අකලට දියවෙන අහිංසක හීන – සරසවි සිසුවෙකුගේ දෑසින්….
බොහොම කාලෙකට පසුව මගේ Blog සටහනට අද ලිපියක් එක්කරන්න හිතුවා…. මෙච්චර දවසක් සුදුසු මාතෘකාවක් හොයහොයා හිටිය මට ඊයේ රෑ හිතුණා මේ දවස්වල මා අත්විඳින මේ ” දීර්ඝ නිවාඩුව” ගැන ඔබට යමක් කියන්න…. ඇත්තටම මේ නිවාඩුව අපි කිසිදිනෙක අපේක්ෂා නොකල එකක්…. මේකේ අභාග්‍යසම්පන්න බව කියන්නේ මේ නිවාඩුව හුදෙක් විනෝදබර එකක් නෙමෙයි…. මොකද මේ නිවාඩුවේ දින වැඩිවෙන්න වෙන්න දියවෙලා යන්නේ අපේ හීන…. සමහරවිට ඔබ හිතනවා ඇති මේ මොන අපභ්‍රංශයක්ද කියලා…. ඇත්ත…. මොකද තාම මං ඔබට කිව්වේ නෑනේ මේ මොකද්ද කියලා…. අපි පටන්ගමු කතිකාවත දැන්….
මේක පටන් ගන්න කලින් කියන්න ඕනි…. අපේ ගම්වල කියනවා වගේ පුදන කොටම කාපි යකා කියලා…. මේක කියවන්න පටන්ගන්නකොටම මේ ලිපිය දිහා පාදඩ දේශපාලන පාට කණ්නාඩියකින් බලන්නෙපා කියලා…. මොකද මට කොහෙත්ම අවශ්‍ය නෑ කාගේවත් දේශපාල න්‍යායපත්‍රයක ගැත්තෙක් වෙන්න…. මට අවශ්‍ය සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් අපේ අවංක හැඟීම ගැන කියන්න….
කෙටියෙන්ම කාරණේ සාරාංශගත කලොත් මම ලංකාවේ විශ්විද්‍යාලයක සිසුවෙක්…. මං හිතන්නේ එහෙම කිව්වාම මේ නිවාඩුව මොකද්ද කියලා ඔබල හැමදෙනාම දන්නවා ඇති…. ඒත් කියන්න බෑ…. මොකද මේ රටේ ඉන්න සමහර නෝනලා මහත්තයලට මේවා පේන්නේ නෑ…. ඒ දෑස්වල අඳභාවය නිසා නෙමෙයි…. චින්තනයේ හිතේ තියෙන අඳභාවය නිසයි….ඔය රූපවාහිනි ගුවන්විදුලිවල ඡන්දේ කාලේට “අපි සංවේදි _ _කරුවෝ ” ගාගෙන සිරික්කිය දාන බොහෝදෙනෙකුට ඔය ධර්මතාවය පොදුයි…. මොකද අද වෙනකන් ඒ ඇත්තන්ට ඒ සංවේදී හිත පහලවෙලා නැති හින්දා මේ කාරණේට ඒ කතාව මැනවින් ඔප්පුවෙනවා…. ඒ හින්දා මේ නිවාඩුව මොකද්ද කියලා මම කියන්නම්…. ” විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය”….
“අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා
තල්කොළ බිම අතුර නිදි නොලැබ දුක් තකා
කල්ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා”
මේ අපි බාලාංශ පන්තියේදී ඉගෙනගන්නා අපූරු කවියක්…. මේ කවිය තරම් අධ්‍යාපනේ වටිනාකම කියාදෙන කවියක් සිංහල සාහිත්‍යයේ නැති තරම්…. මේ කවිය වනපොත් නොකෙරුව , මේ කවිය නොඇසූ කෙනෙක් නැතුව ඇති…. සමහරවිට ඔබ නොදන්නවා ඇති කුඩාකාලයේ මේ කවිය ඇයි ඔබට කියාදෙන්නේ කියලා…. කුඩාකාලයේම ඔබට අධ්‍යාපනයේ ඇති වටිනාකම ඔබට කාන්දුකාරවන්නට තමයි ඒ දේ කරන්නේ…. නමුත් කණගාටුයි කියන්න….. අද මේ කවිය නිකන්ම නිකන් පුස්සක් වෙලා ඉවරයි…. වඩාත්ම කණගාටුව තියෙන්නේ මේ කවි වනපොත් කල ඈයොම තමයි ඒ දේ විනාශ කරලා තියෙන්නේ….
කාටවත් ලෙහෙසියෙන් ලාංකීය විශ්විද්‍යාලයකට ඇතුලුවෙන්න බැහැ…. කවුරුහරි එහෙම කියනවනම් ඒක බොහොම වැරදි අර්ථකතනයක්…. ඒ වෙනුවෙන් කරන්න වෙන කැපකිරීම් බොහොමයි…. සතුට, ප්‍රීතිය, වින්දනය හැම දේම අවුරුදු 2කට අමතකරලා ඒ ගෙවන සමය… සමාන්‍යයෙන් ඒකට කියන්නේ “කට්ට” කියලයි….. ඒ “කට්ට” කාපු ඕනිම කෙනෙක් දන්නවා ඒක තමයි ජීවිතේ දුෂ්කරම කාල පරිච්ඡේදය කියලා…. මෙයින් අදහස් වෙන්නේ නෑ විශ්විද්‍යාලයට නොතේරුන අය ඒ “කට්ට” කෑවේ නෑ කියලා…. එතනදී කන “කට්ටේ ” තරමට අනුව තමයි තේරීමට නොතේරීමට බලපාන්නේ….
එහෙම විශ්විද්‍යාලවලට ඇතුලුවුනු අපිත් ලේ, මස්, ඇට, නහරවලින් හැදුනු මිනිස්සු….. එහෙම නැතිනම් විශේෂ ග්‍රහලෝකයකින් කඩාපාත්වුණු පිටසක්වල ජීවියෝ නෙමෙයි…. අපිත් ඔය විශ්විද්‍යාලවලට ඇතුලුවෙන්නේ හීන කන්දක් පපුවට තුරුල්කරගෙන…. අපිටත් හැඟීම් තියෙනවා…. දැනීම් තියෙනවා…. කොහෙත්ම උවමනාවක් නැහැ සමාජයෙන් වෙන්ව ජීවත්වෙන්න…. පොළවේ පයගහලා ජීවත්වෙන්නයි අපිටත් ඕනෑ…. රටට සේවයක් කරන්න, යහපත් ජීවිතයක් ගතකරන්න අපිත් කැමතියි…. මේක මේ විශ්විද්‍යාලයට ගිය නොගිය ඕනිම කෙනෙකුට තියෙන බලාපොරොත්තුවක්…. ඒකේ කිසිම අසාමාන්‍යතාවයක් නෑ….
නිල් කොට කලිසමෙන්, සුදු කලිසමට සංක්‍රාන්ති වෙනකොට බොහෝ පාසල සිසුවන්ට අධ්‍යාපනයේ වටිනාකම තේරිලා ඉවරයි…. ඒ නිසා බලවත් තරඟකාරීත්වයක් ඇතිවෙනවා විශ්විද්‍යාල ප්‍රවේශයට…. රට කරවපු අදූරදර්ශී නායකයන් නිසා රටේ හැමෝටම නිදහස් උසස් අධ්‍යාපනය දෙන්න බැරිවෙන හින්ද තමයි මේ තරඟකාරීත්වය ඇතිවෙන්නේ….. මේ නිසා සියලුම අපොස උ.පේ. දරුවන් බලවත් මානසික ආතතියකට පත්වෙනවා….. සටනින් සමහරු පරදිනවා සමහරු දිනනවා…. මේක තමා යථාර්තය…..
විශ්විද්‍යාලයට ඇතුලුවන අයට විතරක් නෙමෙයි හීන තියෙන්නේ…. ඒ අයගේ දෙමව්පියන්ටත්….. අවුරුදු 13 ක් නැත්නම් ඊට වැඩිකාලයක් අමාරුවෙන් මහන්සියෙන් දරුවන් උස්මහත්කල දෙමව්පියන්ගේ ජීවිතේ වැදගත් සංධිස්ථායක් තමයි දරුවන් උසස් අධ්‍යාපනයට ඇතුලුවීම…. මොකද ඔවුන් පැහදිලිවම බලාපොරොත්තුවෙනවා දරුවන්ගේ අනාගතය එයින් බොහෝදුරට සුරක්ෂිතවෙනවා කියලා…. ඒවා ඡන්ද කාලේ මිනිස්සුන්ට දේශපාලුවන් මිනිස්සුන්ට දෙන fantasy හීනවලට වඩා බොහොම අහිංසක හීන…. මොන අම්මයි තාත්තයිද කැමති තමන්ගේ දරුවන් දුක් විඳිනවා බලන්න….. කවුරුහරි එහෙම දෙමව්පියො ඉන්නවා කියනවනම් මට කියන්න තියෙන්නේ උන් ඉපදිලා ඉන්නේ මව්කුසෙන් නොවෙයි කියන එකයි….
