වෙළඳාම තළුමරමින්…. කලාව ගිලියි….

පෙබරවාරි 27, 2013 at ප.ව. 5:23 (ජීවිතය පුරාවට දැනෙවී..., සමාජ ඇසෙන් කතාවක්...) (, , , , , , , , , , , )

හැම මනුස්සයෙකුටම කලා කෘතියක් රස විඳින්න පුලුවන්

පහුගිය දවස්වල බොහොම අවිවේකී සමයක් ගතකරපු මට යන්තම් හුස්මක් කටක් ගන්න දැන් ඉඩ ලැබුණා…. කාලෙකින් ඔබ සියළුදෙනාම ආමන්ත්‍රණය කරන්න නොලැබුණ එක ගැන සමාව අයැද සිටිනවා සියල්ලන්ගෙන්ම…. මම මඟේ ලිපිවල ලියනවා වගේම මේක business marketing ලෝකයක්…. ඒහින්දා ඒ race එක දිගේ මටත් දුවන්න සිද්ධවෙලා තියෙනවා හති වැටෙනකන්ම මං කැමතිවුනත් අකමැතිවුනත් …. ඒ structure එක දැන් වෙනස්කරනවා බොරු මේ මනුෂ්‍ය ලෝකයේ…

ඇත්තටම පහුගියකාලේ මං නිශ්ශබ්දව හිටියට මං ඔබ වෙනුවෙන් ලියන්න යමක් හොයමින් හිටියේ දිගටම…. ඒ කාල සමයේ ඇතිවුණු සිද්ධීන් මගේ කෙටි blog ඉතිහාසය තුල මං මුද්‍රිත අකුරුවලට හරවල තිබුණේ කලින්ම… ඒ නිසා නැවත නැවත ඒවාම ලියන එක එහෙමත් නැතිනම් keyboard එකේ කොටන එක හරි නෑ වගේ මට හිතුණා…. මගේ අරමුණ ඔබට සමාජයේ මා දකින විවිධ කාරණා සම්බන්ධයෙන් මා දකින කෝණය ඉදිරිපත් කිරීමයි…. ඒ නිසා හැමවිටම් ඔබට මට සංවේදීවන අලුත්ම අලුත් මාතෘකාවක් තෝරාගැනීමයි මගේ අරමුණ… ඒ නිසා මගේ ලිපි දෙකක් අතර කාලය සෑහෙන්න දිගු වෙන්න පුලුවන්…. ඒ ගැන මා නැවතත් සමාව ඇයද සිටිනවා මගේ පාඨකයන්ගෙන්…..

ඉතින් කලින් කිව්වා වගේ යන්තම් busy schedule එකෙන් ඈත්වෙලා හුස්මක් කටක් ගන්න ලැබුණ වෙලාවේ මට හිතුනා කලාව පැත්තට ටිකක් නැඹුරු වෙන්න…. මොකද ලෝකේ මොන වස්තු බීජ තිබ්බත් වැඩක් නෑ මනුස්සයෙක් කලාවට ටිකක් හරි නැඹුරු වුණේ නැතිනම්…. මොකද මනුස්සයෙක්ට යමක් විඳින්න මොනව හරි දෙයක් තියෙනවනම් ඒ තියෙන්නේ කලාවේ ඇතුලේ…. එයින් ලැබෙන සැනසීම, සිත් පහන් කිරීම වෙන කිසිම දේකට ඉටු කරන්න අමාරුයි…. ඒ නිසා මනුෂ්‍ය ජීවිතයට කලාවෙන් ඉටුවෙන සේවය ඉමහත්…. හැම රජෙක්ම මනුස්සයෙක් වුනත් හැම මනුස්සයෙක්ම රජෙක් නෙමෙයි වගේම තමයි හැම කලාකාරයෙක්ම මනුස්සයෙක් වුණත් හැම මනුස්සයෙක්ම කලාකාරයෙක් නෙමෙයි…. ඒත් හැම මනුස්සයෙකුටම කලා කෘතියක් රස විඳින්න පුලුවන්…. ඒක තමයි කලාවේ තියෙන අරුමය… රටේ උසස්ම තන්තුරුවල ඉඳලා අලුත ඉපදුනු බිළිඳෙකු දක්වාම මේ කාරණය සත්‍යයක්… අලුත්ම පර්යේෂණවලින් හොයන් තියෙන විදිහට මව් කුස තුළ ඇති කළලය පවා කලාවට බොහොම ලැදියාවක් දක්වනවා….

