ඉස්සර දවසක…. ඈතම දවසක….
ඉස්සර දවසක….
ඈතම දවසක….
පුංචි සංදියේ…. සෙල්ලම් ගෙදරදි….
පතිනිය වූ ඔබ…. මනමාලියවී….
දීගෙක යයි අද…. පුංචි නංගියේ….
දීගෙක යයි අද…. පුංචි නංගියේ….
අතින් අල්ලා…. අකුරට ගිය මඟ….
වෙරළු ඇහින්දා…. එදවස තරඟෙට….
අඳුරට බියවී….
කඳුළු පුරෝගෙන….
හිස මා උරසේ…. සැඟවූ නැගණිය….
මනමාලියවී…. හෙළයේ සිරිතට….
සතුටු කඳුලු මම….. සගවනු කෙලෙසද….
හිරිමල් වයසේ…. හැඩකාරියවී….
සුවඳ දුන්දා…. අපගේ නිවසේ….
නෙතු දෙක සේ මා….
බලාගත්තෙමි….
දූසමාන වූ…. මේ සමාජෙන්….
සිරි සුභ නැකතින්…. කුල කුමරෙකු හා….
යන සුභ ගමනට…. පැතුම් පතමි මම…..
නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
යෞවනයේ මේ සගයා… අපෙන් එකෙකි මේ මිනිසා…
මේ බක් මහේ මගේ නිවාඩු සමය අවසන්වන්නට ඇත්තේ තව දිනයයි… ඊට පස්සේ ආයෙමත් කාර්යබහුල ජීවිතයක ඇරඹුමක්…. බොහෝවිට බක් මහේ මා අතින් ලියවෙන අවසන් ලිපිය මේ වේවී… එවන් පසුබිමක් යටතේ මෙවැනි මානුෂීය, සැබැවින්ම සංවේදී වූ ලිපියක් ලියන්නට ලැබීම ඇත්තෙන්ම මා ලද භාග්‍යයක්… ඒවගේම මේ ලිපිය මා අතින් මෙතෙක් කල් රචනා වූ ලිපිවලට වඩා සැබවින්ම මගේ හිතට බොහෝමත්ම සමීපවූ ලිපියක් කියන දේත් මෙහිම සඳහන් කරන්නට කැමතියි… මේ ලිපියට දාලා තියෙන මාතෘකාව ඔබට මට අපි හැමෝටම හුරුපුරුදු වචන පෙළක්…. දන්නේ නෑ දැනටත් කීදෙන්කුට ඒ වචන පෙළ මතකද කියලත්… මතක අය දන්නවා ඇති මේ ලියන්න යන මාතෘකාව ගැන හොඳින්… ඒ නිසා වැඩි අටුවා ටීකා නැතිව මාතෘකාවට අදාළ ඒ සංවේදී කාරණා ගැන මට හැඟුනු දේ ගැන ඔබට කියන්නට මම සුදානම්…
Sri Lanka Saukyadana Movement (SLSM) – Special Task Unit සංවිධානය විසින් සංවිධානය කල පුණ්‍යකර්මයකට අහම්බයෙන් සම්බන්ධවන්නට ලැබුණා මටත් ගිටාර් වාදකයෙක් විදිහට මිතුරෙකුගේ හා මිතුරියකගේ මැදිහත්වීඑමක් ප්‍රයත්නයකින්…. ඒ දේ භාරගන්න ඉස්සෙල්ලම තරමක් අදි මදි කලටහ් කාර්යබහුල ජීවිතේ ඇතුලේ අවසානයේදී මට ඒ දේ භාරගන්න හිතුණා… එහෙම හිතුන එක කොතරම් හොඳද කියල හිතෙන්නේ දැන් තමයි… ඒ නිසා මුලින්ම අර ආරාධනාව කල මිතුරියටත්, මිතුරාටත් මගේ ප්‍රණාමය පුද කරන්න කැමතියි….නැත්නම් ඒක ලොකු අඩුවක් විදිහටයි මා දකින්නේ… දිනය 2012.04.20 වෙනිදා… උදේ 7.45 ට වගේ කොළඹ විශ්වවිද්‍යාලයේන් ගමන් ආරම්භකළ පුණ්‍යකර්මය සඳහා අවශ්‍ය කළමණාද රැගත් බස් රථයක නැග අපි රාගම බලා පිටත්වුණා…. බස් රථය ඉතින් රාගමට ළඟාවෙනකන් සංගීතයෙන් කවට කතාවලින් පිරී තිබුණ ආ කියන දේ අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ… සංගීත භාණ්ඩත් අතේ තියාගෙන නිහඬව යන්නේ නැහැනේ කවුරුවත්…. එහෙම වුණානම් ඒක ලෝක පුදුමයක්… ඉතින් ඒ ධර්මතාවය අපේ කට්ටියටත් පොදුයි… හැබැයි අපේ ගමනාන්තය කිට්ටුවෙනකොට මුළු බස් රථයම නිහඬ වුණා…. ඒකය හේතුවා මේ ලිපිය කියවගෙන යනකොට ඔබට තේරේවී…
අපේ ගමනාන්තය වුනේ රාගම පිහිටි “රණවිරු සෙවණ” භූමියයි… රමණීය පරිසරයක ඉදිකර ඇති අලංකාර ගොඩනැඟිලිවලින් සම්න්විතයි…. නමුත් ඒ ගොඩනැඟිලි තුල සිටින මිනිසුන්ට තියෙන්නේ එච්චර ලස්සන ජීවිතයක් නෙමෙයි…. ඒත් ඒ අය කල ඒ කැපකිරීම නිසා අපේ මිනිසුන්ට අද සැබෑ නිදහස් අත්විඳින්න හැකියාව ලැබිලා තියෙන්නේ…. එක අතකින් ලෝකෙත් ඇත්තටම අසාධාරණයි… හේතුව තමයි කෙනෙක් සතුටු වෙනකොට තවත් කෙනෙකුට දුකක් හිමිවෙලා… නමුත් ලෝක ධර්මතාවය මෙයයි… ඒකට මුහුණදෙන්න වෙනවා කැමත්තෙන් හෝ අකමැත්තෙන්…. අවශ්‍ය දේවල් හොඳින් සුදානම් කරගත්තාට පස්සේ අපි වාට්ටුවලට ගමන් කලා… සංවේදී, මානුෂීය එමෙන්ම ඇහට කඳුළු උනන කතාව ආරම්භවන්නේ එතැනින්…. අපි වාට්ටුවකට ඇතුළුවුණා…. එහි හිටියා අපිට වඩා ඔනිනම් අවුරුදු 3ක් 4ක් වැඩි තරුණයෝ පිරිසක්…. ඒත් ඔවුන් හා අපි අතර වෙනසක් තිබුණා… එතැන හිටපු සමහරුන්ට අත් පා අහිමි වෙලා තිබුනා… සමහරුන්ට ඇස් අහිමි වෙලා තිබුණා… තවත් සමහරුන්ට දෙපා අහිමි වෙලා තිබ්බා… සමහර අයට හිසට හානිවෙලා තිබුණා… සමහරුන්ට වාරු නැහැ…. සමහරුන්ට නැඟිටගන්නවත් පණ නැහැ කාගෙවත් වාරුවක් නැතිව… සමහරුන්ගේ හිසට ඇතිවුනු බරපතල හානි නිසා ඔවුන්ගේ හැසිරීම් රටාව පොඩි දරුවන්ට සමානයි…. මේ දේවල් මේ විනෝද වෙන්න ගිහින් ඇතිවුනු ඒවා නෙමෙයි…. ඒ තමා රට වෙනුවෙන් කල සැබෑ ජීවිත පරිත්‍යාග… වේදිකාවල බෙරිහන්දෙන කාඩ්බෝඩ් වීරයන් නෙමෙයි මේ තමා සැබෑ වීරයින්…. IPL ගිහින් මුදලට Cricket ගහන කොන්ඩේ පාටකරපු , තරුණ සවිබල ඇත්තන්ට අපි හුරේ දැම්මට මොකද ඒ හුරේ ලැබිය යුත්තේ මේ අයයි…. ඒ අතින් බලනකොට අපි මොනවද රට වෙනුවෙන් කරල තියෙන්නේ…. මේ කැපවීම් එක්ක බැලුවාම අපි රටට සාපේක්ෂව නිකන්ම නිකන් බොල් වී ගොඩක්… මට හිතුණේ එහෙමයි…. ඒ අහිංසක කෙළිලොල් ජීවිත කුරිරු යුද්ධය ඒ අයගෙන් උදුරාගෙන තිබ්බා….