විශ්විද්‍යාල ශිෂ්‍යයෝ සරසවිවලට පිවිසි දා ඉඳන් අරගල කරනවා…. බොහෝවිට සමාජයේ ඉන්න පිරිස් දකින්නේ ඒ අරගල කිසිදු පලක් නෑ කියලා…. තවත් සමහරු කියන්නේ ” මුන් ඉගෙන්ගන්නේ අපේ සල්ලිවලින්….. කාලකණ්ණි !!!! ඉගෙනගන්න නැතුව අරගල කරනවා… ” …. මට හිතෙනවා අන්න ඒ ” අපේ සල්ලි ” කියන දේ යොදාගෙන ඔබට මෙන්න මේ දේ පැහදිලි කරන්න…..
ඇත්ත… අපි ඉගෙනගන්නේ ඔබ විසින් රජයට ගෙවන බදුමුදලෙන්….. එහෙමත් නැත්නම් ජාතික අයවැයෙන් වෙන්කරන මුදල් සම්පාදනවලින්…. ඒ නිසා ඇත්තටම් අපි ඔබ සියලුදෙනාට ණයගැතියි… එමෙන්ම එයින් නිසි ප්‍රයෝජන අප ගතයුතුයි… නමුත් ඔබ කිසිදවසක ඔබේ අවධානය යොමුකර තියෙනවද ඔබ මහන්සියෙන් උපයා රටේ අධ්‍යාපනය වෙනුවෙන් යටකරන මුදලට නිසි වටිනාකමක් ලබාදී තිබෙනවද කියලා????…..ඇත්තම උත්තරය නැහැ කියන එකයි….
ඔබේ මුදලෙන් මේ ලබාදෙන අධ්‍යාපනය අද කාලයට ගැලපේද කියා ඔබ සොයා බලා තිබෙනවද???? අවශ්‍යකරන සම්පත් ලබාදී තිබෙදනවාද???? ලෝකය සමඟ තරඟකරන්නට තරම් අපි දැනුමෙන් සවිමත් වී ඇතැයිද ඔබ සොයා බලා තිබෙනවද???? මා දකින විදිහට ඔබලා කිසිම කෙනෙක් මේ දේවල් කිසිදාකවත් සොයා බලා නැති බවයි… ඒ වෙනුවෙන් අරගල කරන සරසවි සිසුන් ත්‍රස්තවාදින්. කුමන්ත්‍රණකරුවන් ලෙස ඔබ හංවඩුගසන්නේ ඒ නිසාය….
ඔබ නොදන්නවා වෙන්න පුලුවන්…. සරසවිවල විද්‍යාගාරවල අඩුපාඩුකම් සපුරගන්න ශිෂ්‍යයන් විවිධ ආධාර වැඩසටහන් සංවිධානය කරනවා…. ඒ හරහා එන මුදල්වලින් විද්‍යාගාරවල අඩු ලුහුඬුකම් සපුරගන්නවා…. නමුත් අවාසනාවට මාධ්‍ය මඟින් ඒවාට ලැබෙන ප්‍රචාරණය හරිම අඩුයි…. කොටින්ම නැති තරම්…. ඒකට හේතුව තමයි සමාජය බලන් ඉන්නේ සරසවි සිසුන්ගේ වැරද්දක් හොයාගන්නයි…. හොඳ දෙයකට කිසිම business marketing value එකක් නෑ…. උද්ඝෝෂණයක්. සත්‍යග්‍රහයක්, ගැටුමක් නම් එතනට ලෝකේ තියෙන ඔක්කම කැමරා, මයික්‍රෆෝන focus වේවි… සමහරවිට Breaking News එකකුත් දේවී…. නමුත් හොඳ වැඩකට මාධ්‍ය අනුග්‍රහය ගන්න ගියාම ඒක ඉබ්බගෙන් පිහාටු ගන්නවටත් වඩා අමාරුයි… රටේ ජනතාව මේවා දන්නේ නෑ…. ඉතින් හැමදාම් සරසවි සිසුවා කුමන්ත්‍රණකාරයෙක් නැතින්ම ජාතික ද්‍රෝහියෙක් විදිහට හංවඩු ගැහෙනවා….
ඔබට හැකිනම් සරසවියකට ගිහින් බලන්න බනින්න පෙර…. විද්‍යාගාර බහුතරයක තියෙන්නේ කැඩී ගිය භාණ්ඩ…. සමහරවෙලාවට සියලු වසරවල් වල ශිෂ්‍යයන්ට භාවිතාකරන්න තියෙනනේ එක උපකරණයයි…… ඒ නිසා ඒ උපකරණ අසල තියෙන්නේ දිගු පෝලිම්…. අවම වශයෙන් වැසිකිලියක්වත් හරියට තියෙනවද කියල වතුර නොඋතුරන…. සමහර ඉහල මහල්වල බිමට අතුරා ඇති ලී දිරාපත් වෙලා… බිත්ති පුපුරලා….. ඒ නිසා කටට එන හැමදේම පිටකරනවට වඩා මේවා සියැසින්ම දැකගත්තොත් හොඳයි….
දේශපාලකයින් ගොඩක් වෙලාවට කියන්නේ සරසවි තුළ දේශපාලනය තිබීම නිසා ලු මේ ප්‍රශ්න…. මෙන්න මේ ආකල්පේ මිනිස්සුන්ගේ ඔලුවට දාලා සරසවි සිසුවා ත්‍රස්තවාදියෙක් කියන වැරදි චිත්‍රය මිනිසුන්ගේ ඔලුවේ නිර්මාණය කරනවා… නමුත් මට තියෙන්නේ එක ප්‍රශ්ණයයි…. දේශපාලන විද්‍යාව උගන්වන සරසවියෙන් කොහමද දේශපාලනය අතුගාලා දාන්නේ කියන එකයි…. පුස්ථකාලයේ වෙනම අංශ කිහිපයක් දේශපාලනය හා බැඳුණු දේවල්වල පත පොතට වෙන්වී තියෙනවා…. විෂයන් පිළිබඳ සංවාදාත්මක වාදයක් ඇතිවෙන හොඳම තැන සරසවිය…. වෙලඳපොලක ගිහින් මේ සංවාදය ඇතිකරන්න බැහැ…. අනික ලෝක දේශපාලනයේ ආරම්භය අරන් බැලුවත් සිදුවෙලා තියෙන්නේ සරසවියෙන්…. දේශපාලන මූලධර්ම බිහිවෙලා තියෙන්නේ සරසවියෙන්….. ඔය අදහස ඉදිරිපත්කරන අපේ ජනතා නියෝජිතයෝ දිහා බැලුවාම පෙන්නේ ඒ අය ඇවිත් තියෙන්නේ දේශපාලන කරලියට මුදල් හා මැර බලයෙන් මිස නිවැරදි දේශපාලන චින්තනයකින් නොවෙන බවයි…. අවම වශයෙන් දේශපාලන විෂය පිළිබඳව ඔවුන්ට අවම අවබෝධයක් නෑ…
නමුත් ජනතාව නොදන්න අපූරු කාරණයක් තියෙනවා… රටේ ප්‍රධාන පක්ෂ සියල්ලටම සරසවි තුළ දේශපාලන කණ්ඩායම් ඉන්නවා…. ඔය පිටට පේන කතන්දර නෙමෙයි ඇත්තටම තියෙන්නේ… මැතිවරණයක් කිට්ටු වෙනකොට ඔය සිසු කණ්ඩායම් කැඳවලා සංග්‍රහ පවත්වලා මැතිවරණවලට් උපරිම දායකත්වය ගන්න දේශපාලන පක්ෂ කටයුතුකරනවා….. දේශපාලනය සරසවියෙන් අතුගාලා දාන්න කියන අයම තමයි ඕවයේ මුලසුන් දරන්නෙත්…. ඒක නිසා බොරු දේවල් රටට මවා පාන දේශපාලකයන්ට වඩා සරසවි ශිෂ්‍යයා සාධාරණයි… මොකද පිටින් එකක් ඇතුලින් එකක් කරන සිල්ලර game සරසවි ශිෂ්‍යයාට නැති නිසා….