ඔන්න ඉතින් මමත් මගේ හෙම්බත් වෙච්චි මනසට විවේකයක් දෙන්න කියලා අම්මගේ radio එක tune කර කර සිංදු අහන්න ගත්තා… අප්පා!!! නානා ප්‍රකාර විදිහේ සිංදු ලංකාවේ තියෙනවා….. නානා ප්‍රකාර විදිහේ වගේම තමයි ඒ සිංදු නාගෙන තියෙන තරම දැක්කාම මගේ අර හෙමබත් වෙච්චි මනස තවත් හෙම්බත්වුණාද මන්දා…. ඒවට සිංදු කියනවාද???? එහෙමත් නැත්නම් පුවත් සිරස්තල කියනවාද???? එහෙමත් නැත්නම් පොඩි උන් ලියපු රචනාවක්ද කියන්නද???? කියලා මට හිතෙන්න පටන්ගත්තා… ඒත් පොඩි උනුත් අවංකවම ඊට වඩා ලස්සනට රචනා ලියනවා…. ඔය කඩල දෙන කඩල ගොටු වලත් මේ සිංදු කියලා ලේබල් ගහලා තියෙන “නිර්මාණ” වලට වඩා හොඳ නිර්මාණ අම්මපා මං දැකලා තියෙනවා….

මේක මේ පද රචනයේ විතරක් නෙමෙයි කටහඬවල්වලත් තියෙන ප්‍රශ්ණයක්…. තනුවලත් තියෙන ප්‍රශ්ණයක්… සමහර විරහ ගීතවල තියෙන තනු අඟර දඟර පාලා නටන්න තරම් පට්ටයි…. අම්මපා සතුට ගලාහැලෙන පදරචනාවලත් නැති තරම් dance කරන්න හොඳ beats තියෙනවා ඒවා වල!!!!… මගේ දැනීම හැටියට ගීයකට තනුවක් දාද්දී ඒ ගීතයේ හැඟීම හා ඒ ගීතයේ නිධන්ගතවෙලා තියෙන කාරණය ගැන සිතිය යුතුය… සමහරවිට මේ business ලෝකයේ ඒ හැඟීමවලට ප්‍රතිචාර දක්වන විදිහත් modify වෙලාද දන්නේ නෑ!!!! ….

ඒවගේම තමයි කටහඬවල්!!!!…. සමහරු ගිරිය පුප්පන් කෑගහනවා… සමහරු කොඳුරනවා…. සමහරු සිංදු කියනවා නෙමෙයි news කියවනවා…. සමහරු කම්මල්වල යකඩ තලන ශබ්දෙන් ගීත කියන්න ට්‍රයි කරනවා… ශ්‍රැති කොහෙවත්, තාල කොහේවත්…. අපේ අල්ලපු ගෙදර ඉන්න පොඩි එකා ඊට වඩා ශ්‍රැතියට,තාලයට කියනවා “හා හා හරි හාවා”…. ඒවුණාට මේවා hit සිංදු…. හැම chart එකකම ඉහලින්ම වැජඹෙන ගීත…. …. ඒවට ගොඩක් TV,Radioවල ඉන්න නිවේදක නිවේදිකාවෝ කියන්නේ “talents” කියලනේ…. සමහර විදිහට ඒ ගොල්ලොත් අර ගිරව් වගේ මෙලෝ රහක් නැතිව කියවන එකම කරන නිසා ඒක කියනවා ඇති… මට මතක් වෙනවා එච්.ආර්.ජොතිපාල‍යාණන් ගයනා කල “නුග රුකක් වෙමින්”ගීතයේ line එකක්… “අරුත්සුන් වදන් දොඩවන… ගිරව් දොඩමළු”… හැබෑට ඒක මේ වෙනුවෙන් ම ලියැවුනු පද පේලියක් තමයි කියලා හිතෙන්නේ!!!!…. මොකද ඒ අයම දන්නේ නෑ ඒ අය කියන්නේ මොකද්ද කියලා… ඒත් ඒවා පට්ට talents කියල තමයි ලංකාවේ පිළිගැනීම… හැබයි ඉතින් අපිට අහන් ඉන්න තමයි අමාරු…. සමහරවිට ඒ talents සැර වැඩි ඇති අපේ කන්බෙරවලට!!!!….

