අලි බබා හදපු මැරහොරු…

මැයි 14, 2020 at ප.ව. 5:10 (සමාජ ඇසෙන් කතාවක්...) (, , , , , , , , , )

 

711A931A-8928-46B6-BE38-B31DECFD4A81

“අලි බබා හදපු මැර හොරා“

“අම්මේ කතාවක් කියන්නකෝ”

“මොන කතන්දරද ළමයෝ, නිදාගන්න”

“ අනේ අම්මේ”

“ හා එහෙනම් අහගන්නකෝ… ඔන්න එකමත් එක දවසක…”

පොඩිකාලේට ගියා වගේ දැනුණද???තාමත් ඉඳහිට හැබෑවටම බැරිවුණත් හිතින් ගිහින් එන්න ආස කාලයක්… ආයේ බොරු මොකටද අපි ආසයි අතීතය ස්මරණය කරන්න… ඉතිහාස කථා, බෞද්ධ කථා, ජන කථා මිනිස්සු නැවත නැවත මතක් කිරීමෙන් ඔබ්බට ගිහිල්ලා ඒවා ඩිජිටල් තිර මත ත්‍රිමාණව මවන තරමට අපේ මිනිස්සු ඒ අතීත කථාවලට ආදරෙයි… ඒ හා බැඳුණු වාණිජමය කාරණයක් ඇතත් ඒවා නැරඹීමට ප්‍රේක්ෂකයෝ ඇඳෙන එකෙන් තේරෙන්නේ ඒ කථාවලට මිනිසුන්ගේ තිබෙන ආදරයයි…

දේශපාලකයින්ගේ තුරුම්පු අතරත් අතීත කථාවලට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්… නිකමට කල්පනා කරලා බැලුවොත් පහුගිය අවුරුදු දහය පහළොව තිස්සේම ඇහෙන කථාවල් ඒ විදිහටම, විරාම ලක්ෂණයක් වත් නොඅඩුව ඇහෙන විත්තිය ඔබටම තේරේවී… නමුත් මගේ අරමුණ මේ ලිපිය උඩ සඳහන් කරපු එක කථාවක් ගැනවත් විචාරයක් ලියන්න නෙමෙයි… මට හිතුණා වෙනස්ම කථාවක් ඔබට කියන්න… මේ කථාවේ ලොකුම වෙනස තමයි අපිම ලියපු මේ කථාව අපිටම වෙනස් කරන්න පුළුවන් වීමයි…කාලෙකට පස්සේ මම විද්‍යුත් පන්හිඳෙන් ඔබ හා මේ කථාව බෙදාගන්න හිතුවේ මේ කථාව අපේ රටේ ගමන තීරණය කරන නිසා… මේක දේශපාලනික ධාරාවකට අදාළ කථාවක් නොවුණත්මානව හිතෛෂී දේශපාලනික කථාවක් වෙන්නත් පුළුවන්… ඉතින් මට අවසර…

ඉතින් මොකක්ද මේ කථාව… ඒ කථාව තමයි… “අලි බබා හදපු මැරහොරු”…

ඔව්… කියවන ඔබට හිතෙන්න පුළුවන් මම මාතෘකාව වරද්දගත්තද කියලත්… නෑ… ඒක තමා මගේ කථාවේ නම…

අරාබි නිසොල්ලාසයේ එන “අලි බබා හා හොරු හතිළිහ” ගැන මම දන්නවා… නමුත් ඒ කථාවයි මම කියන්න යන කථාවයි අතර ලොකුම වෙනස තමයි අරාබි නිසොල්ලාසයේ කතාව වෙනස් කරන්න බැහැ අපිට ඕනි විදිහට… නමුත් මම කියන්න යන කථාව ලිව්වේ අපි හැමෝම එකතුවෙලා…. ඔව් ඒ කථාවේ කර්තෘභාගය අපි හැමෝටම හිමියි පංගු පේරුවක් නැතුවම..නමුත් අපිට මේ “අලි බබා හදපු මැරහොරු” හැදීමේ කථාව වෙනස්කරන්න පුළුවන්… මොකද මේ කථාව තාම ලියැවිලා ඉවර නැති නිසා…. “මොකක්ද යකෝ මේ හතිරි බීරි කථාව?” කියලා ඔබට හිතෙන්න පුළුවන්… ඒහින්දා මම ඉස්සෙල්ලාම් මේක ලියන්න හිතුණ නිධාන කථාව කියල ඉන්නම්… මේ ලිපියේ අවසානය වෙද්දි ඔබේ බොහෝ ගැටළුවලට උත්තර ලැබිල තියේවී…

කොවිඩ් වසංගතය කියන්නේ සොබාදහම අපිට ඉගැන්නුව යස පාඩමක්…සොබාදහමෙන් මිනිස්සුන්ට ඉගැන්නුවා තාමත් සොබාදම තමා මේ ලෝකයේ චණ්ඩියා කියන එක… ඒ පාඩමේ ප්‍රතිඵලයක් විදිහට උදේ ඉඳන් රෑ වෙනකන් යන්ත්‍ර වගේ එහෙ මෙහෙ ගිය ධනවාදී සිරකඳවුරේ පරිභෝජනවාදයේ යදම්වලින් තදින් බැඳලා උන්නු සිරකරුවෝ වෙච්චි අපිට ලැබුණා පොඩි නිවාඩුවක්… ඇත්තටම අපිට අපි ඉන්නවා කියලා දැනුණ නිවාඩුවක්….

හෝව් හෝව්…!!!  දැන් හිතන්නෙපා මේ ලිපිය ලියන්නේ සමාජවාදයයි ධනවාදයයි සසඳන්න කියලා… ඒ දෙකේ හොඳ නරක සසඳන්න මට උවමනාවක් නැහ කොහෙත්ම… මට කියන්න ඕනි වුණේ යථාර්තය ගැන කියන්න විතරයි… ආයේ බොරු මොකටද මූල්‍යමය ලාභය ( monetary profits) පමණක් සොයාගෙන යන සමාජයක තියෙන්නේ මම කියපු සිරකඳවුරේ ලක්ෂණ… මොකද අපිහැමෝටම ඕනි හොඳ ගෙයක් දොරක්, වාහනයක්, සැප ජීවිතයක්… මේකට කියන්නේ consumerism (පරිභෝජනය) කියලා…මේ දේ දන්නවා වෙළඳ ප්‍රජාව… අපේ ආසවල් අපේම යදම් කරලා අපේ අවශ්‍යතාවයන් ඉටු කරන තැනට මේ සමාජ යාන්ත්‍රණය හදලා තියෙන්නේ… Loan, lease, overtime මේ හැම දේම තමයි ඒ යදම්… අපෙන් උදුරගත්තේ මොකද්ද… ඒ තමා නිදහස… ඉතින් ඒකයි මම කිව්වේ ධනවාදි රාජ්‍යයේ පරිභෝජනවාදී සිරකරුවෝ අපි කියලා….නැතුව කිසිම දේශපාලනයක් මෙතන නැහැ…

ඉතින් මේ නිවාඩුවේ ලැබෙන වෙලාවත් එක්ක සමාජ මාධ්‍යයේ වැඩිපුර සැරිසරන්න ඉඩ ප්‍රස්ථාව ලැබුනා… සෑහෙන දෙනෙක් කෑම හදලා තිබුණා, තව සමහරු ගෙවතු වගාවල් පටන් අරන් තිබුණා, සමහරු සිංදු කියලා තිබුණා, කවි, කථා ලියලා තිබුණා, චිත්‍ර ඇඳලා තිබුණා, සොබාදහම රසවිඳලා ඡායාරූපයකට අරන් තිබුණා…ඒ හැමට වැඩියෙන් පවුලේ අයත් එක්ක කාලය ගතකරලා තිබුණා… ඇත්ත මට හිතෙන විදිහට මේ තමයි අපිට මේ නිවාඩුවෙන් ලැබුනු ලොකුම + point එක… දෙමව්පියෝ උදේ වැඩට යද්දි නිදන් උන්නු දරුවෝ රැට දෙමව්පියෝ එද්දි නිදන්න ගිහින් තිබුණු සමාජ රටාවකට පොඩි brake එකක් වැදිලා තිබුනා..පවුල කියන දේ අපිට මතකරලා දීලා තිබුණා…