යුද්ධයේ භයානක කම ඒ අයට සිද්ධවෙලා තියෙන දේවල් දැක්කාම හිතාගන්න පුලුවන්…. අද අපි හැමෝටම යුද්ධය ජයග්‍රහණය කලා කියලා පුරසාරම් දොඩන්න පුලුවන්… ඒත් ඒ සඳහා මේ මිනිසුන් කල උදාරතර කැපවීම ගැන කතාකරන්නේ කීයෙන් කීදෙනාද… අද මේ ජයග්‍රහණය එක් එක් පුද්ගලයා තමන්ගේ ගිණුම්වලට බැරකරගෙන වෙනත් වාසි ලබාගන්න හදනවා මිසක් මේ කැපවීම් ගැන කිසිම සඳහනක් කරන්නේ නැහැ…. දුක ඒකයි… සමහරුන්ගේ ඇස්, නිකට, ගෙල ප්‍රදේශවල වෙඩි උන්ඩවල සලකුනු තිබ්බා…. සමහරුන්ට දරුණු sniper ප්‍රහාර එල්ලවෙලා තිබ්බා… සමහරු ජීවිතයත් මරණයත් එක්ක සටන් කරලා ආයේ මේ ලොකේ හිරු එලිය දකින්න තරම වාසනාවන්ත වෙල තිබ්බා…. නමුත් ඒ ජීවිතවලින් කිසියම් දෙයක් උදුරාගන්නට මේ කුරිරු යුද්ධය දරුණුවෙලා තිබ්බා… සමහරුන්ට මුළු ජීවිත කාලය පුරාවටම ඇඳක් උඩ ඉන්නට තරම් ඒ දේවල් දරුණුවෙලා තිබ්බා…. සමහරුන්ට රෝද පුටුවකින් විතරයි එහේ මෙහේ යන්න පුළුවන්… ඇත්තටම හිතට බොහොම හැඟීමක් දනවන දර්ශනයක් ඒක… අපිව දැක්කාම එහි හිටපු ගොඩක් අය සතුටු වුණා…. ඒක ඒ අයගේ මුහුණෙන් අපිට පෙනුණා… ඉඩෝර සමයක වැටුන මල් වැහි පොඳක් දිහා බලන් ඉන්න තරමින් සතුටකින් අපි දිහා ඒ අය බලාසිටියා… ඇත්තටම ඒක නෙතට කඳුලු උනන දර්ශනයක්… මට හැඟුනේ එක දෙයයි…. ඒ තමා මේ ” මනුෂ්‍යත්වය” කියන එකයි….
අපි ඔවුන් සමඟ ගී ගයා විනෝද වුණා… නටන්නට දෙපයට වාරු නැත්තත් ඔවුන් ඒ මොහොතේ ගොඩක් විනෝදයෙන උන්නා… සමහරු අබාධත් එක්ක සොඳුරු රංගනයක යෙදුනා…. සමහරු බොහෝ ලස්සන ගී ගැයුවා…. සමහරු අපේ අත්වලින් අල්ලගෙන කතා කලා…. සමහරු ඇඬුවා…අපි ඔවුන් සමඟ ගී ගයා විනෝද වුණා… නටන්නට දෙපයට වාරු නැත්තත් ඔවුන් ඒ මොහොතේ ගොඩක් විනෝදයෙන උන්නා… සමහරු ආබාධත් එක්ක සොඳුරු රංගනයක යෙදුනා…. සමහරු බොහෝ ලස්සන ගී ගැයුවා…. සමහරු අපේ අත්වලින් අල්ලගෙන කතා කලා…. සමහරු ඇඬුවා… ඒ ගලාගියේ මොන හැඟීම්වලට අයත් කඳුලුද කියල විග්‍රහකරන්න තරම් මම දක්ෂ නෑ…. ඒත් මට හිතෙනවා ඒ කඳුළුවල සතුට, දුක, තනිකම, පාළුව, සන්තාපය කියන හැම මානුෂීය කාරණයක්ම මුසුවෙලා තිබුණා කියලා…. සමහරු නෙතින් හැඬුවේ නෑ…. නමුත් ඔවුන්ගේ දෑස් තුළින් මා දුටුවේ වැලපෙන සිතයි…. මේ කාරණේ කියන්න මට එවෙලේ ඉඳන්ම හිතුණා….
ඡන්දේ කාලේ වේදිකාවල හැම පක්ෂයකම මිනිස්සු කඹ ඇඳගන්නවා යුද ජයග්‍රහණයේ උරුමය ලබාගන්න… ඒකට නොගහන මඩක් නෑ…. නොගහන් දහන් ගැටයක් නෑ… නමුත් අපි මේ රණවිරු සෙවණේ හිටපු ඒ හෝරා කීපයේ කිසිම කෙනෙක් කිව්වේ නෑ ඔවුන් නිසා යුද්ධය ජයග්‍රහණය කලා කියලා… මට මේ උදාරතර මිනිස්සු ගැන දැනෙන්නේ පුදුම අභිමානයක්…. ඒත් එක්කම මට දැනෙනවා වේදිකාවල බෙරිහන් දෙන ඈයෝ ගැන පුදුම පිළිකුලක්…. ඇත්තටම හැම පක්ෂයටම අදාළ එවැනි කාඩ්බෝඩ් වීරයන් ළඟින් දැනෙන ඒ පිළිකුල් ගඳ මේ විරු මිනිසුන්ගේ තුවලා වලට ගල්වන බෙහෙත් වලට වඩා ගඳයි…. කොතරම් සුවඳ විලවුන් ගැල්වුවත් ඒ ගඳ යන්නේ නෑ…. ඒක තමයි ඇත්ත… යථාර්ථය….
මේ තරුණ ජීවිත සමහරවිට සටන් බිමට එන්න ඇත්තේ රස්සාවක් නැති කමින් දුප්පත් කමින් මිරිකුණු නිසා වෙන්න පුළුවන්… ඒත් එහෙමැයි කියලා මේ කල කැපකිරීම කාටවත් අවතක්සේරු කරන්න බැහැ…. ඒ සහොදරයන්ගේ අම්මලා තාත්තලාත් මේ අය පොඩි කාලේ පරිස්සමෙන් බලාගන්න ඇති අනිවාර්යෙන්ම පරිස්සමෙන්…. කිසිම අනතුරක් නොවෙන්න…. ඒත් මේ අය රට වෙනුවෙන් ඒ දේවල් නැතිකරගත්තා…ඒ ගැන ඒ අයට වැඩි දුකක් නැහැ… නැත්තෙමත් නැතුව ඇති…. ඒත් ඒ දුක පෙන්නන්නේ නෑ… ඒ අය ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙනවා…. මොකද ඒ අය ඒ දේ කළේ රට වෙනුවෙන් අවංක සිතින් නිසා…. ඒක තමා ඇත්ත… අපි ඇත්තටම ඔවුන් අහන්න ආස ගීත වාදනය කරන්න ගියේ… නමුත් ඒ වීර මිනිසුන් කිව්වෙ එක දෙයක්…. ” මල්ලිලා කැමති දෙයක් කියන්න මල්ලී… අපිව බලන්න ආපු එකම ලොකු දෙයක්ද???? මෙහෙම එනවනම් අපි ගොඩක් සතුටුයි….” ඇත්තටම නෙතට කඳුළු උනන කතාවක් ඒක…. කෙතරම් අහිංසක සතුටක්ද,ඉල්ලීමක්ද…. නිකමට හිතන්න ඒ අයගේ හිත කොතරම් තැලෙනවද කියලා යුද ජයග්‍රහණය එක් එක් ගිණුමට බැර කරගන්න හදන වෑයම දකිද්දී…. ඒ අය දිවිපරදුවට තියලා අත් පා නැති කරගෙන ලබාගත් මේ අභිමානවු ජයග්‍රහණය වෙන අය බලෙන් උදුරාගන්න එක මානුෂීයව අසාධාරණද… ඒත් මේ වීර මිනිසුන් ඒ දේත් ඉවසීමෙන් දරාගන්නවා…. ඇත්තටම කෙතරම් උදාරතර මනුෂ්‍ය කොට්ඨාශයක්ද….
