අවසරයි පොඩිහාමුදුරුවනේ….

ඔක්තෝබර් 12, 2011 at ප.ව. 2:10 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , , , )

" මඩ ගොහොරු සමාජයේ සියපතක් සේ පිපී දහමේ ගැඹුරු සැබෑ අරුත වටහාදෙන්නට ඔබවහන්සේට හැකිවේවා!!!!! "

ළපටි දෙනෙත් පුස්තකයට යොමුකර පොඩිනම කල්පනාබරව මෙනෙහි කරන්නේ උන්වහන්සේ සතුව ඇති උදාර වගකීම වියයුතුය… හතරවරිගයම සසරෙන් එතෙරකරන්නට පොඩිනම සුදානම්ය…

ඇතැම්විට පොඩිනම ඔබ ඉදිරියේ සුරතල් සිඟිති හඬින් උන්වහන්සේ අවබෝධකරගත් ධර්මය දේශනා කරනු ඇත….. එයට සවන් දෙන්න…. මඟහරින්නට එපා….

අපේ බොහෝ දෙනා ගාථා, සුත්‍ර,පාලි පාඨ දැන සිටියත් එහි සැබෑ අරුත දන්නේ කීයෙන් කීදෙනාද….

සමහරු ආගම දහම අදහන්නේ මොස්තරයටය….. සමහරු අදහන්නේ උප්පැන්න සහතිකයේ ආගම සඳහන්වී ඇති නිසාය…. සමහරු අදහන්නේ වෙනත් වාසිතකාය…. හොඳම උදාහරණය රට කරවන අපේ ඇත්තන්ය….. ඒ අයට හොඳින් ගාථා, සුත්‍ර,පාලි පාඨ කටපාඩම්ය…. සිව්පසේ පිහිටුවා වැඳනමස්කාර කරන්නට පුළුවන…. මල්වට්ටි උස්සගෙන යන්නට පුලුවන…. නමුත් ඔවුන් ඒවායේ අරුත දන්නේ නැත….

ගිරා පෝතකයෝ මෙන් සියළුදේ මුමුණා….. ආගමික සිද්ධස්ථානවලින් පිටට බැස ගිනිඅවි අතට ගනිති…. වෙඩි තියාගනිති…. නිස්කාරණේ මිනිස් ජීවිත විනාශකරති…. ඔවුන් ආගමද දේශපාලන වෙළදාමේ යෙදෙති….අපේ බහුතරයක් දෙනා නොදැන හෝ දැන ඒ දේවල්වලට පණ නැති කතිරයෙන් සහය දෙති…. අවසානයේ විඳවති….

ඇතැම්විට මේ පොඩි නම ඒ දේවල් මැනවින් අවබෝධකරගත්තා විය හැකිය….. ඒ නිසා උන්වහන්සේට ඇහුම්කන්දෙන්න….

පොඩිනම ශරීරයෙන් කුඩාය…. බොහොම කුඩාය…. එහෙත් සිත ඉතාමත්ම පිරිසිදුය….. දිය උල්පතකින් නැඟෙන ජල බිඳුවක් තරම් පිරිසිදුය…. සෙල්ලමට හිත ගියද අවබෝධය ඉහල මට්ටමක විය හැකිය…. ඒ නිසා අපට වඩා උන්වහන්සේ දහමේ අරුත විනිවිද දකිනවා ඇති…. ඉතින් ඇයි අපි උන්වහන්සේට සවන් නොදෙන්නේ?????….

වයසින්, ගතින් කුඩාවූවත් ඉගෙනගැනීමට දෙයක් ඇත්නම් අපි එය නොපැකිලිව ඉගෙනගනිමු…. ” මනුෂ්‍යයෙකු සේ ඉපිදී, මනුෂ්‍යයෙකු සේ මෙලොව හැරයන්නට” එය ඔබට මහඟු සේ උපකාර වෙන්නට පුළුවන…. “දැනෙනවද ඔබට….” එය????….

අපේ පොඩි හාමුදුරුවනේ!!!! ගතින් වැඩෙනවත් සමඟ ඔබ වහන්සේගේ දහම පිළිබඳ දැනුම තව තවත් වැඩිවේවා….!!!! මොස්තරයට ආගම අදහන උදවිය ඉන් ගලවාගන්නට ඔබවහන්සේට හැකිවේවා!!!! සමාජයේ වැරදි සිදුවනකල ඒ දෙස බලාසිටීම වෙනුවට ඒ දේවල්වලින් මිනිස් සංහතිය ගලවාගන්නට ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා!!!!

මේ දුර්ජන වූ මඩ ගොහොරු සමාජයේ සියපතක් සේ පිපී දහමේ ගැඹුරු සැබෑ අරුත සකල සත්වයින්ට වටහාදෙන්නට ඔබවහන්සේට හැකිවේවා!!!!!

සාධූ!!!! සාධූ!!!! සාධූ!!!!

තිරසබැඳිය ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඉතින් කොහමද….

ඔක්තෝබර් 10, 2011 at ප.ව. 5:06 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , , , , , , )

" මේ මිත්‍රයා මාව හැරයන්නේ නැතිවේවී කවමදාවත්.... "

එදා campus එකේ වැඩිය වැඩක් තිබ්බ දවසක් නෙමෙයි…. ඉර මුදුන් වෙන්න කලින් lectures අවසන්වුණා…. ඉතින් අද කලින් ගෙදර යන්න පුලුවන්…. මට හිතුණා…. Notes වල photocopyයකුත් ගහගෙන මං ගෙදර යන්න ආවා ප්‍රධාන ගේට්ටුව දිහාවට…. ඒත් අද මාත් එක්ක යන ගමන් සගයා නැහැ…. මිනිහට මොකද්ද වැඩක් කියලා මිනිහා ගියා නුගේගොඩ….. මං යන්න ඕනෑ කොස්වත්තට…. ඒ හින්දා මං එදා ගියේ තනිවම….

Campus එක ළඟ පාර oneway එකක්….. පාරත් හොඳයි….. ඉතින් වාහන එන්නේ පිඹගෙන පාර පුරාම….. කහ ඉර තියෙන්නෙ ගෙට්ටුවේ ඉඳන් 50m ක් විතර දුරින්…. සාමාන්‍යයෙන් ඉතින් අපි ඔය කහ ඉරෙන්ම පාර පනින්නේ නැහැ…. Signal light එකේ රතු වැටුණු ගමන් ටක්ගාලා පාර පැනගන්නවා ගේට්ටුව ඉස්සරහින්ම….

ඉතින් මමත් ගමන slow කරල ආවා ගේට්ටුව පහුකරලා පාර අද්දරට…. මං කලින් කිව්වා වගේම පාර පුරා වාහන යනවා…. කරුමෙට හරි ඉතින් පාරට වැටුනොත් පාංශුකූලේ දීල තමයි නතරවෙන්නේ…. අපේ අයටත් oneway,highway පේන්න බැහැනේ….. පාගනවා ලෑල්ලටම…. හැබැයි ඒක වැරැදි නෑ…. මොකද මං හිතනවා පෞද්ගලිකවම ඒවගේ පාරවල්වල ටිකක් හයියෙන් යන එක වැරැද්දක් නැහැ කියලා….. ගොඩක් වෙලාවට යන්න පුලුවන් පාරවල්වල ඉබි ගමනින් යන වාහන හින්දා තමයි traffic එක වැඩිවෙන්නේ…. නමුත් ඉතින් රි‍යැදුරන් වගකීමෙන් හා පරිස්සමෙන් වාහන එලවනවනම් ගොඩක් හොඳයි…. එහෙම එලවනවනම් මේ පාරවල්වල අනතුරු ගොඩක් වලක්වගන්න පුලුවන්…..

රතු එලිය වැටුනා…. මාත් ඉතින් පාර පැනගත්තා… හැබැයි ඒත් විමිසිලිවත්ව….. මොකද සමහර රියැදුරු මහත්වරුන්ට accelator එක  තියෙන්නෙ කොහෙද කියල මතක තිබ්බට break එක කොහෙද කියල මතක නැහැ…. එහෙම බහුතරයක් තමන්ගේ වාහනේ නතරකරගන්නේ එක්කො තව වාහනයක හප්පගෙන  නැත්නම් ගහක, තාප්පයක හප්පගෙන එහෙමත් නැතිනම් තව කාව හරි යටකරගෙන ගිහිල්ලා….!!!! ඉතින් මොකද අපි විහින් නැහෙන්නේ???? මාර්ග සංඥා තිබ්බට මොකෝ විමසිල්ලෙන් පාරේ යන එක කොයි එකටත් ගුණයි…..!!!!

” හ්ම්….. 138 නැඟලා glasshouse බහිනවද??? පයින්ම glasshouse යනවද???? නැත්නම් කොල්ලුපිටියටම walk එකක් දානවද???? ” මං මගේ හිතෙන් ප්‍රශ්නකලා…. අද හොඳට අව්ව තියෙනෙ එකේ, ඒවගෙම ගෙදර ගිහින් මහ වැඩක් ( practical report එකක් ලියන්න නැති නිසා )කරන්න නැති නිසාත්, ගමන් සගයා නැති නිසාත්, ඇඟට හොඳ ව්‍යායාමයකුත් ලැබෙන නිසා මං තීරණය කලා පයින්ම කොල්ලුපිටියට යන්න….. මොකද කොල්ලුපිටියෙන් 177 ට නැගගත්තොත් මට ගමනාන්තය වෙනකන් පහසුවෙන් ඉඳගෙන යන්න පුලුවන් දෙයියනෙගේ පිහිටෙන්….

ඔන්න මං පටන්ගත්තා මගේ සක්මන රහීමා එක පැත්තෙන් කොල්ලුපිටිය දිහාවට…. අද ගමන් සගයා නැති එකේ කවුරුත් නැහැ කදයක් දාන්නවත්…. කලින් වැඩ ඉවරවුණාට මොකද හෙන කම්මැලියි දවසම…. මං ඉතින් එනවා ගස්වල හෙවණ යටින්… හොඳ සුළං පොඳකුත් එනවා…. පරිසරය සෞම්‍යයි…. ඉරත් එච්චර සැරට නැහැ…. එකම අඩුපාඩුව කවුරුත් නැති එක දොඩව දොඩව යන්න…. ජීවිතෙත් ඉතින් හැමදේම එක පාර සම්පුර්ණ වෙන්නෙ නැති එකේ ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි කියලා මට හිතුණා…එහෙම හිතෙනකොටම මට ඇහුණා කටහඬක් මගේ වම් අත පැත්තෙන්…..

” Hello  මචං!!!!…. කොහමද???? ”

” අඩෝ!!! සෑහෙන කාලෙකින්…. හොඳයි මචං…. ඉතින් කොහමද උඹට???? ”

” උඹ සෑහෙන්න වෙනස්වෙලා…. සෑහෙන කලෙකින් කතා කලට මං නම් උඹව හැමදාම දකිනවා මචං ”

” මං  විතරක්ද????උඹත් සෑහෙන්න වෙනස්වෙලා…..  සිරාවට???? ඉතින් ඇයි බං උඹ මාත් එක්ක කතා නොකලේ… ඇවිල්ල කතාකරන්න එපැයේ මචං ”

” උඹත් එක්ක කතාකරන්න යන හැමවෙලවකම  උඹට මොකක් හරි වැඩක් වැටෙනවා මචං…. ඉතින් උඹට disturb කරන්න හොඳ නැති නිසා මං එකෙ කතා නොකර ඉන්නවා” මගේ මිතුරා මට සිනාසී කිව්වා…

” අනේ බං, මේ දවස්වල පුදුම විදිහට busy මචං…. ”

” ආහ්!!!! අවුලක් නැහැ මචං, මං ඒක දන්නවා ” නැවතත් ඔහු සිනාසුනා….

කාලෙකට පස්සේ ළඟම මිතුරෙක් හම්බවෙලා කුළුපඟ කතාබහක යෙදෙන්න ලැබෙන එක ගැන මං උද්දාමයට පත්වෙලා උන්නේ…. දැන් නම් ඉතින් කිසිම තනියක් නැහැ… මොකද මේ මිත්‍රයා දැන් මගේ ගමනාන්තය දක්වාම එන බව මං දන්නවා….

අපි ඔය කතාබහ අස්සේ රහීමා එක ගාවට ලංවුනා….

” මචං මොකෝ කියන්නේ???? මොනවහරි කාලා plain tea එකක් ගහල යමුද???? ” මං ඇහුවා…..

” එළ… යමං….” මිතුරත් එක පයින්…

දෙන්නම ගියා රහීමා හෝටලයට…. Counter එක කිට්ටුවෙන්ම තියෙන මේසෙක ඉඳගත්තා දෙන්නම….. මෙච්චර වෙලා මගේ වම් පැත්තෙන් ආපු මිත්‍රයා මගේ දකුණු අත පැත්තේ ඉඳගත්තා…. මෙතැනට මුළු හෝටලයම පේනවා…. එදා වැඩිය සෙනඟක් උන්නේ නෑ…..

” මොනවද මචං කන්නේ?”මං ඇහුවා….

” උඹ කැමති දෙයක් ගෙනෙන් මචං” වේටර් අය්යා ආවා එතැනට ඒ වෙලාවේ…..

” මොනවද ඕනෑ????”

” Shorteatsයි,ප්ලෙන්ටියි ගෙන්න ” මං කිව්වා…..

” Shapeනෙ මචං” මං වේටර් අය්යා ගියාට පස්සේ මිත්‍රයා දිහාවට හැරිලා ඇහුවා….

” ඕනි දෙයක් බං ” ඔහු ම්ට කිව්වා….

ඇණවුම අරන් එනකන් මගේ ඇස් එහෙ මෙහෙ යන්න පටන්ගත්තා හෝටලය පුරාම….. මිනිස්සු එක එක දේවල් ඇණවුම් කරලා ආහාර ගනිමින් ඉන්නවා….. සමහරක් අය ආහාරයට ගන්නේ තමන් කැමති දේ වෙන්න පුලුවන්…. සමහරක් අය ආහාරයට ගන්නේ තමන් කැමති දේ නොවෙන්න පුලුවන්….ඔය හැමදේටම පොදු සාධකය වෙන මුකුත් නෙමෙයි ආහාරයේ මිල….

ඇත්තටම සමහර මිනිස්සු ආහාර ගන්නේ කුස පුරවගන්න මිසක් ඒක රස විඳින්න නෙමෙයි…… ඒක තමා ඇත්ත කාරණේ….අපි පොඩි කාලයේ ඉගෙනගත්ත සෞඛ්‍ය පතපොතේ තිබ්බේ ආහාර ගන්නකොට රස විඳින්න ඕනෑ කියලා….. නමුත් මේ marketing ලෝකේ ඒවට ඉඩක් නෑ….