මේ දේවල් අතර සැරිසරද්දී මට Video 2-3 ක් බලන්න ලැබුනා… ඒවායේ හිටියේ කටේ කිරි සුවඳවත් නොගිය පොඩි උන්… හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සුරංගනා කතා ලිව්වෙත්, කුමාරතුංග මුනිදාසයන් වටිනා ඔවදන් ග්‍රන්ථ ලිව්වෙත් මේ පොඩි මල් වගේ දරුවන්ට… නමුත් ඒ Video වල ඒ කිරි සුවඳවත් නොගිය මුවවල් වලින් අහන්න දකින්න ලැබුණේ පාතාලේ ගහන්න, මරන්න යන කථා හා ඊටම ඔබින අත්පා චලනයි… ඒ මදිවට බජාර්වල අනවර්ථ නාමයන්… තව එකක තිබුණේ මෙලෝ තේරුමක් නැති ආදරය සම්බන්ධ ඔවදනක්…  මම මේ පොඩි උන් හා වෙන පොඩි උන් අතරේ මහ ලොකු වෙනසක් ශරීරයෙන් දැක්කේ නැහැ… බටු ගෙඩි දෙකක් විතර උස සමාන්‍ය කෙසඟ ශරීර කූඩුවක් තිබ්බ දරුවෝ ඒ අයත්… පොඩි උන් පැහැනෙවා තමයි… හැබැයි මේ අය කුණු වෙනතරමට ඉදිලා තිබුණේ….සන්නිවේදන තාක්ෂණේ ඇතුලේ බිහිවුනු සමාජ මාධ්‍ය රාජ්‍යයක දැමූ පොඩි පාතාල part එකක්…මේ වගේ දෙයකට සමාජ මාධ්‍ය වපසරියේ ලැබිල තිබුණු අවධානය views, shares ගණනින් අවබෝධ කරගන්න පුළුවන් වුණා… යමක් ඉක්මණට මිනිසුන්ට ළඟා කරන්න ඕනි නම් සමාජ මාධ්‍යය තරම් හොඳ මාධ්‍යයක් තවත් නෑ… මේ විත්තිය මේ පොඩි උන් දැනගෙන තිබුණා… නමුත් ඒ මිනිසුන්ට ළඟාකල පණිවිඩය කිසිම හරයකට නැති දෙයක්…

ඇත්ත… අපේ පොඩි කාලෙයි දැන් ඉන්න පොඩි අයගේ කාලෙයි තිබුණු තාක්ෂණ අතරේ ලොකු වෙනසක් තියෙනවා… අපි ඉස්සෙල්ලාම දැක්කේ ගඩොල් කැට size mobile phone …. ඒ කාලේ ඒක luxury item එකක්… නමුත් දැන් පොඩි උන් ඉපදෙදිම දකින්නෙම හීනි touch screen තියෙන mobile phone … දැන් ඒක common commodity එකක්…තාක්ෂණේ මිනිසුන්ට අවශ්‍යයයි… ඒවගේම නූතන පරම්පරාව ඒ ගැන යාවත්කාලීනවීම අනිවාර්යයි… නමුත් ප්‍රශ්නේ තියෙන්නේ තාක්ෂණයේ නෙමෙයි… තාක්ෂණයේ අවභාවිතයයි… තවත් ගැඹුරට ගියොත් මනුස්සයාගේ චිත්තනය හා හැඟීම මතයි… මේක මානව ගැටළුවක් වෙන්නේ එතනයි…

ලංකාවේ කාලෙන් කාලේට හැදෙනවා රැල්ලක්… Star රැල්ලත් එහෙම ආව රැල්ලක්… ඇත්ත දක්ෂතාවලට අවස්ථාවක් දෙන්න ඕනි… ඒකට අවශ්‍ය කරන පීඨිකාව මාධ්‍ය හදලා දුන්නා… පොඩි උන්ටත් ඒත් එක්කම තිරයේ ඉඩක් ලැබුණා… ඒක ඉතාමත් හොඳයි වගේම වටිනා කාලීන අවශ්‍යතාවයක්…උසස් අරමුණක්.. ප්‍රශ්නේ ආවේ එතන නෙමෙයි… ප්‍රශ්නේ ආවේ පොඩි උන් අධික වාණිජකරණයට ලක්කිරීමය… කෙටියෙන්ම කිව්වොත් පොඩි උන් හූරන් කෑමය…ඒ හූරන් කෑම ඇතුළේ සමාජයට සිදුවුණු හානිය මනින්නට බැරිවේවී…

මේ තරඟ විනිශ්ච මණ්ඩලවලින් තේරීල එක්තරා සන්ධිස්ථානයකට ආවාම ජනතාවට භාරදෙනවා sms වලින් ජයග්‍රහකයා තෝරන්න… දැන් මේ තරඟය දිනන්න මොනවද ඕනි කරන්නේ…. Election campaign එකක්… දරුණු campaign එකක්… කොයි අම්මා තාත්තාද කැමති තමන්ගේ දරුවා පැරදෙනවා දකින්න… ඉතින් අම්මා තාත්තා කරනවා campaign … පොඩි එකත් campaign ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ නමුත් උදේ ඉඳන් රෑ වෙනකන් පීඨිකාවල සිංදු කියනවා ඡන්ද එකතුකරන්න… sponsorship ගන්න… අන්තිමේදී සහජ දක්ෂතාවයක් ඔප්නංවගන්න කියලා ගියපු තරඟේ නිසා පොඩි එකාට ඉස්කෝල්ත් නැහැ…. සිරිත්මල්දම පොත මේසේ උඩ තනියම… පොඩි උන් පොඩි කාලේම කියවනවා ආත්මාර්ථයේ හෝඩි පොත…

සමහර තරඟවල තියෙනවා ජනප්‍රියම තරුව කියලා segment එකකුත් පොඩි උන් වෙනුවෙන්… ඒක තනිකරම sms… ජනප්‍රියම label එක හරිම දරුණු category එකක්… ඒකෙන් අන්ධවුණාම දක්ෂතාවය ඔපමට්ටක් කරගන්න ගන්න උත්සහයේ බැස්ම පටන්ගන්නවා… පොඩිකාලේ පොඩි උන් දිරිමත් කරන්න ඕනි දක්ෂතා ඔපමට්ටම් කරන්න මිසක ජනප්‍රිය කරන්න නෙමෙයි… ජනප්‍රියත්වය + point එකක් මුදල් හම්බකරන්න … නමුත් ඒකේ පැවත්ම කොච්චර කල්ද කියන්න අමාරුයි… මොකද ජනප්‍රියත්වය කියනදේ රඳාපවතින්නේ බොහෝ කරුණු මත පදනම්ව නිසා… සමහරවිට විෂය පථයට කොහෙත්ම අදාළ නැති කාරණයක් නිසත් ජනප්‍රිය වෙන්න පුළුවන්… ඒ වගේම ජනප්‍රියත්වය අමාරු දෙයක් balance කරන්නත් හරි හමන් අත්දැකීමක් නැතුවත්… ඒ වගේ දෙයක් පොඩි එකෙක්ගේ ඔළුවට කාන්දු කිරීම බොහොම භයානකයි…මොකද ජනප්‍රියත්වයේම එල්ලිලා ඉඳලා දක්ෂතා කුසලතා වර්ධනය නොකරගත්තොත් අනාගතයේ මුළු ජීවිතේම විනාශවෙලා යන්න පුළුවන් නිසා… එහෙම වුණු චරිත අපිට දකින්න ලැබිලා තියෙනවා…

