ඉතින් අවසරයි… කරුණා ගුරුමෑණියනි සමුගන්නට…

ඔක්තෝබර් 28, 2011 at ප.ව. 3:50 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , , , , , , )

" ඉතින් අවසරයි... කරුණා ගුරුමෑණියනි සමුගන්නට... "

දිනය 2011.10.24…. ඒ කියන්නේ පසුගිය සඳුදා…

වේලාව ප.ව. 7.00 ට විතර ඇති….

විශ්වවිද්‍යාලයේ නව වාරය ඇරඹුණේ එදා…. වැඩි වැඩකුත් තිබුණේ නැති එකේ gym එකට ගිහින් badminton පාරකුත් ගහලා ගෙදර ඇවිල්ලා මුහුණු පොතට log වෙලා හිටියේ මං….

මගේ ජංගම දුරකථනයට call එකක් ආවා…. තිරයේ දිස්වෙන අංකයෙන් ඒ මා මිතුරු ජාගොඩගේ අංකය බව මන් දැනගත්තා…. මං ඇමතුම ගත්තා…

” මචං… මැඩම් නැතිවුනා…”

” සිරාවට… ” මං ඇහුවා…

” ඔව් මචං… අද 4 ට වගේ නැතිවුනේ… ”

කරුණා දිසානායක ගුරුමෑණියන්…. ඔව්, මගේ ජීවිතේ මට හමුවූ කරුණාබරම හදවතක් තිබූ ගුරුමෑණියන්…. එහෙම කිව්වට මං වැරැදි නෑ…. මං හිතන්නේ මැඩම්ගෙන් ඉගෙනගත්තු ඕනිම කෙනෙක් මාත් එක්ක එකඟවෙයි ඒ කාරණයත් එක්ක…

සාමාන්‍යයෙන් මේ සමාජයේ පුද්ගලයන්ට දාලා තියෙන නම්වල තේරුම් හා ඔවුන්ගේ හැසිරීම් බැලුවාම හරියට අහසයි පොළවයි වගේ දුරස්ථභාවයක් තියෙන්නේ…. ඒත් කරුණා මැඩම් සම්බන්ධයෙන් ගත්තාම ඇයට තිබුණේ ඇගේ ගතිගුණවලටම ඔබින නමක්… ඒ ගැන කිසිම විවාදයක් හෝ තර්කයක් අපට නෑ….

කරුණා මැඩම් අපිට ඉගැන්නුවේ සිංහල භාෂාව සහ සාහිත්‍ය… මට ඈ ඉස්සෙල්ලාම සහ අවසන් වතාවට ඉගැන්නුවේ අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගයේ කඩඉම් වර්ෂ 2… ඒ කියන්නේ 10 සහ 11 වසරවල…. සිංහල pass නොවුනොත් O\L විභාගෙත් අසමත්…

අද ලංකාවේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ තමන්ගේ මව් භාෂාව හොඳින් දැනගෙන සිටීම ලැජ්ජවාට කාරණයක් කියලා…. මව් භාෂාව වරද්ද වරද්ද…. වෙනත් රටක භාෂාවක් චතුර විදිහට කතාකිරීමට දැනගෙන සිටීම ගෞරවාන්විත දෙයක් කියලා ඒ අය හිතන්නේ…. ඒකට ඒගොල්ලෝ යස නමක් දාලා තියෙනවා…. modern trend කියලා…. හදිසියේ වත් සිංහල භාෂාව හොඳින් හසුරුවන කෙනෙක් දැක්කාම ඔහු හෝ ඇය දිහා අවඥා සහගතව බලන්න ඒ ඈයෝ කොහෙත්ම පසුබට වෙන්නේ නෑ…. ඒවගේ අයට ඒගොල්ලෝ කියන්නේ ” ගොඩයා “කියලා… ආහ්!!! වැරදුණා ” ගොඩේ type ” කියලා… ඒකටත් පොඩි western type එකක් තියෙන්න ඕනිනේ….