ඒ න්‍යායාත්මක කාරණා මේ ලෝකය තුල practical නෑ…. වතුර වීදුරුවකින් හරි කුස පුරවගෙන මිනිස්සුන්ට සිද්ධවෙලා තියෙනවා ජීවිතේ වෙනුවෙන් සටන් කරන්න….

” ජීවිත සටන “…. චාල්ස් ඩාවීන් පරිණාමවාදය ඉදිරිපත්කරන්න ඉස්සෙල්ලා මේවා දැක්කද මන්දා???? මොකද ඒ තරම්ම ඒ න්‍යායාත්මක කාරණා අපෙ ජීවතත් එක්ක බැඳිලා තියෙන නිසා…

සමහරවිට මේ අයට මේ සටනකරන්න වෙලා තියෙන්නේ තමන්ගේ ජීවිතෙ වෙනුවෙන් විතරක් නෙමෙයි…. සමහරවිට ඒ කීපදෙනෙක් වෙනුවෙන්…. ඒ හින්දා මිනිස්සුන්ට සිද්ධවෙලා තියෙනවා තමන්ගේ කැමැත්ත කැපකරන්න අන් අයගේ සතුට වෙනුවෙන්…. හොඳම උදාහරණය තමයි දෙමව්පියන්…. ඒ අය තමන්ගෙ ඕනෑ සතුටක් කැපකරන්න සුදානම් තමන්ගේ දරුවන් වෙනුවෙන්….

මං එතැන දැක්ක සිදුවීමක් මෙතැන සටහන්කරන්න කැමතියි….. එතැන හිටපු මහත්තයෙක් ප්ලේන්ටියකුයි, පරාටේ රොටියකුයි ඇණවුම් කලා…..වේටර් අය්යා ඇහුවා කරි ඕනෑද කියලා… “නැහැ මට ලුණු ටිකක් ගෙනැල්ල දෙන්න” කියලා ඒ මහත්මයා කීවා…. මාත් පුදුමෙන් බලාඋන්නා…. ඒ දිහා…. ඇත්තටම මට ඇතිවුණේ කුහුලක්…. සාමාන්‍යයෙන් මං අනික් අය කරන් දේවල් දිහා විපරමෙන් බලන් ඉන්නේ නැහැ…. ඒත් මේ පුද්ගලයා දිහා මං හොරෙන් බලා උන්නා…..

ප්ලේන්ටියයි, පරාටේ රොටියයි, ලුණු කුප්පියකුයි ඒ මහත්තයට ලැබුණා… ඉස්සෙල්ලම තේ උගුරක් බිවවා ඒ මහත්මයා…. ඊට පස්සෙ ලුණු කුප්පියෙන් ලුණු ඉහලා ඒ මහත්මයා පරාටේ එක කන්න ගත්තා!!!!!…. අපේ රටේ තරු පහේ හෝටල් වල දවසකට කොච්චර කෑම අපතේ දානවද…. ඒවගේම ඊට සාපෙක්ෂව කීදෙනෙක් මේ විදිහට තමන්ගේ වේල පිරිමහගන්නව ඇත්ද???

සමහරවිට මේ තාත්තෙක් වෙන්න පුලුවන්…. තමන්ගේ දරුවන්ගේ කුස පුරවන්න තියෙන වගකීමට ඒ මහත්තයට බඩ පිරෙන්න කැමතිදෙයක් කන්න බැරිව ඇති…. කරියක් ගත්තොත් එතැනට වියදමක් යනවා…. එතකොට දරුවන්ගේ අවශ්‍යතාවය සපුරන්න එයාට බැරිවෙනවා…ඒ හින්දා ඒ තාත්තා තමන්ගේ බඩගින්න දන්දෙනවා….. එහෙමත් නැත්නම් ඉවසනවා ඒ කැපකිරීමට….

සමහරවිට දරුවෝ දන්නෙත් නැතුව ඇති තාත්තා තම්න් වෙනුවෙන් කරන කැපකිරීම…. මොකද තාත්තා හවසට ගෙදර යන්නේ ඒ දරුවන් වෙනුවෙන් කන්නට යමක් අරගෙන…. දරුවන් ඒක භුක්ති විඳිනකොට ඒ තාත්තාගෙ මුහුණේ හසරැල්ලක් මතුවෙවී…. ඒ හසරැල්ලට පුලුවන් තමන් වින්ද දුක වසන්න…. ඇත්තටම බාහිරෙන් බලන කෙනෙක්ට ඒක පේන්නේ නෑ….. ඒක තමා ඇත්ත කාරණේ…
මටවත් නොදැනිම සුසුමක් පිටවුණා….

” මාත් දැක්කා මචං……” මගේ මිතුරා මට කිව්වා….

” ඔව් මචං…. සිරාවට මට දුකයි ඒ මනුස්සය ගැන… මගේ අතේ අද එච්චර ගාණක් නැහැ මචං… තිබ්බනම් කරියක් අරන් දෙනවා….”

” මචං උඹ මේ මනුස්සයට අද කරියක් අරන් දේවී…. ඒක හොඳයි….. ඇත්තටම හොඳයි…. ඒත් හෙට වෙන්නෙත් ඔය දේමයි….. මේ marketing ලෝකේ හැටි එහෙම තමයි මචං…. මේ වගේ කොච්චර අය මේ ලෝකේ ඇත්ද…..”

” ඒකනම් ඇත්ත මචං….” මම තවත් සුසුමකින් කිව්වා….

ඒත් එක්කම් අපේ ඇණවුම අපිට ලැබුණා….. හිතේ තිබ්බ කලබලයත්, මේ දැක්ක දෙයත් නිසා මට ඕනෑ වෙල තිබුණේ මෙතැනින් ඉක්මණට පිටවෙන්න…. ඒ හින්දා ඉක්මණින්ම කර්තව්‍ය අවසන්කලා… තරමක බිලකුත් වැටුණා…. Bill එකත් ගෙවලා වේටර් අය්යට tip එකකුත් තියලා අපි දෙන්න ඉකමණින්නම් එතැනින් පිටවුණා…

දැන් අපි දෙන්න ආයෙත් පාරේ… මගේ මිත්‍රයා මගේ වම් පැත්තෙන් ආයෙත් ගමන්කරනවා….

” ජීවිතේ මාරයි නේද මචං ” මගෙ මිත්‍රයා කතාව ආරම්භකලා…..

” ඒකනම් ඇත්ත මචං ”

” සමහරක්වෙලාවට අපි ඇස් දෙකෙන් දකින දේවල් ඇත්තටම ඇත්ත නෙමෙයි ”

” ඒ කිව්වේ???? ” මං පුදුමෙන් ඇහුවා….මොකද මට ඒ දේ හරියට වැටහුණේ නැහැ….

” මිනිස්සු එලිපිට හිනාවුනාට, සතුටුවුනාට සමහරවෙලාවට ඒ මිනිස්සුන්ගේ හිත අතුලේ තියෙන්නේ මහ දුකක්… ඇත්තම කිව්වොත් ඒ අය පිටින් හිනාවුනාට හිත ඇතුලෙන් සෑහෙන්න වැලපෙනවා ”

මං ආයේ කල්පනාවට වැටුනා මගේ මිත්‍රයා කී දෙය ගැන හිතන්න…. ඔව් ඇත්ත තමයි…. ඇත්තටම ඒකට ඕනෑ තරම් සාක්ෂි තියෙනවා සාමන්‍ය ලෝකයේ…

උදේට මිනිස්සු කොච්චර ප්‍රශ්න කන්දරාවක් තියන් රස්සවට යනව ඇත්ද???? ඒත් ඒවා රැකියාව කරන ස්ථානයට වලංගු නැහැ….. තමුන්ගේ හිත ඇතුලේ මොන විදියෙ ප්‍රශ්නයක් තිබ්බත් ඒක යටපත්කරගෙන මිනිස්සුන්ට වෙලා තියෙනවා හිනාවෙන්න….

මේ marketing ලෝකයේ හිනාව කියන්නේ හොඳ වෙළඳ භාණ්ඩයක්…. ඒත් කඳුලට market එකක් නැහැ…. ඒහින්දා අඬන්න ඕනෑ වුනත් ඒ මිනිස්සුන්ට සිද්ධවෙනවා ඒ කඳුලුවලට හිත අතුලේ වැලපෙන්න බලකරන්න….

ටෙලිනාට්‍යයකට, චිත්‍රපටියකට, වේදිකා නාට්‍යකට හෝ වීදි නාට්‍යයකට විතරක් හැඬුම සීමා කරන්න මිනිස් සමාජය ස්වයංවාරණයක් පනවගෙන….. ඒත් ඒ එතැනදී කඳුලට marketing value එකක් ලැබෙන නිසා…. සමහරක්විට මිනිස්සුන්ට කඳුලු හලන්න marketing ලෝකයේ අවසර නැති නිසා වෙන්න ඇති තමන්ගේ කඳුලු කියලා මේ රැඟුම්වල කඳුලු දිහා බලන් සැනසී ඉන්නේ…. හැබැයි යථාර්ථය තමයි ඒක යට තියෙන්නේ වෙළදාමක්….

බොහෝ ධන කුවේරයන් තමන්ගේ ජීවිතේ කොච්චර සල්ලි හම්බකලත් ජීවිතෙන් තෘප්තිමත් නෑ….. ඇත්තම කිව්වොත් ඒ අය තරම් හිත ඇතුලෙන් වැලපෙන මිනිස්සු ලෝකේ කොහෙවත් නැතිව ඇති…. ඒ අයට කඳුලු හෙලන්න බැහැ…. මොකද ඒ අවංකව හෙලන කඳුල වෙනත් කෙනෙක් තමන්ගේ මල්ල තරකරගන්න භාවිතාකරාවී…. එච්චරට මේ marketing ලෝකය කෲරයි…මේක ධන කුවේරයන්ට විතරක් නෙමෙයි සාමන්‍ය මිනිස්සුන්ටත් පොදුවූ කාරණයක්…. කෙනෙක් කඳුලු හෙලනකොට සමහරු මතු පිටින් දුක් වෙනවා පෙන්නුවට හිත ඇතුලෙන් හිනාවෙනවා සමච්චලයට…. කීයෙන් කීදෙනාද අවංකවම දුක්වෙන්නේ????…. ඒක තමා ඇත්ත….

අපි දැන් යන්නේ කොළඹ කාන්තා විදුහල අද්දරින්…. මට යමක් එකවිටම මතක්වුණා….

” මචං මතකද මධූව? ” මම ඇහුවා….

එකපාරටම මගේ මිතුරාගෙ ඉරියව් මුහුණේ වෙනස්වුනා…. ඇත්තටම මං පසුතැවුණා ඒ දේ අහපු එක ගැන…. එහින්දම මම කිව්වා…

” අඩෝ මචං…. මට නිකමට ඇහුනේ මධූ ගැන…. ”

ටිකවෙලාවකට පස්සෙ සුසුමක් හෙලපු මගෙ මිත්‍රයා හිනාවකින් මුහුණ සරසගත්තා…

” නැහැ මචං…. අවුලක් නැහැ…. ඇත්තටම මගේ ජීවිතෙ තිබ්බ සුන්දරම කාලයක් තමා මචං ඒක…. මං දැන් ඒ දේවල් හිතෙන් මකලදාලා තියෙන්නෙ සදහටම… ඉදල හිටල මධූ හම්බවෙනවා මට… ඒත් මං හිනාවෙලා යනවා මචං….”

” උඹට් පොඩ්ඩක්වත් දුක නැද්ද මධූ උඹෙන් වෙන්වුණ එක ගැන මචං??? අඩුම ගාණේ උඹව රවට්ටපු එක ගැන වෛරයක්වත් නැත්ද??? ” මං ඇහුවා….

මගේ මිතුරා නැවත සිනාසුනා….

” මචං, පෘථග්ජන මනුස්සයෙක් විදිහට මට දුකක් නැහැ කියන එක බොරුවක්…. නමුත් ඇත්තටම මට එක අතකින් සන්තෝසයි… මොකද එයා මට බොරුකලාට මං එයාට බොරු කලේ නැහැ…..මං අවංකවම එයාට ආදරයකලා… මගේ ආදරයට අවංකවුණා…. ඒ හින්දා ඒක මට සතුටක් මැරෙනතුරාවට…. ”

” අඩුම ගානේ වෛරයක්වත් නැත්ද මචං??? ” මං ඇහුවා ආයෙමත්…

“නැහැ මචං ඇත්තටම මට වෛරයක් නැහැ මධූ ගැන බං…. එක දවසක හරි ආදරේ කල කෙනාට වෛරකරන්න මට බැහැ මචං…. මං හැමදාම හිතුවේ එයාගේ සතුට ගැන…. එයා අද සතුටින්නම් මට ඒ ඇති මචං….. ඇත්තටම මධූ ඔය දේ කලින් කිව්වනම් මට එයාගෙන් ඈත්වෙන්න තිබ්බ ආදරේ නොකරම.. ඒ ගැනනම් මට පොඩි කණගාටුවක් තියෙනවා…. ”

” ඉතින් උඹට තිබ්බනේ මධූව නවත්තගන්න???”

” මොකටද මචං මං එහෙම කරන්නේ…. එයාට යන්න ඕනෑ හින්දා එයා ගියේ…. එහෙම කෙනෙක් නවත්තගන්න එක එයාට කරන වැරැද්දක් විතරක් නෙමෙයි මචං මං මටත් කරගන්න වැරැද්දක්…. එහෙම නවත්තගත්තත් ඒක වැඩි කාලයක තියෙන්නේ නැහැ…. එහෙම තිබ්බත් අපි කරන්නෙ එකිනෙකාට වංචාවක් මචං…. මට එහෙම ආදරේකින් වැඩක් නැහැ….. ඊට වඩා හොඳයි අපි මෙහෙම දුරස් වෙලා ඉන්න එක ”

මං ආයෙ කල්පනාවට වැටුනා…. ඇත්ත… තමන්ට අවංකවම ආදරේ නොකරන කෙනෙක් එක්ක ජීවත්වෙන එක ඇත්තටම අමාරු වැඩක්…. ගොඩක් අය මායාවක ගැලිලා අන්තිමට දුක් මතක සටහන් රැසක් තුරුළුකරගෙන ජීවිතෙ පුරාවට වන්දිගෙවනවා…. සමහරවිට ජීවිතෙන් වන්දි ගෙවනවා…. ඊට වඩා හොඳ අවබෝධයෙන් යුතුව වෙන්වෙන එක…..

” ඔව් උඹ හරි මචං” මගේ මිතුරාට මං කිව්වා….ඔහු නැවතත් සිනාසුණා…..

” උඹ කොහමද මචං ඇත්තටම ඔහම දෙයක් වෙලා තියෙද්දී හිනාවෙන්නේ???? උඹ කවදාවත් ඔය හිනාව නැතිකරගත්තෙ නැහැනේ ඔහම දෙයක් වෙලත්???? ” මං ආයේ ඇහුවා…. ඔහු නැවතත් සිනාසුණා….