සමහර දෙමව්පියන් මේ කිරි සප්පයන්ගෙන් තමන්ගේ හීන සැබෑ කරගන්න හදනවා… සමහරවිට ආදරේ වැඩිකමට වෙන්න පුළුවන්…. නමුත් ඒක ආත්මාර්ථකාමී සිතුවිල්ලක්… දෙමව්පියන් දරුවන්ට නිසි මඟ කියාදී ඒ ඔස්සේ ඔවුන් ගොඩනඟන ඔවුන්ගේ හීන වලට අත්වැලක් වීමයි කළයුත්තේ… දෙමව්පියන්ගේ යුතුකම වචන කිහිපයකට ලඝු කලහොත් “ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම” යන්න දරුවන්ගේ පොඩි ඔළුගෙඩ් තුළට කාන්දු කිරීමයි…නමුත් ඒ දේ වැඩිහිටියන් අතින් වෙනවද? උදාහරණ කිහිපයක් අරන් බලමු…

ලෙඩවෙලා පාසල මඟහැරුණු ලමයෙක්ට miss වුණු note එකක් ලියාගන්න පොතක් දෙන ළමයෙක් හොයාගන්න අද කාලේ හරි අමාරුයි… ඇයි ඒ??? ළමයි අතරේ තියෙන්නේ හැල්මේ දුවන race එකක්… හොඳින් හරි නරකින් හරි 1 වෙන්න තමයි හැමෝටම ඕනි… ඒකට උල්පන්දම් දෙන්නේ කවුද??? දෙමව්පියෝ නැත්නම් වැඩිහිට් සමාජයම තමයි… වාර විභාග ලකුණු ගන්න ආවාම ඕක හොඳටම බලන්න පුළුවන්… පෝලිමේ teacher ගාවට යන්න අම්මලා තාත්තලා ළඟම ඉන්න අම්මා තාත්තගේ ළමයාගේ ලකුණු එක්ක සංසන්දනය පටන්ගන්නවා…

“ ඔයාගේ පුතාට ලකුණු කීයද mathsවලට? අපේ එක්කෙනාටනම් 90 යි” බොලේ දාල බලනවා. උත්තර දෙන මනුස්සයාගෙ ඇස්වලින් පොඩි ඉරිසියාවක් ගලනවා.

“ අපේ කෙනාට ලකුනු 85 යි මෙයා. බලන්නකෝ මෙයාගේ පහුගිය දවස් ටිකේ tution sir ආවේ නැහැනේ… ඒකයි මෙහෙම වුණේ… මේ ඒක නෙමෙයි ඔයාගේ පුතාට english වලට කීයද?” ඔන්න ඒයා බොලේ pass කලා… දැන් අනික් කෙනාගේ මූණ ඇඹුල් වෙනවා….

“ ආහ් ඒකට… පොඩ්ඩක් ඉන්න මට මතක නෑ… මේ තියෙන්නේ… ලකුණු 80 යි… හරි tution එකක් තිබ්බෙත් නැහැනේ…..”

ඔන්න ප්‍රශ්නේ අහපු කෙනාටා මාර happy …

“ අපේ පුතාට ලකුණු 95 ක් ඒකට… අද කාලේ english නැතුව මුකුත් කරන්න බැහැනේ…”

හීන් නුලේ ජය පදය ගහනවා… මේ දෙබස දිගටම වෙනවා… දෙමව්පියෝ රැස්වීමෙන් පිටවෙලා යන්නේ වෛරය,ක්‍රෝධය, ලැජ්ජාව,තරහව,ආත්මානුකම්පාව හිතේ කැකෑරෙමින් තියෙද්දි… දැන් මේ වාඩුව ගන්නේ කාගෙන්ද…. අර හය හතර නොතේරෙන පොඩි එකාගෙන්…

“අම්මේ බඩගිනියි” පොඩි එකා එනවා හතිදාගෙන නාවර පෙරාගෙන ගෙදර…

“ බඩගිනියි??? කන්නම දෙන්න තමා වටින්නේ… අද මට ලැජ්ජා හිතුණා ඔයාගේ ලකුණු දැකලා… බලන්න ඔයාගේ යාළුවා සනේශ්ගේ ලකුණු…”

පොඩි එකා හොල්මන්…

“අම්මේ ඉතින් මගේ average එක 90 ක් නේ… චිත්‍රවලට 100 ක් තියෙනවනේ”

“ චිත්‍රවලට 100ක් විතරක් අරන් මක් කරන්නද… බලන්න ඔයාට english වලට ලකුණු 80 යි තියෙන්නේ… ඒකට සනේශ්… ඒ පොඩිඑකා… සට සට ගාල english වලින් කතාකරන්නේ…බලන් ඉන්න ආසයි වගේම ලෝභයි… ඔයාට තාම බැහැනේ එහෙම කතාකරන්න මෙච්චර tution, elocution ගිහිල්ලත්”

“ ඒ වුණාට සනේශ්ට මට වඩා ලකුණු නැහැනේ අනික් ඒවට”

“ මේ ඒකෙන් වැඩක් නැහැ… ඔයාට english වලට ලකුණු නැහැ… අද ඉඳන් cartoon බලන්න තහනම්… සෙල්ලම් කරන වෙලාව අඩු කරන්න ඕනි… ඔය ඔක්කම හින්දා තමයි ඔයාට englishවලට ලකුණු නැත්තේ… ඊලඟ term එකේ ලකුණු 95 ක් ඕනි හැම එකටම”

“අනේ අම්මේ….” පොඩි එකාගේ හිත කඩාවැටෙනවා…

“ අනේ පණේ නැහැ… ඒක තීන්දුයි… මම තාත්තටත් කියනවා මේ ගැන…ඔයාව හුරතල් කලා වැඩියි… බලන්න අපි මෙච්චර වියදම් කරනවා… ඔයාට ගානක්වත් නැහැ…”අම්මා පොඩි එකාට confirmation bias වල තරම පෙන්නල පුප්පගෙන යනවා…

පොඩි එකාට ප්‍රශ්නයක් අහන්නවත් ඉඩක් නැහැ… දැනුමක්, විද්‍යාවක් නිර්මාණය වෙන්නේ අහපු ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ගිහින්… නමුත් වර්තමාන සමාජය ප්‍රශ්න අහන මිනිසා දිහා බලන්නේ වපර ඇහෙන්… හැමෝම පතන්නේ ඕනි දෙයකට එහෙයි කියන යන්ත්‍රයක් මිසක හිතන මිනිහෙක් නෙමෙයි…

පොඩි එකාට අණ්ඩර දෙමළ වගේ මේ කථාව…. Average එකත් 90ක්…නමුත් බරපතල සිර දඬුවමක් තීන්දු වෙලා…සමහරවිට මේ සනේශ්යුයි, මේ ළමයයි හොඳම යාළුවෝ වෙන්න ඇති… Interval එකේ එකට කෑම බෙදන් කාපු පොඩි උන් දෙන්නෙක් වෙන්නත් පුළුවන්… නමුත් අද ඉඳලා මේ ළමයට සනේශ්ව වහ කඳුරු වගේ… මොකද මේ ළමයගේ මුලු ලෝකෙම බිඳ වැටිලා සනේශ්ගේ english ලකුණු නිසා…සනේශ් හා මේ දරුවා මේ කතාවට මම ඈඳාගත්ත මනඃකල්පිත චරිත දෙකක්… නමුත් මේ චරිත අපේ සමාජයේ තියෙනවා ඕනි තරම්…

හිරකාරයෙක්ට ඉස්සෙල්ලාම නැතිවෙන්නේ තමන් ආසකරපු දේවල්… මේ පොඩි එකත් හිරකාරයෙක් වගේ… වෙනස තමයි උසාවියකින් සාධාරණ නඩු විභාගයකින් තොරව වැරදිකරුවෙක් වුණු චූදිතයෙක් මේ පොඩි එකා… අඩුමගාණේ පොඩි එකාට තමන්ගේ මතය තහවුරු කරන්න නැත්නම් burden of proof එකටවත් අවස්ථාවක් නෑ… ඊටත් පොඩි එකා කරපු වැරැද්දකුත් නැහැ… නිකමට හිතන්න අයින්ස්ටයින්ගේ, එඩිසන්ගේ අම්මා තාත්තත් මෙහෙම වුණානම් අද මේ ලෝකේ මෙහෙම දියුණු නොවෙන්න තිබ්බා…

