සදාදරණීය T.D.ප්‍රනාන්දු ගුරුපියාණනි…

මැයි 26, 2020 at ප.ව. 11:09 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , , , , , , , , )

E225F31D-280C-4ADD-830D-6BAA335398BA

T.D.ප්‍රනාන්දු ගුරුපියාණනි… ඔබට අමා මහ නිවන්සුව අත්වේවා!!!

මේ කතාව වෙන්නේ 2004 දවසක හවස 1.45ට විතර පාසලේ අන්තිම Period එකේ…. එතකොට මම 11 වසරේ…අ.පො.ස.සා.පේ. පන්තියේ… ටිකක් පරණ කතාවක් වුණාට තාම සිද්ධිය මතකයි…

පාසලේ අන්තිම Period එක කියන්නේ ඉතින් සතුටු සාගරයක්… උදේ 4.30 ඉදන්ම යුද්ධෙට යන්න වගේ ලෑස්තිවෙලා බස්වල තෙරෙපිලා පීඩනයකින් ඉස්කෝලෙට ඇවිල්ලා ඊට පස්සේ පැය 8 ක් බොහෝම අමාරුවෙන් ඉඳලා ගෙදර යන්න ඉස්සෙල්ලා ගෙවෙන අන්තිම විනාඩි 40… මම හිතන්නේ නෑ එක ළමයෙක්වත් ඔය වෙලාව 100% ඵලදායිව ගෙවලා ඇති කියලා… ගත තිබ්බට පන්තියේ හිත තියෙන්නෙ එළියේ… බස් එක miss වෙයිද? class එකට වෙලාවට යාගන්න පුළුවන්වේද? අද වලියක් දාගන්නවාද අංචියක් අදිනවාද? අදත් අර කෙල්ල දකියිද?එයාට අද love letter එක දෙනවද?එකට එකක් වෙනස් ප්‍රශ්න හැමෝගෙම ඔළු ඇතුළේ….විද්‍යාව ගණන් වගේ subject එකක් තිබ්බොත් ආයේ ඉතින් sorry.com…. මොකෝ අහන් ඉන්නව වගේ උන්නට අහන් ඉන්න එකක්යැ…. වෙලාව යන්නෙත් ඉබි ගමණින්… කොහම කොහොමහරි එදත් අන්තිම සීනුව නාදවෙන්න ගත්තා… පන්තියේ හිටපු ගුරුතුමියත් ආයුබෝවන් කියලා staff room එක පැත්තට ගියා…

“දුකින් පෙළන සත් දුකින් මිදෙත්වා….“

මොන දුකද කොල්ලෝ ගජරාමෙට හිනාවෙනවා…කෑගහනවා… ඒ දවස් ඇත්තටම සුන්දරයි… දැන් තියෙන ප්‍රශ්නවලින් අරික්කාලක්වත් තිබුණේ නැත්ද මන්දා… කොහම නමුත් උදේ හවස ආගමික වතාවත්වලින් අපිට ඒ කාලේ දුක තේරුණත් නැතත් මතක් කරල දුන්නා… ඒ ආගමික වතාවත්වලින් පස්සේ තමයි ජාතික ගීය වාදනය වෙන්නේ…

දැන් කොල්ලන්ගේ ගෙදර යන්න තියෙන morale එකට ජාතික ගීය ඇහෙන්නෙත් නෑ… උන් උන්ගේ ලෝක වල… කාටහරි කියන්න පුළුවන් මුංට ජාතිය ගැන කැක්කුමක් නෑ කියලා… නමුත් මේ දේ වෙන්නේ උන් නොදැනුවත්ම… සමහරවෙලාවට අපි දන්නෙත් නෑ මොනවද වටපිට වෙන්නෙ කියලා… ඒ අපි ඉන්න mood එක අනුවයි…

