වෙළඳාම තළුමරමින්…. කලාව ගිලියි….

පෙබරවාරි 27, 2013 at ප.ව. 5:23 (ජීවිතය පුරාවට දැනෙවී..., සමාජ ඇසෙන් කතාවක්...) (, , , , , , , , , , , )

හැම මනුස්සයෙකුටම කලා කෘතියක් රස විඳින්න පුලුවන්

පහුගිය දවස්වල බොහොම අවිවේකී සමයක් ගතකරපු මට යන්තම් හුස්මක් කටක් ගන්න දැන් ඉඩ ලැබුණා…. කාලෙකින් ඔබ සියළුදෙනාම ආමන්ත්‍රණය කරන්න නොලැබුණ එක ගැන සමාව අයැද සිටිනවා සියල්ලන්ගෙන්ම…. මම මඟේ ලිපිවල ලියනවා වගේම මේක business marketing ලෝකයක්…. ඒහින්දා ඒ race එක දිගේ මටත් දුවන්න සිද්ධවෙලා තියෙනවා හති වැටෙනකන්ම මං කැමතිවුනත් අකමැතිවුනත් …. ඒ structure එක දැන් වෙනස්කරනවා බොරු මේ මනුෂ්‍ය ලෝකයේ…

ඇත්තටම පහුගියකාලේ මං නිශ්ශබ්දව හිටියට මං ඔබ වෙනුවෙන් ලියන්න යමක් හොයමින් හිටියේ දිගටම…. ඒ කාල සමයේ ඇතිවුණු සිද්ධීන් මගේ කෙටි blog ඉතිහාසය තුල මං මුද්‍රිත අකුරුවලට හරවල තිබුණේ කලින්ම… ඒ නිසා නැවත නැවත ඒවාම ලියන එක එහෙමත් නැතිනම් keyboard එකේ කොටන එක හරි නෑ වගේ මට හිතුණා…. මගේ අරමුණ ඔබට සමාජයේ මා දකින විවිධ කාරණා සම්බන්ධයෙන් මා දකින කෝණය ඉදිරිපත් කිරීමයි…. ඒ නිසා හැමවිටම් ඔබට මට සංවේදීවන අලුත්ම අලුත් මාතෘකාවක් තෝරාගැනීමයි මගේ අරමුණ… ඒ නිසා මගේ ලිපි දෙකක් අතර කාලය සෑහෙන්න දිගු වෙන්න පුලුවන්…. ඒ ගැන මා නැවතත් සමාව ඇයද සිටිනවා මගේ පාඨකයන්ගෙන්…..

ඉතින් කලින් කිව්වා වගේ යන්තම් busy schedule එකෙන් ඈත්වෙලා හුස්මක් කටක් ගන්න ලැබුණ වෙලාවේ මට හිතුනා කලාව පැත්තට ටිකක් නැඹුරු වෙන්න…. මොකද ලෝකේ මොන වස්තු බීජ තිබ්බත් වැඩක් නෑ මනුස්සයෙක් කලාවට ටිකක් හරි නැඹුරු වුණේ නැතිනම්…. මොකද මනුස්සයෙක්ට යමක් විඳින්න මොනව හරි දෙයක් තියෙනවනම් ඒ තියෙන්නේ කලාවේ ඇතුලේ…. එයින් ලැබෙන සැනසීම, සිත් පහන් කිරීම වෙන කිසිම දේකට ඉටු කරන්න අමාරුයි…. ඒ නිසා මනුෂ්‍ය ජීවිතයට කලාවෙන් ඉටුවෙන සේවය ඉමහත්…. හැම රජෙක්ම මනුස්සයෙක් වුනත් හැම මනුස්සයෙක්ම රජෙක් නෙමෙයි වගේම තමයි හැම කලාකාරයෙක්ම මනුස්සයෙක් වුණත් හැම මනුස්සයෙක්ම කලාකාරයෙක් නෙමෙයි…. ඒත් හැම මනුස්සයෙකුටම කලා කෘතියක් රස විඳින්න පුලුවන්…. ඒක තමයි කලාවේ තියෙන අරුමය… රටේ උසස්ම තන්තුරුවල ඉඳලා අලුත ඉපදුනු බිළිඳෙකු දක්වාම මේ කාරණය සත්‍යයක්… අලුත්ම පර්යේෂණවලින් හොයන් තියෙන විදිහට මව් කුස තුළ ඇති කළලය පවා කලාවට බොහොම ලැදියාවක් දක්වනවා….

ඔන්න ඉතින් මමත් මගේ හෙම්බත් වෙච්චි මනසට විවේකයක් දෙන්න කියලා අම්මගේ radio එක tune කර කර සිංදු අහන්න ගත්තා… අප්පා!!! නානා ප්‍රකාර විදිහේ සිංදු ලංකාවේ තියෙනවා….. නානා ප්‍රකාර විදිහේ වගේම තමයි ඒ සිංදු නාගෙන තියෙන තරම දැක්කාම මගේ අර හෙමබත් වෙච්චි මනස තවත් හෙම්බත්වුණාද මන්දා…. ඒවට සිංදු කියනවාද???? එහෙමත් නැත්නම් පුවත් සිරස්තල කියනවාද???? එහෙමත් නැත්නම් පොඩි උන් ලියපු රචනාවක්ද කියන්නද???? කියලා මට හිතෙන්න පටන්ගත්තා… ඒත් පොඩි උනුත් අවංකවම ඊට වඩා ලස්සනට රචනා ලියනවා…. ඔය කඩල දෙන කඩල ගොටු වලත් මේ සිංදු කියලා ලේබල් ගහලා තියෙන “නිර්මාණ” වලට වඩා හොඳ නිර්මාණ අම්මපා මං දැකලා තියෙනවා….

මේක මේ පද රචනයේ විතරක් නෙමෙයි කටහඬවල්වලත් තියෙන ප්‍රශ්ණයක්…. තනුවලත් තියෙන ප්‍රශ්ණයක්… සමහර විරහ ගීතවල තියෙන තනු අඟර දඟර පාලා නටන්න තරම් පට්ටයි…. අම්මපා සතුට ගලාහැලෙන පදරචනාවලත් නැති තරම් dance කරන්න හොඳ beats තියෙනවා ඒවා වල!!!!… මගේ දැනීම හැටියට ගීයකට තනුවක් දාද්දී ඒ ගීතයේ හැඟීම හා ඒ ගීතයේ නිධන්ගතවෙලා තියෙන කාරණය ගැන සිතිය යුතුය… සමහරවිට මේ business ලෝකයේ ඒ හැඟීමවලට ප්‍රතිචාර දක්වන විදිහත් modify වෙලාද දන්නේ නෑ!!!! ….

ඒවගේම තමයි කටහඬවල්!!!!…. සමහරු ගිරිය පුප්පන් කෑගහනවා… සමහරු කොඳුරනවා…. සමහරු සිංදු කියනවා නෙමෙයි news කියවනවා…. සමහරු කම්මල්වල යකඩ තලන ශබ්දෙන් ගීත කියන්න ට්‍රයි කරනවා… ශ්‍රැති කොහෙවත්, තාල කොහේවත්…. අපේ අල්ලපු ගෙදර ඉන්න පොඩි එකා ඊට වඩා ශ්‍රැතියට,තාලයට කියනවා “හා හා හරි හාවා”…. ඒවුණාට මේවා hit සිංදු…. හැම chart එකකම ඉහලින්ම වැජඹෙන ගීත…. …. ඒවට ගොඩක් TV,Radioවල ඉන්න නිවේදක නිවේදිකාවෝ කියන්නේ “talents” කියලනේ…. සමහර විදිහට ඒ ගොල්ලොත් අර ගිරව් වගේ මෙලෝ රහක් නැතිව කියවන එකම කරන නිසා ඒක කියනවා ඇති… මට මතක් වෙනවා එච්.ආර්.ජොතිපාල‍යාණන් ගයනා කල “නුග රුකක් වෙමින්”ගීතයේ line එකක්… “අරුත්සුන් වදන් දොඩවන… ගිරව් දොඩමළු”… හැබෑට ඒක මේ වෙනුවෙන් ම ලියැවුනු පද පේලියක් තමයි කියලා හිතෙන්නේ!!!!…. මොකද ඒ අයම දන්නේ නෑ ඒ අය කියන්නේ මොකද්ද කියලා… ඒත් ඒවා පට්ට talents කියල තමයි ලංකාවේ පිළිගැනීම… හැබයි ඉතින් අපිට අහන් ඉන්න තමයි අමාරු…. සමහරවිට ඒ talents සැර වැඩි ඇති අපේ කන්බෙරවලට!!!!….

දැන් මේ දේත් කියන්න ඕනි…. අලුත් නිර්මාණ හැම එකක්ම මෙහෙම නෑ…. කුහක විදිහට මේ ලිපිය ලියන්න මට උවමනාවක් නෑ…. ගොඩක් හොඳ අලුත් නිර්මාණකරුවන් කරලා තියෙනවා… නමුත් අවාසනාවට ඒ නිර්මාණවලටත් නිසි තැනක් මාධ්‍යවලින් ලැබෙන්නේ නෑ අසන්නන් බහුතරයකට අසා ඉන්න බැරි Tv, Radio presentersලට විතරක් පට්ට talents වෙච්චි නිර්මාණ නිසා…. බොරු කියන්න අවශ්‍ය නෑ… නූතන පරපුරේ හොඳ ගායක ගායිකාවන් බොහොමයක් ඉන්නවා…. ඒ අය අතින් බිහිවුණු ගුණාත්මක නිර්මාණ ගොඩක් තියෙනවා…. නමුත් ඒවට තියෙන මඟ ඇහිරලා තියෙන්නෙත් ඉහත කීව නිර්මාණ නිසයි…

මා සංගීතය සම්බන්ධ විශාරදයෙකු නොවෙයි…. නමුත් මා දන්න කරුණු කීපයක් මේ ලිපිය හරවත් කිරිමට ඉදිරිපත් කරන්නට කැමතියි…. මූලික වශයෙන් මිනිස් කටහඬ ranges 4කට බටහිර සංගීතයේ බෙදා වෙන්කරනවා…. ඒවා තමයි Soprano, Alto, Tenor සහ Bass කියන හතර…. ඒ අතරේ තව Baritone වගේ ranges තියෙනවා… සාමාන්‍යයෙන් මේ මූලික කටහඬවල් අතරේ තම්යි සිංදුවක් දෝලනය වන්නේ…. ඇත්ත… හැමෝටම් මේ හැම range එකේම ගායනා කරන්න බැහැ…. නමුත් ගායකයෙක් වීමට අවම වශයෙන් මේකේ අනුයාත ranges දෙකක වත් ගායනාකරන්න හැකිවිය යුතුයි… නමුත් අවාසනාවට අද ලංකාවේ ඇහෙන බොහෝමයක් ගීතවල ඉන්න බොහෝමයක් ගායක ගායිකාවන්ට අවම වශයෙන් එක range එකක්වත් හරිහැටි ගායනා කරගන්න බැහැ….

ගීතයක් කියන්නේ ශ්‍රවණයෙන් මිනිසෙකු තෘප්තිමත් කලයුතු දෙයක්…. නමුත් අද ගීතය කියන්නේ ඇස් පිනවන දෙයක් වෙලා…. මොකද බොහොමයක් ගායක ගායිකාවන් සැලකිලිමත්වන්නේ රූපරචනයට එහෙමත් නැතිනම් music video එකට… ඒක සාර්ථක කරගන්න නොකරන දෙයක් නෑ… cheese,noodles,tofee,choclate,lolipop කාවී…. පැණි බීම,cofee බොයි…. Shoes, New fashion ගනියි…. Bank කාඩ් උසසන් නටාවී…. Brand new vehicles එලවාවී…. ඇහැට නම් හරි සුන්දරයි…. කනටත් මිහිරිවුනාණම් පට්ටයි…. ඒත් අවාසනාවට ඒක එහෙම වෙන්නේ නැහැ… හැබැයි කට්ටියට හොඳ වැඩක් කරන්න පුළුවන් ඕනිනම්…. TV එකේ සද්දේ mute කරගෙන රූප ටික බලන් ඉන්න පුලුවන්…. රඟපෑම උපරිමයි!!!!…. අම්මපා!!! අද නළු නිළියෝ කියලා රඟපාන අයට වඩානම් රංගනය උසස්… මගේ අදහස මේ අය වෙනුවෙනුත් සම්මාන උළෙලක් අරඹන්න ඕනි…. හැබැයි ගායනය වෙනුවෙන් නෙමෙයි…. රූප රචනයේ රඟපෑම් වෙනුවෙන්!!!!!…. Stage වලට නැග්ගාම හති වැටෙනකන් නටනවා මිසක් කරන ගායනයක් නෑ…. ඒකට කියන්නේ Performing ලු…. අනේමන්දා ගායකයාගේ කටහඬ ඇහෙන්නෙ නැත්නම් ඒ එක Dance Performance ද දන්නේ නෑ!!!!….

අතීතයේ ගායක ගායිකාවන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලියක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට තිබුනා…. ඒ කාල සමය තමයි බොහොදෙනෙක් හඳුන්වන්නේ ලංකාවේ ගීත ඉතිහාසයේ ස්වර්ණමය යුගය විදිහට…. ඒ කාල සමයේ නිර්මාණය වූ ගීතවල රසය තාමත් එලෙසම පවතිනවා…. අනික ඒ ගීත හුදෙක් ජනතාව අතරට ගියේ සංගීතය, පද රචනය හා ගායනය කියන ගීතයේ මූලිකාංග තුන උපයෝගී කරගෙන මිසක් අමතර කාරණයක් වුන රූප රචනය හා වෙලඳ දැන්වීම සංගීතය හරහා නොවෙයි….

ඒ කාලයේ හින්දි තනුවලට ගීත ලිවීම බොහොම විදිහට විවේචනය කර තිබුනා… නමුත් මටනම් අවංකවම ඒ පද රචනා නූතනයේ නිර්මාණය වන බොහෝ ස්වතන්ත්‍ර නිර්මාණවලට වඩා ඉහළයි… එහෙම තනුවකට ගීතයක් අර්ථවත් ලෙස ලිවීම හිතන තරම් ලේසි පහසු දෙයක් නොවෙයි…..විශේෂයෙන්ම ගීතමය වචන යොදාගෙන ලියන එක… ඇත්තටම ඒවා තමයි talents….

ගීතයක් නිර්මාණය වියයුත්තේ හුදෙක් ringing tone හෝ වෙළඳ දැන්වීම සඳහාම පමණක් නොවිය යුතුයි…. හුදෙක් ව්‍යාපාර මානසිකත්වයකින්ම ගීත නිර්මාණය කල නොයුතුයි…. ඇත්ත අද බොහෝදෙනෙක් තමන්ගේ වෘත්තිය ලෙස සංගීතයේ නිරතවෙනවා…. ඒ නිසා මුදල් අවශ්‍යයයි… නමුත් මෙසේ සිතන්න…. ඔබ යනවා කාර්යාලයකට වැඩක් කරගන්න… එතන ඉන්නවා මහ කම්මැලි, ඔබව මුලාවේ දමන සේවකයෙක්…. ඔබ රස්තියාදුවෙනවා ඔහු නිසා සෑහෙන්න…. නමුත් අදාළ ආයතනය එය දන්නේ නෑ… මාසේ අන්තිමට ඔහු සේවය නිසි පරිදි ඉටු කල සේවකයෙක් ලෙස තමන්ගේ වේතනය අරන් ගෙදර යනවා කිසිදු ලැජ්ජාවක් නැතිව…. ඔබේ නිර්මාණ හුදෙක් market එකටම නිර්මාණය වන්නේනම් ඔබ මුලාකරන්නේ සමස්ත ලක්වැසියාමයි… ඔබට මුදල් ලැබේවී market එකෙන් සහ අනුග්‍රහවලින්… Market එක target නිසා ඕනෑ තරම් මාධ්‍ය ආයතනත් සිංදුව කරයි…. නමුත් ඔබ සමාජයට හෝ කලාවට් කිසිදු දෙයක් කර නැත….. ඔබද කර ඇත්තේ අර සේවකයාසේම ලැජ්ජා නැතුව සමාජයට සේවයක් නොකර සමාජයෙන් සල්ලි ගරාගැනීමක් පමණි!!!…. ඕවා සිහිපත්වන්නේ තරුණ කාලයේදී නොව හැරමිටියෙන් යන කාලයටය!!!!…. එදාට ඒ වැරද්ද හදාගන්න ඔබට වෙලාව නැතිවේවී…. එහෙම වෙළඳාම වෙනුවෙන්ම නිර්මාණකරණයේ යෙදේනම් ඔබ කලාවට ආදරේ මනුස්සයෙක්ද නොවේ….

ගායනයෙන් අපි යමු රංගනයට….. ඒකෙත් කියන්න දෙයක් නෑ…. ටෙලි වීකශනයෙන් බහුතර කාලයක් අරක් අරන් ඉන්නේ Mega නාට‍ය කියාගත්තු ඒවා යි,ඒවාට අනුග්‍රහය දක්වන වෙළඳ භවතුන්ගේ වෙළඳ දැන්වීමුයි විතරයි….. හරියට කැලෑවල ගස්වලට අරක්ගත්ත වෘක්ෂ දේවතාවන් වගේ…. අන්තිමට නාට්‍යයෙන් ගන්න දෙයක් නෑ ජීවිතයට…. අපි පැය ගණන් නාසති කරලා තියෙන්නේ TV advertisements බලන්න විතරයි…. පෙර පාසල්වල ළමයිනුත් මීට වඩා හොඳ නාට්‍ය පෙර පාසවල්වල ප්‍රසංගවල රඟපානවා…. මං හිතන්නේ මේ mega නාට්‍ය සංස්කෘතියේ ඉන්න උදවිය වෙලාවක් තියෙන වෙලාවකට පෙර පාසවල්වල ප්‍රසංග බලන්න යනවනම් හොඳයි…. මොකද ඒ පොඩි උන් හොඳ තේමාවල් තෝරාගෙන හොඳට රඟපානවා mega නාට්‍යවලට වඩා ….

සිනමාව ගැන කතාකරනවනම් දැන් තියෙන්නේ ඉතිහාසය විකුණන් කන කාලයක්… ඉතිහාසය නිරවද්‍ය ලෙස සිනමාවට නඟනවානම් ඒකේ වරදක් නෑ…. නමුත් ලංකාවේ ඒ විදිහට ඉතිහාසය තේමා කරගෙන ගොඩනඟන සිනමා කෘතිවල තිබෙන අතාත්විකභාවය මැනවින් පිලිබිඹු වෙනවා…. සිනමා අධ්‍යක්ෂකවරයාට නළු නිලියන් හසුරුවගන්න තිබෙන නොහැකියාවයි කැපී පෙනෙන්නේ… මොකද මේ ඉතිහාස කතාවෘතාන්ත වල රඟපාන බොහොමයක් නළු නිළියන් සීමාව ඉක්මවා යමින් රංගනයේ යෙදෙන්න උත්සහකරන්නේ බොහෝවිට…. මේ දේ හැම සිනමා පටයකම මා දකින දෙයක්…. එවිට ගිලිහෙන්නේ සිනමාවේ තාත්විකභාවයයි…. එවිට එය නරඹන්නන්ට සංවේදී වන තීව්‍රතාවය අඩුයි…. එමෙන්ම ටෙලිනාට්ය වේවා, සිනමා වේවා නළු නිළියන් තෝරාගැනීම ලංකාවේ අධ්‍යක්ෂවරුන්ගේ බොහොම දුර්වලයි… ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්න අධ්‍යක්ෂවරු තමන්ගේ නිර්මාණ සඳහා යොදාගන්නේ ඒ කාල සමයේ වඩා කතාබහට ඇතිවූ යුවළක් නැතිනම් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක්… සමහරවිට ඒ අදාල රංගන ශිල්පියා හෝ ශිල්පිණිය කොතරම් දක්ෂවූවත් ඔවුන්ගේ රංගන පරාසය විදහා දැක්වීමට ඔවුන්ට ලැබෙන චරිතය ප්‍රමාණවත් නෑ…. වර්තමානයේ රංගන කර්තව්‍යයකට නළුවෙක් හෝ නිළියක් තෝරාගන්නේ අදාල සිත්තම විකාශනය වන මාධ්‍ය ආයතනයට හෝ ප්‍රධාන අනුග්‍රහක භවතාට අවැසි පරිදියි… ඒ නිසා අධ්‍යක්ෂකවරයාට තමන්ට අවැසි පරිදි නිර්මාණය කරගන්න බැරි එක එක අතකින් පුදුමයකට කාරණයක් නෙමෙයි…..

