ඉතින් අවසරයි “බටනළාවට”!!!…

" නිසැකවම එය කල හැක්කේ... ඒ "බටනළාවට" පමණි... ♥♥♥ "
“ගිටාරය” දඩබ්බරය… හිතුවක්කාරය…
ඇඟිලිවලට අවැසි පරිදි… තත්පුවරුව මත….
පිළිවෙලක් නැතිව දුවන්නට…
අවසරදී “ගිටාරයක්” ඔහේ බලා උන්නේ ඒ නිසාය…
වාදනය මිස…
ස්වර එකින් එක පිලිවෙලකට අමුණන්නට….
“ගිටාරයට” උවමනාවක් තිබුනේ නැත…
කාටවත් යටත්වන්නට…
උවමනාවක් තිබුනේද නැත…
එහෙත් නොසිතු මොහොතක…
තනිව වාදනය වූ “ගිටාරයට”…
සෞම්‍ය”බටනළාවක” හඬ…
වසන්තයේ “එරන්ද” මලක්… “එරන්දියක්” හා දොඩමළුවන….
දිනෙක සවනතට ඇසුණි… …
දඩබ්බර හිතුවක්කාර “ගිටාරය”….
කෙමෙන් කෙමෙන් ස්වර… “බටනළාව” වාදනයවූ පිළිවෙලට…
අමුණන්නට පෙළඹුනි…
දඩබ්බර… හිතුවක්කාර… “ගිටාරය”… සෞමය හැඟීමේ….
කැඩපතක් බවට පෙරළුණි….
මෙතෙක් නොවිඳි ස්වර අලංකාර….
“ගිටාරය” දැන් ජීවිතය ලෙස භාරගෙන….
විඳින්නට පටන්ගෙන ඇත…
අවසානයේ ගම්‍ය වුයේ… “ගිටාරය”… ”
බටනළාවකට”… යටත්වී ඇති බවය…
එහෙත් ඒ ගැන “ගිටාරය” සිටින්නේ… අහිතකින් නොව ඉමහත් ප්‍රීතියකිනි….!!!!
ඉතින් අවසරයි “බටනළාවට”!!!!…
ජීවිතයේ ස්වර පෙල සදාකල් අමුනා… “ගිටාරයට” වාදනය කරන්නට දෙන්නට….
නිසැකවම එය කල හැක්කේ…
ඒ “බටනළාවට” පමණි. … ♥♥♥
නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
ආදරේට හුස්ම දුන්නේ ඔබ මගේ… ජීවිතේ මගේ රැඳෙන්නෙ ඔබේ අතේ…

ආදරේට හුස්ම දුන්නේ ඔබ මගේ... ජීවිතේ මගේ රැඳෙන්නෙ ඔබේ අතේ...
පාට පාට හීනයක්ය ජීවිතේ….
ජීවිතේ ගැයූ ඒ ගීය ආදරේ…
ආදරේට හුස්ම දුන්නේ ඔබ මගේ…
ජීවිතේ මගේ රැඳෙන්නෙ ඔබේ අතේ…
ආදරේ… පිපාසයෙන්…
පෙලෙනා මොහතකදී…
ජීවිතේ….ඔබ ඇවිදිල්ලා…
සිහිලැල් දිය බිඳ සේ…
ඒ… පිපාසයත් නිවී…
මාගේ ජීවිතයේ…
මා සිතේ….ඇඳුණා ඔබේ…
ආදරේ නොමැකෙන සේ…
ජීවිතේ… පුරා පතන්නේ…
ඔබමයි මා දිවියේ…
සිහිනයේ… පවා රැදෙන්නේ…
ඔබමයි නිදි යහනේ…
ඒ… මගේවු ආදරේ….
ඔබටයි හිමිවන්නේ…
සෑමදාම… මේ ලෙසින්…
රැඳෙමු සංසාරේ…
නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
තේ…. ඇත්තටම තිත්තයි….

“තේවල මායා රසට යටින් තියෙන්න කඳුලු කතාවක්…”
” උඩරට කඳුකර…. සිරියා පරදන…. රූබර මුහුණ ඔබේ…. රතැඟිලි එක්කර…. මදහස නංවන…. තේ දළු නෙලන ළඳේ…. “
පහුගිය දවසක උදේ තේකක් තොලඟාමින් උන් මට… අහම්බෙන් ඇහුණා මේ සින්දුව radio එකෙන්… චිත්‍රා සෝමපාල ගායිකාව ගායනා කරන මේ ගීතයෙන් තනිකරම කියවෙන්නේ තේ වතුකරයේ තේ දළුවලට තමන්ගේ යෞවනය බිලිදෙන ළඳුන් ගැන….
සිංදුවේ කියවෙන තරම් ඇත්තටම ඒ ජීවිත සුන්දරත් නැහැ… ළඳුන් ඒ හැටි පැහැබරත් නැහැ…. ඔබත් මමත් උදේට, හවසට බොන තේකට යහමින් කිරි හා සීනි මුසුකරගත්තට පස්සෙ උණු රසවත් තේ එකක් ලැබුණාට මොකද ඒ තේ දළු රසට යටවෙලා තියෙන්නේ අන්ත දුක් විඳින මිනිස්සුන්ගේ කඳුළු… නමුත් තේ වල තියෙන රසට ඒ කඳුළුවල ලුණු රහ දැනෙන්නේ නැහැ…
මේ ලිපියේ මගේ බලාපොරොත්තුව යම් මට්ටමකින් හෝ ඒ කාරණා උලුප්පා දක්වන්නයි… මේ ලිපිය ලියන්න මා සිදුකල ගවේෂණාත්මක කාරණා කීපයක් යොදාගන්න මට හිතෙනවා… මොකද ඒවායින් මේ දේවල් ඔබට හොඳින් විග්‍රහකරල කියන්න මට ඉඩ ලැබෙනවා කියලා මට හිතෙන්නේ….
ඇත්තම කිව්වොත් තේ කියන්නේ එක විදියකින් මායා පානයක්… මිනිස්සුන්ගේ ශ්‍රමය සුරාකාලා කඳුලු, දහඩිය මතින් උපදින තේ තාමත් රස හින්දයි මං එහෙම කියන්නේ … සුදු ජාතික මහත්වරුන්ගෙන් තමා තේ කියන දේ ලංකාවට ලැබෙන්නේ…. ශ්‍රී ලංකාවේ එතෙක් සාර්ථකව කරගෙන ආ කෝපි වගාවට වසංගත රෝගයක් වැළඳීමේ ප්‍රථිපලයක් විදිහට තමයි තේ වගාව අපට ලැබෙන්නේ…. James Taylor විසින් ලූල් කඳුකරයේ තේ වගාව පටන්ගන්නවා 1867 දී… 1873 දී එංගලන්තෙට ලංකාවෙන් ගිය නෞකාවක රාත්තල් 23 ක් ඒ කියන්නේ 10kg ක තේ ප්‍රමාණයක් ළඟාවෙනවා… ඒ තමයි ලංකාවෙන් ඉස්සෙල්ලාම අපනයනය කල තේ තොගය…
එතැනින් පටන්ගත්ත තේ අපනයනය ලංකාවේ ප්‍රධාන අපනයන බෝග 3ට අද ඇවිල්ලා… කොටින්ම විදේශ විනිමය උපයන එක උල්පතක් තමයි තේ කියන්නේ…. … අදටත් ලංකාවේ තේවලට යම් තැනක් ලෝකේ තියෙනවා… කලින්කලට යම් උච්චාවචනයන් නැතුවම නෙමෙයි… ඒක ඉතින් business ලෝකේ සාමන්‍ය සංසිද්ධියක්… නමුත් කිසිම වෙනසක් නැතුව එක් කාරණයක් එදා ඉඳලම අද දක්වා තේ වගාව හා බද්ධවෙලා තියෙනවා…. ඒ තමා මිනිස් ශ්‍රමය අනිසි සේ සූරා කෑම…. මේ නිසා වතුකරයේ ජනතාවට සිදුවෙන අසාධාරණ එමටයි… නමුත් මං කලින් කිව්වා වගේම තේ කියන්නේ මායා පානයක්… ඉතින් තේ රසට හැමදේම යටවෙලා… ඒ මිනිස්සුන් විදින දුක තේ ටොන් ගණන්වලට යටවෙලා…
තේ කර්මාන්තය ලංකාවේ පටන්ගන්නකොට සුදු මහත්වරුන්ට ඇතිවෙච්චි ප්‍රධාන ගැටලුව තමයි මේ සඳහා කම්කරුවෝ හොයාගන්නෙ කොහමද කියන එක… මොකද සිංහල මිනිස්සු කැමති වුනේ නෑ තේ වගා කරන්න….ඒ නිසා සුදු ජාතිකයෝ තීරණය කලා ඉන්දියාවෙන් ඒ සඳහා උදවිය ගෙන එන්න… එතනින් තමයි ඉන්දියානු දෙමළ ජනවර්ගය ලංකාවට සේන්දුවෙන්න පටන්ගත්තේ…. කොහමෙන් කොහමහරි අද ඒ ජනකොට්ඨාශයත් අපෙ ලාංකික කියන කුලකයට අයත් බව අපි අමතක නොකලයුතුයි.
