නොසිතූ මොහොතක… සමුගත් කෝලිත…

ඔක්තෝබර් 1, 2011 at පෙ.ව. 11:08 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , , , , , , )

null

( 2008.02.03 දින දැයින් සමුගත් සදදාර ඩී.එස්.සොයුරන් සිහිකිරිම පිණිස ලියන ලද්දකි. )

මේ සිද්ධිය වෙන්නේ 2001 දී කොළඹ ඩී.එස්.සේනානායක විදුහල් ක්‍රීඩා පිටියේදී…

” මචං මූ ගහන්නෙම pull shot එක… උඹ මුගෙ leg side එකට පලයන්”

හැමදාම කෝලිත Bat කරන්න එද්දී අපේ team එකේ captain කියනවා මට…. කෝලිත බොහෝදුරට out වෙන්නේ ඔය pull shot එක උඩින් ගහන්න ගිහිල්ලා… බෙල් එක ගහලා උදේ රැස්වීමට දාඩිය පෙරාගෙන අපි හිටගන්නවා අව්වේ… ගොඩක් වෙලාවට පිටිපස්සෙම තමා අපි හිටගන්නේ… කෝලිතත් එනවා ඒ වෙලාවට…

” උඹ හැමදාම මං ගහන්න එන්කොට මගේ catch එක හැංඟිලා ඉඳන් ගන්නවා නේද??? ” කෝලිත ඒක අහන්නේ තරහට නෙමෙයි… ජොලියට… ඒක අපි ඕනෑම කෙනෙක් දන්නවා…

කෝලිත කුමාර මහමුදලිගේ කියන්නේ හොඳ උස මහත තරුණයෙක්… බොහොම ක්‍රීඩාශීලී වගේම බොහොම මිත්‍රශීලි කොල්ලෙක්…

කෝලිතට හිටියා නිවුන් සහෝදරයෙක්… පොර තමා කෝසල... හැඩරුවින් සමාන නැති නිවුන් සහෝදර කුලකයට තමා ඒ දෙන්න අයත් වෙන්නේ… කෝසලත් උන්නේ 8.B එකේමයි…

ඒක මරු පන්තියක්… මං හිතන්නේ control කරන්න අමාරුම පන්තියක්… නරකමත් නැහැ හැබයි හොඳමත් නැහැ… ඒත් cricket ගහපු උන් ඔක්කම අතර හොඳ fit එකක් තිබුනා…

කෝලිත බාහිර ක්‍රියාකාරකම් බොහොමයක යෙදුනා… මිනිහා baseball ක්‍රීඩාවේ දක්ෂයෙක්… ක්‍රීඩාවටම උචිත උස මහතක් මිනිහට තිබුණා…

අපි 8 න් වෙන්වුනාට පස්සෙ match එක නැවතුණා… ඒකට හේතුව තමා අපිව අහඹු විදිහට 9 පන්තිවලට තෝරල දාපු නිසයි… කෝලිත වැටුණේ වෙන පන්තියකට… ඊට පස්සෙ කෝලිත මාත් එක්ක පන්තියක හිටියේ නැහැ

ඒත් ඔය කොරිඩෝ එකේ රවුම් ගහද්දී… canteen එකේ කෝලිත හමබවෙනවා ඒ වෙලාවට වචනයක් දෙකක් කතකරලා අත් ගසා දාලා ( Give me 5) අපි වෙන්වෙනවා… ඒ ඇර පාසලේ විශේෂ උත්සව වල අපි හම්බවෙනවා…

2004 අ.පො.ස. සාමාන්‍යපෙළෙන් පස්සෙ මම විද්‍යා විෂයන් හදාරන්න යනවා… කෝලිත කලේ වානිජ විෂයන්… science එකයි commerce  එකයි පිහිටලා තියෙන්නේ පාසලේ අන්ත දෙකක… ඒහින්දා set වෙන්න තියෙන  සම්භාවිතාවය අඩුයි… function එකක් වෙලාවට තමා කට්ටිය එකතුවෙන්නේ… ඒහින්දා අ.පො.ස.උ.පෙළ කාලයෙදී කෝලිත හමුවුනේ බොහොම කලාතුරකින්

