ඉතින් කොහමද….

ඔක්තෝබර් 10, 2011 at ප.ව. 5:06 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , , , , , , )

" මේ මිත්‍රයා මාව හැරයන්නේ නැතිවේවී කවමදාවත්.... "

එදා campus එකේ වැඩිය වැඩක් තිබ්බ දවසක් නෙමෙයි…. ඉර මුදුන් වෙන්න කලින් lectures අවසන්වුණා…. ඉතින් අද කලින් ගෙදර යන්න පුලුවන්…. මට හිතුණා…. Notes වල photocopyයකුත් ගහගෙන මං ගෙදර යන්න ආවා ප්‍රධාන ගේට්ටුව දිහාවට…. ඒත් අද මාත් එක්ක යන ගමන් සගයා නැහැ…. මිනිහට මොකද්ද වැඩක් කියලා මිනිහා ගියා නුගේගොඩ….. මං යන්න ඕනෑ කොස්වත්තට…. ඒ හින්දා මං එදා ගියේ තනිවම….

Campus එක ළඟ පාර oneway එකක්….. පාරත් හොඳයි….. ඉතින් වාහන එන්නේ පිඹගෙන පාර පුරාම….. කහ ඉර තියෙන්නෙ ගෙට්ටුවේ ඉඳන් 50m ක් විතර දුරින්…. සාමාන්‍යයෙන් ඉතින් අපි ඔය කහ ඉරෙන්ම පාර පනින්නේ නැහැ…. Signal light එකේ රතු වැටුණු ගමන් ටක්ගාලා පාර පැනගන්නවා ගේට්ටුව ඉස්සරහින්ම….

ඉතින් මමත් ගමන slow කරල ආවා ගේට්ටුව පහුකරලා පාර අද්දරට…. මං කලින් කිව්වා වගේම පාර පුරා වාහන යනවා…. කරුමෙට හරි ඉතින් පාරට වැටුනොත් පාංශුකූලේ දීල තමයි නතරවෙන්නේ…. අපේ අයටත් oneway,highway පේන්න බැහැනේ….. පාගනවා ලෑල්ලටම…. හැබැයි ඒක වැරැදි නෑ…. මොකද මං හිතනවා පෞද්ගලිකවම ඒවගේ පාරවල්වල ටිකක් හයියෙන් යන එක වැරැද්දක් නැහැ කියලා….. ගොඩක් වෙලාවට යන්න පුලුවන් පාරවල්වල ඉබි ගමනින් යන වාහන හින්දා තමයි traffic එක වැඩිවෙන්නේ…. නමුත් ඉතින් රි‍යැදුරන් වගකීමෙන් හා පරිස්සමෙන් වාහන එලවනවනම් ගොඩක් හොඳයි…. එහෙම එලවනවනම් මේ පාරවල්වල අනතුරු ගොඩක් වලක්වගන්න පුලුවන්…..

රතු එලිය වැටුනා…. මාත් ඉතින් පාර පැනගත්තා… හැබැයි ඒත් විමිසිලිවත්ව….. මොකද සමහර රියැදුරු මහත්වරුන්ට accelator එක  තියෙන්නෙ කොහෙද කියල මතක තිබ්බට break එක කොහෙද කියල මතක නැහැ…. එහෙම බහුතරයක් තමන්ගේ වාහනේ නතරකරගන්නේ එක්කො තව වාහනයක හප්පගෙන  නැත්නම් ගහක, තාප්පයක හප්පගෙන එහෙමත් නැතිනම් තව කාව හරි යටකරගෙන ගිහිල්ලා….!!!! ඉතින් මොකද අපි විහින් නැහෙන්නේ???? මාර්ග සංඥා තිබ්බට මොකෝ විමසිල්ලෙන් පාරේ යන එක කොයි එකටත් ගුණයි…..!!!!

” හ්ම්….. 138 නැඟලා glasshouse බහිනවද??? පයින්ම glasshouse යනවද???? නැත්නම් කොල්ලුපිටියටම walk එකක් දානවද???? ” මං මගේ හිතෙන් ප්‍රශ්නකලා…. අද හොඳට අව්ව තියෙනෙ එකේ, ඒවගෙම ගෙදර ගිහින් මහ වැඩක් ( practical report එකක් ලියන්න නැති නිසා )කරන්න නැති නිසාත්, ගමන් සගයා නැති නිසාත්, ඇඟට හොඳ ව්‍යායාමයකුත් ලැබෙන නිසා මං තීරණය කලා පයින්ම කොල්ලුපිටියට යන්න….. මොකද කොල්ලුපිටියෙන් 177 ට නැගගත්තොත් මට ගමනාන්තය වෙනකන් පහසුවෙන් ඉඳගෙන යන්න පුලුවන් දෙයියනෙගේ පිහිටෙන්….

ඔන්න මං පටන්ගත්තා මගේ සක්මන රහීමා එක පැත්තෙන් කොල්ලුපිටිය දිහාවට…. අද ගමන් සගයා නැති එකේ කවුරුත් නැහැ කදයක් දාන්නවත්…. කලින් වැඩ ඉවරවුණාට මොකද හෙන කම්මැලියි දවසම…. මං ඉතින් එනවා ගස්වල හෙවණ යටින්… හොඳ සුළං පොඳකුත් එනවා…. පරිසරය සෞම්‍යයි…. ඉරත් එච්චර සැරට නැහැ…. එකම අඩුපාඩුව කවුරුත් නැති එක දොඩව දොඩව යන්න…. ජීවිතෙත් ඉතින් හැමදේම එක පාර සම්පුර්ණ වෙන්නෙ නැති එකේ ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි කියලා මට හිතුණා…එහෙම හිතෙනකොටම මට ඇහුණා කටහඬක් මගේ වම් අත පැත්තෙන්…..

” Hello  මචං!!!!…. කොහමද???? ”

” අඩෝ!!! සෑහෙන කාලෙකින්…. හොඳයි මචං…. ඉතින් කොහමද උඹට???? ”

” උඹ සෑහෙන්න වෙනස්වෙලා…. සෑහෙන කලෙකින් කතා කලට මං නම් උඹව හැමදාම දකිනවා මචං ”

” මං  විතරක්ද????උඹත් සෑහෙන්න වෙනස්වෙලා…..  සිරාවට???? ඉතින් ඇයි බං උඹ මාත් එක්ක කතා නොකලේ… ඇවිල්ල කතාකරන්න එපැයේ මචං ”

” උඹත් එක්ක කතාකරන්න යන හැමවෙලවකම  උඹට මොකක් හරි වැඩක් වැටෙනවා මචං…. ඉතින් උඹට disturb කරන්න හොඳ නැති නිසා මං එකෙ කතා නොකර ඉන්නවා” මගේ මිතුරා මට සිනාසී කිව්වා…

” අනේ බං, මේ දවස්වල පුදුම විදිහට busy මචං…. ”

” ආහ්!!!! අවුලක් නැහැ මචං, මං ඒක දන්නවා ” නැවතත් ඔහු සිනාසුනා….