මෙලෙස ගෙනාපු ජනතාවට වාසස්ථාන සැපයුවේ තේ වතුවලමයි… එක පෙලට හදපු ගෙවල් එහෙමත් නැතිනම් ” ලැයිම් කාමර” තමා ඒ සඳහා යොදාගත්තේ… ගෙවල් කිව්වට ඕවා අඩුම ගාණේ කුඩා නිවසක් තරම්වත් නෑ… පොඩි කාමරයක්, පොඩි කුස්සියක් සහ පොඩි සාලයක් කියන කොටස් 3න් තමා ඕවා සමන්විත වෙලා තියෙන්න… එලියේ වල කක්කුස්සියක්… සමහරවෙලාවට ගෙවල් 10 – 15 ටම තියෙන්නේ වැසිකිලි 2ක් වෙන්න පුලුවන්…. සමහර පවුල්වල සමාජිකයෝ 5 ට වඩා වැඩියි… ඒත් ඉඩ තියෙන්නේ මේ ප්‍රමාණයම තමයි… ඒත් හිසට වහලක් තියෙන නිසා මේ අය මෙහි ජීවත්වෙනවා….
උදේ පාන්දර කංකානම් එහෙමත් නැතිනම් තේ වතුවල වැඩ කටයුතු හරියට සිද්ධවෙනවද කියලා බලන පුද්ගලයා එක්ක ගැහුණු, පිරිමි දෙවර්ගයම වැඩට යනවා… මුදල් ගෙවන්නේ නෙලන තේ කොල ප්‍රමාණයේ බරට… තේ දලු නෙලන එකත් එච්චර ලේසි වැඩක් නෙමෙයි… අතේ කහට ගැවෙනවා වගේම ඇතම්විට ඒවා යන්නෙත් නෑ… තව දෙයක් තේ දලු නෙලනකොට ඒවාට හානි වෙන්නත් බෑ… ගහට හානිවෙන්නත් බෑ… එකයි මං මුලින්ම කිව්වේ… තේ මණ්ඩියට තේ කොල ටිකක් දාලා උණු වතුරෙන් පෙරලා සිනි හැඳි 2ක් කලවම් කරල තේ බොන තරම් මේ ක්‍රියාවලිය රස නැති විත්තිය….
අපි දැන් මේ මිනිස්සුන්ගේ ජීවිතෙ ඇතුළාන්තය විමසා බලමු…. ගිනි අව්වේ කරවෙලා තේ දළු නෙලන මේ මිනිස්සුන්ගේ ජීවිතය හරිම ශොචනීයයි… මේ ටික කිව්වේ මේ ලිපිය රසබර කරන්න නෙමෙයි… බොහෝදෙනෙක් නොදන්න දෙයක් කියන්නයි…. තේ දළුනෙලුවා කියලා මහ ගාණක් ඒ මිනිස්සුන්ට ලැබෙන්නේ නෑ… රටට විදේශ විනිමයක් ගෙනල්ලා දෙනවා කියලා පුරසාරම් දෙඬුවට මොකද ඒ විදේශ විනිමය ගෙනල්ලා දෙන මිනිස්සුන්ට සලකන විදිය ශෝචනීයයි…
මේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරය රොටී… රොටී කිව්වට තුන් වේලටම රොටී පුච්චන්නේ පවුල් සුළු ප්‍රමාණයක් පමණයි… අනිත් අය කරන්නේ උදේට පුච්චන රොටියේ එක වාටියක් කාලා අනික් වාටිය කන්නේ දවල් ආහාරයට…. බහුතරයක් දවස්වලට තමන්ගේ කුසගින්න නිවාගන්නේ වතුරට පිංසිද්ධවෙන්න… ඕක තමයි ඇත්ත…. සාමන්‍යයෙන් ළමයෙක් හම්බවෙන්න ඉන්න අම්මෙකුට හොඳ පෝෂණයක් ලැබියයුතුයි කියලා පොත පතේ සඳහන් වුණාට මොකද මේ ලැයිම්වල ඉන්න අම්මලාට අත්වෙලා තියෙන්නෙත් මේ ඉරණමමයි….
මට වෙලාවකට මෙහෙමත් හිතෙනවා… ඔය වාර්තා, දැනුමෙන් හොයාගන්න දේවල් මේ ප්‍රායෝගික marketing ලෝකයේ නිකන්ම නිකන් පුස්සක් කියලා… මොකද ඔය හැමදේම ඒවිදිහටම ක්‍රියාත්මකවෙන්න මේ සමාජ ක්‍රමය තුළ බාධා එමටයි… උදාහරණයක් විදිහට උපයන මුදල මත හැමදේම තීරණය වෙන්නේ මේ marketing ලෝකයේ…. ඒකට මුකුත් කියන්න බැහැ… නමුත් ගැටළුව තියෙන්නේ මේ මිනිසුඟේ ශ්‍රමය සුරාකෑමට නිසි වටිනාකමක් දෙන්න පාලන අධිකාරීන් කොතරම් දුරට සාධාරණවෙලා තියෙනවද කියන එකයි…. මෙතන්දී මේ රට පාලනය කල සියළුදෙනාම වගකිවයුතුයි… මේ කාරණේ වතු ජනතාව වෙනුවෙන් පමණක් නෙමෙයි සියළුම වැඩකරන ජනතාව වෙනුවෙන් ඉස්මතු කලයුතු කාරණයක් විදිහටයි මට පෙනෙන්නේ…
මේ වතුකරයේ බොහෝදෙනෙක් නොදන්න අඳුරු පැත්තක් තියෙනවා… ඒ තමා ළමා මෙහෙකාර සේවයට ළමයින් සපයන තෝතැන්නක් තමයි වතුකරය….අවුරුදු14 ට අඩු පාසල් යන වයසේ ළමයි පවා මේ උගුලට අහුවෙනවා… ගවේෂණය කරල බැලුවාම මේකට හේතු විදිහට ප්‍රධානම හේතුව තමා ආර්ථික ගැටලුව… ඒත් ඒක සමාවට කාරණයක් නෙමෙයි… මොකද මේ දේ නීතියෙන් තහනම් නිසා… නමුත් නීතියේ ඇස්වලටත් වැලි ගසමින් මේ දේ මේ ප්‍රදේශවල ජයටම සිදුවෙනවා…ඒක තමා ශොචනීයම කාරණය….