” මචං මිනිහෙකුට පුලුවන් වෙන්න ඕනෑ ඕනෑම දෙයක් දරාගන්න…. නැත්නම් ඒ ජීවිතෙන් වැඩක් නැහැ…. ඇත්ත….යමක් සිදුවුනාම ඒක ඒවෙලාවෙම දරාගන්න අමාරුයි…. නමුත් හැමදාම ඒ මත්තෙම අඬ අඬ ඉන්න ඕනෑ නෑ…. ඒ දේ ජීවිතේට එකතුකරගෙන ඉස්සරහට යන එක තමා අපි කරන්න ඕනෑ…. ”

“හරි බං මට තේරෙනවා… ඒත් කොහමද ඔහම හිනාවෙන්නේ??? ” මං ආයෙත් ඇහුවා….

මගේ මිත්‍රයා බොහොම සන්සුන්ව කතාකලා…

” මචං මිනිහෙකුට කඳුලු මතින් හිනාවෙල ජීවිතේ ජයගන්න පුලුවන්නම් ඒක තමා මචං මනුස්සයෙකුගේ තියෙන වටිනාකම… එහෙම ජය අරන් පරාජිත අතීතයට හිනාවෙන්න පුලුවන් නම් ඒ තරම් ජයග්‍රහණයක් ජීවිතේ නැහැ තවත්….මං ගෙවුණු අතීතයෙන් පාඩම් ඉගෙනගත්තා… අතීතයෙන් කියන්නේ පොඩිකාලේ ඉඳන්ම….. ඒ දේවල් මං ගැම්මක් කරගත්තා…. මං මාව මටම අභියෝගයක් කරගත්තා… අද මං මගේ අතීතයට හිනාවෙනවා මචං… මොකද අද මං යම් තැනකට ඇවිල්ලා ඉන්නවා මචං… මං දන්නවා මගේ ගමන තව දුරයි කියලා…. මං ඒ ගමන යනවා මචං මට පුලුවන් විදිහට…. ”

මං ආයේ කල්පනාවට වැටුණා…. ඇත්ත… මෙහෙම කෙනෙකුට හිතන්න පුලුවන්නම් කොච්චර හොඳද???? එතෙකොට තමන්ගේ ගමන යන්න පුලුවන් ඉදිරියටම.. මට හිතුණා…

ලෝකේ ඉන්න බහුතරයක් දෙනා තමන්ගේ ජීවිතේ බහුවරණ ප්‍රශ්න පත්‍රයක් කරගන්නවා…. ඉතින් ඒ අය හිතන්නේ ජීවිතේ තියෙන ප්‍රශ්නවලට එක විසඳුමයි තියෙන්නේ කියලා… ඒ මත්තෙම නැහෙන්න යනවා…. බැරිවෙලාවත් වැරදි පිලිතුරක් යටින් ඉරක් ගැහුණොත් ජීවිතකාලය පුරාවටම විඳවනවා…. සමහරක්විට ජීවිතෙනුත් වන්දි ගෙවනවා….

ඇත්තටම ජීවිතේ එහෙම නැහැ… ඒකේ එක ප්‍රශ්නයකට තියෙන්නේ එක විසඳුමක් නෙමෙයි…. මං හිතන්නේ ජීවිතේ රචනා ප්‍රශ්න පත්‍රයක් කරගත්තොත් හොඳයි කියලා…. මොකද එක point එකක් වැරදුණත් අනික් points වලට ලකුණු ලැබෙන නිසා…. අපි හැමෝටම ජීවිතෙ වතාවක් දෙවතාවක් වරදින්න පුලුවන්…. නමුත් එහෙම වැරැදුණා කියලා ඒ මත්හේම නැහිලා ඉන්න ඕනෑ නෑ….. එතැනින් පාඩමක් ඉගෙනගෙන ඉදිරි ජීවිතේ සාර්ථක කරගැනීමයි වැදගත්….

ඒවගේම යම් කාරණයක් සම්බන්ධයෙන් එකපාරක් උත්සහ කරලා වැරදුනාට පස්සේ…. ඒ කාරණය නැවත උරගා බලන්න බියවෙන්න ඕනෑ නෑ…. පැකිලෙන්න ඕනෑ නෑ….. මොකද එහෙම බියවීමෙන් තමන් තමන්ට කරගන්නේ වැරැද්දක්…. මෙතැනදී තමන්ට ඉස්සෙල්ලා වැරදුනේ කොතැනද ඒ දේ නැවත නොවෙන්නට වග බලා ගැනීම තමා වැදගත්…. ඒ වැරැද්ද තමන් යලි යලිත් කරනවනම් ඒකෙන් අදහස් වෙන්නේ තමුන් කිසිම පාඩමක් කලින් සිදුවීමෙන් ඉගෙනගෙන නැති විත්තියයි….

මේ දේවල් කල්පනා කර කර ආපු මමයි, මගේ මිත්‍රයයි Liberty Plaza එක ගාවෙන් පාර පැනලා 177 bus halt එකට ආවා….. 177 බස් එකක් නවත්තල තිබ්බා halt එකේ….

” මචං මං මේකෙන් ගෙදර යනවා…. උඹ මොකද කරන්නේ???…. ”

” එහෙම යන්න දෙන්න පුළුවන්ද???? හිටපන් මාත් එනවා උඹත් එක්ක සදහටම”

මගේ ම්ත්‍රයා මට කිව්වා…..”

ඔව්!!! ඇත්ත!!! මගේ ජීවිතේ මට ගොඩක් අය හම්බවේවී…. ගොඩක් අය මගෙන් දුරස්වේවී…. සමහරු සදහටම වෙන්වේවී…. සමහරු කවමදාවත් හමුනොවේවී…

නමුත් මේ මිත්‍රයා මාව හැරයන්නේ නැතිවේවී කවමදාවත්…. මා මියැදුණ දිනෙක මාත් එක්කම ඔහුත් සැතපේවී සදහටම…..

මොකද ඒ මිත්‍රයා වෙන කවුරුත් නෙමෙයි….

ඒ මගේම හෙවනැල්ල නිසා….

තිරසබැඳිය ප්‍රතිචාරයක් ලබාදෙන්න

මිතුරෙකුගේ දෙණ…. උර තබා ගිය ගමනක්….

ඔක්තෝබර් 5, 2011 at ප.ව. 3:44 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , , , , , , )

"මනුෂ්‍යයෙකු ලෙස ඉපදී... මනුෂ්‍යයෙකු ලෙස ලොව හැරගිය... සදා අමරණීය සහෘදයා..."

ඉකුත් සැප්තැම්බර් 28, වෙනිදා ඉර අවරට යන සැඳෑයාමයක උතුරු සියඹලාපේ ප්‍රදේශයට මහ ජන ගඟක් ඇදිලා හිටියා…. ඒ දන්සැලක්වත්, දේශපාලන රැස්වීමක්වත් හින්දා නෙමෙයි…. ” මනුෂ්‍යයෙකු විදිහට ඉපදිලා…. මනුෂ්‍යයෙක් විදිහට මෙලොව හැරගිය…. ආදරණීය සහෘදයෙකුට…. “ සදහට සමුදෙන්න….

එදා බටහිර අහසේ බැසගිය හිරුට වඩා එළියදුන්න විරල ඝණයේ ගතිගුණ අතින් හෙබි මනුෂ්‍යයෙක්, අප අතරින් සදහටම නික්මුණා කියලා මට හිතුණේ….

ආගමික වත් පිළිවෙත් හා පාංශු කූලය දීමෙන් පස්සේ  බොහෝ ගුණ කතාවන් ගණනාවක් පැවත්වුණා….. සමහරක් ගුණ කතා බොහොම ආවේගාත්මක වුණා.හැඟුම්බර වුණා…. මං මගේ ජීවිත කාලය පුරාම ඕනෑ තරම් ගුණ කතා අහල ඇති…. නමුත් මේ විදිහට හද පත්ලෙන්ම කරපු ගුණ කතාවන්නම් මං අහල තිබුණේ නැහැ ජීවිතේට….

කතාකරපු බොහෝ කථිකයන්ගේ ඇස් කඳුලෙන් පිරී තිබුණා…. ඒවා කිඹුල් කඳුළු නෙමෙයි…. පපුවේ මස් ලේ ඇට නහර විඳගෙන නැඟුණු කඳුලු…. සාමන්‍යයෙන් අපි ඇහින් කඳුලක් හෙලුවත් ඒක කියන්න ලැජ්ජයි…. නමුත් මගේ දෑසට එදානම් කඳුලක් නැඟුණු විත්තිය මං අවංකව පිළිගන්නවා…. මං දන්නවා එදා ඒ මොහොතට සහභාගීවුණු හැමදෙනෙක්ම ඒ දේ අවංකව අත් උස්සලා පිළිගනීවී කියලා….

අවසානයේ සියලුම අවමංගල්‍ය චාරිත්‍රවලින් පස්සේ හැමෝගෙම සෝ සුසුම් මැද  අපේසදාදරණීය සගයා තමන් මිහිමත කරන අවසාන ගමනට සැරසුණා….  ඔහු තමන් මේ ලෝකෙට බිහිකල අම්මට තාත්තාට නිහඬ සිතින් නමස්කාර කරන්න ඇති… අක්කට හා අයියාට සමුදෙන්න ඇති…. නෑ හිතමිතුරන්ට සමුදෙන්න ඇති…. ඒ විතරක් නෙමෙයි මං දන්නවා ඔහු තමන්ට මෙච්චරකල් සෙවන දුන්නු නිවසටත් ආචරකරන්න ඇති….

අනිවාර්‍රයෙන්ම ඔහු ඒවා කරන්න ඇති.… මොකද ඔහුගේ ප්‍රාණය ගත තිබුණු කාලේ  ඔහු ඒවා තම යුතුකම් ලෙස කිසිදා පැහැර හැරියේ නැති නිසා….

අපි හැමෝම ජීවිතයේ අවසන් නවාතැන්පොලකට යනවා…. ඒ ගමනට අපේ මිත්‍රයා සැරසුණා…. අවමංගල්‍ය රථයක් ගෙනල්ලා තිබ්බ ඒ ගමනට... නමුත් අපි කලින්ම තීරණයකලා අපේසහෘදයා රැගෙන යන්නෙ අපේ කරමතින් කියලා…. මොකද ඔහු අපිට කවදාවත්ම බරක් නොවන නිසා…. කවදාවත්ම….

ඔහුගේ අලුත් නවාතැනට 2 1/2 km ක දුරක් තිබුණා නිවසේ ඉඳන්…. ඒක අපිට ගැටලුවක් වුනේ නැහැ…. අපිට ගැටළුව වුණේ කොහමද අපි ඒ අලුත් නවාතැනේ ඔහුව තනිකරලා එන්නේ කියන එකයි….

ගෙදරින් වමට හැරෙන උඩ කන්දෙදි තමයි මං ඉස්සෙලාම මගේ උරය මගෙ සහෘදයාගේ ගමන වෙනුවෙන් ආධාර කලේ… මං හිතන්නේ ඒක තමා මං ඔහු වෙනුවෙන් කල එකම උපකාරය මේ ලෝකයේදී….

ඔහු ජීවතුන් අතර සිටිනවිට ඔහුට උපකාරයක් කරන්න නොහැකිවුනු මට…. එදා ඒක කරන්න ලැබුණු එක දෛවයේ සරදමක්…. මං හිතන්නේ ගොඩක් අයට ඒ හැඟීම එන්න ඇති…

ඔහු අපි වෙනුවෙන් සෑහෙන දේවල් කලා…. ඒවා කලේ පරාර්ථකාමීවයි…. අපෙන් ඔහු කිසිම ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තුවුණේ නැහැ කිසිවිටෙකවත් ඒවා කරද්දී…. විරල ගතිගුණ තිබ්බ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක්….  මට ඔහුගේ ගුණ ලඝු කරන්න පුළුවන් ඒවිදිහටයි….

එවෙලේ මගේ ඔළුවට ආවා සෑහෙන්න දේවල්…. ඇත්තටම අදටත් මං අසරණයි ඒ ආ අදහස් වල පැටළුම් ලිහාගන්ට බැරිව.

මං අහල තියෙනවා අමරණීය මිනිස්සුන්ගේ ප්‍රාණය නිරුද්ධ වුනත් ආත්මයන් සදාකාලිකව අප අතර රැඳෙනවා කියලා…. මං නිකමට ඔහුව ආමන්ත්‍රණය කලා සිතින්.

” මචං”

ගතවුණේ සුළු මොහොතයි…. ප්‍රතිඋත්තරයක් ලැබුණා!!!!..

“ඔව් මචං”

මගේ හිතට සතුටක් දැනුණා…. ඇත්ත, ඔහු අමරණීය මනුස්සයෙක්…. ඔහු ගතින් අපෙන් මිදී ගියත් ඔහුගේ මතකය, ඔහුගේ ආත්මය අපි මැරෙනතුරවාට අපිත් එක්ක රැඳෙන බව දැන් මට සක්සුදක් සේ පැහැදිලියි….

ඒත් ඒ සමඟම තවත් සහෝදරයෙක් මගෙන් දේහයට උර තබන්න අවසර ඉල්ලා සිටියා… ඉතින් මම ඔහුට ඉඩ ලබාදුන්නා…. මා ඉදිරියට යන අතරේ වටපිට බැලුවා…. දකින දකින පැත්තෙ උන්නේ මහ ජන ගඟක්…. පුදුම සෙනඟක්…. සමහර අය නිවෙස්වල වත්තට ඇවිදින් තමන්ගේ අවසන් බුහුමන මේ අමරණීය මිනිසාට දක්වනවා…. අපේකණිෂ්ඨ ශිෂ්‍ය නායකයන් යුහුසුළුව පාවඩ එලමින් ඉදිරියට ගමන්කරනවා…. ඔහුගේ දෙණට නිරතුරුව පොරි වැටෙනවා….

හැම සහෝදරයෙකුටම ඕනෑවුණා ඔහුගේ ගමනට ආධාර කරන්න…. ඒනිසා මට යලි අවස්ථාවක් ලැබුනේ සෑහෙන්න දුරක් ගියාට පස්සේ…. ආයෙ මගේ වම් උරය මත ඔහුගේ දෙණ තැන්පත්වුණා….

” මචං උඹට දුක නැද්ද මෙහෙම අපිව දාල  යන්න???? “ මං ඇහුවා ඔහුගේ ආත්මයෙන්…

” දුකයි මචං…. ඒත් එක අතකින් මට සන්තෝසයි…. “

” ඇයි ඒ???? ”

” උඹලා ඔක්කොම එකතුවෙලා ඉන්නවා ඒකයි “ ඔහුගෙ ආත්මය ලෙන්ගතු හිනාවෙන් කිව්වා….

” ඒත් උඹ නැහැනේ???? “

” නෑ මචං මං උඹලත් එක්ක ඉන්නවා හැමදාටම “

ආයෙත් මට තවත් සහෝදරයෙකුට මගේ තැන දෙන්න සිදුවුණා….