රටට සේවයක් කරන්නයි අපිට ඕනි…. නමුත් ඇත්තම කිව්වොත් කාරණා මේ විදිහට සිද්ධවෙනකොට රට අත් හැරලා බොහෝ දෙනෙක් යන එක පුදුමයක් නෙමෙයි….. මේ ඉගෙනගන්න අධ්‍යාපනය මේ ශතවර්ෂයේ අභියෝග එක්ක පෑහෙන්නේ නෑ…. ඇත්තටම Lipton වටරවුම ගාවා රැකියා විරහිත උපාධිධාරීන් ගොඩගැහෙන්නේ මේ හින්දයි…. මේ දේ මෙච්චර කාලෙකට රට කරවපු අයට නොතේරුණු එකයි පුදුමය…. එක අතකින් පුදුම වෙන්න දෙයක් නෑ…. මොකද උගතුන්, බුද්ධිමතුන් බිහි නොවෙන තරමට රට කරවන එක හරි ලේසියි…..
රටේ ඇමතිවරු, ඒ අයගේ වන්දිබට්ටයෝ ලක්ෂ ගණන් අල්ලස් ගද්දී, වංචාකරද්දී, පණ නැති කොන්ක්‍රීට් කණුවලට හයියෙන් යන්න highway හදන්න කෝටි ගණන් මුදල් යටකරද්දී…. ඇයි අධ්‍යාපනය කියන දේට වැඩි මුදලක් ආයෝජනය කරන්න බැරි????… ” තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා”….. මේකයි අධ්‍යාපනයේ වටිනාකම…. අනික් සියලුදේවල් තාවකාලිකයි… නමුත් කෙනෙකුට ලබාදෙන විධිමත් අධ්‍යාපනය කිසිදාක අපතේ යන්නේ නෑ නිසි වැඩපිලිවෙලක් නැත්නම්….
අද වෙනකොට එක පැත්තකින් Z-Score ප්‍රශ්නයක් නිසා අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී හිටපු අපේ නංගිලා මල්ලිලා බලවත් මානසික ආතතියකට ලක්වෙලා…. මේ පාර අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රශ්නපත්‍ර තාම සමීක්ෂණයට ලක් කරලා නෑ….. විශ්වවිද්‍යාල මට්ටමේ බලවත් ගැටලුවක් මතුවෙලා…. සමහරවිට ඔබ නොදන්නවා වෙන්න පුලුවන් මේවායේ අනිසි විපාක….සමහරවිට සරල ගැටලුවක් විදිහට දකින්න පුලුවන්.. ඒ හින්දා මා කැමතියි මේවයේ ප්‍රතිපල ගැන මඳක් ඔබට කියන්න….
මේ හරහා පෙනියනවා අනාගත බලවත් රැකියා අර්බුදයක්…. ලිප්ටන් වටරවුමට නිවනක් නැතිවෙයි…..ඒ වගේම රටේ ඉදිරි ගමනට බාධාවක්…. ඕනිම රටක ජවය නැත්නම් spirit එක රටේ යෞවන යෞවනියන්…. ඔවුන්ට තම උපරිම දායකත්වය රටේ ආර්ථිකයට දෙන්න පුලුවන් ඒ කාලේදී…. ඊළඟට මා දකිනව රටේ උගත් පරපුර රට අත්හැරයාමේ ප්‍රවණතාවයක්…. ඒ කියන්නේ තවත් විදිහකට උග්‍ර බුද්ධි හා ශ්‍රම ගලනයක්…. මෙය රටක පැවත්මකට කොතරම් දුරට බලපානවද කියන එක මා විස්තර කරන්න යන්නේ නෑ… මා හිතනවා ඔබට ඒ දේ තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙනවා කියලා….
විදෙස් ගතව අධ්‍යාපනය ලබන්නට බොහෝදෙනා උත්සහ දැරුවොත් එයින් සිද්ධවෙන්නේ රtei මුදල් වෙනත් රටක සාක්කුවට බැරවීම්ක්…. එවිට කිසිදු සංවර්ධන ඉලක්කයකට ලඟාවෙන්න රටට බැරිවේවී… අනික එහෙම ඉගෙනගන්න හැමෝම තමන්ගේ ශ්‍රමය තම මව් රටට ලබාදේවිද???…. එහෙම යන බොහෝදෙනා ඒ රටේම පුරවැසිකම ලබාගන්නවා… ඔවුන් වැරදි නෑ…. මොකද මේ රටේ සුදුස්සාට නිසි තැනක් දෙන්නේ නෑ….. අර තරම් මුදල් වියදම් කරන් යන මිනිස්සු ආයේ ඒවිද මෙහේ දුක් විඳින්න….. මිනිස්සු වෙන අපි කාටත් ඕනෑ සුවපහසු ජීවිතයක් ගතකරන්න… මොකද අපි කවුරුත් තාම මේ ලෞකික ලෝකයේ කොටස්කාරයෝ….
මේ වසරේ බහුතර සිසු සිසුවියන් පිරිසක් සරසවියට ගන්නා නිසා නිසැකවම අධ්‍යාපනයට වෙන්කලයුතු මුදල් සම්පාදන වැඩිකල යුතුමයි…. දැනට විශ්විද්‍යාලවල සිසු සිසුවියන් අධ්‍යාපනය ලබන්නේ බලවත් බාධක හමුවේ…. ඒ නිසා මුදල් වෙන්නොකලහොත් බලවත් ගැටලු රැසක් පැන නැඟීම නවත්වන්න බෑ….. විශේෂයෙන්ම විද්‍යාගාර, නේවාසිකාගාර, සනීපාරක්ෂක, පුස්ථකාල, දේශන ශාලා පහසුකම් ඉහල නංවන්න වෙනවා…. ජනතාව ගෙවන බදු මුදලට නිසි වටිනාකමක් රටට අරන් දෙන්නටනම් ඒ දේ කලයුතුමයි…. මොකද එහෙම නොවුනොත් අපතේ යන්නේ ඒ අයගේ දහඩිය මහන්සිය විතරක් නෙමෙයි…. රටේ අනාගතෙත් අඳුරට යනවා…. එදාට ” We Are Srilankan” T- shirt ඇඳන් හිටියට වැඩක් නැති වෙයි…
සරසවි අර්බුදය දිහා පාට කණ්ණාඩිවලින් බලන්නෙපා…. ඔය සරසවිවල ඉන්නේ එක පක්ෂෙකට අයත් සිසුන් නෙමෙයි…. හැම පක්ෂයකටම අයත් සිසුන් ඉන්නවා…. වඩා වැදගත් වෙන්නේ ඒ අයට හෙට දවසට ඔබින විදිහට අධ්‍යාපන ක්‍රමවේදයක් හා පැහැදිලි අනාගතයක් හදලා දෙන එකයි…. ඒ දෙයින් රටට නිසි ප්‍රතිලාභයක් ලැබෙනවා…. කවුරුහරි කියනවනම් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභයක් නෑ කියලා…. ඒක අමූලික බොරුවක්…. අධ්‍යාපනය කියන්නේ හොඳම ආයෝජනයක්… මේවයේ ප්‍රතිපල දීර්ඝකාලීනයි…. තාර පාරවල්වලට, කොන්ක්‍රීට් කණුවලට මුදල් යටකරනවට වඩා බොහොම වටිනවා…. නමුත් ඒ මුදල් යටකරනකොට ලෝකය සමඟ ඉදිරියට යන්න පුලුවන් අධ්‍යාපන රටාවක් නිර්මාණය කරන්න ඕනි.. මේ ගිරා අධ්‍යාපන රටාව හා විභාග රටාව රටට තවදුරටත් සුදුසුදැයි සිතා බැලිය යුතුයි… ඒ වගේම රටේ බහුතරයකට උසස් අධ්‍යාපනයට ඇතුලුවෙන්නට දොරටු විවෘත කරන්න ඕනි….. අන්න ඒකයි දළ ජාතික නිෂ්පාදන්යෙන් වැඩි කොටසක් අධ්‍යාපනයට වෙන්කරන්න කියන්නේ…. සාගින්නෙන් පෙලෙන දහස් ගණන් රෝගවලින් මියැදෙන ඉතියෝපියාවටත් අධ්‍යාපනයට වැඩි ප්‍රතිශතයක් ( අපේ රටේ ප්‍රතිශතයට වඩා) දළ ජාතික නිෂ්පාදනයෙන් වෙන්කරන්න පුලුවන්නම් සාමය තියෙන මේ නිවහල් රටේ ඒක කරන්න බැරි ඇයි…. මේක විහිලුවක් නෙමෙයි….