මෙලොව එළිය දකින පොඩි උන් අඬන්න විතරයි දැනගෙන ලෝකෙට එන්නේ… ඒක තමයි පොඩි කාලේ උන් දන්න එකම සන්නිවේදන මාධ්‍යය… බඩගිනිවුණාම, තනිවුණාම, වේදනාවක් දැනුණාම ඒක කියන්නේ අඬලා…. ඉන් පස්සේ තමා අම්මා තාත්තාගෙන් අකුරක් දෙකක් අල්ලන් කියවන්නයි, අතේ එල්ලිලා ඇවිදින්නයි ඉගෙනගන්නේ… එහෙව් පොඩි උන්ට target දෙනවා sales වගේ කරන්න… “ශිෂ්‍යත්වයට අපිට මෙච්චරක් ඕනි, මේ subject වලට 95ට වඩා ඕනි”… වරදකට නැහැ කිසිම ඉඩක්…මේ පොඩි එකාගේ දෛවය ඊට පස්සේ මවයි පියයි තීරණය කරනවා… පොඩි එකා පැය 24 x 7 ම වැඩ අම්මගෙයි තාත්තගෙයි සිහින සැබෑ කරන්න… වැඩ කිව්වට බලෙන් වැඩේ කරගන්නේ…. දවස් 7 ම… නිර්මාණශීලී අදහසක් හිතන්න කාලයක් නෑ… තනිකරම හිත් පිත් නැති යන්ත්‍රයක් වෙනවා… එහෙමයි අමනුස්සකම නිර්මාණය වෙන්නේ… අන්තිමට කිසිම මනුස්සයෙක් ගැන නොසිතන, සොබාදහම ගැන නොහිතන යන්ත්‍රයක් හැදෙනවා… ඒ යන්ත්‍රය තව යන්ත්‍ර පැටව් ගහනවා… ලෝක තරාදියේ යන්ත්‍ර පැත්ත මිනිසත්කම පැත්තට වඩා බරවෙලා අවසානයේ තරාදිය කඩා වැටෙනවා…දැනටමත් ජීවන නිපුණතා වගේ විෂයන් ඇවිල්ලා තියෙනවා මිනිසත්කම ගැන කතාකරන්න… හෙට අනිද්දට මේක තවත් හැල්මේ දුවන විෂයක්වෙලා වාණිජකරණයට ලක්වුණු තවත් විෂයක්මාලාවක් නැතිනම් කෙටියෙන්ම කිව්වොත් tution පවා ඇතිවියහැකි ප්‍රවණතාවයක් දකින්න හම්බවුණොත් මා පුදුම වෙන්නේ නෑ… දැනටමත් ඒ දේ වෙලාද කියන එක ගැන මම හරියටම දන්නෙත් නෑ…

ඉහත කිව්ව කාරණා දිහාම බැලුවම පේන එක දෙයක් තමයි දෙමව්පියන් තමන්ගේ සිහින වෙනුවෙන් ළමයා භාවිතාකරනවා කියන එකයි… කොටින්ම social status එක හදාගන්න ළමයා භාවිතා කරනවා කියන එක පැහැදිලියි…අපි නිකමට හිතමු අපේ කථා නායක ළමයා මාධ්‍යයක් ඉස්සරහ චිත්‍රයක් ඇඳල පළමුවෙනියා වුණා කියලා… අර අම්මට තාත්තාට ඊට වඩා දෙයක් නැතිවෙයි එහෙම වුණනම්… නමුත් වාර විභාගයකදී මේ ලබපු ජය වැදගත් නැහැ… මොකද ඒ??? වෙන කිසිම කාරණයක් නැහැ… වාර විභාගයකින් ලබපු ලකුණු 100 න් social status up වෙන්නේ නැහැ…අනික ඒ මදිවට social status up වෙන subject එකක් නෙමෙයි චිත්‍ර පාසලේදී… සෞන්දර්ය විෂයන්වලට අත්වෙලා තියෙන්නේ මේ පාසල් ක්‍රමයේ එහෙම තත්වයක්… ඒත් තරඟයෙන් ලබපු ජයෙන් ජනප්‍රිය වෙලා social status up වෙනවා… ඕක තමයි තිත්ත ඇත්ත…

ඒකයි මම කියන්නේ ඒක ආදරයට එහා ගිය සමාජ තලය උසස් කරගැනීමේ තණ්හාවක් කියලා… මම කියන්නේ නැහැ හැම අම්මා තාත්තෙක්ම මෙහෙමයි කියලා… එහෙම කිව්වොත් මම අසාධාරණයි… නමුත් මේ social status up කරන්න ගිහිල්ලම දරුවන්ගේ ජීවිත් විනාශ කරපු අම්මලා තාත්තලා ඉන්නවා… ඒක බොරුවක් නෙමෙයි…

ඒ නිසාම දරුවාගේ උත්පත්තියෙන් ආපු සහජ දක්ෂ්තා ඔපමට්ටම් වෙන්නේ නැහැ… ජනප්‍රියත්වය කියන බැලුම් බෝලය උඩ ගිහිල්ලා හිල් වුණ දාට වැටෙන තැනක් හොයාගන්න බැරිවෙනවා… ඒක දරුවාගේ කරුමය වෙනවා… දරුවාට ආදරෙයි නම් දක්ෂතා ඔපමට්ට්ම කරන්න අවශ්‍ය ශිල්ප ඥණය ලබාදෙන්න… ඒකට පොඩි එකාගේ පොඩි කාලේ කාබාසිනියා කරන්න එපා… ඉස්සර ළමා පිටියෙන් බිහිවුණු ගායක ගායිකාවෝ අදටත් ක්ෂේත්‍රයේ ඉන්නවා… ඒ අය ජනප්‍රියයි… මගේ මතය නම දරුවන්ට කෙටි ක්‍රම කියලා දෙන්න එපා ජනප්‍රියත්වය වගේ දෙයක් ලබන්න ඕනි කුණුගොඩක් කරලා… පැවැත්මක් නැහැ… ඊට වඩා මහන්සියෙන් ලබාගන්න ජයක අගය කියලා දෙන්න… දීර්ඝ කාලයක් බැබලේවී… වැටෙද්දී අල්ලගන්න…නැගිට්ටවන්න… ඒ පිනම ඇති අම්මේ තාත්තේ ඔබට බුදු වෙන්න…

මම බලපු video වල හිටපු රෞද්‍රමල් කැකුළු නිර්මාණය කලේ කවුද… උන් බඩින් එද්දිම මේ හරුප කියාගෙන අවාද… නැහැ… මේ අපේ සමාජයේ නිර්මාණ… අපිම තමයි නිර්මාණකරුවෝ… “සිඟිති පාතාලේ හිස ඔසවයි” ජනප්‍රියම වදන… කණ්නාඩිය ඉස්සරහට යන්න… සිඟිති පාතාලේ සාඩම්බර නිර්මාණකරුවෝ බලාගන්න පුලුවන්…ඒ වගේම බොළඳ පුහු දෙබස් දොඩවන දරුවන් ඉන්නවා… මේ කාගේ නිර්මාණද… මේ අපේම නිර්මාණ… මොකද වැඩිහිට අපි පෙන්නලා දීලා තියෙනවා කුණු market කරන එක ලේසි හා profitable විත්තිය අපේ බාල පරම්පරාවට… ඕක තමයි ඇත්ත…