වතුකරයේ පාසැලවලට යන ළමයි බහුතරයකට තියෙන්නේ එක නිල ඇඳුමයි…. රජයෙන් නිල ඇඳුම් දුන්නට මොකෝ එවා මහගන්න තරම් වත්කමක් මේ මිනිස්සුන්ට නෑ… ඉතින් අර ඇඳුම්වල නූල් ඇදිලා තිබුණත් ඒවට අණ්ඩ දමමින් ඇදගෙන යන එක තමා ඒ අය කරන්නේ… සමහරුන්ට තියෙන්න එක exercise පොතයි… ඒ පොත ඉවරවුණාම කොල අමුණ අමුණ ඒ exercise පොත්වලම ලියන්නේ ඒ අය… අන්තිමට පිටු 80 පොත පිටු 100 පොතක් වෙලා… ඔව්ව තම ගොඩක් අය දන්නේ නැති යථාර්තය…
පාසැල් පිහිටලා තියෙන්නේ බඹගණන් ඇත… මේ දුර ඇවිද්ගෙන යන්න වෙනවා… මොකද ප්‍රවාහන සේවා කොහෙද වතුවල???… ඉඳල හිටල යන තේ දළු ලොරිය, නැතිනම් එකක් තමයි… ඒත් ඒවායේ යන්න පුලුවන් සීමිත ගණනක් පමණයි… ඔය ළමයි ඉතින් ඔය දුර ඇවිදගෙන යන්නේ… බහුතරයක් එහෙමත් නැතිනම් ඔක්කම ළමයි කකුල්වලට සපත්තු නෑ… නිරුවත් දෙපාවල යටිපතුල් ගෙවෙනකන් ඇවිදින එක තමයි කරන්නේ… උදේට කොහමහරි ඇවිදන් ගියත් දවල්ට ඉර මුදුන් වෙලා ඇවිදන් එනකොට දැනෙන වේදනාව ආයේ අමුතුවෙන් ඔබට විස්තර කලයුතු නෑ… නමුත් ඒ ළමයි ඒ දේවල්වලට අනුවර්තනය වෙලා… නමුත් කණගාටුව මේකයි.. මෙච්චර දේවල් විදවලා අධ්‍යාපනයෙන් ඉහළට ගියාද කියල හොයලා බැලුවාම ඒ ගණන අතේ ඇඟිලිවලින් ගණනටත් අඩුවීමයි… ඇයි එහෙම වෙන්නේ… ගැඹුරු විග්‍රහයක් දැන් මේ කරන්න යන්නේ…
ළමා මෙහෙකාර සේවය… ළමා අයිතිවාසිකම්, ළමා ප්‍රඥප්ති අමු අමුවේ උල්ලංඝන කරන වෙළඳාමක්… නාම මාත්‍රිකව සඳහන් නොවුණාට එක එක්තරා විදිහක වහල් සේවයක්…. එක තමා ඇත්ත… දෙමවපියන් ඒ වතුවල සිටින තමන්ගේ ළමයි ගෙවල්වල සේවයට යොදවන්නේ යන්තම් කකුල් දෙකෙන් හිටගන්නකොටමයි… ඒකියන්නෙ අවුරුදු 7 – 8 දී වගේ…. ඔබ කල්පනා කරයි මේ කිරි සප්පයන්ට මොනවද කරන්න පුලුවන් වැඩ කියලා… නමුත් ඇත්ත මේකයි….
කිරි සුවඳ කටෙන් නොගිය, වැටුනාම ” අම්මේ” කියලා කෑගහල අඬන, ලොකේ දිහා ඇස් ඇරලා බලන්නවත් පණක් නැති පොඩි උන් වළං පිඟන් හෝදන්න, දරදිය අදින්න, ළිඳෙන් වතුර අදින්න බලෙන් යොදවලා….. අනේ ඒ පොඩි උන්ට මොනවා තේරෙනවාද??? ඒ ළපටි අත්වලට ඒ වැඩ කරන්න පුලුවන්ද?? ඒ නැතිකරන්නේ උන්ගේ සෙල්ලම් කාලේ නෙමෙයිද??? මට තේරෙන්නේ නෑ මේවට ඉපලෙන් තලන්න ඕනෑ උන් වදාපු මව්පියන්ටද එහෙමත් නැතිනම් උන්ගෙන් වැඩ ගන්න මිනිසුන්ටද කියලා… ඒත් අහන්න තියෙන්නේ… ” තොපිලට තොපේ ළමා කාලය මතක නැද්ද යකෝ?????” කියලා විතරයි….
ඇත්තටම කණගාටුයි… මේ පොඩි උන්ගෙන් වැඩගන්න මිනිස්සු උන්ට තලනවා, ගහනවා, කනෙන් අල්ලනවා, පිහිවලින් අත් කපනවා, පුච්චනවා රත්වෙච්චි යකඩවලින්,සමහරුන්ගෙන් දත් පවා කඩලා… කොටින්ම බඩ පිරෙන්න කනන්වත් දෙන්නේ නෑ…. වතුර ගොඩේ ගෝනි කඩමල්ලක් දාගෙන බුදියගන්නවා සීතලට ගුලිවෙලා… මව් උණුහුම ” අපා උණුහුමක් ” කරලා උන්ට… අනේ මේ ළමයි දුක කියනවා ඇත්තේ හඳ මාමාට වෙන්න ඇති රෑට…. ඒත් ඒවා ලොකු මිනිස්සුන්ට තේරෙන්නේ නෑ… මේ පොඩි උන්ට අඩුම ගාණේ ඒ දේවල් විස්තර කරගන්න තරම්වත් වචනවලින් පොහොසත් නෑ… අනේ උන් ඇස් යට කඳුලු බෝල හිරකරගෙන ඉන්නවා ඇති… උන් කොහොම දුක කියන්නද…. ඇත්තම එහෙම කරන මිනිස්සුන් මානසික ආබාධිතයෝ… නැතිනම් කොහමද උන් මේ විදිහට පොඩි එකෙකුට රිදවන්නේ… මේ විදිහට දරුවන් තාඩන පීඩනවලට පත්කරන අය වගේම, ඒ තත්වෙට දරුවන් ඇඳල දාපු “දෙමව්පියන්” ( ඒ වචනය ඒ අයට සාධාරණ නෑ )ට වැහි නැති හෙණ ගහන්න ඕනෑ!!!!
මේ විදිහට දුක් විඩින පොඩි මල් කැකුළු ගෙදර එනවා අවුරුද්දට… උන්ට යන්තම් හිනාවෙන්න ඉඩක් ලැබෙන්නේ ඒවෙලාවට… ඒත් අවුරුද්ද ඉවරවෙන්කොට ඒ පොඩි උන්ගේ අම්මල තාත්තලා වෙන තැනකින් සල්ලි අරන් පොඩි එකාව විකුණලා.. ඉතින් ආයෙත් ඒ පොඩි එකාට බැල මෙහෙවරකම් කරනන් යන්න වෙනවා…. මේක තමා තිත්ත වුනත් ඇත්ත… Fantasy marketing ලෝකවල අතරමංවෙලා ඉන්න ඇස් පේන අන්ධ මිනිස්සු නොදන්න ඇත්ත….මේ විදිහට ඒ දරුවන්ගේ ළමා කාලයම විනාශ කරනවා….
මේ විදිහට ළමා මෙහෙකාර සේවයට අරන යන ගැහුණු ලමයින් බොහෙවිට නොයෙකුත් ලිංගික අතවරවලට ලක්වීම සුලභ කාරණයක්… හාමු පුතා අතින් එහෙමත් නැතිනම් ගෙදර වෙනත් කෙනෙකු අතින් මේ දේවල් සිදුවෙන්නේ…. ඇතැම්විට මේ ගැහුණු දරුවන් ගණිකා වෘත්තියේ යොදවනවා…. ඒ කෙල්ලට සිදුවෙන්නේ තමන්ගේ පතිවත දන්දෙන්න…. මේ තත්වෙට ඒ දරුවා ඇදලා දාපු දෙම්ව්පියෝ ඒ විදිහට හමබකරන මුදලෙන් ජීවත්වෙනවා…. ශිෂ්ට යැයි සම්මත මනුෂ්‍ය සමාජය තුල අශිෂ්ට දේ කොතරම් සිදුවෙනවාද???
මං දැකල තියෙනවා හැම ඔක්තොම්බර් 1 වෙනිදාම ලෝක ළමා දිනය කියලා මාධ්‍ය ආයතන, විවිධ සංවිධාන අණ බෙරගහගෙන් දැවන්ත වැඩසටහන් සිදුකරනවා… නමුත් උන් මේ විදිහට දුක් විදින ළමයි ගැන කිසි දෙයක් කරන්නේ නෑ… පුලුවන්නනම් මේකටත් දවසක් වෙනකරපල්ලා!!! එතකොට ඔක්කම හරි… මේවා කාට කියන්නද??? මේවා දවසින් විසඳන්න පුලුවන් ගැටලු නෙමෙයි…. මේවා හැමදාම සොයා බැලියයුඉතු දේවල්…. මේවා නැවත්වීමයි අපි කලයුත්තේ… එහෙම නොකරනවනම් අර ” බුද්ධිමතම සත්ව ” කොට්ඨාශය කියන එක නවත්තලා ” තිරිසන්ම සත්ව” කොට්ඨාශය කියල හඳුන්වාගන්නවනම් සුදුසුයි අපිව….