මිලියන ගණන් වියදම් කර තැනූ රන්මිණි තැන්න ටෙලි ගම්මානයෙන් අපේ නාට්‍යකරුවන් නිවැරදි ප්‍රයොජනයක් ගන්නවාද????… ඒ පිළිබඳවනම් සැකයක් තියෙනවා… ගුණාත්මක නිර්මාණ බිහිවීම බොහොම අඩුයි…. රසිකයන් විදේශයන්ගෙන් ගෙන්වා සිංහලෙන් හඬ කැවූ නිර්මාණවලට නැඹුරුවීම අරුමයක් නෙමෙයි…. ඒ නිර්මාණවල ඇති තාත්විකභාවය,රංගන ශිල්පී ශිල්පීනියන්ගේ රංගන දක්ෂතාවය, අධ්‍යක්ෂවරුන්ට නළු නිළියන් හැසිරවීමට ඇති දක්ෂතාවය ඊට ඇති මූලික හේතුයි…. ඔවුන්ගෙන් අපට ඉගෙනගත හැකි දේ බොහොමයි….

ලංකාවේ ඉහළගණයේ රංගන ශිල්පීන් ශිල්පිනියන් සිටිනවා… ඒ ගැන කිසිදු අවිවාදයක් නෑ… නමුත් සමහර ශිල්පීන් හා ශිල්පිනියන් සිතා සිටින්නේ මුණට makeup ටිකක් උලාගත්තාම එහෙමත් නැත්නම් excercise කරලා අයෝමය ශරීරයක් හදාගත්තාම ඒ තමයි මූලික සුදුසුකම කියලා…. නමුත් මේ අයගේ හැඟීම් ප්‍රකාශනය පොඩි කාලේ පොඩි එකෙක් බඩගිනිවී කිරි ඉල්ලා හඬනවාට වඩා දුර්වලයි…. ඉතින් මේ අය ප්‍රතිභාසම්පන්න යයි හැඳින්විය හැකිද???? රෑට sunglass දාල වාහන එලෙව්ව පලියට මිනිස්සුන්ගේ හිත් තුළ එවැනි ගරුත්වයක් ලබාගන්න බැහැ….

Mega නාට්‍යයකින් ඉගෙනගත හැකි දෙයක් නැත…. අවම වශයෙන් සමාජයේ දැවෙන ගැටලුවක් පිළිබඳව පුළුල් විචාරනයක්වත් කරන්නට Mega නාට්‍යකරුවා අසමත්වී ඇත…. Mega නාට්‍ය පසුපස ඇත්තේ සුකිරි බටිල්ලෝ වැනි තමන්ට හිතවත් නළු නිළියන්ට රූපවාහිනියේ සතිය පුරාම තමන්ගේ මුහුණත් තහඩුව ප්‍රදර්ශන්ය කිරීමට් ඉඩ සලසා දීමත්, Media එකට නාට්‍ය sale කර අනුග්‍රහක භවතාගේ මනදොළ සංසිඳුවා සල්ලි ගරාගැනීමත් පමණි….

දැන් පිවිසෙමු නර්තනය දිහාවට…. අද ලංකාවේ සිටින නර්තන කණ්ඩායම් බොහොමායක් ස්ත්‍රීන්ගේ ශරීර අංග ලක්ෂණ නර්තනයට වඩා ඉස්මතු කරන්න උත්සහකරන්නේ… විශේෂයෙන්ම එළිමහන් සංගීත ප්‍රසංගවල මේ තත්වය මැනවින් දකින්න ලැබෙනවා… අවිවාදයක් නෑ ස්ත්‍රී දේහය පිරිම දේහයකට වඩා ලාලිත්‍යයෙන් පිරිපුන්…. එමෙන්ම ස්ත්‍රියක් නර්තනයේ යෙදෙනවිට පිරිමියෙකුට වඩා නෙතට රසඳුනක්…. නමුත් නර්තනය යනු කාමුකත්වය නෙමෙයි….

නාඹර කෙල්ලෙකුගේ නාභිය දකින එකවත්, ලැම පෙදෙස දකින එකවත්, පිරිපුන් කලවා දකින එකවත් නෙමෙයි නර්තනයක් කියන්නේ… නර්තනය කියන්නේ ඊට වඩා අර්ථවත් දෙයක්…. නමුත් අවාසනවට මේ ලෝකයේ නර්තනයට වඩා මේ වගේ කාමුක ආශාවන් මිනිසුන්ගේ සන්තර්පණය කරන්න තමයි ගොඩක් දෙනෙක් උත්සහ කරන්නේ… නමුත් මේ දේවල් කරන්න කලින් මේ අය මතක් කරගත්තොත් හොදයි මේ දේත්… ඒ තමයි අපි කවුරුත් මේ ලෝකෙට එන්නේ අම්මගේ කුස තුල ඉදලා බවත්, ඒ අම්මාත් ගැහැණියක් බවත්….

නර්තනයේ විවිධ ශෛලියන් තියෙනවා… හැම ශෛලියක්ම නිවැරදි ලෙස අධ්‍යයනය කිරීම ගොඩක් හොඳයි… නමුත් ඊට වඩා වැදැගත් ගීතයකට නර්තනයක් නිර්මාණය කිරීමේදී ඒ ගීතයේ අදහස ඉස්මතුවන ලෙස නර්තනය නිර්මාණය කිරීම… නර්තනයේ දක්ෂතාවය හැටියට මා දකින්නේ එයයි…. නර්තනයක් සමීපවන්නේ නරඹන්නාට එවිටයි….

චිත්‍රකලාවේනම් යම් ප්‍රගමනයක් තවමත් ලංකාවේ දකින්න ලැබෙනවා… උසස් ගණයේ නිර්මාණ, ඒ නිර්මාණ සිදුකරන්නට නව චිත්‍ර ශිල්පීන දක්වන වෑය්යම අගය කළයුතු කාරණයක්…. බොහොම උසස් නිර්මාණ කරන්නට ඒ අයට හැකිවේවා යැයි මෙතන්දී ප්‍රාර්ථනා කරන්න කැමතියි… ඒ වගේම මේ සඳහා බලධාරීන්ගේ අවධානය යොමුවූවහොත් මේ චිත්‍ර ශිල්පීන් ශිල්පිනියන්ට ජාත්‍යන්තරය පවා ජයගත හැකි බවට මගේ විශ්වාසයයි… මෙය ඒ තරමට දියුණු කල හැකි කලා මාධ්‍යයක්… ඒ තරමට දක්ෂයන් මේ පුංචි දිවයින තුළ අපේ ඉන්නවා!!!….

ඊළඟට සෘජුවම් සම්බන්ධ නැත්තත් නිවේදනය ගැන සලක බලමු…. ලංකාවේ ඉන්න බහුතර නිවේදක නිවේදිකාවන් ප්‍රමාණයක් විනාඩියකට කටින් පිටකරන වචන සංඛ්‍යාව තෝරන තරගයක් තිබ්බොත් උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුනපාවී…. ඒ ජයග්‍රාහකයා කවුද කියන එක තොරන්න ගිහිල්ලා…. ඒ තරමට ඒ වැඩේට දක්ෂයි…. ඒත් ඒ ඉදිරිපත් කිරීම අර්තවත්ද???? ඒ අයවත් දන්නේ නැහැ ඒ අය කිව්වේ මොනවද කියලා…. ඉතින් අපිට ඒවා තේරේවිද එහෙනම්???? අන්තිම්ට හෑල්ලක් කිව්වට මොකෝ කාටවත් තේරෙන්නේ නෑ…

වරක් දිවංගත ප්‍රේමකීර්ති ද අල්විස් මහතා රූපවාහිනී වැඩසටහනක් ඉදිරිපත්කරන අතරවාරයේ නිවෙස්වල සිටින් පොඩි දරුවන්ගෙන් ඉල්ලීමක් කලේය….

“පුතාලා, කඩදාසියක් අරන් ඇවිත් රූපවාහිනිය ඉස්සරහින් වාඩිවෙන්න”

ඉන් ටික වෙලාවකට පසුව ඔහු මෙසේ කීවේය….

“දැන් ඔය කඩදාසිය පුංචි කෑලිවට ඉරන්න”

ඉන් සුලු මොහොතකට පසු ඔහු මෙසේ කීවේය…

“දැන් ඔය කඩදාසි කෑලි ටික ඉන්න තැන විසිරුවා හරින්න”

ඉන් ටික වෙලාවකට පසු ඔහු පොඩි දරුවන්ට කියා දුන්නේ අපූරු පාඩමකි…

“දුවලා පුතාලා ඔය තමයි පරිසර දූෂණේ…. ඔය විදිහට ආයේ කවදාවත් පරිසර දූෂණය කරන්නෙපා”

මෙය කොතරම් අපූරු සංවාදයක්ද???? අවසානයේඔහු සමාජයට දුන්නේ අපූරු පණිවිඩියක්… මෙයයි ඉදිරිපත්කිරීම යැයි මා දකින්නේ… කටට එන හැම දේම වක්කඩේ කැඩුවාසේ කියවීම නෙමෙයි…. හරවත් ලෙස භාෂාව හැසිරීමයි… නමුත් අවංකව අද ඉන්නේ අරුත් සුන් වදන් පවසන ගිරව් වැනි නිවේදක නිවේදිකාවන්ය…. සමහරු අවමවශයෙන් වැඩිහිටියෙකුට වැදගත් පුද්ගලයෙකුට ගෞරව සම්පන්න ලෙස කතාකිරීමටද නොදනී…. ඒත් ඒව පට්ට “talents” ලෙස සමහරු දැකීම අභාග්‍යසම්පන්න දෙයකි…එමෙන්ම ලංකාවේ සිටින බොහොමයක් වැඩසටහන් ඉදිරිපත්කරන්නන් ඔවුන් ඉදිරිපත් කරන වස්තු බීජය සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් නොකර බව ඔවුන් වැඩසටහන ඉදිරිපත්කරනවිට මනාව පැහදිලි වේ… ඒ අයට වඩා හොඳ දැනුමක් පාසල් යන පොඩි දරුවන්ට ඇත…

වර්තමානයේ ඇති Businness ලෝකය ඇතුලත අපිද market වන කලෙක කලාව market වීම අරුම පුදුම දෙයක් නොවේ…. නමුත් කලාවේ ගුණාත්මක භාවය මුදල් හමුවේ යටපත් නොවිය යුතුයි…. කලාවේ ප්‍රගමනයට් මුදල් අවශ්‍යයය… නමුත් ඒ වෙනුවෙන් කලාව විනාශකිරීම කිසි සේත් පිලිගත නොහැක…. මේ ලිපියේ තේමාවේ ඇති පරිදි වෙළඳාමට කලාව තළුමරා ගිලින්නට ඉඩ නොදිය යුතුය….. ඒ නිසා market එක ගැන පමණක් සිතා නිර්මාණ කිරීම කිසිසේත්ම කලාව ලෙස හැඳින්විය නොහැක…. එය business ය…. එලෙස නිර්මාණ කර ලැබෙන මුදල් ලැබෙන්නේදෙ සමාජයෙන් නිසා එක්තරා ආකරයක සමාජය මුලාකිරීමක් ලෙස මෙම තත්වය හඳුන්වා දිය හැක…. එලෙස ලබාගන්න මුදල හුදෙක් ලැබෙනුයේ ලැජ්ජා නැතිකමටය…. වෙන කුමකටවත් නොවේ…..

කොතරම් කලාවට විනකලද එලෙස විනකරන කලාකරුවා ( සත්‍ය කලාකරුවන් මෙම ගණයට අයත් නැත ) දේශපාලන වේදිකාවලට නම් ආභරණයකි… කලාවේ තමන්ගේ සේවය නිසි පරිදි ඉටු නොකලද ඡන්දය කාලයට දේශපාලන වේදිකාවලට ගොඩ වැදී උඩ පනිමින් එක් එක් පාටවලට ඡන්දය දෙන ලෙස ඉල්ලීම හස්‍යෝත්පාදක කාරණාවකි…. අපට ඔවුන්ගේ අදහස් පිලිගත හැකිද???? කලාකරුවා මුලින්ම තමන්ගේ නිර්මාණ හරහා රටට සේවයක් කළ යුතුයි… එවිට මේ ඉල්ලීමේ පදනමක් ඇත… නමුත් ලංකාවේ කලාවේ එවැනි ප්‍රගමනයක් දකින්නට නැතුව එවැනි ඉල්ලීම් ඉල්ලන්නේ නම් ජනතාව ඒ ගැන කල්පනාකල යුතුය….

කලාව යනු අතිශයින්ම පූජනීය දෙයකි…. එය විනාශ කිරීම හෝ නොකිරීම ඇත්තේ කලාකරුවා හෝ කලාකාරියටය…. නමුත් අවංකව කිසිදු මිනිසෙකුට කලාව විනාශ කිරීමට අයිතියක් නැත…. කලාව හරහා සමාජයට කලහැකි කාර්යභාරය අතිමහත්ය…. ඒ නිසා කලාව නිසි මාර්ගයට යොමු කර ස්වර්ණමය යුගයක් අනාගතයේදී ඇතිකරගැනීමට හැකිවේවා යැයි පතමින් මේ දීර්ඝ ලිපිය නිම කරමි….

Permalink ප්‍රතිචාරයක් ලබාදෙන්න

අකලට දියවෙන අහිංසක හීන – සරසවි සිසුවෙකුගේ දෑසින්….

සැප්තැම්බර් 14, 2012 at ප.ව. 3:09 (ජීවිතය පුරාවට දැනෙවී..., සමාජ ඇසෙන් කතාවක්...) (, , , , , , , , , , , , , )

බොහොම කාලෙකට පසුව මගේ Blog සටහනට අද ලිපියක් එක්කරන්න හිතුවා…. මෙච්චර දවසක් සුදුසු මාතෘකාවක් හොයහොයා හිටිය මට ඊයේ රෑ හිතුණා මේ දවස්වල මා අත්විඳින මේ ” දීර්ඝ නිවාඩුව” ගැන ඔබට යමක් කියන්න…. ඇත්තටම මේ නිවාඩුව අපි කිසිදිනෙක අපේක්ෂා නොකල එකක්…. මේකේ අභාග්‍යසම්පන්න බව කියන්නේ මේ නිවාඩුව හුදෙක් විනෝදබර එකක් නෙමෙයි…. මොකද මේ  නිවාඩුවේ දින වැඩිවෙන්න වෙන්න දියවෙලා යන්නේ අපේ හීන…. සමහරවිට ඔබ හිතනවා ඇති මේ මොන අපභ්‍රංශයක්ද කියලා…. ඇත්ත…. මොකද තාම මං ඔබට කිව්වේ නෑනේ මේ මොකද්ද කියලා…. අපි පටන්ගමු කතිකාවත දැන්….

මේක පටන් ගන්න කලින් කියන්න ඕනි….  අපේ ගම්වල කියනවා වගේ පුදන කොටම කාපි යකා කියලා…. මේක කියවන්න පටන්ගන්නකොටම මේ ලිපිය දිහා පාදඩ දේශපාලන පාට කණ්නාඩියකින් බලන්නෙපා කියලා…. මොකද මට කොහෙත්ම අවශ්‍ය නෑ කාගේවත් දේශපාල න්‍යායපත්‍රයක ගැත්තෙක් වෙන්න…. මට අවශ්‍ය සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් අපේ අවංක හැඟීම ගැන කියන්න….

කෙටියෙන්ම කාරණේ සාරාංශගත කලොත් මම ලංකාවේ විශ්විද්‍යාලයක සිසුවෙක්…. මං හිතන්නේ එහෙම කිව්වාම මේ නිවාඩුව මොකද්ද කියලා ඔබල හැමදෙනාම දන්නවා ඇති…. ඒත් කියන්න බෑ…. මොකද මේ රටේ ඉන්න සමහර නෝනලා මහත්තයලට මේවා පේන්නේ නෑ…. ඒ දෑස්වල අඳභාවය නිසා නෙමෙයි…. චින්තනයේ හිතේ තියෙන අඳභාවය නිසයි….ඔය රූපවාහිනි ගුවන්විදුලිවල ඡන්දේ කාලේට “අපි සංවේදි  _ _කරුවෝ ” ගාගෙන සිරික්කිය දාන බොහෝදෙනෙකුට ඔය ධර්මතාවය පොදුයි…. මොකද අද වෙනකන් ඒ ඇත්තන්ට ඒ සංවේදී හිත පහලවෙලා නැති හින්දා මේ කාරණේට ඒ කතාව මැනවින් ඔප්පුවෙනවා….  ඒ හින්දා මේ නිවාඩුව මොකද්ද කියලා මම කියන්නම්…. ” විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය”….

“අල්ලට සිඟාවත් රස නැති කැවිලි                  කකා

තල්කොළ බිම අතුර නිදි නොලැබ දුක්          තකා

කල්ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන්            වකා

ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ                 තකා”

මේ අපි බාලාංශ පන්තියේදී ඉගෙනගන්නා අපූරු කවියක්…. මේ කවිය තරම් අධ්‍යාපනේ වටිනාකම කියාදෙන කවියක් සිංහල සාහිත්‍යයේ නැති තරම්…. මේ කවිය වනපොත් නොකෙරුව , මේ කවිය නොඇසූ කෙනෙක් නැතුව ඇති…. සමහරවිට ඔබ නොදන්නවා ඇති කුඩාකාලයේ මේ කවිය ඇයි ඔබට කියාදෙන්නේ කියලා…. කුඩාකාලයේම ඔබට අධ්‍යාපනයේ ඇති වටිනාකම ඔබට කාන්දුකාරවන්නට තමයි ඒ දේ කරන්නේ…. නමුත් කණගාටුයි කියන්න….. අද මේ කවිය නිකන්ම නිකන් පුස්සක් වෙලා ඉවරයි…. වඩාත්ම කණගාටුව තියෙන්නේ මේ කවි වනපොත් කල ඈයොම තමයි ඒ දේ විනාශ කරලා තියෙන්නේ….

කාටවත් ලෙහෙසියෙන් ලාංකීය විශ්විද්‍යාලයකට ඇතුලුවෙන්න බැහැ…. කවුරුහරි එහෙම කියනවනම් ඒක බොහොම වැරදි අර්ථකතනයක්…. ඒ වෙනුවෙන් කරන්න වෙන කැපකිරීම් බොහොමයි…. සතුට, ප්‍රීතිය, වින්දනය හැම දේම අවුරුදු 2කට අමතකරලා ඒ ගෙවන සමය… සමාන්‍යයෙන් ඒකට කියන්නේ “කට්ට” කියලයි….. ඒ “කට්ට” කාපු ඕනිම කෙනෙක් දන්නවා ඒක තමයි ජීවිතේ දුෂ්කරම කාල පරිච්ඡේදය කියලා…. මෙයින් අදහස් වෙන්නේ නෑ විශ්විද්‍යාලයට නොතේරුන අය ඒ “කට්ට” කෑවේ නෑ කියලා…. එතනදී කන “කට්ටේ ” තරමට අනුව තමයි තේරීමට නොතේරීමට බලපාන්නේ….  

එහෙම විශ්විද්‍යාලවලට ඇතුලුවුනු අපිත් ලේ, මස්, ඇට, නහරවලින් හැදුනු මිනිස්සු….. එහෙම නැතිනම් විශේෂ ග්‍රහලෝකයකින් කඩාපාත්වුණු පිටසක්වල ජීවියෝ නෙමෙයි…. අපිත් ඔය විශ්විද්‍යාලවලට ඇතුලුවෙන්නේ හීන කන්දක් පපුවට තුරුල්කරගෙන…. අපිටත් හැඟීම් තියෙනවා…. දැනීම් තියෙනවා…. කොහෙත්ම උවමනාවක් නැහැ සමාජයෙන් වෙන්ව ජීවත්වෙන්න…. පොළවේ පයගහලා ජීවත්වෙන්නයි අපිටත් ඕනෑ…. රටට සේවයක් කරන්න, යහපත් ජීවිතයක් ගතකරන්න අපිත් කැමතියි…. මේක මේ විශ්විද්‍යාලයට ගිය නොගිය ඕනිම කෙනෙකුට තියෙන බලාපොරොත්තුවක්…. ඒකේ කිසිම අසාමාන්‍යතාවයක් නෑ….

නිල් කොට කලිසමෙන්, සුදු කලිසමට සංක්‍රාන්ති වෙනකොට බොහෝ පාසල සිසුවන්ට අධ්‍යාපනයේ වටිනාකම තේරිලා ඉවරයි…. ඒ නිසා බලවත් තරඟකාරීත්වයක් ඇතිවෙනවා විශ්විද්‍යාල ප්‍රවේශයට…. රට කරවපු අදූරදර්ශී නායකයන් නිසා රටේ හැමෝටම නිදහස් උසස් අධ්‍යාපනය දෙන්න බැරිවෙන හින්ද තමයි මේ තරඟකාරීත්වය ඇතිවෙන්නේ….. මේ නිසා සියලුම අපොස උ.පේ. දරුවන් බලවත් මානසික ආතතියකට පත්වෙනවා….. සටනින් සමහරු පරදිනවා සමහරු දිනනවා…. මේක තමා යථාර්තය…..