කාලෙකට පස්සේ ළඟම මිතුරෙක් හම්බවෙලා කුළුපඟ කතාබහක යෙදෙන්න ලැබෙන එක ගැන මං උද්දාමයට පත්වෙලා උන්නේ…. දැන් නම් ඉතින් කිසිම තනියක් නැහැ… මොකද මේ මිත්‍රයා දැන් මගේ ගමනාන්තය දක්වාම එන බව මං දන්නවා….

අපි ඔය කතාබහ අස්සේ රහීමා එක ගාවට ලංවුනා….

” මචං මොකෝ කියන්නේ???? මොනවහරි කාලා plain tea එකක් ගහල යමුද???? ” මං ඇහුවා…..

” එළ… යමං….” මිතුරත් එක පයින්…

දෙන්නම ගියා රහීමා හෝටලයට…. Counter එක කිට්ටුවෙන්ම තියෙන මේසෙක ඉඳගත්තා දෙන්නම….. මෙච්චර වෙලා මගේ වම් පැත්තෙන් ආපු මිත්‍රයා මගේ දකුණු අත පැත්තේ ඉඳගත්තා…. මෙතැනට මුළු හෝටලයම පේනවා…. එදා වැඩිය සෙනඟක් උන්නේ නෑ…..

” මොනවද මචං කන්නේ?”මං ඇහුවා….

” උඹ කැමති දෙයක් ගෙනෙන් මචං” වේටර් අය්යා ආවා එතැනට ඒ වෙලාවේ…..

” මොනවද ඕනෑ????”

” Shorteatsයි,ප්ලෙන්ටියි ගෙන්න ” මං කිව්වා…..

” Shapeනෙ මචං” මං වේටර් අය්යා ගියාට පස්සේ මිත්‍රයා දිහාවට හැරිලා ඇහුවා….

” ඕනි දෙයක් බං ” ඔහු ම්ට කිව්වා….

ඇණවුම අරන් එනකන් මගේ ඇස් එහෙ මෙහෙ යන්න පටන්ගත්තා හෝටලය පුරාම….. මිනිස්සු එක එක දේවල් ඇණවුම් කරලා ආහාර ගනිමින් ඉන්නවා….. සමහරක් අය ආහාරයට ගන්නේ තමන් කැමති දේ වෙන්න පුලුවන්…. සමහරක් අය ආහාරයට ගන්නේ තමන් කැමති දේ නොවෙන්න පුලුවන්….ඔය හැමදේටම පොදු සාධකය වෙන මුකුත් නෙමෙයි ආහාරයේ මිල….

ඇත්තටම සමහර මිනිස්සු ආහාර ගන්නේ කුස පුරවගන්න මිසක් ඒක රස විඳින්න නෙමෙයි…… ඒක තමා ඇත්ත කාරණේ….අපි පොඩි කාලයේ ඉගෙනගත්ත සෞඛ්‍ය පතපොතේ තිබ්බේ ආහාර ගන්නකොට රස විඳින්න ඕනෑ කියලා….. නමුත් මේ marketing ලෝකේ ඒවට ඉඩක් නෑ….

ඒ න්‍යායාත්මක කාරණා මේ ලෝකය තුල practical නෑ…. වතුර වීදුරුවකින් හරි කුස පුරවගෙන මිනිස්සුන්ට සිද්ධවෙලා තියෙනවා ජීවිතේ වෙනුවෙන් සටන් කරන්න….

” ජීවිත සටන “…. චාල්ස් ඩාවීන් පරිණාමවාදය ඉදිරිපත්කරන්න ඉස්සෙල්ලා මේවා දැක්කද මන්දා???? මොකද ඒ තරම්ම ඒ න්‍යායාත්මක කාරණා අපෙ ජීවතත් එක්ක බැඳිලා තියෙන නිසා…

සමහරවිට මේ අයට මේ සටනකරන්න වෙලා තියෙන්නේ තමන්ගේ ජීවිතෙ වෙනුවෙන් විතරක් නෙමෙයි…. සමහරවිට ඒ කීපදෙනෙක් වෙනුවෙන්…. ඒ හින්දා මිනිස්සුන්ට සිද්ධවෙලා තියෙනවා තමන්ගේ කැමැත්ත කැපකරන්න අන් අයගේ සතුට වෙනුවෙන්…. හොඳම උදාහරණය තමයි දෙමව්පියන්…. ඒ අය තමන්ගෙ ඕනෑ සතුටක් කැපකරන්න සුදානම් තමන්ගේ දරුවන් වෙනුවෙන්….

මං එතැන දැක්ක සිදුවීමක් මෙතැන සටහන්කරන්න කැමතියි….. එතැන හිටපු මහත්තයෙක් ප්ලේන්ටියකුයි, පරාටේ රොටියකුයි ඇණවුම් කලා…..වේටර් අය්යා ඇහුවා කරි ඕනෑද කියලා… “නැහැ මට ලුණු ටිකක් ගෙනැල්ල දෙන්න” කියලා ඒ මහත්මයා කීවා…. මාත් පුදුමෙන් බලාඋන්නා…. ඒ දිහා…. ඇත්තටම මට ඇතිවුණේ කුහුලක්…. සාමාන්‍යයෙන් මං අනික් අය කරන් දේවල් දිහා විපරමෙන් බලන් ඉන්නේ නැහැ…. ඒත් මේ පුද්ගලයා දිහා මං හොරෙන් බලා උන්නා…..

ප්ලේන්ටියයි, පරාටේ රොටියයි, ලුණු කුප්පියකුයි ඒ මහත්තයට ලැබුණා… ඉස්සෙල්ලම තේ උගුරක් බිවවා ඒ මහත්මයා…. ඊට පස්සෙ ලුණු කුප්පියෙන් ලුණු ඉහලා ඒ මහත්මයා පරාටේ එක කන්න ගත්තා!!!!!…. අපේ රටේ තරු පහේ හෝටල් වල දවසකට කොච්චර කෑම අපතේ දානවද…. ඒවගේම ඊට සාපෙක්ෂව කීදෙනෙක් මේ විදිහට තමන්ගේ වේල පිරිමහගන්නව ඇත්ද???