උදේ ඉඳන් රෑ වෙනකන් රූප පෙට්ටියේ යන ටෙලි නාට්‍ය, චිත්‍රපටි බලන්න… music video, වෙළඳ දැන්වීම් බලන්න… බොහෝවිට දකින්නේ මනස විකෘති කරන ක්‍රෝධය, වෛරය වපුරන දේවල්… ගීතයක් හෝ music video එකක්  ඇහුවොත් නැත්නම් බැලුවොත් තියෙන්නේ ප්‍රේමයෙන් පැරදී මියයාමක් හරි, කෙල්ල හෝ කොල්ලා මරාදමන දර්ශනයක් හරි, ප්‍රේමයට වෛරකරමින් කාලය කාබාසිනියා කරපු සිද්ධියක් බොහෝවිට…සුලභ දෘෂ්ටි අගතියෙන් පෙළෙන බාල පරම්පරාවක් ඔවුන් නිර්මාණය කරනවා ratings ලබා ගැනීමේ කෑදර අරමුණින්… හාස්‍ය තියෙන්නේ ඒ දේවල් වපුරන මාධ්‍යයම ළමා මානසික සෞඛ්‍ය ගැන උදේට විද්වත් මණ්ඩලයක් සමඟ සාකච්ඡා කිරීමයි… ඒ විද්වත් මණ්ඩලය හ්ම් සද්දයක් නැහැ…. අපි හැමෝටම මතක තියාගන්න දෙයක් තියෙනවා… අපි මිනිස්සුන්ගෙන් ජීවත් වෙන මිනිස්සු… නිදහස් අධ්‍යාපනයේ ඉඳන්ම, නිදහස් සෞඛ්‍යයේ ඉඳන්ම, ඔබ මා ගමන්ගන්නා තාර පාරේ පවා තියෙන්නේ පැල්පතේ ඉඳන් සිටු මැදුර දක්වාම මිනිසුන්ගේ දහඩිය සුවඳයි… ඒ නිසා මිනිසා පරිස්සම් කරගැනීම අපි කාගෙත් වගකීමයි… ඒ වගකීම හමුවේ නිහඬව සිටීම මිනිස්කමටත් කරන නිග්‍රහයක්…

තව දෙයක් කියන්න හිතුණා පරම්පරා ඝට්ටනය ගැනත්… සමහර අපේ බාල පරම්පරාවේ උදවිය ලබාදෙන නිර්මාණ ගැන අපේ වැඩිහිටි පරම්පරාව දක්වන සැලකිල්ල හරිම අඩුයි…බාල පරම්පරාවේ හොඳ දේවල් වපර ඇහින් බැලීම හරි සුලබයි…. ගී පද රචනාවක් ලබාදුන්නොත් ඒකේ වචනයක් වත් නොකියවා අහක දාන අවස්ථා එමටයි… ඉතින් අර නිර්මාණකරුවොත් කුණු marketing වල බිල්ලක් වෙනවා පස්සේ කාලේක… කථාව ඔයිට වඩා වෙනස් වෙන්න තිබුණා විනාඩියක් දෙකක් අරන් නිර්මාණය කියෙව්වානම්… මේ නිසා අපිට නැතිවුණු අග්‍රගණ්‍ය නිර්මාණ බොහෝ ඇති.. මම වැඩිහිටි පරම්පරාවට ආරධනා කරනවා ඉඩක් දෙන්න මේ බාල පරම්පරාවට…

කුණු marketing කරලා තමාගේ ගතමනාව හොයාගන්න මුදලාලි මහත්ම මහත්මීන් මේ සමාජයේ ජීවත්වෙනවා… ධන බලය, නිල බලය, දේශපාලනික සම්බන්ධතා වලින් පොහොසත් මේ උදවිය රටේ අනාගතය කාබාසිනියා කරනවා… ඇත්තම කිව්වොත් පොඩි උන්ගේ මනස විකෘතිකරලා, උන්ගේ ශක්තිය හීනමාන කරල ජීවත් වෙනවා… අර videoවල දැක්කේ එහෙම දෙයක්… ඒ තමයි විනාශය…කාලාන්තරයක් තිස්සේ අපේ කොන්දක් නැති දේශපාලකයින්, ඕනි දෙයකට එහෙයි කියන වැඩිහිටි සමාජය, කුණුම පමණක් ජීවිකාවකරගත් මාධ්‍යය වපුරපු බීජ… දැන් ඒවා වැඩිලා මහ තුරු ලතාවෙලා… ඒ වැල් යන්නේ අයාලේ…මැස්සක් බඳින්නයි සිද්ධවෙලා තියෙන්නේ නිවැරදි දිශානතියට ගන්න… ඒක ලේසි වැඩක් නෙමෙයි…

මැතිවරණ සංදර්ශනවල දරුවෝ වඩාගත්තට වැඩක් නැහැ මේ දරුවන් විනාශකරන මිනිසුන්ට ආවඩන ගමන්… මට හිනායන කාරණයක් තියෙනවා… මගේ පාසල් ජීවිතයේ විවිධ කටයුතු සඳහා දේශපාලකයින් සහභාගී වුණු අවස්ථා තිබුණා… සමහරු පාසලේම ආදිශිෂ්‍යයෝ… මේ අය දරුවන්ගේ උත්සවවලට ඇවිදින් කතාකලේ දේශපාලනය… පොඩි උන්ට සර්වජන ඡන්ද බලය තියෙනවද? එවන් සභාවල කතාකලයුත්තේ ආදර්ශමත් කතාවක්… දරුවන්ට දැනෙන කතාවක්… දේශපාලනික මහප්‍රාණ වැඩක් නෑ… වැඩිහිටි පරම්පරාවෙන් සමාජගත වෙන්න ඕනි ආදර්ශ මිසක් අපුල ජුගුප්සාජනක අදහස් නෙමෙයි…

ළමයි කියන්නේ තමන්ගේ social status up කරන්න දෙවියෝ දුන්නු තිළිණයක් නෙමෙයි… ලිංගික ගණුදෙනුවකින් ශුක්‍රාණුවක් හා ඩිමබයක් සංසේචනය වෙලා ගැහැණියකගේ ගර්භාෂයේ දස මසක් වැඩිලා මෙලොව එලිය දකින දරුවා හයක් හතරක් දන්නේ නෑ… පොඩි එකා ඉගෙනගන්නේ වැඩිහිටි අපෙන්… ඒ නිසා පොඩි උන්ට ගහලවත් බැනලවත් වැඩක් නැහැ උන්ගේ මදාවි වැඩවලට… ළමුන් අතර බෙදීම, ක්‍රෝධය ඇතිකරල තියෙන්නෙත් වැඩිහිට් පරම්පරාවයි… Ratrace එකේ හැල්මේ දුවන්න දරුවන්ට පුරුදු කලේ අපි…හැමදෙයකටම තරඟයක් නිර්මාණය කලේ අපිමයි…

ඇත්ත ආර්ථික විද්‍යාවට අනුව මිනිසාට incentive එකක් තියෙන්න ඕනි යමක් කරන්න… පොඩි එකත් මනුස්සයෙක් නිසා incentive එකක් දුන්නාට වරදක් නැහැ… නමුත් incentive එක දෙන්න ඕනි පොඩි එකාගේ හීනවලට පාර කපන හරි දේ කරන්න මිසක් කුණු ගොඩකට එකතුවෙන්න නෙමෙයි… එහෙම එකක් නුදුන්නාම තමයි secondary camera එක on කරලා මදාවී අදහස් වයසට නොගැලපෙන්න දාලා සමාජ පිලිලයක් විදිහට කල එලි බහින්නේ… ළමයාට තියෙන්න ඕනි ප්‍රශ්න අහලා උත්තර සොයන නිර්මාණශීලීව හිතන මනසක්… නැතුව God Father මනසක් නෙමෙයි… ඒ මනසට අවශ්‍ය වාතාවරණය හදලා දෙන්න ඕනි වැඩිහිට් පරම්පරාවයි… ඒ අයත් “අලි බබාල” වුණාම වෙන්නේ මේ වගේ “මැරහොරු” බාල පරම්පරාවක් නිර්මාණය වීමයි…මේ කථාව ලියැවෙන විදිහ වෙනස් කරන්න පුළුවන් අපිටමයි… රටේ අනාගතය සුරක්ෂිත කරන්න මේ තීරණය අපි ගතයුතුමයි…

අවසානයේ මෙසේ ලියා තබමි…

ලාභයම මූලිකවූ සමාජ රාමුවක් තුළ…

දරුවාද වෙළඳ භාණ්ඩයක් වුවහොත් දිගින් දිගටම…

දිනෙක මාවතකදී නෝට්ටු හා කාසි වෙනුවෙන් කිනිස්සකින් ඔබෙ ගෙල සිඳෙනු ඇත්තේ…

“අලි බබා හැදූ මැරහොරෙකු”

අතින්ම බවයි.