ඇත්ත… භාෂාවක් අපිට අවශ්‍ය අපේ හැඟීම්, දැනුම හා තොරතුරු අන් අය සමඟ හුවමාරුවට… සිංහල භාෂාව කොටුවෙලා තියෙන්නේ ලංකාවේ ඇතුලේ විතරයි…. ඒ හින්දා ලෝකෙත් එක්ක ගනුදෙණු කරන්න ඒ භාෂාවෙන් අමරුයි…. පොඩි කාලේ ඉඳන්ම ඉංග්‍රීසි භාෂාව උගන්වන්නේ…. උසස් අධ්‍යාපනය පවා ඉංග්‍රීසි භාෂාවෙන් ලබාදෙන්නේ…. ඒක තමා ඇත්ත…. නමුත් අවාසනාවට අපේ සිංහල බොහෝ අය තමන්ගේ මව්භාෂාව බවට ඉංග්‍රීසි භාෂාව පෙරලගන්න වෑයමක යෙදෙනවා…. සත්‍ය අවබෝධ කරනොගෙන…. ඇත්තටම ඉතින් මුකුත් කියන්නත් බැහැ…. මොකද ඒක ප්‍රජාතන්ත්‍රවාදයෙන් උරුමු වූ අයිතියක් නිසා… නමුත් සිංහල භාෂාව හොඳින් හසුරුවන කෙනෙක් දැක්කාම ඔහු හෝ ඇය දිහා අවඥා සහගතව බලන අය මේ රටේ ඕනෑ තරම් හොයාගන්න පුලුවන්….

මට හිතෙනවා මෙහෙම දෙයක් කියන්න එහෙම සිංහල භාෂාව තමන්ගේ ජීවිතෙන් ඉවත්කරන්න උත්සහ කරන අයට…. වැසිකිලියට ගියාම සබන් ගා වතුරෙන් පශ්චාත් ප්‍රදේශය හෝදගන්න එක නවත්තලා ඒ වෙනුවට පුළුන් හෝ පත්තර කෑලි යොදාගන්න…. මං හිතන්නේ ඒ දේ ඔබට තවත් උපකාරී වෙවී… ඒ ප්‍රයත්නයට… මොකද සිංහල සංස්කෘතිය හා හැසිරීම් බොහෝදුරට භාෂාව එක්ක බැඳිලා තියෙන හින්දා…. ගොඩ සුද්දෙක් වීමට වඩා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුද්දෙක්වීම නම්බුකාරයි මට හිතෙන විදිහට… පොඩ්ඩක් ඒ ගැන හිතල බලන්න… මොකටද නිකන් ” ගොඩ” කෑල්ලක් තමන්ගේ ” සුද්දා ” කමට ඈඳගන්නේ නේද???…

ඇතැම්විට මෙම බ්ලොග් සටහන් කියවන ඔබ මට කියාවී මෙය මුලුමනින්ම සිංහලෙන් ලියා නොමැති බව…. පිළිගනිමි…. මා මෙය පවත්වාගෙන යන්නේ ඔබට සිංහල භාෂා ව්‍යාකරණ ඉගැන්වීමට නොවේ…. හුදෙක් මා සමාජය පිළිබඳ දකින දෘෂ්ටිකෝණය ඉදිරිපත් කරන්නටය….. ඒ හරහා ඔබටද පණිවිඩියක් දෙන්නටය….. විච්ඡූරණ ලෝකයෙන් මිදී සැබෑ සමාජය දෙස බලන්නට අත්වැලක් ලෙසය….

අවශ්‍යනම් මට මේ Blog සටහන සිංහල භාෂාවෙන්ම පවත්වගෙන යන්න පුලුවන්… නමුත් මේ Blog සටහනේ පරමාරථය ඔබ සියල්ල වෙත හොඳින් ගෙනයන්නටයි මා මේ මඟ තෝරගත්තේ…. එහෙම නොවුණානම් මේ පණිවිඩය ග්‍රහණය කරගන්නේ එක් කොට්ඨාශයක් පමණක් බව මං දන්නවා…. නමුත් ඇත්තම කතාව තමයි මා මගේ මව්භාෂාවට අප්‍රමාණව ආදරය කරනබවයි….