දැන් මගේ ඔළුවේ උභතෝකෝටික ගැටලුවක්…. අපේ සදදාරණීය මිත්‍රයා අද සදහටම දැයින් සමුගන්නවා…. ඒත් ඔහුගේ ආත්මය කියන්නේ සදහට අපිත් එක්ක රැඳෙනවා කියලා???…. මේ ප්‍රශ්නය මගේ ඔළුවේ තියාගෙන මං ආයේ අවස්ථාවක් ලැබෙනකම් හිටියා….

යන අතරමඟ පන්සලක් හමුවුණා.… මට නිතැතින්ම සිහිවුණා බුදු බණේ තියෙන ජීවිතේ අනිත්‍යබව…. ඇත්තටම ඒ දේ හරියටම අවබෝධකරගන්නනම් තමන්ට කිට්ටුවෙන් ඉන්න කවුරුහරි තමන්ගෙන් දුරස්වෙන්න ඕනෑ සදහටම….

මට ආයේ අවස්ථාවක් ලැබුණා.…. දැන් අපි ගමන් කරන්නේ කන්දක් පහලට.… ඒ කන්ද බැස්සාම හම්බවෙන්නේ වෙලක්…. ඒ වෙල මැදින් ඇදෙන පාරේ ටික දුරක් ගියාම අපේ මිත්‍රයාගේ අලුත් නවාතැන්පොල හම්බවෙන්නේ…. එතැනට ළංවෙන්න ළංවෙන්න අපේ හිත ඇතුලේ ශෝකය වැඩිවෙනවා….

හිතේ තියෙන ආවේගයටයි, ශෝකයටයි, කණගාටුවටයි මම කතානොකර උන්නා…. ඒත් වැඩිවෙලාවක් ගියේ නෑ…. මගේ මිත්‍රයාගේ ආත්මය කතාකරන්න පටන්ගත්තා.

” මචං මං දන්නවා උඹල මං මෙහෙම යනවට කොහෙත්ම කැමති නෑ කියලා…. ඒත් මේක තමා ජීවිතේ…. කවුරුවත්ම දන්නේ නෑ කොයිවෙලාවේ තමන්ට ජීවිතේ අතහැරලා යන්න වෙයිද කියලා…. “

” උඹේ වෙන්වීම අපිට දරාගන්න අමරුයි මචං “ මම කිව්වා….

” මං දන්නවා මචං…. මං උඹල ළඟ හැමදාම ඉන්නවා ගතින් උඹල ළඟ නොහිටියත්… “

” ඒ කියන්නේ???? “ මං ඇහුවා…..

” මගේ ජීවිතේ ගැන උඹ පස්සෙ වෙලාවක කල්පනා කරල බලපන්…. එතකොට උඹට තේරේවී මචං… අනිවාර්යෙන්ම උඹට තේරේවී මචං….”

මං ආයේ කල්පනාවට වැටුණා… මේ විදිහට අපි තව 100m ක් විතර ගියා…..

” මචං මට දැන් යන්න වෙනවා…. අයෙමත් මං කියන්නේ හැමදාම උඹලත් එක්ක මං ඉන්නවා…. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා…. මචං එහෙනම් මං යනවා…. උඹලට බුදුසරණයි… අපි පස්සෙ හමුවෙමු…. “

” උඹටත් බුදුසරණයි මචං…. ඔව් අපි පස්සෙ හමුවෙමු” මං හැමෝම වෙනුවෙන් කිව්වා….

ඊට පස්සෙ මගේ උරයෙන්, ඔහුගේ දෙණ අවසන් පියවර කිහිපය වෙනුවෙන් වෙනත් කෙනෙකුට භාරකලා….  ඉන් මිනිත්තු කීපයකට පස්සෙ ඔහුගේ දෙණ හෙමින් ඔහු වෙනුවෙන් ඉදිකල නවාතැනේ හෙමින් තැන්පත්වුණා….

” උඹ හොඳට නිදාගනින් මචං… අපි පස්සෙ හමුවෙමු “ කියලා මං හිත ඇතුලේ ශෝකයයි, ආවේගයයි තෙරපගෙන මගේ තවත් මිත්‍ර‍යෝ කීපදෙනෙක් එක්ක ආපසු ඔහුගේ නිවසට එන්න පිටත්වුණා….

මං එන දිගටම කල්පනා කලේ අපි අතර ඇතිවෙච්චි සංවාදය ගැනයි…. මං ඔහුගේ ගෙවුනු අවුරුදු 23 ක කෙටි ජීවිතය ගැන ආපසු හැරී බැලීමක් කලා…. ඒත් මට කිසි දෙයක් වැටහුණේ නැහැ…. නමුත් ඔහුගේ නිවස තිබ්බ අතුරු මාර්ගයට හැරෙනවත් එක්කම මට බොහෝ දේවල් අවබෝධවෙන්න පටන් ගත්තා….

මං දැනගත්තා කොහමද ඔහු සදහටම රැඳෙන්නේ කියලා…. ඒ වෙන කිසිම දෙයක් නෙමෙයි… ඒ තමා අපි සතු මනුෂ්‍යත්වය.… ඒකට උදාහරණ ඕනෑතරම් ඔහුගේ ජීවිතයේ තිබුණා….

අපේ ආදරණීය මිත්‍රයා කිසිම දවසක තමන්ට තානාන්තර, සම්මාන, නම්බුනාම ලැබෙද්දී ඔළුව ඉදුමුවා ගත්තේ නෑ…. ඒ වෙනුවට ඔහු තව තව නිහතමානීවුණා… කිසිම දවසක මුහුණෙන් ලෙන්ගතු හිනාව හැංඟුවේ නැහැ… ඒ හිනාව සරදම් හිනාවක් කරගත්තේ නැහැ….තව තවත් මිත්‍රයන්ට සමීපවුණා….

ඔහු භෞතිකව කිසිදෙයක් උපයාගත්තේ නැහැ…. ඔහු උපයාගත්තේ මිනිස්සුන්ව…. ඔහුගේ අවසන් කටයුතුවලට සහභාගී වුනු මහ ජන ගඟෙන් ඒක හොඳින් ඔප්පුවුණා…. අවුරුදු 23 ක ජීවිතය ඇතුලේ ඔහු සෑහෙන්න මිනිස්සු ප්‍රමාණයක් ඇසුරු කරල තිබ්බා…. නමුත් විශේෂත්වය ඒක නෙමෙයි… ඔහු හැමෝටම එකම විදිහට සලකල තිබ්බා…. කතාවට කිව්වොත් හැමෝටම එකම හැන්ඳෙන් බෙදලා තිබ්බා…. ඒ හැන්ඳ වෙන මොකක්වත් නෙමෙයි…. ඒ තමා මනුෂ්‍යත්වය….

පරාර්ථකාමීත්වය ඔහු සතුව තිබ්බ තව උසස් ලක්ෂණයක්…. තමන්ගේ ලේ පවා දන්දුන්නා අනික් මිනිස්සුන්ගේ ජීවිත බේරාගන්න… හැකි පමණින් දන්දුන්නා…. ඔහු මිනිස්සුන්ට ආදරය කලා…. මෛත්‍රී කලා…. දයාව කරුණාව දැක්වුවා…

ඔහුට ආගම් ජාති බේද තිබුණේ නැහැ… කුලමල… දුප්පත් පෝසත්කම් වගේ බේද ඔහුගේ ජීවිතයේ ගෑවිලාවත් තිබුණේ නැහැ… ඔහු හැම කුලකයටම අයත් මිනිස්සු ආශ්‍රයකලා…. ඔහුට මිනිස්සු කියන්නේ සාර්වත්‍ර කුලකයක්වු ණා…. ඔහු ඒ කුලකය තුල උපකුලක තනන්න ගියෙ නැහැ…. වඩා වැදගත්දේ තමයි ඔහුට හැම මනුස්සයෙක් එක්කම කතාකරන්න දෙයක් තිබ්බා….

ඔහු මනුෂ්‍යත්වය වෙනුවෙන්ම ඉපදුණු කෙනෙක්…. ඔහුගේ ඉක්මණ් නික්ම යෑම අහලා දුක්වුනේ ඔහුව දන්න අය විතරක් නෙමෙයි.… ඔහුව ජීවිතෙට දැකලා නැති ආශ්‍රය කරල නැති උදවිය පවා දුක්වුණා… එහෙම වෙන්නේ ඔහු නියම මනුෂ්‍යයෙක් විදිහට ජීවිත කාලය ගතකරපු නිසයි….

සොබාදහම කාලයෙන් කාලයට විවධ වේශයෙන් එක් එක් පණිවිඩ එවනවා…. සමහරවිට ඒක ආපදාවක්වෙන්න පුලුවන්…. සමහරවිට ඒ මනුෂ්‍යයෙක් වෙන්න පුලුවන්…. ඒ එනකෙනා අතේ සොබාදහම පණිවිඩියක් එවනවා…. ඒ පුද්ගලයා තමන්ගේ කාර්යභාරය ඉවරකලාට පස්සේ සොබාදහම ඒ ජීවිතය ආපසු ගන්න්වා… මට හිතෙන්නේ අපේ ආදරණීය මිත්‍රයා එහෙම විශේෂ පණිවිඩකරුවෙක්…. ඔහු ගෙනා පණිවිඩිය තමා මනුෂ්‍යත්වය…. ඔහු අවුරුදු 23 ක් ජීවිත කාලය පුරාවට ඒ කාර්යභාරය ඉටුකලා පැහැර නොහැර…

සමහරවිට ඔහුගේ කාර්යභාරය කලින්ම ඉටුවෙන්න ඇති…. ඒහින්දා සොබාදම ඔහුගේ ජීවිතය ආපහුගන්න ඇති…. හැබැයි දුක්වෙන්න කාරණයක් නැහැ…. ඔහුගේ ඒ කාර්යභාරයට කලගුණ සලකලා ඔහුට ජීවිතය හොඳින් විඳින්න පුලුවන් ආත්මයක් සොබාදහම අනිවාර්යෙන්ම දෙවී…. අපිට කරන්න තියෙන්නේ ඒ සඳහා අවශ්‍යකරන පින් ටික ලබදෙන්න…. මං දන්නවා ඒ වෙනුවෙන් අපේ අය තම යුතුකම ඉටුකරන බව……..

අපිට තව දෙයක් ඔහු වෙනුවෙන් කරන්න පුලුවන්…. ඒ තමා ඔහුගෙ මනුෂ්‍යත්වයෙන් බිඳක් අපේ ජීවිතයට එක්කරගැනීම…. මං හිතන විදිහට ඒක තමා අපි ඔහුට කරන ලොකුම උපහාරය…. අපිට කවදාවත්ම ඔහු වෙන්න බැහැ… අපේ ආදරණීය මිත්‍රයා මනුෂ්‍යත්වය සම්බන්ධයෙන් විශ්වකෝෂයක්…. ඒ මනුෂ්‍යත්වය කිසිම පත පොතකින් අපිට ලබාගන්න බැහැ…. අපිට ඒ දේ ලබාගන්න පුලුවන් ඔහුගේ ජීවිතය අධ්‍යයනය කරලයි…. ඒ දේ අපිට කරන්න පුලුවන්….

මේ ජීවිතේ හරිම කෙටියි… ඒ වුණාට අපිට කරන්න දේවල් බොහොමයි…. ඒහින්දා නොපමාව තමන්ගේ යුතුකම ඉටුකරන්න… මේක තව එක පාඩමක් මහේෂ් තමන්ගේ කෙටි ජීවිතකාලය තුල අපිට උගන්නපු….උපයාගන්න මිනිස්සුන්ව…. භෞතික සම්පත් උපයාගන්නවාට වඩා ඒක වටිනවා…. 

මේ ලිපිය අවසන්කරන්න ඕනෑ…. ඇත්තටම ඔහුගේ ගුණ කතාකරනවනම් අපිට අවුරුදු ගණන් කතා කරන්න පුලුවන්… නමුත් වඩා විශේෂ යැයි හිතුනු කාරණා විතරයි මෙතැනදී කතා කලේ මං… මේක තවත් එක් ගුණ කථනයක් නෙමෙයි…. මං හිතනවා මේ ලිපියේ ඔබට ගන්න දෙයක් ඇති…. ඒ දේ ලබාගන්න….

මේ ලිපිය අවසන්කරන්න මං යොදගන්නේ මා මගේ ජීවිතයේ වඩාත්ම කම්පනයට පත්කල උවිඳු සහෝදරයාඅවමංගල්‍ය උත්සවයේ පවත්වපු කතාවක පේලි කීපයක් උපුටාගනිමිනුයි…. ඒ වචනපෙළ උඹට සදා උපහාරයක් වේවා!!!! …. අපි ආයෙත් හමුවෙමු මේ සසර ගමනේ කොතැනක හරි!!!!!…..

මෙන්න ඒ වචන පෙළ….

” මහේෂ්, මේ ව්‍යාකරණ හොඳින් ගලපලා කරන කතාවක් නෙමෙයි මහේෂ්…. මේ කතාකරන්නේ හද පතුලෙන්ම නැඟෙන වචනවලින් මහේෂ්….. උඹ සදා අමරණීයයි මහේෂ්… උඹ සදා අමරණීයයි….”  

තිරසබැඳිය ප්‍රතිචාර 5

අකාලයේ සමුගත් ගුරු තරුව – නයිදු සර්….

ඔක්තෝබර් 4, 2011 at ප.ව. 4:26 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , , , , )

( 2010.02.02 දින මෙලොව හැරගිය නයිදු සර් වෙනුවෙන් ලියන ලද්දකි. )

චන්ද්‍රදාස නයිදුවාවඩු එහෙමත් නැතිනම් අපි හැමෝම දන්නේ නයිදු සර්…. නයිදු සර් දැන් මෙලොව හැර ගිහ්ල්ලා දැන් අවුරුදු 2කට ළඟයි….

නයිදු සර් මෙලොව හැර ගියේ මේ කාලකණ්ණි දේශපාලනයේ බිල්ලක් විදිහට…. ඒත් මේ ලිපියේ මං බලාපොරොත්තුවෙන්න නැහැ ඒ දේශපාලනේ ගැන කතාකරන්න…. මං කතාකරන්න බලාපොරොත්තුවෙන්නේ නයිදු සර් කියන සොඳුරු ගුරුවරයා ගැන…. එහෙමත් නැතිනම් ඒ සොඳුරු මනුස්සයා ගැන….

නයිදු සර් මුලින්ම මට මුණගැහෙන්නේ 7 වසරදී මට මතක විදිහට.…. සර් එන්නේ අපිට සමාජ අධ්‍යයනය උගන්වන්න ඉස්සෙල්ලාම…. ඒ එන්නේත් ටික දවසකට…. ඒත් එක්කම සර්ට භාරවෙනවා අපිට සෞඛ්‍ය උගන්වන්නත්….