මට හිතෙනෙ විදිහට ඊට වඩා බරපතල වැරැද්දක් අපි හොඳ සිහියෙන් ඉන්න ඕනි වෙලාවක වැරැදි මිනිස්සු ජනතා නියෝජිතයෝ විදිහට පත්කරගන්න එක… නමුත් ඒ වගේ බැරෑරුම් මාතෘකාවක් මේ ලිපියේ කතාකරන්න මම කල්පනා කරන්නේ නෑ… ඒක වෙනම දවසක කතා කරමු ටිකක් බරපතලව… දැනට මට කියන්න ඕනි වුණේ මේ කොල්ලන්ගේ වැරැද්ද අවුරුදු 6-7 කට බරපතල සිරදඬුවම් දෙන්න තරම් වැරැද්දක් නොවන බවයි…. මේ වැරැද්ද ප්‍රාථිමික අවදියේම හදන්න පුළුවන් විශේෂයෙනම් දෙකොට්ඨාශයකට… ඒ තමයි ගෙදරදිනම් දෙමව්පියන්ට, පාසලේදීනම් ගුරුවරුන්ට… මේ ලිපියේ කතාකරන්නේ මා පාසලේ එවන් ගුරුපියෙකු ගැනයි… අපි දැන් සිද්ධියට යමු…

කොහමහරි ජාතික ගීයත් ඉවරවුණා… ජාතික ගීයට ආචාර කරන්න හිස නමපු ගමන් ඊලගට පටන්ගන්නේ ජවන හා මළල පිටි‍යේ ඉසව්…. ඩෙස්ක්, පුටු උඩින් පැනීම, මීටර් 100 දිවීම වගේ, සමහරවෙලාවට බාධක දිවීම වගේ ඉසව්වක් වෙන්නත් පුළුවන්… කොහමහරි එදත් ඒ වගේම දවසක්… සැරසේන්… එලවේන්…එතකොටම ඇහුණා ගාම්භීර ගොරෝසු හඬක්…

”හේයි… හේයි… ඔහම නවතිනවලා….”

කොල්ලන්ගේ දුවන්න පනින්න හිටපු කකුල් මැන්ඩලීන් ගහන්න පටන් ගන්නේ දැන්… ඒ හඬට අපේ ඉස්කෝලේ ඔක්කම surrender …. සමහරවෙලාවට Principal සර්ටත් වඩා අපි මේ හඬට බයවුණා කිව්වට වරදක් නෑ… උස අඩි 6 ක් විතර හොඳ දේහධාරී ඒ රූපය අදටත් මැවිලා පෙනවා… ඒ වෙන කවුරුත් නෙමෙයි… අප පාසලේ හිටපු නියෝජ්‍ය විදුහල්පති වගේම විනයභාර ගුරුපියාණන්… T.D.ප්‍රනාන්දු ගුරුපියාණන්….

“හැමෝම අපිට විශ්වවිද්‍යාලයට යවන්න බැහැ….. ඒත් අපිට පුලුවන් හොඳ විනය ගරුක පුත්තු ටිකක් සමාජයට දෙන්න”

මේ දේ නිතරම වගේ සර්ගෙ මුවඟේ රැඳී තිබුණා….

විනය… කොළඹ ඩී.එස්.සේනානායක් විදුහලේ හදවත… පාසලේ ප්‍රමුඛම තැන තිබුණේ විනයට… මම හිතන විදිහට ඒ විනය ආරක්ෂා කරන භාරදූර වගකීම පැවරිලා තිබුණේ නියම සුදුස්සට.., ලේසි නෑ කොල්ලො 5000-6000ක් ආම්බාන් කරන එක… ඒ වුණාට ඒ ගොරෝසු දරදඬු හඬට ඒ දේ කරන්න පුළුවන් වුණා කියලා බය නැතුව කියන්න පුළුවන්…

දැන් කොල්ලෝ full හොල්මන්… ඊලඟට වෙන දේ හැමෝම දන්නවා… ගුරුපියාණන් බර අඩි තියලා පන්තියට ඇතුළුවෙලා ඉඳගත්තා ගුරු පුටුවෙන්…. හැමෝගේම ඇස් blade තලයකින් කැපිලා යන විදිහේ බැල්මක් දාලා මෙහෙම අණකලා…

