අලි බබා හදපු මැරහොරු…

මැයි 14, 2020 at ප.ව. 5:10 (සමාජ ඇසෙන් කතාවක්...) (, , , , , , , , , )

 

711A931A-8928-46B6-BE38-B31DECFD4A81

“අලි බබා හදපු මැර හොරා“

“අම්මේ කතාවක් කියන්නකෝ”

“මොන කතන්දරද ළමයෝ, නිදාගන්න”

“ අනේ අම්මේ”

“ හා එහෙනම් අහගන්නකෝ… ඔන්න එකමත් එක දවසක…”

පොඩිකාලේට ගියා වගේ දැනුණද???තාමත් ඉඳහිට හැබෑවටම බැරිවුණත් හිතින් ගිහින් එන්න ආස කාලයක්… ආයේ බොරු මොකටද අපි ආසයි අතීතය ස්මරණය කරන්න… ඉතිහාස කථා, බෞද්ධ කථා, ජන කථා මිනිස්සු නැවත නැවත මතක් කිරීමෙන් ඔබ්බට ගිහිල්ලා ඒවා ඩිජිටල් තිර මත ත්‍රිමාණව මවන තරමට අපේ මිනිස්සු ඒ අතීත කථාවලට ආදරෙයි… ඒ හා බැඳුණු වාණිජමය කාරණයක් ඇතත් ඒවා නැරඹීමට ප්‍රේක්ෂකයෝ ඇඳෙන එකෙන් තේරෙන්නේ ඒ කථාවලට මිනිසුන්ගේ තිබෙන ආදරයයි…

දේශපාලකයින්ගේ තුරුම්පු අතරත් අතීත කථාවලට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්… නිකමට කල්පනා කරලා බැලුවොත් පහුගිය අවුරුදු දහය පහළොව තිස්සේම ඇහෙන කථාවල් ඒ විදිහටම, විරාම ලක්ෂණයක් වත් නොඅඩුව ඇහෙන විත්තිය ඔබටම තේරේවී… නමුත් මගේ අරමුණ මේ ලිපිය උඩ සඳහන් කරපු එක කථාවක් ගැනවත් විචාරයක් ලියන්න නෙමෙයි… මට හිතුණා වෙනස්ම කථාවක් ඔබට කියන්න… මේ කථාවේ ලොකුම වෙනස තමයි අපිම ලියපු මේ කථාව අපිටම වෙනස් කරන්න පුළුවන් වීමයි…කාලෙකට පස්සේ මම විද්‍යුත් පන්හිඳෙන් ඔබ හා මේ කථාව බෙදාගන්න හිතුවේ මේ කථාව අපේ රටේ ගමන තීරණය කරන නිසා… මේක දේශපාලනික ධාරාවකට අදාළ කථාවක් නොවුණත්මානව හිතෛෂී දේශපාලනික කථාවක් වෙන්නත් පුළුවන්… ඉතින් මට අවසර…

ඉතින් මොකක්ද මේ කථාව… ඒ කථාව තමයි… “අලි බබා හදපු මැරහොරු”…

ඔව්… කියවන ඔබට හිතෙන්න පුළුවන් මම මාතෘකාව වරද්දගත්තද කියලත්… නෑ… ඒක තමා මගේ කථාවේ නම…

අරාබි නිසොල්ලාසයේ එන “අලි බබා හා හොරු හතිළිහ” ගැන මම දන්නවා… නමුත් ඒ කථාවයි මම කියන්න යන කථාවයි අතර ලොකුම වෙනස තමයි අරාබි නිසොල්ලාසයේ කතාව වෙනස් කරන්න බැහැ අපිට ඕනි විදිහට… නමුත් මම කියන්න යන කථාව ලිව්වේ අපි හැමෝම එකතුවෙලා…. ඔව් ඒ කථාවේ කර්තෘභාගය අපි හැමෝටම හිමියි පංගු පේරුවක් නැතුවම..නමුත් අපිට මේ “අලි බබා හදපු මැරහොරු” හැදීමේ කථාව වෙනස්කරන්න පුළුවන්… මොකද මේ කථාව තාම ලියැවිලා ඉවර නැති නිසා…. “මොකක්ද යකෝ මේ හතිරි බීරි කථාව?” කියලා ඔබට හිතෙන්න පුළුවන්… ඒහින්දා මම ඉස්සෙල්ලාම් මේක ලියන්න හිතුණ නිධාන කථාව කියල ඉන්නම්… මේ ලිපියේ අවසානය වෙද්දි ඔබේ බොහෝ ගැටළුවලට උත්තර ලැබිල තියේවී…

කොවිඩ් වසංගතය කියන්නේ සොබාදහම අපිට ඉගැන්නුව යස පාඩමක්…සොබාදහමෙන් මිනිස්සුන්ට ඉගැන්නුවා තාමත් සොබාදම තමා මේ ලෝකයේ චණ්ඩියා කියන එක… ඒ පාඩමේ ප්‍රතිඵලයක් විදිහට උදේ ඉඳන් රෑ වෙනකන් යන්ත්‍ර වගේ එහෙ මෙහෙ ගිය ධනවාදී සිරකඳවුරේ පරිභෝජනවාදයේ යදම්වලින් තදින් බැඳලා උන්නු සිරකරුවෝ වෙච්චි අපිට ලැබුණා පොඩි නිවාඩුවක්… ඇත්තටම අපිට අපි ඉන්නවා කියලා දැනුණ නිවාඩුවක්….