 

 

 

 

 

 

 

තිරසබැඳිය ප්‍රතිචාරයක් ලබාදෙන්න

අහස හෙවණ කරගත් ළමයි….

ඔක්තෝබර් 14, 2011 at ප.ව. 3:13 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , , , , , , )

F31CB9B6-BD0E-4D89-BD59-5ADABAB18EED

ඒත් මේ ළමයින්ගේ කුසගින්න හෙට දවසේ නිවෙයි කියලා කියන්න පුලුවන් කාටද?????

” අද ඔක්තොම්බර් 1 වෙනිදා…. ලෝක ළමා දිනය…. මේ විශේෂ වැඩසටහන අප මාධ්‍ය ආයතනය සංවිධානය කලේ ළමයින්ටම පමණක් විශේෂ වූ මේ දිනය සමරන්නටයි ”

මේ ඔක්තොම්බර් 1 වෙනිදා බොහෝ ජනමාධ්‍ය වලින් කියැවුණු කාරණයක්….  එක් එක් මානුෂීය කාරණා සම්බන්ධව අවුරුද්දේ 365 දවස් වෙනවෙනම වෙන්කිරීම අනුමත නොකලත් අවම වශයෙන් ළමුන් වෙනුවෙන් එක දවසක් හෝ මේ කාර්යබහුල marketing සමාජය තුළ වෙන්වී තිබිම ගැන ඇත්තටම සන්තෝසයි……..

නමුත් යථාර්තය නම් මේ දිනය සමරන්නේ marketing රාමුවේ ඉඳන්…. නමුත් කමක් නෑ….  ඒ චේතනාව අතරේ හොඳ චේතනාවක් තියෙන නිසා  ප්‍රශ්නයක් නෑ…. මොකද marketing ලෝකයට හැමවෙලේම ඇඟිල්ල දික්කරන එක වැරදියි…. ඒකෙ ඇතුලේ හැමවෙලේම වෙන්නේ වැරදි වැඩ විතරක් නෙමෙයි…. හොඳ දේවලුත් සිද්ධවෙනවා…. ඒ නිසා ඒ දේවල් අගය කලයුතුයි….

දැන් හැරෙමු ලෝක ළමා දිනයට ආයෙමත්…. Programme එකට ආපු පොඩි උන්ට නිවනක් නැහැ…. සමහරු නටනවා…. සමහරු නටනවා කියල උඩපනිනවා…. සින්දු කියනවා…. අත්පුඩි තලනවා…..  නාට්‍ය රඟපානවා…. ඉඳල හිටලා වලියකුත් තියෙනවා ලොකු මිනිස්සු වගේ… ලැජ්ජාවෙන් ඇඹරෙනවා….. වැඩ කෝටියයි….!!!!! ඒ තමයි පොඩි උන්ගේ ලෝකය….

ඇත්ත තමයි පොඩි උන් මල් වගේ කියන්නේ…. ඒ අයගේ හිත් අපිරිසිදුවෙලා නෑ…. ඒ අය ළඟ ඉන්න මනුස්සයගේ ජාතිය ජන්මය හොයන්න යන්නෙ නෑ…. ඒ හින්දා ඒක ඒ අයට ප්‍රශ්නයක් නෙමෙයි…. ඒක ප්‍රශ්නයක් වෙන්නේ ලොකු මිනිස්සුන්ට…. ඒ අය තමා මේ බෙදාවෙන්කරන්න උත්සහකරන්නේ එක එක කුලකවලට පොඩි කාලේ ඉඳන්ම…. අන්තිමට ඔය පොඩි ළමයා ලොකු මනුස්සයෙක් වුණු දවසට කරන්නෙත් ඔය ටිකමයි ඒ අඩි පාරේ ගිහිල්ලා….

එක පැත්තක සුනඛ සංදර්ශන ( Dog Shows )…. පොඩි උන් කටත් ඇරගෙන බලන් ඉන්නේ සුනඛයන්ගේ වැඩකිඩ ගැන…. එක පැත්තක ice cream…. එදාට ඔය සෑහෙන වියදමක් දරා ඇතුල්වෙන්න තියෙන amusement parksවලට ඇතුලුවීම නොමිලේ…. නැතිනම් ticket වල ගාණ අඩුයි…. ඒනිසා පොඩි උන්ටත් මාර chance එක විනෝදවෙන්න….

ඒ ඔක්කෝටම වඩා පොඩි එකාට කාලේකට පස්සෙ තමන්ගේ දෙමව්පියන් එක්ක දවසක් විනෝදයෙන් කාලේ ගතකරන්න ලැබිලා…. මොකද අනික් දවස්වලට අම්මයි තාත්තයි machine වගේ…. ඒගොල්ලෝ උදේම office නැතිනම් වැඩට යනවා…. දරුවා එක්කො ආච්චි ගාවා…. නැතිනම් ආයා ගාවා…. එහෙමත් නැතිනම් day care center එකේ…. මේ marketing ලෝකය ඇතුලේ ඒ දෙන්නාට ලොකු තරඟයක් කරන්න වෙලා ජීවත්වෙන්න…. මොකද මේ පොඩි එකාගේ අනාගතය සවිමත් කරන්න ආරථිකමය වශයෙන් ශක්තිමත් වෙන්න වෙලා තියෙනවා ඒ දෙන්නාට….

ඉතින් පොඩි එකාට අම්මගේ තාත්තාගේ උණුසුම ලැබෙන්නේ නිදාගන්න පැය කිහිපයදීයි…. එතැනින් ගියාම නිවාඩු දවස්වලයි….. සමහරක්විට පොඩි උන් නොකිව්වට උන් වැඩියෙන්ම සන්තෝස වෙන්නේ ඒ කාරණේ නිසා වෙන්න ඇති…. ඔය පොඩි හිත්වලට දැනෙන හැමදේම කියන්න තරම් උන් වචනවලින් පොහොසත් නෑ…. ඒක තමා ඇත්ත…. වචනවලින් පොහොසත් වෙනකොට උන් ලොකු මිනිස්සුන්ගේ කුලක ඇතුලේ බෙදිලා ඉවරයි…. ඒක තමා කරුමේ….

ඉතින් දවස පුරාම විවිධ වැඩසටහන්…. විවිධ තරඟ…. අන්තිමට ඇමති කෙනෙක් ඇවිල්ලා තෑගිත් දුන්නා…. පොඩි උන්ටත් කල්ල මරේ…. කාලෙකින් හිතේ හැටියට විනෝදවෙලා අන්තිමට ගෙදර ගෙනියන්න තෑගිත් ලැබිලා…. මුණ පුරා මලක් පිපිලා…. හා හා මලක් පිපිලා!!!!!

කොහොමහරි දවස අවසන්වුණා…. පොඩි උනුත් ගෙවල්වලට ගියා ඒත් සන්තෝසෙන් නෙමෙයි…. මොකද උන් දන්නවා හෙට ඉඳන් ඒ අයට අම්මයි තාත්තයි වැඩට ගියාම තමන්ගේම ලෝකය ඇතුලේ තමන්ට සිරකාරයෙක් වෙන්න වෙන බව…. අත පය හොල්ලලා චණ්ඩි පාට් දානවා බොරු….

සමහරවිට මේ අද දිනාගත්ත තෑගි ඒ අයගේ තනියට ඉදිවී…. සමහරක්විට ඒකත් නැතිවෙයි…. මොකද අපේසමහර අම්මල තාත්තලා ඒ තෑගි තියන්නේ ලස්සනට cabinet එකක කඩයි කියල බයට…. පොඩි එකාට වෙන්නේ ඒ දිහා බලන් සුසුම් හෙලන්නයි…. ඒ අය සෙල්ලම් බඩු එක්ක පොඩි කාලේ සෙල්ලම් කරන්නෙ නැතුව දීග ගිය කාලෙක සෙල්ලම් කරන්නද???? එහෙම සෙල්ලම් කලොත් ඉතින් අනිවාර්යෙන්ම ගිහිල්ලා නතරකරයි අංගොඩ….