විශ්විද්‍යාලයට ඇතුලුවන අයට විතරක් නෙමෙයි හීන තියෙන්නේ…. ඒ අයගේ දෙමව්පියන්ටත්….. අවුරුදු 13 ක් නැත්නම් ඊට වැඩිකාලයක් අමාරුවෙන් මහන්සියෙන් දරුවන් උස්මහත්කල දෙමව්පියන්ගේ ජීවිතේ වැදගත් සංධිස්ථායක් තමයි දරුවන් උසස් අධ්‍යාපනයට ඇතුලුවීම…. මොකද ඔවුන් පැහදිලිවම බලාපොරොත්තුවෙනවා දරුවන්ගේ අනාගතය එයින් බොහෝදුරට සුරක්ෂිතවෙනවා කියලා…. ඒවා ඡන්ද කාලේ මිනිස්සුන්ට දේශපාලුවන් මිනිස්සුන්ට දෙන fantasy හීනවලට වඩා බොහොම අහිංසක හීන…. මොන අම්මයි තාත්තයිද කැමති තමන්ගේ දරුවන් දුක් විඳිනවා බලන්න….. කවුරුහරි එහෙම දෙමව්පියො ඉන්නවා කියනවනම් මට කියන්න තියෙන්නේ උන් ඉපදිලා ඉන්නේ මව්කුසෙන් නොවෙයි කියන එකයි….

විශ්විද්‍යාල ශිෂ්‍යයෝ සරසවිවලට පිවිසි දා ඉඳන් අරගල කරනවා…. බොහෝවිට සමාජයේ ඉන්න පිරිස් දකින්නේ ඒ අරගල කිසිදු පලක් නෑ කියලා…. තවත් සමහරු කියන්නේ ” මුන් ඉගෙන්ගන්නේ අපේ සල්ලිවලින්….. කාලකණ්ණි !!!! ඉගෙනගන්න නැතුව අරගල කරනවා… ” …. මට හිතෙනවා අන්න ඒ ” අපේ සල්ලි ” කියන දේ යොදාගෙන ඔබට මෙන්න මේ දේ පැහදිලි කරන්න…..

ඇත්ත… අපි ඉගෙනගන්නේ ඔබ විසින් රජයට ගෙවන බදුමුදලෙන්….. එහෙමත් නැත්නම් ජාතික අයවැයෙන් වෙන්කරන මුදල් සම්පාදනවලින්…. ඒ නිසා ඇත්තටම් අපි ඔබ සියලුදෙනාට ණයගැතියි… එමෙන්ම එයින් නිසි ප්‍රයෝජන අප ගතයුතුයි… නමුත් ඔබ කිසිදවසක ඔබේ අවධානය යොමුකර තියෙනවද ඔබ මහන්සියෙන් උපයා රටේ අධ්‍යාපනය වෙනුවෙන් යටකරන මුදලට නිසි වටිනාකමක් ලබාදී තිබෙනවද කියලා????…..ඇත්තම උත්තරය නැහැ කියන එකයි….

ඔබේ මුදලෙන් මේ ලබාදෙන අධ්‍යාපනය අද කාලයට ගැලපේද කියා ඔබ සොයා බලා තිබෙනවද???? අවශ්‍යකරන සම්පත් ලබාදී තිබෙදනවාද???? ලෝකය සමඟ තරඟකරන්නට තරම් අපි දැනුමෙන් සවිමත් වී ඇතැයිද ඔබ සොයා බලා තිබෙනවද???? මා දකින විදිහට ඔබලා කිසිම කෙනෙක් මේ දේවල් කිසිදාකවත් සොයා බලා නැති බවයි… ඒ වෙනුවෙන් අරගල කරන සරසවි සිසුන් ත්‍රස්තවාදින්. කුමන්ත්‍රණකරුවන් ලෙස ඔබ හංවඩුගසන්නේ ඒ නිසාය….

ඔබ නොදන්නවා වෙන්න පුලුවන්…. සරසවිවල විද්‍යාගාරවල අඩුපාඩුකම් සපුරගන්න ශිෂ්‍යයන් විවිධ ආධාර වැඩසටහන් සංවිධානය කරනවා…. ඒ හරහා එන මුදල්වලින් විද්‍යාගාරවල අඩු ලුහුඬුකම් සපුරගන්නවා…. නමුත් අවාසනාවට මාධ්‍ය මඟින් ඒවාට ලැබෙන ප්‍රචාරණය හරිම අඩුයි…. කොටින්ම නැති තරම්….  ඒකට හේතුව තමයි සමාජය බලන් ඉන්නේ සරසවි සිසුන්ගේ වැරද්දක් හොයාගන්නයි…. හොඳ දෙයකට කිසිම business marketing value එකක් නෑ…. උද්ඝෝෂණයක්. සත්‍යග්‍රහයක්, ගැටුමක් නම් එතනට ලෝකේ තියෙන ඔක්කම කැමරා, මයික්‍රෆෝන focus වේවි… සමහරවිට Breaking News එකකුත් දේවී…. නමුත් හොඳ වැඩකට මාධ්‍ය අනුග්‍රහය ගන්න ගියාම ඒක ඉබ්බගෙන් පිහාටු ගන්නවටත් වඩා අමාරුයි… රටේ ජනතාව මේවා දන්නේ නෑ…. ඉතින් හැමදාම් සරසවි සිසුවා කුමන්ත්‍රණකාරයෙක් නැතින්ම ජාතික ද්‍රෝහියෙක් විදිහට හංවඩු ගැහෙනවා….

ඔබට හැකිනම් සරසවියකට ගිහින් බලන්න බනින්න පෙර…. විද්‍යාගාර බහුතරයක තියෙන්නේ කැඩී ගිය භාණ්ඩ…. සමහරවෙලාවට සියලු වසරවල් වල ශිෂ්‍යයන්ට භාවිතාකරන්න තියෙනනේ එක උපකරණයයි…… ඒ නිසා ඒ උපකරණ අසල තියෙන්නේ දිගු පෝලිම්…. අවම වශයෙන් වැසිකිලියක්වත් හරියට තියෙනවද කියල වතුර නොඋතුරන…. සමහර ඉහල මහල්වල බිමට අතුරා ඇති ලී දිරාපත් වෙලා… බිත්ති පුපුරලා….. ඒ නිසා කටට එන හැමදේම පිටකරනවට වඩා මේවා සියැසින්ම දැකගත්තොත් හොඳයි…. 

දේශපාලකයින් ගොඩක් වෙලාවට කියන්නේ සරසවි තුළ දේශපාලනය තිබීම නිසා ලු මේ ප්‍රශ්න…. මෙන්න මේ ආකල්පේ මිනිස්සුන්ගේ ඔලුවට දාලා සරසවි සිසුවා ත්‍රස්තවාදියෙක් කියන වැරදි චිත්‍රය මිනිසුන්ගේ ඔලුවේ නිර්මාණය කරනවා… නමුත් මට තියෙන්නේ එක ප්‍රශ්ණයයි…. දේශපාලන විද්‍යාව උගන්වන සරසවියෙන් කොහමද දේශපාලනය අතුගාලා දාන්නේ කියන එකයි…. පුස්ථකාලයේ වෙනම අංශ කිහිපයක් දේශපාලනය හා බැඳුණු දේවල්වල පත පොතට වෙන්වී තියෙනවා…. විෂයන් පිළිබඳ සංවාදාත්මක වාදයක් ඇතිවෙන හොඳම තැන සරසවිය…. වෙලඳපොලක ගිහින් මේ සංවාදය ඇතිකරන්න බැහැ….  අනික ලෝක දේශපාලනයේ ආරම්භය අරන් බැලුවත් සිදුවෙලා තියෙන්නේ සරසවියෙන්…. දේශපාලන මූලධර්ම බිහිවෙලා තියෙන්නේ සරසවියෙන්….. ඔය අදහස ඉදිරිපත්කරන අපේ ජනතා නියෝජිතයෝ දිහා බැලුවාම පෙන්නේ ඒ අය ඇවිත් තියෙන්නේ දේශපාලන කරලියට මුදල් හා මැර බලයෙන් මිස නිවැරදි දේශපාලන චින්තනයකින් නොවෙන බවයි….  අවම වශයෙන්  දේශපාලන විෂය පිළිබඳව ඔවුන්ට අවම අවබෝධයක් නෑ…

නමුත් ජනතාව නොදන්න අපූරු කාරණයක් තියෙනවා… රටේ ප්‍රධාන පක්ෂ සියල්ලටම සරසවි තුළ දේශපාලන කණ්ඩායම් ඉන්නවා…. ඔය පිටට පේන කතන්දර නෙමෙයි ඇත්තටම තියෙන්නේ… මැතිවරණයක් කිට්ටු වෙනකොට ඔය සිසු කණ්ඩා‍යම් කැඳවලා සංග්‍රහ පවත්වලා මැතිවරණවලට් උපරිම දායකත්වය ගන්න දේශපාලන පක්ෂ කටයුතුකරනවා….. දේශපාලනය සරසවියෙන් අතුගාලා දාන්න කියන අයම තමයි ඕවයේ මුලසුන් දරන්නෙත්…. ඒක නිසා බොරු දේවල් රටට මවා පාන දේශපාලකයන්ට වඩා සරසවි ශිෂ්‍යයා සාධාරණයි… මොකද පිටින් එකක් ඇතුලින් එකක් කරන සිල්ලර game  සරසවි ශිෂ්‍යයාට නැති නිසා…. 

රටට සේවයක් කරන්නයි අපිට ඕනි…. නමුත් ඇත්තම කිව්වොත් කාරණා මේ විදිහට සිද්ධවෙනකොට රට අත් හැරලා බොහෝ දෙනෙක් යන එක පුදුමයක් නෙමෙයි….. මේ ඉගෙනගන්න අධ්‍යාපනය මේ ශතවර්ෂයේ අභියෝග එක්ක පෑහෙන්නේ නෑ…. ඇත්තටම Lipton  වටරවුම ගාවා රැකියා විරහිත උපාධිධාරීන් ගොඩගැහෙන්නේ මේ හින්දයි….  මේ දේ මෙච්චර කාලෙකට රට කරවපු අයට නොතේරුණු එකයි පුදුමය…. එක අතකින් පුදුම වෙන්න දෙයක් නෑ…. මොකද උගතුන්, බුද්ධිමතුන් බිහි නොවෙන තරමට රට කරවන එක හරි ලේසියි…..

රටේ ඇමතිවරු, ඒ අයගේ වන්දිබට්ටයෝ ලක්ෂ ගණන් අල්ලස් ගද්දී, වංචාකරද්දී, පණ නැති කොන්ක්‍රීට් කණුවලට  හයියෙන් යන්න highway හදන්න කෝටි ගණන් මුදල් යටකරද්දී…. ඇයි අධ්‍යාපනය කියන දේට වැඩි මුදලක් ආයෝජනය කරන්න බැරි????… ” තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා”….. මේකයි අධ්‍යාපනයේ වටිනාකම…. අනික් සියලුදේවල් තාවකාලිකයි… නමුත් කෙනෙකුට ලබාදෙන විධිමත් අධ්‍යාපනය කිසිදාක අපතේ යන්නේ නෑ නිසි වැඩපිලිවෙලක් නැත්නම්….

අද වෙනකොට එක පැත්තකින් Z-Score ප්‍රශ්නයක් නිසා අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී හිටපු අපේ නංගිලා මල්ලිලා බලවත් මානසික ආතතියකට ලක්වෙලා…. මේ පාර අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රශ්නපත්‍ර තාම සමීක්ෂණයට ලක් කරලා නෑ….. විශ්වවිද්‍යාල මට්ටමේ බලවත් ගැටලුවක් මතුවෙලා…. සමහරවිට ඔබ නොදන්නවා වෙන්න පුලුවන් මේවායේ අනිසි විපාක….සමහරවිට සරල ගැටලුවක් විදිහට දකින්න පුලුවන්.. ඒ හින්දා මා කැමතියි මේවයේ ප්‍රතිපල ගැන මඳක් ඔබට කියන්න….

මේ හරහා පෙනියනවා අනාගත බලවත් රැකියා අර්බුදයක්…. ලිප්ටන් වටරවුමට නිවනක් නැතිවෙයි…..ඒ වගේම රටේ ඉදිරි ගමනට බාධාවක්…. ඕනිම රටක ජවය නැත්නම් spirit එක රටේ යෞවන යෞවනියන්…. ඔවුන්ට තම උපරිම දායකත්වය රටේ ආර්ථිකයට දෙන්න පුලුවන් ඒ කාලේදී…. ඊළඟට මා දකිනව රටේ උගත් පරපුර රට අත්හැරයාමේ ප්‍රවණතාවයක්…. ඒ කියන්නේ තවත් විදිහකට උග්‍ර බුද්ධි හා ශ්‍රම ගලනයක්…. මෙය රටක පැවත්මකට කොතරම් දුරට බලපානවද කියන එක මා විස්තර කරන්න යන්නේ නෑ… මා හිතනවා ඔබට ඒ දේ තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙනවා කියලා….

විදෙස් ගතව අධ්‍යාපනය ලබන්නට බොහෝදෙනා උත්සහ දැරුවොත් එයින් සිද්ධවෙන්නේ රtei මුදල් වෙනත් රටක සාක්කුවට බැරවීම්ක්…. එවිට කිසිදු සංවර්ධන  ඉලක්කයකට ලඟාවෙන්න රටට බැරිවේවී… අනික එහෙම ඉගෙනගන්න හැමෝම තමන්ගේ ශ්‍රමය තම මව් රටට ලබාදේවිද???…. එහෙම යන බොහෝදෙනා ඒ රටේම පුරවැසිකම ලබාගන්නවා… ඔවුන් වැරදි නෑ…. මොකද මේ රටේ සුදුස්සාට නිසි තැනක් දෙන්නේ නෑ….. අර තරම් මුදල් වියදම් කරන් යන මිනිස්සු ආයේ ඒවිද මෙහේ දුක් විඳින්න….. මිනිස්සු වෙන අපි කාටත් ඕනෑ සුවපහසු ජීවිතයක් ගතකරන්න… මොකද අපි කවුරුත් තාම මේ ලෞකික ලෝකයේ කොටස්කාරයෝ….

මේ වසරේ බහුතර සිසු සිසුවියන් පිරිසක් සරසවියට ගන්නා නිසා නිසැකවම අධ්‍යාපනයට වෙන්කලයුතු මුදල් සම්පාදන වැඩිකල යුතුමයි…. දැනට විශ්විද්‍යාලවල සිසු සිසුවියන් අධ්‍යාපනය ලබන්නේ බලවත් බාධක හමුවේ…. ඒ නිසා මුදල් වෙන්නොකලහොත් බලවත් ගැටලු රැසක් පැන නැඟීම නවත්වන්න බෑ…..  විශේෂයෙන්ම විද්‍යාගාර, නේවාසිකාගාර, සනීපාරක්ෂක, පුස්ථකාල, දේශන ශාලා පහසුකම් ඉහල නංවන්න වෙනවා…. ජනතාව ගෙවන බදු මුදලට නිසි වටිනාකමක් රටට අරන් දෙන්නටනම්  ඒ දේ කලයුතුමයි…. මොකද එහෙම නොවුනොත් අපතේ යන්නේ ඒ අයගේ දහඩිය මහන්සිය විතරක් නෙමෙයි…. රටේ අනාගතෙත් අඳුරට යනවා…. එදාට ” We Are Srilankan”  T- shirt ඇඳන් හිටියට වැඩක් නැති වෙයි…

සරසවි අර්බුදය දිහා පාට කණ්ණාඩිවලින් බලන්නෙපා…. ඔය සරසවිවල ඉන්නේ එක පක්ෂෙකට අයත් සිසුන් නෙමෙයි…. හැම පක්ෂ‍යකටම අයත් සිසුන් ඉන්නවා…. වඩා වැදගත් වෙන්නේ ඒ අයට හෙට දවසට ඔබින විදිහට අධ්‍යාපන ක්‍රමවේදයක් හා පැහැදිලි අනාගතයක් හදලා දෙන එකයි…. ඒ දෙයින් රටට නිසි ප්‍රතිලාභයක් ලැබෙනවා…. කවුරුහරි කියනවනම් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභයක් නෑ කියලා…. ඒක අමූලික බොරුවක්…. අධ්‍යාපනය කියන්නේ හොඳම ආයෝජනයක්… මේවයේ ප්‍රතිපල දීර්ඝකාලීනයි…. තාර පාරවල්වලට, කොන්ක්‍රීට් කණුවලට මුදල් යටකරනවට වඩා බොහොම වටිනවා…. නමුත් ඒ මුදල් යටකරනකොට ලෝකය  සමඟ ඉදිරියට යන්න පුලුවන් අධ්‍යාපන රටාවක් නිර්මාණය කරන්න ඕනි..  මේ ගිරා අධ්‍යාපන රටාව හා විභාග රටාව රටට තවදුරටත් සුදුසුදැයි සිතා බැලිය යුතුයි… ඒ වගේම රටේ බහුතරයකට උසස් අධ්‍යාපනයට ඇතුලුවෙන්නට දොරටු විවෘත කරන්න ඕනි….. අන්න ඒකයි දළ ජාතික නිෂ්පාදන්යෙන් වැඩි කොටසක් අධ්‍යාපනයට වෙන්කරන්න කියන්නේ…. සාගින්නෙන් පෙලෙන දහස් ගණන් රෝගවලින් මියැදෙන ඉතියෝපියාවටත් අධ්‍යාපනයට  වැඩි ප්‍රතිශතයක් ( අපේ රටේ ප්‍රතිශතයට වඩා) දළ ජාතික නිෂ්පාදනයෙන් වෙන්කරන්න පුලුවන්නම් සාමය තියෙන මේ නිවහල් රටේ ඒක කරන්න බැරි ඇයි….  මේක විහිලුවක් නෙමෙයි….

සරසවි ආචාර්යවරුන් කියන්නේ දේශද්‍රොහී පිරිසක් නෙමෙයි…. ලෝකයත් එක්ක සසඳල බැලුවොත් ඔවුන්ගේ සේවය නිසි පරිදි ඇගයීමකට ලක්කරලා නෑ…. ඔබ සමහරවිට නොදන්නවා ඇති… සරසවිවල ආචාර්යවරුන් සිටිනවා දුප්පත් සිසුන්ට තමන්ගේ වේතනයෙන් උදව් උපකාර කරන…. එහෙම කරන්නේ මහ පොළ ප්‍රමාණවත් නැති නිසා සිසුන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන්යන්න තරම් අද තියෙන ආර්ථික තත්වය අනුව….  අද ආචාර්යවරුන්ට මඩ ගහන ඇතැම් දේශපාලකයින්ට එවැනි කාරුණික සිතක් පහළවෙන්නේ මැතිවරණ සමයෙදී පමණයි….  ජනතාව නොදන්න දේවල් මේවා…. ඒ හින්දා නිස්කාරණේ මිනිස්සුන්ට බැනලා පව් පුරෝගන්නෙපා….

මේ අර්බුදය බලවත් අර්බුදයක්… උගසට තියන් ඉන්නේ අපේ හීන…. මිනිස්සුන්ගේ හීනත් එක්ක , බලාපොරොත්තු එක්ක සෙල්ලම් කරන එක විහිලුවක්වත් හාස්‍යයට කාරණයක්වත් නෙමෙයි… බොළඳ ප්‍රේම කතාවක මල් ගස් වටේ දුවන හීනවලට වඩා ප්‍රබලයි…. ඒකට හේතුව මේ හීනවල තියෙන්නේ අපේ අනාගතය නිසා…. කොටින්ම කිව්වොත් මේක බලවත් අසහනයක් අපිට දැන්….. ඇතැම්විට ඔබට නොතේරෙන්න පුලුවන්…. නමුත් මෙතනට එන්න විඳපු දුක්වල හැටියට අපිට දැන් තියෙන්නේ බලවත් කලකිරීමක් අපි ගැනම….. මාධ්‍යවලට රසබර taste තියෙන markeing කතන්දරයක් වුනත් මේ සෙල්ලම් කරන්නේ අපේ ජීවිතත් එක්ක….. ගොඩක් දෙනෙකුට  ඒක තේරෙන්නේ නෑ…..

අපිට අවශ්‍ය උපාධිය අවසන්කර අපේ හීන සැබෑ කරගෙන දෙමව්පියන්ගෙත් හීන සැබෑ කරන්නයි…. රටට සේවයක් කරන්නයි… ඒ නිසා මේ ගැටලු විසඳන්න බැරි ගැටලු නෙමෙයි…. සරසවි ඇඳුරන්ට නිසි පිලිගැනීමක් දීලා, අධ්‍යාපනයට එවැනි ධන්ස්කන්දයක් ආයොජනය කලා කියලා අපතේ යන්නේ නෑ…. තාර පාරවල්, කොන්ක්‍රීට් කනුවලට මුදල් යටකරනවට වඩා වටිනවා…

සමාජවාදී ආර්ථික රටාව ගත්තත්, ධනේශ්වර ආර්ථික රටාව ගත්තත් අධ්‍යාපනය කියන්නේ සුවිශේෂී අංගයක් ඒ ආර්ථික රටාව ඇතුලේ…. සමාජවිද්‍යා විශේෂඥයින් බහුතරයකගේ නිගමනය වන්නේ අධ්‍යාපනය කියන්නේ රටක කොඳුනාරටිය කියලයි….. ඒ කියන්නේ රටේ යුක්තිය, නීතිය, ආර්ථිකය කියන ප්‍රධාන බලකණු තුනේම අත්තිවාරම අධ්‍යාපනය කියන එකයි…. දැන් වරදවා තෙරුම් ගන්න එපා සමාජවිද්‍යා විශේෂඥයින් කියන්නේ සමාජවාදියෝ හෝ විපලවවාදියෝ කියලා… සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සු හරි ලෙහෙසියෙන් කෙනෙකුට ලේබල් එකක් ගහන්න රුසියෝ…. ඒ හින්දයි එහෙම කිව්වේ….