මේ හැමදේම පිටිපස්සේ වතුකරයේ ජයටම සිදුවෙන කසිප්පු වෙළඳාමත් බද්ධවෙලා තියෙනවා කියන එකත් කියන්න ඕනෑ… අයවැයෙන් රට බීම හා මත්ද්‍රව්‍ය ඉහල ගියාට මොකද කසිප්පු වෙළඳාමට ඒක ප්‍රශ්නයක් නෙමෙයි…. ලැජ්ජාව, දුක, වෛරය, තරහව, ආත්ම අනුකම්පාව පිරිමහගන්න වතුකරයේ ඉන්න පිරිමි උදවිය ඒ සඳහා පෙළඹිලා ඉන්නවා…. ඒකට ප්‍රධාන හේතුව විදිහට මා දකින්නේ නූගත් කමයි…. අන්තිමට දන්නේම නැතුව අතේ තියෙන පිච්චියත් නැතිව යනවා… දරුවෝ, ගෙදර අඹුව මන්ද පෝෂණයෙන් පෙලෙනවා… සමහර දෙමව්පියෝ හිතන්නේ දරුවෝ පිට ගෙවල්වල්ට යැව්වාම උන්ට අඩුම ගාණේ තුන් වේල කන්න ලැබෙයි… ඒත් බොහෝවිට සිදුවෙන්නේ මේකේ අනික් පැත්ත… එකයි කණගාටුව….
බීලා ගෙදර එන මනුස්සයා ඊට පස්සේ වාඩුව අල්ලන්නේ බිරිඳගෙන් හා දරුවන්ගේ… හරක්ට තලනවා වගේ ගෙදර ඉන්න ගෑණිටයි, දරුවන්ටයි තලන්නේ… ඒත් මේ වතුවල හොඳට ජීවත්වෙන මිනිස්සුත් ඉන්නවා කියල කියන්න ඕනෑ… එත් බොහෝදෙනෙක් අර ඉහත කිව්ව කුලකයේ…. ශොචනීය දත්තයක් වෙන්නේ එකයි ඒක…
බීලා එන මනුස්සය මේ දේවල් ඔක්කම කරලා අන්තිමට නිදි ඇඳේදී තමන්ගේ සැපත හොයාගන්න හදනවා තමන්ගේ අඹුවගේ වැහැරුණු සිරුරෙන්…. මේවා මේ අසභ්‍ය දේවල් කියලා හිතන්න එපා… මොකද මේක තමා ඇත්ත… ඒකයි ඔය වතුකරයේ හැමගෙයකම පොඩි උන් ඔච්චර සුලභ… මේ නිසා ඔය වතුකරයේ මන්දපෝෂණය කියන කාරණේ ප්‍රභලව දකින්න ලැබෙනවා… මේකට ප්‍රධාන හේතුව තමා මේ අයට නිසි අධ්‍යාපනයක් නොලැබීමයි… ඒ නිසා උපත් පාලනය, ලිංගික අධ්‍යාපනය ගැන වැටහීමක් නෑ… මේ දේවල්වලට අන්තිමට වන්දි ගෙවන්නේ ඒවායේ ප්‍රථිපලයක් විදිහට ඇතිවුනු දරුවෝ.. දරුවෝ පෝෂණය කරන්න බැරිවුණාම ඒ පොඩි උන්ව බැල මෙහෙවරකමේ යවනවා….
මේ වතුකර ප්‍රදේශ සමහරකට විදුලිය පහසුකම් නෑ… ඒ නිසා රාත්‍රිය ගෙවන්නේ කුප්පි ලාම්පුවලින්.. පහුගිය කාලේ මේ නිසා ඇතිවුනු අනතුරු මාධ්‍යයන් වාර්තා කරලා තිබුණා… ලංකා වෙළඳපොලේ ලාම්පුතෙල් මිල, පිටි මිල ඉහල යනකොට ඒවායේ බලපෑම කෙලින්ම දැනෙන්නේ මේ ජනකොට්ඨාශයට…. ඒක හරියට ” කොරේ පිටට මරේ ” වගේ සංසිද්ධියක්….
ඒවුනාට ලංකාවේ දේශපාලන විකාශය ගත්තාම වතුකරයට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්… සමහර රජයන් පිහිටුවන්න මේ වතුකරයේ ඡන්ද පදනම වැදගත් වෙලා තියෙනවා…. වතුකරය වෙනුවෙන්ම බිහිවුනු පක්ෂ ගණනාවක්ම තියෙනවා… නමුත් හාස්‍යයට කාරණය තමා ඒ පක්ෂ එකක්වත් මෙච්චර කාලයකට මේ මිනිසුන්ගේ සුගතියට මොනවද කලේ කියන එක… කොටින්ම මෙච්චර විදේශ විනිමයක් උපයලා දෙන මිනිස්සු වෙනුවෙන් රට පාලනය කල රජයන් සාධාරණයක් කරල තියෙනවද කියන එකත් ප්‍රශ්ණයක්…. ඡන්ද කාලෙට වතුකරයට ගිහිල්ලා ලැයිම් කාමර පේලියක්, වැසිකිලි පද්ධතියක්, ජල මුලාශ්‍රයක් විවෘතකරලා මේ මිනිසුන්ගේ නූගත් කමින් ප්‍රයෝජන අරගෙන ඡන්ද ටික කඩාවඩාගත්ත එකයි මෙච්චරකල් වෙල තියෙන්නේ…. ඒ ඇර එදා තිබ්බ ප්‍රශ්ණ ගොන්නට තව ප්‍රශ්ණ ටිකක් එකතුවෙලා තියෙනවා… නමුත් අවංකවම ඒ මිනිසුන්ගේ ගැටලු දිහානම් කවුරුත් බලලා නෑ…
මේ ලිපියේ කිසිම දේශපාලනික බවක් හෝ කාටවත්ම ඉලක්කකර පහරගැසීමක් සිදුකරන්න මට උවමනාවක් නෑ… මට අවශ්‍ය වන්නේ මේ වතුකරයේ අඳුරු පැත්තක් ඔබේ අවධානයට යොමු කරන්න… මා දැක තිබෙනවා සංචාරක කර්මාන්තයේදී Ceylon Tea හොඳට market කරනවා… ඒවගෙම ඒ සඳහා මුද්‍රණය කල වල තේ දළු නෙලන ළඳුන්ගේ සිනාමුසු මුහුණු දැක්වෙන ඡායාරුපවලින් පුරවලා තියෙන විත්තිය… නමුත් යථාර්තය ඊට ගොඩක් වෙනස්… මට අවශ්‍ය වුන් ඒ දේ උලුප්පා දක්වන්න….
මේත් අපෙ රටේ වාසය කරන ජනකොට්ඨාශයක්… ඒවගේම වැද්ගත් ජනකොට්ඨාශයක්… රටේ ආර්ථික කොඳුනාරටියේ වැදගත් සංධියක්…. නමුත් අවාසනාවට ඒ අයගේ දහඩිය මහන්සියට නිශ්චිත වටිනාකම්ක් ලැබෙන්නේ නෑ… ඒ මිනිස්සු මෙච්චර දෙයක් රටට කරල දෙන්නේ අපා දුක් විදිමින් විත්තිය බොහෝ දෙනෙක් දන්නේ නෑ… ඒ මිනිසුන්ගේ දාඩිය, කඳුලු ඇතුලේ නෙලන තේ රසකර බොන්නට අපේ ඇත්තන්ට හොඳට පුලුවන්… නමුත් ඒ අයගේ දුක්වෙනුවෙන් අවංක හඬක් නඟන්න නැති එකයි කනගාටුව…
දැන් ඔබට වැටහෙනවා ඇති රස තේ පිටිපස්සේ තියෙන තිත්ත කතාව… මේ හැමදෙයක්ම තේවල තියෙන මායා රසට වැහිලයි තියෙන්නේ… ඉතින් අපි කුමක් කරමුද??? ඇත්ත සාමන්‍ය මිනිසුන් විදිහට අපිට මහ දෙයක් කරන්න බැහැ… නමුත් අපිට කල හැකි දේවල් තියෙනවා.. උදහරණයක් විදිහට අපිට ළමා මෙහෙකාර සේවය වළක්වන්න පුලුවන්… එහෙම දේවල් කරනවනම් ඒ දේවල් අදාළ ස්ථානයන්ට වාර්තාකරනන් පුලුවන්… වතුකරයේ ළමයින්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මකකල හැක…. එහෙම කලොත් අවම වශයෙන් ඒ පවුල්වල දරුවන් හෝ ඒ අපා දුකෙන් ගැලවේවී….