දැන් මේ දේත් කියන්න ඕනි…. අලුත් නිර්මාණ හැම එකක්ම මෙහෙම නෑ…. කුහක විදිහට මේ ලිපිය ලියන්න මට උවමනාවක් නෑ…. ගොඩක් හොඳ අලුත් නිර්මාණකරුවන් කරලා තියෙනවා… නමුත් අවාසනාවට ඒ නිර්මාණවලටත් නිසි තැනක් මාධ්‍යවලින් ලැබෙන්නේ නෑ අසන්නන් බහුතරයකට අසා ඉන්න බැරි Tv, Radio presentersලට විතරක් පට්ට talents වෙච්චි නිර්මාණ නිසා…. බොරු කියන්න අවශ්‍ය නෑ… නූතන පරපුරේ හොඳ ගායක ගායිකාවන් බොහොමයක් ඉන්නවා…. ඒ අය අතින් බිහිවුණු ගුණාත්මක නිර්මාණ ගොඩක් තියෙනවා…. නමුත් ඒවට තියෙන මඟ ඇහිරලා තියෙන්නෙත් ඉහත කීව නිර්මාණ නිසයි…

මා සංගීතය සම්බන්ධ විශාරදයෙකු නොවෙයි…. නමුත් මා දන්න කරුණු කීපයක් මේ ලිපිය හරවත් කිරිමට ඉදිරිපත් කරන්නට කැමතියි…. මූලික වශයෙන් මිනිස් කටහඬ ranges 4කට බටහිර සංගීතයේ බෙදා වෙන්කරනවා…. ඒවා තමයි Soprano, Alto, Tenor සහ Bass කියන හතර…. ඒ අතරේ තව Baritone වගේ ranges තියෙනවා… සාමාන්‍යයෙන් මේ මූලික කටහඬවල් අතරේ තම්යි සිංදුවක් දෝලනය වන්නේ…. ඇත්ත… හැමෝටම් මේ හැම range එකේම ගායනා කරන්න බැහැ…. නමුත් ගායකයෙක් වීමට අවම වශයෙන් මේකේ අනුයාත ranges දෙකක වත් ගායනාකරන්න හැකිවිය යුතුයි… නමුත් අවාසනාවට අද ලංකාවේ ඇහෙන බොහෝමයක් ගීතවල ඉන්න බොහෝමයක් ගායක ගායිකාවන්ට අවම වශයෙන් එක range එකක්වත් හරිහැටි ගායනා කරගන්න බැහැ….

ගීතයක් කියන්නේ ශ්‍රවණයෙන් මිනිසෙකු තෘප්තිමත් කලයුතු දෙයක්…. නමුත් අද ගීතය කියන්නේ ඇස් පිනවන දෙයක් වෙලා…. මොකද බොහොමයක් ගායක ගායිකාවන් සැලකිලිමත්වන්නේ රූපරචනයට එහෙමත් නැතිනම් music video එකට… ඒක සාර්ථක කරගන්න නොකරන දෙයක් නෑ… cheese,noodles,tofee,choclate,lolipop කාවී…. පැණි බීම,cofee බොයි…. Shoes, New fashion ගනියි…. Bank කාඩ් උසසන් නටාවී…. Brand new vehicles එලවාවී…. ඇහැට නම් හරි සුන්දරයි…. කනටත් මිහිරිවුනාණම් පට්ටයි…. ඒත් අවාසනාවට ඒක එහෙම වෙන්නේ නැහැ… හැබැයි කට්ටියට හොඳ වැඩක් කරන්න පුළුවන් ඕනිනම්…. TV එකේ සද්දේ mute කරගෙන රූප ටික බලන් ඉන්න පුලුවන්…. රඟපෑම උපරිමයි!!!!…. අම්මපා!!! අද නළු නිළියෝ කියලා රඟපාන අයට වඩානම් රංගනය උසස්… මගේ අදහස මේ අය වෙනුවෙනුත් සම්මාන උළෙලක් අරඹන්න ඕනි…. හැබැයි ගායනය වෙනුවෙන් නෙමෙයි…. රූප රචනයේ රඟපෑම් වෙනුවෙන්!!!!!…. Stage වලට නැග්ගාම හති වැටෙනකන් නටනවා මිසක් කරන ගායනයක් නෑ…. ඒකට කියන්නේ Performing ලු…. අනේමන්දා ගායකයාගේ කටහඬ ඇහෙන්නෙ නැත්නම් ඒ එක Dance Performance ද දන්නේ නෑ!!!!….