මට මතකයි සර් ඉස්සෙල්ලාම පන්තියට ආපු මුල්ම දවස….. සර් මහ සද්ධන්ත ශරීරයකට උරුමකම් කියූ කෙනෙක්…. ඉතින් අපිත් පොඩි පන්තිවල හිටපු නිසා ඉස්සෙල්ලාම දැක්කාම බයවුනා…..

ඒත් සර් ඇවිල්ලා පන්තියට විනාඩි කීපයයි ගතවුණේ…. සර් බොහොම මිත්‍රශීලී ගුරුවරයෙක් කියලා අපි අවබෝධ කරගත්තා…. සර් හරියට අපේ මිත්‍රයෙක් වගේ…. බොහොම විනොදකාමී පුද්ගලයෙක්….

සර් අපිට ඉගැන්නුවේ දවස් කීපයයි…. මට මතකයි සෞඛ්‍ය පීරියඩ් එකේ අපි යනවා P.T. වලට…..අපේ අතට සර් දෙනවා Basket Ballයක්….. ඊට පස්සෙ කියනවා රවුමක් හදලා ඒක ඇතුලට කට්ටියක් දාන්න කියලා…. ඇතුලේ ඉන්න අයගේ දණියෙන් පහලට Basket Ballන් ගහන්න ඕනෑ…. එතකොට එයා out, gameඑකෙන් ….. ඊට පස්සෙ වටේ ඉන්න අය ඇතුලට යන්න ඕනෑ….. පීරියඩ් එකේ bell එක වදිනකොට ඇතුලේ ඉන්න කෙනා දිනුම්….

ඔන්න අපි සෙල්ලම පටන් ගන්නවා…. ටිකක් වෙලා යනකොට හැරිලා බැලුවාම සර් ලඟ තියෙන කොට්ටම්ඹ ගහෑඉ හෙවනට වෙලා කාත් එක්ක හරි කතාවක…. අපි බොහොම නිදහසේ අපිට ඕනෑ දේවල් කරනවා පීරියඩ් එකේම…. එක අතකින් ඒ සද්ධන්ත ශරීරේ හින්දා සර්ට අපිට ජවන ඉසව් පුරුදු කරන්නත් බැහැ… මං හිතන්නේ සර් සාධාරණයි….

සර්ගෙන් මං ඉගෙන්ගත්තේ ටික කාලයයි….හැබැයි ඒ ටික කාලය ඇතුළත මගේ හිතේ නයිදු සර් අපුරූ චරිතයක් විදිහට සටහන්වුණා සදාකාලිකව…. අපි සාමාන්‍යයෙන් සද්ධන්ත ශරීර තියෙන මිනිස්සු දකින්නේ මහ මරුමුස්, නපුරු අය විදිහටයි…. නමුත් නයිදු සර් ඒ මතය එහෙම්පිටින්ම කණපිට හැරවූ චරිතයක් වුණා…. සර් අහිංසක මනුස්සයෙක්…. ලමයින්ට හොඳට සමීපවෙන්න පුලුවන් චරිතයක්….

7 වසරෙන් පස්සේ සර් ආයේ මට ඉගැන්නුවේ නැහැ අ.පො.ස.සාමන්‍යපෙළ ඉවරවෙනකන්ම…. ඒත් ඔය free periodවල සර් ආවා කලාතුරකින් උගන්වන්න…. කොච්චර කලාතුරකින් හම්බවුනත් සර්ට පුලුවන්වුණා අපිත් එක්ක සුහදත්වයෙන් වැඩකරන්න…. ඒක තමා සර්ගේ තිබුණු හොඳකම….

උගන්වන අස්සේ හොඳ විහිලුවක් කරනන් සර් අමතකකරන්නේ නෑ.… සමහරක්විට ඒක කවුරු හරි ඉලක්ක කරගෙන කරන එකක්වෙන්න පුලුවන්…. නමුත් ඒ විහිලුව ඇස් රතුකරවන තරමේ විහිලුවක් නොවෙන්න සර් වග බලාගත්තා…. අනික ඒ විහිලුව තිබුණේ ඒ වෙලාවට පමණයි…. ඊට පස්සෙ ඒ විහිලුව ආයේ මතුවෙන්න නැහැ….

මට මතකයි නයිදු සර් සම්බන්ධ අපූරු සිද්ධියක්…. අපේ අල්ලපු පන්තියක සිදුවෙච්චි දෙයක් මේක….

free period එකක් ලැබුණාම කොල්ලන්ට ඉතින් කියල වැඩක් නෑ…. රජකම ලැබුණා වගේ…. පන්තියෙන් එලියට පැනලා එලි‍යේ පොඩි රවුමක් ගහලා පොඩ්ඩක් Relax වෙලා අයෙ පන්තියට එන්නේ ඊලඟ period එක පටන්ගන්න ඔන්න මෙන්න කියලා… Period දෙකක් මාරුවෙන මිනිත්තු කීපයවුනත් ඇති අපේ කොල්ලන්ට ඔය වැඩේට….

දවසක් අපේ මිත්‍රයෙක් ඔය විදිහට පන්තියෙන් එලියට ගිහිල්ලා එනකොට පන්තියේ හොඳ නිශ්ශබ්දතාවයක් තිබිලා තියෙනවා….. Manට සැක හිතිලා දොරට මුවවෙලා ඇතුලට එබිලා තියෙනවා කව්ද ඉන්නෙ කියලා බලන්න….

ඒත් එක්කම හොඳ පා පහරක් වැදිලා තියෙනවා මිනිහගෙ පශ්චාත් ප්‍රදේශයට….!!!! ඒ පහරින් මිනිහා විසිවෙලා ගිහිල්ලා පන්තිය ඇතුලටම…..

මිනිහා පස්සත් අල්ලගෙන පිටිපස්ස හැරිලා තියෙනවා ගහපු එකාට දෙකක් නෙලන්න හරි හොඳ ශුද්ධ සිංහලෙන් දෙකක් කියන්න.… බැලින්නම් ඒ හෙන පාර ගහල තියෙන්නේ නයිදු සර්…..!!!!!! ඉතින් මොනවා කරන්නද????

අදටත් ඒ සිදුවීම අපි මතක්කරමින් හිනාවෙනවා…. නමුත් ඒ සිද්ධිය එතැනින් සමාප්තවුනා අපිට සදාකාලික රසබර සටහනක් ඉතිරිකරලා….

නයිදු සර් ඇවිල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්… මං හිතන විදිහට සර් දේශපාලනයට සම්බන්ධවෙලා හිටියේ විශ්වවිද්‍යාල සමයේ ඉඳන් වෙන්න ඕනෑ….

සර් දේශපාලනයට සම්බන්ධවෙලා හිටියා අපේ පාසලේ උගන්වන කාලයෙත්…. සර් දේශපාලනය කලේ රතු පාට පක්ෂෙකින්…. ඒක සර්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය….. ඒක අපිට ප්‍රශ්නයක් වුනේ නෑ…. මොකද අපි සර්ව දැක්කේ ගුරුවරයෙක් විදිහට මිසක් දේශපාලකයෙක් විදිහට නෙමෙයි….

අපිටත් ඉතින් ඔය fun එකක් නැත්නම් Jollyයක් ඕනා වෙලාවට අපි සර් එක්ක හොඳ දේශපාලන talk එකක් ඇදගන්නවා…. අපි දේශපාලනය ගැන දන්න ඉටිගෙඩියක් නෑ…. අපිට ඕනෑ දේශපාලනේකුත් නෑ….. අපි බොරුවට සර්ව වාදෙකෙට පටලවගන්නවා…. තනිකරම fun එකට විතරයි…. නමුත් සර් ඒක විහිලුවට ගණන් ගත්තෙ නෑ…. සර් සර්ගේ මතය පැහැදිලිව විස්තරකලා…. මං ඒකෙන් යමක් ඉගෙන්ගත්තා….

ඒ තමා කිව යුතුදෙයක් තියෙනවානම් ඒක නිර්භයව,පැහැදිලිව, වෙලාව නොහැර කිවයුතුයි කියලා….නැතිනම් ඒක පස්සෙ කාලේක පසුතැවිල්ලක් වෙන්න බැරි නැහැ…

එදා සර් කිව්ව දේවල් ගැන අද හිතලා බලනකොට මට හිතෙනවා සර්ට හොඳ දැක්මක් තිබ්බ කියලා දේශපාලනයෙත්…. නමුත් මං ඒක ගැන විස්තකරන්න යන්නේ නැහැ…. මොකද මට අවශ්‍ය නයිදු සර්ගේ චරිතය විස්තර කරන්න මිස…. ඔහුගේ දේශපාලනය විස්තර කරන්න නෙමෙයි….

මට මතකයි දවසක් Electronic Period දෙකම free තිබ්බ දවසක R.I.T.Alles Hallඑක ගාව සර් එක්ක අපි හෙන දේශපාලන වාදයකට පැටලුණා…. අපි ඒක ඇත්තටම කලේ අපිට කාලේ ගෙවාගන්න…. මොකද ඒ වෙලවේ අපේ පන්තියේ commerce කරන අය හිටියේ…. ඒහින්දා අපිට යන්න තැනක්වත් කරන්න දෙයක්වත් තිබ්බෙ නෑ….. සර් එතැනින් යනවා දැකලා සර්ව නවත්තගෙන අපි ඉතින් බොරුවට සර් එක්ක වාදකලා…. හැබැයි සර් ඒක විහිලුවකට භාරගත්තෙ නෑ…. සර්ගේ අදහස සෘජුවම ඉදිරිපත්කලා….

ඒක අගයකල යුතු ගුණයක් විදිහට මං දකිනවා අද…. මොකද අද බොහෝ දෙනා තමන් ඉදිරිපත්කලයුතු අදහස් හිත ඇතුලේ තියාගෙන විඳවනවා…. සර් එහෙම කලේ නැහැ…. අදහස් සෘජුව ප්‍රකාශකලා….

අපි අ.පො.ස.උසස්පෙළ පන්තියට යනකොට නයිදු සර් පාසැලෙන් transfer එකක් හදාගෙන අම්බලංගොඩට ගියා…. ඊට පස්සේ සර් අපිට මුණ ගැහුනේ නෑ.

පහුගිය ජනාධිපතිවරණයේ අම්බලංගොඩ ප්‍රදේශයේ සිදු වූ පහරදීමකින් රතු පාට පක්ෂයට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඝාතනය වුණා කියලා ආරංචියක් පැතිරුණා…. සාමන්‍යයෙන් ඔය වගේ සිද්ධීන් අපිට ලංකාවේ එච්චර අලුත් දේවල් නොවේ…. ඒ හින්දා අපි ඒක එච්චර ගණන් ගත්තේ නෑ….

නමුත් ඒ මරණය වෙලා දවස් දෙකකට පස්සේ අපි දැනගත්තේ ඒවිදිහට අමානුෂික ලෙස ඝාතනය කරල  තියෙන්නේ අපේ ආදරණීය නයිදු සර් විත්තිය!!!!!….

මට හිතාගන්න බැරිවුනා මේ විදිහට යකඩ පොල්ලකින් හිසට පහරදීලා මරන්න තරම් සර් කල වැරැද්ද මොකද්ද කියලා…. සර් කලේ සර් විශ්වාසකල  දේශපාලනයේ යෙදුණු එක…. දේශපාලනයෙන් එලියට වෙන්කරලගත්තම සර් ඇවිල්ලා අහිංසක මනුස්සයෙක්….

සිද්ධියවුණු තැන හිටපු අනිත් අය දුවලා බේරිලා තිබ්බා…. මං ඉස්සෙල්ලා කිව්ව වගේ සර්ට තිබ්බ සද්ධන්ත ශරීරේ හින්දා සර්ට දුවලා බේරෙන්න බැරිවෙන්න ඇති….

ඒත් ඇයි මේ අහිංසක මනුස්සයා මරාදැම්මේ???? මේ ප්‍රශ්නෙට තාම සාධාරණ උත්තරයක් නැහැ….

සර්ගෙන් ඉගෙනගත් හැම ශිෂ්‍යයෙක්ම මේ මරණය ගැන දුක්වුනා හද පතුලෙන්ම…. අපිට අඩුමගාණේ බැරිවුණා සර්ගේ දේහයට අවසන් ගෞරවයවත් දක්වන්න…. නමුත් හැමදාම සර්ට පින්දෙනවා…. මොකද සර් අපෙ ඇස් පාදපු නිසා… ඒවගේම මනුෂ්‍යත්වය කියන්නෙ මොකද්ද කියල කියල දුන්න නිසා….

මට හිතෙනවා මෙතැනදී යමක් කියන්න….. සමහර මිනිස්සු ගතින් මියගියත් ඒ මිනිස්සු අපිත් එක්ක ජීවත්වෙනවා කියල දැනෙනවා…. මොකද ඒ මිනිසුන් ගතින් ප්‍රාණය නිරුද්ධ වෙනකන්ම ඒ මිනිස්සු තමන්ගේ ආත්මය කෙලසගන්නේ නෑ… ඒ නිසා ඒ මිනිස්සු දෑස මානයෙන් නික්මගියාට පස්සෙත් ඒ පිරිසිදු ආත්මයන් අමරණීය වෙලා අපේ හදවත්වල ජීවත්වෙනවා සදාකලිකව…..

නමුත් අද අපේ සමාජයේ ජීවත්වෙන බහුතරයක් තමන්ගේ ආත්මය කෙලසගෙන ඉවරයි…. ඇත්තම කිව්වොත් ඒ අය ඇවිදින මළමිනී වගේ…. හුස්ම ගන්න ඔක්සිජන් ටිකත් අපරාදේ.

සමහරවෙලාවට දේහයක් කර උඩ තියාගෙන සුසානෙට අරන් ගියාට ඇත්තටම මැරිල ඉන්නේ පෙට්ටිය ඇතුලේ ඇස්දෙක වහන් ඉන්න පුද්ගලයා නෙමෙයි…. ඒ පෙට්ටියට කරගහන ආත්මය කෙලෙසගත් සමහර  මිනිස්සුයි, ඒ දිහා බලා ඉන්න අයයි, ඒ මරණයට වග කිවයුතු අයයි …. නමුත් පොළව යටවැළලෙන්නේ ගතින් මැරුණු කෙනයි…. අනික් අය තමන්ගේ ආත්මය වළදාලා ඒ උඩ ඉටිපන්ඳමුකුත් පත්තුකරලා ඉවරයි….

මට හිතෙන්නේ නයිදු සර් අපෙන් මිදුණේ ගතින් විතරයි.සර්ගේ ආත්මය අපිත් එක්ක හැමදාම ඉදීවී….

නමුත් සර්ට යකඩ පොල්ලෙන් ගහපු මනුස්සයා දැනටමත් මැරිල ඉවරයි…. මොකද කවදාවත් තමන්ගේ හෘද සාක්ෂියෙන් මිනිහෙකුට බේරිලා යන්න බැහැ මොන දඬුවෙමෙන් බේරුණත්…. නිසිවෙලාවට නිසි දඬුවම ඒ අයට ලැබේවී….