“වාඩිවෙනවලා… වාඩිවෙනවලා…”

ඉතිපිසෝ ගාථාව සිහිකරගෙන set එකම වාඩිවුණා… දැන් කොල්ලන්ට කිසිම කඩිකුලප්පුවක් නෑ… හැබැයි ඕනි එකෙක්ගේ පපුවේ බිත්තර 1000 ක් වුණත් තම්බන්න පුළුවන්…, මොකද ත්‍රාසජනක episode එකට දැන් වේදිකාව තැනිලා තියෙන්නේ… එකම ප්‍රශ්නේ රංගධරයෝ කවුරුද කියන එක විතරයි… වැරැදි කරපු ඈයන්ගේ ඉහ කණින් බේරෙනවා දහඩිය…. කොටින්ම full speed යන fan එකටත් බෑ ඒවා වාෂ්ප කරන්න…

දැන් නඩුව අහන්නයි ලෑස්තිය…

“ ඔය පිටිපස්සෙ ඉන්න එකා… මෙහෙට වරෙන්…. ඌට අනිත්පැත්තෙන් වාඩිවෙලා ඉන්න එකත් වරෙන්…”

චූදිතයෝ දෙන්නා කැඳෙව්වා… උන් දෙන්නා දැන් බිම බලාගෙන එනවා ගුරු මෙසේ ගාවට…. සර්ට ආයේ සාක්ෂිකාරයෝ ඕනි වෙන්නේ නෑ… මොකද සර්ට සර්ගේ ඇස් දෙක sure…. අනික සර් දන්නවා කොල්ලන්ගෙන් අහලා වැඩක් නෑ කියලා… මොකද 99.99% ක් ම sure කොල්ලෝ එකෙක්වත් පාවල දෙන්නෙ නෑ කියලා…

හෙමීට ගුරු මේසේ කිට්ටුවට ආපු සගයෝ දෙන්නගේ බඩවල්වලින් කොනිත්තලා ඇඳල ගත්තා ගුරු මෙසේ ගාවට….

“ඈ බොල තොපි දෙන්නගේ අම්මා තාත්තා දෙන්නා කන්නේ තණකොලද තොපි දෙන්නා වගේ වස්සෝ දෙන්නෙක් හදන්න??? තොපි බොන්නේ පුන්නක්කුද ජාතික ගීය යන වෙලාවට ඩෙඟා නටන්න??? බලපන් දැන් අනික් උන්ටත් යන්න විදිහක් නෑ තොපි දෙන්න හින්දා”

“මේ වගේ ඉස්කෝලෙකට එන්නේ අයාලේ යන හරකෙක් වෙන්න නෙමෙයි බොල… විනය කියන එක හදාගනින් තප්පුලන්නේ නැතුව… දෙන්න හිතෙනව…” කියලා අතක් ඉස්සුවට ගැහුවෙත් නෑ… අපේ උන් දෙන්නා තක්බීර් වෙලා… අපිත් තක්බීර් වෙලා…

ඊට පස්සේ සර් cool down වෙනවා…

“උඹලා මේ ඉස්කෝලෙට එන්නේ ඉගෙනගන්නම නෙමෙයි…. විනය හදාගන්නත් එක්ක… දෙමව්පියෝ සෑහෙන සල්ලි වියදම් කරගෙන මේකට එවන්නෙත් මේකට… මොනවද මේ ලැජ්ජා නැති වැඩ…. සුදු කලිසම ගැහුවට පස්සෙත් මෙහෙම ඇණ ඇණ කියන්න උඹලා බබ්බු නෙමෙයිනෙ.., ආයේ මෙහෙම කරන්නේ නෑ හරිදා…. හ්ම් දැන් යනවා ගෙදර සේරම… මතක තියාගනිල්ලා මම බලං ඉන්නේ….”