මං මගේ ජීවිතයේ ඉගෙනගත් සුන්දරම භාෂාව කුමක්ද කියලා කිසිවෙකු ඇසුවොත් ඒ සිංහල භාෂවයි… ඒක අර ඡන්දේ කාලෙට market වන සිංහලකමවත්, අවුරුදු කාලෙට market වන සිංහලකමවත් වගේ නෙමෙයි…. ජීවිත කාලෙටම නොවෙනස්වන කාරණයක්…. මං දන්නවා ඒ විදිහට තමන්ගේ මව් භාෂාවට අප්‍රමාණව ආදරය කරන මිනිස්සු මේ රටේ තවමත් ඉන්න විත්තිය….

කරුණා මැඩම් සිංහල භාෂාවේ වැදගත්කම අපිට නිරතුරුව කියාදුන්නු ගුරුමාතාවක්…. මට මතකයි වරක් ඈ කිව්ව දෙයක්…

” අපි ඉස්සෙල්ලම හිතන්නේ සිංහලෙන්…. ඊට පස්සේ තමයි අපි ඒක ඉංග්‍රීසියට පෙරලන්නේ…. ”

ඒ කතාවේ ඇත්තක් තියෙනවා…. බොහෝවිට අපි හිතන පතන දේවල් අපේ භාෂාව හා සංස්කෘතිය මත රඳා පවතින විත්තිය මට පුද්ගලිකව දැනිලා තියෙන කාරණයක්…. ඒහින්දා මං මැඩම් එක්ක ඒ කාරණේදි එකඟයි….

මැඩම්ට අපේ වයසේම පුතෙක් උන්නා… අනුරාධ කියලා… ඔහු හිටියෙත් අපේ පාසලේ අපේ පන්තිවල… අපේ මිතුරෙක්… ඒ නිසාම මැඩම්ව අපට දැනුනේ අපේම මවක් විදිහටයි… මැඩම් අපව භාරගතෙත් මැඩම්ගේ පුතාලා හැටියටයි…. ඒහින්දා අපි බොහොම සුහදව පන්ති කාමරේ ඇතුලේ වැඩකලා…. සුළු සුළු ආරවුල්, ගැටුම් නොතිබුණා නෙමෙයි… නමුත් ඒවා තිබුණේ බත ඉදෙනකන් විතරයි වගේ…. ඒ දේවල් එහෙම යටපත්වුණේ මැඩම්ගේ කරුණවාන්තකම නිසා කියලා මට අද හිතෙන්නේ…. මොකද ඒවා මැඩම් කවදාවත් බැරෑරුම් විදිහට භාරගත්තේ නෑ…

සිංහල එතරම් පහසු විෂයක් නෙමෙයි…. ඒකේ නීති මාලවක්ම තියෙනවා…. ඒ විතරක් නෙමෙයි අක්ෂර වින්‍යාසය පවා නිවැරදි වියයුතුයි…. ඇත්තම කිව්වොත් ලකුණු ගන්න අමාරුම විෂය කිව්වට වරදක් නෑ…. පැය 5ක් පුරාවට දිවෙන ප්‍රශ්ණ පත්‍ර 3 ක්…. එකක් බහුවරණ ප්‍රශ්ණ පත්‍රයක්… එකක් සාහිත්‍ය ප්‍රශ්ණ පත්‍රයක්… අනික රචනා, සාරංශ ලිවීම ගැන වූ ප්‍රශ්ණ පත්‍රයක්…. ඉතින් මේ ප්‍රශ්ණ පත්‍ර 3 ම හරියට ලියගත්තොත් ගොඩම තමා…. නැත්නම් ඉතින් ආයේ ලියන්න සුදානම් වෙන්න වෙනවා….