කොහමහරි 2007 අ.පො.ස.උ.පෙළ කලාට පස්සෙත් කෝලිත මට මුණගැහුනේ නැහැ… කෝලිත ආයේ මට මුණගැහුනා ප්‍රතිඵල  එන දවසේ…

ඒ තමා අපි දෙදෙනා අවසන්වතාවට හමුවුණ දවස…

ඒ 2008 ජනවාරී 2 වෙනිදා…

මං එනකොට ground එකේ match එකක්…

මගේ මතකය හරිනම් රුමේෂ් තමා Bat කර කර උන්නේ…

කෝලිත field කරමින් උන්නා long off side එකේ…

කෝලිතලට bat කරන්න ලැබුනු වෙලාවේ කෝලිත ආවා අපි හිටපු හෙවනට…

“කොහමද මචං?” මං කෝලිතගෙන් ඇහුවා…

“වරදක් නැහැ මචං” කෝලිත සුපුරුදු හිනාවෙන් කිව්වා…

ඒත් එකකම උන්ගේ team එකේ කෙනෙක් out වුණා… කෝලිත ගියා bat කරන්න…

මාත් ගියා වෙන මිත්‍රයෙක් දැකලා talk එකක් දාන්න…

ඒ තමා මායි කෝලිතයි අන්තිම වතාවට කතාකල වචන ටික…

Results ආවට පස්සෙ මං 2 පාරට උ.පෙළ. කරන්න සුදානම් වුනා… ආරංචිවුනා කෝලිතත් ආයේ උ.පෙළ කරනවා කියලා… වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙන්න අවධානය යොදාගෙන මං වැඩකලා…

ඒ කාලකණ්ණි දවස උදාවුනා60 වැනි නිදහස් උළෙලට කලින් දවසේ ඒ කියන්නේ 2008 පෙබරවාරි 3 වෙනිදාකොටුව දුම්රියපොළට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවුනා

මං යාන්තමට T.V. එකෙන් දැක්කා ඩී.එස්.සේනානායක විදුහලේ ලාංඡනය තියෙන ගමන් මළු, Baseball bat වැටිලා තියෙනවා බෝම්බය පිපුරුණු තැන… ඒ හින්දා අපේ ඉස්කොලේ අයට කරදරයක් වෙලා ඇතිවිත්තිය දැනගත්තා…

මොරිත්ගෙන් මට call එකක් ආවේ ඔය වෙලාවේ…. එයත් අපිත් එක්ක 8.B එකේ හිටපු කෙනෙක්.

” මචං කොලි‍යා ඉවරයි මචං… ඌ අර බෝම්බෙට අහුවෙලා… “ මට අදහන්න බැරිවුණා… නමුත් ඒක ඇත්තක් වෙලා තිබුණා……

මං ගියා මළගෙදර… කෝලිතගේ නිසල  සිරුර සාලයේ මැද තබා තිබුනා… පැත්තකින් කෝසල, ඒ කියන්නේ නිවුන් සහෝදරයා කෝලිත දිහා බලාගෙන උන්නා… ඒක හරි සංවේදී දර්ශනයක්… ඒ ප්‍රහාරයෙන් කෝලිත විතරක් නොවේ… තව 7 දෙනෙක් ඩී.එස්.මවගේ තුරුල්ලෙන් හා අපෙන් සදහට සමුගෙන තිබ්බා…  ලක්මෑණියන් අතිශයින් කම්පනයට පත්කල  මොහොතක් කිව්වට වැරැද්දක් නෑ…

අද අපි සාමයේ අරුණැල්ල දකිනවා…. නමුත් කෝලිත ඇතුලු අපේ සොහුයුරන් 8 දෙනාට ඒ අරුණැල්ල දකින්න ලැබුනේ නැහැ… ඒ අය විතරක් නෙමෙයි… ත්‍රස්ත ප්‍රහාරවලින් අපෙන් සමුගත් හැමෝටම ඒ දේ විඳින්න ලැබුණේ නෑ…

මං ප්‍රාර්ථනයක් කරනවා….

ඒ හැමෝම අප අතර යලි ඉපදේවා කියලා!!! …

ඔව්, මං දන්නවා ඔබලා සියලුදෙනාම මගේ ප්‍රාර්ථනයට එකතුවන බව…

තිරසබැඳිය ප්‍රතිචාර 4