අතීතයේ ගායක ගායිකාවන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලියක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට තිබුනා…. ඒ කාල සමය තමයි බොහොදෙනෙක් හඳුන්වන්නේ ලංකාවේ ගීත ඉතිහාසයේ ස්වර්ණමය යුගය විදිහට…. ඒ කාල සමයේ නිර්මාණය වූ ගීතවල රසය තාමත් එලෙසම පවතිනවා…. අනික ඒ ගීත හුදෙක් ජනතාව අතරට ගියේ සංගීතය, පද රචනය හා ගායනය කියන ගීතයේ මූලිකාංග තුන උපයෝගී කරගෙන මිසක් අමතර කාරණයක් වුන රූප රචනය හා වෙලඳ දැන්වීම සංගීතය හරහා නොවෙයි….

ඒ කාලයේ හින්දි තනුවලට ගීත ලිවීම බොහොම විදිහට විවේචනය කර තිබුනා… නමුත් මටනම් අවංකවම ඒ පද රචනා නූතනයේ නිර්මාණය වන බොහෝ ස්වතන්ත්‍ර නිර්මාණවලට වඩා ඉහළයි… එහෙම තනුවකට ගීතයක් අර්ථවත් ලෙස ලිවීම හිතන තරම් ලේසි පහසු දෙයක් නොවෙයි…..විශේෂයෙන්ම ගීතමය වචන යොදාගෙන ලියන එක… ඇත්තටම ඒවා තමයි talents….

ගීතයක් නිර්මාණය වියයුත්තේ හුදෙක් ringing tone හෝ වෙළඳ දැන්වීම සඳහාම පමණක් නොවිය යුතුයි…. හුදෙක් ව්‍යාපාර මානසිකත්වයකින්ම ගීත නිර්මාණය කල නොයුතුයි…. ඇත්ත අද බොහෝදෙනෙක් තමන්ගේ වෘත්තිය ලෙස සංගීතයේ නිරතවෙනවා…. ඒ නිසා මුදල් අවශ්‍යයයි… නමුත් මෙසේ සිතන්න…. ඔබ යනවා කාර්යාලයකට වැඩක් කරගන්න… එතන ඉන්නවා මහ කම්මැලි, ඔබව මුලාවේ දමන සේවකයෙක්…. ඔබ රස්තියාදුවෙනවා ඔහු නිසා සෑහෙන්න…. නමුත් අදාළ ආයතනය එය දන්නේ නෑ… මාසේ අන්තිමට ඔහු සේවය නිසි පරිදි ඉටු කල සේවකයෙක් ලෙස තමන්ගේ වේතනය අරන් ගෙදර යනවා කිසිදු ලැජ්ජාවක් නැතිව…. ඔබේ නිර්මාණ හුදෙක් market එකටම නිර්මාණය වන්නේනම් ඔබ මුලාකරන්නේ සමස්ත ලක්වැසියාමයි… ඔබට මුදල් ලැබේවී market එකෙන් සහ අනුග්‍රහවලින්… Market එක target නිසා ඕනෑ තරම් මාධ්‍ය ආයතනත් සිංදුව කරයි…. නමුත් ඔබ සමාජයට හෝ කලාවට් කිසිදු දෙයක් කර නැත….. ඔබද කර ඇත්තේ අර සේවකයාසේම ලැජ්ජා නැතුව සමාජයට සේවයක් නොකර සමාජයෙන් සල්ලි ගරාගැනීමක් පමණි!!!…. ඕවා සිහිපත්වන්නේ තරුණ කාලයේදී නොව හැරමිටියෙන් යන කාලයටය!!!!…. එදාට ඒ වැරද්ද හදාගන්න ඔබට වෙලාව නැතිවේවී…. එහෙම වෙළඳාම වෙනුවෙන්ම නිර්මාණකරණයේ යෙදේනම් ඔබ කලාවට ආදරේ මනුස්සයෙක්ද නොවේ….