ඒක හරිම වැරැදි වැඩක්…. ඇත්ත සමහරක් සෙල්ලම් බඩු ළමයින්ට අහිතකරයි…. ඒවායේ තියෙන කොටස් කටේ දාලා උගුරේ දාලා හිරේ කරගන්න පුලුවන්…. නමුත් අනික් සෙල්ලම් බඩු දෙන්න පුලුවන් ළමයින්ට සෙල්ලම් කරන්න…. ළමුන්ගේ නිර්මාණත්මක චින්තනය දියුණු කරන්න ඒවා ඉවහල්වෙනවා….

එහෙම නොදෙනවානම් ඒක ඇත්තටම ඒ ළමයාගේ මුලික මිනිස් අයිතිවාසිකමක් කඩකිරීමක්…. සමහරවිට අඩි හප්පලා… ගිරිය පුප්පලා කෑගහල අඬන්නේ ඒක දරාගන්න බැරිව වෙන්න ඇති…. පොඩියට හිටියට උනුත් හොඳ විප්ලවවාදියෝ!!!!….

දැන් ඔක්තොම්බර් 1 වෙනිදා ඉවරවෙලා ටික දවසක්…. මිනිස්සු සුපුරුදු ලෙස වෙලා…. මාත් ගියා ඊයේ පෙරේදා දවසක බොරැල්ලට මගේ පෞද්ගලික කාරණයකට…. වෙනසකටත් එක්ක මං ගියේ කොස්වත්ත්ට ගිහින් 171 ක… එතකොට මට Ritz සිනමාහල ළඟින් බහින්න පුලුවන්…. Ritz එක ගාවින් බැස්ස මම ඇවිදගෙන ආවා 154 bus halt එකට…. මේ එන පදික වේදිකාවේ කෙලවරක තියෙනවා උමං මාර්ගයට පිවිසෙන ස්ථානයක්….

එතැන ඉන්නවා සිඟමන් යදින පවුලක්…. මෙතැන මගෙ ඇස් ගියේ එතැන හිටපු පොඩිම සමාජිකයන් දිහාවට…. ඇත්තටම ඒ ළමයි අපි T.V.වල, Addවල  දකින පියුරු ගාපු ලස්සනට අන්ඳපු ලමයි නෙමෙයි…. අපිරිසිදු වැරහලිවලින් සැරසුනු, සොටු පෙරාගත්තු, අපිරිසිදු ළමයි…. ඒත් ඒ ළමුන්ගේ මුහුණේ ලස්සන හිනාවක් තිබ්බා…. ඇත්තම කිව්වොත් අනික් අහිංසක ළමයින්ගේ වගේමයි…

මේ ළමයි අර සමබල ආහාර කන, sausages කන, cheese කන, noodlesකන ළමයි නෙමෙයි…. කොටින්ම බොන්නෙත් රොන්මඩ, මළකඩ මුසුවෙච්චි ජලය…. වැසිකිලි කැසිකිලි පහසුකම් නෑ…. අම්මගෙ හරි තාත්තාගේ හරි අතේ එල්ලිලා බෙලෙක් එකකුත් අරගෙන පාර පුරා ගිනි අව්වේ ඇවිදල තමන්ගේ එදා වේල පිරිමහගන්න ලොකු මිනිස්සු එක්ක හරි හරියට සටන කරන ළමයි….

එදා වේල හොයගන්න බැරිවුනාම කුණුගොඩක් හරි අවුස්සලා කන්නට යමක් හොයගන්නවා…. පාන්වාටියක්, ඉතුරුවෙච්චි බත් ඔය මොනවහරි කුසට දාගන්නවා….  මිනිස්සු කාලා ඉවත දාපු පාර්සල්වල  මස් කටු ඒ ලමයි සූප්පු කරන්නේ හරියට දිව්‍ය භෝජනයක් වගේ…. මේක විරල සිද්ධියක් නෙමෙයි… මේ ගිනිගහන සෙයිලමේ මේවගේ දේවල් ඕනිතරම් අපි දැකල තියෙනවා…. කණගාටුව මේකයි… එ ළමයි එහෙම තමන්ගේ බඩගින්දර නිවාගන්නකොට ඒ අය සිඟමන් යදින මාර්ගයේම තියෙන තරු 5 හෝටල්වල ආහාර කිලෝ ගණන් අහක දමනවා….

අපේ ගොඩක් අය සෑහෙන්න වියදම් කරල උපන්දින සාද, අවුරුදු සාද ගන්නවා…. මං කියන්නේ නෑ ඒක වැරදියි කියලා… ඒක ඒ අයගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය…. ඒත්  ඇත්තම කිව්වොත් මේ වගේ අහිංසක දරුවන්ගේ කුසගින්න එක දවසකට හරි ඔබට නිවන්න ලැබුනොත් ඒක තමන්ගේ ජීවිත කාලය පුරාවට කරගන්න ලොකු පිනක්…. සාද පවත්වනවට වඩා සැනසීමක් ඔබට දැනේවී…. රජ බොජුන් අවශ්‍ය නෑ ඒකට…..

ගිනි අව්වෙ ඇවිදලා ඒ ළමයින්ගේ මුහුණ පිච්චිලා…. පුංචි ළමයි මල් වගේ කිව්වට මේ ළමයින්ගේ මුහුණු ඒතරම් පියකරු නැහැ…. ඒත් අහිංසක හිනාවකින් පිරිලා…. කොණ්ඩේ බොකුටු ගැහිලා…. ඉපදුණු දා ඉඳන් ඒ කොණ්ඩේ පීරලා නැතුව ඇති….

ඇඟ පුරාම තුවාල, කැළල්…. පොඩි ළමයි ළඟ එන සුවඳ විලවුන් සුවඳ වෙනුවට මේ ළමයින්ගේ ළඟින් එන්නේ දාඩිය පෙරුණු නාවර ගඳ…. ඒත් ඒ මුහුණේ තිබ්බේ අහිංසක දරුවෙකුගේ හිනාවක්…. ඇත්තටම මේත් ළමයි නේද????

ගෙවල්වල ඉන්න ළමයි සැපට උණුසුම් පොරෝණ පොරවගෙන නිදියද්දී මේ ළමයි නිදියන්නේ කඩපිලක නැතිනම් මහ පාර අයිනේ සීතලට ගුලිවෙලා…. වැස්සක් වැස්ස දවසට ඒ නින්දත් නෑ…. අපිට නිදාගන්න බැරිවුණාම කොච්චර අමාරුද????ඒත් ඒ දෙයින් ඒ අයට මිදෙන්න බැහැ…. මොකද ඒ අයගේ හෙවණ අහසම නිසා….කොච්චර අමාරුවුනත් ඊළඟ දවසේ මේ ළමයි සිඟමන් ගියේ නැත්නම් ඒ ළමයි බඩගින්නේ… ඒක තමා ඒ ජීවිතවල  යථාර්තය….

පුංචි ළමයි ආස සෙල්ලම් බඩුවලට…. උන්ට සෙල්ලම් බඩුවලින් තොර ලෝකයක් නැහැ…. ඒත් මේ ළමයි තමන්ගේ ඒ ආශාවල් සන්සිඳුවගන්නේ බෙලෙක් පියන් වලින් නැතිනම් පොල්පිතිවලින්…. එහෙමත් නැතිනම් කුණුගොඩකින් අහුලගත්තු අණ්ඩ කැඩිච්චි බෝනික්කෙක්ගෙන්, කැඩිච්චි car එකකින්….

සෙල්ලම් බඩු කඩ ළඟින් යද්දී ඒ පුංචි හිත්වලට කොච්චර රිදෙනවා ඇත්ද????… ඒ ඇස්වලට කඳුලු පිරෙනවා ඇත්ද???? උන් කොච්චර දුකක් හිත ඇතුලේ හංගගෙන ඇත්ද???? ඒත් ඒ අයට මෙව්ව කියන්න කවුරුත් නැහැ…. කාට කියන්නද ඇත්තටම….

සමහරවිට මේ ළමයි මේ අවනඩුව කියනවා ඇති…. ඔව්, ඒ වෙන කාටත් නෙමෙයි රෑ අහසේ ඉන්න හඳටයි තරුවලටයි…. දවල්ට ඉර දිහා බලලා කතාකරන්න ඒ පුංචි ඇස්වලට බැහැ…. මොකද හිරුගේ රැස් චණ්ඩයි කුරිරුයි…. හරියට ඒ අයගේ දෛවය වගේ…. ඒත් හඳටවත්, තරුවලටවත් උත්තර නැහැ මේවාට….

මොකද සොබාදහම තමන්ට පුලුවන් විදිහට හැමදෙයක්ම සමව බෙදලා දීලා තියෙනවා මිනිස්සුන්ට…. ඇත්තටම මේ තත්වවලට මිනිස්සු වැටුණේ තමන් විහින්ම…. ඒත් ඒකට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ මේ අසරණ 6 ක් 4ක් නොතේරෙන කිරිසප්පයින්ට…. ඒක තමා තිත්තවුණත් ඇත්ත….

රාගයෙන් මත්වුණු පිරිමියෙකුගෙන් හා ගැහැනියෙකුයි අතර ඇතිවුනු කායික සම්බන්ධතාවයකින් පුංචි අහිංසක දරුවෙක් ලැබිලා…. ඒ කාරණය ඇතුලේ පවුල් සැලසුම්කරනයවත්, අනාගතය පිළිබඳ දැක්මක්වත් නෑ…. තියෙන්නේ රාගය පමණයි…. අවසානයේ ඒ ඉපදුණු ළමයා ලෝකෙටම බරක්…. ඒ ළමයත් ලොකු මනුස්සයෙක් වුණුදාට කරන්නෙත් ඔය ටිකමයි….

පුංචි කාලේ ළමයි ආසයි අහන්න හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා…. ඒත් මේ ළමයින්ට ඉස්කොලේ යන එක, තමන්ගෙම ගෙයක ඉන්න එක, දවස්සේ තුන්වේලම කාලා හොඳට ඇදලා පැළඳලා ඉන්න එකම සුරංගනා කතාවක්…. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා ඇහුව දවසට ඒ ළමයි අහාවී ඒ කියන්නේ දිව්‍යලෝකය ගැනද කියලා…. ඒක තමා යථාර්තය….

ලංකාව ඇතුලේ ළමයි ගැන කතාකරන්න බොහොම අය ඉන්නවා…. ඡන්දෙ කාලෙට ළමයෙක් වඩාගෙන photo එකක් දාන්න අපේක්ෂකයෝ හරි ආසයි…. මොකද ඕනිම කෙනෙකුගේ ඇහැ යනවා පොඩි දරුවෙකුට….. හැබැ‍යි අමතක කරන්නෙපා ඔය අපේක්ෂකයෝ ළමයි වඩාගන්නකොට වඩාගන්නේ හොඳට powder ගාලා, ඕඩිකොලෝන් ගාලා පිරිසිදුවට අන්දපු ළමයි….

මං මේ කියන්නේ නෑ ඒ අයට මේ විදිහට අපිරිසිදු සොටු පෙරාගත්හු ළමයි වඩාගන්න කියලා නෙමෙයි…. මොකද මිනිස්සු විදිහට අපිට ඒවගෙ දෙයක් කරන්න ජුගුප්සාජනකයි…. ඒත් මං මේ කියන්නේ ඒ අයට මේ වගෙ දරුවන්ගේ අනාගතය සුරක්ෂිතකරන්න නිශ්චිත වැඩපිළිවෙලක් නැහැ කියලා…. තිබ්බා නම් මෙලහකටත් මේ වගේ වීදි දරුවන් ඉන්න විදිහක් නැහැ….. ඒ හින්දා මහ හයියෙන් බෙරිහන් දුන්නට වේදිකාවල දරුවෝ ගැන කැක්කුමකින් ඒවා නිකන්ම නිකන් පුස් වචන…. ඇත්තම කිව්වොත් ඒ අය ළමයින්වත් market කරලා තමන්ගේ මැතිවරණය වෙනුවෙන්…

ළමා අයිතිවාසිකම් ගැන බැරෑරුම්ව කතාකරන කාලයක් මේක…. මං හිතන්නේ මේ ළමයි ගැනත් අවධානය යොමුවෙනවනම් හොඳයි…. දෙමව්පියන්ගේ වැරදිවලට මේ ළමයි පලි නෑ…. ඒක මේ ළමයින්ට නෙමෙයි හැම ළමයටම පොදු කාරණයක්….. එහෙම නොකලොත් මේ ළමයි කවදහරි මේ සමාජයට ලොකු මිනිස්සු වුණු දවසක වෛරකරයි…. අපරාධ වැඩිවෙයි…. මානව සංහතිය වැනසෙයි….. මේක තමා යථාර්තය…..

මහලොකුවට අඬබෙර ගහගෙන ලෝක ළමාදින සැමරුවට ඉන් ඵලක් නෑ…. මේ වගේ දරුවෝ පාරවල්වල අතරමන්වෙලා ඉද්දී දඩාවතේ යන බල්ලන් රැල්ලක් වගේ කුණු කූඩවලින් අහුලගෙන කද්දී….  හිතට එකඟව ඒ දිනය සමරන්න පුලුවන්ද???? මෙ ප්‍රශ්නය එක දවසකට සීමා කරල වැඩක් නෑ… ඒ වගේම ළාමකව සාකච්ඡාකරල ඵලකුත් නෑ…. මේක ඇත්තටම ප්‍රබල ගැටලුවක්….

ළමයි කියන්නේ ළමයි…. ඒ අය ඉපදුනේ මොන ආගමක අම්මෙකුට තාත්තෙකුට දාවද  කියන එක වැඩක නැහැ…. ඉපදුණේ කුරුදුවත්තෙඩ, ගෙදරද, රෝහලේද, පාරේද කියන එක වැඩක් නැහැ…..

මං දැකල  තියෙනවා මිනිස්සු වපර ඇහින් බලනවා උප්පැන්න සහතිකේ තාත්තගේ නම ඉස්සරහ හිස්තැනක් තියෙන ළමයි දිහා…. ඒකට ඒ පොඩි එකා පලි නෑ…. ඒකට වගකියන්න ඕනෑ රාගයෙන් මත්වෙලා ඇඟ ඇතුලේ තියෙන තිරිසන් ලක්ෂණ පාලනයකරගන්න බැරිවුනු ඒ ගැහනියයි පිරිමියයි…. දරුවා සම්පුර්ණයෙන්ම ලෝකෙට ආගන්තුකයෙක්…. ඇත්තටම අහිංසකයෙක්….

තව දෙයක් තියෙනවා…. ඔය මුඩුක්කු පරිසරයක නාගරික පැලපතකින් එන ළමයා ඒ වත්තේ නම යටතේ වර්ගකරන්න… අපේ “ශිෂ්ට ” කියන මිනිස්සු පෙළඹිලා…. ඇත්තටම ඒක ඒ ළමයගෙ වැරැද්දක් නෙමෙයි….. අපි එහෙම ඒ ළමයා කොන්කරන්න කොන්කරන්න ඒ ළමයා තල්ලුවෙන්නේ සමාජයේ දුසිරිතට….. අමතක කරන්නෙපා….. ලෝකය ජයගත් බොහෝදෙනා ආවේ සිටුමැදුරුවලින් නෙමෙයි…. මේවගේ අන්ත දුප්පත් පැලපත්වලින්…. ඒ නිසා ඒ ජීවිත අවතක්සේරු කරන්නෙපා…. ඔවුන්ට දිරි දෙන්න නැගිටින්න….

154ක් ආවා… මා යායුතුයි…. අතේ තිබ්බා රු.10ක්… මං ඒක ඒ ළමයගෙ අතට දුන්නා…. අහිංසක හිනාවක් ඒ මුහුණේ ඇඳුණා…. ඒක ඒ ළමයට රටක් රාජ්‍යයක් ලැබුන තරම් වටිනවා….

ඒත් මේ ළමයින්ගේ කුසගින්න හෙට දවසේ නිවෙයි කියලා කියන්න පුලුවන් කාටද?????

තිරසබැඳිය ප්‍රතිචාරයක් ලබාදෙන්න