සරසවි ආචාර්යවරුන් කියන්නේ දේශද්‍රොහී පිරිසක් නෙමෙයි…. ලෝකයත් එක්ක සසඳල බැලුවොත් ඔවුන්ගේ සේවය නිසි පරිදි ඇගයීමකට ලක්කරලා නෑ…. ඔබ සමහරවිට නොදන්නවා ඇති… සරසවිවල ආචාර්යවරුන් සිටිනවා දුප්පත් සිසුන්ට තමන්ගේ වේතනයෙන් උදව් උපකාර කරන…. එහෙම කරන්නේ මහ පොළ ප්‍රමාණවත් නැති නිසා සිසුන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන්යන්න තරම් අද තියෙන ආර්ථික තත්වය අනුව…. අද ආචාර්යවරුන්ට මඩ ගහන ඇතැම් දේශපාලකයින්ට එවැනි කාරුණික සිතක් පහළවෙන්නේ මැතිවරණ සමයෙදී පමණයි…. ජනතාව නොදන්න දේවල් මේවා…. ඒ හින්දා නිස්කාරණේ මිනිස්සුන්ට බැනලා පව් පුරෝගන්නෙපා….
මේ අර්බුදය බලවත් අර්බුදයක්… උගසට තියන් ඉන්නේ අපේ හීන…. මිනිස්සුන්ගේ හීනත් එක්ක , බලාපොරොත්තු එක්ක සෙල්ලම් කරන එක විහිලුවක්වත් හාස්‍යයට කාරණයක්වත් නෙමෙයි… බොළඳ ප්‍රේම කතාවක මල් ගස් වටේ දුවන හීනවලට වඩා ප්‍රබලයි…. ඒකට හේතුව මේ හීනවල තියෙන්නේ අපේ අනාගතය නිසා…. කොටින්ම කිව්වොත් මේක බලවත් අසහනයක් අපිට දැන්….. ඇතැම්විට ඔබට නොතේරෙන්න පුලුවන්…. නමුත් මෙතනට එන්න විඳපු දුක්වල හැටියට අපිට දැන් තියෙන්නේ බලවත් කලකිරීමක් අපි ගැනම….. මාධ්‍යවලට රසබර taste තියෙන markeing කතන්දරයක් වුනත් මේ සෙල්ලම් කරන්නේ අපේ ජීවිතත් එක්ක….. ගොඩක් දෙනෙකුට ඒක තේරෙන්නේ නෑ…..
අපිට අවශ්‍ය උපාධිය අවසන්කර අපේ හීන සැබෑ කරගෙන දෙමව්පියන්ගෙත් හීන සැබෑ කරන්නයි…. රටට සේවයක් කරන්නයි… ඒ නිසා මේ ගැටලු විසඳන්න බැරි ගැටලු නෙමෙයි…. සරසවි ඇඳුරන්ට නිසි පිලිගැනීමක් දීලා, අධ්‍යාපනයට එවැනි ධන්ස්කන්දයක් ආයොජනය කලා කියලා අපතේ යන්නේ නෑ…. තාර පාරවල්, කොන්ක්‍රීට් කනුවලට මුදල් යටකරනවට වඩා වටිනවා…
සමාජවාදී ආර්ථික රටාව ගත්තත්, ධනේශ්වර ආර්ථික රටාව ගත්තත් අධ්‍යාපනය කියන්නේ සුවිශේෂී අංගයක් ඒ ආර්ථික රටාව ඇතුලේ…. සමාජවිද්‍යා විශේෂඥයින් බහුතරයකගේ නිගමනය වන්නේ අධ්‍යාපනය කියන්නේ රටක කොඳුනාරටිය කියලයි….. ඒ කියන්නේ රටේ යුක්තිය, නීතිය, ආර්ථිකය කියන ප්‍රධාන බලකණු තුනේම අත්තිවාරම අධ්‍යාපනය කියන එකයි…. දැන් වරදවා තෙරුම් ගන්න එපා සමාජවිද්‍යා විශේෂඥයින් කියන්නේ සමාජවාදියෝ හෝ විපලවවාදියෝ කියලා… සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සු හරි ලෙහෙසියෙන් කෙනෙකුට ලේබල් එකක් ගහන්න රුසියෝ…. ඒ හින්දයි එහෙම කිව්වේ….
සමහරවිට ඔබේ කවුරුත් මේ ප්‍රශ්නයෙන් බැට කන්නේ නැතිව ඇති…. නමුත් අමතක කරන්නෙපා හෙට දවසේ ඔබේ කවුරු හෝ මෙයට ගොඳුරුවිය හැකිය… ඇතැම්විට ඒ ඔබේ නංගී මල්ලී විය හැකිය…. එහෙමත් නැත්නම් ඔබේම දරුවෙක් වෙන්න පුලුවන්….. ඒ නිසා අද දවසේ මේ ගැටලුව අවඥාසහගතව ප්‍රතික්ෂේප කිරීමෙන් අනාගතයේ ඔබට දුක් වන්නට සිදුවෙන්න පුලුවන්….
ආවට ගියාට අධ්‍යාපනයක් දීලා වැඩක් නෑ…. ලෝකයත් එක්ක ඉදිරියට යන අධ්‍යාපනයක් දෙන්න ඕනෑ…. තවමත් ශ්‍රී ලාංකීය සරසවිවල තිබෙන්නෙ යල් පැන ගිය අධ්‍යාපන නිර්දේශයක්…. ඒ නිසයි සරසවි ඇඳුරන් ඉල්ලන්නේ ඒ නිර්දේශයේ වෙනසක් ඇති කළයුතු වගත් ඒ සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා ගත යුතු වගත්…. තමන්ගේ රාජකාරියවත් නිසි පරිදි කරගන්න බැරි ජනතා නියෝජිතයින් කොහම්ඩ රටක උසස් අධ්‍යාපන විෂය නිර්දේශයක් වෙනස් කිරීම වැනි දේ ගැන තීන්දු තීරණ ගන්නේ නිසි අවබෝධයක් නැතිව ඒ ගැන…. මොකද මේක රටේ අනාගතය හා බද්ධ වෙන කාරණයක්…. පුද්ගලිකව මා සිතන්නේ පාසල් අධ්‍යාපනයේ සිට මේ වෙනස ඇතිකලයුතු වගයි…. එය එක සැරේ කරන්න බැහැ… ඒක කලයුත්තේ පියවරෙන් පියවර නමුත් ඉක්මනින්…. ඒ බව ආචාර්යවරුත් කියාසිටිනවා….. අනික පර්යේෂණ ආදිය කිරීමට බොහෝ පිරිවැයක් දරන්න වෙනවා… ඒ දේවල් නොකර රටේ ආර්ථිකයට ඉදිරියට යන්න සෑහෙන්න අමාරුයි…. ලෝකයේ දියුණුවූ රටවල් ඉදිරියට ගියේ පර්යේෂණවලින් ලැබූ ප්‍රතිඵලත් එක්ක….. ඒක ලෝක ඉතිහාසය අධ්‍යයනය කල ඕනෑම කෙනෙකුට පෙනෙන පැහැදිලි කාරණයක්…. පරමාණු බෝම්බයෙන් බැට කා ෆීනික්ස් පක්ශියෙකුසේ නැගිට්ට ජපානයේ දියුණුවේ එක රහසක් එය…
හෙට දවසේ අනාගතයක් පැහැදිලි නැතිව අඳුරේ අතපත ගාන්නට සිදුවීම බලවත් කණගාටුවක්…. ඊටත් වඩා බලවත් කලකිරීමක්….. අප දෑස් ඉදිරියේ දියවෙන්නේ අපගේ සිහිනයි…. මෙතෙක් කල් කටට හා අදහස්වලට මුකවාඩ්ම දාගෙන හිටියේ මේ ප්‍රශ්නය මෙතරම් ඔඩු දුවයි යන සැකය නොතිබුන හින්දයි…. නමුත් තවදුරටත් නිදහස් අධ්‍යාපනය ලැබූ නිවට මිනිසෙක් සේ මුකවාඩම් බැඳගෙන සිටිය නොහැකි නිසා මගේ අදහස් විශ්විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස ඉදිරිපත්කලේ…. මෙය හුදෙක් මාගේ ස්වාධීන දැක්මයි… කිසිදු දේශපාලන න්‍යාය පත්‍රයක් මෙහි නැත…..
කොහමත් මේ රටේ බහුතරයකට නිදහස් අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නේ නැති විත්තිය ඉතිහාසය පවා පෙන්වා දී තිබෙනවා…. නිදහස් අධ්‍යාපනය මෙරටට හඳුන්වාදුන් C.W.W.කන්නන්ගර මැතිතුමා ඊළඟ මැතිවරණයේදී පරාජයට පත්වුනා…. අද වුනත් මේ බරපතල අර්බුදයේදී ඇතැමුන් හැසිරෙන පිළිවෙල දැක්කාම ජුගුප්සාජනකයි…. එවිට ඇතිවන්නේ මේ රටේ මිනිසුන් ගැන බලවත් කලකිරීමක්…. එක නිවහල් රටක් තනාගන්න එකට එක්ව කටයුතු කල අපේම සහෝදර සහෝදරියන් වැඩිහිටියන් දේශපාලකයින්ගේ අතකොලු බවට පත්වීම සැබැවින්ම කණගාටුවට කාරණයක්….