සර් එදා පන්තියෙන් ගියා… අපිත් ගෙදර ගියා… හැබැයි එකක් ඇත්තටම වුණා…

සර් විශ්‍රාම ගන්නකන් අපි හැමෝම දිහා හොඳින් බලා උන්නා…

T.D.ප්‍රනාන්දු ගුරුපියාණන්…. කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ ඉතිහාසයෙන් නොමැකෙන චරිතයක්…. කොල්ලන්ට සර් ගැන තිබ්බේ ගෞරවයක් වගේම බයක්…. වරදකදී ටිකක් දරුණු වුණාට අතිශයින්ම සංවේදී මානුෂීය හිතක් තිබුනු ගුරු පියෙක්…

ඇත්ත… මම දැකලා තියෙනවා වැරදිවලට කොල්ලන්ට තලපු අවස්ථා එමට… විනය කඩකිරීම්වලදී හරිම දරුණුයි… විශේෂයෙන්ම වලිවලදී එහෙම මාට්ටු වුණොත් කොල්ලෝ කම්මුතුයි… ඒ පහරවල් වැදුනේ අතකින් කම්මුලටද නැත්නම් වේවැල්වලින් පශ්චාත් ප්‍රදේශයටද අදාලම නෑ… ඒ පහරවල් කාපු ගොඩක් උන් ඒ වැරැද්ද ආයේ කරන්නේ නෑ ඒ පහරවල්වල තිබුණු රස දන්න නිසා…

නමුත් සර්ට තිබුණා මානුෂීය හදවතක්… මට මතක් වෙනවා එහෙම සිද්ධියකුත්…

එදා free period එකක් අපිට… අහන්න දෙයක් නෑ ඉතින්… ඔබට මැවී පේනවා ඇති…. Free period ඉතින් කොල්ලන්ට පැදුරු පාටියක් නැත්නම් සාදයක්… එකම කාල ගෝට්ටියක් පන්තියෙම… මේවෙලාවට ඉතින් අපිට කිසිම නිච්චියක් නෑ එන යන අය ගැන… ඔන්න එදත් සර් ආව පන්තියට මේ කාලගෝට්ටිය අස්සේම…

“හේයි හේයි මොකද මේ හරක් පැටව්… වහගනිල්ලා කටවල්” කියලා ආවා ගුරුමේසේට තට්ටුවක් එහෙම දාලා වේවැලෙන්… දැන් ඉතින් වේවැල් කසාය තමා කියලා අපි ඉතින් දෙයියෝ බුදුන් සිහිකරගත්තා…

හැබැයි එදා approach එක ටිකක් වෙනස් sir ගේ…

පොදුවේ හැමෝටම කනේ ඇඟිලි ගහගන්න දේශානාවක් ලැබුණා… ඊට පස්සේ පන්තියේ කෙළවරක ඉඳන් හැම ළමයෙක්ගෙන්ම අහන්න ගත්තා කොහේ ඉඳන්ද එන්නේ, අම්මා තාත්තාගේ විස්තර… මට මතකයි මගේ මිත්‍රයෙකුට අවස්ථාව ලැබුණාම ඔහු කිව්වා ඔහුගේ පියා නැති විත්තිය… ඇත්තටම මගේ මිත්‍රයාට ඔහු කුඩා කාලයේම පියා අහිමව ගිහින් තිබ්බා… ඒක කිව්වාම සර් පොඩ්ඩක් සලිතවුණා…

“මෙහෙට වරෙන් කොල්ලෝ” කියලා ගුරු මේසේ ළඟට අපේ සහෝදරයාට කතාකලා… ඉන් පස්සේ දෙන්නා අතර ඈතිවුණේ ඇහෙන නොඇහෙන ගානේ කතාබහක්… වරදවා වටහගන්න එපා ඒක අතිශය මානුෂීය කතාබහක්
මම එදා පොඩ්ඩක් ගුරු මේසේ ළඟ පේළියක වාඩිවෙලා උන්නේ…ඒ හින්දා ඒ කතාබහ ශ්‍රවණය වුණා මට…

“පුතා කොයි කාලේද තාත්තා නැතිවුණේ”

“සර් මම පොඩි කාලේමයි”

“එහෙමද? මොනවාවෙලාද?”