සමහරවිට ඔබේ කවුරුත් මේ ප්‍රශ්නයෙන් බැට කන්නේ නැතිව ඇති…. නමුත් අමතක කරන්නෙපා හෙට දවසේ ඔබේ කවුරු හෝ මෙයට ගොඳුරුවිය හැකිය… ඇතැම්විට ඒ ඔබේ නංගී මල්ලී විය හැකිය…. එහෙමත් නැත්නම් ඔබේම දරුවෙක් වෙන්න පුලුවන්….. ඒ නිසා අද දවසේ මේ ගැටලුව අවඥාසහගතව ප්‍රතික්ෂේප කිරීමෙන් අනාගතයේ ඔබට දුක් වන්නට සිදුවෙන්න පුලුවන්….

ආවට ගියාට අධ්‍යාපනයක් දීලා වැඩක් නෑ…. ලෝකයත් එක්ක ඉදිරියට යන අධ්‍යාපනයක් දෙන්න ඕනෑ…. තවමත් ශ්‍රී ලාංකීය සරසවිවල තිබෙන්නෙ යල් පැන ගිය අධ්‍යාපන නිර්දේශයක්…. ඒ නිසයි සරසවි ඇඳුරන් ඉල්ලන්නේ ඒ නිර්දේශයේ වෙනසක් ඇති කළයුතු වගත් ඒ සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා ගත යුතු වගත්…. තමන්ගේ රාජකාරියවත් නිසි පරිදි කරගන්න බැරි ජනතා නියෝජිතයින් කොහම්ඩ රටක උසස් අධ්‍යාපන විෂය නිර්දේශයක් වෙනස් කිරීම වැනි දේ ගැන තීන්දු තීරණ ගන්නේ නිසි අවබෝධයක් නැතිව ඒ ගැන…. මොකද මේක රටේ අනාගතය හා බද්ධ වෙන කාරණයක්….  පුද්ගලිකව මා සිතන්නේ පාසල් අධ්‍යාපනයේ සිට මේ වෙනස ඇතිකලයුතු වගයි…. එය එක සැරේ කරන්න බැහැ… ඒක කලයුත්තේ පියවරෙන් පියවර නමුත් ඉක්මනින්…. ඒ බව ආචාර්යවරුත් කියාසිටිනවා….. අනික පර්යේෂණ ආදිය කිරීමට බොහෝ පිරිවැයක් දරන්න වෙනවා… ඒ දේවල් නොකර රටේ ආර්ථිකයට  ඉදිරියට යන්න සෑහෙන්න අමාරුයි…. ලෝකයේ දියුණුවූ රටවල් ඉදිරියට ගියේ පර්යේෂණවලින් ලැබූ ප්‍රතිඵලත් එක්ක….. ඒක ලෝක ඉතිහාසය අධ්‍යයනය කල ඕනෑම කෙනෙකුට පෙනෙන පැහැදිලි කාරණයක්…. පරමාණු බෝම්බයෙන් බැට කා ෆීනික්ස් පක්ශියෙකුසේ නැගිට්ට ජපානයේ දියුණුවේ එක රහසක් එය…

හෙට දවසේ අනාගතයක් පැහැදිලි නැතිව අඳුරේ අතපත ගාන්නට සිදුවීම බලවත් කණගාටුවක්…. ඊටත් වඩා බලවත් කලකිරීමක්….. අප දෑස් ඉදිරියේ දියවෙන්නේ අපගේ සිහිනයි…. මෙතෙක් කල් කටට හා අදහස්වලට මුකවාඩ්ම දාගෙන හිටියේ මේ ප්‍රශ්නය මෙතරම් ඔඩු දුවයි යන සැකය නොතිබුන හින්දයි…. නමුත් තවදුරටත් නිදහස් අධ්‍යාපනය ලැබූ නිවට මිනිසෙක් සේ මුකවාඩම් බැඳගෙන සිටිය නොහැකි නිසා මගේ අදහස් විශ්විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස ඉදිරිපත්කලේ…. මෙය හුදෙක් මාගේ ස්වාධීන දැක්මයි… කිසිදු දේශපාලන න්‍යාය පත්‍රයක් මෙහි නැත…..

කොහමත් මේ රටේ බහුතරයකට නිදහස් අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නේ නැති විත්තිය ඉතිහාසය පවා පෙන්වා දී තිබෙනවා…. නිදහස් අධ්‍යාපනය මෙරටට හඳුන්වාදුන්  C.W.W.කන්නන්ගර මැතිතුමා ඊළඟ මැතිවරණයේදී පරාජයට පත්වුනා…. අද වුනත් මේ බරපතල අර්බුදයේදී ඇතැමුන් හැසිරෙන පිළිවෙල දැක්කාම ජුගුප්සාජනකයි…. එවිට ඇතිවන්නේ මේ රටේ මිනිසුන් ගැන බලවත් කලකිරීමක්…. එක නිවහල් රටක් තනාගන්න එකට එක්ව කටයුතු කල අපේම සහෝදර සහෝදරියන් වැඩිහිටියන් දේශපාලකයින්ගේ අතකොලු බවට පත්වීම සැබැවින්ම කණගාටුවට කාරණයක්….

මේ රටේ තියෙන්නේ නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයක්…. නියෝජිතයෝ පත්කරගන්නේ ඔබමයි… ඒවගේම රටෙ සංවර්ධනයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සොයාදෙන්නෙත් ඔබමයි…. ඒ නිසා ඔබට පරම අයිතියක් තියෙනවා සොයා බලන්න ඔබ වෙහෙස මහන්සිවී උපයා දෙන ඒ මුදල්වලට නිසි වටිනාකමක් ලැබෙනවද කියලා…. එයින් රටට සෙතක් වෙනවද, හෙටක් හැදෙනවාද කියලා….. රටට ආදරේ කරනවා කියන්නේ එකයි…. එහෙම නැතුව සිංහ ධජයකුයි, ” We Are Srilankan” T- shirt එකකුයි cricket match  බලන්න ඇඳලා ගිහින් හති වැටෙනතුරු නටන එක නෙමෙයි….

මේ සමස්ත ලිපියේම ගැබ්වෙලා තියෙන්නේ මෙතෙක් කල් මුකවාඩම් පැළඳගෙන උන්නු මගේ හැඟීම්… මීටත් වඩා හැඟීම් තිබ්බත් ඒවා වචනවලට පෙරලන්න අමාරුයි…. මේ ලිපියෙන් කිසිදු නිශ්චිත පුද්ගල්යෙකුට ප්‍රහාර එල්ලකරලා නෑ…. මේ ලිපිය අර්බුදය හා සාපේක්ෂව ගත්තම බොහෝම තනුක ලිපියක්…. අපිට රජය පෙරලන්නවත් රට විනාශකරන්නවත් උවම්නා නෑ…. නමුත් සමාජය කිසියම් දැනුවත් කිරීමකට ලක් කිරීමක් කල යුතුයි…. අවසානයේ කිව යුතුයි මේ දේ…..

” අපි සටන් කරන්නේ… අපේ අහිංසක හීන වෙනුවෙන්….. “

Permalink අකලට දියවෙන අහිංසක හීන – සරසවි සිසුවෙකුගේ දෑසින්….හි ප්‍රතිචාර වසා ඇත.

යෞවනයේ මේ සගයා… අපෙන් එකෙකි මේ මිනිසා…

අප්‍රේල් 22, 2012 at ප.ව. 2:32 (ජීවිතය පුරාවට දැනෙවී..., සමාජ ඇසෙන් කතාවක්...) (, , , , , , , , , , , , , , , , )

” යෞවනයේ… මේ සගයා… අපෙන් එකෙකි… මේ මිනිසා… මේ මිනිසා… “

මේ බක් මහේ මගේ නිවාඩු සමය අවසන්වන්නට ඇත්තේ තව දිනයයි… ඊට පස්සේ ආයෙමත් කාර්යබහුල ජීවිතයක ඇරඹුමක්…. බොහෝවිට බක් මහේ මා අතින් ලියවෙන අවසන් ලිපිය මේ වේවී… එවන් පසුබිමක් යටතේ මෙවැනි මානුෂීය, සැබැවින්ම සංවේදී වූ ලිපියක් ලියන්නට ලැබීම ඇත්තෙන්ම මා ලද භාග්‍යයක්… ඒවගේම මේ ලිපිය මා අතින් මෙතෙක් කල් රචනා වූ ලිපිවලට වඩා සැබවින්ම මගේ හිතට බොහෝමත්ම සමීපවූ ලිපියක් කියන දේත් මෙහිම සඳහන් කරන්නට කැමතියි… මේ ලිපියට දාලා තියෙන මාතෘකාව ඔබට මට අපි හැමෝටම හුරුපුරුදු වචන පෙළක්…. දන්නේ නෑ දැනටත් කීදෙන්කුට ඒ වචන පෙළ මතකද කියලත්… මතක අය දන්නවා ඇති මේ ලියන්න යන මාතෘකාව ගැන හොඳින්… ඒ නිසා වැඩි අටුවා ටීකා නැතිව මාතෘකාවට අදාළ ඒ සංවේදී කාරණා ගැන මට හැඟුනු දේ ගැන ඔබට කියන්නට මම සුදානම්…

Sri Lanka Saukyadana Movement (SLSM) – Special Task Unit සංවිධානය විසින් සංවිධානය කල පුණ්‍යකර්මයකට අහම්බයෙන් සම්බන්ධවන්නට ලැබුණා මටත් ගිටාර් වාදකයෙක් විදිහට මිතුරෙකුගේ හා මිතුරියකගේ මැදිහත්වීඑමක් ප්‍රයත්නයකින්…. ඒ දේ භාරගන්න ඉස්සෙල්ලම තරමක් අදි මදි කලටහ් කාර්යබහුල ජීවිතේ ඇතුලේ අවසානයේදී මට ඒ දේ භාරගන්න හිතුණා… එහෙම හිතුන එක කොතරම් හොඳද කියල හිතෙන්නේ දැන් තමයි… ඒ නිසා මුලින්ම අර ආරාධනාව කල මිතුරියටත්, මිතුරාටත් මගේ ප්‍රණාමය පුද කරන්න කැමතියි….නැත්නම් ඒක ලොකු අඩුවක් විදිහටයි මා දකින්නේ… දිනය 2012.04.20 වෙනිදා… උදේ 7.45 ට වගේ කොළඹ විශ්වවිද්‍යාලයේන් ගමන් ආරම්භකළ පුණ්‍යකර්මය සඳහා අවශ්‍ය කළමණාද රැගත් බස් රථයක නැග අපි රාගම බලා පිටත්වුණා…. බස් රථය ඉතින් රාගමට ළඟාවෙනකන් සංගීතයෙන් කවට කතාවලින් පිරී තිබුණ ආ කියන දේ අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ… සංගීත භාණ්ඩත් අතේ තියාගෙන නිහඬව යන්නේ නැහැනේ කවුරුවත්…. එහෙම වුණානම් ඒක ලෝක පුදුමයක්… ඉතින් ඒ ධර්මතාවය අපේ කට්ටියටත් පොදුයි… හැබැයි අපේ ගමනාන්තය කිට්ටුවෙනකොට මුළු බස් රථයම නිහඬ වුණා…. ඒකය හේතුවා මේ ලිපිය කියවගෙන යනකොට ඔබට තේරේවී…

අපේ ගමනාන්තය වුනේ රාගම පිහිටි “රණවිරු සෙවණ” භූමියයි… රමණීය පරිසරයක ඉදිකර ඇති අලංකාර ගොඩනැඟිලිවලින් සම්න්විතයි…. නමුත් ඒ ගොඩනැඟිලි තුල සිටින මිනිසුන්ට තියෙන්නේ එච්චර ලස්සන ජීවිතයක් නෙමෙයි…. ඒත් ඒ අය කල ඒ කැපකිරීම නිසා අපේ මිනිසුන්ට අද සැබෑ නිදහස් අත්විඳින්න හැකියාව ලැබිලා තියෙන්නේ…. එක අතකින් ලෝකෙත් ඇත්තටම අසාධාරණයි… හේතුව තමයි කෙනෙක් සතුටු වෙනකොට තවත් කෙනෙකුට දුකක් හිමිවෙලා… නමුත් ලෝක ධර්මතාවය මෙයයි… ඒකට මුහුණදෙන්න වෙනවා කැමත්තෙන් හෝ අකමැත්තෙන්…. අවශ්‍ය දේවල් හොඳින් සුදානම් කරගත්තාට පස්සේ අපි වාට්ටුවලට ගමන් කලා… සංවේදී, මානුෂීය එමෙන්ම ඇහට කඳුළු උනන කතාව ආරම්භවන්නේ එතැනින්…. අපි වාට්ටුවකට ඇතුළුවුණා…. එහි හිටියා අපිට වඩා ඔනිනම් අවුරුදු 3ක් 4ක් වැඩි තරුණයෝ පිරිසක්…. ඒත් ඔවුන් හා අපි අතර වෙනසක් තිබුණා… එතැන හිටපු සමහරුන්ට අත් පා අහිමි වෙලා තිබුනා… සමහරුන්ට ඇස් අහිමි වෙලා තිබුණා… තවත් සමහරුන්ට දෙපා අහිමි වෙලා තිබ්බා… සමහර අයට හිසට හානිවෙලා තිබුණා… සමහරුන්ට වාරු නැහැ…. සමහරුන්ට නැඟිටගන්නවත් පණ නැහැ කාගෙවත් වාරුවක් නැතිව… සමහරුන්ගේ හිසට ඇතිවුනු බරපතල හානි නිසා ඔවුන්ගේ හැසිරීම් රටාව පොඩි දරුවන්ට සමානයි…. මේ දේවල් මේ විනෝද වෙන්න ගිහින් ඇතිවුනු ඒවා නෙමෙයි…. ඒ තමා රට වෙනුවෙන් කල සැබෑ ජීවිත පරිත්‍යාග… වේදිකාවල බෙරිහන්දෙන කාඩ්බෝඩ් වීරයන් නෙමෙයි මේ තමා සැබෑ වීරයින්…. IPL ගිහින් මුදලට Cricket ගහන කොන්ඩේ පාටකරපු , තරුණ සවිබල ඇත්තන්ට අපි හුරේ දැම්මට මොකද ඒ හුරේ ලැබිය යුත්තේ මේ අයයි…. ඒ අතින් බලනකොට අපි මොනවද රට වෙනුවෙන් කරල තියෙන්නේ…. මේ කැපවීම් එක්ක බැලුවාම අපි රටට සාපේක්ෂව නිකන්ම නිකන් බොල් වී ගොඩක්… මට හිතුණේ එහෙමයි…. ඒ අහිංසක කෙළිලොල් ජීවිත කුරිරු යුද්ධය ඒ අයගෙන් උදුරාගෙන තිබ්බා….

යුද්ධයේ භයානක කම ඒ අයට සිද්ධවෙලා තියෙන දේවල් දැක්කාම හිතාගන්න පුලුවන්…. අද අපි හැමෝටම යුද්ධය ජයග්‍රහණය කලා කියලා පුරසාරම් දොඩන්න පුලුවන්… ඒත් ඒ සඳහා මේ මිනිසුන් කල උදාරතර කැපවීම ගැන කතාකරන්නේ කීයෙන් කීදෙනාද… අද මේ ජයග්‍රහණය එක් එක් පුද්ගලයා තමන්ගේ ගිණුම්වලට බැරකරගෙන වෙනත් වාසි ලබාගන්න හදනවා මිසක් මේ කැපවීම් ගැන කිසිම සඳහනක් කරන්නේ නැහැ…. දුක ඒකයි… සමහරුන්ගේ ඇස්, නිකට, ගෙල ප්‍රදේශවල වෙඩි උන්ඩවල සලකුනු තිබ්බා…. සමහරුන්ට දරුණු sniper ප්‍රහාර එල්ලවෙලා තිබ්බා… සමහරු ජීවිතයත් මරණයත් එක්ක සටන් කරලා ආයේ මේ ලොකේ හිරු එලි‍ය දකින්න තරම වාසනාවන්ත වෙල තිබ්බා…. නමුත් ඒ ජීවිතවලින් කිසියම් දෙයක් උදුරාගන්නට මේ කුරිරු යුද්ධය දරුණුවෙලා තිබ්බා… සමහරුන්ට මුළු ජීවිත කාලය පුරාවටම ඇඳක් උඩ ඉන්නට තරම් ඒ දේවල් දරුණුවෙලා තිබ්බා…. සමහරුන්ට රෝද පුටුවකින් විතරයි එහේ මෙහේ යන්න පුළුවන්… ඇත්තටම හිතට බොහොම හැඟීමක් දනවන දර්ශනයක් ඒක… අපිව දැක්කාම එහි හිටපු ගොඩක් අය සතුටු වුණා…. ඒක ඒ අයගේ මුහුණෙන් අපිට පෙනුණා… ඉඩෝර සමයක වැටුන මල් වැහි පොඳක් දිහා බලන් ඉන්න තරමින් සතුටකින් අපි දිහා ඒ අය බලාසිටියා… ඇත්තටම ඒක නෙතට කඳුලු උනන දර්ශනයක්… මට හැඟුනේ එක දෙයයි…. ඒ තමා මේ ” මනුෂ්‍යත්වය” කියන එකයි….

අපි ඔවුන් සමඟ ගී ගයා විනෝද වුණා… නටන්නට දෙපයට වාරු නැත්තත් ඔවුන් ඒ මොහොතේ ගොඩක් විනෝදයෙන උන්නා… සමහරු අබාධත් එක්ක සොඳුරු රංගනයක යෙදුනා…. සමහරු බොහෝ ලස්සන ගී ගැ‍යුවා…. සමහරු අපේ අත්වලින් අල්ලගෙන කතා කලා…. සමහරු ඇඬුවා…අපි ඔවුන් සමඟ ගී ගයා විනෝද වුණා… නටන්නට දෙපයට වාරු නැත්තත් ඔවුන් ඒ මොහොතේ ගොඩක් විනෝදයෙන උන්නා… සමහරු ආබාධත් එක්ක සොඳුරු රංගනයක යෙදුනා…. සමහරු බොහෝ ලස්සන ගී ගැ‍යුවා…. සමහරු අපේ අත්වලින් අල්ලගෙන කතා කලා…. සමහරු ඇඬුවා… ඒ ගලාගියේ මොන හැඟීම්වලට අයත් කඳුලුද කියල විග්‍රහකරන්න තරම් මම දක්ෂ නෑ…. ඒත් මට හිතෙනවා ඒ කඳුළුවල සතුට, දුක, තනිකම, පාළුව, සන්තාපය කියන හැම මානුෂීය කාරණයක්ම මුසුවෙලා තිබුණා කියලා…. සමහරු නෙතින් හැඬුවේ නෑ…. නමුත් ඔවුන්ගේ දෑස් තුළින් මා දුටුවේ වැලපෙන සිතයි…. මේ කාරණේ කියන්න මට එවෙලේ ඉඳන්ම හිතුණා….

ඡන්දේ කාලේ වේදිකාවල හැම පක්ෂයකම මිනිස්සු කඹ ඇඳගන්නවා යුද ජයග්‍රහණයේ උරුමය ලබාගන්න… ඒකට නොගහන මඩක් නෑ…. නොගහන් දහන් ගැටයක් නෑ… නමුත් අපි මේ රණවිරු සෙවණේ හිටපු ඒ හෝරා කීපයේ කිසිම කෙනෙක් කිව්වේ නෑ ඔවුන් නිසා යුද්ධය ජයග්‍රහණය කලා කියලා… මට මේ උදාරතර මිනිස්සු ගැන දැනෙන්නේ පුදුම අභිමානයක්…. ඒත් එක්කම මට දැනෙනවා වේදිකාවල බෙරිහන් දෙන ඈයෝ ගැන පුදුම පිළිකුලක්…. ඇත්තටම හැම පක්ෂයටම අදාළ එවැනි කාඩ්බෝඩ් වීරයන් ළඟින් දැනෙන ඒ පිළිකුල් ගඳ මේ විරු මිනිසුන්ගේ තුවලා වලට ගල්වන බෙහෙත් වලට වඩා ගඳයි…. කොතරම් සුවඳ විලවුන් ගැල්වුවත් ඒ ගඳ යන්නේ නෑ…. ඒක තමයි ඇත්ත… යථාර්ථය….