ගායනයෙන් අපි යමු රංගනයට….. ඒකෙත් කියන්න දෙයක් නෑ…. ටෙලි වීකශනයෙන් බහුතර කාලයක් අරක් අරන් ඉන්නේ Mega නාට‍ය කියාගත්තු ඒවා යි,ඒවාට අනුග්‍රහය දක්වන වෙළඳ භවතුන්ගේ වෙළඳ දැන්වීමුයි විතරයි….. හරියට කැලෑවල ගස්වලට අරක්ගත්ත වෘක්ෂ දේවතාවන් වගේ…. අන්තිමට නාට්‍යයෙන් ගන්න දෙයක් නෑ ජීවිතයට…. අපි පැය ගණන් නාසති කරලා තියෙන්නේ TV advertisements බලන්න විතරයි…. පෙර පාසල්වල ළමයිනුත් මීට වඩා හොඳ නාට්‍ය පෙර පාසවල්වල ප්‍රසංගවල රඟපානවා…. මං හිතන්නේ මේ mega නාට්‍ය සංස්කෘතියේ ඉන්න උදවිය වෙලාවක් තියෙන වෙලාවකට පෙර පාසවල්වල ප්‍රසංග බලන්න යනවනම් හොඳයි…. මොකද ඒ පොඩි උන් හොඳ තේමාවල් තෝරාගෙන හොඳට රඟපානවා mega නාට්‍යවලට වඩා ….

සිනමාව ගැන කතාකරනවනම් දැන් තියෙන්නේ ඉතිහාසය විකුණන් කන කාලයක්… ඉතිහාසය නිරවද්‍ය ලෙස සිනමාවට නඟනවානම් ඒකේ වරදක් නෑ…. නමුත් ලංකාවේ ඒ විදිහට ඉතිහාසය තේමා කරගෙන ගොඩනඟන සිනමා කෘතිවල තිබෙන අතාත්විකභාවය මැනවින් පිලිබිඹු වෙනවා…. සිනමා අධ්‍යක්ෂකවරයාට නළු නිලියන් හසුරුවගන්න තිබෙන නොහැකියාවයි කැපී පෙනෙන්නේ… මොකද මේ ඉතිහාස කතාවෘතාන්ත වල රඟපාන බොහොමයක් නළු නිළියන් සීමාව ඉක්මවා යමින් රංගනයේ යෙදෙන්න උත්සහකරන්නේ බොහෝවිට…. මේ දේ හැම සිනමා පටයකම මා දකින දෙයක්…. එවිට ගිලිහෙන්නේ සිනමාවේ තාත්විකභාවයයි…. එවිට එය නරඹන්නන්ට සංවේදී වන තීව්‍රතාවය අඩුයි…. එමෙන්ම ටෙලිනාට්ය වේවා, සිනමා වේවා නළු නිළියන් තෝරාගැනීම ලංකාවේ අධ්‍යක්ෂවරුන්ගේ බොහොම දුර්වලයි… ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්න අධ්‍යක්ෂවරු තමන්ගේ නිර්මාණ සඳහා යොදාගන්නේ ඒ කාල සමයේ වඩා කතාබහට ඇතිවූ යුවළක් නැතිනම් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක්… සමහරවිට ඒ අදාල රංගන ශිල්පියා හෝ ශිල්පිණිය කොතරම් දක්ෂවූවත් ඔවුන්ගේ රංගන පරාසය විදහා දැක්වීමට ඔවුන්ට ලැබෙන චරිතය ප්‍රමාණවත් නෑ…. වර්තමානයේ රංගන කර්තව්‍යයකට නළුවෙක් හෝ නිළියක් තෝරාගන්නේ අදාල සිත්තම විකාශනය වන මාධ්‍ය ආයතනයට හෝ ප්‍රධාන අනුග්‍රහක භවතාට අවැසි පරිදියි… ඒ නිසා අධ්‍යක්ෂකවරයාට තමන්ට අවැසි පරිදි නිර්මාණය කරගන්න බැරි එක එක අතකින් පුදුමයකට කාරණයක් නෙමෙයි…..

මිලියන ගණන් වියදම් කර තැනූ රන්මිණි තැන්න ටෙලි ගම්මානයෙන් අපේ නාට්‍යකරුවන් නිවැරදි ප්‍රයොජනයක් ගන්නවාද????… ඒ පිළිබඳවනම් සැකයක් තියෙනවා… ගුණාත්මක නිර්මාණ බිහිවීම බොහොම අඩුයි…. රසිකයන් විදේශයන්ගෙන් ගෙන්වා සිංහලෙන් හඬ කැවූ නිර්මාණවලට නැඹුරුවීම අරුමයක් නෙමෙයි…. ඒ නිර්මාණවල ඇති තාත්විකභාවය,රංගන ශිල්පී ශිල්පීනියන්ගේ රංගන දක්ෂතාවය, අධ්‍යක්ෂවරුන්ට නළු නිළියන් හැසිරවීමට ඇති දක්ෂතාවය ඊට ඇති මූලික හේතුයි…. ඔවුන්ගෙන් අපට ඉගෙනගත හැකි දේ බොහොමයි….

