලෝකේ ලෝක දෙකක ජීව්ත්වෙන පුළුවන්ද කියල ඇහුවොත් හොඳම සාක්ෂිය විදිහට දෙන්න පුළුවන් මෙවගේ පෙම් ජෝඩු…. බස් එක ඇතුලේ තියෙන්නේ තරඟකාරී Marketing ලෝකය…. ඒත් මේ දෙන්න ජීවත්වෙන්නේ Romeo Juliet ජීවත්වෙච්චි Romantic ලෝකයේ….
ඉඳල හිටලා එහෙට මෙහෙටත් දෙන්නගෙ ඇස් ගමන්කරනවා බස් එක ඇතුළේ… මොකද මේවා ගෙවල්වල් උදවියගේ කනේ තියන්න පුලුවන් උදවියත් ඉන්න පුලුවනි මේ බස් එක ඇතුළේ…. ඒකට අපෙ මිනිස්සු බොහො දෙනෙක් හපන්නු…. තමුන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනෙක් උදවියගේ ඇද හොයන්න අපෙ අය රුසියෝ…. එ හින්දා පරිස්සම් වෙන එක කෝකටත් හොඳයිනේ…!!!!
Halt එකින් එකේ නවත්තගෙන බස් එකට නග්ගගන්නවා හෙන සෙනඟක්…. Tution ඉවරවෙලා එන පාසල් ළමයි, sports practice කරලා එන ළමයි , ඒ sports බෑග් උස්සගෙන ඉන්න අම්මලා තාත්තලා, වැඩ ඇරිලා ගෙදර යන මිනිස්සු, වැඩට යන මිනිස්සු, යහලුවෝ හම්බවෙන යන අය, පෙම්වතුන් නොයෙක් ආකරයෙ මිනිස්සු නඟිනවා බස් එකට….. දැන්නම් මගේ කශේරුකාවට දෙයියන්ගෙම පිහිටයි!!!
බස් එක කාසල් එක ලඟදි නවත්තපු වෙලාවේ බඩදරු අම්මල 2 ක් බස් එකට නැඟ්ගා…. ඉස්සරහ හිටපු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්තයෙකුයි,නෝනා කෙනෙකුයි ඉඳගෙන හිටපු seat දෙක ලබාදුන්නා…. ඇත්තටම සන්තෝසයි… අපේ මිනිස්සු ගාව තාම මනුස්සකම තියෙනවා…. දේශපාලන වේදිකාවල ඡන්ද කාලේ උණු කැවුම් වගේ market කරන මනුස්සකමට වඩා මේ මනුස්සකම මිලක් කියලා නිමකරන්න බැරි තරම් වටිනවා…..
පැවිදිකෙනෙක්, බඩදරු අම්ම කෙනෙක්, ආබාධිත කෙනෙක්, ලෙඩවුණු කෙනෙක්, කුඩා ළමයෙක් අත වඩාගෙන එන කෙනෙක්, වයොවෘද්ධ කෙනෙක් වෙනුවෙන් තමන් ඉඳන් ඉන්න අසුන පරිත්‍යාග කරන එක පුණ්‍යකර්මයක්…. කවදහරි අපි මේ ලෝකෙන් අරන් යන්නෙත් ඔච්චරයි මොනව හරි හම්බ කලත්…. ඒත් සමහරු ඒවගෙ එක්කටවත් තමන් ඉන්න අසුනෙන් නැඟිටින්නේ නැහැ…. Gum ගාලා පශ්චාත් ප්‍රදේශය seat එකට අලවලා වගෙ ගල් ගැහිලා ඉන්නවා…. නමුත් තාමත් බහුතරයක් එහෙම නැහැ…. ඉඳගෙන ඉන්න අසුන පරිත්‍යාග කරනවා…..
ඔය හොඳ ලක්ෂණ අතරේ අපෙ තවත් සමහර උදවිය තමන්ගේ වෙනත් නොහිබිනා ලක්ෂණ ඉස්මතු කරගන්නවා…. ඇහැට කනට පේන ගැහුණු ළමයෙක් දැක්කොත් හදන්වා පොඩි jack එකක් ගහන්න…. පහුගිය දවසක පත්තරේ තිබ්බා යෞවනියකගේ කලිසමේ තට්ටම ප්‍රදේශය blade එකකින් කපල තිබ්බ කතන්දරයක්….මේවා ඉතින් කරන අය පොඩ්ඩක් මුල්ලේරියාව පැත්තට visit එකක් දාලා ආවොත් හොඳයි කියලා මට හිතෙන්නේ….!!!!