ව්‍යාකරණ නීතිරීතී, උපසර්ග, උපමා උපමේයන්, විභක්ති, උක්ත ආඛ්‍යාත සම්බන්ධයන්, ප්‍රථමා පුරුෂ, මධ්‍යම පුරුෂ, සමාන පද, විරුද්ධ පද වැනි තවත් බොහෝ දේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ සිංහල විෂය සමත්වෙන්න…. ඒහින්දාම තමයි බොහෝවෙලාවට මව්භාෂාව වුනත් සිංහල භාෂාව ගොඩක් දෙනෙක් අසමත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාව අසමත්වෙන සංඛ්‍යාවටත් වඩා…. තව හේතුවක් තමයි ගොඩක් අය හිතන්නේ මේ මව්භාෂාව නිසා ලෙහෙසියෙන් සමත්වෙන්න පුලුවන් කියලා…. නමුත් යථාර්තය ඒක නෙමෙයි….

සිංහල සාහිත්‍ය ගත්තාම ජාතක කථා, කවි වගේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ…. විශේෂයෙන්ම යමක විචාරතමක දෑසින් දකින්නට හැකියාවක් තියෙන්න ඕනෑ… එහෙම නොවුනොත් සාහිත්‍ය විෂයට ලකුණු ගන්නවා බොරු…. තව දෙයක් කවියක් කියවලා ඒකේ තෙරුම නිවරදිව ග්‍රහණය කරගන්න බැරිවුණොත් ඒකට උත්තර සපයනවා කියන්නේ ඉතින් සිහිනයක්ම තමා…. අනික ජාතක කථා හා විවධ යුග වල ලියැවුණු කෘතිවල භාෂාව අපිට එතරම් හුරු නැහැ…. ඒ වචන විවිධයි… කියෙව්වාට තේරුම් ගන්නත් බැරි තරම්…. ඒත් විභාගය සමත්වෙන්න ඒවායේ තේරුම් පවා දැනගතයුතුයි…

රචනා ගැන කතාකලොත් කොතරම් කරුණු දැන සිටියත් වැඩක් නෑ ඒවා රසවත් විදිහට ගලපලා ලියන්න බැරිනම්…. ඒවගෙම උක්ත ආඛ්‍යාත සම්බන්ධතා පවා නිවැරදි විය යුතුයි…. අක්ෂර වින්‍යාසය නිවැරදි විය යුතුයි…. සාරංශ ලිවීමේදී අවශ්‍ය දෑ සාරාංශයට අන්තර්ගත කලයුතුයි….අවශ්‍ය දෑ පවා ලියන්න ඕනෑ අඩු වචන සංඛ්‍යාවකින්…. එහෙම නොවුනොත් වචන 20 -25 කින් සාරාංශය ලියනවා බොරු…. සිංහල විෂය සමත්වීම ඒ හින්දා හිතෙන තරම්ම ලේසි නෑ….

ඉතින් ඒ සඳහා හොඳ මඟ පෙන්වීමක් තිබිය යුතුයි…. කරුණා මැඩම් ඇත්තටම ඒ දේවල් රසවත් ලෙස කියාදුන්නා…. සිංහලවලට පෞද්ගලික පන්තියකට නොගිය මට සිංහලවලට අධි සාමාර්ථයක් ලැබීමට ඇයගේ ඉගැන්වීම උපකාරීවූ බව මං අදත් සෙනෙහේ සිතින් සිහිපත් කරන්න කැමතියි…. මා මියෙනතුරාවට ඇයට ණයගැතියි ඒ වෙනුවෙන්….

සමහරක් වෙලාවට අපේ අයට ඒ විෂය නයාට අඳුකොල ගාණට පෙනුනා….. ඇත්තම කිව්වොත් ඒ මැඩම්ගේ වැරැද්ද නෙමෙයි… ඒ තමා සිංහල භාෂාවේ තිබ්බ බැරෑරුම් භාවය…. ඒත් මැඩම් බොහොම ඉවසීමෙන් කරුණාවෙන් අපිට ඒ විෂය ඉගැන්නුවා…. තාමත් මතකයි මට අපෙන් සිංහල හෝඩිය කට පාඩම් ගත්ත් හැටි…. එදා ඒ දේ විනෝදයක් හැටියට භාරගත්තත් අදටත් සිංහල හෝඩිය කට පාඩමෙන් දෙන්න පුලුවන් වෙලා තියෙන්නේ ඒ හින්දයි….