මේ රටේ තියෙන්නේ නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයක්…. නියෝජිතයෝ පත්කරගන්නේ ඔබමයි… ඒවගේම රටෙ සංවර්ධනයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සොයාදෙන්නෙත් ඔබමයි…. ඒ නිසා ඔබට පරම අයිතියක් තියෙනවා සොයා බලන්න ඔබ වෙහෙස මහන්සිවී උපයා දෙන ඒ මුදල්වලට නිසි වටිනාකමක් ලැබෙනවද කියලා…. එයින් රටට සෙතක් වෙනවද, හෙටක් හැදෙනවාද කියලා….. රටට ආදරේ කරනවා කියන්නේ එකයි…. එහෙම නැතුව සිංහ ධජයකුයි, ” We Are Srilankan” T- shirt එකකුයි cricket match බලන්න ඇඳලා ගිහින් හති වැටෙනතුරු නටන එක නෙමෙයි….
මේ සමස්ත ලිපියේම ගැබ්වෙලා තියෙන්නේ මෙතෙක් කල් මුකවාඩම් පැළඳගෙන උන්නු මගේ හැඟීම්… මීටත් වඩා හැඟීම් තිබ්බත් ඒවා වචනවලට පෙරලන්න අමාරුයි…. මේ ලිපියෙන් කිසිදු නිශ්චිත පුද්ගල්යෙකුට ප්‍රහාර එල්ලකරලා නෑ…. මේ ලිපිය අර්බුදය හා සාපේක්ෂව ගත්තම බොහෝම තනුක ලිපියක්…. අපිට රජය පෙරලන්නවත් රට විනාශකරන්නවත් උවම්නා නෑ…. නමුත් සමාජය කිසියම් දැනුවත් කිරීමකට ලක් කිරීමක් කල යුතුයි…. අවසානයේ කිව යුතුයි මේ දේ…..
” අපි සටන් කරන්නේ… අපේ අහිංසක හීන වෙනුවෙන්….. “
තිරසබැඳිය අකලට දියවෙන අහිංසක හීන – සරසවි සිසුවෙකුගේ දෑසින්….හි ප්‍රතිචාර වසා ඇත.
යෞවනයේ මේ සගයා… අපෙන් එකෙකි මේ මිනිසා…
මේ බක් මහේ මගේ නිවාඩු සමය අවසන්වන්නට ඇත්තේ තව දිනයයි… ඊට පස්සේ ආයෙමත් කාර්යබහුල ජීවිතයක ඇරඹුමක්…. බොහෝවිට බක් මහේ මා අතින් ලියවෙන අවසන් ලිපිය මේ වේවී… එවන් පසුබිමක් යටතේ මෙවැනි මානුෂීය, සැබැවින්ම සංවේදී වූ ලිපියක් ලියන්නට ලැබීම ඇත්තෙන්ම මා ලද භාග්‍යයක්… ඒවගේම මේ ලිපිය මා අතින් මෙතෙක් කල් රචනා වූ ලිපිවලට වඩා සැබවින්ම මගේ හිතට බොහෝමත්ම සමීපවූ ලිපියක් කියන දේත් මෙහිම සඳහන් කරන්නට කැමතියි… මේ ලිපියට දාලා තියෙන මාතෘකාව ඔබට මට අපි හැමෝටම හුරුපුරුදු වචන පෙළක්…. දන්නේ නෑ දැනටත් කීදෙන්කුට ඒ වචන පෙළ මතකද කියලත්… මතක අය දන්නවා ඇති මේ ලියන්න යන මාතෘකාව ගැන හොඳින්… ඒ නිසා වැඩි අටුවා ටීකා නැතිව මාතෘකාවට අදාළ ඒ සංවේදී කාරණා ගැන මට හැඟුනු දේ ගැන ඔබට කියන්නට මම සුදානම්…
Sri Lanka Saukyadana Movement (SLSM) – Special Task Unit සංවිධානය විසින් සංවිධානය කල පුණ්‍යකර්මයකට අහම්බයෙන් සම්බන්ධවන්නට ලැබුණා මටත් ගිටාර් වාදකයෙක් විදිහට මිතුරෙකුගේ හා මිතුරියකගේ මැදිහත්වීඑමක් ප්‍රයත්නයකින්…. ඒ දේ භාරගන්න ඉස්සෙල්ලම තරමක් අදි මදි කලටහ් කාර්යබහුල ජීවිතේ ඇතුලේ අවසානයේදී මට ඒ දේ භාරගන්න හිතුණා… එහෙම හිතුන එක කොතරම් හොඳද කියල හිතෙන්නේ දැන් තමයි… ඒ නිසා මුලින්ම අර ආරාධනාව කල මිතුරියටත්, මිතුරාටත් මගේ ප්‍රණාමය පුද කරන්න කැමතියි….නැත්නම් ඒක ලොකු අඩුවක් විදිහටයි මා දකින්නේ… දිනය 2012.04.20 වෙනිදා… උදේ 7.45 ට වගේ කොළඹ විශ්වවිද්‍යාලයේන් ගමන් ආරම්භකළ පුණ්‍යකර්මය සඳහා අවශ්‍ය කළමණාද රැගත් බස් රථයක නැග අපි රාගම බලා පිටත්වුණා…. බස් රථය ඉතින් රාගමට ළඟාවෙනකන් සංගීතයෙන් කවට කතාවලින් පිරී තිබුණ ආ කියන දේ අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ… සංගීත භාණ්ඩත් අතේ තියාගෙන නිහඬව යන්නේ නැහැනේ කවුරුවත්…. එහෙම වුණානම් ඒක ලෝක පුදුමයක්… ඉතින් ඒ ධර්මතාවය අපේ කට්ටියටත් පොදුයි… හැබැයි අපේ ගමනාන්තය කිට්ටුවෙනකොට මුළු බස් රථයම නිහඬ වුණා…. ඒකය හේතුවා මේ ලිපිය කියවගෙන යනකොට ඔබට තේරේවී…
අපේ ගමනාන්තය වුනේ රාගම පිහිටි “රණවිරු සෙවණ” භූමියයි… රමණීය පරිසරයක ඉදිකර ඇති අලංකාර ගොඩනැඟිලිවලින් සම්න්විතයි…. නමුත් ඒ ගොඩනැඟිලි තුල සිටින මිනිසුන්ට තියෙන්නේ එච්චර ලස්සන ජීවිතයක් නෙමෙයි…. ඒත් ඒ අය කල ඒ කැපකිරීම නිසා අපේ මිනිසුන්ට අද සැබෑ නිදහස් අත්විඳින්න හැකියාව ලැබිලා තියෙන්නේ…. එක අතකින් ලෝකෙත් ඇත්තටම අසාධාරණයි… හේතුව තමයි කෙනෙක් සතුටු වෙනකොට තවත් කෙනෙකුට දුකක් හිමිවෙලා… නමුත් ලෝක ධර්මතාවය මෙයයි… ඒකට මුහුණදෙන්න වෙනවා කැමත්තෙන් හෝ අකමැත්තෙන්…. අවශ්‍ය දේවල් හොඳින් සුදානම් කරගත්තාට පස්සේ අපි වාට්ටුවලට ගමන් කලා… සංවේදී, මානුෂීය එමෙන්ම ඇහට කඳුළු උනන කතාව ආරම්භවන්නේ එතැනින්…. අපි වාට්ටුවකට ඇතුළුවුණා…. එහි හිටියා අපිට වඩා ඔනිනම් අවුරුදු 3ක් 4ක් වැඩි තරුණයෝ පිරිසක්…. ඒත් ඔවුන් හා අපි අතර වෙනසක් තිබුණා… එතැන හිටපු සමහරුන්ට අත් පා අහිමි වෙලා තිබුනා… සමහරුන්ට ඇස් අහිමි වෙලා තිබුණා… තවත් සමහරුන්ට දෙපා අහිමි වෙලා තිබ්බා… සමහර අයට හිසට හානිවෙලා තිබුණා… සමහරුන්ට වාරු නැහැ…. සමහරුන්ට නැඟිටගන්නවත් පණ නැහැ කාගෙවත් වාරුවක් නැතිව… සමහරුන්ගේ හිසට ඇතිවුනු බරපතල හානි නිසා ඔවුන්ගේ හැසිරීම් රටාව පොඩි දරුවන්ට සමානයි…. මේ දේවල් මේ විනෝද වෙන්න ගිහින් ඇතිවුනු ඒවා නෙමෙයි…. ඒ තමා රට වෙනුවෙන් කල සැබෑ ජීවිත පරිත්‍යාග… වේදිකාවල බෙරිහන්දෙන කාඩ්බෝඩ් වීරයන් නෙමෙයි මේ තමා සැබෑ වීරයින්…. IPL ගිහින් මුදලට Cricket ගහන කොන්ඩේ පාටකරපු , තරුණ සවිබල ඇත්තන්ට අපි හුරේ දැම්මට මොකද ඒ හුරේ ලැබිය යුත්තේ මේ අයයි…. ඒ අතින් බලනකොට අපි මොනවද රට වෙනුවෙන් කරල තියෙන්නේ…. මේ කැපවීම් එක්ක බැලුවාම අපි රටට සාපේක්ෂව නිකන්ම නිකන් බොල් වී ගොඩක්… මට හිතුණේ එහෙමයි…. ඒ අහිංසක කෙළිලොල් ජීවිත කුරිරු යුද්ධය ඒ අයගෙන් උදුරාගෙන තිබ්බා….