මට මේක තවත් ලිපියක් කිරීමෙ අවශ්‍යතාවයක් නෑ… මට අවශ්‍ය වුණේ මේ ලිපිය හරහා වතුකරයේ අඳුරු පෙදෙසක් දෙසට ඔබේ අවධාය යොමු කරන්නයි… මේ වගේ තවත් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු නොවුනු අහුමුළු මේ රටේ ඕනෑ තරම් ඇති… ඒවා ලෝකයෙන් වැහිලා නිසා එකවිටම ඇසට ග්‍රහණය වෙන්නෙ නෑ…
“තේවල මායා රසට යටින් තියෙන්න කඳුලු කතාවක්…”
නිදුකාණන් දෙසු… උතුම් දහම ඒ… නිමල බුදු දහමයි …

"නිවනේ මඟ රැඳි.. නිදුකාණන් දෙසු.. උතුම් දහම ඒ... නිමල බුදුදහමයි.."
පවනට සැලෙනා….
පහන්සිලක්වන්….
අනියත මනු දිවියේ….
කතරක හමුවූ….
දිය දෝතක්සේ….
එකම සරණ ඒ….
අමා බුදු දහමයි….
කඳමලු පුරවා….
යන දුක් ගැල්පෙල සේ….
ගෙවමින් යන මේ…. අස්ථිර ජීවිතයේ….
කෙලෙසුන් දුරුකර….
ඉමක් සොයා යන….
ලොවේ දහම ඒ…. නිමල බුදු දහමයි….
උදයම පිබිදී….
පරවෙන පුෂ්පිතසේ….
සැනසුම දුකමුසු….අනියත දිවි ගමනේ….
නිවනේ මඟ රැඳි….
නිදුකාණන් දෙසු….
උතුම් දහම ඒ…. නිමල බුදු දහමයි….
නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
සමිඳුනි යළි එනු මැනවී… අප දුක් ගිනි නිවනු මැනේ…

"අසරණ අපගේ දෑතම දිගුවේ ඔබ එන මඟ සමිඳේ.. අනුකම්පා කර යලි අප අතරට එනු මැන මා සමිඳේ.."
මේ නත්තල්දා රෑ…. අහසේ දිලි……
තරු ඒ කාලෙත් උන්නා…..
ඒ තරු කැට එදවස……. මැවූ අසිරියම….
අද රෑ අහසේ මැව්වා…..
නමුත් වෙනස් වෙලා…. මේ ලොකේ මෙදා….
යුද ගින්නෙන් දැවිලා….. දැවී අලුවෙලා……
දුර්ජන ගුණ පැතිරීලා….. ලොව ඇත ඉන් වැනසීලා…..
සමිඳුනි යළි එනු මැනවී….. අප දුක් ගිනි නිවනු මැනේ…
සමිඳේ…… කිතු සමිඳේ….. අප ආදරෙයි…
සමිඳේ….. දෙව් සමිඳේ…… යළි එනු මැනවී…
මනුසත් ගුණ ඉඩෝරයට හිඳි ගඟ සේ මේ ලෝකෙන් සිඳිලා…..
තණ්හා වෙරයේ ක්‍රෝධයේ ගිනිසිලු ලොව දලුලා වැඩිලා……
අඳුරෙන් අඳුරට දිනයෙන් දිනයෙම යන්නේ අප ඇදිලා…..
කවුරුවත්ම නැහැ සමිඳුනි ඔබ හැර අපහට සරණ පතා……
සමිඳේ…… කිතු සමිඳේ….. අප ආදරෙයි…
සමිඳේ….. දෙව් සමිඳේ…… යළි එනු මැනවී…
ජෙරුසලමේ සිට කල්වාරිය තෙක් ඔබ දෙසු දමින් මිදී…..
වන්දි ගෙවන්නේ ලෝ වාසීන් අද සෝ දුක් ගින්නේ තැවී……
අසරණ අපගේ දෑතම දිගුවේ ඔබ එන මඟ සමිඳේ……
අනුකම්පා කර යලි අප අතරට එනු මැන මා සමිඳේ……
මනුසත් ගුණ පතුරන්න….. ගුණ දම් යළි නන්වන්න….. සාමයෙ සුව ගල්වන්න…… සමිඳුනි යළි මෙහි එන්න……
සමිඳේ…… කිතු සමිඳේ….. අප ආදරෙයි…
සමිඳේ….. දෙව් සමිඳේ…… යළි එනු මැනවී…
නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
( මෙහි අඩංගු කරුණුවල යම් අඩුපාඩුවක් වේ නම් සමාව අයැද සිටිමි. උපතින් මා කිතුණු බැතිමතෙක් නොවෙන නිසාත්, කිතු දහම පිළිබඳ දැනුම අඩු නිසාත් එවැනි වැරදි ඇතිවෙන බව දන්වා සිටිමි.)
මිනිසත් කමයි… උරුමය අපෙ ගම්මානේ…

" මිනිසත් කමයි..... උරුමය අපෙ ගම්මානේ..... "
ඈත හිමෙන් ඇසෙනා වස්දඬු රාවෙන්…..
සඳකැන් පෙරී රඟ දේ කුඹු අතු පතරින්…….
අපේ කමට පණ පොවනා සුසම ලෙසින්….
ගම්මානේ බබළයි අපෙ උරුම මතින්…..
දණ්ඩි පැටව් රඟදෙන….දොළ ඉස්මත්තේ……
ඇදෙනා සුලඟ…… මුසුවේ පින් මල් සුවදේ……
ඒ සුවඳට…… ඇදෙනා රන් සමනලයින්…..
පැණි බිඳු උරන්නේ…. මව්කිරි බොන විලසින්……
අව් ගින්දරට පිච්චි… නැඟි ඩා බිංදූ…..
බත සරි කරන්නේ…. ඒ කෙත් අස්වද්දූ……
බොවිටි, දං පිරුණු….. ඵලබර කටු ලන්දූ…..
ළමා ළපටි සිත් පුරවයි ගී සින්දූ……….
මිනිසත් කමයි….. උරුමය අපෙ ගම්මානේ…..
අතමිට සරු නැතත් ගුණ සුවඳයි දෙන්නේ…..
නගරයෙ ඇසෙන….. නොසරුප් නැත මේ පියසේ……
නිහඩව ගෙවයි පෙර ලෙස අප ගම්මානේ…..
නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
මේ දියතේ ඇති… එකම නොහිඳෙනා… ආදර උල්පත ඒ ඔබමයි…

"මේ දියතේ ඇති... එකම නොහිඳෙනා... ආදර උල්පත ඒ ඔබමයි..."
මේ දියතේ ඇති….
එකම නොහිඳෙනා….
ආදර උල්පත ඒ ඔබමයි….
මා දිවිගමනට….
එකම සඳයි ඔබ….
අම්මේ ඔබ මගෙ…. දිවිය පුරා….
මා හඬනාවිට…. බිළිඳුවියේ…
තුරුලට ගෙන සනසවමින්…..
ලේ කිරි කරලා…. පොවා හොවා මා….
ආදරයෙන් මා නැළවූවා….
ඔබ මතු බුදුවී…. සක්මන් කරනා….
මලුවේ මා වැලි අහුරක්වී….
ඔබේ දෙපා වැඳ…. පුදදෙන්නමි මා….
ඉන් පෙර භවවල පුතුන් ලෙසේ….
නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
පියාණනි ඔබ… මිහිපිට ජීවය… මේ ලෝ දියතම… සරසන්නේ…

" මව්වරු පමණද... මතු බුදු වන්නේ... පියවරු නැතිවදො... බුදු වන්නේ... "
අම්මා සඳනම්…. ඔබ ඒ සඳහට….
එළිය දුන් ඉරයි…. මා දනිමි….
ඔබගෙන් විහිදුණු…. රැස් කිරණෙන් මා….
ජීවන ගමනම…. එළිය වුනේ…
සඟවා සිටිමුත්…. මහමෙරු පර්වත….
මෙන් ඔබ දරු පෙම…. සිත් කුටියේ….
පියාණෙනි ඔබෙ…. දෙනෙත් වලින් බැහැ….
එය සඟවන්නට…. සිත් රිසි සේ….