සිංහල භාෂාව හරිම වැදගත් පාසැල් කාලයේදී… මොකද මොන විෂය ඉගෙනගත්තත් ( English, English Literature, සමහරවිට Western Music සහ වෙනත් භාෂා හැර ) ඒ දේවල්වලට පිළිතුරු සපයන්න වෙන්නේ සිංහලෙන්…. ඒ හින්දා සිංහල භාෂාව කියන දේ කොහෙත්ම ජීවිතෙන් අමතක කරන්න බැරි දෙයක්…. කරුණා මැඩම නිරතුරුවම උත්සහකලේ අපි තුල ඒ දේ ගම්‍යකරවන්නයි….

කරුණා මැඩම්ගෙන් මං ඉගෙනගත්තේ අවුරුදු 2 ක් වුණාට ඊට කලින් සිදුවුණු රසබර සිදුවීමක් තියෙනවා ඇය හා බැඳුණු…. මේක වුණේ 2001දී… එතකොට මං 8 වසරේ…. අපි ඉස්සර උදේට, interval එකට cricket ගහන්න පුරුදුවෙලා හිටියා…. Bat එක විදිහට ලී කෑල්ලක් අරගෙන බෝලෙකට තඩිබාන එක තමා කරන්නේ… ඒකේ ඉතින් ඔය cricket වල තියෙන technique  එහෙම නෑ…. ඒත් ඉතින් ඒක හරියට 20 20 වගේ තමයි දැන් තියෙන….

ඉතින් එදා මං bat කර කර හිටියේ last man විදිහට…. Intervalඑකේ අනික් පැත්තට bat කරන්න දීලා  ඉක්මණින්ම දවාගැනීම තමා අපේ team එකේ අරමුණ…. ඉතින් ටිකක් වේගයෙන් ලකුණු රැස්කරමින් උන්නේ මම ඒ වෙලාවේ…. ඔය වෙලවේ ආපු බෝලෙකට මං දෑත බැදලා ගැහුවා…. සෑහෙන වේගයකින් බෝලේ ඇදිලා ගියා හැබයි වැඩි උසකින් නෙමෙයි…. Flat උසකින්….

මට බෝලේ ගිය දිහාව බැලුනේ ඒවෙලාවේ…. බෝලේ යන දිහාවේ උන්නේ කරුණා මැඩම්!!!… මැඩම් 9 වසර staff room එකට ඇවිදගෙන යන ගමන්…. මට ඉතින් තරු පෙනුණා කිව්වට වැරැද්දක් නෑ ඒවෙලාවේ….  මොකද කැගැහුවත් මැඩම්ට අයින්වෙන්න වෙලාවක නෑ… මොකද බෝලේ වේගයෙන් ඒ දිහාවට ඇදිලා ගිය හින්දා….

මැඩම්ගේ දකුණු අත පැත්තෙන් අය්යා කෙනෙකුත් ඇවිදගෙන ආවේ ඔය වෙලාවේ…. මැඩම්ගේ වාසනාවට, අය්යාගේ අවාසනාවට, මගේ වෙලාවට බෝලේ වැදුනේ ඒ අය්යාගේ ඔළුවේ…. ඒත් මැඩමුත් ගැස්සුණා අන්තිම මොහොතේ බෝලේ දැකලා…. මට යන්තම් සැනසීමක් ආවා…. මැඩම් මං දිහාවට හැරුණා… දැන්නම් ගුටි කෑවත් කමක් න කියලා මට හිතුනේ… මං එතකොට කරුණා මැඩම් කොයි වගේ මැඩම් කෙනෙක්ද කියලා දැනගෙන උන්නේ නෑ….

” පරිස්සමෙන් සෙල්ලම කරන්නකෝ ”  මැඩම් මට කියලා ගියා….