උත්තරයවුණේ පිළිකාවකින් කියලයි.

මට එහෙමටම මතක නෑ ඊට පස්සේ දෙබස් නම්… නමුත් කතාවේ අන්තිම හරය වුණේ සර්ට අපේ සහෝදරයාට ඉස්කෝලේ වෙනුවෙන් උදව් කරන්න තිබුණු ඕනිකම… මට මතකයි ආර්ථික තත්වයන්, ලැබෙන උදව් උපකාර වගේ ඒවා ඒ කතාබහේ තිබුණා…. අවසානයේ මගේ මිත්‍රයාගේ පිටට තට්ටුවක් දාලා කිව්වා

“හොදට ඉගෙනගන්න ඕනි”

මගේ මිත්‍රයා අද හොඳ තැනක ඉන්නවා…

ඩී.එස්.සේනානායක විදුහල කියන්නේ එක පවුලක්… අප පාසලේ නිර්මාතෘ අලස් ගුරු පියාණන් පාසල පවත්වගෙන ගියේ පවුලක් විදිහට… ඒ සංකල්පය ඉදිරියට පවත්වගෙන යන්න විනයක් ඕනි… ඒ විනය ඇති කරන්න මහන්සිවූ කෙනෙක් විදිහට T.D.ප්‍රනාන්දු ගුරුපියාණන් හඳුන්වන්න පුලුවන්…ඒ පෞරෂයට හැකිවුනා කොල්ලන්ගේ චණ්ඩිකම් මෙල්ල කරන්න… ඒකට කොල්ලන්ට ගහන්න ඕනි වුණේ නෑ… ඒ ගැඹුරු හඬම ඇති… එතුමාගෙන් ඊට ලැබුණු දායකත්වය මෙතැකයි කියන්න අමාරුයි…

එතුමා විටෙක සැර පරුෂ ගුරුවරෙයෙක් වුණත් කොල්ලෝ කවුරුත් සර් එක්ක වෛර බැඳගත්තේ නෑ… මොකද අපි හැමෝම දැනගෙන උන්නා ඒ සැර පරුෂ භාවයට යටින් තිබ්බේ වෙඬරු පිඬක්වන් දුකට උණුවෙන පියෙකුගේ හදවතක් විත්තිය…

සර්ට කොල්ලන්ගේ ලෝකේ තේරුම් ගන්න හැකියාවක් තිබ්බා., ගොඩක් වෙලාවට මේ තරම් හොඳ ගණුදෙණුවක් තිබ්බේ ඒ නිසාම වෙන්න ඕනි… කොල්ලෝ හැරෙද්දි එන්නේ මොකාටද කියන එක sir දැනගෙන උන්නා…

තව කතාවක් මතක් වුණා…

වාරවිභාගයක  paper එකක් ඉවරවෙලා set එකම ground එකට බැස්සා වාර්ෂික මහා ක්‍රිකට් තරඟයට පෙරහුරුවක් ලබාගන්න… අහන්න දෙයක් නෑනෙ… ටෙනිස් බෝලෙයි, bat එකයි, nonstrikerට  ලී පතුරකුයි, wicket එකට පුටුවකුයි, bowlers end එකේ විකට් එකට පාගන්න ගඩොල් කැටයෙකුයි තිබ්බනම් ඒ දවස්වල ඉතින් මඩකරියෝ වගේ තමා ගෙදර යන්නේ… ඒ කාලේ ඔය පිට්ටනියේ තණපිඬලි අල්ලපු මුල් කාලේ… ඒ නිසා ඕකට බහින්න දෙන්නේ නෑ… Basket ball එක තමා සමාන්‍යයෙන් pitch එක…. හැබැයි ඉතින් වාරවිභාගය ඉවරවෙන දාට ඔය නීති ගැන කොල්ලෝ වැඩිය හිතන්නේ නෑ… එදත් ඉතින් එහෙම දවසක්…