” ආදරණීය නයිදු සර්…. ඔබ අපේ හදවත් තුල සදාකාලිකව ජීවත්වේවී…. “

ඔබට අමා මහ නිවන් සුව ලැබේවා ආදරණීය ගුරුපියාණනි!!!!

තිරසබැඳිය ප්‍රතිචාර 4

චිරං ජයතු ආදරණීය අලස් සර්….

ඔක්තෝබර් 3, 2011 at ප.ව. 4:39 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , , , )

 

3D04117F-6324-43CB-BE4F-FAD92445CA43

” R.I.T.අලස් ගුරුපියාණනි, ඔබ අපට තවත් ගුරුවරයෙකු නොව පියෙකි “

Ralph Ignatius Thomas Alles  එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්නේ එතුමාව ආර්.අයි.ටී.අලස් ගුරුපියාණන් ලෙසයි…. ඇත්තටම අලස් සර් කියන්නේ ගුරු වෘත්තිය වෙනුවෙන්ම ඉපදුණු පුද්ගලයෙක් විදිහටයි මා දකින්නේ…. මා පාසලට ඇතුළුවන සමයේ එතුමා පාසැලෙන් විශ්‍රාම ගිහින්…. එක අතකින් ඒක අවාසනාවක් විදිහටයි මං දකින්නේ….

ඒත් අලස් සර් ඉස්කෝලේ විශේෂ උත්සවයක් තිබ්බොත් එහෙමත් නැතිනම් ඉස්කොලේ වැදගත් කටයුත්තකදී ඒකට සහභාගී වෙනවා…. ඒ ආවාම අලස් සර් අපි වෙනුවෙන් වචනයක් දෙකක් කතාකරලා යන්න පසුබට වෙන්නේ නෑ

” මගේ රත්තරන් පුතාලා “…. එහෙම තමා අලස් සර් හැම කතාවක්ම ආරම්භ කරන්නේ….. ඒක අලස් සර්ටම විශේෂවුණු ආමන්ත්‍රණයක්…. සර්ගේ කතාව ඇතුලේ ඔය වචන 3 සෑහෙන්න කියවෙනවා…. සර් කතාකරන්නේ කොල්ලන්ගේ හදවතට….. අපේ භාෂාවෙන් කිව්වොත් අපේ බොක්කට…. පන්තියේ ඉන්න දඟම ශිෂ්‍යයාත්ගාම්භීර හඬට Surrender….

දැන් සර් කතාකරගෙන යනවා…. සාමන්‍යයෙන් අපි කතා අහන්න කැමති නෑ…. නමුත් සර්ගේ කතාවේ එහෙම නීරස බවක් නෑ….. ඒ කතා ඇතුලේ තියෙන්නේ දයාව, ආදරය, කරුණාව, මනුෂ්‍යත්වයයි…. ඒ වගේම ඒවා නිකන් හිස් පුහු වචන නෙමෙයි.… බොහොම හරවත් ඒ වගේම වැදගත් කාරණා කතාව පුරාම අන්තර්ගතයි….

අලස් සර් කියන්නේ ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සදා නොමැකෙන නාමයක්…. ඇත්තම කිව්වොත් එතුමා  කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ ජීවයයි….. අද කුමක් හෝ ජයග්‍රහණයක් ලබාගන්නවානම් අපේ පාසැල.…  ඒ ජයග්‍රහණය පිටිපස්සේ තියෙන එක් යෝධ හෙවනැල්ලක් තමා අලස් සර් කියන්නේ….

අලස් සර් බොහොම කම්කටොළුවලට මුහුණු දුන්නු කෙනෙක් කුඩාකල ඉඳන්ම….. එතුමා දුෂ්කරතා මධ්‍යයේ වෙහෙස මහන්සි වෙලා ගාල්ලේ ඇලොසියස් විද්‍යාලයෙන් සිප්සතර හදාරලා ගුරු වෘත්තියට ඇතුළුවෙනවා….

1960 වකවානුවේදී එතුමා කොළඹ රාජකීය විදුහලේ වඩු කාර්මික ගුරුවරයා වෙලා හිටියේ….. මේ කාලයේ කොළඹ වාසය කරන හැමදෙනාම තමන්ගේ දරුවා රාජකීය විද්‍යාලයට ඇතුලුකිරීමට උත්සහ දරනවා…..ඒ නිසා දරුණු තදබදයක් ඇතිවෙනවා…. මේකට තියෙන්නේ එක් විකල්පයක් විතරයි…. ඒ තමා අලුත් පාසැලක් ආරම්භ කිරිමයි…. ඒ අභියෝගය භාරගන්නේ මේ වඩු කාර්මික ගුරුවරයා… ඒ කියන්නේ අපේ ආදරණීය අලස් සර්….

බෞද්ධාලොක් මාවතේ තිබිල  තියෙනවා කුඹී කැලේ කියල තරමක් ඝන කැලෑවක්…. මේ කැලෑව එළිපෙහෙලි කරල තමයි අලුත් පාසැල හදන්න තීරණය වුණේ…. ඉතින් මේ කැලෑව එළිපෙහෙලි කරන්න අලස් සර්, රාජකීය විදුහලේ ශිෂ්‍යභට කණ්ඩායම සහ ප්‍රදේශවාසීන් එකතුවෙනවා….. මේ ඝන කැලෑව සුද්ධකරගෙන යද්දී පොළොන්ඟු, නයි වගේ උරගයින් හමුවී තිබෙනවා…

බොහොම පරිශ්‍රමයකට පස්සේ කැලෑව එළිපෙහෙලි කරල අවශ්‍ය ගොඩනැගිලි ඉදිකරලා 1967 පෙබරවාරි 10 , කොළඹ ඩී.එස්.සේනානායක විදුහල අභිනවයෙන් ආරම්භවෙනවා….. ආරම්භයේදී සිසුන් 167 ක් හා ගුරුවරු 20 ක් පමණ පාසැලේ ඉඳලා තියෙන්නේ….

අද කොළඹ ඩී.එස්.සේනානයක විදුහලේ සිසුන් 6,000 කට වඩා සිටිනවා…. ආචාර්ය මණ්ඩලය 250 ටත් වඩා වැඩි ප්‍රමාණයක් සිටිනවා…. මේ සියල්ල පස්සෙම තියෙන්නේ අලස් සර්ගෙ වෙහෙස මහන්සිය.… ඒක අපි අවංකවම පිලිගන්නවා….

අලස් සර් පාසැල පටන්ගන්නකොටම විනය කියනදේ පෙරටුකරගත්තා…. අධ්‍යාපනය ආවේ විනයට පස්සේ….. මට හිතෙන විදිහට අලස් සර් කරලා තියෙන්නේ සමාජයට මහත් සේවයක්….

” හැමෝම අපිට විශ්වවිද්‍යාලයට යවන්න බැහැ….. ඒත් අපිට පුලුවන් හොඳ විනය ගරුක පුත්තු ටිකක් සමාජයට දෙන්න”

මේ දේ නිතරම වගේ හිටපු විනය භාර නියෝජ්‍ය විදුහල්පති T.D.ප්‍රනාන්දු සර්ගෙ මුවඟේ රැඳී තිබුණා…. මේක අලස් සර්ගෙ සංකල්පයක් වෙන්න ඇති…. අලස් සර්ට පුළුවන් වුණා මේ දේ හැම ශිෂ්‍යයෙක් තුලම, හැම ගුරුමවක් තුලම, ගුරුපියෙක් තුලම ඇතිකරන්න….

අලස් සර් ඩී.එස්.සේනානායක විදුහල, ඩී.එස්. පවුලකට හැරෙව්වා…. පාසැල හා ශිෂ්‍යයන් විතරක් නෙමෙයි, දෙමව්පියන්වත් පාසැලේ වැඩකටයුතුවලට සහභාගී කරගත්තා…. කිසිම ගුරුවරයෙක් ශිෂ්‍යයන්ව නමින් ඇමතුවේ නෑ….. ඇමතුවේ ” පුතා ” කියලා.ශිෂ්‍යයනුත් ගුරුමැණිවරු හා ගුරුපියවරු දැක්කේ දෙමව්පියන් වගේ…. ඒවගේම පාසැලෙන් සමුගත්තාට පස්සෙත් පාසැලේ ඉගෙනගත් ශිෂ්‍යයන්ට පාසැලෙන් මිදෙන්න බැරිවුනා.... ඒකේ ප්‍රතිඵලයක් තමා පාසැලේ ආදි ශිෂ්‍ය සංගමය….. අදටත් මේ බැඳීම එහෙමමයි…. අලස් සර් අපි හැමෝම එතැනට ගෙනාවා….

සර් කරපු කතාවලදී අපිට සැහෙන්න පරණ කතන්දර කියල තියෙනවා…. අපේ ඉස්කොලේ තියෙනවා අඹ ගස්.… මේ ගස්වල හොඳට අඹ හැදෙනවා…. එක සැරයක් එවකට අගමැතිනිය වෙලා හිටපු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඇවිත් තියෙනවා පාසැලේ විශේෂ කටයුත්තකට…. එතුමිය දැකල  තියෙනවා මේ අඹ ගස්වල  ගෙඩි හොඳට හැදිලා… එවගේම බිම වැටිල විසිරිලා තියෙනවා….

” මේ ළමයි මේ ගස්වල අඹ කඩන්නේ නැද්ද Mr.අලස්??? “ කියල අහල තියෙනවා එතුමිය…. අපෙ අලස් සර් දීලා තියෙන්නේ මේවගෙ උත්තරයක්….

” නැහැ මැඩම්… මගේ රත්තරන් පුතාලා මේ ගස්වල තියෙන අඹ කඩන්නේ නෑ කවදාවත්ම අහන්නේ නැතුව “

එහෙමයි එතුමා විනය හදලා තිබුනේ පාසලේ….

අලස් සර් අසීමිතව තමන්ගේ ශිෂ්‍යයන්ට ආදරය කලා…. මං ඒකට කතාවක් කියන්නම්…. වරක් ආර්.ප්‍රේමදාස මහතා ආරාධිත අමුත්තා ලෙස පැමිණි උත්සවයක් තිබිලා තියෙනවා පාසැලේ ක්‍රීඩා පිටියේ…. එදා උත්සවය පටන් අරන් ටික වෙලාවක් යනකොට මහ වරුසාවක් කඩාපාත් වෙලා තියෙනවා….. නමුත් අපේ කොල්ලන්ට අලස් සර් උගන්නලා තිබ්බ විනය හේතුවෙන් එක්කෙනෙක් වත් එතනින් ඉවතට දුව ගියෙ නෑ…. ආර්.ප්‍රේමදාස මැතිඳුන් පවා ඒ ගැන පුදුම වෙලා තියෙනවා….

නමුත් ඊලඟට සිදුවුනු දේ තමා කවුරුත් පුදුමයට පත් කලේ…. අලස් සර් නැඟිටිලා තියෙනවා ඉඳගෙන හිටපු අසුනින්….

” ඇයි අලස් සර් කොහෙහරි යන්නද??? “ ආර්.ප්‍රේමදාස මැතිඳුන්,  අලස් සර්ගෙන් අහලා තියෙනවා….

” මගේ රත්තරන් පුතාලා වැස්සේ තෙමෙනකොට මට මෙතැන ඉන්න බැහැ සර්…. මං ඉන්න ඕනෑ මගෙ පුතාලා එක්ක….”

එහෙම කියලා අලස් සර් එලියට ඇවිල්ලා අපේ කොල්ලෝ එක්ක හිටගත්තා කුඩයක්වත් නැතුව….!!!!!

සර් පෙන්නුවා මොකද්ද අපි අතරෙ තියෙන බැඳිම කියලා හැමෝටම ඒකේන්….අලස් ශාලාව ලැබුනේ ඒ සිද්ධියෙන් පස්සේ කියල තමයි මට මතක…. ඒ කොහමවුනත් ඒ තමා අපේ අලස් සර්….

අලස් සර්ගේ කනිටු පුත් මලික් අලස් මහතා අවාසනාවන්ත ලෙස ලෙදර් පන්දුවක් හිසේ වැදීමෙන් මෙලොව හැර යනවා…. මං හිතන්නේ අලස් සර්ව වඩා සසලකල හා කම්පනයට පත්කල  සිදුවීමක් ඒක…. සමහරවිට ඒ හින්දා සර් ගොඩක් තවත් අපිට ලංවෙන්න ඇති…. ඒකයි අපිට තවම එතුමාව පියෙක් විදිහට පේන්නේ….

” තමාට පෙර රට “…. ඒ තමා අපේ ආදර්ශ පාඨය…. අලස් සර් එක නිකන්ම නිකන් වචන ටිකක් විතරක් කලේ නෑ… අපිව එතැනට මෙහෙයුවා…. පහුගිය යුධ සමයේ අපේ පාසලේ ඉගෙනුම ලැබූ රණවිරුවන් බොහෝදෙනෙක් ජීවිත පූජාකලා…. අපේ ඉස්කොලේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලුවෙලා ඉස්සරහට ඇවිදන් ගිය තැන හමුවුන ස්මාරකයේ සටහන්වෙලා තියෙන නම් වලින් ඒ බව කියාපානවා නිහඬව….

ඒවගේම රටේ ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් අපේ හිටපු ශිෂ්‍යයන් ඉහල තනතුරුවල කටයුතු කරනවා…. නමුත් ඒ හැමදේටම වඩා ඒ හැමෝම විනය ගරුකව සමාජයේ හැසිරෙනවා…. මේ හැමදේකම නිර්මාතෘ අපේ ආදරණීය අලස් සර් විත්තිය අපි කියන්නේ අවංකවමයි….

පහුගිය කාලේ සර් ගොඩක් ප්‍රශ්නවලට මුහුණ පෑවා… ඒ දේශපාලිනික ගැටළු හින්දා… අපිට සර්ගේ දේශපාලනේ ප්‍රශ්නයක් නොවේ…. අපි ඇත්තටම කනගාටුවුනේ සර්ගේ ඇස්වල කඳුලු තිබ්බ එකටයි…. අපි සර් එකම් ඩී.එස්. පවුලේ උදවිය… ඒ නිසා අපිට ඒ දේ හොඳින්ම දැනුනා…. බයවෙන්න එපා සර්….  ඩී.එස්. එකේ අකුරක් හරි ඉගෙනගත්ත හැම පුතෙක්ම සර් එක්ක ඉන්නවා හැමදටාම… ඒක ඒකාන්තයි….