සමහරවිට මේ තාත්තෙක් වෙන්න පුලුවන්…. තමන්ගේ දරුවන්ගේ කුස පුරවන්න තියෙන වගකීමට ඒ මහත්තයට බඩ පිරෙන්න කැමතිදෙයක් කන්න බැරිව ඇති…. කරියක් ගත්තොත් එතැනට වියදමක් යනවා…. එතකොට දරුවන්ගේ අවශ්‍යතාවය සපුරන්න එයාට බැරිවෙනවා…ඒ හින්දා ඒ තාත්තා තමන්ගේ බඩගින්න දන්දෙනවා….. එහෙමත් නැත්නම් ඉවසනවා ඒ කැපකිරීමට….

සමහරවිට දරුවෝ දන්නෙත් නැතුව ඇති තාත්තා තම්න් වෙනුවෙන් කරන කැපකිරීම…. මොකද තාත්තා හවසට ගෙදර යන්නේ ඒ දරුවන් වෙනුවෙන් කන්නට යමක් අරගෙන…. දරුවන් ඒක භුක්ති විඳිනකොට ඒ තාත්තාගෙ මුහුණේ හසරැල්ලක් මතුවෙවී…. ඒ හසරැල්ලට පුලුවන් තමන් වින්ද දුක වසන්න…. ඇත්තටම බාහිරෙන් බලන කෙනෙක්ට ඒක පේන්නේ නෑ….. ඒක තමා ඇත්ත කාරණේ…
මටවත් නොදැනිම සුසුමක් පිටවුණා….

” මාත් දැක්කා මචං……” මගේ මිතුරා මට කිව්වා….

” ඔව් මචං…. සිරාවට මට දුකයි ඒ මනුස්සය ගැන… මගේ අතේ අද එච්චර ගාණක් නැහැ මචං… තිබ්බනම් කරියක් අරන් දෙනවා….”

” මචං උඹ මේ මනුස්සයට අද කරියක් අරන් දේවී…. ඒක හොඳයි….. ඇත්තටම හොඳයි…. ඒත් හෙට වෙන්නෙත් ඔය දේමයි….. මේ marketing ලෝකේ හැටි එහෙම තමයි මචං…. මේ වගේ කොච්චර අය මේ ලෝකේ ඇත්ද…..”

” ඒකනම් ඇත්ත මචං….” මම තවත් සුසුමකින් කිව්වා….

ඒත් එක්කම් අපේ ඇණවුම අපිට ලැබුණා….. හිතේ තිබ්බ කලබලයත්, මේ දැක්ක දෙයත් නිසා මට ඕනෑ වෙල තිබුණේ මෙතැනින් ඉක්මණට පිටවෙන්න…. ඒ හින්දා ඉක්මණින්ම කර්තව්‍ය අවසන්කලා… තරමක බිලකුත් වැටුණා…. Bill එකත් ගෙවලා වේටර් අය්යට tip එකකුත් තියලා අපි දෙන්න ඉකමණින්නම් එතැනින් පිටවුණා…

දැන් අපි දෙන්න ආයෙත් පාරේ… මගේ මිත්‍රයා මගේ වම් පැත්තෙන් ආයෙත් ගමන්කරනවා….

” ජීවිතේ මාරයි නේද මචං ” මගෙ මිත්‍රයා කතාව ආරම්භකලා…..

” ඒකනම් ඇත්ත මචං ”

” සමහරක්වෙලාවට අපි ඇස් දෙකෙන් දකින දේවල් ඇත්තටම ඇත්ත නෙමෙයි ”

” ඒ කිව්වේ???? ” මං පුදුමෙන් ඇහුවා….මොකද මට ඒ දේ හරියට වැටහුණේ නැහැ….

” මිනිස්සු එලිපිට හිනාවුනාට, සතුටුවුනාට සමහරවෙලාවට ඒ මිනිස්සුන්ගේ හිත අතුලේ තියෙන්නේ මහ දුකක්… ඇත්තම කිව්වොත් ඒ අය පිටින් හිනාවුනාට හිත ඇතුලෙන් සෑහෙන්න වැලපෙනවා ”

මං ආයේ කල්පනාවට වැටුනා මගේ මිත්‍රයා කී දෙය ගැන හිතන්න…. ඔව් ඇත්ත තමයි…. ඇත්තටම ඒකට ඕනෑ තරම් සාක්ෂි තියෙනවා සාමන්‍ය ලෝකයේ…

උදේට මිනිස්සු කොච්චර ප්‍රශ්න කන්දරාවක් තියන් රස්සවට යනව ඇත්ද???? ඒත් ඒවා රැකියාව කරන ස්ථානයට වලංගු නැහැ….. තමුන්ගේ හිත ඇතුලේ මොන විදියෙ ප්‍රශ්නයක් තිබ්බත් ඒක යටපත්කරගෙන මිනිස්සුන්ට වෙලා තියෙනවා හිනාවෙන්න….

මේ marketing ලෝකයේ හිනාව කියන්නේ හොඳ වෙළඳ භාණ්ඩයක්…. ඒත් කඳුලට market එකක් නැහැ…. ඒහින්දා අඬන්න ඕනෑ වුනත් ඒ මිනිස්සුන්ට සිද්ධවෙනවා ඒ කඳුලුවලට හිත අතුලේ වැලපෙන්න බලකරන්න….

ටෙලිනාට්‍යයකට, චිත්‍රපටියකට, වේදිකා නාට්‍යකට හෝ වීදි නාට්‍යයකට විතරක් හැඬුම සීමා කරන්න මිනිස් සමාජය ස්වයංවාරණයක් පනවගෙන….. ඒත් ඒ එතැනදී කඳුලට marketing value එකක් ලැබෙන නිසා…. සමහරක්විට මිනිස්සුන්ට කඳුලු හලන්න marketing ලෝකයේ අවසර නැති නිසා වෙන්න ඇති තමන්ගේ කඳුලු කියලා මේ රැඟුම්වල කඳුලු දිහා බලන් සැනසී ඉන්නේ…. හැබැයි යථාර්ථය තමයි ඒක යට තියෙන්නේ වෙළදාමක්….

බොහෝ ධන කුවේරයන් තමන්ගේ ජීවිතේ කොච්චර සල්ලි හම්බකලත් ජීවිතෙන් තෘප්තිමත් නෑ….. ඇත්තම කිව්වොත් ඒ අය තරම් හිත ඇතුලෙන් වැලපෙන මිනිස්සු ලෝකේ කොහෙවත් නැතිව ඇති…. ඒ අයට කඳුලු හෙලන්න බැහැ…. මොකද ඒ අවංකව හෙලන කඳුල වෙනත් කෙනෙක් තමන්ගේ මල්ල තරකරගන්න භාවිතාකරාවී…. එච්චරට මේ marketing ලෝකය කෲරයි…මේක ධන කුවේරයන්ට විතරක් නෙමෙයි සාමන්‍ය මිනිස්සුන්ටත් පොදුවූ කාරණයක්…. කෙනෙක් කඳුලු හෙලනකොට සමහරු මතු පිටින් දුක් වෙනවා පෙන්නුවට හිත ඇතුලෙන් හිනාවෙනවා සමච්චලයට…. කීයෙන් කීදෙනාද අවංකවම දුක්වෙන්නේ????…. ඒක තමා ඇත්ත….