ලංකාවේ ඉහළගණයේ රංගන ශිල්පීන් ශිල්පිනියන් සිටිනවා… ඒ ගැන කිසිදු අවිවාදයක් නෑ… නමුත් සමහර ශිල්පීන් හා ශිල්පිනියන් සිතා සිටින්නේ මුණට makeup ටිකක් උලාගත්තාම එහෙමත් නැත්නම් excercise කරලා අයෝමය ශරීරයක් හදාගත්තාම ඒ තමයි මූලික සුදුසුකම කියලා…. නමුත් මේ අයගේ හැඟීම් ප්‍රකාශනය පොඩි කාලේ පොඩි එකෙක් බඩගිනිවී කිරි ඉල්ලා හඬනවාට වඩා දුර්වලයි…. ඉතින් මේ අය ප්‍රතිභාසම්පන්න යයි හැඳින්විය හැකිද???? රෑට sunglass දාල වාහන එලෙව්ව පලියට මිනිස්සුන්ගේ හිත් තුළ එවැනි ගරුත්වයක් ලබාගන්න බැහැ….

Mega නාට්‍යයකින් ඉගෙනගත හැකි දෙයක් නැත…. අවම වශයෙන් සමාජයේ දැවෙන ගැටලුවක් පිළිබඳව පුළුල් විචාරනයක්වත් කරන්නට Mega නාට්‍යකරුවා අසමත්වී ඇත…. Mega නාට්‍ය පසුපස ඇත්තේ සුකිරි බටිල්ලෝ වැනි තමන්ට හිතවත් නළු නිළියන්ට රූපවාහිනියේ සතිය පුරාම තමන්ගේ මුහුණත් තහඩුව ප්‍රදර්ශන්ය කිරීමට් ඉඩ සලසා දීමත්, Media එකට නාට්‍ය sale කර අනුග්‍රහක භවතාගේ මනදොළ සංසිඳුවා සල්ලි ගරාගැනීමත් පමණි….

දැන් පිවිසෙමු නර්තනය දිහාවට…. අද ලංකාවේ සිටින නර්තන කණ්ඩායම් බොහොමායක් ස්ත්‍රීන්ගේ ශරීර අංග ලක්ෂණ නර්තනයට වඩා ඉස්මතු කරන්න උත්සහකරන්නේ… විශේෂයෙන්ම එළිමහන් සංගීත ප්‍රසංගවල මේ තත්වය මැනවින් දකින්න ලැබෙනවා… අවිවාදයක් නෑ ස්ත්‍රී දේහය පිරිම දේහයකට වඩා ලාලිත්‍යයෙන් පිරිපුන්…. එමෙන්ම ස්ත්‍රියක් නර්තනයේ යෙදෙනවිට පිරිමියෙකුට වඩා නෙතට රසඳුනක්…. නමුත් නර්තනය යනු කාමුකත්වය නෙමෙයි….

නාඹර කෙල්ලෙකුගේ නාභිය දකින එකවත්, ලැම පෙදෙස දකින එකවත්, පිරිපුන් කලවා දකින එකවත් නෙමෙයි නර්තනයක් කියන්නේ… නර්තනය කියන්නේ ඊට වඩා අර්ථවත් දෙයක්…. නමුත් අවාසනවට මේ ලෝකයේ නර්තනයට වඩා මේ වගේ කාමුක ආශාවන් මිනිසුන්ගේ සන්තර්පණය කරන්න තමයි ගොඩක් දෙනෙක් උත්සහ කරන්නේ… නමුත් මේ දේවල් කරන්න කලින් මේ අය මතක් කරගත්තොත් හොදයි මේ දේත්… ඒ තමයි අපි කවුරුත් මේ ලෝකෙට එන්නේ අම්මගේ කුස තුල ඉදලා බවත්, ඒ අම්මාත් ගැහැණියක් බවත්….