අලස් සර්…. සර් හදපු එකමුතුව තාම අපි අතරේ තියෙනවා…. මේ ළඟදී අපේ සොහොයුරෙක් අපිව හැර ගියා සදහටම…. ඒ අවමංගල්‍යයට හැම ඩී.එස්. ශිෂ්‍යයෙක්ම, ආදි ශිෂ්‍යයෙක්ම වගේ ආවා…. දුක්වුනා… හැඬුවා…. විදේශගතවෙලා හිටපු ශිෂ්‍යයන් පවා තමන්ගේ සංවේගය දැන්වුවා…. අවංකව දුක්වුනා…. facebook profile pictures හැම එකක්ම සුදු කොඩිවලින් පිරුණා…. නැත්නම් ඒවා ඒ අපේ හැරගිය සහෝදරයාගේ රූපවලින් සැරසුණා…. දුර බැහැරව එන්නට නොහැකිව අධ්‍යයන කාර්යයන්වල, වෙනත් කටයුතුවල  නිරතවුණු ශිෂ්‍යයන් පවා අපි එක්ක සම්බන්ධ වුණා පුළුවන් හැම වෙලාවකම….

ගුරුමෑණිවරු, ගුරුපියවරුන් පවා නෙත්වල කඳුලු පුරවන් හිටියේ…. ඒ සහෝදරයාගේ දේහය අපේ කොල්ලෝ උරමතින් තියගෙන සුසාන භුමියටම අරන් ගියා…. ඒක දුක්මුසු අවස්ථාවක්වුණත් සන්තෝසයකුත් තියෙනවා සර්….

ඒ තමා අපි තාම ඩී.එස්.පවුලෙන් වෙන්වෙලා නැතිවිත්තිය අපිට එදා ඇත්තටම දැනුණා සර්…. ඒ දේ තමා සර් බලාපොරොත්තුවුනෙත් අපෙන්…. ඔව් සර්…. ඒ දේ අපි අතරේ තාම තියෙනවා….. ඒක ඉස්සරහටත් එහෙමම තියේවී….!!!!!

අද ඔක්තොම්බර් 03…. සර්ගේ උපන්දිනය…. සර් දැන් ගතින් වයොවෘද්ධවුණත් මං හිතන්නේ සර් සිතින් නම් තාම ජවසම්පන්න තරුණයෙක්….. සර්ට සුභ උපන්දිනයක්….. අපේ ආයුෂත් අරන් සර් තව බොහෝකල් නිරෝගීව ජීවත් වෙන්න ඕනා.. අපේ පැතුම එයයි….. මං දන්නවා බොහෝ දෙනා ඒ පැතුමට අවංකව හා භක්තියෙන් එක්වෙනවා කියලා….

අන්තිමට දෙයක් තියෙනවා සර් කියන්න…. ඔව්,මා මේ දේ කිව යුතුමයි

” R.I.T.අලස් ගුරුපියාණනි, ඔබ අපට තවත් ගුරුවරයෙකු නොව පියෙකි “

තිරසබැඳිය ප්‍රතිචාර 6

මතකයි ඒ අපෙ සමනල් වයසේ…. සුදු ඇඳුමින් අකුරට ගිය කාලේ….

ඔක්තෝබර් 3, 2011 at පෙ.ව. 8:29 (ජීවිතය පුරාවට දැනෙවී..., නිර්මාණාත්මක දෑස...) (, , , , , , )

" කාලය කෙලෙසින්.... නපුරුවුනාදෝ.... උදුරන්නට ඒ අපේ බාලේ.... "

මතකයි ඒ අපෙ සමනල් වයසේ….

සුදු ඇඳුමින් අකුරට ගිය කාලේ….

සිහිවේ නෙතඟට කඳුලක් උනා….

රසබරවූ දහතුන් වසර අපේ….

 

පාඩම් පොත උන්…. අමරලා නයනලා….

පිටු අතරේ හිරවී….

රූපවලට පැහැ…. දුන්නු පාට හුණු….

සැදෑ සමය ගෙවතී….

රවුම් අදින්නට…. හරඹ කරපු….

කවකට්ටත් අද තනිවී….

පාසල් ටයි පටියත්…. හොර රහසේ….

කඳුලු හලා හැඬුවේ….

 

දඟකම් කලදා…. දඬුවම් දුන් ඒ….

වේවැල  වෙන ගුරුමවක් අතේ….

එක්ව අකුරු කල…. මේසය අද්දර….

වෙන අයමයි රැස්වී උන්නේ…….

දුකට සැපට උන්…. ‍යහලු ‍යෙහෙළියන්.

තැන තැන විසිරී ගොස් ඇත්තේ…….

කාලය කෙලෙසින්…. නපුරුවුනාදෝ….

උදුරන්නට ඒ අපේ බාලේ….

 

නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන

තිරසබැඳිය එක් ප්‍රතිචාරයක්

“රෝම්යෝ” පැරද වූ Chris Medina…

ඔක්තෝබර් 2, 2011 at ප.ව. 3:55 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , , , , )

"ආදරය කියන්නේ පරිත්‍යාගය,කැපකිරීම,මනුෂ්‍යත්වය,සෙනෙහස මුසුවුනු අරුම පුදුම දෙයක්"

ආදරය… Love… භාෂා දෙකින්ම ගත්තත් අකුරු 4 කින් හැදුණු වචනයක්… බැලූ බැල්මට මේක සාමාන්‍ය වචනයක්… නමුත් මේකේ අරුත බොහොම බලවත්… ඒ තේරුමට පුළුවන් කෙනෙකුගේ ජීවිතය දිව්‍යලෝකයක් කරන්නත් නැතිනම් අපායක් කරන්නත් පුළුවන්…

ආදරය ගැන කතාකරන්න ගත්තාම… ඉස්සෙල්ලාම සිහියට නැඟෙන්න රොමියෝ ජුලියට් ආදර අන්දරය… තම පෙම්වතිය මියගිහින් සිතා රොමියෝ වසපානය කර මියගියාට පස්සෙ “රහස්’ ඖෂධයකින් සිහි නැති කරගෙන උන් ජුලියට් කුමරිය රොමියොගේ කිණිස්සෙන් ළය පසාරුකරගෙන රොමියෝ ළඟම මියැදෙන කතා පුවත ඇත්තටම ශෝචනියයි…

නමුත් අද මා මේ කියන්න යන්නේ ආදරයේ අරුත හිතට කාවද්දන නූතන යුගයේ ආදරණීය ප්‍රේම වෘතාන්තයක් ගැන… මං ඔබලාට කියන්නේ ඒක තවත් කතාවක් නොකර ජීවිතයට එක්කරගන්නයි කියලා….

මේ කතාවේ කතා නායකයා Chris Medina…. කතා නායිකාව Juliana Ramos…. මං මේ දෙන්නා රොමියෝ ජුලියට්ටවත්, සාලිය අසෝකමාලාටවත් සම කරන්නේ නෑ…. එහෙම කලොත් ඒක ලොකු අසාධාරණයක් කියල මට හිතෙන්නේ…..

Chris තවමත් අවුරුදු 28 ක ඇමෙරිකාවේ චිකාගෝ නුවර වාසයකරන කඩවසම් තරුණයෙක්…. ඔහු සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක කෙනෙක්…. ඔහුගේ පෙම්වතිය තමා Juliana… ඇය ඉතා සුරූපී තරුණියක්

මේ දෙන්නා ඉතාමත්ම ආදරයෙන් බැඳුනු හොඳින් ගැළපුනු පෙම් යුවලක්… Chris, Juliana ට ආදරයට ඇරියුම් කල අයුරු දැක්වෙන Video එකක් Youtube තියෙනවා… ඔබටම තේරේවී එය නැරඹුවොත් මා කියන්නේ ඇත්තක් කියලා…. මෙ දෙන්නාගෙ ප්‍රේම කතාව අන් ප්‍රේම කතාවන් සේ බොළඳත්වයෙන්, සතුටින්, ආදරයෙන් ගලාගෙන ගියා…

අවුරුදු කීපයක සම්බන්ධතාවයෙන් පස්සේ  Chris සහ Juliana දෙමව්පියන්ගේ ආශිර්වාදය අනුව විවාහය ලියාපදිංචි කරනවා… එතැන් සිට අවුරුදු 2 කට පසු විවාහ උත්සවය ගැනීමට ඔවුන් තීරණය කරනවා…. කතාව ඇත්තටම ඇරඹෙන්නේ මෙතැන ඉඳලයි….

කිසියම් දෙයක් වෙන්න තියෙන්වනම් මොන ජගතෙකුටවත් ඒ දේ නවත්තන්න බැහැ…. Chrisටත්,Julianaටත් ඒ ලෝක ධර්මයෙන් මිදෙන්න බැරිවුනා… ඔවුන් විවාහය ලියාපදිංචිකල අවුරුද්දේම ඒ කියන්නේ 2009 දිම Juliana දරුණු රිය අනතුරකට මුහුණපානවා….

ඒ රිය අනතුර කොතරම් බරපතලද කිව්වොත් Chris හැර කවුරුත් විශ්වාස කරන්නේ නැහැ ඇය ජීවත්වෙයි කියලා….වෛද්‍යවරුන් පවා අවිනිශ්චිත නිගමනයක ඉඳලා තියෙන්නේ Juliana ගේ ජීවිතය ගැන…. නමුත් Chrisට Julianaගේ ජීවිතය ගැන විශ්වාසයක් තිබ්බා…. ඔහුගේ ඒ විශ්වාසය අවසානයේ ජයග්‍රහණය කලා….. Juliana අවදානමින් මිඳුණා…. නමුත් ඒ වෙනකොටත් ඇයගේ සාමාන්‍ය ජීවිතය ඇයට අහිමිවෙලා තිබුණා….

ඒ දරුණු රිය අනතුරෙන් Julianaගේ මොළයේ වම් ප්‍රදේශය දරුණු ලෙස හානිවී තිබුණා…. ඒ නිසා ඇයට වෙනදා මෙන් දුව පැන ඇවිදින්නට හැකියවක් නැතිවුනා…. ඇයට තමන්ගේ වැඩකටයුතු කරගන්න කාගේ හෝ සහයක් නැත්නම් වාරුවක් අවශ්‍ය වුණා…. ඒ වගේම Julianaගේ මුළු ශරිරයම නිරන්තරව වෙව්ලමින් ගැහෙමින් තිබුණා… ඇයගේ ස්නායුවලට දරුණු ලෙස හානි සිදුවී තිබිම ඒකට හේතුවයි…. කොටින්ම කිව්වොත් Juliana සදාකාලික ආබාධිතයෙකු වෙලා තිබුණා….

දැන් අපි හැරෙමු Chris දිහාවට…. කොච්චර ආදරෙන් බැඳී උන්නත් මේ වගේ සදාකාලිකව ආබාධිතවුණාම ඒ කෙනාව මඟහරින එක මේ මිනිස් සමාජයේ සුලභ සිදුවීමක්….නමුත් Chris එහෙම කලේ නෑ…. ඔහුම කියූ දෙයක් මෙතැන සිංහල පරිවර්තනයක් විදිහට මං සටහන් කරන්නම්….

” ඇයට මාව අවශ්‍යම වෙලාවේ මං ඇයව මඟහැරගියොත්…. අපේ ආදරේ තේරුම මොකද්ද???? අපි අවුරුදු ගණනක් කතාකල  වදන්වල  තේරුම කුමක්ද??? “

ඔව්, Julianaගේ ජීවිතය Chris භාරගත්තා…. ඔහු ආදරයට අලුත් අර්ථකථනයක් දුන්නා…. අද Julianaගේ ජීවිතේ හැම කටයුත්තක්ම ඉටු කරන්නේ Chris එයාගේම අත්වලින්…. Julianaගේ පෞද්ගලික කටයුතු පවා Chris කරල දෙන්නේ කිසිම පැකිලීමකින් හෝ හිරිකිතයකින් තොරවයි…..

Chris වෙනදටත් වඩා හොඳින් Julianaව බලාගන්නවා.… ඒකට Julianaගේ මවගෙන් Chrisට හොඳ සහයක් ලැබෙනවා….

මේ කතාව ඉස්සෙල්ලාම ලෝකය දැනගන්නේ සුප්‍රසිද්ධ Reality වැඩසටහනක් වන American Idol වැඩසටහනින්…. Chris ඒ වැඩසටහනට සහභාගී වෙනවා…. Juliana ඒ වැඩසටහනට Chris සමඟ එනවා…. එතැනදී විනිශ්චයට පැමිණි සිටින සුප්‍රසිද්ධ විනිශ්චකරුවන්ගේ ඉල්ලීම පිට Chris, Juliana කැඳවාගෙන එනවා ගීත ගායනා කරන ස්ථානයට…. ඒක බොහොම සංවේදී දර්ශනයක්…. විනිශ්චකරුවන්ගෙ නෙත් පවා කඳුලෙන් තෙත්කරන මොහොතක්….

Chris, ඒ වටයෙන් ඊළඟ වටයට තේරුණත් ඒ තරඟයේ වැඩි දුරක් යන්නේ නැහැ.…. ඔහුට තරඟයෙන් ඉවත්වීමට සිදුවෙනවා…. ඔහු තරඟයෙන් ඉවත්වූ පසු ඔහුගෙන් ඒ වැඩසටහනේ නිවේදකයෙකු අහනවා තරඟයෙන් ඉවත්වීම කණගාටුවක්ද කියලා….. Chris සිනාමුසු මුහුණින් පිලිතුරු දෙනවා…..

” කමක් නෑ…. මට දැන් Juliana ළඟ වැඩි කාලයක් ඉන්න පුළුවන්…. “

තරඟයෙන් ඉවත්වූ පසුදාම Chrisට ලැබෙනවා ගීයක් පටිගත කරන්න…. ඒ ගීයෙ නම ” What Are Words “ …. මං හිතන්නේ ගායකයෙකුට තමා ගැනම ලියවෙච්චි සත්‍ය ගීයක් මුල්ම ගීය ලෙස ගායනා කරන්න ලැබීම හරිම දුර්ලභ සිදුවීමක්…. ඒ අතින් Chris වාසනාවන්තයෙක්…. ඒ ගීය තනිකරම විස්තර කලේ Chrisගේ අවංක වූ, පිවිතුරු වූ ආදරය ගැනයි…. ඒ ගීය යුරෝපයේ ගීත දර්ශකවල  ඉහල තැනක් ලබා ගත්තා…..

නමුත් මට හිතෙන්නේ නම් අපිට ආදරය කියන්නේ මොකද්ද කියලා හිතන්න අලුත් පැතිකඩක් Chris විවෘත කලා කියලයි…මට ඇත්තටම හිතෙනවා Chris රොමියෝටත් වඩා ශ්‍රේෂ්ඨ පෙම්වතෙක් කියලා…. මොකද තමන්ගේ මුලු ජීවිතයම තමන්ගෙ පෙම්වතියට කැපකරල  තියෙන නිසා…. ඔහු ඇයගෙන් වෙනදෙයක් බලාපොරොත්තුවෙන්නේ නෑ….. ඔහුට අවශ්‍ය ඇයගේ ආදරය පමණයි….