පරිණාමයෙන් අපි බිහිවෙන නිසා තිරිසන් ලක්ෂණ අපිට කාන්දු වෙලා තියෙන්න පුළුවන්…. ඒත් අපි තමා මිහිපිට ඉන්න බුද්ධිමත්ම සත්ව කොට්ඨාශය…. අපිට තියෙනවා ආගම් කියල දෙයක්…. ආගමයි, බුද්ධියයි එකට එකතුකරලා අපිට පුලුවන් වෙන්න ඕනෑ අපෙ ඇඟේ ඉන්න තිරිසනා යටපත්කරන්න…. ඒකට හැමදාම පන්සල්, පල්ලි, කෝවිල් යන්න ඕනෑ නැහැ…. වඩා වැදගත් වෙන්නේ ඒ දර්ශනයන් හොඳින් වටහාගෙන ජීවිතයට ඈඳා ගැනීමයි….
බස් එක කියන්නේ ලිංගික හිංසන පීඩනවලට කියාපු පාරදීසයක්…. සමහරු හෙමින් සැරේ අත අල්ලනවා විරුද්ධ ලිංගිකයන්ගේ…. ඒක වැරදීමකින් වුන එකක්නම් කමක් නැහැ…. ඒක ඉතින් අවංකවම දන්නේ හිත තමයි!!!…. සමහරු කොනිත්තනවා… සමහරු සංවේදී ස්ථාන ස්පර්ශ කරන්න වෑයම් කරනවා….
පෙම්වතුන් පවා අසභ්‍ය විදිහට හැසිරෙනවා නොයෙකුත් අවස්ථාවල….ඒ අයට අමතකයි තමන් ඉන්නේ මහ සෙනඟක් මැද්දේ බව…. තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය මහ සෙඟක මැද්දේ අපහසුතාවයට පතකරන වැඩ කරනවනම්, එතැන සැබෑ ආදරයක් නැහැ… ආදරය කියන්නේ හුදු ලිංගික ගණුදෙනුවක් නෙමෙයි…. එතැනදී තමන්ගේ සහකාරියගේහෝ සහකරුවාගේ ආත්ම ගෞරවය ගැනත් හිතිය යුතුමයි…. මට හිතෙන්නේ ඒක සැබෑ ආදරයක ප්‍රධාන ලක්ෂණයක්…. ඒ දේ වටහගෙන ආදරය කරනවනම් ගොඩක් මේ ඛේදාන්ත නතරවේවී….!!!
දැන් බස් එක රාජගිරියට ආවා…. මට තව යන්න තියෙන්නේ විනාඩි 15 ක් වගේ දුරක් ඒත් බස් එක මෙතැන විතරක්ම විනාඩි 10 ක් නතරකරගෙන සෙනඟ කරගන්නවා…. මෙතැන්දි තමයි ඇඟේ මාළු නටන්න පටන්ගන්නේ…. කොහමත් බස් එක ඇතුලේනම් අපි හරියට සාඩින් වගේ කරලා තියෙන්නේ….
බස් එකේ සමහරු නිදි…. සමහරුන්ගේ ඔළුව ගිහිල්ලා අනික් පැත්තෙ එක්කෙනගේ උරහිසේ පතිතවෙනවා…. සමහරක්විට එයත් දොයි…. සමහරු හිටගෙනත් බුදි…. සමහරු දුරකථනවලින් “මල් කඩනවා”… තව සමහරු ” volkman ” එකෙන් සින්දු අහනවා…. සමහරු පොත් කියවනවා…. සමහරු හෙන හයියෙන් හිවෙවී කතාවක…. මට මෙහෙම හිතුණා එවෙලේ….
මේ විදිහට සමගියෙන් ඉන්න මිනිස්සු නේද කිසිම කමකට නැති බෙදීම්වලට ලක්වෙලා ගැටළු ඇතිකරගන්නේ…. මිනීමරාගන්නේ…. අපි අඩුම ගාණේ දන්නේ නැහැ අපි ලඟින් ඉඳන් ඉන්න හරි හිටගෙන ඉන්න හරි මනුස්සයගේ ආගම, ජාතිය, කුලය ගැන මුකුත්…. ඒත් අපි අතර ගැටුමක් නැහැ…. ඔලුවෙ පොල්තෙල් ගාපු, hair gel ගාපු, hair cream ගාපු අය හැමෝම මේ බස් එකේ යනවා…. නමුත් අපි නොගැලපීම් හොයනවද??? බස් එක ඇතුලේ හැමෝම එකම කුලකයේ…. ඒ කියන්නේ ඒ හැමෝම අයත්වෙන්නේ ” බස් රථයේ මඟීන් ” කියන කුලකයට….