නර්තනයේ විවිධ ශෛලියන් තියෙනවා… හැම ශෛලියක්ම නිවැරදි ලෙස අධ්‍යයනය කිරීම ගොඩක් හොඳයි… නමුත් ඊට වඩා වැදැගත් ගීතයකට නර්තනයක් නිර්මාණය කිරීමේදී ඒ ගීතයේ අදහස ඉස්මතුවන ලෙස නර්තනය නිර්මාණය කිරීම… නර්තනයේ දක්ෂතාවය හැටියට මා දකින්නේ එයයි…. නර්තනයක් සමීපවන්නේ නරඹන්නාට එවිටයි….

චිත්‍රකලාවේනම් යම් ප්‍රගමනයක් තවමත් ලංකාවේ දකින්න ලැබෙනවා… උසස් ගණයේ නිර්මාණ, ඒ නිර්මාණ සිදුකරන්නට නව චිත්‍ර ශිල්පීන දක්වන වෑය්යම අගය කළයුතු කාරණයක්…. බොහොම උසස් නිර්මාණ කරන්නට ඒ අයට හැකිවේවා යැයි මෙතන්දී ප්‍රාර්ථනා කරන්න කැමතියි… ඒ වගේම මේ සඳහා බලධාරීන්ගේ අවධානය යොමුවූවහොත් මේ චිත්‍ර ශිල්පීන් ශිල්පිනියන්ට ජාත්‍යන්තරය පවා ජයගත හැකි බවට මගේ විශ්වාසයයි… මෙය ඒ තරමට දියුණු කල හැකි කලා මාධ්‍යයක්… ඒ තරමට දක්ෂයන් මේ පුංචි දිවයින තුළ අපේ ඉන්නවා!!!….

ඊළඟට සෘජුවම් සම්බන්ධ නැත්තත් නිවේදනය ගැන සලක බලමු…. ලංකාවේ ඉන්න බහුතර නිවේදක නිවේදිකාවන් ප්‍රමාණයක් විනාඩියකට කටින් පිටකරන වචන සංඛ්‍යාව තෝරන තරගයක් තිබ්බොත් උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුනපාවී…. ඒ ජයග්‍රාහකයා කවුද කියන එක තොරන්න ගිහිල්ලා…. ඒ තරමට ඒ වැඩේට දක්ෂයි…. ඒත් ඒ ඉදිරිපත් කිරීම අර්තවත්ද???? ඒ අයවත් දන්නේ නැහැ ඒ අය කිව්වේ මොනවද කියලා…. ඉතින් අපිට ඒවා තේරේවිද එහෙනම්???? අන්තිම්ට හෑල්ලක් කිව්වට මොකෝ කාටවත් තේරෙන්නේ නෑ…

වරක් දිවංගත ප්‍රේමකීර්ති ද අල්විස් මහතා රූපවාහිනී වැඩසටහනක් ඉදිරිපත්කරන අතරවාරයේ නිවෙස්වල සිටින් පොඩි දරුවන්ගෙන් ඉල්ලීමක් කලේය….

“පුතාලා, කඩදාසියක් අරන් ඇවිත් රූපවාහිනිය ඉස්සරහින් වාඩිවෙන්න”

ඉන් ටික වෙලාවකට පසුව ඔහු මෙසේ කීවේය….

“දැන් ඔය කඩදාසිය පුංචි කෑලිවට ඉරන්න”

ඉන් සුලු මොහොතකට පසු ඔහු මෙසේ කීවේය…

“දැන් ඔය කඩදාසි කෑලි ටික ඉන්න තැන විසිරුවා හරින්න”

ඉන් ටික වෙලාවකට පසු ඔහු පොඩි දරුවන්ට කියා දුන්නේ අපූරු පාඩමකි…

“දුවලා පුතාලා ඔය තමයි පරිසර දූෂණේ…. ඔය විදිහට ආයේ කවදාවත් පරිසර දූෂණය කරන්නෙපා”