මව්වරු පමණද…. මතු බුදු වන්නේ….
පියවරු නැතිවදො…. බුදු වන්නේ….
පියාණනි ඔබ…. මිහිපිට ජීවය….
මේ ලෝ දියතම…. සරසන්නේ….
නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
ඉරිතැලී ගිය… ජීවිතේ මගේ… නිමවු වැස්සයි… ඔබේ ආදරේ…

" ඔබෙ සුවඳ ඇවිත්... රහසේ... හද දොර ලඟ... ඉඟි කෙරුවේ... "
මුලු ලොවම…. නිදිවු මොහොතේ….
මා ඇහි පිල්ලම් නැත….
නිදි පැතුවේ….
ඔබෙ සුවඳ ඇවිත්…. රහසේ….
හද දොර ලඟ….
ඉඟි කෙරුවේ….
මිහිඳුම් බිඳගෙන…. එන හිරු කැන් දහරා….
පුබුදු කරාවී….
කැකුලු මල් නිදනා….
මා හද ගැඹුරේවූ…. සෙනෙහස් රුහි දහරා….
ජීවත්කරවන….
රුධිරය ඔබම තමා….
ජීවිතය නම්….. හිමව් ගිරි අරණේ….
තනිකමම විඳි….
නියං රුදු සමයේ….
ඉරිතැලී ගිය…. ජීවිතේ මගේ….
නිමවු වැස්සයි….
ඔබේ ආදරේ….
නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
ඉතින් අවසරයි… කරුණා ගුරුමෑණියනි සමුගන්නට…

" ඉතින් අවසරයි... කරුණා ගුරුමෑණියනි සමුගන්නට... "
දිනය 2011.10.24…. ඒ කියන්නේ පසුගිය සඳුදා…
වේලාව ප.ව. 7.00 ට විතර ඇති….
විශ්වවිද්‍යාලයේ නව වාරය ඇරඹුණේ එදා…. වැඩි වැඩකුත් තිබුණේ නැති එකේ gym එකට ගිහින් badminton පාරකුත් ගහලා ගෙදර ඇවිල්ලා මුහුණු පොතට log වෙලා හිටියේ මං….
මගේ ජංගම දුරකථනයට call එකක් ආවා…. තිරයේ දිස්වෙන අංකයෙන් ඒ මා මිතුරු ජාගොඩගේ අංකය බව මන් දැනගත්තා…. මං ඇමතුම ගත්තා…
” මචං… මැඩම් නැතිවුනා…”
” සිරාවට… ” මං ඇහුවා…
” ඔව් මචං… අද 4 ට වගේ නැතිවුනේ… ”
කරුණා දිසානායක ගුරුමෑණියන්…. ඔව්, මගේ ජීවිතේ මට හමුවූ කරුණාබරම හදවතක් තිබූ ගුරුමෑණියන්…. එහෙම කිව්වට මං වැරැදි නෑ…. මං හිතන්නේ මැඩම්ගෙන් ඉගෙනගත්තු ඕනිම කෙනෙක් මාත් එක්ක එකඟවෙයි ඒ කාරණයත් එක්ක…
සාමාන්‍යයෙන් මේ සමාජයේ පුද්ගලයන්ට දාලා තියෙන නම්වල තේරුම් හා ඔවුන්ගේ හැසිරීම් බැලුවාම හරියට අහසයි පොළවයි වගේ දුරස්ථභාවයක් තියෙන්නේ…. ඒත් කරුණා මැඩම් සම්බන්ධයෙන් ගත්තාම ඇයට තිබුණේ ඇගේ ගතිගුණවලටම ඔබින නමක්… ඒ ගැන කිසිම විවාදයක් හෝ තර්කයක් අපට නෑ….
කරුණා මැඩම් අපිට ඉගැන්නුවේ සිංහල භාෂාව සහ සාහිත්‍ය… මට ඈ ඉස්සෙල්ලාම සහ අවසන් වතාවට ඉගැන්නුවේ අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගයේ කඩඉම් වර්ෂ 2… ඒ කියන්නේ 10 සහ 11 වසරවල…. සිංහල pass නොවුනොත් O\L විභාගෙත් අසමත්…
අද ලංකාවේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ තමන්ගේ මව් භාෂාව හොඳින් දැනගෙන සිටීම ලැජ්ජවාට කාරණයක් කියලා…. මව් භාෂාව වරද්ද වරද්ද…. වෙනත් රටක භාෂාවක් චතුර විදිහට කතාකිරීමට දැනගෙන සිටීම ගෞරවාන්විත දෙයක් කියලා ඒ අය හිතන්නේ…. ඒකට ඒගොල්ලෝ යස නමක් දාලා තියෙනවා…. modern trend කියලා…. හදිසියේ වත් සිංහල භාෂාව හොඳින් හසුරුවන කෙනෙක් දැක්කාම ඔහු හෝ ඇය දිහා අවඥා සහගතව බලන්න ඒ ඈයෝ කොහෙත්ම පසුබට වෙන්නේ නෑ…. ඒවගේ අයට ඒගොල්ලෝ කියන්නේ ” ගොඩයා “කියලා… ආහ්!!! වැරදුණා ” ගොඩේ type ” කියලා… ඒකටත් පොඩි western type එකක් තියෙන්න ඕනිනේ….
ඇත්ත… භාෂාවක් අපිට අවශ්‍ය අපේ හැඟීම්, දැනුම හා තොරතුරු අන් අය සමඟ හුවමාරුවට… සිංහල භාෂාව කොටුවෙලා තියෙන්නේ ලංකාවේ ඇතුලේ විතරයි…. ඒ හින්දා ලෝකෙත් එක්ක ගනුදෙණු කරන්න ඒ භාෂාවෙන් අමරුයි…. පොඩි කාලේ ඉඳන්ම ඉංග්‍රීසි භාෂාව උගන්වන්නේ…. උසස් අධ්‍යාපනය පවා ඉංග්‍රීසි භාෂාවෙන් ලබාදෙන්නේ…. ඒක තමා ඇත්ත…. නමුත් අවාසනාවට අපේ සිංහල බොහෝ අය තමන්ගේ මව්භාෂාව බවට ඉංග්‍රීසි භාෂාව පෙරලගන්න වෑයමක යෙදෙනවා…. සත්‍ය අවබෝධ කරනොගෙන…. ඇත්තටම ඉතින් මුකුත් කියන්නත් බැහැ…. මොකද ඒක ප්‍රජාතන්ත්‍රවාදයෙන් උරුමු වූ අයිතියක් නිසා… නමුත් සිංහල භාෂාව හොඳින් හසුරුවන කෙනෙක් දැක්කාම ඔහු හෝ ඇය දිහා අවඥා සහගතව බලන අය මේ රටේ ඕනෑ තරම් හොයාගන්න පුලුවන්….
මට හිතෙනවා මෙහෙම දෙයක් කියන්න එහෙම සිංහල භාෂාව තමන්ගේ ජීවිතෙන් ඉවත්කරන්න උත්සහ කරන අයට…. වැසිකිලියට ගියාම සබන් ගා වතුරෙන් පශ්චාත් ප්‍රදේශය හෝදගන්න එක නවත්තලා ඒ වෙනුවට පුළුන් හෝ පත්තර කෑලි යොදාගන්න…. මං හිතන්නේ ඒ දේ ඔබට තවත් උපකාරී වෙවී… ඒ ප්‍රයත්නයට… මොකද සිංහල සංස්කෘතිය හා හැසිරීම් බොහෝදුරට භාෂාව එක්ක බැඳිලා තියෙන හින්දා…. ගොඩ සුද්දෙක් වීමට වඩා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුද්දෙක්වීම නම්බුකාරයි මට හිතෙන විදිහට… පොඩ්ඩක් ඒ ගැන හිතල බලන්න… මොකටද නිකන් ” ගොඩ” කෑල්ලක් තමන්ගේ ” සුද්දා ” කමට ඈඳගන්නේ නේද???…
ඇතැම්විට මෙම බ්ලොග් සටහන් කියවන ඔබ මට කියාවී මෙය මුලුමනින්ම සිංහලෙන් ලියා නොමැති බව…. පිළිගනිමි…. මා මෙය පවත්වාගෙන යන්නේ ඔබට සිංහල භාෂා ව්‍යාකරණ ඉගැන්වීමට නොවේ…. හුදෙක් මා සමාජය පිළිබඳ දකින දෘෂ්ටිකෝණය ඉදිරිපත් කරන්නටය….. ඒ හරහා ඔබටද පණිවිඩියක් දෙන්නටය….. විච්ඡූරණ ලෝකයෙන් මිදී සැබෑ සමාජය දෙස බලන්නට අත්වැලක් ලෙසය….