මේ තරුණ ජීවිත සමහරවිට සටන් බිමට එන්න ඇත්තේ රස්සාවක් නැති කමින් දුප්පත් කමින් මිරිකුණු නිසා වෙන්න පුළුවන්… ඒත් එහෙමැයි කියලා මේ කල කැපකිරීම කාටවත් අවතක්සේරු කරන්න බැහැ…. ඒ සහොදරයන්ගේ අම්මලා තාත්තලාත් මේ අය පොඩි කාලේ පරිස්සමෙන් බලාගන්න ඇති අනිවාර්යෙන්ම පරිස්සමෙන්…. කිසිම අනතුරක් නොවෙන්න…. ඒත් මේ අය රට වෙනුවෙන් ඒ දේවල් නැතිකරගත්තා…ඒ ගැන ඒ අයට වැඩි දුකක් නැහැ… නැත්තෙමත් නැතුව ඇති…. ඒත් ඒ දුක පෙන්නන්නේ නෑ… ඒ අය ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙනවා…. මොකද ඒ අය ඒ දේ කළේ රට වෙනුවෙන් අවංක සිතින් නිසා…. ඒක තමා ඇත්ත… අපි ඇත්තටම ඔවුන් අහන්න ආස ගීත වාදනය කරන්න ගියේ… නමුත් ඒ වීර මිනිසුන් කිව්වෙ එක දෙයක්…. ” මල්ලිලා කැමති දෙයක් කියන්න මල්ලී… අපිව බලන්න ආපු එකම ලොකු දෙයක්ද???? මෙහෙම එනවනම් අපි ගොඩක් සතුටුයි….” ඇත්තටම නෙතට කඳුළු උනන කතාවක් ඒක…. කෙතරම් අහිංසක සතුටක්ද,ඉල්ලීමක්ද…. නිකමට හිතන්න ඒ අයගේ හිත කොතරම් තැලෙනවද කියලා යුද ජයග්‍රහණය එක් එක් ගිණුමට බැර කරගන්න හදන වෑයම දකිද්දී…. ඒ අය දිවිපරදුවට තියලා අත් පා නැති කරගෙන ලබාගත් මේ අභිමානවු ජයග්‍රහණය වෙන අය බලෙන් උදුරාගන්න එක මානුෂීයව අසාධාරණද… ඒත් මේ වීර මිනිසුන් ඒ දේත් ඉවසීමෙන් දරාගන්නවා…. ඇත්තටම කෙතරම් උදාරතර මනුෂ්‍ය කොට්ඨාශයක්ද….

අවසන් සටන සමයේ බොහෝ ගීත හැඳුණා සොල්දාදුවන් දිරිමත් කරන්න… මම හිතුවා අවංකවම යුද ජයග්‍රහණයෙන් පසුව ත්‍රිවධ හමුදාවට අවශ්‍ය කරන නිසි ගෞරවය, ආදරය හැම පාර්ශවයකින්ම ලැබේ කියලා…. නමුත් ඇත්තටම යුද් ජයග්‍රහණයෙන් පස්සේ ර්‍රටේ විකාශනය දිහා බැලුවාම පේන්නේ යුද ජයග්‍රහණය හුදෙක් ඡන්ද ගුණ්ඩුවක් කරගෙන කියලා විතරයි…. අඩුම ගාණේ යුද ගැටුමට හේතුවුණු කාරණාවලටවත් තාම් පිළියම් යොදලද කියලවත් සැක සහිතයි…. අර නිර්මාණය කල ගීත ගොන්න marketing අරමුණකට මිසක් හද පතුලෙන් නිර්මාණයවූ ඒවා නෙමෙයි කියලා දැන්මට හිතෙන්නේ… මොකද ඒ ගීත නිර්මාණය කල අයත් විවිධ වාසි සඳහා යුද ජයග්‍රහණය එක් එක් අයගේ ගිණුමට බැරකරන්න කඹ අදින නිසා….. අද අපි මේ රටේ පොලවේ පය ගහලා නිදහසේ හුස්ම ගන්නේ මේ විරෝදාර සෙබලුන්ගේ ලෙයට, කැපකිරීමට පින්සිද්ධවෙන්න… මේ පොලව රත් ලෙයින් පොඟවල තමා ඔවුන් ඒ නිදහස අපිට අරන් දුන්නේ…. නමුත් ඒ නිසා ඒ අයට තමන්ගේ සෞඛ්‍යමත් ජීවිතය, සිහින, බලාපොරොත්තු හැම දේම නැතිවුණා…. ඒ නිසා එක් අවිහිංසක ඉල්ලීමක් කරන්න කැමතියි ඔබ සැමගෙන්… අවුරුද්දකට වරක්වත් ඔවුන් බලන්නට යන්න…. තනියම බැරිනම් කණ්ඩායමක් විදිහට හරි…. ඒ අය ඔබ දකින්නට කැමතියි… ඒ අය ආසයි තාමත් අපි ඔවුන්ගෙන් දුරස්වෙලා නැහැ කියල දැනෙනවට… ඒ අය අපෙන් බලාපොරොත්තුවෙන්නේ එක දෙයයි… ඒ තමයි ” කවදාවත්ම අපිව තනිකරන්න එපා” කියන දේ… ඔව්, අපි කිසිම දවසක ඔබව තනිකරන්නේ නැහැ…. ඒ හින්දා යන්න ඔවුන්ව බලන්න…. ඒ අයට සැනසුමක් ගෙන දෙන්න…. මා ඔබට දෙයක් කියන්නම්… එසේ ගිය දවසක ඔබේ සිතට දැනෙන සැනසුම,තෘප්තිය ඔබට වෙන කිසිම දේකින් අත්පත්කරගන්න බැහැ…. මං මේ දේ කියන්නේ මගේ අත්දැකීමෙන්…. තව දෙයක්…

ලේ,දහඩිය ,කඳුළු වගුරලා නිදහස් කරගත්ත මේ රටේ සමහර උදවිය විවිධ ගැටුම්කාරී තත්ව වලට පාර කපාගෙන යන්න හදනවා දැන් පේනවා… දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ දේ සිද්ධවෙනවද මම දන්නේ නැහැ…. විශේෂයෙන්ම ආගම් අතර සහජීවනෙයේ විශාල බිඳවැටීමක් මේ කාලයේ දක්නට ලැබෙනවා…. ඒ හින්දාම මේ දේත් කියන්න හිතුණා…. ඒ රණවිරු සෙවනේ රට වෙනුවෙන් සටන් වැදිලා අබාධිත වුණු විරෝදාර මිනිස්සු අතරේ ඔය හැම ආගමකට, ජාතියකටම, කුලයකටම, වර්ගයකටම අය්ති අය හිටියා… ඒ අය සටන් වැදුණේ රට වෙනුවෙන් මිසක් තමන් අය්ති කුලේ, ජාතිය, ආගම සඳහා නෙමෙයිඋ… එහෙම හිතුවානම් අපි මැරුණු තැන්වල ගසුත් පැලවෙලා…. එහෙම නිදහස් කරගත්ත රටක අනවශ්‍ය හේතුවක් හින්දා ගැටුම් ඇතිවෙන්න ඕනෑ නෑ… විශෙෂයෙන්ම මිනිසුන්ගේ යහපත වෙනුවෙන් තියෙන ආගම් හින්දා ඇයි මේ ගැටලු හදාගන්නේ???? ඒක එක පැත්තකින් මේ විදිහට රට දැය වෙනුවෙන් උදාර කැපකිරීම් කල මිනිසුන්ට කරන අවමානයක්…. එහෙව් ප්‍රශ්නවලට පාර කපන මිනිසුන්ට මට කියන්න තියෙන්නේ… මව්බිමේ නාමයෙන් ඔය කරන රටට කරන විනය නවත්තන්න… මේක එක ආගමක නෙමෙයි හැම ආගමක ඉන්න මෙවැනි කොට්ඨාශවලට වලංගුයි…. නැත්නම් තවත් තරුණ ජීවිත ගණනාවක් මේ විදිහට දුක් විදිවී…. මොකද ඇත්තම කථාව තමයි ප්‍රශ්ණ ඇති කරන මිනිස්සු කවමදාවත් ඒ වගේ සටන්වලට එන්නේ නැහැ…. මුලදී ඉඳලා අන්තිමට shape එකේ මාරුවෙනවා…. අන්තිමට බැටකන්නේ අහිංසක මේවගේ තරුණ දුප්පත් කොට්ඨශ…. හදිසියෙවත් එහෙම දෙයක් වුනොත් ඒ ප්‍රශ්ණ ඇති කල අයට මට කියන්න තියෙන්නේ එක දෙයයි… “නුඹලාට වැහි නැති අකුණු වදිනවාම තමයි….” මේක ටිකක් රළු ප්‍රාර්ථනාවක් වුනත් මේ අහිංසක රණවිරු සගයින්ගෙ අභීත කැපකිරීම හමුවේ ඒක රළු ප්‍රාර්ථනාවක් නෙමෙයි…. රටට යහපතක්… ප්‍රශ්ණයක් තියෙනවනම් ඒක නීතියෙන් හරි, සුහද සාකච්ඡාවකින් හරි විසඳගමු… ඒකෙන් තමන්ට කිසිම අවමානයක් වෙන්නේ නෑ…. හරියට තමන්ගේ ආගම දහම අදහනවනම් ඒ විදිහටයි ප්‍රශ්ණ විසඳගන්නේ…. නැත්නම් ගහ මරාගෙන, ගරහගෙන නෙමෙයි…. එහෙම ප්‍රශ්න විසඳගන්නේ ආගමේ මතු ඔපේ දකින අය විතරයි…. එහෙම විසඳගන්නවනම් ප්‍රශ්ණ, අපියි තිරිසන් සත්වයොයි අතරේ කිසිම වෙනසක් නෑ….. ඒ හින්දා ප්‍රශ්නවලදී බුද්ධිමත්ව ක්‍රියාකරමු…. අඩුම ගාණේ මේ විරොදාර මිනිසුන්ට ඒ විදිහට හරි කළගුණ සලකමු….

රණවිරු සෙවනේ දරුණු ප්‍රහාරයකට ලක්වෙලා ශරීරය අඩපණ වුනු මැදි වයසේ හමුදා නිලධාරියෙක් හිටියා…. ඔහු අපි දිහා අමාරුවෙන් ඇස් කරකව කරකව බැලුවා….. ඔහුට හරිහැටි කතාකරගන්නත් අමාරුයි… ඔහු අමාරුවෙන් කිව්ව ක්ලැරන්ස් විජෙවර්ධනයනෙගේ සින්දු අහන්න අසයි කියලා… අපි ගීත 3ක් වගේ ඔහු ලඟ ගායනා කලා… ඒ හැම ගීතය්ක්ම ගායනාකරන කොට ඒ ඇස් වලින් කඳුලු ගැලුවා…. අපිත් ඇත්ත්ටම කඳුලු වලින් හිත ඇතුලෙන් හඬමින් උන්නේ… ඇත්තටම් මේ දර්ශන තම්න්ගේම ඇස් දෙකෙන්ම දැක්කානම් මේ රටේ මිනිස් සිතක් තියෙන කිසිම මිනිහෙක් යුද්ධයකට හේතුවෙන කිසිම දෙයක් රට ඇතුලට ගේන්නේ නෑ… මා ඔබෙන් කාරුණික් ඉල්ලීම්ක කරනවා…. අනේ ආයේ නම් යුද්ධයක් මේ රට ගේන්න නම් එපා…. අඩුම ගානේ ආගමික ගැටුමක්වත්… තරුණ ජීවිත දස දස් ගණනක් ලක්මෑණීයන්ට නැතිවෙයි…..මේක හරි මානුෂීය ඉල්ලීමක්…. එතැන උන්නා අවුරුදු 35 ක් වූ දෙපා පණ නැති ආබාධිත උදාරතර රණවිරු නිලධාරියෙක්…. බොහොම් සුහද ඒ වගේම මිත්‍රශීලී හමුදා නිලධාරියෙක්… එක වෙලාවක හිතුණා ඔහු අපේ කුළුපඟ මිත්‍රයෙක්ද කියලත්….. එතරම් සුහඳශීලී අහිංසක මනුස්සයෙක්…. නිලධාරියෙක් වූවත් ඔහු අපිව ආමනත්‍රණය කලේ ” මල්ලී, නංගී” කියලයි…. ඔහු පැවසූ දෙයක් කිසිදු සංස්කරණයකින් තොරව මෙහි සටහන් කරන්නට කැමතියි…. මේ දේ මා මැරෙනතුරාවට මට මතක තියෙයි… ” මල්ලි මට දැන් අවුරුදු 35 ක් වෙනවා…. මගේ කකුල් දෙක පණ නැහැ…. මට ආයේ නැගිටින්න බැහැ…. මගේ කාලේ දැන් ඉවරයි… ඉස්සරහට එන්නේ ඔයගොල්ලන්ගේ කාලේ…. ඔගොල්ලෝ තමා මෙ රට රැකගන්න ඕනෑ…. තව දෙයක් මල්ලී… ලද දෙයින් සැනසෙන්න…. ඊට වඩා දේවල් බලාපොරොත්තුවෙන්න එපා…” ඒ නිලධාරියා කිව්ව දේවල් ඇත්ත…. මේ අපි හැමෝගෙම රටයි…. කාටවත් ඒ වගකීමෙන් මිදෙන්න බැහැ…. අපි මේ රටේ හැම ගහ කොලකටම, මනුස්සයෙක්ටම, සතෙක්ටම ආදරේ කරන්න ඕනෑ…. කොටින්ම පස් පිඬක්, ගංගාවක්ම, ඇලක් දොලක්ම අපේ ආදරේට නතුවෙන්න ඕනෑ….. හැබැයි එහෙම රටේ අනවශ්‍ය ගැටළු හඳන්න අපිට අයිතියක් නෑ…. ජාතිවාදය, ආගමවාදය, මූලධර්මවාදය මේ හැමදේම පුස් උණ්ඩ වගේ… මේ හැම දේම අයින් කරල බැලුවාම අපි ඔක්කෝම ලෙයින් මසින් තැනුණු මිනිස්සු…. කවදහරි මැරුණාම පොළවට පස්වෙන මිනිස්සු…. එච්චරයි….. මේ රටට තවත් ගැටළු එපා…. එවායින් අපි බැට කෑවා හොඳටම ඇති…. මේ ප්‍රශ්ණ නිසා පොළවට බොහොම වටිනා ජීවිත පස් වුණා… මතක් තියාගන්න අපි අද කෑමට ගන්න ගහ කොල, ඵල හැමදේකම අඩුමගානේ ඒ උදාර සිරුරුවලින් නිපදවුනු පොහොර ටිකක් හරි තියෙනවා…. ඒ හින්දා එහෙව් දේව ආහාරයට ගනිමින් රට තුළ ප්‍රශ්ණ හදන්න කවුරුන්හරි උත්සහ ගන්නවනම් ඒ පුද්ගලයා රටට කිසිම ආඩහරයක් නැති නොමිනිස් ගතිගුණ හියෙන මනුෂ්‍යයෙක් විදිහට මා දකින්නේ…. එහෙම ප්‍රශ්ණ හදන්න උත්සහ කරනවනම් ඒ අය කරන්නේ මේ උදාර රණවිරුවන්ගේ ලේ, දහඩිය, කැපකිරීමට අවමානයක් වගේම නිග්‍රහයක්…. ආගමික, ජාතිවාදී, මූලාධර්මවාදී කිසිම ගැටලුවක් මේ රටට එපා…. තවත් ලේ ගංගා අපිට ඕනෑ නැහැ…. ලද දෙයින් සතුටු වෙමු…. තව තව දේවල් හඹායන්න ඕනැ නෑ… ආගමික සහජීවනය, ජාතික සහජීවනයයි දැන් මේ රටට ඕනෑ…. මේ රට බොහොම ලස්සන රටක්…. දේශගුනිකව ගත්තත්, භෞතික පරිසරය ගත්තත්, පරිසර අලංකාරය ගත්තත් අපි ගොඩක් පොහොසත්… ඒත් රටක් හැටියට අපිට ඉස්සරහට යන්න බැරිවෙලා තියෙන්නේ මේ ජාතිවදී, ආගම්වාදී, මූලදර්මවාදී, ගැතිවාදී මත නිඅසයි…. ඒ හින්දයි අපි තාම නිදහස ගත්තට පස්සේත් එදා හිටපු තැනම ඉන්නේ… මේ දේවල් නැතිකරගෙන ආකල්ප අතින් පොහොසත් වෙලා සහෝදරත්වයෙන් මේ ගමන යමු… හැමෝට්ම සම අයිතිවාසිකම් ලැබෙන සමාජයක් ගොඩනඟමු… අන් මතවලට,ආගම්වලට, සංස්කෘතිවලට ගරු කරමු…. අපට මේ අභීත රණවිරුවන් වෙනුවෙන් කල හැකි ලොකුම උත්තමාචාරය එකයි….. හෝරා කීපයක් මනුෂ්‍යත්වය සමඟ ගතකරලා අපි එතැනින් එන්න සුදානම් වුණා… බොහෝ දෙනෙක් අපිට අතවැනුවා… ඒ දෑස්වල දුකක සේයාවක් සටහන්වෙලා තිබ්බා… ගොඩ දෙනෙක්ගේ ඇස් වල ලියවෙලා තිබුනා ආයෙමත් එන්න කියන ආරාධනය… ඔව්, අපි ආයෙමත් ඒවී…. ඒක අපේ යුතුකමක්… රණවිරු දිනය එක් දිනෙකට සීමා විය යුතු නෑ… ඒ දේ අපි හැමෝගෙම හද පතුලේ හැමදාටම තියාගත යුතුයි… එතැනට යනකොට ගිය පුද්ගලයා නොවෙයි එතැනින් එලියට එනකොට මා තුල හිටියේ…. වෙනස්ම පුද්ගලයෙක්… ඇත්තටම මගේ හිතට දැනුණා පුදුම සැනසුමක්…. මං හිතන්නේ බොහෝ දෙනෙකුට ඒ සැනසීම දැනෙන්න ඇති…. මේ දේ ලියන්න මට හිතුනෙත් ඒ හින්දමයි…. මා දැන් දන්නවා “මනුෂ්‍යයෙක් සේ ඉපිද… මනුෂ්‍යයෙක් සේ ලොව හැර යාමේ” වටිනාකම… ඔබටත් ආරධනා කරනවා සුහදව එය විදගන්න ලෙසට…. මේ ලිපිය අවසන් කරන්නට මා යොදාගන්නේ රංජන් සාලිය ගායක‍යාණන් විසින් ගායනා කල අපූරු ගීතයක පද රචනාවක් එක්ක…. මුහුද දෙබෑකරන…. අහස පොළව සිඹින…. රටට සෙනෙහෙ පුදන…. ලෙයින් මසින් සැදුන…. සැබෑ පියෙකි…. දරු දහසකි…. මුළු රටේම…. ලේ නෑයකි…. අපෙන් එකෙකි…. සිය දහසකි…. ඒ දරුහට…. මව් දහසකි…. යෞවනයේ මේ සගයා…. අපෙන් එකෙකි මේ මිනිසා…. මේ මිනිසා…. රණවිරු සොයුරු සොහොයුරියනි,අපි ඔබට සැමදා ණයගැතිය…. අපේ උත්තමාචාරය!!!!

Permalink යෞවනයේ මේ සගයා… අපෙන් එකෙකි මේ මිනිසා…හි ප්‍රතිචාර වසා ඇත.

තේ…. ඇත්තටම තිත්තයි….

දෙසැම්බර් 6, 2011 at ප.ව. 3:15 (සමාජ ඇසෙන් කතාවක්...) (, , , , , , , , , )

null

"තේවල මායා රසට යටින් තියෙන්න කඳුලු කතාවක්..."

” උඩරට කඳුකර…. සිරියා පරදන…. රූබර මුහුණ ඔබේ…. රතැඟිලි එක්කර…. මදහස නංවන…. තේ දළු නෙලන ළඳේ…. “

පහුගිය දවසක උදේ තේකක් තොලඟාමින් උන් මට… අහම්බෙන් ඇහුණා මේ සින්දුව radio එකෙන්… චිත්‍රා සෝමපාල ගායිකාව ගායනා කරන මේ ගීතයෙන් තනිකරම කියවෙන්නේ තේ වතුකරයේ තේ දළුවලට තමන්ගේ යෞවනය බිලිදෙන ළඳුන් ගැන….