අපි දැන් යන්නේ කොළඹ කාන්තා විදුහල අද්දරින්…. මට යමක් එකවිටම මතක්වුණා….

” මචං මතකද මධූව? ” මම ඇහුවා….

එකපාරටම මගේ මිතුරාගෙ ඉරියව් මුහුණේ වෙනස්වුනා…. ඇත්තටම මං පසුතැවුණා ඒ දේ අහපු එක ගැන…. එහින්දම මම කිව්වා…

” අඩෝ මචං…. මට නිකමට ඇහුනේ මධූ ගැන…. ”

ටිකවෙලාවකට පස්සෙ සුසුමක් හෙලපු මගෙ මිත්‍රයා හිනාවකින් මුහුණ සරසගත්තා…

” නැහැ මචං…. අවුලක් නැහැ…. ඇත්තටම මගේ ජීවිතෙ තිබ්බ සුන්දරම කාලයක් තමා මචං ඒක…. මං දැන් ඒ දේවල් හිතෙන් මකලදාලා තියෙන්නෙ සදහටම… ඉදල හිටල මධූ හම්බවෙනවා මට… ඒත් මං හිනාවෙලා යනවා මචං….”

” උඹට් පොඩ්ඩක්වත් දුක නැද්ද මධූ උඹෙන් වෙන්වුණ එක ගැන මචං??? අඩුම ගාණේ උඹව රවට්ටපු එක ගැන වෛරයක්වත් නැත්ද??? ” මං ඇහුවා….

මගේ මිතුරා නැවත සිනාසුනා….

” මචං, පෘථග්ජන මනුස්සයෙක් විදිහට මට දුකක් නැහැ කියන එක බොරුවක්…. නමුත් ඇත්තටම මට එක අතකින් සන්තෝසයි… මොකද එයා මට බොරුකලාට මං එයාට බොරු කලේ නැහැ…..මං අවංකවම එයාට ආදරයකලා… මගේ ආදරයට අවංකවුණා…. ඒ හින්දා ඒක මට සතුටක් මැරෙනතුරාවට…. ”

” අඩුම ගානේ වෛරයක්වත් නැත්ද මචං??? ” මං ඇහුවා ආයෙමත්…

“නැහැ මචං ඇත්තටම මට වෛරයක් නැහැ මධූ ගැන බං…. එක දවසක හරි ආදරේ කල කෙනාට වෛරකරන්න මට බැහැ මචං…. මං හැමදාම හිතුවේ එයාගේ සතුට ගැන…. එයා අද සතුටින්නම් මට ඒ ඇති මචං….. ඇත්තටම මධූ ඔය දේ කලින් කිව්වනම් මට එයාගෙන් ඈත්වෙන්න තිබ්බ ආදරේ නොකරම.. ඒ ගැනනම් මට පොඩි කණගාටුවක් තියෙනවා…. ”

” ඉතින් උඹට තිබ්බනේ මධූව නවත්තගන්න???”

” මොකටද මචං මං එහෙම කරන්නේ…. එයාට යන්න ඕනෑ හින්දා එයා ගියේ…. එහෙම කෙනෙක් නවත්තගන්න එක එයාට කරන වැරැද්දක් විතරක් නෙමෙයි මචං මං මටත් කරගන්න වැරැද්දක්…. එහෙම නවත්තගත්තත් ඒක වැඩි කාලයක තියෙන්නේ නැහැ…. එහෙම තිබ්බත් අපි කරන්නෙ එකිනෙකාට වංචාවක් මචං…. මට එහෙම ආදරේකින් වැඩක් නැහැ….. ඊට වඩා හොඳයි අපි මෙහෙම දුරස් වෙලා ඉන්න එක ”

මං ආයෙ කල්පනාවට වැටුනා…. ඇත්ත… තමන්ට අවංකවම ආදරේ නොකරන කෙනෙක් එක්ක ජීවත්වෙන එක ඇත්තටම අමාරු වැඩක්…. ගොඩක් අය මායාවක ගැලිලා අන්තිමට දුක් මතක සටහන් රැසක් තුරුළුකරගෙන ජීවිතෙ පුරාවට වන්දිගෙවනවා…. සමහරවිට ජීවිතෙන් වන්දි ගෙවනවා…. ඊට වඩා හොඳ අවබෝධයෙන් යුතුව වෙන්වෙන එක…..

” ඔව් උඹ හරි මචං” මගේ මිතුරාට මං කිව්වා….ඔහු නැවතත් සිනාසුණා…..

” උඹ කොහමද මචං ඇත්තටම ඔහම දෙයක් වෙලා තියෙද්දී හිනාවෙන්නේ???? උඹ කවදාවත් ඔය හිනාව නැතිකරගත්තෙ නැහැනේ ඔහම දෙයක් වෙලත්???? ” මං ආයේ ඇහුවා…. ඔහු නැවතත් සිනාසුණා….

” මචං මිනිහෙකුට පුලුවන් වෙන්න ඕනෑ ඕනෑම දෙයක් දරාගන්න…. නැත්නම් ඒ ජීවිතෙන් වැඩක් නැහැ…. ඇත්ත….යමක් සිදුවුනාම ඒක ඒවෙලාවෙම දරාගන්න අමාරුයි…. නමුත් හැමදාම ඒ මත්තෙම අඬ අඬ ඉන්න ඕනෑ නෑ…. ඒ දේ ජීවිතේට එකතුකරගෙන ඉස්සරහට යන එක තමා අපි කරන්න ඕනෑ…. ”

“හරි බං මට තේරෙනවා… ඒත් කොහමද ඔහම හිනාවෙන්නේ??? ” මං ආයෙත් ඇහුවා….

මගේ මිත්‍රයා බොහොම සන්සුන්ව කතාකලා…

” මචං මිනිහෙකුට කඳුලු මතින් හිනාවෙල ජීවිතේ ජයගන්න පුලුවන්නම් ඒක තමා මචං මනුස්සයෙකුගේ තියෙන වටිනාකම… එහෙම ජය අරන් පරාජිත අතීතයට හිනාවෙන්න පුලුවන් නම් ඒ තරම් ජයග්‍රහණයක් ජීවිතේ නැහැ තවත්….මං ගෙවුණු අතීතයෙන් පාඩම් ඉගෙනගත්තා… අතීතයෙන් කියන්නේ පොඩිකාලේ ඉඳන්ම….. ඒ දේවල් මං ගැම්මක් කරගත්තා…. මං මාව මටම අභියෝගයක් කරගත්තා… අද මං මගේ අතීතයට හිනාවෙනවා මචං… මොකද අද මං යම් තැනකට ඇවිල්ලා ඉන්නවා මචං… මං දන්නවා මගේ ගමන තව දුරයි කියලා…. මං ඒ ගමන යනවා මචං මට පුලුවන් විදිහට…. ”

මං ආයේ කල්පනාවට වැටුණා…. ඇත්ත… මෙහෙම කෙනෙකුට හිතන්න පුලුවන්නම් කොච්චර හොඳද???? එතෙකොට තමන්ගේ ගමන යන්න පුලුවන් ඉදිරියටම.. මට හිතුණා…

ලෝකේ ඉන්න බහුතරයක් දෙනා තමන්ගේ ජීවිතේ බහුවරණ ප්‍රශ්න පත්‍රයක් කරගන්නවා…. ඉතින් ඒ අය හිතන්නේ ජීවිතේ තියෙන ප්‍රශ්නවලට එක විසඳුමයි තියෙන්නේ කියලා… ඒ මත්තෙම නැහෙන්න යනවා…. බැරිවෙලාවත් වැරදි පිලිතුරක් යටින් ඉරක් ගැහුණොත් ජීවිතකාලය පුරාවටම විඳවනවා…. සමහරක්විට ජීවිතෙනුත් වන්දි ගෙවනවා….

ඇත්තටම ජීවිතේ එහෙම නැහැ… ඒකේ එක ප්‍රශ්නයකට තියෙන්නේ එක විසඳුමක් නෙමෙයි…. මං හිතන්නේ ජීවිතේ රචනා ප්‍රශ්න පත්‍රයක් කරගත්තොත් හොඳයි කියලා…. මොකද එක point එකක් වැරදුණත් අනික් points වලට ලකුණු ලැබෙන නිසා…. අපි හැමෝටම ජීවිතෙ වතාවක් දෙවතාවක් වරදින්න පුලුවන්…. නමුත් එහෙම වැරැදුණා කියලා ඒ මත්හේම නැහිලා ඉන්න ඕනෑ නෑ….. එතැනින් පාඩමක් ඉගෙනගෙන ඉදිරි ජීවිතේ සාර්ථක කරගැනීමයි වැදගත්….

ඒවගේම යම් කාරණයක් සම්බන්ධයෙන් එකපාරක් උත්සහ කරලා වැරදුනාට පස්සේ…. ඒ කාරණය නැවත උරගා බලන්න බියවෙන්න ඕනෑ නෑ…. පැකිලෙන්න ඕනෑ නෑ….. මොකද එහෙම බියවීමෙන් තමන් තමන්ට කරගන්නේ වැරැද්දක්…. මෙතැනදී තමන්ට ඉස්සෙල්ලා වැරදුනේ කොතැනද ඒ දේ නැවත නොවෙන්නට වග බලා ගැනීම තමා වැදගත්…. ඒ වැරැද්ද තමන් යලි යලිත් කරනවනම් ඒකෙන් අදහස් වෙන්නේ තමුන් කිසිම පාඩමක් කලින් සිදුවීමෙන් ඉගෙනගෙන නැති විත්තියයි….

මේ දේවල් කල්පනා කර කර ආපු මමයි, මගේ මිත්‍රයයි Liberty Plaza එක ගාවෙන් පාර පැනලා 177 bus halt එකට ආවා….. 177 බස් එකක් නවත්තල තිබ්බා halt එකේ….

” මචං මං මේකෙන් ගෙදර යනවා…. උඹ මොකද කරන්නේ???…. ”

” එහෙම යන්න දෙන්න පුළුවන්ද???? හිටපන් මාත් එනවා උඹත් එක්ක සදහටම”

මගේ ම්ත්‍රයා මට කිව්වා…..”

ඔව්!!! ඇත්ත!!! මගේ ජීවිතේ මට ගොඩක් අය හම්බවේවී…. ගොඩක් අය මගෙන් දුරස්වේවී…. සමහරු සදහටම වෙන්වේවී…. සමහරු කවමදාවත් හමුනොවේවී…

නමුත් මේ මිත්‍රයා මාව හැරයන්නේ නැතිවේවී කවමදාවත්…. මා මියැදුණ දිනෙක මාත් එක්කම ඔහුත් සැතපේවී සදහටම…..

මොකද ඒ මිත්‍රයා වෙන කවුරුත් නෙමෙයි….

ඒ මගේම හෙවනැල්ල නිසා….

තිරසබැඳිය ප්‍රතිචාරයක් ලබාදෙන්න

මිතුරෙකුගේ දෙණ…. උර තබා ගිය ගමනක්….

ඔක්තෝබර් 5, 2011 at ප.ව. 3:44 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , , , , , , )

"මනුෂ්‍යයෙකු ලෙස ඉපදී... මනුෂ්‍යයෙකු ලෙස ලොව හැරගිය... සදා අමරණීය සහෘදයා..."

ඉකුත් සැප්තැම්බර් 28, වෙනිදා ඉර අවරට යන සැඳෑයාමයක උතුරු සියඹලාපේ ප්‍රදේශයට මහ ජන ගඟක් ඇදිලා හිටියා…. ඒ දන්සැලක්වත්, දේශපාලන රැස්වීමක්වත් හින්දා නෙමෙයි…. ” මනුෂ්‍යයෙකු විදිහට ඉපදිලා…. මනුෂ්‍යයෙක් විදිහට මෙලොව හැරගිය…. ආදරණීය සහෘදයෙකුට…. “ සදහට සමුදෙන්න….

එදා බටහිර අහසේ බැසගිය හිරුට වඩා එළියදුන්න විරල ඝණයේ ගතිගුණ අතින් හෙබි මනුෂ්‍යයෙක්, අප අතරින් සදහටම නික්මුණා කියලා මට හිතුණේ….

ආගමික වත් පිළිවෙත් හා පාංශු කූලය දීමෙන් පස්සේ  බොහෝ ගුණ කතාවන් ගණනාවක් පැවත්වුණා….. සමහරක් ගුණ කතා බොහොම ආවේගාත්මක වුණා.හැඟුම්බර වුණා…. මං මගේ ජීවිත කාලය පුරාම ඕනෑ තරම් ගුණ කතා අහල ඇති…. නමුත් මේ විදිහට හද පත්ලෙන්ම කරපු ගුණ කතාවන්නම් මං අහල තිබුණේ නැහැ ජීවිතේට….

කතාකරපු බොහෝ කථිකයන්ගේ ඇස් කඳුලෙන් පිරී තිබුණා…. ඒවා කිඹුල් කඳුළු නෙමෙයි…. පපුවේ මස් ලේ ඇට නහර විඳගෙන නැඟුණු කඳුලු…. සාමන්‍යයෙන් අපි ඇහින් කඳුලක් හෙලුවත් ඒක කියන්න ලැජ්ජයි…. නමුත් මගේ දෑසට එදානම් කඳුලක් නැඟුණු විත්තිය මං අවංකව පිළිගන්නවා…. මං දන්නවා එදා ඒ මොහොතට සහභාගීවුණු හැමදෙනෙක්ම ඒ දේ අවංකව අත් උස්සලා පිළිගනීවී කියලා….

අවසානයේ සියලුම අවමංගල්‍ය චාරිත්‍රවලින් පස්සේ හැමෝගෙම සෝ සුසුම් මැද  අපේසදාදරණීය සගයා තමන් මිහිමත කරන අවසාන ගමනට සැරසුණා….  ඔහු තමන් මේ ලෝකෙට බිහිකල අම්මට තාත්තාට නිහඬ සිතින් නමස්කාර කරන්න ඇති… අක්කට හා අයියාට සමුදෙන්න ඇති…. නෑ හිතමිතුරන්ට සමුදෙන්න ඇති…. ඒ විතරක් නෙමෙයි මං දන්නවා ඔහු තමන්ට මෙච්චරකල් සෙවන දුන්නු නිවසටත් ආචරකරන්න ඇති….

අනිවාර්‍රයෙන්ම ඔහු ඒවා කරන්න ඇති.… මොකද ඔහුගේ ප්‍රාණය ගත තිබුණු කාලේ  ඔහු ඒවා තම යුතුකම් ලෙස කිසිදා පැහැර හැරියේ නැති නිසා….

අපි හැමෝම ජීවිතයේ අවසන් නවාතැන්පොලකට යනවා…. ඒ ගමනට අපේ මිත්‍රයා සැරසුණා…. අවමංගල්‍ය රථයක් ගෙනල්ලා තිබ්බ ඒ ගමනට... නමුත් අපි කලින්ම තීරණයකලා අපේසහෘදයා රැගෙන යන්නෙ අපේ කරමතින් කියලා…. මොකද ඔහු අපිට කවදාවත්ම බරක් නොවන නිසා…. කවදාවත්ම….

ඔහුගේ අලුත් නවාතැනට 2 1/2 km ක දුරක් තිබුණා නිවසේ ඉඳන්…. ඒක අපිට ගැටලුවක් වුනේ නැහැ…. අපිට ගැටළුව වුණේ කොහමද අපි ඒ අලුත් නවාතැනේ ඔහුව තනිකරලා එන්නේ කියන එකයි….

ගෙදරින් වමට හැරෙන උඩ කන්දෙදි තමයි මං ඉස්සෙලාම මගේ උරය මගෙ සහෘදයාගේ ගමන වෙනුවෙන් ආධාර කලේ… මං හිතන්නේ ඒක තමා මං ඔහු වෙනුවෙන් කල එකම උපකාරය මේ ලෝකයේදී….

ඔහු ජීවතුන් අතර සිටිනවිට ඔහුට උපකාරයක් කරන්න නොහැකිවුනු මට…. එදා ඒක කරන්න ලැබුණු එක දෛවයේ සරදමක්…. මං හිතන්නේ ගොඩක් අයට ඒ හැඟීම එන්න ඇති…

ඔහු අපි වෙනුවෙන් සෑහෙන දේවල් කලා…. ඒවා කලේ පරාර්ථකාමීවයි…. අපෙන් ඔහු කිසිම ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තුවුණේ නැහැ කිසිවිටෙකවත් ඒවා කරද්දී…. විරල ගතිගුණ තිබ්බ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක්….  මට ඔහුගේ ගුණ ලඝු කරන්න පුළුවන් ඒවිදිහටයි….

එවෙලේ මගේ ඔළුවට ආවා සෑහෙන්න දේවල්…. ඇත්තටම අදටත් මං අසරණයි ඒ ආ අදහස් වල පැටළුම් ලිහාගන්ට බැරිව.

මං අහල තියෙනවා අමරණීය මිනිස්සුන්ගේ ප්‍රාණය නිරුද්ධ වුනත් ආත්මයන් සදාකාලිකව අප අතර රැඳෙනවා කියලා…. මං නිකමට ඔහුව ආමන්ත්‍රණය කලා සිතින්.

” මචං”

ගතවුණේ සුළු මොහොතයි…. ප්‍රතිඋත්තරයක් ලැබුණා!!!!..

“ඔව් මචං”

මගේ හිතට සතුටක් දැනුණා…. ඇත්ත, ඔහු අමරණීය මනුස්සයෙක්…. ඔහු ගතින් අපෙන් මිදී ගියත් ඔහුගේ මතකය, ඔහුගේ ආත්මය අපි මැරෙනතුරවාට අපිත් එක්ක රැඳෙන බව දැන් මට සක්සුදක් සේ පැහැදිලියි….

ඒත් ඒ සමඟම තවත් සහෝදරයෙක් මගෙන් දේහයට උර තබන්න අවසර ඉල්ලා සිටියා… ඉතින් මම ඔහුට ඉඩ ලබාදුන්නා…. මා ඉදිරියට යන අතරේ වටපිට බැලුවා…. දකින දකින පැත්තෙ උන්නේ මහ ජන ගඟක්…. පුදුම සෙනඟක්…. සමහර අය නිවෙස්වල වත්තට ඇවිදින් තමන්ගේ අවසන් බුහුමන මේ අමරණීය මිනිසාට දක්වනවා…. අපේකණිෂ්ඨ ශිෂ්‍ය නායකයන් යුහුසුළුව පාවඩ එලමින් ඉදිරියට ගමන්කරනවා…. ඔහුගේ දෙණට නිරතුරුව පොරි වැටෙනවා….

හැම සහෝදරයෙකුටම ඕනෑවුණා ඔහුගේ ගමනට ආධාර කරන්න…. ඒනිසා මට යලි අවස්ථාවක් ලැබුනේ සෑහෙන්න දුරක් ගියාට පස්සේ…. ආයෙ මගේ වම් උරය මත ඔහුගේ දෙණ තැන්පත්වුණා….

” මචං උඹට දුක නැද්ද මෙහෙම අපිව දාල  යන්න???? “ මං ඇහුවා ඔහුගේ ආත්මයෙන්…

” දුකයි මචං…. ඒත් එක අතකින් මට සන්තෝසයි…. “

” ඇයි ඒ???? ”

” උඹලා ඔක්කොම එකතුවෙලා ඉන්නවා ඒකයි “ ඔහුගෙ ආත්මය ලෙන්ගතු හිනාවෙන් කිව්වා….

” ඒත් උඹ නැහැනේ???? “

” නෑ මචං මං උඹලත් එක්ක ඉන්නවා හැමදාටම “

ආයෙත් මට තවත් සහෝදරයෙකුට මගේ තැන දෙන්න සිදුවුණා….

දැන් මගේ ඔළුවේ උභතෝකෝටික ගැටලුවක්…. අපේ සදදාරණීය මිත්‍රයා අද සදහටම දැයින් සමුගන්නවා…. ඒත් ඔහුගේ ආත්මය කියන්නේ සදහට අපිත් එක්ක රැඳෙනවා කියලා???…. මේ ප්‍රශ්නය මගේ ඔළුවේ තියාගෙන මං ආයේ අවස්ථාවක් ලැබෙනකම් හිටියා….

යන අතරමඟ පන්සලක් හමුවුණා.… මට නිතැතින්ම සිහිවුණා බුදු බණේ තියෙන ජීවිතේ අනිත්‍යබව…. ඇත්තටම ඒ දේ හරියටම අවබෝධකරගන්නනම් තමන්ට කිට්ටුවෙන් ඉන්න කවුරුහරි තමන්ගෙන් දුරස්වෙන්න ඕනෑ සදහටම….

මට ආයේ අවස්ථාවක් ලැබුණා.…. දැන් අපි ගමන් කරන්නේ කන්දක් පහලට.… ඒ කන්ද බැස්සාම හම්බවෙන්නේ වෙලක්…. ඒ වෙල මැදින් ඇදෙන පාරේ ටික දුරක් ගියාම අපේ මිත්‍රයාගේ අලුත් නවාතැන්පොල හම්බවෙන්නේ…. එතැනට ළංවෙන්න ළංවෙන්න අපේ හිත ඇතුලේ ශෝකය වැඩිවෙනවා….

හිතේ තියෙන ආවේගයටයි, ශෝකයටයි, කණගාටුවටයි මම කතානොකර උන්නා…. ඒත් වැඩිවෙලාවක් ගියේ නෑ…. මගේ මිත්‍රයාගේ ආත්මය කතාකරන්න පටන්ගත්තා.

” මචං මං දන්නවා උඹල මං මෙහෙම යනවට කොහෙත්ම කැමති නෑ කියලා…. ඒත් මේක තමා ජීවිතේ…. කවුරුවත්ම දන්නේ නෑ කොයිවෙලාවේ තමන්ට ජීවිතේ අතහැරලා යන්න වෙයිද කියලා…. “

” උඹේ වෙන්වීම අපිට දරාගන්න අමරුයි මචං “ මම කිව්වා….

” මං දන්නවා මචං…. මං උඹල ළඟ හැමදාම ඉන්නවා ගතින් උඹල ළඟ නොහිටියත්… “

” ඒ කියන්නේ???? “ මං ඇහුවා…..

” මගේ ජීවිතේ ගැන උඹ පස්සෙ වෙලාවක කල්පනා කරල බලපන්…. එතකොට උඹට තේරේවී මචං… අනිවාර්යෙන්ම උඹට තේරේවී මචං….”

මං ආයේ කල්පනාවට වැටුණා… මේ විදිහට අපි තව 100m ක් විතර ගියා…..

” මචං මට දැන් යන්න වෙනවා…. අයෙමත් මං කියන්නේ හැමදාම උඹලත් එක්ක මං ඉන්නවා…. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා…. මචං එහෙනම් මං යනවා…. උඹලට බුදුසරණයි… අපි පස්සෙ හමුවෙමු…. “

” උඹටත් බුදුසරණයි මචං…. ඔව් අපි පස්සෙ හමුවෙමු” මං හැමෝම වෙනුවෙන් කිව්වා….

ඊට පස්සෙ මගේ උරයෙන්, ඔහුගේ දෙණ අවසන් පියවර කිහිපය වෙනුවෙන් වෙනත් කෙනෙකුට භාරකලා….  ඉන් මිනිත්තු කීපයකට පස්සෙ ඔහුගේ දෙණ හෙමින් ඔහු වෙනුවෙන් ඉදිකල නවාතැනේ හෙමින් තැන්පත්වුණා….

” උඹ හොඳට නිදාගනින් මචං… අපි පස්සෙ හමුවෙමු “ කියලා මං හිත ඇතුලේ ශෝකයයි, ආවේගයයි තෙරපගෙන මගේ තවත් මිත්‍ර‍යෝ කීපදෙනෙක් එක්ක ආපසු ඔහුගේ නිවසට එන්න පිටත්වුණා….

මං එන දිගටම කල්පනා කලේ අපි අතර ඇතිවෙච්චි සංවාදය ගැනයි…. මං ඔහුගේ ගෙවුනු අවුරුදු 23 ක කෙටි ජීවිතය ගැන ආපසු හැරී බැලීමක් කලා…. ඒත් මට කිසි දෙයක් වැටහුණේ නැහැ…. නමුත් ඔහුගේ නිවස තිබ්බ අතුරු මාර්ගයට හැරෙනවත් එක්කම මට බොහෝ දේවල් අවබෝධවෙන්න පටන් ගත්තා….

මං දැනගත්තා කොහමද ඔහු සදහටම රැඳෙන්නේ කියලා…. ඒ වෙන කිසිම දෙයක් නෙමෙයි… ඒ තමා අපි සතු මනුෂ්‍යත්වය.… ඒකට උදාහරණ ඕනෑතරම් ඔහුගේ ජීවිතයේ තිබුණා….

අපේ ආදරණීය මිත්‍රයා කිසිම දවසක තමන්ට තානාන්තර, සම්මාන, නම්බුනාම ලැබෙද්දී ඔළුව ඉදුමුවා ගත්තේ නෑ…. ඒ වෙනුවට ඔහු තව තව නිහතමානීවුණා… කිසිම දවසක මුහුණෙන් ලෙන්ගතු හිනාව හැංඟුවේ නැහැ… ඒ හිනාව සරදම් හිනාවක් කරගත්තේ නැහැ….තව තවත් මිත්‍රයන්ට සමීපවුණා….

ඔහු භෞතිකව කිසිදෙයක් උපයාගත්තේ නැහැ…. ඔහු උපයාගත්තේ මිනිස්සුන්ව…. ඔහුගේ අවසන් කටයුතුවලට සහභාගී වුනු මහ ජන ගඟෙන් ඒක හොඳින් ඔප්පුවුණා…. අවුරුදු 23 ක ජීවිතය ඇතුලේ ඔහු සෑහෙන්න මිනිස්සු ප්‍රමාණයක් ඇසුරු කරල තිබ්බා…. නමුත් විශේෂත්වය ඒක නෙමෙයි… ඔහු හැමෝටම එකම විදිහට සලකල තිබ්බා…. කතාවට කිව්වොත් හැමෝටම එකම හැන්ඳෙන් බෙදලා තිබ්බා…. ඒ හැන්ඳ වෙන මොකක්වත් නෙමෙයි…. ඒ තමා මනුෂ්‍යත්වය….

පරාර්ථකාමීත්වය ඔහු සතුව තිබ්බ තව උසස් ලක්ෂණයක්…. තමන්ගේ ලේ පවා දන්දුන්නා අනික් මිනිස්සුන්ගේ ජීවිත බේරාගන්න… හැකි පමණින් දන්දුන්නා…. ඔහු මිනිස්සුන්ට ආදරය කලා…. මෛත්‍රී කලා…. දයාව කරුණාව දැක්වුවා…

ඔහුට ආගම් ජාති බේද තිබුණේ නැහැ… කුලමල… දුප්පත් පෝසත්කම් වගේ බේද ඔහුගේ ජීවිතයේ ගෑවිලාවත් තිබුණේ නැහැ… ඔහු හැම කුලකයටම අයත් මිනිස්සු ආශ්‍රයකලා…. ඔහුට මිනිස්සු කියන්නේ සාර්වත්‍ර කුලකයක්වු ණා…. ඔහු ඒ කුලකය තුල උපකුලක තනන්න ගියෙ නැහැ…. වඩා වැදගත්දේ තමයි ඔහුට හැම මනුස්සයෙක් එක්කම කතාකරන්න දෙයක් තිබ්බා….

ඔහු මනුෂ්‍යත්වය වෙනුවෙන්ම ඉපදුණු කෙනෙක්…. ඔහුගේ ඉක්මණ් නික්ම යෑම අහලා දුක්වුනේ ඔහුව දන්න අය විතරක් නෙමෙයි.… ඔහුව ජීවිතෙට දැකලා නැති ආශ්‍රය කරල නැති උදවිය පවා දුක්වුණා… එහෙම වෙන්නේ ඔහු නියම මනුෂ්‍යයෙක් විදිහට ජීවිත කාලය ගතකරපු නිසයි….

සොබාදහම කාලයෙන් කාලයට විවධ වේශයෙන් එක් එක් පණිවිඩ එවනවා…. සමහරවිට ඒක ආපදාවක්වෙන්න පුලුවන්…. සමහරවිට ඒ මනුෂ්‍යයෙක් වෙන්න පුලුවන්…. ඒ එනකෙනා අතේ සොබාදහම පණිවිඩියක් එවනවා…. ඒ පුද්ගලයා තමන්ගේ කාර්යභාරය ඉවරකලාට පස්සේ සොබාදහම ඒ ජීවිතය ආපසු ගන්න්වා… මට හිතෙන්නේ අපේ ආදරණීය මිත්‍රයා එහෙම විශේෂ පණිවිඩකරුවෙක්…. ඔහු ගෙනා පණිවිඩිය තමා මනුෂ්‍යත්වය…. ඔහු අවුරුදු 23 ක් ජීවිත කාලය පුරාවට ඒ කාර්යභාරය ඉටුකලා පැහැර නොහැර…

සමහරවිට ඔහුගේ කාර්යභාරය කලින්ම ඉටුවෙන්න ඇති…. ඒහින්දා සොබාදම ඔහුගේ ජීවිතය ආපහුගන්න ඇති…. හැබැයි දුක්වෙන්න කාරණයක් නැහැ…. ඔහුගේ ඒ කාර්යභාරයට කලගුණ සලකලා ඔහුට ජීවිතය හොඳින් විඳින්න පුලුවන් ආත්මයක් සොබාදහම අනිවාර්යෙන්ම දෙවී…. අපිට කරන්න තියෙන්නේ ඒ සඳහා අවශ්‍යකරන පින් ටික ලබදෙන්න…. මං දන්නවා ඒ වෙනුවෙන් අපේ අය තම යුතුකම ඉටුකරන බව……..

අපිට තව දෙයක් ඔහු වෙනුවෙන් කරන්න පුලුවන්…. ඒ තමා ඔහුගෙ මනුෂ්‍යත්වයෙන් බිඳක් අපේ ජීවිතයට එක්කරගැනීම…. මං හිතන විදිහට ඒක තමා අපි ඔහුට කරන ලොකුම උපහාරය…. අපිට කවදාවත්ම ඔහු වෙන්න බැහැ… අපේ ආදරණීය මිත්‍රයා මනුෂ්‍යත්වය සම්බන්ධයෙන් විශ්වකෝෂයක්…. ඒ මනුෂ්‍යත්වය කිසිම පත පොතකින් අපිට ලබාගන්න බැහැ…. අපිට ඒ දේ ලබාගන්න පුලුවන් ඔහුගේ ජීවිතය අධ්‍යයනය කරලයි…. ඒ දේ අපිට කරන්න පුලුවන්….

මේ ජීවිතේ හරිම කෙටියි… ඒ වුණාට අපිට කරන්න දේවල් බොහොමයි…. ඒහින්දා නොපමාව තමන්ගේ යුතුකම ඉටුකරන්න… මේක තව එක පාඩමක් මහේෂ් තමන්ගේ කෙටි ජීවිතකාලය තුල අපිට උගන්නපු….උපයාගන්න මිනිස්සුන්ව…. භෞතික සම්පත් උපයාගන්නවාට වඩා ඒක වටිනවා…. 

මේ ලිපිය අවසන්කරන්න ඕනෑ…. ඇත්තටම ඔහුගේ ගුණ කතාකරනවනම් අපිට අවුරුදු ගණන් කතා කරන්න පුලුවන්… නමුත් වඩා විශේෂ යැයි හිතුනු කාරණා විතරයි මෙතැනදී කතා කලේ මං… මේක තවත් එක් ගුණ කථනයක් නෙමෙයි…. මං හිතනවා මේ ලිපියේ ඔබට ගන්න දෙයක් ඇති…. ඒ දේ ලබාගන්න….

මේ ලිපිය අවසන්කරන්න මං යොදගන්නේ මා මගේ ජීවිතයේ වඩාත්ම කම්පනයට පත්කල උවිඳු සහෝදරයාඅවමංගල්‍ය උත්සවයේ පවත්වපු කතාවක පේලි කීපයක් උපුටාගනිමිනුයි…. ඒ වචනපෙළ උඹට සදා උපහාරයක් වේවා!!!! …. අපි ආයෙත් හමුවෙමු මේ සසර ගමනේ කොතැනක හරි!!!!!…..

මෙන්න ඒ වචන පෙළ….

” මහේෂ්, මේ ව්‍යාකරණ හොඳින් ගලපලා කරන කතාවක් නෙමෙයි මහේෂ්…. මේ කතාකරන්නේ හද පතුලෙන්ම නැඟෙන වචනවලින් මහේෂ්….. උඹ සදා අමරණීයයි මහේෂ්… උඹ සදා අමරණීයයි….”  

තිරසබැඳිය ප්‍රතිචාර 5