ගොඩක් වෙලාවට අපි ආදරය කරන්නේ රූපෙට…. නැත්නම් වෙනත් භෞතික දෙයකට…. අපි පුද්ගලයෙකුට ආදරය කරනවා බොහොම විරලයි…. විය යුත්තෙත් එයමයි…..

ආදරය කියන දෙය දැනෙන්න ඕනෑ හදපතුලෙන්මයි….. එහෙම වුනදාට කවදාවත්ම තමන්ට මිදෙන්න බැහැ තමන් ආදරය කල කෙනාගෙන් ජීවිතේට…. මොනදේ වුනත් ඔබ ඇය හෝ ඔහු ළඟ රැඳේවී….

සමහරු හිතන් ඉන්නේ ආදරය කියන්නේ ලිංගික ගනුදෙනුවක් කියලා…. නැහැ….. ආදරයට බලපාන එක් සාධකයක් විතරයි ලිංගිකත්වය.ආදරය ඊට වඩා බැරෑරුම් මාතෘකාවක්….

සමහරු ඉක්මන් වෙනවා එවන් ලිංගික ගනුදෙනුවලට ආදරය කරන කාලවලදී…. අන්තිමට පෙම්වතියගෙ කුසට දරුවෙක් දීලා තව කෙනෙක් යාලුකරගන්නවා….. අන්තිමට වෙන්නේ අහිංසක දරුවෙකුට අවජාතක ලේබල් එක වදින එකයි….. පෙම්වතියත් ඒ වගේ දෙයකට පෙළඹෙන්න කලින් හිතන්න ඕනි එකෙන් තමන්ට වන හානිය ගැන…..

පරිණාමයෙන් මිනිසා ඇතිවුනු හින්දා මිනිස්සුන්ට යම් යම් තිරිසන් ලක්ෂණ කාන්දුවෙලා තියෙන්න පුළුවන්…. ඒ වුනත් මිහිපිට ජීවත්වන බුද්ධිමත්ම සත්ව කොට්ඨාශය විදිහට අපිට පුළුවන් වෙන්න ඕනි අපේ හැඟීම් දමනය කරගන්න…. ආගම දහම ඒකට යොදගන්න පුළුවන්.… එහෙම හිතෙනදාට දැනට අපිට ඇහෙන්න දකින්න වෙන ඛේදාන්ත නතරවේවී….

Chrisගේ හා Julianaගේ මේ කතා වෘතාන්තයෙන් තේරෙන්නේ එක දෙයයි…. ඒ තමා ආදරය කියන්නේ පරිත්‍යාගය, කැපකිරීම,මනුෂ්‍යත්වය, සෙනෙහස මුසුවුනු අරුම පුදුම දෙයක් කියලයි…. මේ දෙදෙනා තමන්ගෙ ආදරයට නියම වටිනාකම්ක් දුන්නා….. මේ වගේ පෙම්වතුන් ලෝකේ තවත් ඇති…. ඒත් වඩා වැදගත්වෙන්නේ ඒ දේවල් අපේ ජීවිතයට ළංකරගැනීමයි....

මං ඔබට ආරාධනා කරනවා.… තමන්ගේ ආදරයට වටිනා අර්ථකථනයක් දෙන්න කියලා…. ඔබත් ආදරයට ආදරය කරන්න….

අවසානයේ අපි එක්ව පතමු Chrisගේ හා Julianaගේ යුග දිවිය සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙවා කියලා….. මං දන්නවා ඔබත් ඒ ප්‍රාර්ථනයට එක්වෙන බව….

තිරසබැඳිය ප්‍රතිචාර 2

නොසිතූ මොහොතක… සමුගත් කෝලිත…

ඔක්තෝබර් 1, 2011 at පෙ.ව. 11:08 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , , , , , , )

null

( 2008.02.03 දින දැයින් සමුගත් සදදාර ඩී.එස්.සොයුරන් සිහිකිරිම පිණිස ලියන ලද්දකි. )

මේ සිද්ධිය වෙන්නේ 2001 දී කොළඹ ඩී.එස්.සේනානායක විදුහල් ක්‍රීඩා පිටියේදී…

” මචං මූ ගහන්නෙම pull shot එක… උඹ මුගෙ leg side එකට පලයන්”

හැමදාම කෝලිත Bat කරන්න එද්දී අපේ team එකේ captain කියනවා මට…. කෝලිත බොහෝදුරට out වෙන්නේ ඔය pull shot එක උඩින් ගහන්න ගිහිල්ලා… බෙල් එක ගහලා උදේ රැස්වීමට දාඩිය පෙරාගෙන අපි හිටගන්නවා අව්වේ… ගොඩක් වෙලාවට පිටිපස්සෙම තමා අපි හිටගන්නේ… කෝලිතත් එනවා ඒ වෙලාවට…

” උඹ හැමදාම මං ගහන්න එන්කොට මගේ catch එක හැංඟිලා ඉඳන් ගන්නවා නේද??? ” කෝලිත ඒක අහන්නේ තරහට නෙමෙයි… ජොලියට… ඒක අපි ඕනෑම කෙනෙක් දන්නවා…

කෝලිත කුමාර මහමුදලිගේ කියන්නේ හොඳ උස මහත තරුණයෙක්… බොහොම ක්‍රීඩාශීලී වගේම බොහොම මිත්‍රශීලි කොල්ලෙක්…

කෝලිතට හිටියා නිවුන් සහෝදරයෙක්… පොර තමා කෝසල... හැඩරුවින් සමාන නැති නිවුන් සහෝදර කුලකයට තමා ඒ දෙන්න අයත් වෙන්නේ… කෝසලත් උන්නේ 8.B එකේමයි…

ඒක මරු පන්තියක්… මං හිතන්නේ control කරන්න අමාරුම පන්තියක්… නරකමත් නැහැ හැබයි හොඳමත් නැහැ… ඒත් cricket ගහපු උන් ඔක්කම අතර හොඳ fit එකක් තිබුනා…

කෝලිත බාහිර ක්‍රියාකාරකම් බොහොමයක යෙදුනා… මිනිහා baseball ක්‍රීඩාවේ දක්ෂයෙක්… ක්‍රීඩාවටම උචිත උස මහතක් මිනිහට තිබුණා…

අපි 8 න් වෙන්වුනාට පස්සෙ match එක නැවතුණා… ඒකට හේතුව තමා අපිව අහඹු විදිහට 9 පන්තිවලට තෝරල දාපු නිසයි… කෝලිත වැටුණේ වෙන පන්තියකට… ඊට පස්සෙ කෝලිත මාත් එක්ක පන්තියක හිටියේ නැහැ

ඒත් ඔය කොරිඩෝ එකේ රවුම් ගහද්දී… canteen එකේ කෝලිත හමබවෙනවා ඒ වෙලාවට වචනයක් දෙකක් කතකරලා අත් ගසා දාලා ( Give me 5) අපි වෙන්වෙනවා… ඒ ඇර පාසලේ විශේෂ උත්සව වල අපි හම්බවෙනවා…

2004 අ.පො.ස. සාමාන්‍යපෙළෙන් පස්සෙ මම විද්‍යා විෂයන් හදාරන්න යනවා… කෝලිත කලේ වානිජ විෂයන්… science එකයි commerce  එකයි පිහිටලා තියෙන්නේ පාසලේ අන්ත දෙකක… ඒහින්දා set වෙන්න තියෙන  සම්භාවිතාවය අඩුයි… function එකක් වෙලාවට තමා කට්ටිය එකතුවෙන්නේ… ඒහින්දා අ.පො.ස.උ.පෙළ කාලයෙදී කෝලිත හමුවුනේ බොහොම කලාතුරකින්

කොහමහරි 2007 අ.පො.ස.උ.පෙළ කලාට පස්සෙත් කෝලිත මට මුණගැහුනේ නැහැ… කෝලිත ආයේ මට මුණගැහුනා ප්‍රතිඵල  එන දවසේ…

ඒ තමා අපි දෙදෙනා අවසන්වතාවට හමුවුණ දවස…

ඒ 2008 ජනවාරී 2 වෙනිදා…

මං එනකොට ground එකේ match එකක්…

මගේ මතකය හරිනම් රුමේෂ් තමා Bat කර කර උන්නේ…

කෝලිත field කරමින් උන්නා long off side එකේ…

කෝලිතලට bat කරන්න ලැබුනු වෙලාවේ කෝලිත ආවා අපි හිටපු හෙවනට…

“කොහමද මචං?” මං කෝලිතගෙන් ඇහුවා…

“වරදක් නැහැ මචං” කෝලිත සුපුරුදු හිනාවෙන් කිව්වා…

ඒත් එකකම උන්ගේ team එකේ කෙනෙක් out වුණා… කෝලිත ගියා bat කරන්න…

මාත් ගියා වෙන මිත්‍රයෙක් දැකලා talk එකක් දාන්න…

ඒ තමා මායි කෝලිතයි අන්තිම වතාවට කතාකල වචන ටික…

Results ආවට පස්සෙ මං 2 පාරට උ.පෙළ. කරන්න සුදානම් වුනා… ආරංචිවුනා කෝලිතත් ආයේ උ.පෙළ කරනවා කියලා… වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙන්න අවධානය යොදාගෙන මං වැඩකලා…

ඒ කාලකණ්ණි දවස උදාවුනා60 වැනි නිදහස් උළෙලට කලින් දවසේ ඒ කියන්නේ 2008 පෙබරවාරි 3 වෙනිදාකොටුව දුම්රියපොළට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවුනා

මං යාන්තමට T.V. එකෙන් දැක්කා ඩී.එස්.සේනානායක විදුහලේ ලාංඡනය තියෙන ගමන් මළු, Baseball bat වැටිලා තියෙනවා බෝම්බය පිපුරුණු තැන… ඒ හින්දා අපේ ඉස්කොලේ අයට කරදරයක් වෙලා ඇතිවිත්තිය දැනගත්තා…

මොරිත්ගෙන් මට call එකක් ආවේ ඔය වෙලාවේ…. එයත් අපිත් එක්ක 8.B එකේ හිටපු කෙනෙක්.

” මචං කොලි‍යා ඉවරයි මචං… ඌ අර බෝම්බෙට අහුවෙලා… “ මට අදහන්න බැරිවුණා… නමුත් ඒක ඇත්තක් වෙලා තිබුණා……

මං ගියා මළගෙදර… කෝලිතගේ නිසල  සිරුර සාලයේ මැද තබා තිබුනා… පැත්තකින් කෝසල, ඒ කියන්නේ නිවුන් සහෝදරයා කෝලිත දිහා බලාගෙන උන්නා… ඒක හරි සංවේදී දර්ශනයක්… ඒ ප්‍රහාරයෙන් කෝලිත විතරක් නොවේ… තව 7 දෙනෙක් ඩී.එස්.මවගේ තුරුල්ලෙන් හා අපෙන් සදහට සමුගෙන තිබ්බා…  ලක්මෑණියන් අතිශයින් කම්පනයට පත්කල  මොහොතක් කිව්වට වැරැද්දක් නෑ…

අද අපි සාමයේ අරුණැල්ල දකිනවා…. නමුත් කෝලිත ඇතුලු අපේ සොහුයුරන් 8 දෙනාට ඒ අරුණැල්ල දකින්න ලැබුනේ නැහැ… ඒ අය විතරක් නෙමෙයි… ත්‍රස්ත ප්‍රහාරවලින් අපෙන් සමුගත් හැමෝටම ඒ දේ විඳින්න ලැබුණේ නෑ…

මං ප්‍රාර්ථනයක් කරනවා….

ඒ හැමෝම අප අතර යලි ඉපදේවා කියලා!!! …

ඔව්, මං දන්නවා ඔබලා සියලුදෙනාම මගේ ප්‍රාර්ථනයට එකතුවන බව…

තිරසබැඳිය ප්‍රතිචාර 4

මචං මහේෂ්…. අපි පස්සෙ හමුවෙමු….

සැප්තැම්බර් 29, 2011 at පෙ.ව. 7:24 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , )

null

( 2011.09.25 දින කිරිබත්ගොඩදී සිදු වූ හදිසි අනතුරකින් සදහට දෙනෙත් පියාගත් මහේෂ් හසන්ත සිල්වා සොයුරා වෙනුවෙන් ලියන ලද ලිපියකි. )

ආදරණීය මහේෂ්…. හෙට අපි භෞතිකව මුණගැහෙන අවසන් දිනයයි….. හෙට අපි කෑගැහුවත්, වැලපුණත් උඹ ඔය නින්දෙන් නැඟිටින්නේ නෑ….

පහුගිය දවස් 2-3 ම ඔතනට ආපු හැමෝම කඳුළු හැලුවා… උඹ ගැන ගොඩක් දේවල් කිව්වා…. අපි හිතුවේ උඹ නැඟිටියි කියලා… ඒත් උඹ ඇහිපිල්ලම්ක් වත් ගැහුවෙ නෑ…. උඹ නිතරම කිව්ව වගේ ” ඔය ඇස් අමතක වෙන්න නම්… මගේ ඇස් පියවෙන්න වෙයි….” කියල ද මන්දා උඹ ඇස් පියන් තදකරගෙන උන්නේ…. හැබැයි එකක් විශ්වාසයි… ඒ උඹ කාවවත් ජීවිතේට අමතක නොකරන විත්තිය…. කමක් නෑ….  උඹ නිදාගනින් ….

අවුරුදු 13 ක පාසැල් කාලයත්, ඊට පස්සෙත් මා ඔබෙ මිතුරෙකු කරගැනීම ගැන මා ණයගැතියි උඹට හැමදාටම…. ජීවිතේ මනුස්සකම, මිත්‍රත්වය, බැඳීම් ගැන මං උඹ දිහා බලගෙන ඉගෙනගත්තා…. මං දන්නවා මට උඹෙන් තව සෑහෙන දේවල් ඉගෙනගන්නට තිබුණ විත්තිය… මං විතරක් නෙමෙයිගොඩක් අය උඹෙන් දේවල් ඉගෙනගත්තා…..

නමුත් අපි එච්චර වාසනාවන්ත නෑ…. කමක් නෑ... නුඹෙන් ඉගෙනගත් දේ මුළු ජීවිත කාලය පුරාවට අපිට උදව් කරාවී…. සත්තයි මචං.

අපිට තේරෙන්නේ නැත්තේ හෙට කොහොමද උඹට සමුදෙන්නේ කියලා…. ඒක සෑහෙන්න ලොකු ගැටලුවක්….

ඒත් අපි දන්නවා මේක තාවකාලික සමුගැනීමක්…. අපි මේ සංසාරේ කවදහරි ආයේ හමුවෙනවා…. එදාටනම් මෙච්චර ඉක්මණට යන්න හදන්න එපා මචං.….

මහේෂ්!!!! උඹ අපේම මිතුරෙක්වෙලා යළි ඉපදියන්…. එතකන් උඹට හොඳ සුවදායක නින්දකට අවසරයි මචං…. අපි පස්සෙ හමුවෙමු….

තිරසබැඳිය ප්‍රතිචාර 5

« Previous page