සිංදුවේ කියවෙන තරම් ඇත්තටම ඒ ජීවිත සුන්දරත් නැහැ… ළඳුන් ඒ හැටි පැහැබරත් නැහැ…. ඔබත් මමත් උදේට, හවසට බොන තේකට යහමින් කිරි හා සීනි මුසුකරගත්තට පස්සෙ උණු රසවත් තේ එකක් ලැබුණාට මොකද ඒ තේ දළු රසට යටවෙලා තියෙන්නේ අන්ත දුක් විඳින මිනිස්සුන්ගේ කඳුළු… නමුත් තේ වල තියෙන රසට ඒ කඳුළුවල  ලුණු රහ දැනෙන්නේ නැහැ…

මේ ලිපියේ මගේ බලාපොරොත්තුව යම් මට්ටමකින් හෝ ඒ කාරණා උලුප්පා දක්වන්නයි… මේ ලිපිය ලියන්න මා සිදුකල ගවේෂණාත්මක කාරණා කීපයක් යොදාගන්න මට හිතෙනවා… මොකද ඒවායින් මේ දේවල් ඔබට හොඳින් විග්‍රහකරල කියන්න මට ඉඩ ලැබෙනවා කියලා මට හිතෙන්නේ….

ඇත්තම කිව්වොත් තේ කියන්නේ එක විදියකින් මායා පානයක්… මිනිස්සුන්ගේ ශ්‍රමය සුරාකාලා කඳුලු, දහඩිය මතින් උපදින තේ තාමත් රස හින්දයි මං එහෙම කියන්නේ … සුදු ජාතික මහත්වරුන්ගෙන් තමා තේ කියන දේ ලංකාවට ලැබෙන්නේ…. ශ්‍රී ලංකාවේ එතෙක් සාර්ථකව කරගෙන ආ කෝපි වගාවට වසංගත රෝගයක් වැළඳීමේ ප්‍රථිපලයක් විදිහට තමයි තේ වගාව අපට ලැබෙන්නේ…. James Taylor විසින් ලූල් කඳුකරයේ තේ වගාව පටන්ගන්නවා 1867 දී… 1873 දී එංගලන්තෙට ලංකාවෙන් ගිය නෞකාවක රාත්තල් 23 ක් ඒ කියන්නේ 10kg ක තේ ප්‍රමාණයක් ළඟාවෙනවා… ඒ තමයි ලංකාවෙන් ඉස්සෙල්ලාම අපනයනය කල තේ තොගය…

එතැනින් පටන්ගත්ත තේ අපනයනය ලංකාවේ ප්‍රධාන අපනයන බෝග 3ට අද ඇවිල්ලා… කොටින්ම විදේශ විනිමය උපයන එක උල්පතක් තමයි තේ කියන්නේ…. … අදටත් ලංකාවේ තේවලට යම් තැනක් ලෝකේ තියෙනවා… කලින්කලට යම් උච්චාවචනයන් නැතුවම නෙමෙයි… ඒක ඉතින් business ලෝකේ සාමන්‍ය සංසිද්ධියක්… නමුත් කිසිම වෙනසක් නැතුව එක් කාරණයක් එදා ඉඳලම අද දක්වා තේ වගාව හා බද්ධවෙලා තියෙනවා…. ඒ තමා මිනිස් ශ්‍රමය අනිසි සේ සූරා කෑම…. මේ නිසා වතුකරයේ ජනතාවට සිදුවෙන අසාධාරණ එමටයි… නමුත් මං කලින් කිව්වා වගේම තේ කියන්නේ මායා පානයක්… ඉතින් තේ රසට හැමදේම යටවෙලා…  ඒ මිනිස්සුන් විදින දුක තේ ටොන් ගණන්වලට යටවෙලා…

තේ කර්මාන්තය ලංකාවේ පටන්ගන්නකොට සුදු මහත්වරුන්ට ඇතිවෙච්චි ප්‍රධාන ගැටලුව තමයි මේ සඳහා කම්කරුවෝ හොයාගන්නෙ කොහමද කියන එක… මොකද සිංහල මිනිස්සු කැමති වුනේ නෑ තේ වගා කරන්න….ඒ නිසා සුදු ජාතිකයෝ තීරණය කලා ඉන්දියාවෙන් ඒ සඳහා උදවිය ගෙන එන්න… එතනින් තමයි ඉන්දියානු දෙමළ ජනවර්ගය ලංකාවට සේන්දුවෙන්න පටන්ගත්තේ…. කොහමෙන් කොහමහරි අද ඒ ජනකොට්ඨාශයත් අපෙ ලාංකික කියන කුලකයට අයත් බව අපි අමතක නොකලයුතුයි.

මෙලෙස ගෙනාපු ජනතාවට වාසස්ථාන සැපයුවේ තේ වතුවලමයි… එක පෙලට හදපු ගෙවල් එහෙමත් නැතිනම් ” ලැයිම් කාමර” තමා ඒ සඳහා යොදාගත්තේ… ගෙවල් කිව්වට ඕවා අඩුම ගාණේ කුඩා නිවසක් තරම්වත් නෑ… පොඩි කාමරයක්, පොඩි කුස්සියක් සහ පොඩි සාලයක් කියන කොටස් 3න් තමා ඕවා සමන්විත වෙලා තියෙන්න… එලි‍යේ වල කක්කුස්සියක්… සමහරවෙලාවට ගෙවල් 10 – 15 ටම තියෙන්නේ වැසිකිලි 2ක් වෙන්න පුලුවන්…. සමහර පවුල්වල සමාජිකයෝ 5 ට වඩා වැඩියි… ඒත් ඉඩ තියෙන්නේ මේ ප්‍රමාණයම තමයි… ඒත් හිසට වහලක් තියෙන නිසා මේ අය මෙහි ජීවත්වෙනවා….

උදේ පාන්දර කංකානම් එහෙමත් නැතිනම් තේ වතුවල වැඩ කටයුතු හරියට සිද්ධවෙනවද කියලා බලන පුද්ගලයා එක්ක ගැහුණු, පිරිමි දෙවර්ගයම වැඩට යනවා… මුදල් ගෙවන්නේ නෙලන තේ කොල ප්‍රමාණයේ බරට… තේ දලු නෙලන එකත් එච්චර ලේසි වැඩක් නෙමෙයි… අතේ කහට ගැවෙනවා වගේම ඇතම්විට ඒවා යන්නෙත් නෑ… තව දෙයක් තේ දලු නෙලනකොට ඒවාට හානි වෙන්නත් බෑ… ගහට හානිවෙන්නත් බෑ… එකයි මං මුලින්ම කිව්වේ… තේ මණ්ඩියට තේ කොල ටිකක් දාලා උණු වතුරෙන් පෙරලා සිනි හැඳි 2ක් කලවම් කරල තේ බොන තරම් මේ ක්‍රියාවලිය රස නැති විත්තිය….

අපි දැන් මේ මිනිස්සුන්ගේ ජීවිතෙ ඇතුළාන්තය විමසා බලමු…. ගිනි අව්වේ කරවෙලා තේ දළු නෙලන මේ මිනිස්සුන්ගේ ජීවිතය හරිම ශොචනීයයි… මේ ටික කිව්වේ මේ ලිපිය රසබර කරන්න නෙමෙයි… බොහෝදෙනෙක් නොදන්න දෙයක් කියන්නයි…. තේ දළුනෙලුවා කියලා මහ ගාණක් ඒ මිනිස්සුන්ට ලැබෙන්නේ නෑ… රටට විදේශ විනිමයක් ගෙනල්ලා දෙනවා කියලා පුරසාරම් දෙඬුවට මොකද ඒ විදේශ විනිමය ගෙනල්ලා දෙන මිනිස්සුන්ට සලකන විදිය ශෝචනීයයි…

මේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරය රොටී… රොටී කිව්වට තුන් වේලටම රොටී පුච්චන්නේ පවුල් සුළු ප්‍රමාණයක් පමණයි… අනිත් අය කරන්නේ උදේට පුච්චන රොටියේ එක වාටියක් කාලා අනික් වාටිය කන්නේ දවල් ආහාරයට…. බහුතරයක් දවස්වලට තමන්ගේ කුසගින්න නිවාගන්නේ වතුරට පිංසිද්ධවෙන්න… ඕක තමයි ඇත්ත…. සාමන්‍යයෙන් ළමයෙක් හම්බවෙන්න ඉන්න අම්මෙකුට හොඳ පෝෂණයක් ලැබියයුතුයි කියලා පොත පතේ සඳහන් වුණාට මොකද මේ ලැයිම්වල ඉන්න අම්මලාට අත්වෙලා තියෙන්නෙත් මේ ඉරණමමයි….

මට වෙලාවකට මෙහෙමත් හිතෙනවා… ඔය  වාර්තා, දැනුමෙන් හොයාගන්න දේවල් මේ ප්‍රායෝගික marketing ලෝකයේ නිකන්ම නිකන් පුස්සක් කියලා… මොකද ඔය හැමදේම ඒවිදිහටම ක්‍රියාත්මකවෙන්න මේ සමාජ ක්‍රමය තුළ බාධා එමටයි… උදාහරණයක් විදිහට උපයන මුදල මත හැමදේම තීරණය වෙන්නේ මේ marketing ලෝකයේ…. ඒකට මුකුත් කියන්න බැහැ… නමුත් ගැටළුව තියෙන්නේ මේ මිනිසුඟේ ශ්‍රමය සුරාකෑමට නිසි වටිනාකමක් දෙන්න පාලන අධිකාරීන් කොතරම් දුරට සාධාරණවෙලා තියෙනවද කියන එකයි…. මෙතන්දී මේ රට පාලනය කල සියළුදෙනාම වගකිවයුතුයි… මේ කාරණේ වතු ජනතාව වෙනුවෙන් පමණක් නෙමෙයි සියළුම වැඩකරන ජනතාව වෙනුවෙන් ඉස්මතු කලයුතු කාරණයක් විදිහටයි මට පෙනෙන්නේ…

මේ වතුකරයේ බොහෝදෙනෙක් නොදන්න අඳුරු පැත්තක් තියෙනවා… ඒ තමා ළමා මෙහෙකාර සේවයට ළමයින් සපයන තෝතැන්නක් තමයි වතුකරය….අවුරුදු14 ට අඩු පාසල් යන වයසේ ළමයි පවා මේ උගුලට අහුවෙනවා… ගවේෂණය කරල බැලුවාම මේකට හේතු විදිහට ප්‍රධානම හේතුව තමා ආර්ථික ගැටලුව… ඒත් ඒක සමාවට කාරණයක් නෙමෙයි… මොකද මේ දේ නීතියෙන් තහනම් නිසා… නමුත් නීතියේ ඇස්වලටත් වැලි ගසමින් මේ දේ මේ ප්‍රදේශවල ජයටම සිදුවෙනවා…ඒක තමා ශොචනීයම කාරණය….

වතුකරයේ පාසැලවලට යන ළමයි බහුතරයකට තියෙන්නේ එක නිල ඇඳුමයි…. රජයෙන් නිල ඇඳුම් දුන්නට මොකෝ එවා මහගන්න තරම් වත්කමක් මේ මිනිස්සුන්ට නෑ… ඉතින් අර ඇඳුම්වල නූල් ඇදිලා තිබුණත් ඒවට අණ්ඩ දමමින් ඇදගෙන යන එක තමා ඒ අය කරන්නේ… සමහරුන්ට තියෙන්න එක exercise පොතයි… ඒ පොත ඉවරවුණාම කොල අමුණ අමුණ ඒ exercise පොත්වලම ලියන්නේ ඒ අය… අන්තිමට පිටු 80 පොත පිටු 100 පොතක් වෙලා… ඔව්ව තම ගොඩක් අය දන්නේ නැති යථාර්තය…

පාසැල් පිහිටලා තියෙන්නේ බඹගණන් ඇත… මේ දුර ඇවිද්ගෙන යන්න වෙනවා… මොකද ප්‍රවාහන සේවා කොහෙද වතුවල???… ඉඳල හිටල යන තේ දළු ලොරිය, නැතිනම් එකක් තමයි… ඒත් ඒවායේ යන්න පුලුවන් සීමිත ගණනක් පමණයි… ඔය ළමයි ඉතින් ඔය දුර ඇවිදගෙන යන්නේ… බහුතරයක් එහෙමත් නැතිනම් ඔක්කම ළමයි කකුල්වලට සපත්තු නෑ… නිරුවත් දෙපාවල යටිපතුල් ගෙවෙනකන් ඇවිදින එක තමයි කරන්නේ… උදේට කොහමහරි ඇවිදන් ගියත් දවල්ට ඉර මුදුන් වෙලා ඇවිදන් එනකොට දැනෙන වේදනාව ආයේ අමුතුවෙන් ඔබට විස්තර කලයුතු නෑ… නමුත් ඒ ළමයි ඒ දේවල්වලට අනුවර්තනය වෙලා… නමුත් කණගාටුව මේකයි.. මෙච්චර දේවල් විදවලා අධ්‍යාපනයෙන් ඉහළට ගියාද කියල හොයලා බැලුවාම ඒ ගණන අතේ ඇඟිලිවලින් ගණනටත් අඩුවීමයි… ඇයි එහෙම වෙන්නේ… ගැඹුරු විග්‍රහයක් දැන් මේ කරන්න යන්නේ…

ළමා මෙහෙකාර සේවය… ළමා අයිතිවාසිකම්, ළමා ප්‍රඥප්ති අමු අමුවේ උල්ලංඝන කරන වෙළඳාමක්… නාම මාත්‍රිකව සඳහන් නොවුණාට එක එක්තරා විදිහක වහල් සේවයක්…. එක තමා ඇත්ත… දෙමවපියන් ඒ වතුවල සිටින තමන්ගේ ළමයි ගෙවල්වල සේවයට යොදවන්නේ යන්තම් කකුල් දෙකෙන් හිටගන්නකොටමයි… ඒකියන්නෙ අවුරුදු 7 – 8 දී වගේ…. ඔබ කල්පනා කරයි මේ කිරි සප්පයන්ට මොනවද කරන්න පුලුවන් වැඩ කියලා… නමුත් ඇත්ත මේකයි….

කිරි සුවඳ කටෙන් නොගිය, වැටුනාම ” අම්මේ” කියලා කෑගහල අඬන, ලොකේ දිහා ඇස් ඇරලා බලන්නවත් පණක් නැති පොඩි උන් වළං පිඟන් හෝදන්න, දරදිය අදින්න, ළිඳෙන් වතුර අදින්න බලෙන් යොදවලා….. අනේ ඒ පොඩි උන්ට මොනවා තේරෙනවාද??? ඒ ළපටි අත්වලට ඒ වැඩ කරන්න පුලුවන්ද?? ඒ නැතිකරන්නේ උන්ගේ සෙල්ලම් කාලේ නෙමෙයිද??? මට තේරෙන්නේ නෑ මේවට ඉපලෙන් තලන්න ඕනෑ උන් වදාපු මව්පියන්ටද එහෙමත් නැතිනම් උන්ගෙන් වැඩ ගන්න මිනිසුන්ටද කියලා… ඒත් අහන්න තියෙන්නේ… ” තොපිලට තොපේ ළමා කාලය මතක නැද්ද යකෝ?????” කියලා විතරයි….

ඇත්තටම කණගාටුයි… මේ පොඩි උන්ගෙන් වැඩගන්න මිනිස්සු උන්ට තලනවා, ගහනවා, කනෙන් අල්ලනවා, පිහිවලින් අත් කපනවා, පුච්චනවා රත්වෙච්චි යකඩවලින්,සමහරුන්ගෙන් දත් පවා කඩලා… කොටින්ම බඩ පිරෙන්න කනන්වත් දෙන්නේ නෑ…. වතුර ගොඩේ ගෝනි කඩමල්ලක් දාගෙන බුදියගන්නවා සීතලට ගුලිවෙලා… මව් උණුහුම ” අපා උණුහුමක් ” කරලා උන්ට… අනේ මේ ළමයි දුක කියනවා ඇත්තේ හඳ මාමාට වෙන්න ඇති රෑට…. ඒත් ඒවා ලොකු මිනිස්සුන්ට තේරෙන්නේ නෑ…  මේ පොඩි උන්ට අඩුම ගාණේ ඒ දේවල් විස්තර කරගන්න තරම්වත් වචනවලින් පොහොසත් නෑ… අනේ උන් ඇස් යට කඳුලු බෝල හිරකරගෙන ඉන්නවා ඇති… උන් කොහොම දුක කියන්නද…. ඇත්තම එහෙම කරන මිනිස්සුන් මානසික ආබාධිතයෝ… නැතිනම් කොහමද  උන් මේ විදිහට පොඩි එකෙකුට රිදවන්නේ… මේ විදිහට දරුවන් තාඩන පීඩනවලට පත්කරන අය වගේම, ඒ තත්වෙට දරුවන් ඇඳල දාපු “දෙමව්පියන්” ( ඒ වචනය ඒ අයට සාධාරණ නෑ )ට වැහි නැති හෙණ ගහන්න ඕනෑ!!!!

මේ විදිහට දුක් විඩින පොඩි මල් කැකුළු ගෙදර එනවා අවුරුද්දට… උන්ට යන්තම් හිනාවෙන්න ඉඩක් ලැබෙන්නේ ඒවෙලාවට… ඒත් අවුරුද්ද ඉවරවෙන්කොට ඒ පොඩි උන්ගේ අම්මල තාත්තලා වෙන තැනකින් සල්ලි අරන් පොඩි එකාව විකුණලා.. ඉතින් ආයෙත් ඒ පොඩි එකාට බැල මෙහෙවරකම් කරනන් යන්න වෙනවා…. මේක තමා තිත්ත වුනත් ඇත්ත… Fantasy marketing ලෝකවල අතරමංවෙලා ඉන්න ඇස් පේන අන්ධ මිනිස්සු නොදන්න ඇත්ත….මේ විදිහට ඒ දරුවන්ගේ ළමා කාලයම විනාශ කරනවා….

මේ විදිහට ළමා මෙහෙකාර සේවයට අරන යන ගැහුණු ලමයින් බොහෙවිට නොයෙකුත් ලිංගික අතවරවලට ලක්වීම සුලභ කාරණයක්… හාමු පුතා අතින් එහෙමත් නැතිනම් ගෙදර වෙනත් කෙනෙකු අතින් මේ දේවල් සිදුවෙන්නේ…. ඇතැම්විට මේ ගැහුණු දරුවන් ගණිකා වෘත්තියේ යොදවනවා…. ඒ කෙල්ලට සිදුවෙන්නේ තමන්ගේ පතිවත දන්දෙන්න…. මේ තත්වෙට ඒ දරුවා ඇදලා දාපු දෙම්ව්පියෝ ඒ විදිහට හමබකරන මුදලෙන් ජීවත්වෙනවා…. ශිෂ්ට යැයි සම්මත මනුෂ්‍ය සමාජය තුල අශිෂ්ට දේ කොතරම් සිදුවෙනවාද???

මං දැකල තියෙනවා හැම ඔක්තොම්බර් 1 වෙනිදාම ලෝක ළමා දිනය කියලා මාධ්‍ය ආයතන, විවිධ සංවිධාන අණ බෙරගහගෙන් දැවන්ත වැඩසටහන් සිදුකරනවා… නමුත් උන් මේ විදිහට දුක් විදින ළමයි ගැන කිසි දෙයක් කරන්නේ නෑ… පුලුවන්නනම් මේකටත් දවසක් වෙනකරපල්ලා!!! එතකොට ඔක්කම හරි… මේවා කාට කියන්නද??? මේවා දවසින් විසඳන්න පුලුවන් ගැටලු නෙමෙයි…. මේවා හැමදාම සොයා බැලියයුඉතු දේවල්…. මේවා නැවත්වීමයි අපි කලයුත්තේ… එහෙම නොකරනවනම් අර ” බුද්ධිමතම සත්ව ” කොට්ඨාශය කියන එක නවත්තලා ” තිරිසන්ම සත්ව” කොට්ඨාශය කියල හඳුන්වාගන්නවනම් සුදුසුයි අපිව….

මේ හැමදේම පිටිපස්සේ වතුකරයේ ජයටම සිදුවෙන කසිප්පු වෙළඳාමත් බද්ධවෙලා තියෙනවා කියන එකත් කියන්න ඕනෑ… අයවැයෙන් රට බීම හා මත්ද්‍රව්‍ය ඉහල ගියාට මොකද කසිප්පු වෙළඳාමට ඒක ප්‍රශ්නයක් නෙමෙයි…. ලැජ්ජාව, දුක, වෛරය, තරහව, ආත්ම අනුකම්පාව පිරිමහගන්න වතුකරයේ ඉන්න පිරිමි උදවිය ඒ සඳහා පෙළඹිලා ඉන්නවා…. ඒකට ප්‍රධාන හේතුව විදිහට මා දකින්නේ නූගත් කමයි…. අන්තිමට දන්නේම නැතුව අතේ තියෙන පිච්චියත් නැතිව යනවා… දරුවෝ, ගෙදර අඹුව මන්ද පෝෂණයෙන් පෙලෙනවා… සමහර දෙමව්පියෝ හිතන්නේ දරුවෝ පිට ගෙවල්වල්ට යැව්වාම උන්ට අඩුම ගාණේ තුන් වේල කන්න ලැබෙයි… ඒත් බොහෝවිට සිදුවෙන්නේ මේකේ අනික් පැත්ත… එකයි කණගාටුව….