යුද්ධයේ භයානක කම ඒ අයට සිද්ධවෙලා තියෙන දේවල් දැක්කාම හිතාගන්න පුලුවන්…. අද අපි හැමෝටම යුද්ධය ජයග්‍රහණය කලා කියලා පුරසාරම් දොඩන්න පුලුවන්… ඒත් ඒ සඳහා මේ මිනිසුන් කල උදාරතර කැපවීම ගැන කතාකරන්නේ කීයෙන් කීදෙනාද… අද මේ ජයග්‍රහණය එක් එක් පුද්ගලයා තමන්ගේ ගිණුම්වලට බැරකරගෙන වෙනත් වාසි ලබාගන්න හදනවා මිසක් මේ කැපවීම් ගැන කිසිම සඳහනක් කරන්නේ නැහැ…. දුක ඒකයි… සමහරුන්ගේ ඇස්, නිකට, ගෙල ප්‍රදේශවල වෙඩි උන්ඩවල සලකුනු තිබ්බා…. සමහරුන්ට දරුණු sniper ප්‍රහාර එල්ලවෙලා තිබ්බා… සමහරු ජීවිතයත් මරණයත් එක්ක සටන් කරලා ආයේ මේ ලොකේ හිරු එලිය දකින්න තරම වාසනාවන්ත වෙල තිබ්බා…. නමුත් ඒ ජීවිතවලින් කිසියම් දෙයක් උදුරාගන්නට මේ කුරිරු යුද්ධය දරුණුවෙලා තිබ්බා… සමහරුන්ට මුළු ජීවිත කාලය පුරාවටම ඇඳක් උඩ ඉන්නට තරම් ඒ දේවල් දරුණුවෙලා තිබ්බා…. සමහරුන්ට රෝද පුටුවකින් විතරයි එහේ මෙහේ යන්න පුළුවන්… ඇත්තටම හිතට බොහොම හැඟීමක් දනවන දර්ශනයක් ඒක… අපිව දැක්කාම එහි හිටපු ගොඩක් අය සතුටු වුණා…. ඒක ඒ අයගේ මුහුණෙන් අපිට පෙනුණා… ඉඩෝර සමයක වැටුන මල් වැහි පොඳක් දිහා බලන් ඉන්න තරමින් සතුටකින් අපි දිහා ඒ අය බලාසිටියා… ඇත්තටම ඒක නෙතට කඳුලු උනන දර්ශනයක්… මට හැඟුනේ එක දෙයයි…. ඒ තමා මේ ” මනුෂ්‍යත්වය” කියන එකයි….
අපි ඔවුන් සමඟ ගී ගයා විනෝද වුණා… නටන්නට දෙපයට වාරු නැත්තත් ඔවුන් ඒ මොහොතේ ගොඩක් විනෝදයෙන උන්නා… සමහරු අබාධත් එක්ක සොඳුරු රංගනයක යෙදුනා…. සමහරු බොහෝ ලස්සන ගී ගැයුවා…. සමහරු අපේ අත්වලින් අල්ලගෙන කතා කලා…. සමහරු ඇඬුවා…අපි ඔවුන් සමඟ ගී ගයා විනෝද වුණා… නටන්නට දෙපයට වාරු නැත්තත් ඔවුන් ඒ මොහොතේ ගොඩක් විනෝදයෙන උන්නා… සමහරු ආබාධත් එක්ක සොඳුරු රංගනයක යෙදුනා…. සමහරු බොහෝ ලස්සන ගී ගැයුවා…. සමහරු අපේ අත්වලින් අල්ලගෙන කතා කලා…. සමහරු ඇඬුවා… ඒ ගලාගියේ මොන හැඟීම්වලට අයත් කඳුලුද කියල විග්‍රහකරන්න තරම් මම දක්ෂ නෑ…. ඒත් මට හිතෙනවා ඒ කඳුළුවල සතුට, දුක, තනිකම, පාළුව, සන්තාපය කියන හැම මානුෂීය කාරණයක්ම මුසුවෙලා තිබුණා කියලා…. සමහරු නෙතින් හැඬුවේ නෑ…. නමුත් ඔවුන්ගේ දෑස් තුළින් මා දුටුවේ වැලපෙන සිතයි…. මේ කාරණේ කියන්න මට එවෙලේ ඉඳන්ම හිතුණා….
ඡන්දේ කාලේ වේදිකාවල හැම පක්ෂයකම මිනිස්සු කඹ ඇඳගන්නවා යුද ජයග්‍රහණයේ උරුමය ලබාගන්න… ඒකට නොගහන මඩක් නෑ…. නොගහන් දහන් ගැටයක් නෑ… නමුත් අපි මේ රණවිරු සෙවණේ හිටපු ඒ හෝරා කීපයේ කිසිම කෙනෙක් කිව්වේ නෑ ඔවුන් නිසා යුද්ධය ජයග්‍රහණය කලා කියලා… මට මේ උදාරතර මිනිස්සු ගැන දැනෙන්නේ පුදුම අභිමානයක්…. ඒත් එක්කම මට දැනෙනවා වේදිකාවල බෙරිහන් දෙන ඈයෝ ගැන පුදුම පිළිකුලක්…. ඇත්තටම හැම පක්ෂයටම අදාළ එවැනි කාඩ්බෝඩ් වීරයන් ළඟින් දැනෙන ඒ පිළිකුල් ගඳ මේ විරු මිනිසුන්ගේ තුවලා වලට ගල්වන බෙහෙත් වලට වඩා ගඳයි…. කොතරම් සුවඳ විලවුන් ගැල්වුවත් ඒ ගඳ යන්නේ නෑ…. ඒක තමයි ඇත්ත… යථාර්ථය….
මේ තරුණ ජීවිත සමහරවිට සටන් බිමට එන්න ඇත්තේ රස්සාවක් නැති කමින් දුප්පත් කමින් මිරිකුණු නිසා වෙන්න පුළුවන්… ඒත් එහෙමැයි කියලා මේ කල කැපකිරීම කාටවත් අවතක්සේරු කරන්න බැහැ…. ඒ සහොදරයන්ගේ අම්මලා තාත්තලාත් මේ අය පොඩි කාලේ පරිස්සමෙන් බලාගන්න ඇති අනිවාර්යෙන්ම පරිස්සමෙන්…. කිසිම අනතුරක් නොවෙන්න…. ඒත් මේ අය රට වෙනුවෙන් ඒ දේවල් නැතිකරගත්තා…ඒ ගැන ඒ අයට වැඩි දුකක් නැහැ… නැත්තෙමත් නැතුව ඇති…. ඒත් ඒ දුක පෙන්නන්නේ නෑ… ඒ අය ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙනවා…. මොකද ඒ අය ඒ දේ කළේ රට වෙනුවෙන් අවංක සිතින් නිසා…. ඒක තමා ඇත්ත… අපි ඇත්තටම ඔවුන් අහන්න ආස ගීත වාදනය කරන්න ගියේ… නමුත් ඒ වීර මිනිසුන් කිව්වෙ එක දෙයක්…. ” මල්ලිලා කැමති දෙයක් කියන්න මල්ලී… අපිව බලන්න ආපු එකම ලොකු දෙයක්ද???? මෙහෙම එනවනම් අපි ගොඩක් සතුටුයි….” ඇත්තටම නෙතට කඳුළු උනන කතාවක් ඒක…. කෙතරම් අහිංසක සතුටක්ද,ඉල්ලීමක්ද…. නිකමට හිතන්න ඒ අයගේ හිත කොතරම් තැලෙනවද කියලා යුද ජයග්‍රහණය එක් එක් ගිණුමට බැර කරගන්න හදන වෑයම දකිද්දී…. ඒ අය දිවිපරදුවට තියලා අත් පා නැති කරගෙන ලබාගත් මේ අභිමානවු ජයග්‍රහණය වෙන අය බලෙන් උදුරාගන්න එක මානුෂීයව අසාධාරණද… ඒත් මේ වීර මිනිසුන් ඒ දේත් ඉවසීමෙන් දරාගන්නවා…. ඇත්තටම කෙතරම් උදාරතර මනුෂ්‍ය කොට්ඨාශයක්ද….