දැන් match එක පටන්ගත්තා… ආයේ ඉතින් කඩියෝ වගේ…

“අල්ලපන්…”

“ දෙක වරෙන් දෙක වරෙන්…”

“ මෙහෙට දාපන්…“

“ shot මචං shot“

“ යකෝ no ball… ඉර පැනල මේ බලපන්”

“ යකෝ no ball… side එක කිව්වේ නෑ“

“ අඩෝ පිටිපස්ස ඔට්ටු නෑ… Keeper නෑ…”

“ umpire බෝල කීයද…”

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් වගේ… ගිරා පෝතක අධ්‍යපන ක්‍රමය නොවෙන්න හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෝ ටිකක් බිහිවෙන්නත් තිබ්බා අම්මපා ඒ match එකෙන්… කොහම හරි වැඩේ නැඟලා යනවා… කොල්ලන්ට අව්ව රස්නය දූවිල්ල ගාණක් නෑ… ඒත් එකපාරටම කොල්ලන්ගේ රෝම කූප තිග්ගැස්සෙන හඬ ඇහුණා… තරඟ තීරක ප්‍රධාන දැන්වීම් පූරුව ළඟට ඇවිල්ලා උන්නා… ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ ආදරණීය “ගඩ්ඩා” සර්…

“ හේයි හේයි…. මෙහෙ වරෙව් …. මොනවද උඹලා ඔයකරන්නේ… මෙහෙ වරෙව්….”

මෙච්චර වෙලා අව්වේ රස්නය නොදැනුණ අපිට දැන් දැනුණේ සහරා කාන්තාරයේ ඉන්නවා වගේ හැඟීමක්… අපි ඉතින් දැන් හෙමිහිට බෝලෙයි,bat එකයි,ලී පතුරයි අරන් අර ප්‍රධාන දැන්වීම් පූරුව පැත්තට ගාටන්න ගත්තා… හරි අපූරුවට සර් අතේ වේවැලකුත් එහෙමෙහෙ වෙනවා… කොල්ලෙක් මගේ කනට ඇහෙන නොඇහෙන ගාණට මෙහෙම කිව්වා…

“අඩෝ අදනම් ගඩ්ඩා අපිව හම ගහයි යකෝ”

නොකිව්වට අවංකවම මටත් ඒක දැනිලා තිබ්බේ…

“විභාගේ ඉවරද? මොකද මේ හරක් ගාලක් වගේ ගාල කඩාගෙන බෝලයක් පස්සෙන් දුවන්නේ… බලනවා තණකොල පිඬලිවලට කරල තියෙනදේ…උඹල කන්නේ තණකොල උලලද… හිටගන්නවා පෝළිමට…”

වැඩේ හරි… අදනම් double bonus වගේ… දෙයියෝ බුදුන් සිහිකරගත්තොත් හොඳයි… මම මටම කියාගත්තා…

“කියනවලා තමුන්ගේ විභාග ඉවරද?”

අපේ එකෙක් හෙමිහිට උත්තර දුන්නා මෙහෙම…

“නෑ සර්… තව paper එකක් හෙට තියෙනවා….

“යකෝ එහෙම තියාගෙනද මේ උඹල මේ බෝල පස්සේ දුවන්නේ… දැන් මෙතන එකෙක් ඔළුව පලාගත්තාම අපි වගකියන්න ඕනි…දීපිය ඔය බෝලෙයි ලී කෑල්ලයි මෙහෙට… “

අපි shape එකේ බෝලෙයි bat එකයි දුන්නා…

“උඹලට අම්මා තාත්තා නැහිලා උගන්නන්න හදනවා තොපි මෙතන හරක් වගේ තණකොළ උලනවා.. දුවපිය ගෙදර… ගිහින් පාඩම්කරපිය”