බීලා ගෙදර එන මනුස්සයා ඊට පස්සේ වාඩුව අල්ලන්නේ බිරිඳගෙන් හා දරුවන්ගේ… හරක්ට තලනවා වගේ ගෙදර ඉන්න ගෑණිටයි, දරුවන්ටයි තලන්නේ… ඒත් මේ වතුවල හොඳට ජීවත්වෙන මිනිස්සුත් ඉන්නවා කියල කියන්න ඕනෑ… එත් බොහෝදෙනෙක් අර ඉහත කිව්ව කුලකයේ…. ශොචනීය දත්තයක් වෙන්නේ එකයි ඒක…

බීලා එන මනුස්සය මේ දේවල් ඔක්කම කරලා අන්තිමට නිදි ඇඳේදී තමන්ගේ සැපත හොයාගන්න හදනවා තමන්ගේ අඹුවගේ වැහැරුණු සිරුරෙන්…. මේවා මේ අසභ්‍ය දේවල් කියලා හිතන්න එපා… මොකද මේක තමා ඇත්ත… ඒකයි ඔය වතුකරයේ හැමගෙයකම පොඩි උන් ඔච්චර සුලභ… මේ නිසා ඔය වතුකරයේ මන්දපෝෂණය කියන කාරණේ ප්‍රභලව දකින්න ලැබෙනවා… මේකට ප්‍රධාන හේතුව තමා මේ අයට නිසි අධ්‍යාපනයක් නොලැබීමයි… ඒ නිසා උපත් පාලනය, ලිංගික අධ්‍යාපනය ගැන වැටහීමක් නෑ… මේ දේවල්වලට අන්තිමට වන්දි ගෙවන්නේ ඒවායේ ප්‍රථිපලයක් විදිහට ඇතිවුනු දරුවෝ.. දරුවෝ පෝෂණය කරන්න බැරිවුණාම ඒ පොඩි උන්ව බැල මෙහෙවරකමේ යවනවා….

මේ වතුකර ප්‍රදේශ සමහරකට විදුලිය පහසුකම් නෑ… ඒ නිසා රාත්‍රිය ගෙවන්නේ කුප්පි ලාම්පුවලින්.. පහුගිය කාලේ මේ නිසා ඇතිවුනු අනතුරු මාධ්‍යයන් වාර්තා කරලා තිබුණා… ලංකා වෙළඳපොලේ ලාම්පුතෙල් මිල, පිටි මිල ඉහල යනකොට ඒවායේ බලපෑම කෙලින්ම දැනෙන්නේ මේ ජනකොට්ඨාශයට…. ඒක හරියට ” කොරේ පිටට මරේ ” වගේ සංසිද්ධියක්….

ඒවුනාට ලංකාවේ දේශපාලන විකාශය ගත්තාම වතුකරයට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්… සමහර රජයන් පිහිටුවන්න මේ වතුකරයේ ඡන්ද පදනම වැදගත් වෙලා තියෙනවා…. වතුකරය වෙනුවෙන්ම බිහිවුනු පක්ෂ ගණනාවක්ම තියෙනවා… නමුත් හාස්‍යයට කාරණය තමා ඒ පක්ෂ එකක්වත් මෙච්චර කාලයකට මේ මිනිසුන්ගේ සුගතියට මොනවද කලේ කියන එක… කොටින්ම මෙච්චර විදේශ විනිමයක් උපයලා දෙන මිනිස්සු වෙනුවෙන් රට පාලනය කල රජයන් සාධාරණයක් කරල තියෙනවද කියන එකත් ප්‍රශ්ණයක්…. ඡන්ද කාලෙට වතුකරයට ගිහිල්ලා ලැයිම් කාමර පේලියක්, වැසිකිලි පද්ධතියක්, ජල මුලාශ්‍රයක් විවෘතකරලා මේ මිනිසුන්ගේ නූගත් කමින් ප්‍රයෝජන අරගෙන ඡන්ද ටික කඩාවඩාගත්ත එකයි මෙච්චරකල් වෙල තියෙන්නේ…. ඒ ඇර එදා තිබ්බ ප්‍රශ්ණ ගොන්නට තව ප්‍රශ්ණ ටිකක් එකතුවෙලා තියෙනවා… නමුත් අවංකවම ඒ මිනිසුන්ගේ ගැටලු දිහානම් කවුරුත් බලලා නෑ…

මේ ලිපියේ කිසිම දේශපාලනික බවක් හෝ කාටවත්ම ඉලක්කකර පහරගැසීමක් සිදුකරන්න මට උවමනාවක් නෑ… මට අවශ්‍ය වන්නේ මේ වතුකරයේ අඳුරු පැත්තක් ඔබේ අවධානයට යොමු කරන්න… මා දැක තිබෙනවා සංචාරක කර්මාන්තයේදී Ceylon Tea හොඳට market කරනවා… ඒවගෙම ඒ සඳහා මුද්‍රණය කල වල තේ දළු නෙලන ළඳුන්ගේ සිනාමුසු මුහුණු දැක්වෙන ඡායාරුපවලින් පුරවලා තියෙන විත්තිය… නමුත් යථාර්තය ඊට ගොඩක් වෙනස්… මට අවශ්‍ය වුන් ඒ දේ උලුප්පා දක්වන්න….

මේත් අපෙ රටේ වාසය කරන ජනකොට්ඨාශයක්… ඒවගේම වැද්ගත් ජනකොට්ඨාශයක්… රටේ ආර්ථික කොඳුනාරටියේ වැදගත් සංධියක්…. නමුත් අවාසනාවට ඒ අයගේ දහඩිය මහන්සියට නිශ්චිත වටිනාකම්ක් ලැබෙන්නේ නෑ… ඒ මිනිස්සු මෙච්චර දෙයක් රටට කරල දෙන්නේ අපා දුක් විදිමින් විත්තිය බොහෝ දෙනෙක් දන්නේ නෑ… ඒ මිනිසුන්ගේ දාඩිය, කඳුලු ඇතුලේ නෙලන තේ රසකර බොන්නට අපේ ඇත්තන්ට හොඳට පුලුවන්… නමුත් ඒ අයගේ දුක්වෙනුවෙන් අවංක හඬක් නඟන්න නැති එකයි කනගාටුව…

දැන් ඔබට වැටහෙනවා ඇති රස තේ පිටිපස්සේ තියෙන තිත්ත කතාව… මේ හැමදෙයක්ම තේවල තියෙන මායා රසට වැහිලයි තියෙන්නේ… ඉතින් අපි කුමක් කරමුද??? ඇත්ත සාමන්‍ය මිනිසුන් විදිහට අපිට මහ දෙයක් කරන්න බැහැ… නමුත් අපිට කල හැකි දේවල් තියෙනවා.. උදහරණයක් විදිහට අපිට ළමා මෙහෙකාර සේවය වළක්වන්න පුලුවන්… එහෙම දේවල් කරනවනම් ඒ දේවල් අදාළ ස්ථානයන්ට වාර්තාකරනන් පුලුවන්… වතුකරයේ ළමයින්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මකකල හැක…. එහෙම කලොත් අවම වශයෙන් ඒ පවුල්වල දරුවන් හෝ ඒ අපා දුකෙන් ගැලවේවී….

මට මේක තවත් ලිපියක් කිරීමෙ අවශ්‍යතාවයක් නෑ… මට අවශ්‍ය වුණේ මේ ලිපිය හරහා වතුකරයේ අඳුරු පෙදෙසක් දෙසට ඔබේ අවධාය යොමු කරන්නයි… මේ වගේ තවත් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු නොවුනු අහුමුළු මේ රටේ ඕනෑ තරම් ඇති… ඒවා ලෝකයෙන් වැහිලා නිසා එකවිටම ඇසට ග්‍රහණය වෙන්නෙ නෑ…

“තේවල මායා රසට යටින් තියෙන්න කඳුලු කතාවක්…”

 

Permalink ප්‍රතිචාරයක් ලබාදෙන්න

බස් එකත් මාරයි….

ඔක්තෝබර් 8, 2011 at ප.ව. 1:57 (සමාජ ඇසෙන් කතාවක්...) (, , , , , , , , , )

" බස් එකත් එක්තරා විදිහක නිලනොලත් සරසවියක් "

මං ඉන්නවා බස් එකක් එනකන් වීදුරු ගෙවල් ( Glass House ) බස් නැවතුම්පොළ ළඟ…. වෙලාව හවස 5 ට විතර ඇති…. බස් යනවා මං ගාවින් හරියට ගොන්ප්‍රී එකේ රේස් යනවා වගේ….

එක බස් එකක් නවත්තලා තියෙනකොට අනික් බස් එක ඉස්සර කරගෙන ගිහිල්ලා  නවත්තනවා ඊලඟ halt එකේ….. එතකොට  මේ බස් එක ආයෙ අනිත් එක පහුකරගෙන ගිහිල්ලා නවත්තනවා අනික් halt එකේ…. පුදුම තරඟයක්…. කටුකුරුන්දේ වත් දියතලාවෙවත් යන්න ඕනෑ නෑ රේස් බලන්න…. මේවා තමා රේස්…..

විශේෂයෙන්ම 138 route එකේතමා රේස් එක තියෙන්නේ…. සමහරක්විට මෑත කාලයේ සිංදුවකුත් ආවේ 138 ගැන මේ රේස් එක හින්දමද දන්නෙ නෑ…. ඒකිනෙකාට ඉස්සරකරනගමන් පොඩි නක්කලයකුත් දාන් යන්න කොන්දොස්තර අය්යයි, ඩ්‍රයිවර් අය්යයි අමතක කරන්නෙ නැහැ….

” කෝ මේ 177???….” මං පොඩ්ඩක් එබිලා බැලුවා පාරට…. ඒත් ඒකත් මහ අවදානම් වැඩක්…. මොකද වාහන එන්නේ පිඹලා…. ලෑල්ලටම පාගලා එන වාහන හරියට කුලප්පු වෙච්චි ස්පාඤ්ඤයේ ගොන් පොරයක ඉන්න ගොන්නු වගේ…. පරිස්සම් නොවුනොත් ඉතින් කඳ වෙනම ඔලුව වෙනම වෙන්වෙලා තමා නතරවෙන්නේ….. Sorry.com ම තමා…. ඔය සමහර බස්වල උඩ ගහලා තියෙනව ” බුදු සරණ‍යි!!! “, ” දෙවිපිහිටයි!!!” කියලා…. ඇත්තටම බස් යනකොට බස් ඇතුලේ ඉන්න අයට විතරක් නෙමෙයි පාරේ ඉන්න අයටත් ඒ පිහිට හැර වෙන පිහිටක් නෑ!!!!

ප්‍රධාන බස් නැවතුම්පොලේ ඉඳන් බස් එක එන්නේ ශාන්ත දාන්තව…. හරියට පසළොස්වකට සිල් ගත්තා වගේ…. හැබැයි  පස්සේ බස් එකේ වේගය වැඩිවෙන්නේ බලන් ඉද්දී….. Load එක වැඩිවෙනකොට ඊට අනුලොමව සමානුපාතිකව  Speed එක වැඩිවෙනවා…. අනාගතයේ පොඩි එකෙක්ගෙන් ඇහුවොත් අනුලෝම සමානුපාතිකයට උදාහරණයක් දෙන්න කියලා…. මේ සංසිද්ධිය කියන්න බැරි නැහැ සිරාවට…..

ඒවෙලාවට තමා නිව්ටන්ගේ නියම මතක්වෙන්න ගන්නේ…. ආයේ ඕනෑ නැහැ Practical ඒවා අවබෝධකරගන්න…. බස් එකේ ගියාම ටක්කෙටම Theory අවබෝධකරගන්න පුලුවන්… ඒ අතින් බසුත් කරන්නේ ඉගෙනුමට අත්වැලක් වගේ ඔය අපේ T.V. වල පෙන්වන….

ඈතින් දැක්කා 177 ක් එනවා…. ” හප්පේ!!!! යන්තම් ඇති” මට කියැවුණා ඉබේටම…. බෑග් එකත් අතින් අරන් පොඩ්ඩක් හැරිලා බැලුවා මං නිකන් පිටිපස්සට…. මගේ සතුට එවෙලේම නැතිවෙලා ගියා…. බස් එකට නඟින්න ඉන්නවා සේනාවක්ම…. කලින් නැග්ගේ නැත්නම් අදත් ඉතින් footboard තමා…. footboard යනවා කියන්නේ ඉතින් අන්තිම කැමති පත්තරේ ලියල යනවා වගෙ තමා…. මොකද කරුමෙට හරි අත හැරියොත් හරි පය ලිස්සුවොත් හරි නතරවෙන්නෙ ඉතින් නිරවාණයෙ නැතිනම් අපායේ…. කල පින් පව් අනුව ඒක තීරණයවේවී….

මොනවහරි කරල ඉස්සෙල්ලම බස් එකට නැග්ගොත් හරි!!! බෑග් එකත් උස්සගෙන මම  හිතාගත්තා…. බස් එක ආවා වේගය අඩුකරගෙන මාත් එල්ලුණා බස් එකේ පඩිපෙල ළඟ තියෙන ආධරකේ….බස් එක නවත්තන්නත් කලින්…. නැතිනම් ඉතින් නඟිනවා බොරු….

එක අතකින් අපි වානරයන්ගෙන් පැවත එන එක හොදයි…. මොකද මේ වගෙ පැනලා බස් එකක කෝච්චියක එල්ලෙන්න පුලුවන් වෙන්නේ….. ඔය වානරයන්ගෙන් පැවත එන පරිණාමික ලක්ෂණ නිසා වෙන්න ඕනෑ….. හැබැයි ඉතින් මේ කාරණේ ඔය එක පක්ෂෙකින් ඡන්දය අරගෙන පස්සේ අනික් පැත්තට ගිහිල්ලා වාඩිවෙන අයටනම් වලංගු නැහැ…..!!!! ඒකනම් මම  හිතන්නේ කිසිම සත්ව කුලකයක දකින්න නොලැබෙන මනුෂ්‍යයන්ටම ආවේණිකවූ ලක්ෂණයක් වගේ…මනුෂ්‍යන්ටම කිව්වට හැම මනුෂ්‍යයෙකුටම නෙමෙයි…. කිසියම් වෘත්තියකට පොදු වූ කාරණයක්… සමහරවිට ඒක වෘත්තීය නිපුණතාවයක්ද දන්නෙත් නැහැ…..

කොහමහරි බස් එකට ගොඩවුණු මම ඉස්සෙල්ලාම බැලුවේ ඉදගන්න Seat තියෙනවද කියලා…. හ්ම්!!!! නැහැ… බස් එකේ හොඳ සෙනඟක් ඉන්නවා…. කොහමත් තව ටික වෙලාවක් යනකොට ඇඟිල්ලක් ගහන්න බැරිතරමට සෙනඟක් පිරෙනවා….. ඊට කලින් පහසුවෙන් හිටගෙන ඉන්න පුලුවන් වාතාවරණයක් හදාගන්න ඕනෑ….

බස් එකේ පෙම්මුල්ල කිට්ටුව හිටගන්න පුලුවන් ඉඩක් දැක්කා මං…. ගිහිල්ලා එතැන හිටගත්තා මම….. දැම්මා බෑග්  එක උඩ Rack එකට…. මේ ටික කරන්න මට ගතවුනේ තත්පර කීපයයි!!!! ඒක ඉවරවෙනවත් එක්කම තමා එකේ හිටපු ඉතුරු අය බස් එකට නඟින්න ගත්තේ…..

කොන්දොස්තර අය්යා දෙනවා කන පිරෙන්න සද්දෙන් බස් එකේ විස්තරේ ගැන….

” කඩුවෙල,මාළඹේ,බත්තරමුල්ල,කොස්වත්ත,කොස්වත්ත….”

මිනිහා මේක චක්කරේ කටපාඩම් කරනවා වගේ කියවගෙන කියවගෙන යනවා…. එක අතකින් ඒක අනික් අයට කන්දොස්කිරියාවක් වුණාට ඒක ඒ මනුස්සයගේ රස්සාව…. ඇස්පෙන්නේ නැති අයට, අකුරු බැරි අයට බස් එක ගැන දැනුම්දෙන එක කොච්චර ප්‍රයොජනවත්ද????…. සමහරක්විට ඒක අපිටත් වාසි වෙනවා හදිසියෙන් අපිත් ගමන්බිමන් යනකොට….

මේ කොන්දොස්තර රස්සාව කරන හැමෝම විභාග Fail වුණ අය නෙමෙයි… සමහරවිට උපාධිධාරියෝ, හොඳට  A/L Pass වෙලා සල්ලි නැතිකමින් Campus  යන්න බැරිවුනු අයත් මේ රස්සාව කරනවා…. ඊටත් වඩා මට හිතෙනවා බහුතරයක් අපේ අය කරන වැරැද්දක් කියල හිතෙන දෙයක් මෙතැන සටහන් කරන්න….

කවමදාවත් වපර ඇහෙන් රස්සවක් දිහා බලන්න එපා…. රස්සාව කියන්නේ ම්නිහෙක් මනින්න පුළුවන් මිම්මක් නෙමෙයි… සමහර උසස් නිලතල දරණ මිනිස්සුන්ට වඩා අඩු රැකියාවන් කරන මිනිස්සු මනුස්සකමින් පොහොසත්…. ඉහළ රස්සාවක් කරලා තමන්ගේ දූදරුවන්ගේ, අඹුවගේ අවශ්‍යතා සපුරනවා වගේ තමයි කුඩා රස්සවාක් කරන මනුස්සයත් කරන්නේ…. වෙනස තියෙන්නේ වියදම් කරන මුදලේ වටිනාකමයි…. නමුත් චේතනාව එකමයි….

බස් එකට එන්න එන්න සෙනඟ පිරෙනවා….. මගෙ කොඳුඇට පේලියට ඒක හොඳට දැනෙනවා…. කොන්දොස්තර අය්යත් කෑගහනවා….

” ඔය මැද පේලිය ඉස්සරහට යන්නකෝ…. ඉස්සරහ හොඳට ඉඩ තියෙනවා…. ඔය දෙපැත්තේ ඉන්න අය පැත්තකට වෙලා ඉඩ දෙන්න…. ”

මැද ඉන්න මිනිස්සු sandwich එකක filling එක වගේ…. දෙපැත්තෙන්ම හොඳට තැලෙනවා…. ඇත්තම කිව්වොත් ඒ මිනිස්සු ගැන කණගාටුවක් දැනෙනවා…. office එකක හරි වෙනත් සේවා ස්ථානයක හරි වැඩකරලා මෙ මිනිස්සු යන්නේ බාගෙට මැරිලා… ඒත් කොච්චර අමාරුකම් තිබුණත් රස්සවට නොආවොත් ඒකෙන් වදින්නෙත් ඒ මනුස්සයගෙම බඩටයි…. මේවට වැරැදිකාරයෝ කව්ද කියල ඉතින් හොයල වැඩකුත් නැහැ….

යන්තම් ඇති බස් එක යන්න පිටත්වුණා…. කොන්දොස්තර අය්යා ticket කඩන්න පටන්ගත්තා….  Ticket කඩනවා කිව්වට සල්ලි එකතුකරනවා විතරයි…. නමුත් සමහර බස්වල්නම් ticket එකක් කඩනවා…. අතේ උණ්ඩි කරගෙන උන්නු රු.25 මන් කොන්දොස්තර අය්යාට දුන්නා….

” කොස්වත්ත” මං කිව්වා…

” හන්දියෙද? හන්දියෙන් එහාද? ”

” එහා ”

කොන්දොස්තර අය්යාත් සල්ලි අරගෙන ඉස්සරහට යන්න ගත්තා…. අනේ මන්දා මේ මනුස්සයා අර සෙනඟ මැද්දේ කොහම යනවද කියලා….එක අතකින් ඒක තමා චාල්ස් ඩාවින් කිව්වේ ” ජීවිත සටන ” කියලා…. මේ ලෝකයේ රැඳෙන්නනම් ඕක නොකර බැහැ…

” මාරු සල්ලි තියෙනවනම් අතට ගන්න…. ලොකු කොල මාරු කරන්න නැහැ…. ”

ලංකාවෙ බස්  ticketවල ගණන් අරුම පුදුමයි…. බොහොම ටිකයි 0 න් හරි 5  න් හරි අවසන් වන ගණන් තියෙන්නේ…. ඉතින් ඉතුරු සල්ලි දෙන්න ගියාම කොන්දොස්තරත් අමාරුවේ…. ඒ නිසා මගියොයි කොන්දොස්තරයි වලි….

ඔය අස්සේ මට නිකමට පෙම්මුල්ල දිහා බැලුණා ( බැලුණද? බැලුවද? කියලා හරියටම කියන්න බැහැ , මොකද මමත් පෘථග්ජන මනුස්සයෙක්නේ!!!! )…. පෙම් මුල්ලේ පෙම් ජෝඩුවක්….

තරුණයෙක් ඉන්නවා තරුණියක්ගේ කර වටේ අතක් දාගෙන…. තරුණිය ඉඳගෙන ඉන්නේ කව්ළුව අද්දර… දෙන්නා කාටවත් නොදැනෙන්න secret කතාවක…. ඉඳල හිටල මුහුණේ හිනාවකුත් මතුවෙනවා….

එකම ලෝකේ ලෝක දෙකක ජීව්ත්වෙන පුළුවන්ද කියල ඇහුවොත් හොඳම සාක්ෂි‍ය විදිහට දෙන්න පුළුවන් මෙවගේ පෙම් ජෝඩු…. බස් එක ඇතුලේ තියෙන්නේ තරඟකාරී Marketing ලෝකය…. ඒත් මේ දෙන්න ජීවත්වෙන්නේ Romeo Juliet ජීවත්වෙච්චි Romantic ලෝකයේ….

ඉඳල හිටලා එහෙට මෙහෙටත් දෙන්නගෙ ඇස් ගමන්කරනවා බස් එක ඇතුළේ… මොකද මේවා ගෙවල්වල් උදවියගේ කනේ තියන්න පුලුවන් උදවියත් ඉන්න පුලුවනි මේ බස් එක ඇතුළේ…. ඒකට අපෙ මිනිස්සු බොහො දෙනෙක් හපන්නු…. තමුන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනෙක් උදවියගේ ඇද හොයන්න අපෙ අය රුසියෝ….  එ හින්දා පරිස්සම් වෙන එක කෝකටත් හොඳයිනේ…!!!!

Halt එකින් එකේ නවත්තගෙන බස් එකට නග්ගගන්නවා හෙන සෙනඟක්…. Tution ඉවරවෙලා එන පාසල් ළමයි, sports practice කරලා එන ළමයි , ඒ  sports බෑග් උස්සගෙන ඉන්න අම්මලා තාත්තලා, වැඩ ඇරිලා ගෙදර යන මිනිස්සු, වැඩට යන මිනිස්සු, යහලුවෝ හම්බවෙන යන අය, පෙම්වතුන් නොයෙක් ආකරයෙ මිනිස්සු නඟිනවා බස් එකට….. දැන්නම් මගේ කශේරුකාවට දෙයියන්ගෙම පිහිටයි!!!

බස් එක කාසල් එක ලඟදි නවත්තපු වෙලාවේ බඩදරු අම්මල 2 ක් බස් එකට නැඟ්ගා…. ඉස්සරහ හිටපු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම  මහත්තයෙකුයි,නෝනා කෙනෙකුයි ඉඳගෙන හිටපු seat දෙක ලබාදුන්නා…. ඇත්තටම සන්තෝසයි… අපේ මිනිස්සු ගාව තාම මනුස්සකම තියෙනවා…. දේශපාලන වේදිකාවල ඡන්ද කාලේ උණු කැවුම් වගේ market කරන මනුස්සකමට වඩා මේ මනුස්සකම මිලක් කියලා නිමකරන්න බැරි තරම් වටිනවා…..

පැවිදිකෙනෙක්, බඩදරු අම්ම කෙනෙක්, ආබාධිත කෙනෙක්, ලෙඩවුණු කෙනෙක්, කුඩා ළමයෙක් අත වඩාගෙන එන කෙනෙක්, වයොවෘද්ධ කෙනෙක් වෙනුවෙන් තමන් ඉඳන් ඉන්න අසුන පරිත්‍යාග කරන එක පුණ්‍යකර්මයක්…. කවදහරි අපි මේ  ලෝකෙන් අරන් යන්නෙත් ඔච්චරයි මොනව හරි හම්බ කලත්…. ඒත් සමහරු ඒවගෙ එක්කටවත් තමන් ඉන්න අසුනෙන් නැඟිටින්නේ නැහැ…. Gum ගාලා පශ්චාත් ප්‍රදේශය seat එකට අලවලා වගෙ ගල් ගැහිලා ඉන්නවා…. නමුත් තාමත් බහුතරයක් එහෙම නැහැ…. ඉඳගෙන ඉන්න අසුන පරිත්‍යාග කරනවා…..

ඔය හොඳ ලක්ෂණ අතරේ අපෙ තවත් සමහර උදවිය තමන්ගේ වෙනත් නොහිබිනා ලක්ෂණ ඉස්මතු කරගන්නවා…. ඇහැට කනට පේන ගැහුණු ළමයෙක් දැක්කොත් හදන්වා පොඩි jack එකක් ගහන්න…. පහුගිය දවසක පත්තරේ තිබ්බා යෞවනියකගේ කලිසමේ තට්ටම ප්‍රදේශය blade එකකින් කපල තිබ්බ කතන්දරයක්….මේවා ඉතින් කරන අය පොඩ්ඩක් මුල්ලේරියාව පැත්තට visit එකක් දාලා ආවොත් හොඳයි කියලා මට හිතෙන්නේ….!!!!

පරිණාමයෙන් අපි බිහිවෙන නිසා තිරිසන් ලක්ෂණ අපිට කාන්දු වෙලා තියෙන්න පුළුවන්…. ඒත් අපි තමා මිහිපිට ඉන්න බුද්ධිමත්ම සත්ව කොට්ඨාශය…. අපිට තියෙනවා ආගම් කියල දෙයක්…. ආගමයි, බුද්ධියයි එකට එකතුකරලා අපිට පුලුවන් වෙන්න ඕනෑ අපෙ ඇඟේ ඉන්න තිරිසනා යටපත්කරන්න…. ඒකට හැමදාම පන්සල්, පල්ලි, කෝවිල් යන්න ඕනෑ නැහැ…. වඩා වැදගත් වෙන්නේ ඒ දර්ශනයන් හොඳින් වටහාගෙන ජීවිතයට ඈඳා ගැනීමයි….

බස් එක කියන්නේ ලිංගික හිංසන පීඩනවලට කියාපු පාරදීසයක්…. සමහරු හෙමින් සැරේ අත අල්ලනවා විරුද්ධ ලිංගිකයන්ගේ…. ඒක වැරදීමකින් වුන එකක්නම් කමක් නැහැ…. ඒක ඉතින් අවංකවම දන්නේ හිත තමයි!!!…. සමහරු කොනිත්තනවා… සමහරු සංවේදී ස්ථාන ස්පර්ශ කරන්න වෑයම් කරනවා….

පෙම්වතුන් පවා අසභ්‍ය විදිහට හැසිරෙනවා නොයෙකුත් අවස්ථාවල….ඒ අයට අමතකයි  තමන් ඉන්නේ මහ සෙනඟක් මැද්දේ බව…. තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය මහ සෙඟක මැද්දේ අපහසුතාවයට පතකරන වැඩ කරනවනම්, එතැන සැබෑ ආදරයක් නැහැ… ආදරය කියන්නේ හුදු ලිංගික ගණුදෙනුවක් නෙමෙයි…. එතැනදී තමන්ගේ සහකාරියගේහෝ සහකරුවාගේ ආත්ම ගෞරවය ගැනත් හිතිය යුතුමයි….  මට හිතෙන්නේ ඒක සැබෑ ආදරයක ප්‍රධාන ලක්ෂණයක්…. ඒ දේ වටහගෙන ආදරය කරනවනම් ගොඩක් මේ ඛේදාන්ත නතරවේවී….!!!

දැන් බස්  එක රාජගිරියට ආවා…. මට තව යන්න තියෙන්නේ විනාඩි 15 ක් වගේ දුරක් ඒත් බස් එක මෙතැන විතරක්ම විනාඩි 10 ක් නතරකරගෙන සෙනඟ කරගන්නවා…. මෙතැන්දි තමයි ඇඟේ මාළු නටන්න පටන්ගන්නේ…. කොහමත් බස් එක ඇතුලේනම් අපි හරියට සාඩින් වගේ කරලා තියෙන්නේ….

බස් එකේ සමහරු නිදි…. සමහරුන්ගේ ඔළුව ගිහිල්ලා අනික් පැත්තෙ එක්කෙනගේ උරහිසේ පතිතවෙනවා…. සමහරක්විට එයත් දොයි…. සමහරු හිටගෙනත් බුදි…. සමහරු දුරකථනවලින් “මල් කඩනවා”… තව සමහරු ” volkman ” එකෙන් සින්දු අහනවා…. සමහරු පොත් කියවනවා…. සමහරු හෙන හයියෙන් හිවෙවී කතාවක…. මට මෙහෙම හිතුණා එවෙලේ….

මේ විදිහට සමගියෙන් ඉන්න මිනිස්සු නේද කිසිම කමකට නැති බෙදීම්වලට ලක්වෙලා ගැටළු ඇතිකරගන්නේ…. මිනීමරාගන්නේ…. අපි අඩුම ගාණේ දන්නේ නැහැ අපි ලඟින් ඉඳන් ඉන්න හරි හිටගෙන ඉන්න හරි මනුස්සයගේ ආගම, ජාතිය, කුලය ගැන මුකුත්…. ඒත් අපි අතර ගැටුමක් නැහැ…. ඔලුවෙ පොල්තෙල් ගාපු, hair gel ගාපු,  hair cream ගාපු අය හැමෝම මේ බස් එකේ යනවා…. නමුත් අපි නොගැලපීම් හොයනවද??? බස් එක ඇතුලේ හැමෝම එකම කුලකයේ…. ඒ කියන්නේ ඒ හැමෝම අයත්වෙන්නේ ” බස් රථයේ මඟීන් ” කියන කුලකයට….

අපේ ” ගිරා පෝතක ” අධ්‍යාපනයට පින් සිද්ධවෙන්න කිලෝ ගණන් බර පොත් බෑග් උස්සගෙන හිටගෙන යන නංගිලා මල්ලිලාගේ බෑග් එක, වැඩ ඉවරවෙලා ගෙදර යන අයගේ ගමන් මළු පවා ඉඳන් ඉන්න කෙනෙක් අතට ගන්නවා…. ඇයි ඒ???? එතැන තමා මනුෂ්‍යත්වය මතුවෙන්නේ…. ඇයි අපිට මේ දේ බස් එකින් පිට සමාජයෙත් කරන්න බැරි????… එහෙම කලානම් මෙලහකට මේ ඔඩු දුවලා තියෙන ප්‍රශ්න රාශියක් විසදිලා ඉවරයි….

දැන් මං මගේ ගමනාන්තයට ඇවිල්ලා… බෑග් එකත් අරගෙන මම අමරුවෙන් සෙනඟ අතරින් ආවා footboard එක ළඟට…. බස් එකේ bell එක ගහලා මම footboard  එකට බැස්සා….. බස් එක නැවත්තුවත් එක්කම මං බස් එකෙන් බැස්සා… මං බැස්සත් එක්කම බස් එක ආයේ පටන්ගත්තා  race එක….

මේ බස් එකේ සමහරවිට මං ආයෙත් යාවී…. සමහරවිට කවදාවත් නොයාවී…ඒ බස් එකේ හිටපු උදවිය සමහරක්විට හෙටත් මට හමුවේවී… නැතිනම් හමුනොවෙන්නත් පුලුවන්…. ජීවිතේ වගේ…. අද අපිත් එක්ක ඉන්න සමහරු හෙට අපේ ජීවිතයේ නැහැ…. සමහරු හෙටත් ඉඳිවී…. සමහරු සදහටම වෙන්වේවී…. මේක තමයි ජීවිතේ…. අපේ හෙට දවස ගැන කාටවත්ම කලින් කියන්න බැහැ…. හොඳම දේ තමයි අපි ඉන්නා ටික කාලයේ මනුෂ්‍යයෙකු ලෙස හොඳින් ජීවත්වෙන එක…

බස් එකත් එක්තරා විදිහක නිලනොලත් සරසවියක්… අපි ගමන් කරන පාරත් එක්තරා විදිහක සරසවියක්…. පතපොතින් ඉගෙනගන්න බැරි කාරණා ගොඩක් මේ තැන්වලින් අපිට ඉගෙනගන්න පුලුවන්…. සමහරක්විට න්‍යායාත්මකව අපි ඉගෙනගන්න දෙයට වඩා මේ දේවල් ජීවිතය විදින්න ඒවගේම මේ සමාජය තුළ සැරිසරන්න රුකුලක් වෙනවා….

ඒකෙන් මං අදහස්කරන්නේ නෑ අනික් දේවල් අනවශ්‍යයි කියලා…. ඒවත් අවශ්‍යයි…. ඒත් මේ වගේ දේවල් ජීවිතයට ළංකරගන්න එක වටිනවා…. මොකද මනුෂ්‍යයෙකු ලෙස ඉපදිලා මනුෂ්‍යයෙකු ලෙස මෙලොව හැරයන්න මේ දේවල් අපි ජීවිතයට එකත්කරගෙන ඉන්න ඕනෑ….

අමතක කරන්නෙපා… මේවගේ ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් නිලනොලත් සරසවි අපේ අවට ඕනෑතරම් තියෙන විත්තිය…. ඒ දේවල් ඉගෙනගන්න ලොකු Z-Score වත් ලොකු බුද්ධිමතෙක් වෙන්න ඕනෑ නෑ…. එකම අවශ්‍යතාවය ඔබ උත්පත්තියෙන් මනුෂ්‍යයෙකුවීමයි…

මං මගේ ගෙදර තියෙන අතුරු මාර්ගයට ඇවිදගෙන ඇවිල්ලා හැරුණා…. මට අන්තිමට මෙහෙම හිතුණා…

” බස් එකත් මාරයි ”


 

Permalink ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඉපදීම හා බෙදීම (1)…

සැප්තැම්බර් 30, 2011 at ප.ව. 3:57 (සමාජ ඇසෙන් කතාවක්...) (, , , , , , , , , )

පොඩි උන් ගිරිය පුප්පලා කෑගහන්නේ බඩගින්නටම නෙමෙයි වෙන්න ඇති....

ඉපදීම හා බෙදීම… අරුම පුදුම මාතෘකාවක් වගේ පේන්නේ බැලූ බැල්මට…. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක දැම්මේ මාතෘකාවක් නැතිකමට කියලා… ඒත් ඇත්ත කතාව තමා මේ දෙන්නා අතර පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා…. හරියට පෙම්වතියයි පෙම්වතයි වගේ….

මේ වචන දෙකේ සම්කර්පණය ( හාත්පස සම්බන්ධය ) පෙන්වන්න ඕනෑ තරම් නිදසුන් මේ සමාජයෙන් හොයගන්න පුලුවන්…. මෙතැන් පටන් ලියවෙයි තරමක් දීර්ඝ ලිපි මාලාවක්…. මොකද මේ සම්බන්ධය එච්චරටම විග්‍රහ කරන්න පුළුවන් නිසා….

මං මේ ලිපි මාලාව අවධි 3 කට බෙදා වෙන්කරන්න කැමතියි….

  • ළඳරු වියේ බෙදීම.
  • මොන්ටිසෝරියේ සිට තාරුණ්‍යය දක්වා බෙදීම.
  • විවාහය හා ඉන්පසු බෙදීම.

මුල්ම ලිපියේ සාකච්ඡාවට ගමු ළඳරු වියේ බෙදීම ගැන….

ඉපදීම…. මාස 10 ක් මව්කුස තිබුණු කළලයෙන් පොඩි මනුෂ්‍ය ආත්මයක් බිහිවෙනවා…. වෛද්‍යවරයා මව් කුස තුළ කිරිමැටි ගොඩක ඉන්නවා වගෙ ඉන්න දරුවා එළියට ගන්නවා….

ඔය අස්සේ නර්ස් නෝනා දුවගෙන යනවා වින්නඹු කාමරේ දොර ගාවට… ඒ දොර ගාව තාත්තා හරි වැඩිහිටි කෙනෙක් හරි ඉන්නවා කොළේකුයි,පෑනකුයි තියාගෙන…. ඔර්ලෝසුවට ඇස් තියාගෙන….

“මේ…. වෙලාව ලියාගන්න…. දරුවා ලැබුණා…” නර්ස් නෝනා කියනවා…..

ඔන්න ඉපදුණාට පස්සෙ පළවෙනි බෙදුම වුණා…. ඇහැටවත් නොපෙනෙන ග්‍රහ තාරක මණ්ඩලයකින් දරුවා වෙන්කලා ලග්නෙකට…

ඕන් දැන් ඒ ළමයට පුළුවන් ජීවිත කාලය පුරාවට පත්තරේ තමන්ගෙ ලග්නෙට බෙදා වෙන්කල  තීරුව කියවන්න….

ඔය අතරේ අර ඉපදුණු දරුවා හෝදනවා කට්ටිය එකතුවෙලා…. එතැනත් වලි….

” අනේ මං හෝදන්නම් මේ බෝලෙව “ නර්ස් නොනාලා රණ්ඩුවෙනවා…. එතැනත් බෙදීමක්….

කොහමෙන් කොහොමහරි ඔන්න ළමයා හෝදලා ලස්සන රෙද්දක ඔතලා අම්මා ගාවට ගේනවා….

” මේං අම්මට ලස්සන පුතෙක්” නැතනම් ” දුවෙක්”

ඒක මව් කුස තුලම සිදුවන බෙදීමක් උත්පත්තියට කලින්ම….ඒ බෙදීම කරන්නේ ස්වභාධර්මයා…. ඕක ඒවිදිහට නොවුනොත් මිනිස් වර්ගයාගේ පැවත්මක් නෑ….

එක අතකින් බෙදීමෙන් නරක විතරක් නෙමේ හොඳකුත් තියෙනවා….

නමුත් ඔය ලිංග භේදය නිසා මිනිස්සු මවාගත්ත ගැටළු තියෙනවා…. ඒවා ගැටළු නෙමෙයි…. ලෝක ගැටළු.… අපි ඒ ගැන පසු ලිපිවල සාකච්ඡා කරමු….

ඔන්න දැන් එනවා අම්මගේ පැත්තෙන් වගේම තාත්තගේ පැත්තේ සනුහුරේ අලුත් අමුත්තව බලන්න…. ඔතන තම ලෝක යුද්දේ ඇතිවෙන්න පොඩි එකාව බෙදාගන්න බැරිව….

අම්මගේ පැත්තේ අය කියනවා ” අනේ ලස්සන පැටියා, ඇරපු අතක් නෑ අම්ම වගෙමයි. බලන්නකෝ මුහුණ කට එහෙම…. අම්මගෙම තමා”

ඔන්න තාත්තගේ පැත්තේ අයට මේක දිරවන්නේ නෑ…” නෑ නෑ…. පැටියා තාත්තා වගෙ…. බලන්න්කො පාට… බලන්න්කො ඇස්….. තාත්තම තමා”

බලන්යනකොට පොඩි එකාට තමන්ගේ අනන්‍යයතාවයක් ඇත්තෙම නෑ…. ඌ හරියට ආනයනයකල  මෝටර් රථ  අමතර කොටස්වලින් ( Spare Parts ) සම්පූර්ණයෙන්ම හැදිලා වගේ…. උගේ ඇඟේ කිසිම කොටසක් ඌට හිමි නෑ….

එක පැත්තකින් යම් දුරකට කතාව ඇත්ත තමා…. නමුත් 100% ක් නෙමෙයි…..

මට වෙලාවකට මෙහෙමත් හිතෙනවා…. පොඩි උන් ගිරිය පුප්පලා කෑගහන්නේ බඩගින්නටම නෙමෙයි වෙන්න ඇති…. උන් මේ අවනඩුව උන්ගේ භාෂාවෙන් අපිට කෑගහල කියනවා ඇති… ඒත් කරුමෙට පොඩි අයගේ භාෂාව මහ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ….. ඒහින්දා අකමැත්තෙන් හරි උන් විඳගන්නවා ඇති…. ඒත් උනුත් ලොකු මිනිස්සු වුණාම ඔය ටිකම තමා කරන්නේ….

ඔන්න දැන් ඊළඟ බෙදීමේ පියවර….

උප්පැන්න සහතිකය….

ඕක හරියට ලිව්වෙ නැත්නම් ඉතින් ජීවිතේම ඉවරයි…. ඉස්කොලේ යන්න, කසාදෙට පරම්පරා ගලපන්න, දේපල බෙදන්න….

අප්පේ!!!! වැඩ කෝටියකට ඕක ඕනි…

ඒකේ තියෙනවා අපිව බෙදන නිර්නායක ගොඩක්…..

පෙළපත් නාමය, ආගම, ජාතිය…..

මෙව්වා අපි ඉපදෙනකොට ගෙන ආපු ඒවා නොවේ…. මිනිස්සුම හදාගත්ත සංකල්ප….. ඉතින් අපිට ඒ අනුව බෙදෙන්න වෙනවා….

ඕන් ඉතින් ඉපදුණු දරුවා දැනටමත් බෙදුම්වාදයට සම්බන්ධවෙලා ඉවරයි…. කොහමෙන් කොහමහරි පොඩි එකා ගෙදර යනවා දෙමව්පියො එක්ක…. ජීවිතයට මුහුණ දෙන්න….

ඕක තමා ළඳරු වියේ බෙදීම….

ඊට පස්සෙ තමා හොඳම බෙදිල්ල පටන්ගන්නේ….

අපි ඒ බෙදිල්ල ගැන ඊළඟ ලිපිවල සාකච්ඡා කරමු….

Permalink ප්‍රතිචාරයක් ලබාදෙන්න