අවසන් සටන සමයේ බොහෝ ගීත හැඳුණා සොල්දාදුවන් දිරිමත් කරන්න… මම හිතුවා අවංකවම යුද ජයග්‍රහණයෙන් පසුව ත්‍රිවධ හමුදාවට අවශ්‍ය කරන නිසි ගෞරවය, ආදරය හැම පාර්ශවයකින්ම ලැබේ කියලා…. නමුත් ඇත්තටම යුද් ජයග්‍රහණයෙන් පස්සේ ර්‍රටේ විකාශනය දිහා බැලුවාම පේන්නේ යුද ජයග්‍රහණය හුදෙක් ඡන්ද ගුණ්ඩුවක් කරගෙන කියලා විතරයි…. අඩුම ගාණේ යුද ගැටුමට හේතුවුණු කාරණාවලටවත් තාම් පිළියම් යොදලද කියලවත් සැක සහිතයි…. අර නිර්මාණය කල ගීත ගොන්න marketing අරමුණකට මිසක් හද පතුලෙන් නිර්මාණයවූ ඒවා නෙමෙයි කියලා දැන්මට හිතෙන්නේ… මොකද ඒ ගීත නිර්මාණය කල අයත් විවිධ වාසි සඳහා යුද ජයග්‍රහණය එක් එක් අයගේ ගිණුමට බැරකරන්න කඹ අදින නිසා….. අද අපි මේ රටේ පොලවේ පය ගහලා නිදහසේ හුස්ම ගන්නේ මේ විරෝදාර සෙබලුන්ගේ ලෙයට, කැපකිරීමට පින්සිද්ධවෙන්න… මේ පොලව රත් ලෙයින් පොඟවල තමා ඔවුන් ඒ නිදහස අපිට අරන් දුන්නේ…. නමුත් ඒ නිසා ඒ අයට තමන්ගේ සෞඛ්‍යමත් ජීවිතය, සිහින, බලාපොරොත්තු හැම දේම නැතිවුණා…. ඒ නිසා එක් අවිහිංසක ඉල්ලීමක් කරන්න කැමතියි ඔබ සැමගෙන්… අවුරුද්දකට වරක්වත් ඔවුන් බලන්නට යන්න…. තනියම බැරිනම් කණ්ඩායමක් විදිහට හරි…. ඒ අය ඔබ දකින්නට කැමතියි… ඒ අය ආසයි තාමත් අපි ඔවුන්ගෙන් දුරස්වෙලා නැහැ කියල දැනෙනවට… ඒ අය අපෙන් බලාපොරොත්තුවෙන්නේ එක දෙයයි… ඒ තමයි ” කවදාවත්ම අපිව තනිකරන්න එපා” කියන දේ… ඔව්, අපි කිසිම දවසක ඔබව තනිකරන්නේ නැහැ…. ඒ හින්දා යන්න ඔවුන්ව බලන්න…. ඒ අයට සැනසුමක් ගෙන දෙන්න…. මා ඔබට දෙයක් කියන්නම්… එසේ ගිය දවසක ඔබේ සිතට දැනෙන සැනසුම,තෘප්තිය ඔබට වෙන කිසිම දේකින් අත්පත්කරගන්න බැහැ…. මං මේ දේ කියන්නේ මගේ අත්දැකීමෙන්…. තව දෙයක්…
ලේ,දහඩිය ,කඳුළු වගුරලා නිදහස් කරගත්ත මේ රටේ සමහර උදවිය විවිධ ගැටුම්කාරී තත්ව වලට පාර කපාගෙන යන්න හදනවා දැන් පේනවා… දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ දේ සිද්ධවෙනවද මම දන්නේ නැහැ…. විශේෂයෙන්ම ආගම් අතර සහජීවනෙයේ විශාල බිඳවැටීමක් මේ කාලයේ දක්නට ලැබෙනවා…. ඒ හින්දාම මේ දේත් කියන්න හිතුණා…. ඒ රණවිරු සෙවනේ රට වෙනුවෙන් සටන් වැදිලා අබාධිත වුණු විරෝදාර මිනිස්සු අතරේ ඔය හැම ආගමකට, ජාතියකටම, කුලයකටම, වර්ගයකටම අය්ති අය හිටියා… ඒ අය සටන් වැදුණේ රට වෙනුවෙන් මිසක් තමන් අය්ති කුලේ, ජාතිය, ආගම සඳහා නෙමෙයිඋ… එහෙම හිතුවානම් අපි මැරුණු තැන්වල ගසුත් පැලවෙලා…. එහෙම නිදහස් කරගත්ත රටක අනවශ්‍ය හේතුවක් හින්දා ගැටුම් ඇතිවෙන්න ඕනෑ නෑ… විශෙෂයෙන්ම මිනිසුන්ගේ යහපත වෙනුවෙන් තියෙන ආගම් හින්දා ඇයි මේ ගැටලු හදාගන්නේ???? ඒක එක පැත්තකින් මේ විදිහට රට දැය වෙනුවෙන් උදාර කැපකිරීම් කල මිනිසුන්ට කරන අවමානයක්…. එහෙව් ප්‍රශ්නවලට පාර කපන මිනිසුන්ට මට කියන්න තියෙන්නේ… මව්බිමේ නාමයෙන් ඔය කරන රටට කරන විනය නවත්තන්න… මේක එක ආගමක නෙමෙයි හැම ආගමක ඉන්න මෙවැනි කොට්ඨාශවලට වලංගුයි…. නැත්නම් තවත් තරුණ ජීවිත ගණනාවක් මේ විදිහට දුක් විදිවී…. මොකද ඇත්තම කථාව තමයි ප්‍රශ්ණ ඇති කරන මිනිස්සු කවමදාවත් ඒ වගේ සටන්වලට එන්නේ නැහැ…. මුලදී ඉඳලා අන්තිමට shape එකේ මාරුවෙනවා…. අන්තිමට බැටකන්නේ අහිංසක මේවගේ තරුණ දුප්පත් කොට්ඨශ…. හදිසියෙවත් එහෙම දෙයක් වුනොත් ඒ ප්‍රශ්ණ ඇති කල අයට මට කියන්න තියෙන්නේ එක දෙයයි… “නුඹලාට වැහි නැති අකුණු වදිනවාම තමයි….” මේක ටිකක් රළු ප්‍රාර්ථනාවක් වුනත් මේ අහිංසක රණවිරු සගයින්ගෙ අභීත කැපකිරීම හමුවේ ඒක රළු ප්‍රාර්ථනාවක් නෙමෙයි…. රටට යහපතක්… ප්‍රශ්ණයක් තියෙනවනම් ඒක නීතියෙන් හරි, සුහද සාකච්ඡාවකින් හරි විසඳගමු… ඒකෙන් තමන්ට කිසිම අවමානයක් වෙන්නේ නෑ…. හරියට තමන්ගේ ආගම දහම අදහනවනම් ඒ විදිහටයි ප්‍රශ්ණ විසඳගන්නේ…. නැත්නම් ගහ මරාගෙන, ගරහගෙන නෙමෙයි…. එහෙම ප්‍රශ්න විසඳගන්නේ ආගමේ මතු ඔපේ දකින අය විතරයි…. එහෙම විසඳගන්නවනම් ප්‍රශ්ණ, අපියි තිරිසන් සත්වයොයි අතරේ කිසිම වෙනසක් නෑ….. ඒ හින්දා ප්‍රශ්නවලදී බුද්ධිමත්ව ක්‍රියාකරමු…. අඩුම ගාණේ මේ විරොදාර මිනිසුන්ට ඒ විදිහට හරි කළගුණ සලකමු….