“අම්මා… ඔයින් ගියා ඇති“

මට අම්මපා හිතුණා… අනිත් උන්ටත් එහෙම අනිවාර්යෙන්ම හිතෙන්න ඇති…

සර් එදත් අපිට ගැහුවේ නෑ… හැමදේටම ගහන්න ගියේ නෑ සර්… මොකද සර් වුණත් දන්නවා ළමයි මේ වයසට මේ දේවල් කරන විත්තිය… සර්ට පුළුවන් වුණා ළමයින්ගේ පැත්තෙනුත් හිතන්න… සර් සම්බන්ධයෙන් අදත් කොල්ලෝ ගෞරවයෙන් කතාකරන්නේ ඒ නිසා වෙන්න ඕනි… කියන්න සන්තෝසයි මිත්‍රවරුනි මිතුරියනි අපිට පහුවෙනිදා ඒ bat එකයි බෝලෙයි ආයේ හම්බවුණා… කොටින්ම අපි ඒ අවුරුද්දේ වාර්ෂියක ක්‍රිකට් තරඟය සෙල්ලම් කලෙත් ඒ bat එකෙනුයි බෝලෙනුයි…

මම පාසලෙන් ඉවත්වෙනකන්ම වගේ සර් පාසලේ උන්නා… මට ඊට පස්සේ sir අන්තිමට හැබැහින් හම්බවුණේ අලස් ගුරුපියාණන්ගේ දේහය ඉස්කෝලෙට ගෙන ආව දවසේ…පස්සෙ කාලෙක තිබුණු  after school එකට මට එන්න බැරිවුණත් මම video එකක දැක්කා සර් ඒකට සහභාගී වෙලා තිබුණා… ඇත්තටම හිතට සතුටක් දැනුණා ඒක දැක්කාම..

ඒ දවස්වල අපිට විනය කියනදේ බරපතලව දැනුනේ නෑ… නමුත් අද කරදඬු දික්වෙලා රස්සාවල් කරද්දි තමයි ඒකේ අගය දැනෙන්නේ… උගත්කමක් තිබ්බත් ඵලක් නෑ විනයක් නැත්නම්… කොටින්ම මේ covid වසංගතය අවසන් කරන්නත් ඒ මිනිස් හික්මීම නැත්නම් විනය කියන දේ ඕනි විත්තිය හැමෝටම දැන් තේරෙනවා… පහුගියකාලවල රටේ සිදුවුණු බොහෝ ප්‍රශ්නවල මුල බැලුවොත් විනයක් නැතිවීම හේතුවූ බව පැහැදිලිවෙනවා…

T.D.ප්‍රනාන්දු  ගුරුපියාණන් හැමවිටම බැලුවේ ඒ විනය ඇතිකරන්න… කියන්න සතුටුයි සර් බහුතර ශිෂ්‍යයෝ ප්‍රමාණයක් ඔබ අපිට පෙන්වූ ඒ මඟ ඔස්සේ ගිහින් බොහෝ ඉහල නිලතලවල වගේමසාමාන්‍ය සමාජයේත් යහපත් පුරවැසියෝ විදිහට ජීවත්වෙනවා…

සර් මේ ලෝකෙන් සමු අරන් මේ වසරට වසර දෙකක්… මට මතකයි ලෝකේ නන් දෙසින් සර්ට අවසන් ගෞරව වශයෙන් ආව ශෝක පණිවිඩ හා පුෂ්ප උපහාර…  අදටත් කොහේ හරි අපේ ඉස්කෝලේ මතකයක් ස්මරණය කළොත් සර්ගේ නමත් ඒකට ඇඳිලා තිබුණා… ඒකෙන් එක් දෙයක් පැහදිලිවුණා අපිට…

ඔව් සර්… ඔබ අපිට ගුරුවරයෙක් නෙමෙයි පියෙක්…

සියදහස්ගණනක් දරුවන්ගේ නෙත් පාදා විනයගරුක පුරවැසියන් කළ පිනම ඇති ඔබට මේ සසරෙන් එතෙරවෙන්නට…

T.D.ප්‍රනාන්දු ගුරුපියාණනි… ඔබට අමා මහ නිවන්සුව අත්වේවා!!!

Photo Banner Credits: Jade Neo

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: