බස් එකත් මාරයි….

ඔක්තෝබර් 8, 2011 at ප.ව. 1:57 (සමාජ ඇසෙන් කතාවක්...) (, , , , , , , , , )

" බස් එකත් එක්තරා විදිහක නිලනොලත් සරසවියක් "

මං ඉන්නවා බස් එකක් එනකන් වීදුරු ගෙවල් ( Glass House ) බස් නැවතුම්පොළ ළඟ…. වෙලාව හවස 5 ට විතර ඇති…. බස් යනවා මං ගාවින් හරියට ගොන්ප්‍රී එකේ රේස් යනවා වගේ….

එක බස් එකක් නවත්තලා තියෙනකොට අනික් බස් එක ඉස්සර කරගෙන ගිහිල්ලා  නවත්තනවා ඊලඟ halt එකේ….. එතකොට  මේ බස් එක ආයෙ අනිත් එක පහුකරගෙන ගිහිල්ලා නවත්තනවා අනික් halt එකේ…. පුදුම තරඟයක්…. කටුකුරුන්දේ වත් දියතලාවෙවත් යන්න ඕනෑ නෑ රේස් බලන්න…. මේවා තමා රේස්…..

විශේෂයෙන්ම 138 route එකේතමා රේස් එක තියෙන්නේ…. සමහරක්විට මෑත කාලයේ සිංදුවකුත් ආවේ 138 ගැන මේ රේස් එක හින්දමද දන්නෙ නෑ…. ඒකිනෙකාට ඉස්සරකරනගමන් පොඩි නක්කලයකුත් දාන් යන්න කොන්දොස්තර අය්යයි, ඩ්‍රයිවර් අය්යයි අමතක කරන්නෙ නැහැ….

” කෝ මේ 177???….” මං පොඩ්ඩක් එබිලා බැලුවා පාරට…. ඒත් ඒකත් මහ අවදානම් වැඩක්…. මොකද වාහන එන්නේ පිඹලා…. ලෑල්ලටම පාගලා එන වාහන හරියට කුලප්පු වෙච්චි ස්පාඤ්ඤයේ ගොන් පොරයක ඉන්න ගොන්නු වගේ…. පරිස්සම් නොවුනොත් ඉතින් කඳ වෙනම ඔලුව වෙනම වෙන්වෙලා තමා නතරවෙන්නේ….. Sorry.com ම තමා…. ඔය සමහර බස්වල උඩ ගහලා තියෙනව ” බුදු සරණ‍යි!!! “, ” දෙවිපිහිටයි!!!” කියලා…. ඇත්තටම බස් යනකොට බස් ඇතුලේ ඉන්න අයට විතරක් නෙමෙයි පාරේ ඉන්න අයටත් ඒ පිහිට හැර වෙන පිහිටක් නෑ!!!!

ප්‍රධාන බස් නැවතුම්පොලේ ඉඳන් බස් එක එන්නේ ශාන්ත දාන්තව…. හරියට පසළොස්වකට සිල් ගත්තා වගේ…. හැබැයි  පස්සේ බස් එකේ වේගය වැඩිවෙන්නේ බලන් ඉද්දී….. Load එක වැඩිවෙනකොට ඊට අනුලොමව සමානුපාතිකව  Speed එක වැඩිවෙනවා…. අනාගතයේ පොඩි එකෙක්ගෙන් ඇහුවොත් අනුලෝම සමානුපාතිකයට උදාහරණයක් දෙන්න කියලා…. මේ සංසිද්ධිය කියන්න බැරි නැහැ සිරාවට…..

ඒවෙලාවට තමා නිව්ටන්ගේ නියම මතක්වෙන්න ගන්නේ…. ආයේ ඕනෑ නැහැ Practical ඒවා අවබෝධකරගන්න…. බස් එකේ ගියාම ටක්කෙටම Theory අවබෝධකරගන්න පුලුවන්… ඒ අතින් බසුත් කරන්නේ ඉගෙනුමට අත්වැලක් වගේ ඔය අපේ T.V. වල පෙන්වන….

ඈතින් දැක්කා 177 ක් එනවා…. ” හප්පේ!!!! යන්තම් ඇති” මට කියැවුණා ඉබේටම…. බෑග් එකත් අතින් අරන් පොඩ්ඩක් හැරිලා බැලුවා මං නිකන් පිටිපස්සට…. මගේ සතුට එවෙලේම නැතිවෙලා ගියා…. බස් එකට නඟින්න ඉන්නවා සේනාවක්ම…. කලින් නැග්ගේ නැත්නම් අදත් ඉතින් footboard තමා…. footboard යනවා කියන්නේ ඉතින් අන්තිම කැමති පත්තරේ ලියල යනවා වගෙ තමා…. මොකද කරුමෙට හරි අත හැරියොත් හරි පය ලිස්සුවොත් හරි නතරවෙන්නෙ ඉතින් නිරවාණයෙ නැතිනම් අපායේ…. කල පින් පව් අනුව ඒක තීරණයවේවී….

මොනවහරි කරල ඉස්සෙල්ලම බස් එකට නැග්ගොත් හරි!!! බෑග් එකත් උස්සගෙන මම  හිතාගත්තා…. බස් එක ආවා වේගය අඩුකරගෙන මාත් එල්ලුණා බස් එකේ පඩිපෙල ළඟ තියෙන ආධරකේ….බස් එක නවත්තන්නත් කලින්…. නැතිනම් ඉතින් නඟිනවා බොරු….

එක අතකින් අපි වානරයන්ගෙන් පැවත එන එක හොදයි…. මොකද මේ වගෙ පැනලා බස් එකක කෝච්චියක එල්ලෙන්න පුලුවන් වෙන්නේ….. ඔය වානරයන්ගෙන් පැවත එන පරිණාමික ලක්ෂණ නිසා වෙන්න ඕනෑ….. හැබැයි ඉතින් මේ කාරණේ ඔය එක පක්ෂෙකින් ඡන්දය අරගෙන පස්සේ අනික් පැත්තට ගිහිල්ලා වාඩිවෙන අයටනම් වලංගු නැහැ…..!!!! ඒකනම් මම  හිතන්නේ කිසිම සත්ව කුලකයක දකින්න නොලැබෙන මනුෂ්‍යයන්ටම ආවේණිකවූ ලක්ෂණයක් වගේ…මනුෂ්‍යන්ටම කිව්වට හැම මනුෂ්‍යයෙකුටම නෙමෙයි…. කිසියම් වෘත්තියකට පොදු වූ කාරණයක්… සමහරවිට ඒක වෘත්තීය නිපුණතාවයක්ද දන්නෙත් නැහැ…..

කොහමහරි බස් එකට ගොඩවුණු මම ඉස්සෙල්ලාම බැලුවේ ඉදගන්න Seat තියෙනවද කියලා…. හ්ම්!!!! නැහැ… බස් එකේ හොඳ සෙනඟක් ඉන්නවා…. කොහමත් තව ටික වෙලාවක් යනකොට ඇඟිල්ලක් ගහන්න බැරිතරමට සෙනඟක් පිරෙනවා….. ඊට කලින් පහසුවෙන් හිටගෙන ඉන්න පුලුවන් වාතාවරණයක් හදාගන්න ඕනෑ….

බස් එකේ පෙම්මුල්ල කිට්ටුව හිටගන්න පුලුවන් ඉඩක් දැක්කා මං…. ගිහිල්ලා එතැන හිටගත්තා මම….. දැම්මා බෑග්  එක උඩ Rack එකට…. මේ ටික කරන්න මට ගතවුනේ තත්පර කීපයයි!!!! ඒක ඉවරවෙනවත් එක්කම තමා එකේ හිටපු ඉතුරු අය බස් එකට නඟින්න ගත්තේ…..

කොන්දොස්තර අය්යා දෙනවා කන පිරෙන්න සද්දෙන් බස් එකේ විස්තරේ ගැන….

” කඩුවෙල,මාළඹේ,බත්තරමුල්ල,කොස්වත්ත,කොස්වත්ත….”

මිනිහා මේක චක්කරේ කටපාඩම් කරනවා වගේ කියවගෙන කියවගෙන යනවා…. එක අතකින් ඒක අනික් අයට කන්දොස්කිරියාවක් වුණාට ඒක ඒ මනුස්සයගේ රස්සාව…. ඇස්පෙන්නේ නැති අයට, අකුරු බැරි අයට බස් එක ගැන දැනුම්දෙන එක කොච්චර ප්‍රයොජනවත්ද????…. සමහරක්විට ඒක අපිටත් වාසි වෙනවා හදිසියෙන් අපිත් ගමන්බිමන් යනකොට….

මේ කොන්දොස්තර රස්සාව කරන හැමෝම විභාග Fail වුණ අය නෙමෙයි… සමහරවිට උපාධිධාරියෝ, හොඳට  A/L Pass වෙලා සල්ලි නැතිකමින් Campus  යන්න බැරිවුනු අයත් මේ රස්සාව කරනවා…. ඊටත් වඩා මට හිතෙනවා බහුතරයක් අපේ අය කරන වැරැද්දක් කියල හිතෙන දෙයක් මෙතැන සටහන් කරන්න….

කවමදාවත් වපර ඇහෙන් රස්සවක් දිහා බලන්න එපා…. රස්සාව කියන්නේ ම්නිහෙක් මනින්න පුළුවන් මිම්මක් නෙමෙයි… සමහර උසස් නිලතල දරණ මිනිස්සුන්ට වඩා අඩු රැකියාවන් කරන මිනිස්සු මනුස්සකමින් පොහොසත්…. ඉහළ රස්සාවක් කරලා තමන්ගේ දූදරුවන්ගේ, අඹුවගේ අවශ්‍යතා සපුරනවා වගේ තමයි කුඩා රස්සවාක් කරන මනුස්සයත් කරන්නේ…. වෙනස තියෙන්නේ වියදම් කරන මුදලේ වටිනාකමයි…. නමුත් චේතනාව එකමයි….

බස් එකට එන්න එන්න සෙනඟ පිරෙනවා….. මගෙ කොඳුඇට පේලියට ඒක හොඳට දැනෙනවා…. කොන්දොස්තර අය්යත් කෑගහනවා….

” ඔය මැද පේලිය ඉස්සරහට යන්නකෝ…. ඉස්සරහ හොඳට ඉඩ තියෙනවා…. ඔය දෙපැත්තේ ඉන්න අය පැත්තකට වෙලා ඉඩ දෙන්න…. ”

මැද ඉන්න මිනිස්සු sandwich එකක filling එක වගේ…. දෙපැත්තෙන්ම හොඳට තැලෙනවා…. ඇත්තම කිව්වොත් ඒ මිනිස්සු ගැන කණගාටුවක් දැනෙනවා…. office එකක හරි වෙනත් සේවා ස්ථානයක හරි වැඩකරලා මෙ මිනිස්සු යන්නේ බාගෙට මැරිලා… ඒත් කොච්චර අමාරුකම් තිබුණත් රස්සවට නොආවොත් ඒකෙන් වදින්නෙත් ඒ මනුස්සයගෙම බඩටයි…. මේවට වැරැදිකාරයෝ කව්ද කියල ඉතින් හොයල වැඩකුත් නැහැ….

යන්තම් ඇති බස් එක යන්න පිටත්වුණා…. කොන්දොස්තර අය්යා ticket කඩන්න පටන්ගත්තා….  Ticket කඩනවා කිව්වට සල්ලි එකතුකරනවා විතරයි…. නමුත් සමහර බස්වල්නම් ticket එකක් කඩනවා…. අතේ උණ්ඩි කරගෙන උන්නු රු.25 මන් කොන්දොස්තර අය්යාට දුන්නා….

” කොස්වත්ත” මං කිව්වා…

” හන්දියෙද? හන්දියෙන් එහාද? ”

” එහා ”

කොන්දොස්තර අය්යාත් සල්ලි අරගෙන ඉස්සරහට යන්න ගත්තා…. අනේ මන්දා මේ මනුස්සයා අර සෙනඟ මැද්දේ කොහම යනවද කියලා….එක අතකින් ඒක තමා චාල්ස් ඩාවින් කිව්වේ ” ජීවිත සටන ” කියලා…. මේ ලෝකයේ රැඳෙන්නනම් ඕක නොකර බැහැ…

” මාරු සල්ලි තියෙනවනම් අතට ගන්න…. ලොකු කොල මාරු කරන්න නැහැ…. ”

ලංකාවෙ බස්  ticketවල ගණන් අරුම පුදුමයි…. බොහොම ටිකයි 0 න් හරි 5  න් හරි අවසන් වන ගණන් තියෙන්නේ…. ඉතින් ඉතුරු සල්ලි දෙන්න ගියාම කොන්දොස්තරත් අමාරුවේ…. ඒ නිසා මගියොයි කොන්දොස්තරයි වලි….

ඔය අස්සේ මට නිකමට පෙම්මුල්ල දිහා බැලුණා ( බැලුණද? බැලුවද? කියලා හරියටම කියන්න බැහැ , මොකද මමත් පෘථග්ජන මනුස්සයෙක්නේ!!!! )…. පෙම් මුල්ලේ පෙම් ජෝඩුවක්….

තරුණයෙක් ඉන්නවා තරුණියක්ගේ කර වටේ අතක් දාගෙන…. තරුණිය ඉඳගෙන ඉන්නේ කව්ළුව අද්දර… දෙන්නා කාටවත් නොදැනෙන්න secret කතාවක…. ඉඳල හිටල මුහුණේ හිනාවකුත් මතුවෙනවා….

එකම ලෝකේ ලෝක දෙකක ජීව්ත්වෙන පුළුවන්ද කියල ඇහුවොත් හොඳම සාක්ෂි‍ය විදිහට දෙන්න පුළුවන් මෙවගේ පෙම් ජෝඩු…. බස් එක ඇතුලේ තියෙන්නේ තරඟකාරී Marketing ලෝකය…. ඒත් මේ දෙන්න ජීවත්වෙන්නේ Romeo Juliet ජීවත්වෙච්චි Romantic ලෝකයේ….

ඉඳල හිටලා එහෙට මෙහෙටත් දෙන්නගෙ ඇස් ගමන්කරනවා බස් එක ඇතුළේ… මොකද මේවා ගෙවල්වල් උදවියගේ කනේ තියන්න පුලුවන් උදවියත් ඉන්න පුලුවනි මේ බස් එක ඇතුළේ…. ඒකට අපෙ මිනිස්සු බොහො දෙනෙක් හපන්නු…. තමුන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනෙක් උදවියගේ ඇද හොයන්න අපෙ අය රුසියෝ….  එ හින්දා පරිස්සම් වෙන එක කෝකටත් හොඳයිනේ…!!!!

Halt එකින් එකේ නවත්තගෙන බස් එකට නග්ගගන්නවා හෙන සෙනඟක්…. Tution ඉවරවෙලා එන පාසල් ළමයි, sports practice කරලා එන ළමයි , ඒ  sports බෑග් උස්සගෙන ඉන්න අම්මලා තාත්තලා, වැඩ ඇරිලා ගෙදර යන මිනිස්සු, වැඩට යන මිනිස්සු, යහලුවෝ හම්බවෙන යන අය, පෙම්වතුන් නොයෙක් ආකරයෙ මිනිස්සු නඟිනවා බස් එකට….. දැන්නම් මගේ කශේරුකාවට දෙයියන්ගෙම පිහිටයි!!!

බස් එක කාසල් එක ලඟදි නවත්තපු වෙලාවේ බඩදරු අම්මල 2 ක් බස් එකට නැඟ්ගා…. ඉස්සරහ හිටපු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම  මහත්තයෙකුයි,නෝනා කෙනෙකුයි ඉඳගෙන හිටපු seat දෙක ලබාදුන්නා…. ඇත්තටම සන්තෝසයි… අපේ මිනිස්සු ගාව තාම මනුස්සකම තියෙනවා…. දේශපාලන වේදිකාවල ඡන්ද කාලේ උණු කැවුම් වගේ market කරන මනුස්සකමට වඩා මේ මනුස්සකම මිලක් කියලා නිමකරන්න බැරි තරම් වටිනවා…..

පැවිදිකෙනෙක්, බඩදරු අම්ම කෙනෙක්, ආබාධිත කෙනෙක්, ලෙඩවුණු කෙනෙක්, කුඩා ළමයෙක් අත වඩාගෙන එන කෙනෙක්, වයොවෘද්ධ කෙනෙක් වෙනුවෙන් තමන් ඉඳන් ඉන්න අසුන පරිත්‍යාග කරන එක පුණ්‍යකර්මයක්…. කවදහරි අපි මේ  ලෝකෙන් අරන් යන්නෙත් ඔච්චරයි මොනව හරි හම්බ කලත්…. ඒත් සමහරු ඒවගෙ එක්කටවත් තමන් ඉන්න අසුනෙන් නැඟිටින්නේ නැහැ…. Gum ගාලා පශ්චාත් ප්‍රදේශය seat එකට අලවලා වගෙ ගල් ගැහිලා ඉන්නවා…. නමුත් තාමත් බහුතරයක් එහෙම නැහැ…. ඉඳගෙන ඉන්න අසුන පරිත්‍යාග කරනවා…..

ඔය හොඳ ලක්ෂණ අතරේ අපෙ තවත් සමහර උදවිය තමන්ගේ වෙනත් නොහිබිනා ලක්ෂණ ඉස්මතු කරගන්නවා…. ඇහැට කනට පේන ගැහුණු ළමයෙක් දැක්කොත් හදන්වා පොඩි jack එකක් ගහන්න…. පහුගිය දවසක පත්තරේ තිබ්බා යෞවනියකගේ කලිසමේ තට්ටම ප්‍රදේශය blade එකකින් කපල තිබ්බ කතන්දරයක්….මේවා ඉතින් කරන අය පොඩ්ඩක් මුල්ලේරියාව පැත්තට visit එකක් දාලා ආවොත් හොඳයි කියලා මට හිතෙන්නේ….!!!!

පරිණාමයෙන් අපි බිහිවෙන නිසා තිරිසන් ලක්ෂණ අපිට කාන්දු වෙලා තියෙන්න පුළුවන්…. ඒත් අපි තමා මිහිපිට ඉන්න බුද්ධිමත්ම සත්ව කොට්ඨාශය…. අපිට තියෙනවා ආගම් කියල දෙයක්…. ආගමයි, බුද්ධියයි එකට එකතුකරලා අපිට පුලුවන් වෙන්න ඕනෑ අපෙ ඇඟේ ඉන්න තිරිසනා යටපත්කරන්න…. ඒකට හැමදාම පන්සල්, පල්ලි, කෝවිල් යන්න ඕනෑ නැහැ…. වඩා වැදගත් වෙන්නේ ඒ දර්ශනයන් හොඳින් වටහාගෙන ජීවිතයට ඈඳා ගැනීමයි….

බස් එක කියන්නේ ලිංගික හිංසන පීඩනවලට කියාපු පාරදීසයක්…. සමහරු හෙමින් සැරේ අත අල්ලනවා විරුද්ධ ලිංගිකයන්ගේ…. ඒක වැරදීමකින් වුන එකක්නම් කමක් නැහැ…. ඒක ඉතින් අවංකවම දන්නේ හිත තමයි!!!…. සමහරු කොනිත්තනවා… සමහරු සංවේදී ස්ථාන ස්පර්ශ කරන්න වෑයම් කරනවා….

පෙම්වතුන් පවා අසභ්‍ය විදිහට හැසිරෙනවා නොයෙකුත් අවස්ථාවල….ඒ අයට අමතකයි  තමන් ඉන්නේ මහ සෙනඟක් මැද්දේ බව…. තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය මහ සෙඟක මැද්දේ අපහසුතාවයට පතකරන වැඩ කරනවනම්, එතැන සැබෑ ආදරයක් නැහැ… ආදරය කියන්නේ හුදු ලිංගික ගණුදෙනුවක් නෙමෙයි…. එතැනදී තමන්ගේ සහකාරියගේහෝ සහකරුවාගේ ආත්ම ගෞරවය ගැනත් හිතිය යුතුමයි….  මට හිතෙන්නේ ඒක සැබෑ ආදරයක ප්‍රධාන ලක්ෂණයක්…. ඒ දේ වටහගෙන ආදරය කරනවනම් ගොඩක් මේ ඛේදාන්ත නතරවේවී….!!!

දැන් බස්  එක රාජගිරියට ආවා…. මට තව යන්න තියෙන්නේ විනාඩි 15 ක් වගේ දුරක් ඒත් බස් එක මෙතැන විතරක්ම විනාඩි 10 ක් නතරකරගෙන සෙනඟ කරගන්නවා…. මෙතැන්දි තමයි ඇඟේ මාළු නටන්න පටන්ගන්නේ…. කොහමත් බස් එක ඇතුලේනම් අපි හරියට සාඩින් වගේ කරලා තියෙන්නේ….

බස් එකේ සමහරු නිදි…. සමහරුන්ගේ ඔළුව ගිහිල්ලා අනික් පැත්තෙ එක්කෙනගේ උරහිසේ පතිතවෙනවා…. සමහරක්විට එයත් දොයි…. සමහරු හිටගෙනත් බුදි…. සමහරු දුරකථනවලින් “මල් කඩනවා”… තව සමහරු ” volkman ” එකෙන් සින්දු අහනවා…. සමහරු පොත් කියවනවා…. සමහරු හෙන හයියෙන් හිවෙවී කතාවක…. මට මෙහෙම හිතුණා එවෙලේ….

මේ විදිහට සමගියෙන් ඉන්න මිනිස්සු නේද කිසිම කමකට නැති බෙදීම්වලට ලක්වෙලා ගැටළු ඇතිකරගන්නේ…. මිනීමරාගන්නේ…. අපි අඩුම ගාණේ දන්නේ නැහැ අපි ලඟින් ඉඳන් ඉන්න හරි හිටගෙන ඉන්න හරි මනුස්සයගේ ආගම, ජාතිය, කුලය ගැන මුකුත්…. ඒත් අපි අතර ගැටුමක් නැහැ…. ඔලුවෙ පොල්තෙල් ගාපු, hair gel ගාපු,  hair cream ගාපු අය හැමෝම මේ බස් එකේ යනවා…. නමුත් අපි නොගැලපීම් හොයනවද??? බස් එක ඇතුලේ හැමෝම එකම කුලකයේ…. ඒ කියන්නේ ඒ හැමෝම අයත්වෙන්නේ ” බස් රථයේ මඟීන් ” කියන කුලකයට….

අපේ ” ගිරා පෝතක ” අධ්‍යාපනයට පින් සිද්ධවෙන්න කිලෝ ගණන් බර පොත් බෑග් උස්සගෙන හිටගෙන යන නංගිලා මල්ලිලාගේ බෑග් එක, වැඩ ඉවරවෙලා ගෙදර යන අයගේ ගමන් මළු පවා ඉඳන් ඉන්න කෙනෙක් අතට ගන්නවා…. ඇයි ඒ???? එතැන තමා මනුෂ්‍යත්වය මතුවෙන්නේ…. ඇයි අපිට මේ දේ බස් එකින් පිට සමාජයෙත් කරන්න බැරි????… එහෙම කලානම් මෙලහකට මේ ඔඩු දුවලා තියෙන ප්‍රශ්න රාශියක් විසදිලා ඉවරයි….

දැන් මං මගේ ගමනාන්තයට ඇවිල්ලා… බෑග් එකත් අරගෙන මම අමරුවෙන් සෙනඟ අතරින් ආවා footboard එක ළඟට…. බස් එකේ bell එක ගහලා මම footboard  එකට බැස්සා….. බස් එක නැවත්තුවත් එක්කම මං බස් එකෙන් බැස්සා… මං බැස්සත් එක්කම බස් එක ආයේ පටන්ගත්තා  race එක….

මේ බස් එකේ සමහරවිට මං ආයෙත් යාවී…. සමහරවිට කවදාවත් නොයාවී…ඒ බස් එකේ හිටපු උදවිය සමහරක්විට හෙටත් මට හමුවේවී… නැතිනම් හමුනොවෙන්නත් පුලුවන්…. ජීවිතේ වගේ…. අද අපිත් එක්ක ඉන්න සමහරු හෙට අපේ ජීවිතයේ නැහැ…. සමහරු හෙටත් ඉඳිවී…. සමහරු සදහටම වෙන්වේවී…. මේක තමයි ජීවිතේ…. අපේ හෙට දවස ගැන කාටවත්ම කලින් කියන්න බැහැ…. හොඳම දේ තමයි අපි ඉන්නා ටික කාලයේ මනුෂ්‍යයෙකු ලෙස හොඳින් ජීවත්වෙන එක…

බස් එකත් එක්තරා විදිහක නිලනොලත් සරසවියක්… අපි ගමන් කරන පාරත් එක්තරා විදිහක සරසවියක්…. පතපොතින් ඉගෙනගන්න බැරි කාරණා ගොඩක් මේ තැන්වලින් අපිට ඉගෙනගන්න පුලුවන්…. සමහරක්විට න්‍යායාත්මකව අපි ඉගෙනගන්න දෙයට වඩා මේ දේවල් ජීවිතය විදින්න ඒවගේම මේ සමාජය තුළ සැරිසරන්න රුකුලක් වෙනවා….

ඒකෙන් මං අදහස්කරන්නේ නෑ අනික් දේවල් අනවශ්‍යයි කියලා…. ඒවත් අවශ්‍යයි…. ඒත් මේ වගේ දේවල් ජීවිතයට ළංකරගන්න එක වටිනවා…. මොකද මනුෂ්‍යයෙකු ලෙස ඉපදිලා මනුෂ්‍යයෙකු ලෙස මෙලොව හැරයන්න මේ දේවල් අපි ජීවිතයට එකත්කරගෙන ඉන්න ඕනෑ….

අමතක කරන්නෙපා… මේවගේ ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් නිලනොලත් සරසවි අපේ අවට ඕනෑතරම් තියෙන විත්තිය…. ඒ දේවල් ඉගෙනගන්න ලොකු Z-Score වත් ලොකු බුද්ධිමතෙක් වෙන්න ඕනෑ නෑ…. එකම අවශ්‍යතාවය ඔබ උත්පත්තියෙන් මනුෂ්‍යයෙකුවීමයි…

මං මගේ ගෙදර තියෙන අතුරු මාර්ගයට ඇවිදගෙන ඇවිල්ලා හැරුණා…. මට අන්තිමට මෙහෙම හිතුණා…

” බස් එකත් මාරයි ”


 

තිරසබැඳිය එක් ප්‍රතිචාරයක්

මිතුරෙකුගේ දෙණ…. උර තබා ගිය ගමනක්….

ඔක්තෝබර් 5, 2011 at ප.ව. 3:44 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , , , , , , )

"මනුෂ්‍යයෙකු ලෙස ඉපදී... මනුෂ්‍යයෙකු ලෙස ලොව හැරගිය... සදා අමරණීය සහෘදයා..."

ඉකුත් සැප්තැම්බර් 28, වෙනිදා ඉර අවරට යන සැඳෑයාමයක උතුරු සියඹලාපේ ප්‍රදේශයට මහ ජන ගඟක් ඇදිලා හිටියා…. ඒ දන්සැලක්වත්, දේශපාලන රැස්වීමක්වත් හින්දා නෙමෙයි…. ” මනුෂ්‍යයෙකු විදිහට ඉපදිලා…. මනුෂ්‍යයෙක් විදිහට මෙලොව හැරගිය…. ආදරණීය සහෘදයෙකුට…. “ සදහට සමුදෙන්න….

එදා බටහිර අහසේ බැසගිය හිරුට වඩා එළියදුන්න විරල ඝණයේ ගතිගුණ අතින් හෙබි මනුෂ්‍යයෙක්, අප අතරින් සදහටම නික්මුණා කියලා මට හිතුණේ….

ආගමික වත් පිළිවෙත් හා පාංශු කූලය දීමෙන් පස්සේ  බොහෝ ගුණ කතාවන් ගණනාවක් පැවත්වුණා….. සමහරක් ගුණ කතා බොහොම ආවේගාත්මක වුණා.හැඟුම්බර වුණා…. මං මගේ ජීවිත කාලය පුරාම ඕනෑ තරම් ගුණ කතා අහල ඇති…. නමුත් මේ විදිහට හද පත්ලෙන්ම කරපු ගුණ කතාවන්නම් මං අහල තිබුණේ නැහැ ජීවිතේට….

කතාකරපු බොහෝ කථිකයන්ගේ ඇස් කඳුලෙන් පිරී තිබුණා…. ඒවා කිඹුල් කඳුළු නෙමෙයි…. පපුවේ මස් ලේ ඇට නහර විඳගෙන නැඟුණු කඳුලු…. සාමන්‍යයෙන් අපි ඇහින් කඳුලක් හෙලුවත් ඒක කියන්න ලැජ්ජයි…. නමුත් මගේ දෑසට එදානම් කඳුලක් නැඟුණු විත්තිය මං අවංකව පිළිගන්නවා…. මං දන්නවා එදා ඒ මොහොතට සහභාගීවුණු හැමදෙනෙක්ම ඒ දේ අවංකව අත් උස්සලා පිළිගනීවී කියලා….

අවසානයේ සියලුම අවමංගල්‍ය චාරිත්‍රවලින් පස්සේ හැමෝගෙම සෝ සුසුම් මැද  අපේසදාදරණීය සගයා තමන් මිහිමත කරන අවසාන ගමනට සැරසුණා….  ඔහු තමන් මේ ලෝකෙට බිහිකල අම්මට තාත්තාට නිහඬ සිතින් නමස්කාර කරන්න ඇති… අක්කට හා අයියාට සමුදෙන්න ඇති…. නෑ හිතමිතුරන්ට සමුදෙන්න ඇති…. ඒ විතරක් නෙමෙයි මං දන්නවා ඔහු තමන්ට මෙච්චරකල් සෙවන දුන්නු නිවසටත් ආචරකරන්න ඇති….

අනිවාර්‍රයෙන්ම ඔහු ඒවා කරන්න ඇති.… මොකද ඔහුගේ ප්‍රාණය ගත තිබුණු කාලේ  ඔහු ඒවා තම යුතුකම් ලෙස කිසිදා පැහැර හැරියේ නැති නිසා….

අපි හැමෝම ජීවිතයේ අවසන් නවාතැන්පොලකට යනවා…. ඒ ගමනට අපේ මිත්‍රයා සැරසුණා…. අවමංගල්‍ය රථයක් ගෙනල්ලා තිබ්බ ඒ ගමනට... නමුත් අපි කලින්ම තීරණයකලා අපේසහෘදයා රැගෙන යන්නෙ අපේ කරමතින් කියලා…. මොකද ඔහු අපිට කවදාවත්ම බරක් නොවන නිසා…. කවදාවත්ම….

ඔහුගේ අලුත් නවාතැනට 2 1/2 km ක දුරක් තිබුණා නිවසේ ඉඳන්…. ඒක අපිට ගැටලුවක් වුනේ නැහැ…. අපිට ගැටළුව වුණේ කොහමද අපි ඒ අලුත් නවාතැනේ ඔහුව තනිකරලා එන්නේ කියන එකයි….

ගෙදරින් වමට හැරෙන උඩ කන්දෙදි තමයි මං ඉස්සෙලාම මගේ උරය මගෙ සහෘදයාගේ ගමන වෙනුවෙන් ආධාර කලේ… මං හිතන්නේ ඒක තමා මං ඔහු වෙනුවෙන් කල එකම උපකාරය මේ ලෝකයේදී….

ඔහු ජීවතුන් අතර සිටිනවිට ඔහුට උපකාරයක් කරන්න නොහැකිවුනු මට…. එදා ඒක කරන්න ලැබුණු එක දෛවයේ සරදමක්…. මං හිතන්නේ ගොඩක් අයට ඒ හැඟීම එන්න ඇති…

ඔහු අපි වෙනුවෙන් සෑහෙන දේවල් කලා…. ඒවා කලේ පරාර්ථකාමීවයි…. අපෙන් ඔහු කිසිම ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තුවුණේ නැහැ කිසිවිටෙකවත් ඒවා කරද්දී…. විරල ගතිගුණ තිබ්බ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක්….  මට ඔහුගේ ගුණ ලඝු කරන්න පුළුවන් ඒවිදිහටයි….

එවෙලේ මගේ ඔළුවට ආවා සෑහෙන්න දේවල්…. ඇත්තටම අදටත් මං අසරණයි ඒ ආ අදහස් වල පැටළුම් ලිහාගන්ට බැරිව.

මං අහල තියෙනවා අමරණීය මිනිස්සුන්ගේ ප්‍රාණය නිරුද්ධ වුනත් ආත්මයන් සදාකාලිකව අප අතර රැඳෙනවා කියලා…. මං නිකමට ඔහුව ආමන්ත්‍රණය කලා සිතින්.

” මචං”

ගතවුණේ සුළු මොහොතයි…. ප්‍රතිඋත්තරයක් ලැබුණා!!!!..

“ඔව් මචං”

මගේ හිතට සතුටක් දැනුණා…. ඇත්ත, ඔහු අමරණීය මනුස්සයෙක්…. ඔහු ගතින් අපෙන් මිදී ගියත් ඔහුගේ මතකය, ඔහුගේ ආත්මය අපි මැරෙනතුරවාට අපිත් එක්ක රැඳෙන බව දැන් මට සක්සුදක් සේ පැහැදිලියි….

ඒත් ඒ සමඟම තවත් සහෝදරයෙක් මගෙන් දේහයට උර තබන්න අවසර ඉල්ලා සිටියා… ඉතින් මම ඔහුට ඉඩ ලබාදුන්නා…. මා ඉදිරියට යන අතරේ වටපිට බැලුවා…. දකින දකින පැත්තෙ උන්නේ මහ ජන ගඟක්…. පුදුම සෙනඟක්…. සමහර අය නිවෙස්වල වත්තට ඇවිදින් තමන්ගේ අවසන් බුහුමන මේ අමරණීය මිනිසාට දක්වනවා…. අපේකණිෂ්ඨ ශිෂ්‍ය නායකයන් යුහුසුළුව පාවඩ එලමින් ඉදිරියට ගමන්කරනවා…. ඔහුගේ දෙණට නිරතුරුව පොරි වැටෙනවා….

හැම සහෝදරයෙකුටම ඕනෑවුණා ඔහුගේ ගමනට ආධාර කරන්න…. ඒනිසා මට යලි අවස්ථාවක් ලැබුනේ සෑහෙන්න දුරක් ගියාට පස්සේ…. ආයෙ මගේ වම් උරය මත ඔහුගේ දෙණ තැන්පත්වුණා….

” මචං උඹට දුක නැද්ද මෙහෙම අපිව දාල  යන්න???? “ මං ඇහුවා ඔහුගේ ආත්මයෙන්…

” දුකයි මචං…. ඒත් එක අතකින් මට සන්තෝසයි…. “

” ඇයි ඒ???? ”

” උඹලා ඔක්කොම එකතුවෙලා ඉන්නවා ඒකයි “ ඔහුගෙ ආත්මය ලෙන්ගතු හිනාවෙන් කිව්වා….

” ඒත් උඹ නැහැනේ???? “

” නෑ මචං මං උඹලත් එක්ක ඉන්නවා හැමදාටම “

ආයෙත් මට තවත් සහෝදරයෙකුට මගේ තැන දෙන්න සිදුවුණා….

දැන් මගේ ඔළුවේ උභතෝකෝටික ගැටලුවක්…. අපේ සදදාරණීය මිත්‍රයා අද සදහටම දැයින් සමුගන්නවා…. ඒත් ඔහුගේ ආත්මය කියන්නේ සදහට අපිත් එක්ක රැඳෙනවා කියලා???…. මේ ප්‍රශ්නය මගේ ඔළුවේ තියාගෙන මං ආයේ අවස්ථාවක් ලැබෙනකම් හිටියා….

යන අතරමඟ පන්සලක් හමුවුණා.… මට නිතැතින්ම සිහිවුණා බුදු බණේ තියෙන ජීවිතේ අනිත්‍යබව…. ඇත්තටම ඒ දේ හරියටම අවබෝධකරගන්නනම් තමන්ට කිට්ටුවෙන් ඉන්න කවුරුහරි තමන්ගෙන් දුරස්වෙන්න ඕනෑ සදහටම….

මට ආයේ අවස්ථාවක් ලැබුණා.…. දැන් අපි ගමන් කරන්නේ කන්දක් පහලට.… ඒ කන්ද බැස්සාම හම්බවෙන්නේ වෙලක්…. ඒ වෙල මැදින් ඇදෙන පාරේ ටික දුරක් ගියාම අපේ මිත්‍රයාගේ අලුත් නවාතැන්පොල හම්බවෙන්නේ…. එතැනට ළංවෙන්න ළංවෙන්න අපේ හිත ඇතුලේ ශෝකය වැඩිවෙනවා….

හිතේ තියෙන ආවේගයටයි, ශෝකයටයි, කණගාටුවටයි මම කතානොකර උන්නා…. ඒත් වැඩිවෙලාවක් ගියේ නෑ…. මගේ මිත්‍රයාගේ ආත්මය කතාකරන්න පටන්ගත්තා.

” මචං මං දන්නවා උඹල මං මෙහෙම යනවට කොහෙත්ම කැමති නෑ කියලා…. ඒත් මේක තමා ජීවිතේ…. කවුරුවත්ම දන්නේ නෑ කොයිවෙලාවේ තමන්ට ජීවිතේ අතහැරලා යන්න වෙයිද කියලා…. “

” උඹේ වෙන්වීම අපිට දරාගන්න අමරුයි මචං “ මම කිව්වා….

” මං දන්නවා මචං…. මං උඹල ළඟ හැමදාම ඉන්නවා ගතින් උඹල ළඟ නොහිටියත්… “

” ඒ කියන්නේ???? “ මං ඇහුවා…..

” මගේ ජීවිතේ ගැන උඹ පස්සෙ වෙලාවක කල්පනා කරල බලපන්…. එතකොට උඹට තේරේවී මචං… අනිවාර්යෙන්ම උඹට තේරේවී මචං….”

මං ආයේ කල්පනාවට වැටුණා… මේ විදිහට අපි තව 100m ක් විතර ගියා…..

” මචං මට දැන් යන්න වෙනවා…. අයෙමත් මං කියන්නේ හැමදාම උඹලත් එක්ක මං ඉන්නවා…. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා…. මචං එහෙනම් මං යනවා…. උඹලට බුදුසරණයි… අපි පස්සෙ හමුවෙමු…. “

” උඹටත් බුදුසරණයි මචං…. ඔව් අපි පස්සෙ හමුවෙමු” මං හැමෝම වෙනුවෙන් කිව්වා….

ඊට පස්සෙ මගේ උරයෙන්, ඔහුගේ දෙණ අවසන් පියවර කිහිපය වෙනුවෙන් වෙනත් කෙනෙකුට භාරකලා….  ඉන් මිනිත්තු කීපයකට පස්සෙ ඔහුගේ දෙණ හෙමින් ඔහු වෙනුවෙන් ඉදිකල නවාතැනේ හෙමින් තැන්පත්වුණා….

” උඹ හොඳට නිදාගනින් මචං… අපි පස්සෙ හමුවෙමු “ කියලා මං හිත ඇතුලේ ශෝකයයි, ආවේගයයි තෙරපගෙන මගේ තවත් මිත්‍ර‍යෝ කීපදෙනෙක් එක්ක ආපසු ඔහුගේ නිවසට එන්න පිටත්වුණා….

මං එන දිගටම කල්පනා කලේ අපි අතර ඇතිවෙච්චි සංවාදය ගැනයි…. මං ඔහුගේ ගෙවුනු අවුරුදු 23 ක කෙටි ජීවිතය ගැන ආපසු හැරී බැලීමක් කලා…. ඒත් මට කිසි දෙයක් වැටහුණේ නැහැ…. නමුත් ඔහුගේ නිවස තිබ්බ අතුරු මාර්ගයට හැරෙනවත් එක්කම මට බොහෝ දේවල් අවබෝධවෙන්න පටන් ගත්තා….

මං දැනගත්තා කොහමද ඔහු සදහටම රැඳෙන්නේ කියලා…. ඒ වෙන කිසිම දෙයක් නෙමෙයි… ඒ තමා අපි සතු මනුෂ්‍යත්වය.… ඒකට උදාහරණ ඕනෑතරම් ඔහුගේ ජීවිතයේ තිබුණා….

අපේ ආදරණීය මිත්‍රයා කිසිම දවසක තමන්ට තානාන්තර, සම්මාන, නම්බුනාම ලැබෙද්දී ඔළුව ඉදුමුවා ගත්තේ නෑ…. ඒ වෙනුවට ඔහු තව තව නිහතමානීවුණා… කිසිම දවසක මුහුණෙන් ලෙන්ගතු හිනාව හැංඟුවේ නැහැ… ඒ හිනාව සරදම් හිනාවක් කරගත්තේ නැහැ….තව තවත් මිත්‍රයන්ට සමීපවුණා….

ඔහු භෞතිකව කිසිදෙයක් උපයාගත්තේ නැහැ…. ඔහු උපයාගත්තේ මිනිස්සුන්ව…. ඔහුගේ අවසන් කටයුතුවලට සහභාගී වුනු මහ ජන ගඟෙන් ඒක හොඳින් ඔප්පුවුණා…. අවුරුදු 23 ක ජීවිතය ඇතුලේ ඔහු සෑහෙන්න මිනිස්සු ප්‍රමාණයක් ඇසුරු කරල තිබ්බා…. නමුත් විශේෂත්වය ඒක නෙමෙයි… ඔහු හැමෝටම එකම විදිහට සලකල තිබ්බා…. කතාවට කිව්වොත් හැමෝටම එකම හැන්ඳෙන් බෙදලා තිබ්බා…. ඒ හැන්ඳ වෙන මොකක්වත් නෙමෙයි…. ඒ තමා මනුෂ්‍යත්වය….

පරාර්ථකාමීත්වය ඔහු සතුව තිබ්බ තව උසස් ලක්ෂණයක්…. තමන්ගේ ලේ පවා දන්දුන්නා අනික් මිනිස්සුන්ගේ ජීවිත බේරාගන්න… හැකි පමණින් දන්දුන්නා…. ඔහු මිනිස්සුන්ට ආදරය කලා…. මෛත්‍රී කලා…. දයාව කරුණාව දැක්වුවා…

ඔහුට ආගම් ජාති බේද තිබුණේ නැහැ… කුලමල… දුප්පත් පෝසත්කම් වගේ බේද ඔහුගේ ජීවිතයේ ගෑවිලාවත් තිබුණේ නැහැ… ඔහු හැම කුලකයටම අයත් මිනිස්සු ආශ්‍රයකලා…. ඔහුට මිනිස්සු කියන්නේ සාර්වත්‍ර කුලකයක්වු ණා…. ඔහු ඒ කුලකය තුල උපකුලක තනන්න ගියෙ නැහැ…. වඩා වැදගත්දේ තමයි ඔහුට හැම මනුස්සයෙක් එක්කම කතාකරන්න දෙයක් තිබ්බා….

ඔහු මනුෂ්‍යත්වය වෙනුවෙන්ම ඉපදුණු කෙනෙක්…. ඔහුගේ ඉක්මණ් නික්ම යෑම අහලා දුක්වුනේ ඔහුව දන්න අය විතරක් නෙමෙයි.… ඔහුව ජීවිතෙට දැකලා නැති ආශ්‍රය කරල නැති උදවිය පවා දුක්වුණා… එහෙම වෙන්නේ ඔහු නියම මනුෂ්‍යයෙක් විදිහට ජීවිත කාලය ගතකරපු නිසයි….

සොබාදහම කාලයෙන් කාලයට විවධ වේශයෙන් එක් එක් පණිවිඩ එවනවා…. සමහරවිට ඒක ආපදාවක්වෙන්න පුලුවන්…. සමහරවිට ඒ මනුෂ්‍යයෙක් වෙන්න පුලුවන්…. ඒ එනකෙනා අතේ සොබාදහම පණිවිඩියක් එවනවා…. ඒ පුද්ගලයා තමන්ගේ කාර්යභාරය ඉවරකලාට පස්සේ සොබාදහම ඒ ජීවිතය ආපසු ගන්න්වා… මට හිතෙන්නේ අපේ ආදරණීය මිත්‍රයා එහෙම විශේෂ පණිවිඩකරුවෙක්…. ඔහු ගෙනා පණිවිඩිය තමා මනුෂ්‍යත්වය…. ඔහු අවුරුදු 23 ක් ජීවිත කාලය පුරාවට ඒ කාර්යභාරය ඉටුකලා පැහැර නොහැර…

සමහරවිට ඔහුගේ කාර්යභාරය කලින්ම ඉටුවෙන්න ඇති…. ඒහින්දා සොබාදම ඔහුගේ ජීවිතය ආපහුගන්න ඇති…. හැබැයි දුක්වෙන්න කාරණයක් නැහැ…. ඔහුගේ ඒ කාර්යභාරයට කලගුණ සලකලා ඔහුට ජීවිතය හොඳින් විඳින්න පුලුවන් ආත්මයක් සොබාදහම අනිවාර්යෙන්ම දෙවී…. අපිට කරන්න තියෙන්නේ ඒ සඳහා අවශ්‍යකරන පින් ටික ලබදෙන්න…. මං දන්නවා ඒ වෙනුවෙන් අපේ අය තම යුතුකම ඉටුකරන බව……..

අපිට තව දෙයක් ඔහු වෙනුවෙන් කරන්න පුලුවන්…. ඒ තමා ඔහුගෙ මනුෂ්‍යත්වයෙන් බිඳක් අපේ ජීවිතයට එක්කරගැනීම…. මං හිතන විදිහට ඒක තමා අපි ඔහුට කරන ලොකුම උපහාරය…. අපිට කවදාවත්ම ඔහු වෙන්න බැහැ… අපේ ආදරණීය මිත්‍රයා මනුෂ්‍යත්වය සම්බන්ධයෙන් විශ්වකෝෂයක්…. ඒ මනුෂ්‍යත්වය කිසිම පත පොතකින් අපිට ලබාගන්න බැහැ…. අපිට ඒ දේ ලබාගන්න පුලුවන් ඔහුගේ ජීවිතය අධ්‍යයනය කරලයි…. ඒ දේ අපිට කරන්න පුලුවන්….

මේ ජීවිතේ හරිම කෙටියි… ඒ වුණාට අපිට කරන්න දේවල් බොහොමයි…. ඒහින්දා නොපමාව තමන්ගේ යුතුකම ඉටුකරන්න… මේක තව එක පාඩමක් මහේෂ් තමන්ගේ කෙටි ජීවිතකාලය තුල අපිට උගන්නපු….උපයාගන්න මිනිස්සුන්ව…. භෞතික සම්පත් උපයාගන්නවාට වඩා ඒක වටිනවා…. 

මේ ලිපිය අවසන්කරන්න ඕනෑ…. ඇත්තටම ඔහුගේ ගුණ කතාකරනවනම් අපිට අවුරුදු ගණන් කතා කරන්න පුලුවන්… නමුත් වඩා විශේෂ යැයි හිතුනු කාරණා විතරයි මෙතැනදී කතා කලේ මං… මේක තවත් එක් ගුණ කථනයක් නෙමෙයි…. මං හිතනවා මේ ලිපියේ ඔබට ගන්න දෙයක් ඇති…. ඒ දේ ලබාගන්න….

මේ ලිපිය අවසන්කරන්න මං යොදගන්නේ මා මගේ ජීවිතයේ වඩාත්ම කම්පනයට පත්කල උවිඳු සහෝදරයාඅවමංගල්‍ය උත්සවයේ පවත්වපු කතාවක පේලි කීපයක් උපුටාගනිමිනුයි…. ඒ වචනපෙළ උඹට සදා උපහාරයක් වේවා!!!! …. අපි ආයෙත් හමුවෙමු මේ සසර ගමනේ කොතැනක හරි!!!!!…..

මෙන්න ඒ වචන පෙළ….

” මහේෂ්, මේ ව්‍යාකරණ හොඳින් ගලපලා කරන කතාවක් නෙමෙයි මහේෂ්…. මේ කතාකරන්නේ හද පතුලෙන්ම නැඟෙන වචනවලින් මහේෂ්….. උඹ සදා අමරණීයයි මහේෂ්… උඹ සදා අමරණීයයි….”  

තිරසබැඳිය ප්‍රතිචාර 5