මෙය කොතරම් අපූරු සංවාදයක්ද???? අවසානයේඔහු සමාජයට දුන්නේ අපූරු පණිවිඩියක්… මෙයයි ඉදිරිපත්කිරීම යැයි මා දකින්නේ… කටට එන හැම දේම වක්කඩේ කැඩුවාසේ කියවීම නෙමෙයි…. හරවත් ලෙස භාෂාව හැසිරීමයි… නමුත් අවංකව අද ඉන්නේ අරුත් සුන් වදන් පවසන ගිරව් වැනි නිවේදක නිවේදිකාවන්ය…. සමහරු අවමවශයෙන් වැඩිහිටියෙකුට වැදගත් පුද්ගලයෙකුට ගෞරව සම්පන්න ලෙස කතාකිරීමටද නොදනී…. ඒත් ඒව පට්ට “talents” ලෙස සමහරු දැකීම අභාග්‍යසම්පන්න දෙයකි…එමෙන්ම ලංකාවේ සිටින බොහොමයක් වැඩසටහන් ඉදිරිපත්කරන්නන් ඔවුන් ඉදිරිපත් කරන වස්තු බීජය සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් නොකර බව ඔවුන් වැඩසටහන ඉදිරිපත්කරනවිට මනාව පැහදිලි වේ… ඒ අයට වඩා හොඳ දැනුමක් පාසල් යන පොඩි දරුවන්ට ඇත…

වර්තමානයේ ඇති Businness ලෝකය ඇතුලත අපිද market වන කලෙක කලාව market වීම අරුම පුදුම දෙයක් නොවේ…. නමුත් කලාවේ ගුණාත්මක භාවය මුදල් හමුවේ යටපත් නොවිය යුතුයි…. කලාවේ ප්‍රගමනයට් මුදල් අවශ්‍යයය… නමුත් ඒ වෙනුවෙන් කලාව විනාශකිරීම කිසි සේත් පිලිගත නොහැක…. මේ ලිපියේ තේමාවේ ඇති පරිදි වෙළඳාමට කලාව තළුමරා ගිලින්නට ඉඩ නොදිය යුතුය….. ඒ නිසා market එක ගැන පමණක් සිතා නිර්මාණ කිරීම කිසිසේත්ම කලාව ලෙස හැඳින්විය නොහැක…. එය business ය…. එලෙස නිර්මාණ කර ලැබෙන මුදල් ලැබෙන්නේදෙ සමාජයෙන් නිසා එක්තරා ආකරයක සමාජය මුලාකිරීමක් ලෙස මෙම තත්වය හඳුන්වා දිය හැක…. එලෙස ලබාගන්න මුදල හුදෙක් ලැබෙනුයේ ලැජ්ජා නැතිකමටය…. වෙන කුමකටවත් නොවේ…..

කොතරම් කලාවට විනකලද එලෙස විනකරන කලාකරුවා ( සත්‍ය කලාකරුවන් මෙම ගණයට අයත් නැත ) දේශපාලන වේදිකාවලට නම් ආභරණයකි… කලාවේ තමන්ගේ සේවය නිසි පරිදි ඉටු නොකලද ඡන්දය කාලයට දේශපාලන වේදිකාවලට ගොඩ වැදී උඩ පනිමින් එක් එක් පාටවලට ඡන්දය දෙන ලෙස ඉල්ලීම හස්‍යෝත්පාදක කාරණාවකි…. අපට ඔවුන්ගේ අදහස් පිලිගත හැකිද???? කලාකරුවා මුලින්ම තමන්ගේ නිර්මාණ හරහා රටට සේවයක් කළ යුතුයි… එවිට මේ ඉල්ලීමේ පදනමක් ඇත… නමුත් ලංකාවේ කලාවේ එවැනි ප්‍රගමනයක් දකින්නට නැතුව එවැනි ඉල්ලීම් ඉල්ලන්නේ නම් ජනතාව ඒ ගැන කල්පනාකල යුතුය….

කලාව යනු අතිශයින්ම පූජනීය දෙයකි…. එය විනාශ කිරීම හෝ නොකිරීම ඇත්තේ කලාකරුවා හෝ කලාකාරියටය…. නමුත් අවංකව කිසිදු මිනිසෙකුට කලාව විනාශ කිරීමට අයිතියක් නැත…. කලාව හරහා සමාජයට කලහැකි කාර්යභාරය අතිමහත්ය…. ඒ නිසා කලාව නිසි මාර්ගයට යොමු කර ස්වර්ණමය යුගයක් අනාගතයේදී ඇතිකරගැනීමට හැකිවේවා යැයි පතමින් මේ දීර්ඝ ලිපිය නිම කරමි….

Advertisements

Permalink ප්‍රතිචාරයක් ලබාදෙන්න