අවශ්‍යනම් මට මේ Blog සටහන සිංහල භාෂාවෙන්ම පවත්වගෙන යන්න පුලුවන්… නමුත් මේ Blog සටහනේ පරමාරථය ඔබ සියල්ල වෙත හොඳින් ගෙනයන්නටයි මා මේ මඟ තෝරගත්තේ…. එහෙම නොවුණානම් මේ පණිවිඩය ග්‍රහණය කරගන්නේ එක් කොට්ඨාශයක් පමණක් බව මං දන්නවා…. නමුත් ඇත්තම කතාව තමයි මා මගේ මව්භාෂාවට අප්‍රමාණව ආදරය කරනබවයි….
මං මගේ ජීවිතයේ ඉගෙනගත් සුන්දරම භාෂාව කුමක්ද කියලා කිසිවෙකු ඇසුවොත් ඒ සිංහල භාෂවයි… ඒක අර ඡන්දේ කාලෙට market වන සිංහලකමවත්, අවුරුදු කාලෙට market වන සිංහලකමවත් වගේ නෙමෙයි…. ජීවිත කාලෙටම නොවෙනස්වන කාරණයක්…. මං දන්නවා ඒ විදිහට තමන්ගේ මව් භාෂාවට අප්‍රමාණව ආදරය කරන මිනිස්සු මේ රටේ තවමත් ඉන්න විත්තිය….
කරුණා මැඩම් සිංහල භාෂාවේ වැදගත්කම අපිට නිරතුරුව කියාදුන්නු ගුරුමාතාවක්…. මට මතකයි වරක් ඈ කිව්ව දෙයක්…
” අපි ඉස්සෙල්ලම හිතන්නේ සිංහලෙන්…. ඊට පස්සේ තමයි අපි ඒක ඉංග්‍රීසියට පෙරලන්නේ…. ”
ඒ කතාවේ ඇත්තක් තියෙනවා…. බොහෝවිට අපි හිතන පතන දේවල් අපේ භාෂාව හා සංස්කෘතිය මත රඳා පවතින විත්තිය මට පුද්ගලිකව දැනිලා තියෙන කාරණයක්…. ඒහින්දා මං මැඩම් එක්ක ඒ කාරණේදි එකඟයි….
මැඩම්ට අපේ වයසේම පුතෙක් උන්නා… අනුරාධ කියලා… ඔහු හිටියෙත් අපේ පාසලේ අපේ පන්තිවල… අපේ මිතුරෙක්… ඒ නිසාම මැඩම්ව අපට දැනුනේ අපේම මවක් විදිහටයි… මැඩම් අපව භාරගතෙත් මැඩම්ගේ පුතාලා හැටියටයි…. ඒහින්දා අපි බොහොම සුහදව පන්ති කාමරේ ඇතුලේ වැඩකලා…. සුළු සුළු ආරවුල්, ගැටුම් නොතිබුණා නෙමෙයි… නමුත් ඒවා තිබුණේ බත ඉදෙනකන් විතරයි වගේ…. ඒ දේවල් එහෙම යටපත්වුණේ මැඩම්ගේ කරුණවාන්තකම නිසා කියලා මට අද හිතෙන්නේ…. මොකද ඒවා මැඩම් කවදාවත් බැරෑරුම් විදිහට භාරගත්තේ නෑ…
සිංහල එතරම් පහසු විෂයක් නෙමෙයි…. ඒකේ නීති මාලවක්ම තියෙනවා…. ඒ විතරක් නෙමෙයි අක්ෂර වින්‍යාසය පවා නිවැරදි වියයුතුයි…. ඇත්තම කිව්වොත් ලකුණු ගන්න අමාරුම විෂය කිව්වට වරදක් නෑ…. පැය 5ක් පුරාවට දිවෙන ප්‍රශ්ණ පත්‍ර 3 ක්…. එකක් බහුවරණ ප්‍රශ්ණ පත්‍රයක්… එකක් සාහිත්‍ය ප්‍රශ්ණ පත්‍රයක්… අනික රචනා, සාරංශ ලිවීම ගැන වූ ප්‍රශ්ණ පත්‍රයක්…. ඉතින් මේ ප්‍රශ්ණ පත්‍ර 3 ම හරියට ලියගත්තොත් ගොඩම තමා…. නැත්නම් ඉතින් ආයේ ලියන්න සුදානම් වෙන්න වෙනවා….
ව්‍යාකරණ නීතිරීතී, උපසර්ග, උපමා උපමේයන්, විභක්ති, උක්ත ආඛ්‍යාත සම්බන්ධයන්, ප්‍රථමා පුරුෂ, මධ්‍යම පුරුෂ, සමාන පද, විරුද්ධ පද වැනි තවත් බොහෝ දේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ සිංහල විෂය සමත්වෙන්න…. ඒහින්දාම තමයි බොහෝවෙලාවට මව්භාෂාව වුනත් සිංහල භාෂාව ගොඩක් දෙනෙක් අසමත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාව අසමත්වෙන සංඛ්‍යාවටත් වඩා…. තව හේතුවක් තමයි ගොඩක් අය හිතන්නේ මේ මව්භාෂාව නිසා ලෙහෙසියෙන් සමත්වෙන්න පුලුවන් කියලා…. නමුත් යථාර්තය ඒක නෙමෙයි….
සිංහල සාහිත්‍ය ගත්තාම ජාතක කථා, කවි වගේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ…. විශේෂයෙන්ම යමක විචාරතමක දෑසින් දකින්නට හැකියාවක් තියෙන්න ඕනෑ… එහෙම නොවුනොත් සාහිත්‍ය විෂයට ලකුණු ගන්නවා බොරු…. තව දෙයක් කවියක් කියවලා ඒකේ තෙරුම නිවරදිව ග්‍රහණය කරගන්න බැරිවුණොත් ඒකට උත්තර සපයනවා කියන්නේ ඉතින් සිහිනයක්ම තමා…. අනික ජාතක කථා හා විවධ යුග වල ලියැවුණු කෘතිවල භාෂාව අපිට එතරම් හුරු නැහැ…. ඒ වචන විවිධයි… කියෙව්වාට තේරුම් ගන්නත් බැරි තරම්…. ඒත් විභාගය සමත්වෙන්න ඒවායේ තේරුම් පවා දැනගතයුතුයි…
රචනා ගැන කතාකලොත් කොතරම් කරුණු දැන සිටියත් වැඩක් නෑ ඒවා රසවත් විදිහට ගලපලා ලියන්න බැරිනම්…. ඒවගෙම උක්ත ආඛ්‍යාත සම්බන්ධතා පවා නිවැරදි විය යුතුයි…. අක්ෂර වින්‍යාසය නිවැරදි විය යුතුයි…. සාරංශ ලිවීමේදී අවශ්‍ය දෑ සාරාංශයට අන්තර්ගත කලයුතුයි….අවශ්‍ය දෑ පවා ලියන්න ඕනෑ අඩු වචන සංඛ්‍යාවකින්…. එහෙම නොවුනොත් වචන 20 -25 කින් සාරාංශය ලියනවා බොරු…. සිංහල විෂය සමත්වීම ඒ හින්දා හිතෙන තරම්ම ලේසි නෑ….
ඉතින් ඒ සඳහා හොඳ මඟ පෙන්වීමක් තිබිය යුතුයි…. කරුණා මැඩම් ඇත්තටම ඒ දේවල් රසවත් ලෙස කියාදුන්නා…. සිංහලවලට පෞද්ගලික පන්තියකට නොගිය මට සිංහලවලට අධි සාමාර්ථයක් ලැබීමට ඇයගේ ඉගැන්වීම උපකාරීවූ බව මං අදත් සෙනෙහේ සිතින් සිහිපත් කරන්න කැමතියි…. මා මියෙනතුරාවට ඇයට ණයගැතියි ඒ වෙනුවෙන්….