අවසන් සටන සමයේ බොහෝ ගීත හැඳුණා සොල්දාදුවන් දිරිමත් කරන්න… මම හිතුවා අවංකවම යුද ජයග්‍රහණයෙන් පසුව ත්‍රිවධ හමුදාවට අවශ්‍ය කරන නිසි ගෞරවය, ආදරය හැම පාර්ශවයකින්ම ලැබේ කියලා…. නමුත් ඇත්තටම යුද් ජයග්‍රහණයෙන් පස්සේ ර්‍රටේ විකාශනය දිහා බැලුවාම පේන්නේ යුද ජයග්‍රහණය හුදෙක් ඡන්ද ගුණ්ඩුවක් කරගෙන කියලා විතරයි…. අඩුම ගාණේ යුද ගැටුමට හේතුවුණු කාරණාවලටවත් තාම් පිළියම් යොදලද කියලවත් සැක සහිතයි…. අර නිර්මාණය කල ගීත ගොන්න marketing අරමුණකට මිසක් හද පතුලෙන් නිර්මාණයවූ ඒවා නෙමෙයි කියලා දැන්මට හිතෙන්නේ… මොකද ඒ ගීත නිර්මාණය කල අයත් විවිධ වාසි සඳහා යුද ජයග්‍රහණය එක් එක් අයගේ ගිණුමට බැරකරන්න කඹ අදින නිසා….. අද අපි මේ රටේ පොලවේ පය ගහලා නිදහසේ හුස්ම ගන්නේ මේ විරෝදාර සෙබලුන්ගේ ලෙයට, කැපකිරීමට පින්සිද්ධවෙන්න… මේ පොලව රත් ලෙයින් පොඟවල තමා ඔවුන් ඒ නිදහස අපිට අරන් දුන්නේ…. නමුත් ඒ නිසා ඒ අයට තමන්ගේ සෞඛ්‍යමත් ජීවිතය, සිහින, බලාපොරොත්තු හැම දේම නැතිවුණා…. ඒ නිසා එක් අවිහිංසක ඉල්ලීමක් කරන්න කැමතියි ඔබ සැමගෙන්… අවුරුද්දකට වරක්වත් ඔවුන් බලන්නට යන්න…. තනියම බැරිනම් කණ්ඩායමක් විදිහට හරි…. ඒ අය ඔබ දකින්නට කැමතියි… ඒ අය ආසයි තාමත් අපි ඔවුන්ගෙන් දුරස්වෙලා නැහැ කියල දැනෙනවට… ඒ අය අපෙන් බලාපොරොත්තුවෙන්නේ එක දෙයයි… ඒ තමයි ” කවදාවත්ම අපිව තනිකරන්න එපා” කියන දේ… ඔව්, අපි කිසිම දවසක ඔබව තනිකරන්නේ නැහැ…. ඒ හින්දා යන්න ඔවුන්ව බලන්න…. ඒ අයට සැනසුමක් ගෙන දෙන්න…. මා ඔබට දෙයක් කියන්නම්… එසේ ගිය දවසක ඔබේ සිතට දැනෙන සැනසුම,තෘප්තිය ඔබට වෙන කිසිම දේකින් අත්පත්කරගන්න බැහැ…. මං මේ දේ කියන්නේ මගේ අත්දැකීමෙන්…. තව දෙයක්…
ලේ,දහඩිය ,කඳුළු වගුරලා නිදහස් කරගත්ත මේ රටේ සමහර උදවිය විවිධ ගැටුම්කාරී තත්ව වලට පාර කපාගෙන යන්න හදනවා දැන් පේනවා… දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ දේ සිද්ධවෙනවද මම දන්නේ නැහැ…. විශේෂයෙන්ම ආගම් අතර සහජීවනෙයේ විශාල බිඳවැටීමක් මේ කාලයේ දක්නට ලැබෙනවා…. ඒ හින්දාම මේ දේත් කියන්න හිතුණා…. ඒ රණවිරු සෙවනේ රට වෙනුවෙන් සටන් වැදිලා අබාධිත වුණු විරෝදාර මිනිස්සු අතරේ ඔය හැම ආගමකට, ජාතියකටම, කුලයකටම, වර්ගයකටම අය්ති අය හිටියා… ඒ අය සටන් වැදුණේ රට වෙනුවෙන් මිසක් තමන් අය්ති කුලේ, ජාතිය, ආගම සඳහා නෙමෙයිඋ… එහෙම හිතුවානම් අපි මැරුණු තැන්වල ගසුත් පැලවෙලා…. එහෙම නිදහස් කරගත්ත රටක අනවශ්‍ය හේතුවක් හින්දා ගැටුම් ඇතිවෙන්න ඕනෑ නෑ… විශෙෂයෙන්ම මිනිසුන්ගේ යහපත වෙනුවෙන් තියෙන ආගම් හින්දා ඇයි මේ ගැටලු හදාගන්නේ???? ඒක එක පැත්තකින් මේ විදිහට රට දැය වෙනුවෙන් උදාර කැපකිරීම් කල මිනිසුන්ට කරන අවමානයක්…. එහෙව් ප්‍රශ්නවලට පාර කපන මිනිසුන්ට මට කියන්න තියෙන්නේ… මව්බිමේ නාමයෙන් ඔය කරන රටට කරන විනය නවත්තන්න… මේක එක ආගමක නෙමෙයි හැම ආගමක ඉන්න මෙවැනි කොට්ඨාශවලට වලංගුයි…. නැත්නම් තවත් තරුණ ජීවිත ගණනාවක් මේ විදිහට දුක් විදිවී…. මොකද ඇත්තම කථාව තමයි ප්‍රශ්ණ ඇති කරන මිනිස්සු කවමදාවත් ඒ වගේ සටන්වලට එන්නේ නැහැ…. මුලදී ඉඳලා අන්තිමට shape එකේ මාරුවෙනවා…. අන්තිමට බැටකන්නේ අහිංසක මේවගේ තරුණ දුප්පත් කොට්ඨශ…. හදිසියෙවත් එහෙම දෙයක් වුනොත් ඒ ප්‍රශ්ණ ඇති කල අයට මට කියන්න තියෙන්නේ එක දෙයයි… “නුඹලාට වැහි නැති අකුණු වදිනවාම තමයි….” මේක ටිකක් රළු ප්‍රාර්ථනාවක් වුනත් මේ අහිංසක රණවිරු සගයින්ගෙ අභීත කැපකිරීම හමුවේ ඒක රළු ප්‍රාර්ථනාවක් නෙමෙයි…. රටට යහපතක්… ප්‍රශ්ණයක් තියෙනවනම් ඒක නීතියෙන් හරි, සුහද සාකච්ඡාවකින් හරි විසඳගමු… ඒකෙන් තමන්ට කිසිම අවමානයක් වෙන්නේ නෑ…. හරියට තමන්ගේ ආගම දහම අදහනවනම් ඒ විදිහටයි ප්‍රශ්ණ විසඳගන්නේ…. නැත්නම් ගහ මරාගෙන, ගරහගෙන නෙමෙයි…. එහෙම ප්‍රශ්න විසඳගන්නේ ආගමේ මතු ඔපේ දකින අය විතරයි…. එහෙම විසඳගන්නවනම් ප්‍රශ්ණ, අපියි තිරිසන් සත්වයොයි අතරේ කිසිම වෙනසක් නෑ….. ඒ හින්දා ප්‍රශ්නවලදී බුද්ධිමත්ව ක්‍රියාකරමු…. අඩුම ගාණේ මේ විරොදාර මිනිසුන්ට ඒ විදිහට හරි කළගුණ සලකමු….
රණවිරු සෙවනේ දරුණු ප්‍රහාරයකට ලක්වෙලා ශරීරය අඩපණ වුනු මැදි වයසේ හමුදා නිලධාරියෙක් හිටියා…. ඔහු අපි දිහා අමාරුවෙන් ඇස් කරකව කරකව බැලුවා….. ඔහුට හරිහැටි කතාකරගන්නත් අමාරුයි… ඔහු අමාරුවෙන් කිව්ව ක්ලැරන්ස් විජෙවර්ධනයනෙගේ සින්දු අහන්න අසයි කියලා… අපි ගීත 3ක් වගේ ඔහු ලඟ ගායනා කලා… ඒ හැම ගීතය්ක්ම ගායනාකරන කොට ඒ ඇස් වලින් කඳුලු ගැලුවා…. අපිත් ඇත්ත්ටම කඳුලු වලින් හිත ඇතුලෙන් හඬමින් උන්නේ… ඇත්තටම් මේ දර්ශන තම්න්ගේම ඇස් දෙකෙන්ම දැක්කානම් මේ රටේ මිනිස් සිතක් තියෙන කිසිම මිනිහෙක් යුද්ධයකට හේතුවෙන කිසිම දෙයක් රට ඇතුලට ගේන්නේ නෑ… මා ඔබෙන් කාරුණික් ඉල්ලීම්ක කරනවා…. අනේ ආයේ නම් යුද්ධයක් මේ රට ගේන්න නම් එපා…. අඩුම ගානේ ආගමික ගැටුමක්වත්… තරුණ ජීවිත දස දස් ගණනක් ලක්මෑණීයන්ට නැතිවෙයි…..මේක හරි මානුෂීය ඉල්ලීමක්…. එතැන උන්නා අවුරුදු 35 ක් වූ දෙපා පණ නැති ආබාධිත උදාරතර රණවිරු නිලධාරියෙක්…. බොහොම් සුහද ඒ වගේම මිත්‍රශීලී හමුදා නිලධාරියෙක්… එක වෙලාවක හිතුණා ඔහු අපේ කුළුපඟ මිත්‍රයෙක්ද කියලත්….. එතරම් සුහඳශීලී අහිංසක මනුස්සයෙක්…. නිලධාරියෙක් වූවත් ඔහු අපිව ආමනත්‍රණය කලේ ” මල්ලී, නංගී” කියලයි…. ඔහු පැවසූ දෙයක් කිසිදු සංස්කරණයකින් තොරව මෙහි සටහන් කරන්නට කැමතියි…. මේ දේ මා මැරෙනතුරාවට මට මතක තියෙයි… ” මල්ලි මට දැන් අවුරුදු 35 ක් වෙනවා…. මගේ කකුල් දෙක පණ නැහැ…. මට ආයේ නැගිටින්න බැහැ…. මගේ කාලේ දැන් ඉවරයි… ඉස්සරහට එන්නේ ඔයගොල්ලන්ගේ කාලේ…. ඔගොල්ලෝ තමා මෙ රට රැකගන්න ඕනෑ…. තව දෙයක් මල්ලී… ලද දෙයින් සැනසෙන්න…. ඊට වඩා දේවල් බලාපොරොත්තුවෙන්න එපා…” ඒ නිලධාරියා කිව්ව දේවල් ඇත්ත…. මේ අපි හැමෝගෙම රටයි…. කාටවත් ඒ වගකීමෙන් මිදෙන්න බැහැ…. අපි මේ රටේ හැම ගහ කොලකටම, මනුස්සයෙක්ටම, සතෙක්ටම ආදරේ කරන්න ඕනෑ…. කොටින්ම පස් පිඬක්, ගංගාවක්ම, ඇලක් දොලක්ම අපේ ආදරේට නතුවෙන්න ඕනෑ….. හැබැයි එහෙම රටේ අනවශ්‍ය ගැටළු හඳන්න අපිට අයිතියක් නෑ…. ජාතිවාදය, ආගමවාදය, මූලධර්මවාදය මේ හැමදේම පුස් උණ්ඩ වගේ… මේ හැම දේම අයින් කරල බැලුවාම අපි ඔක්කෝම ලෙයින් මසින් තැනුණු මිනිස්සු…. කවදහරි මැරුණාම පොළවට පස්වෙන මිනිස්සු…. එච්චරයි….. මේ රටට තවත් ගැටළු එපා…. එවායින් අපි බැට කෑවා හොඳටම ඇති…. මේ ප්‍රශ්ණ නිසා පොළවට බොහොම වටිනා ජීවිත පස් වුණා… මතක් තියාගන්න අපි අද කෑමට ගන්න ගහ කොල, ඵල හැමදේකම අඩුමගානේ ඒ උදාර සිරුරුවලින් නිපදවුනු පොහොර ටිකක් හරි තියෙනවා…. ඒ හින්දා එහෙව් දේව ආහාරයට ගනිමින් රට තුළ ප්‍රශ්ණ හදන්න කවුරුන්හරි උත්සහ ගන්නවනම් ඒ පුද්ගලයා රටට කිසිම ආඩහරයක් නැති නොමිනිස් ගතිගුණ හියෙන මනුෂ්‍යයෙක් විදිහට මා දකින්නේ…. එහෙම ප්‍රශ්ණ හදන්න උත්සහ කරනවනම් ඒ අය කරන්නේ මේ උදාර රණවිරුවන්ගේ ලේ, දහඩිය, කැපකිරීමට අවමානයක් වගේම නිග්‍රහයක්…. ආගමික, ජාතිවාදී, මූලාධර්මවාදී කිසිම ගැටලුවක් මේ රටට එපා…. තවත් ලේ ගංගා අපිට ඕනෑ නැහැ…. ලද දෙයින් සතුටු වෙමු…. තව තව දේවල් හඹායන්න ඕනැ නෑ… ආගමික සහජීවනය, ජාතික සහජීවනයයි දැන් මේ රටට ඕනෑ…. මේ රට බොහොම ලස්සන රටක්…. දේශගුනිකව ගත්තත්, භෞතික පරිසරය ගත්තත්, පරිසර අලංකාරය ගත්තත් අපි ගොඩක් පොහොසත්… ඒත් රටක් හැටියට අපිට ඉස්සරහට යන්න බැරිවෙලා තියෙන්නේ මේ ජාතිවදී, ආගම්වාදී, මූලදර්මවාදී, ගැතිවාදී මත නිඅසයි…. ඒ හින්දයි අපි තාම නිදහස ගත්තට පස්සේත් එදා හිටපු තැනම ඉන්නේ… මේ දේවල් නැතිකරගෙන ආකල්ප අතින් පොහොසත් වෙලා සහෝදරත්වයෙන් මේ ගමන යමු… හැමෝට්ම සම අයිතිවාසිකම් ලැබෙන සමාජයක් ගොඩනඟමු… අන් මතවලට,ආගම්වලට, සංස්කෘතිවලට ගරු කරමු…. අපට මේ අභීත රණවිරුවන් වෙනුවෙන් කල හැකි ලොකුම උත්තමාචාරය එකයි….. හෝරා කීපයක් මනුෂ්‍යත්වය සමඟ ගතකරලා අපි එතැනින් එන්න සුදානම් වුණා… බොහෝ දෙනෙක් අපිට අතවැනුවා… ඒ දෑස්වල දුකක සේයාවක් සටහන්වෙලා තිබ්බා… ගොඩ දෙනෙක්ගේ ඇස් වල ලියවෙලා තිබුනා ආයෙමත් එන්න කියන ආරාධනය… ඔව්, අපි ආයෙමත් ඒවී…. ඒක අපේ යුතුකමක්… රණවිරු දිනය එක් දිනෙකට සීමා විය යුතු නෑ… ඒ දේ අපි හැමෝගෙම හද පතුලේ හැමදාටම තියාගත යුතුයි… එතැනට යනකොට ගිය පුද්ගලයා නොවෙයි එතැනින් එලියට එනකොට මා තුල හිටියේ…. වෙනස්ම පුද්ගලයෙක්… ඇත්තටම මගේ හිතට දැනුණා පුදුම සැනසුමක්…. මං හිතන්නේ බොහෝ දෙනෙකුට ඒ සැනසීම දැනෙන්න ඇති…. මේ දේ ලියන්න මට හිතුනෙත් ඒ හින්දමයි…. මා දැන් දන්නවා “මනුෂ්‍යයෙක් සේ ඉපිද… මනුෂ්‍යයෙක් සේ ලොව හැර යාමේ” වටිනාකම… ඔබටත් ආරධනා කරනවා සුහදව එය විදගන්න ලෙසට…. මේ ලිපිය අවසන් කරන්නට මා යොදාගන්නේ රංජන් සාලිය ගායකයාණන් විසින් ගායනා කල අපූරු ගීතයක පද රචනාවක් එක්ක…. මුහුද දෙබෑකරන…. අහස පොළව සිඹින…. රටට සෙනෙහෙ පුදන…. ලෙයින් මසින් සැදුන…. සැබෑ පියෙකි…. දරු දහසකි…. මුළු රටේම…. ලේ නෑයකි…. අපෙන් එකෙකි…. සිය දහසකි…. ඒ දරුහට…. මව් දහසකි…. යෞවනයේ මේ සගයා…. අපෙන් එකෙකි මේ මිනිසා…. මේ මිනිසා…. රණවිරු සොයුරු සොහොයුරියනි,අපි ඔබට සැමදා ණයගැතිය…. අපේ උත්තමාචාරය!!!!
තිරසබැඳිය යෞවනයේ මේ සගයා… අපෙන් එකෙකි මේ මිනිසා…හි ප්‍රතිචාර වසා ඇත.
තේ…. ඇත්තටම තිත්තයි….

“තේවල මායා රසට යටින් තියෙන්න කඳුලු කතාවක්…”
” උඩරට කඳුකර…. සිරියා පරදන…. රූබර මුහුණ ඔබේ…. රතැඟිලි එක්කර…. මදහස නංවන…. තේ දළු නෙලන ළඳේ…. “
පහුගිය දවසක උදේ තේකක් තොලඟාමින් උන් මට… අහම්බෙන් ඇහුණා මේ සින්දුව radio එකෙන්… චිත්‍රා සෝමපාල ගායිකාව ගායනා කරන මේ ගීතයෙන් තනිකරම කියවෙන්නේ තේ වතුකරයේ තේ දළුවලට තමන්ගේ යෞවනය බිලිදෙන ළඳුන් ගැන….
සිංදුවේ කියවෙන තරම් ඇත්තටම ඒ ජීවිත සුන්දරත් නැහැ… ළඳුන් ඒ හැටි පැහැබරත් නැහැ…. ඔබත් මමත් උදේට, හවසට බොන තේකට යහමින් කිරි හා සීනි මුසුකරගත්තට පස්සෙ උණු රසවත් තේ එකක් ලැබුණාට මොකද ඒ තේ දළු රසට යටවෙලා තියෙන්නේ අන්ත දුක් විඳින මිනිස්සුන්ගේ කඳුළු… නමුත් තේ වල තියෙන රසට ඒ කඳුළුවල ලුණු රහ දැනෙන්නේ නැහැ…
මේ ලිපියේ මගේ බලාපොරොත්තුව යම් මට්ටමකින් හෝ ඒ කාරණා උලුප්පා දක්වන්නයි… මේ ලිපිය ලියන්න මා සිදුකල ගවේෂණාත්මක කාරණා කීපයක් යොදාගන්න මට හිතෙනවා… මොකද ඒවායින් මේ දේවල් ඔබට හොඳින් විග්‍රහකරල කියන්න මට ඉඩ ලැබෙනවා කියලා මට හිතෙන්නේ….
ඇත්තම කිව්වොත් තේ කියන්නේ එක විදියකින් මායා පානයක්… මිනිස්සුන්ගේ ශ්‍රමය සුරාකාලා කඳුලු, දහඩිය මතින් උපදින තේ තාමත් රස හින්දයි මං එහෙම කියන්නේ … සුදු ජාතික මහත්වරුන්ගෙන් තමා තේ කියන දේ ලංකාවට ලැබෙන්නේ…. ශ්‍රී ලංකාවේ එතෙක් සාර්ථකව කරගෙන ආ කෝපි වගාවට වසංගත රෝගයක් වැළඳීමේ ප්‍රථිපලයක් විදිහට තමයි තේ වගාව අපට ලැබෙන්නේ…. James Taylor විසින් ලූල් කඳුකරයේ තේ වගාව පටන්ගන්නවා 1867 දී… 1873 දී එංගලන්තෙට ලංකාවෙන් ගිය නෞකාවක රාත්තල් 23 ක් ඒ කියන්නේ 10kg ක තේ ප්‍රමාණයක් ළඟාවෙනවා… ඒ තමයි ලංකාවෙන් ඉස්සෙල්ලාම අපනයනය කල තේ තොගය…
එතැනින් පටන්ගත්ත තේ අපනයනය ලංකාවේ ප්‍රධාන අපනයන බෝග 3ට අද ඇවිල්ලා… කොටින්ම විදේශ විනිමය උපයන එක උල්පතක් තමයි තේ කියන්නේ…. … අදටත් ලංකාවේ තේවලට යම් තැනක් ලෝකේ තියෙනවා… කලින්කලට යම් උච්චාවචනයන් නැතුවම නෙමෙයි… ඒක ඉතින් business ලෝකේ සාමන්‍ය සංසිද්ධියක්… නමුත් කිසිම වෙනසක් නැතුව එක් කාරණයක් එදා ඉඳලම අද දක්වා තේ වගාව හා බද්ධවෙලා තියෙනවා…. ඒ තමා මිනිස් ශ්‍රමය අනිසි සේ සූරා කෑම…. මේ නිසා වතුකරයේ ජනතාවට සිදුවෙන අසාධාරණ එමටයි… නමුත් මං කලින් කිව්වා වගේම තේ කියන්නේ මායා පානයක්… ඉතින් තේ රසට හැමදේම යටවෙලා… ඒ මිනිස්සුන් විදින දුක තේ ටොන් ගණන්වලට යටවෙලා…
තේ කර්මාන්තය ලංකාවේ පටන්ගන්නකොට සුදු මහත්වරුන්ට ඇතිවෙච්චි ප්‍රධාන ගැටලුව තමයි මේ සඳහා කම්කරුවෝ හොයාගන්නෙ කොහමද කියන එක… මොකද සිංහල මිනිස්සු කැමති වුනේ නෑ තේ වගා කරන්න….ඒ නිසා සුදු ජාතිකයෝ තීරණය කලා ඉන්දියාවෙන් ඒ සඳහා උදවිය ගෙන එන්න… එතනින් තමයි ඉන්දියානු දෙමළ ජනවර්ගය ලංකාවට සේන්දුවෙන්න පටන්ගත්තේ…. කොහමෙන් කොහමහරි අද ඒ ජනකොට්ඨාශයත් අපෙ ලාංකික කියන කුලකයට අයත් බව අපි අමතක නොකලයුතුයි.
මෙලෙස ගෙනාපු ජනතාවට වාසස්ථාන සැපයුවේ තේ වතුවලමයි… එක පෙලට හදපු ගෙවල් එහෙමත් නැතිනම් ” ලැයිම් කාමර” තමා ඒ සඳහා යොදාගත්තේ… ගෙවල් කිව්වට ඕවා අඩුම ගාණේ කුඩා නිවසක් තරම්වත් නෑ… පොඩි කාමරයක්, පොඩි කුස්සියක් සහ පොඩි සාලයක් කියන කොටස් 3න් තමා ඕවා සමන්විත වෙලා තියෙන්න… එලියේ වල කක්කුස්සියක්… සමහරවෙලාවට ගෙවල් 10 – 15 ටම තියෙන්නේ වැසිකිලි 2ක් වෙන්න පුලුවන්…. සමහර පවුල්වල සමාජිකයෝ 5 ට වඩා වැඩියි… ඒත් ඉඩ තියෙන්නේ මේ ප්‍රමාණයම තමයි… ඒත් හිසට වහලක් තියෙන නිසා මේ අය මෙහි ජීවත්වෙනවා….
උදේ පාන්දර කංකානම් එහෙමත් නැතිනම් තේ වතුවල වැඩ කටයුතු හරියට සිද්ධවෙනවද කියලා බලන පුද්ගලයා එක්ක ගැහුණු, පිරිමි දෙවර්ගයම වැඩට යනවා… මුදල් ගෙවන්නේ නෙලන තේ කොල ප්‍රමාණයේ බරට… තේ දලු නෙලන එකත් එච්චර ලේසි වැඩක් නෙමෙයි… අතේ කහට ගැවෙනවා වගේම ඇතම්විට ඒවා යන්නෙත් නෑ… තව දෙයක් තේ දලු නෙලනකොට ඒවාට හානි වෙන්නත් බෑ… ගහට හානිවෙන්නත් බෑ… එකයි මං මුලින්ම කිව්වේ… තේ මණ්ඩියට තේ කොල ටිකක් දාලා උණු වතුරෙන් පෙරලා සිනි හැඳි 2ක් කලවම් කරල තේ බොන තරම් මේ ක්‍රියාවලිය රස නැති විත්තිය….
අපි දැන් මේ මිනිස්සුන්ගේ ජීවිතෙ ඇතුළාන්තය විමසා බලමු…. ගිනි අව්වේ කරවෙලා තේ දළු නෙලන මේ මිනිස්සුන්ගේ ජීවිතය හරිම ශොචනීයයි… මේ ටික කිව්වේ මේ ලිපිය රසබර කරන්න නෙමෙයි… බොහෝදෙනෙක් නොදන්න දෙයක් කියන්නයි…. තේ දළුනෙලුවා කියලා මහ ගාණක් ඒ මිනිස්සුන්ට ලැබෙන්නේ නෑ… රටට විදේශ විනිමයක් ගෙනල්ලා දෙනවා කියලා පුරසාරම් දෙඬුවට මොකද ඒ විදේශ විනිමය ගෙනල්ලා දෙන මිනිස්සුන්ට සලකන විදිය ශෝචනීයයි…
මේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරය රොටී… රොටී කිව්වට තුන් වේලටම රොටී පුච්චන්නේ පවුල් සුළු ප්‍රමාණයක් පමණයි… අනිත් අය කරන්නේ උදේට පුච්චන රොටියේ එක වාටියක් කාලා අනික් වාටිය කන්නේ දවල් ආහාරයට…. බහුතරයක් දවස්වලට තමන්ගේ කුසගින්න නිවාගන්නේ වතුරට පිංසිද්ධවෙන්න… ඕක තමයි ඇත්ත…. සාමන්‍යයෙන් ළමයෙක් හම්බවෙන්න ඉන්න අම්මෙකුට හොඳ පෝෂණයක් ලැබියයුතුයි කියලා පොත පතේ සඳහන් වුණාට මොකද මේ ලැයිම්වල ඉන්න අම්මලාට අත්වෙලා තියෙන්නෙත් මේ ඉරණමමයි….
මට වෙලාවකට මෙහෙමත් හිතෙනවා… ඔය වාර්තා, දැනුමෙන් හොයාගන්න දේවල් මේ ප්‍රායෝගික marketing ලෝකයේ නිකන්ම නිකන් පුස්සක් කියලා… මොකද ඔය හැමදේම ඒවිදිහටම ක්‍රියාත්මකවෙන්න මේ සමාජ ක්‍රමය තුළ බාධා එමටයි… උදාහරණයක් විදිහට උපයන මුදල මත හැමදේම තීරණය වෙන්නේ මේ marketing ලෝකයේ…. ඒකට මුකුත් කියන්න බැහැ… නමුත් ගැටළුව තියෙන්නේ මේ මිනිසුඟේ ශ්‍රමය සුරාකෑමට නිසි වටිනාකමක් දෙන්න පාලන අධිකාරීන් කොතරම් දුරට සාධාරණවෙලා තියෙනවද කියන එකයි…. මෙතන්දී මේ රට පාලනය කල සියළුදෙනාම වගකිවයුතුයි… මේ කාරණේ වතු ජනතාව වෙනුවෙන් පමණක් නෙමෙයි සියළුම වැඩකරන ජනතාව වෙනුවෙන් ඉස්මතු කලයුතු කාරණයක් විදිහටයි මට පෙනෙන්නේ…
මේ වතුකරයේ බොහෝදෙනෙක් නොදන්න අඳුරු පැත්තක් තියෙනවා… ඒ තමා ළමා මෙහෙකාර සේවයට ළමයින් සපයන තෝතැන්නක් තමයි වතුකරය….අවුරුදු14 ට අඩු පාසල් යන වයසේ ළමයි පවා මේ උගුලට අහුවෙනවා… ගවේෂණය කරල බැලුවාම මේකට හේතු විදිහට ප්‍රධානම හේතුව තමා ආර්ථික ගැටලුව… ඒත් ඒක සමාවට කාරණයක් නෙමෙයි… මොකද මේ දේ නීතියෙන් තහනම් නිසා… නමුත් නීතියේ ඇස්වලටත් වැලි ගසමින් මේ දේ මේ ප්‍රදේශවල ජයටම සිදුවෙනවා…ඒක තමා ශොචනීයම කාරණය….
වතුකරයේ පාසැලවලට යන ළමයි බහුතරයකට තියෙන්නේ එක නිල ඇඳුමයි…. රජයෙන් නිල ඇඳුම් දුන්නට මොකෝ එවා මහගන්න තරම් වත්කමක් මේ මිනිස්සුන්ට නෑ… ඉතින් අර ඇඳුම්වල නූල් ඇදිලා තිබුණත් ඒවට අණ්ඩ දමමින් ඇදගෙන යන එක තමා ඒ අය කරන්නේ… සමහරුන්ට තියෙන්න එක exercise පොතයි… ඒ පොත ඉවරවුණාම කොල අමුණ අමුණ ඒ exercise පොත්වලම ලියන්නේ ඒ අය… අන්තිමට පිටු 80 පොත පිටු 100 පොතක් වෙලා… ඔව්ව තම ගොඩක් අය දන්නේ නැති යථාර්තය…
පාසැල් පිහිටලා තියෙන්නේ බඹගණන් ඇත… මේ දුර ඇවිද්ගෙන යන්න වෙනවා… මොකද ප්‍රවාහන සේවා කොහෙද වතුවල???… ඉඳල හිටල යන තේ දළු ලොරිය, නැතිනම් එකක් තමයි… ඒත් ඒවායේ යන්න පුලුවන් සීමිත ගණනක් පමණයි… ඔය ළමයි ඉතින් ඔය දුර ඇවිදගෙන යන්නේ… බහුතරයක් එහෙමත් නැතිනම් ඔක්කම ළමයි කකුල්වලට සපත්තු නෑ… නිරුවත් දෙපාවල යටිපතුල් ගෙවෙනකන් ඇවිදින එක තමයි කරන්නේ… උදේට කොහමහරි ඇවිදන් ගියත් දවල්ට ඉර මුදුන් වෙලා ඇවිදන් එනකොට දැනෙන වේදනාව ආයේ අමුතුවෙන් ඔබට විස්තර කලයුතු නෑ… නමුත් ඒ ළමයි ඒ දේවල්වලට අනුවර්තනය වෙලා… නමුත් කණගාටුව මේකයි.. මෙච්චර දේවල් විදවලා අධ්‍යාපනයෙන් ඉහළට ගියාද කියල හොයලා බැලුවාම ඒ ගණන අතේ ඇඟිලිවලින් ගණනටත් අඩුවීමයි… ඇයි එහෙම වෙන්නේ… ගැඹුරු විග්‍රහයක් දැන් මේ කරන්න යන්නේ…
ළමා මෙහෙකාර සේවය… ළමා අයිතිවාසිකම්, ළමා ප්‍රඥප්ති අමු අමුවේ උල්ලංඝන කරන වෙළඳාමක්… නාම මාත්‍රිකව සඳහන් නොවුණාට එක එක්තරා විදිහක වහල් සේවයක්…. එක තමා ඇත්ත… දෙමවපියන් ඒ වතුවල සිටින තමන්ගේ ළමයි ගෙවල්වල සේවයට යොදවන්නේ යන්තම් කකුල් දෙකෙන් හිටගන්නකොටමයි… ඒකියන්නෙ අවුරුදු 7 – 8 දී වගේ…. ඔබ කල්පනා කරයි මේ කිරි සප්පයන්ට මොනවද කරන්න පුලුවන් වැඩ කියලා… නමුත් ඇත්ත මේකයි….
කිරි සුවඳ කටෙන් නොගිය, වැටුනාම ” අම්මේ” කියලා කෑගහල අඬන, ලොකේ දිහා ඇස් ඇරලා බලන්නවත් පණක් නැති පොඩි උන් වළං පිඟන් හෝදන්න, දරදිය අදින්න, ළිඳෙන් වතුර අදින්න බලෙන් යොදවලා….. අනේ ඒ පොඩි උන්ට මොනවා තේරෙනවාද??? ඒ ළපටි අත්වලට ඒ වැඩ කරන්න පුලුවන්ද?? ඒ නැතිකරන්නේ උන්ගේ සෙල්ලම් කාලේ නෙමෙයිද??? මට තේරෙන්නේ නෑ මේවට ඉපලෙන් තලන්න ඕනෑ උන් වදාපු මව්පියන්ටද එහෙමත් නැතිනම් උන්ගෙන් වැඩ ගන්න මිනිසුන්ටද කියලා… ඒත් අහන්න තියෙන්නේ… ” තොපිලට තොපේ ළමා කාලය මතක නැද්ද යකෝ?????” කියලා විතරයි….
ඇත්තටම කණගාටුයි… මේ පොඩි උන්ගෙන් වැඩගන්න මිනිස්සු උන්ට තලනවා, ගහනවා, කනෙන් අල්ලනවා, පිහිවලින් අත් කපනවා, පුච්චනවා රත්වෙච්චි යකඩවලින්,සමහරුන්ගෙන් දත් පවා කඩලා… කොටින්ම බඩ පිරෙන්න කනන්වත් දෙන්නේ නෑ…. වතුර ගොඩේ ගෝනි කඩමල්ලක් දාගෙන බුදියගන්නවා සීතලට ගුලිවෙලා… මව් උණුහුම ” අපා උණුහුමක් ” කරලා උන්ට… අනේ මේ ළමයි දුක කියනවා ඇත්තේ හඳ මාමාට වෙන්න ඇති රෑට…. ඒත් ඒවා ලොකු මිනිස්සුන්ට තේරෙන්නේ නෑ… මේ පොඩි උන්ට අඩුම ගාණේ ඒ දේවල් විස්තර කරගන්න තරම්වත් වචනවලින් පොහොසත් නෑ… අනේ උන් ඇස් යට කඳුලු බෝල හිරකරගෙන ඉන්නවා ඇති… උන් කොහොම දුක කියන්නද…. ඇත්තම එහෙම කරන මිනිස්සුන් මානසික ආබාධිතයෝ… නැතිනම් කොහමද උන් මේ විදිහට පොඩි එකෙකුට රිදවන්නේ… මේ විදිහට දරුවන් තාඩන පීඩනවලට පත්කරන අය වගේම, ඒ තත්වෙට දරුවන් ඇඳල දාපු “දෙමව්පියන්” ( ඒ වචනය ඒ අයට සාධාරණ නෑ )ට වැහි නැති හෙණ ගහන්න ඕනෑ!!!!
මේ විදිහට දුක් විඩින පොඩි මල් කැකුළු ගෙදර එනවා අවුරුද්දට… උන්ට යන්තම් හිනාවෙන්න ඉඩක් ලැබෙන්නේ ඒවෙලාවට… ඒත් අවුරුද්ද ඉවරවෙන්කොට ඒ පොඩි උන්ගේ අම්මල තාත්තලා වෙන තැනකින් සල්ලි අරන් පොඩි එකාව විකුණලා.. ඉතින් ආයෙත් ඒ පොඩි එකාට බැල මෙහෙවරකම් කරනන් යන්න වෙනවා…. මේක තමා තිත්ත වුනත් ඇත්ත… Fantasy marketing ලෝකවල අතරමංවෙලා ඉන්න ඇස් පේන අන්ධ මිනිස්සු නොදන්න ඇත්ත….මේ විදිහට ඒ දරුවන්ගේ ළමා කාලයම විනාශ කරනවා….
මේ විදිහට ළමා මෙහෙකාර සේවයට අරන යන ගැහුණු ලමයින් බොහෙවිට නොයෙකුත් ලිංගික අතවරවලට ලක්වීම සුලභ කාරණයක්… හාමු පුතා අතින් එහෙමත් නැතිනම් ගෙදර වෙනත් කෙනෙකු අතින් මේ දේවල් සිදුවෙන්නේ…. ඇතැම්විට මේ ගැහුණු දරුවන් ගණිකා වෘත්තියේ යොදවනවා…. ඒ කෙල්ලට සිදුවෙන්නේ තමන්ගේ පතිවත දන්දෙන්න…. මේ තත්වෙට ඒ දරුවා ඇදලා දාපු දෙම්ව්පියෝ ඒ විදිහට හමබකරන මුදලෙන් ජීවත්වෙනවා…. ශිෂ්ට යැයි සම්මත මනුෂ්‍ය සමාජය තුල අශිෂ්ට දේ කොතරම් සිදුවෙනවාද???
මං දැකල තියෙනවා හැම ඔක්තොම්බර් 1 වෙනිදාම ලෝක ළමා දිනය කියලා මාධ්‍ය ආයතන, විවිධ සංවිධාන අණ බෙරගහගෙන් දැවන්ත වැඩසටහන් සිදුකරනවා… නමුත් උන් මේ විදිහට දුක් විදින ළමයි ගැන කිසි දෙයක් කරන්නේ නෑ… පුලුවන්නනම් මේකටත් දවසක් වෙනකරපල්ලා!!! එතකොට ඔක්කම හරි… මේවා කාට කියන්නද??? මේවා දවසින් විසඳන්න පුලුවන් ගැටලු නෙමෙයි…. මේවා හැමදාම සොයා බැලියයුඉතු දේවල්…. මේවා නැවත්වීමයි අපි කලයුත්තේ… එහෙම නොකරනවනම් අර ” බුද්ධිමතම සත්ව ” කොට්ඨාශය කියන එක නවත්තලා ” තිරිසන්ම සත්ව” කොට්ඨාශය කියල හඳුන්වාගන්නවනම් සුදුසුයි අපිව….
මේ හැමදේම පිටිපස්සේ වතුකරයේ ජයටම සිදුවෙන කසිප්පු වෙළඳාමත් බද්ධවෙලා තියෙනවා කියන එකත් කියන්න ඕනෑ… අයවැයෙන් රට බීම හා මත්ද්‍රව්‍ය ඉහල ගියාට මොකද කසිප්පු වෙළඳාමට ඒක ප්‍රශ්නයක් නෙමෙයි…. ලැජ්ජාව, දුක, වෛරය, තරහව, ආත්ම අනුකම්පාව පිරිමහගන්න වතුකරයේ ඉන්න පිරිමි උදවිය ඒ සඳහා පෙළඹිලා ඉන්නවා…. ඒකට ප්‍රධාන හේතුව විදිහට මා දකින්නේ නූගත් කමයි…. අන්තිමට දන්නේම නැතුව අතේ තියෙන පිච්චියත් නැතිව යනවා… දරුවෝ, ගෙදර අඹුව මන්ද පෝෂණයෙන් පෙලෙනවා… සමහර දෙමව්පියෝ හිතන්නේ දරුවෝ පිට ගෙවල්වල්ට යැව්වාම උන්ට අඩුම ගාණේ තුන් වේල කන්න ලැබෙයි… ඒත් බොහෝවිට සිදුවෙන්නේ මේකේ අනික් පැත්ත… එකයි කණගාටුව….
බීලා ගෙදර එන මනුස්සයා ඊට පස්සේ වාඩුව අල්ලන්නේ බිරිඳගෙන් හා දරුවන්ගේ… හරක්ට තලනවා වගේ ගෙදර ඉන්න ගෑණිටයි, දරුවන්ටයි තලන්නේ… ඒත් මේ වතුවල හොඳට ජීවත්වෙන මිනිස්සුත් ඉන්නවා කියල කියන්න ඕනෑ… එත් බොහෝදෙනෙක් අර ඉහත කිව්ව කුලකයේ…. ශොචනීය දත්තයක් වෙන්නේ එකයි ඒක…
බීලා එන මනුස්සය මේ දේවල් ඔක්කම කරලා අන්තිමට නිදි ඇඳේදී තමන්ගේ සැපත හොයාගන්න හදනවා තමන්ගේ අඹුවගේ වැහැරුණු සිරුරෙන්…. මේවා මේ අසභ්‍ය දේවල් කියලා හිතන්න එපා… මොකද මේක තමා ඇත්ත… ඒකයි ඔය වතුකරයේ හැමගෙයකම පොඩි උන් ඔච්චර සුලභ… මේ නිසා ඔය වතුකරයේ මන්දපෝෂණය කියන කාරණේ ප්‍රභලව දකින්න ලැබෙනවා… මේකට ප්‍රධාන හේතුව තමා මේ අයට නිසි අධ්‍යාපනයක් නොලැබීමයි… ඒ නිසා උපත් පාලනය, ලිංගික අධ්‍යාපනය ගැන වැටහීමක් නෑ… මේ දේවල්වලට අන්තිමට වන්දි ගෙවන්නේ ඒවායේ ප්‍රථිපලයක් විදිහට ඇතිවුනු දරුවෝ.. දරුවෝ පෝෂණය කරන්න බැරිවුණාම ඒ පොඩි උන්ව බැල මෙහෙවරකමේ යවනවා….
මේ වතුකර ප්‍රදේශ සමහරකට විදුලිය පහසුකම් නෑ… ඒ නිසා රාත්‍රිය ගෙවන්නේ කුප්පි ලාම්පුවලින්.. පහුගිය කාලේ මේ නිසා ඇතිවුනු අනතුරු මාධ්‍යයන් වාර්තා කරලා තිබුණා… ලංකා වෙළඳපොලේ ලාම්පුතෙල් මිල, පිටි මිල ඉහල යනකොට ඒවායේ බලපෑම කෙලින්ම දැනෙන්නේ මේ ජනකොට්ඨාශයට…. ඒක හරියට ” කොරේ පිටට මරේ ” වගේ සංසිද්ධියක්….
ඒවුනාට ලංකාවේ දේශපාලන විකාශය ගත්තාම වතුකරයට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්… සමහර රජයන් පිහිටුවන්න මේ වතුකරයේ ඡන්ද පදනම වැදගත් වෙලා තියෙනවා…. වතුකරය වෙනුවෙන්ම බිහිවුනු පක්ෂ ගණනාවක්ම තියෙනවා… නමුත් හාස්‍යයට කාරණය තමා ඒ පක්ෂ එකක්වත් මෙච්චර කාලයකට මේ මිනිසුන්ගේ සුගතියට මොනවද කලේ කියන එක… කොටින්ම මෙච්චර විදේශ විනිමයක් උපයලා දෙන මිනිස්සු වෙනුවෙන් රට පාලනය කල රජයන් සාධාරණයක් කරල තියෙනවද කියන එකත් ප්‍රශ්ණයක්…. ඡන්ද කාලෙට වතුකරයට ගිහිල්ලා ලැයිම් කාමර පේලියක්, වැසිකිලි පද්ධතියක්, ජල මුලාශ්‍රයක් විවෘතකරලා මේ මිනිසුන්ගේ නූගත් කමින් ප්‍රයෝජන අරගෙන ඡන්ද ටික කඩාවඩාගත්ත එකයි මෙච්චරකල් වෙල තියෙන්නේ…. ඒ ඇර එදා තිබ්බ ප්‍රශ්ණ ගොන්නට තව ප්‍රශ්ණ ටිකක් එකතුවෙලා තියෙනවා… නමුත් අවංකවම ඒ මිනිසුන්ගේ ගැටලු දිහානම් කවුරුත් බලලා නෑ…
මේ ලිපියේ කිසිම දේශපාලනික බවක් හෝ කාටවත්ම ඉලක්කකර පහරගැසීමක් සිදුකරන්න මට උවමනාවක් නෑ… මට අවශ්‍ය වන්නේ මේ වතුකරයේ අඳුරු පැත්තක් ඔබේ අවධානයට යොමු කරන්න… මා දැක තිබෙනවා සංචාරක කර්මාන්තයේදී Ceylon Tea හොඳට market කරනවා… ඒවගෙම ඒ සඳහා මුද්‍රණය කල වල තේ දළු නෙලන ළඳුන්ගේ සිනාමුසු මුහුණු දැක්වෙන ඡායාරුපවලින් පුරවලා තියෙන විත්තිය… නමුත් යථාර්තය ඊට ගොඩක් වෙනස්… මට අවශ්‍ය වුන් ඒ දේ උලුප්පා දක්වන්න….
මේත් අපෙ රටේ වාසය කරන ජනකොට්ඨාශයක්… ඒවගේම වැද්ගත් ජනකොට්ඨාශයක්… රටේ ආර්ථික කොඳුනාරටියේ වැදගත් සංධියක්…. නමුත් අවාසනාවට ඒ අයගේ දහඩිය මහන්සියට නිශ්චිත වටිනාකම්ක් ලැබෙන්නේ නෑ… ඒ මිනිස්සු මෙච්චර දෙයක් රටට කරල දෙන්නේ අපා දුක් විදිමින් විත්තිය බොහෝ දෙනෙක් දන්නේ නෑ… ඒ මිනිසුන්ගේ දාඩිය, කඳුලු ඇතුලේ නෙලන තේ රසකර බොන්නට අපේ ඇත්තන්ට හොඳට පුලුවන්… නමුත් ඒ අයගේ දුක්වෙනුවෙන් අවංක හඬක් නඟන්න නැති එකයි කනගාටුව…
දැන් ඔබට වැටහෙනවා ඇති රස තේ පිටිපස්සේ තියෙන තිත්ත කතාව… මේ හැමදෙයක්ම තේවල තියෙන මායා රසට වැහිලයි තියෙන්නේ… ඉතින් අපි කුමක් කරමුද??? ඇත්ත සාමන්‍ය මිනිසුන් විදිහට අපිට මහ දෙයක් කරන්න බැහැ… නමුත් අපිට කල හැකි දේවල් තියෙනවා.. උදහරණයක් විදිහට අපිට ළමා මෙහෙකාර සේවය වළක්වන්න පුලුවන්… එහෙම දේවල් කරනවනම් ඒ දේවල් අදාළ ස්ථානයන්ට වාර්තාකරනන් පුලුවන්… වතුකරයේ ළමයින්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මකකල හැක…. එහෙම කලොත් අවම වශයෙන් ඒ පවුල්වල දරුවන් හෝ ඒ අපා දුකෙන් ගැලවේවී….
මට මේක තවත් ලිපියක් කිරීමෙ අවශ්‍යතාවයක් නෑ… මට අවශ්‍ය වුණේ මේ ලිපිය හරහා වතුකරයේ අඳුරු පෙදෙසක් දෙසට ඔබේ අවධාය යොමු කරන්නයි… මේ වගේ තවත් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු නොවුනු අහුමුළු මේ රටේ ඕනෑ තරම් ඇති… ඒවා ලෝකයෙන් වැහිලා නිසා එකවිටම ඇසට ග්‍රහණය වෙන්නෙ නෑ…
“තේවල මායා රසට යටින් තියෙන්න කඳුලු කතාවක්…”