රණවිරු සෙවනේ දරුණු ප්‍රහාරයකට ලක්වෙලා ශරීරය අඩපණ වුනු මැදි වයසේ හමුදා නිලධාරියෙක් හිටියා…. ඔහු අපි දිහා අමාරුවෙන් ඇස් කරකව කරකව බැලුවා….. ඔහුට හරිහැටි කතාකරගන්නත් අමාරුයි… ඔහු අමාරුවෙන් කිව්ව ක්ලැරන්ස් විජෙවර්ධනයනෙගේ සින්දු අහන්න අසයි කියලා… අපි ගීත 3ක් වගේ ඔහු ලඟ ගායනා කලා… ඒ හැම ගීතය්ක්ම ගායනාකරන කොට ඒ ඇස් වලින් කඳුලු ගැලුවා…. අපිත් ඇත්ත්ටම කඳුලු වලින් හිත ඇතුලෙන් හඬමින් උන්නේ… ඇත්තටම් මේ දර්ශන තම්න්ගේම ඇස් දෙකෙන්ම දැක්කානම් මේ රටේ මිනිස් සිතක් තියෙන කිසිම මිනිහෙක් යුද්ධයකට හේතුවෙන කිසිම දෙයක් රට ඇතුලට ගේන්නේ නෑ… මා ඔබෙන් කාරුණික් ඉල්ලීම්ක කරනවා…. අනේ ආයේ නම් යුද්ධයක් මේ රට ගේන්න නම් එපා…. අඩුම ගානේ ආගමික ගැටුමක්වත්… තරුණ ජීවිත දස දස් ගණනක් ලක්මෑණීයන්ට නැතිවෙයි…..මේක හරි මානුෂීය ඉල්ලීමක්…. එතැන උන්නා අවුරුදු 35 ක් වූ දෙපා පණ නැති ආබාධිත උදාරතර රණවිරු නිලධාරියෙක්…. බොහොම් සුහද ඒ වගේම මිත්‍රශීලී හමුදා නිලධාරියෙක්… එක වෙලාවක හිතුණා ඔහු අපේ කුළුපඟ මිත්‍රයෙක්ද කියලත්….. එතරම් සුහඳශීලී අහිංසක මනුස්සයෙක්…. නිලධාරියෙක් වූවත් ඔහු අපිව ආමනත්‍රණය කලේ ” මල්ලී, නංගී” කියලයි…. ඔහු පැවසූ දෙයක් කිසිදු සංස්කරණයකින් තොරව මෙහි සටහන් කරන්නට කැමතියි…. මේ දේ මා මැරෙනතුරාවට මට මතක තියෙයි… ” මල්ලි මට දැන් අවුරුදු 35 ක් වෙනවා…. මගේ කකුල් දෙක පණ නැහැ…. මට ආයේ නැගිටින්න බැහැ…. මගේ කාලේ දැන් ඉවරයි… ඉස්සරහට එන්නේ ඔයගොල්ලන්ගේ කාලේ…. ඔගොල්ලෝ තමා මෙ රට රැකගන්න ඕනෑ…. තව දෙයක් මල්ලී… ලද දෙයින් සැනසෙන්න…. ඊට වඩා දේවල් බලාපොරොත්තුවෙන්න එපා…” ඒ නිලධාරියා කිව්ව දේවල් ඇත්ත…. මේ අපි හැමෝගෙම රටයි…. කාටවත් ඒ වගකීමෙන් මිදෙන්න බැහැ…. අපි මේ රටේ හැම ගහ කොලකටම, මනුස්සයෙක්ටම, සතෙක්ටම ආදරේ කරන්න ඕනෑ…. කොටින්ම පස් පිඬක්, ගංගාවක්ම, ඇලක් දොලක්ම අපේ ආදරේට නතුවෙන්න ඕනෑ….. හැබැයි එහෙම රටේ අනවශ්‍ය ගැටළු හඳන්න අපිට අයිතියක් නෑ…. ජාතිවාදය, ආගමවාදය, මූලධර්මවාදය මේ හැමදේම පුස් උණ්ඩ වගේ… මේ හැම දේම අයින් කරල බැලුවාම අපි ඔක්කෝම ලෙයින් මසින් තැනුණු මිනිස්සු…. කවදහරි මැරුණාම පොළවට පස්වෙන මිනිස්සු…. එච්චරයි….. මේ රටට තවත් ගැටළු එපා…. එවායින් අපි බැට කෑවා හොඳටම ඇති…. මේ ප්‍රශ්ණ නිසා පොළවට බොහොම වටිනා ජීවිත පස් වුණා… මතක් තියාගන්න අපි අද කෑමට ගන්න ගහ කොල, ඵල හැමදේකම අඩුමගානේ ඒ උදාර සිරුරුවලින් නිපදවුනු පොහොර ටිකක් හරි තියෙනවා…. ඒ හින්දා එහෙව් දේව ආහාරයට ගනිමින් රට තුළ ප්‍රශ්ණ හදන්න කවුරුන්හරි උත්සහ ගන්නවනම් ඒ පුද්ගලයා රටට කිසිම ආඩහරයක් නැති නොමිනිස් ගතිගුණ හියෙන මනුෂ්‍යයෙක් විදිහට මා දකින්නේ…. එහෙම ප්‍රශ්ණ හදන්න උත්සහ කරනවනම් ඒ අය කරන්නේ මේ උදාර රණවිරුවන්ගේ ලේ, දහඩිය, කැපකිරීමට අවමානයක් වගේම නිග්‍රහයක්…. ආගමික, ජාතිවාදී, මූලාධර්මවාදී කිසිම ගැටලුවක් මේ රටට එපා…. තවත් ලේ ගංගා අපිට ඕනෑ නැහැ…. ලද දෙයින් සතුටු වෙමු…. තව තව දේවල් හඹායන්න ඕනැ නෑ… ආගමික සහජීවනය, ජාතික සහජීවනයයි දැන් මේ රටට ඕනෑ…. මේ රට බොහොම ලස්සන රටක්…. දේශගුනිකව ගත්තත්, භෞතික පරිසරය ගත්තත්, පරිසර අලංකාරය ගත්තත් අපි ගොඩක් පොහොසත්… ඒත් රටක් හැටියට අපිට ඉස්සරහට යන්න බැරිවෙලා තියෙන්නේ මේ ජාතිවදී, ආගම්වාදී, මූලදර්මවාදී, ගැතිවාදී මත නිඅසයි…. ඒ හින්දයි අපි තාම නිදහස ගත්තට පස්සේත් එදා හිටපු තැනම ඉන්නේ… මේ දේවල් නැතිකරගෙන ආකල්ප අතින් පොහොසත් වෙලා සහෝදරත්වයෙන් මේ ගමන යමු… හැමෝට්ම සම අයිතිවාසිකම් ලැබෙන සමාජයක් ගොඩනඟමු… අන් මතවලට,ආගම්වලට, සංස්කෘතිවලට ගරු කරමු…. අපට මේ අභීත රණවිරුවන් වෙනුවෙන් කල හැකි ලොකුම උත්තමාචාරය එකයි….. හෝරා කීපයක් මනුෂ්‍යත්වය සමඟ ගතකරලා අපි එතැනින් එන්න සුදානම් වුණා… බොහෝ දෙනෙක් අපිට අතවැනුවා… ඒ දෑස්වල දුකක සේයාවක් සටහන්වෙලා තිබ්බා… ගොඩ දෙනෙක්ගේ ඇස් වල ලියවෙලා තිබුනා ආයෙමත් එන්න කියන ආරාධනය… ඔව්, අපි ආයෙමත් ඒවී…. ඒක අපේ යුතුකමක්… රණවිරු දිනය එක් දිනෙකට සීමා විය යුතු නෑ… ඒ දේ අපි හැමෝගෙම හද පතුලේ හැමදාටම තියාගත යුතුයි… එතැනට යනකොට ගිය පුද්ගලයා නොවෙයි එතැනින් එලියට එනකොට මා තුල හිටියේ…. වෙනස්ම පුද්ගලයෙක්… ඇත්තටම මගේ හිතට දැනුණා පුදුම සැනසුමක්…. මං හිතන්නේ බොහෝ දෙනෙකුට ඒ සැනසීම දැනෙන්න ඇති…. මේ දේ ලියන්න මට හිතුනෙත් ඒ හින්දමයි…. මා දැන් දන්නවා “මනුෂ්‍යයෙක් සේ ඉපිද… මනුෂ්‍යයෙක් සේ ලොව හැර යාමේ” වටිනාකම… ඔබටත් ආරධනා කරනවා සුහදව එය විදගන්න ලෙසට…. මේ ලිපිය අවසන් කරන්නට මා යොදාගන්නේ රංජන් සාලිය ගායකයාණන් විසින් ගායනා කල අපූරු ගීතයක පද රචනාවක් එක්ක…. මුහුද දෙබෑකරන…. අහස පොළව සිඹින…. රටට සෙනෙහෙ පුදන…. ලෙයින් මසින් සැදුන…. සැබෑ පියෙකි…. දරු දහසකි…. මුළු රටේම…. ලේ නෑයකි…. අපෙන් එකෙකි…. සිය දහසකි…. ඒ දරුහට…. මව් දහසකි…. යෞවනයේ මේ සගයා…. අපෙන් එකෙකි මේ මිනිසා…. මේ මිනිසා…. රණවිරු සොයුරු සොහොයුරියනි,අපි ඔබට සැමදා ණයගැතිය…. අපේ උත්තමාචාරය!!!!
තිරසබැඳිය යෞවනයේ මේ සගයා… අපෙන් එකෙකි මේ මිනිසා…හි ප්‍රතිචාර වසා ඇත.