සමහරක් වෙලාවට අපේ අයට ඒ විෂය නයාට අඳුකොල ගාණට පෙනුනා….. ඇත්තම කිව්වොත් ඒ මැඩම්ගේ වැරැද්ද නෙමෙයි… ඒ තමා සිංහල භාෂාවේ තිබ්බ බැරෑරුම් භාවය…. ඒත් මැඩම් බොහොම ඉවසීමෙන් කරුණාවෙන් අපිට ඒ විෂය ඉගැන්නුවා…. තාමත් මතකයි මට අපෙන් සිංහල හෝඩිය කට පාඩම් ගත්ත් හැටි…. එදා ඒ දේ විනෝදයක් හැටියට භාරගත්තත් අදටත් සිංහල හෝඩිය කට පාඩමෙන් දෙන්න පුලුවන් වෙලා තියෙන්නේ ඒ හින්දයි….
සිංහල භාෂාව හරිම වැදගත් පාසැල් කාලයේදී… මොකද මොන විෂය ඉගෙනගත්තත් ( English, English Literature, සමහරවිට Western Music සහ වෙනත් භාෂා හැර ) ඒ දේවල්වලට පිළිතුරු සපයන්න වෙන්නේ සිංහලෙන්…. ඒ හින්දා සිංහල භාෂාව කියන දේ කොහෙත්ම ජීවිතෙන් අමතක කරන්න බැරි දෙයක්…. කරුණා මැඩම නිරතුරුවම උත්සහකලේ අපි තුල ඒ දේ ගම්‍යකරවන්නයි….
කරුණා මැඩම්ගෙන් මං ඉගෙනගත්තේ අවුරුදු 2 ක් වුණාට ඊට කලින් සිදුවුණු රසබර සිදුවීමක් තියෙනවා ඇය හා බැඳුණු…. මේක වුණේ 2001දී… එතකොට මං 8 වසරේ…. අපි ඉස්සර උදේට, interval එකට cricket ගහන්න පුරුදුවෙලා හිටියා…. Bat එක විදිහට ලී කෑල්ලක් අරගෙන බෝලෙකට තඩිබාන එක තමා කරන්නේ… ඒකේ ඉතින් ඔය cricket වල තියෙන technique එහෙම නෑ…. ඒත් ඉතින් ඒක හරියට 20 20 වගේ තමයි දැන් තියෙන….
ඉතින් එදා මං bat කර කර හිටියේ last man විදිහට…. Intervalඑකේ අනික් පැත්තට bat කරන්න දීලා ඉක්මණින්ම දවාගැනීම තමා අපේ team එකේ අරමුණ…. ඉතින් ටිකක් වේගයෙන් ලකුණු රැස්කරමින් උන්නේ මම ඒ වෙලාවේ…. ඔය වෙලවේ ආපු බෝලෙකට මං දෑත බැදලා ගැහුවා…. සෑහෙන වේගයකින් බෝලේ ඇදිලා ගියා හැබයි වැඩි උසකින් නෙමෙයි…. Flat උසකින්….
මට බෝලේ ගිය දිහාව බැලුනේ ඒවෙලාවේ…. බෝලේ යන දිහාවේ උන්නේ කරුණා මැඩම්!!!… මැඩම් 9 වසර staff room එකට ඇවිදගෙන යන ගමන්…. මට ඉතින් තරු පෙනුණා කිව්වට වැරැද්දක් නෑ ඒවෙලාවේ…. මොකද කැගැහුවත් මැඩම්ට අයින්වෙන්න වෙලාවක නෑ… මොකද බෝලේ වේගයෙන් ඒ දිහාවට ඇදිලා ගිය හින්දා….
මැඩම්ගේ දකුණු අත පැත්තෙන් අය්යා කෙනෙකුත් ඇවිදගෙන ආවේ ඔය වෙලාවේ…. මැඩම්ගේ වාසනාවට, අය්යාගේ අවාසනාවට, මගේ වෙලාවට බෝලේ වැදුනේ ඒ අය්යාගේ ඔළුවේ…. ඒත් මැඩමුත් ගැස්සුණා අන්තිම මොහොතේ බෝලේ දැකලා…. මට යන්තම් සැනසීමක් ආවා…. මැඩම් මං දිහාවට හැරුණා… දැන්නම් ගුටි කෑවත් කමක් න කියලා මට හිතුනේ… මං එතකොට කරුණා මැඩම් කොයි වගේ මැඩම් කෙනෙක්ද කියලා දැනගෙන උන්නේ නෑ….
” පරිස්සමෙන් සෙල්ලම කරන්නකෝ ” මැඩම් මට කියලා ගියා….
හොඳවෙලාවට අර බෝලේ වැදුණු අය්යාට එච්චර අමාරුවක් වුනෙත් නෑ…. ඒත් එදායින් පස්සේ සෙල්ලම් කරනකොට පරිස්සමෙන් සෙල්ලම් කරන්න මං හිතාගත්තා… ඒ තමා එකම සිදුවීම මට මේ වෙලාවේ මතක් වෙන මැඩම් හා බැඳුණු….
මැඩම් 2007 දී පාසලෙන් හා ගුරු වෘත්තියෙන් සමුගත්තා…. අපිත් පාසලෙන් සමුගත්තේ ඒ වර්ෂයේදීමයි…. ඊට පස්සෙ මැඩම් මට හම්බවුණේ නෑ….
මැඩම් මෙලොවින් සමුගන්න දවස් 3 කට ඉස්සෙල්ලා තමයි මං දැන්ගත්තේ මැඩම පිළිකා රෝගයට ගොදුරුවෙලා රෝහලක ප්‍රතිකාර ලබන බව…. ඒක කිව්වෙත් මට ජාගොඩ සහෝදරයා…. මට තිබුණු කාර්යබහුල බව නිසාත්, ඒ වැඩකටයුතු මඟ දමා යන්න බැරි නිසාත් මට මැඩ්ම්ව ඒ දවස් 3 බලන්න යනන් බැරිවුණා…. ඇත්තටම මං යන්න වෙලාවක් සොයමින් වෙලාව සමඟ අරගලයක යෙදෙමින් උන්නේ… ඒත් කාලය මාව පරාජයට පත්කලා…. මට කරුණා මැඩම් බලන්න යන්න ඉඩක් කාලය දුන්නේ නෑ…. මුළු ජීවිතය පුරාවටම මට ඒ පසුතැවිල්ල තියේවී….
මැඩම් සදහටම ගතින් සමුගත්තා…. ඒත් මැඩම් ඔබ සැමදාම අපේ හිත්වල රැඳේවී අමරණීය චරිතයක් විදිහට….
ඔබේ ඔය කරුණාබර මුහුණ, සිනහව, වදන් කවදාවත් අමතක නොවේවී…. පන්හිඳෙන් සිංහල අකුරු අමුණා කරන නිර්මාණයකදීම, ලියන හැම ලිපියක්දීම ඔබව අපට සිහිවේවී…. ලිපිය අවසන් කිරීමට කරුණා මැඩම් වෙනුවෙන් මා ලිවූ නිස්දැසක් මා යොදාගනිමි…. මං ඉස්සරහටත් නිසදැස් ලියාවී… නමුත් මේ නිසදැස මා ලිවූ සුවිශේෂීම නිසදැසක් බව මට ඉඳුරාම කියන්න පුලුවන්….
පන්හිඳට අපේ අමුණන්නට…
අරුත්බර සිංහල වදන්… කියාදුන්…
අඳකරව තිබූ අපේ නෙත්…
නුවණැසින් විවරකල…
මවක සේ කරුණාබරව… අප වෙත දෑත පෑ…
ආදරණීය…
කරුණා දිසානායක ගුරුමෑණියනී…
ඔබට අමා මහ නිවන් සැප ලැබේවා!!!…
අප අද දියතේ…
ජයක් ලබා ඇත්නම්…
ඒ ඔබ අපට… ඉගැන්වූ දෙයට පින්සිදුවෙන්නටය…
අපි එයට සදා ඔබට… ණයගැතිය…
ඉතින් අවසරයි…
ඔබේ දෙපා නැමද අපට සමුගන්නට...
ඉතින් කරුණා ගුරුමෑණියනී..... අවසරයි ඔබෙන් සමුගන්නට දෙපා නැමද සදහට ගතින්.... ඒත් මැඩම් ඔබ සැමදාම අපේ හිත්වල රැඳේවී අමරණීය චරිතයක් විදිහට... ඔබට අමා මහ නිවන්සුව ගුරුමෑණියනී!!!