හොඳවෙලාවට අර බෝලේ වැදුණු අය්යාට එච්චර අමාරුවක් වුනෙත් නෑ…. ඒත් එදායින් පස්සේ සෙල්ලම් කරනකොට පරිස්සමෙන් සෙල්ලම් කරන්න මං හිතාගත්තා… ඒ තමා එකම සිදුවීම මට මේ වෙලාවේ මතක් වෙන මැඩම් හා බැඳුණු….

මැඩම් 2007 දී පාසලෙන් හා ගුරු වෘත්තියෙන් සමුගත්තා…. අපිත් පාසලෙන් සමුගත්තේ ඒ වර්ෂයේදීමයි…. ඊට පස්සෙ මැඩම් මට හම්බවුණේ නෑ….

මැඩම් මෙලොවින් සමුගන්න දවස් 3 කට ඉස්සෙල්ලා තමයි මං දැන්ගත්තේ මැඩම පිළිකා රෝගයට ගොදුරුවෙලා රෝහලක ප්‍රතිකාර ලබන බව…. ඒක කිව්වෙත් මට ජාගොඩ සහෝදරයා…. මට තිබුණු කාර්යබහුල බව නිසාත්, ඒ වැඩකටයුතු මඟ දමා යන්න බැරි නිසාත් මට මැඩ්ම්ව ඒ දවස් 3 බලන්න යනන් බැරිවුණා…. ඇත්තටම මං යන්න වෙලාවක් සොයමින් වෙලාව සමඟ අරගලයක යෙදෙමින් උන්නේ… ඒත් කාලය මාව පරාජයට පත්කලා…. මට කරුණා මැඩම් බලන්න යන්න ඉඩක් කාලය දුන්නේ නෑ…. මුළු ජීවිතය පුරාවටම මට ඒ පසුතැවිල්ල තියේවී….

මැඩම් සදහටම ගතින් සමුගත්තා…. ඒත් මැඩම් ඔබ සැමදාම අපේ හිත්වල  රැඳේවී අමරණීය චරිතයක් විදිහට….

ඔබේ ඔය කරුණාබර මුහුණ, සිනහව, වදන් කවදාවත් අමතක නොවේවී…. පන්හිඳෙන් සිංහල අකුරු අමුණා කරන නිර්මාණයකදීම, ලියන හැම ලිපියක්දීම ඔබව අපට සිහිවේවී…. ලිපිය අවසන් කිරීමට කරුණා මැඩම් වෙනුවෙන් මා ලිවූ නිස්දැසක් මා යොදාගනිමි…. මං ඉස්සරහටත් නිසදැස් ලියාවී… නමුත් මේ නිසදැස මා ලිවූ සුවිශේෂීම නිසදැසක් බව මට ඉඳුරාම කියන්න පුලුවන්….

 

පන්හිඳට අපේ අමුණන්නට…

අරුත්බර සිංහල වදන්… කියාදුන්…

අඳකරව තිබූ අපේ නෙත්…

නුවණැසින් විවරකල…

මවක සේ කරුණාබරව… අප වෙත දෑත පෑ…

ආදරණීය…

කරුණා දිසානායක ගුරුමෑණියනී…

ඔබට අමා මහ නිවන් සැප ලැබේවා!!!…

අප අද දියතේ…

ජයක් ලබා ඇත්නම්…

ඒ ඔබ අපට… ඉගැන්වූ දෙයට පින්සිදුවෙන්නටය…

අපි එයට සදා ඔබට… ණයගැතිය…

ඉතින් අවසරයි…

ඔබේ දෙපා නැමද අපට සමුගන්නට...


ඉතින් කරුණා ගුරුමෑණියනී..... අවසරයි ඔබෙන් සමුගන්නට දෙපා නැමද සදහට ගතින්.... ඒත් මැඩම් ඔබ සැමදාම අපේ හිත්වල  රැඳේවී අමරණීය චරිතයක් විදිහට...  ඔබට අමා මහ නිවන්සුව ගුරුමෑණියනී!!!     

 

ප්‍රතිචාර 2

  1. Janith Umindu said,

    මචං උබ දාන්නේ බොක්කට වදින ඒවමයි

Janith Umindu වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න