අපේ ” ගිරා පෝතක ” අධ්‍යාපනයට පින් සිද්ධවෙන්න කිලෝ ගණන් බර පොත් බෑග් උස්සගෙන හිටගෙන යන නංගිලා මල්ලිලාගේ බෑග් එක, වැඩ ඉවරවෙලා ගෙදර යන අයගේ ගමන් මළු පවා ඉඳන් ඉන්න කෙනෙක් අතට ගන්නවා…. ඇයි ඒ???? එතැන තමා මනුෂ්‍යත්වය මතුවෙන්නේ…. ඇයි අපිට මේ දේ බස් එකින් පිට සමාජයෙත් කරන්න බැරි????… එහෙම කලානම් මෙලහකට මේ ඔඩු දුවලා තියෙන ප්‍රශ්න රාශියක් විසදිලා ඉවරයි….
දැන් මං මගේ ගමනාන්තයට ඇවිල්ලා… බෑග් එකත් අරගෙන මම අමරුවෙන් සෙනඟ අතරින් ආවා footboard එක ළඟට…. බස් එකේ bell එක ගහලා මම footboard එකට බැස්සා….. බස් එක නැවත්තුවත් එක්කම මං බස් එකෙන් බැස්සා… මං බැස්සත් එක්කම බස් එක ආයේ පටන්ගත්තා race එක….
මේ බස් එකේ සමහරවිට මං ආයෙත් යාවී…. සමහරවිට කවදාවත් නොයාවී…ඒ බස් එකේ හිටපු උදවිය සමහරක්විට හෙටත් මට හමුවේවී… නැතිනම් හමුනොවෙන්නත් පුලුවන්…. ජීවිතේ වගේ…. අද අපිත් එක්ක ඉන්න සමහරු හෙට අපේ ජීවිතයේ නැහැ…. සමහරු හෙටත් ඉඳිවී…. සමහරු සදහටම වෙන්වේවී…. මේක තමයි ජීවිතේ…. අපේ හෙට දවස ගැන කාටවත්ම කලින් කියන්න බැහැ…. හොඳම දේ තමයි අපි ඉන්නා ටික කාලයේ මනුෂ්‍යයෙකු ලෙස හොඳින් ජීවත්වෙන එක…
බස් එකත් එක්තරා විදිහක නිලනොලත් සරසවියක්… අපි ගමන් කරන පාරත් එක්තරා විදිහක සරසවියක්…. පතපොතින් ඉගෙනගන්න බැරි කාරණා ගොඩක් මේ තැන්වලින් අපිට ඉගෙනගන්න පුලුවන්…. සමහරක්විට න්‍යායාත්මකව අපි ඉගෙනගන්න දෙයට වඩා මේ දේවල් ජීවිතය විදින්න ඒවගේම මේ සමාජය තුළ සැරිසරන්න රුකුලක් වෙනවා….
ඒකෙන් මං අදහස්කරන්නේ නෑ අනික් දේවල් අනවශ්‍යයි කියලා…. ඒවත් අවශ්‍යයි…. ඒත් මේ වගේ දේවල් ජීවිතයට ළංකරගන්න එක වටිනවා…. මොකද මනුෂ්‍යයෙකු ලෙස ඉපදිලා මනුෂ්‍යයෙකු ලෙස මෙලොව හැරයන්න මේ දේවල් අපි ජීවිතයට එකත්කරගෙන ඉන්න ඕනෑ….
අමතක කරන්නෙපා… මේවගේ ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් නිලනොලත් සරසවි අපේ අවට ඕනෑතරම් තියෙන විත්තිය…. ඒ දේවල් ඉගෙනගන්න ලොකු Z-Score වත් ලොකු බුද්ධිමතෙක් වෙන්න ඕනෑ නෑ…. එකම අවශ්‍යතාවය ඔබ උත්පත්තියෙන් මනුෂ්‍යයෙකුවීමයි…
මං මගේ ගෙදර තියෙන අතුරු මාර්ගයට ඇවිදගෙන ඇවිල්ලා හැරුණා…. මට අන්තිමට මෙහෙම හිතුණා…
” බස් එකත් මාරයි ”