හෝව් හෝව්…!!!  දැන් හිතන්නෙපා මේ ලිපිය ලියන්නේ සමාජවාදයයි ධනවාදයයි සසඳන්න කියලා… ඒ දෙකේ හොඳ නරක සසඳන්න මට උවමනාවක් නැහ කොහෙත්ම… මට කියන්න ඕනි වුණේ යථාර්තය ගැන කියන්න විතරයි… ආයේ බොරු මොකටද මූල්‍යමය ලාභය ( monetary profits) පමණක් සොයාගෙන යන සමාජයක තියෙන්නේ මම කියපු සිරකඳවුරේ ලක්ෂණ… මොකද අපිහැමෝටම ඕනි හොඳ ගෙයක් දොරක්, වාහනයක්, සැප ජීවිතයක්… මේකට කියන්නේ consumerism (පරිභෝජනය) කියලා…මේ දේ දන්නවා වෙළඳ ප්‍රජාව… අපේ ආසවල් අපේම යදම් කරලා අපේ අවශ්‍යතාවයන් ඉටු කරන තැනට මේ සමාජ යාන්ත්‍රණය හදලා තියෙන්නේ… Loan, lease, overtime මේ හැම දේම තමයි ඒ යදම්… අපෙන් උදුරගත්තේ මොකද්ද… ඒ තමා නිදහස… ඉතින් ඒකයි මම කිව්වේ ධනවාදි රාජ්‍යයේ පරිභෝජනවාදී සිරකරුවෝ අපි කියලා….නැතුව කිසිම දේශපාලනයක් මෙතන නැහැ…

ඉතින් මේ නිවාඩුවේ ලැබෙන වෙලාවත් එක්ක සමාජ මාධ්‍යයේ වැඩිපුර සැරිසරන්න ඉඩ ප්‍රස්ථාව ලැබුනා… සෑහෙන දෙනෙක් කෑම හදලා තිබුණා, තව සමහරු ගෙවතු වගාවල් පටන් අරන් තිබුණා, සමහරු සිංදු කියලා තිබුණා, කවි, කථා ලියලා තිබුණා, චිත්‍ර ඇඳලා තිබුණා, සොබාදහම රසවිඳලා ඡායාරූපයකට අරන් තිබුණා…ඒ හැමට වැඩියෙන් පවුලේ අයත් එක්ක කාලය ගතකරලා තිබුණා… ඇත්ත මට හිතෙන විදිහට මේ තමයි අපිට මේ නිවාඩුවෙන් ලැබුනු ලොකුම + point එක… දෙමව්පියෝ උදේ වැඩට යද්දි නිදන් උන්නු දරුවෝ රැට දෙමව්පියෝ එද්දි නිදන්න ගිහින් තිබුණු සමාජ රටාවකට පොඩි brake එකක් වැදිලා තිබුනා..පවුල කියන දේ අපිට මතකරලා දීලා තිබුණා…

මේ දේවල් අතර සැරිසරද්දී මට Video 2-3 ක් බලන්න ලැබුනා… ඒවායේ හිටියේ කටේ කිරි සුවඳවත් නොගිය පොඩි උන්… හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සුරංගනා කතා ලිව්වෙත්, කුමාරතුංග මුනිදාසයන් වටිනා ඔවදන් ග්‍රන්ථ ලිව්වෙත් මේ පොඩි මල් වගේ දරුවන්ට… නමුත් ඒ Video වල ඒ කිරි සුවඳවත් නොගිය මුවවල් වලින් අහන්න දකින්න ලැබුණේ පාතාලේ ගහන්න, මරන්න යන කථා හා ඊටම ඔබින අත්පා චලනයි… ඒ මදිවට බජාර්වල අනවර්ථ නාමයන්… තව එකක තිබුණේ මෙලෝ තේරුමක් නැති ආදරය සම්බන්ධ ඔවදනක්…  මම මේ පොඩි උන් හා වෙන පොඩි උන් අතරේ මහ ලොකු වෙනසක් ශරීරයෙන් දැක්කේ නැහැ… බටු ගෙඩි දෙකක් විතර උස සමාන්‍ය කෙසඟ ශරීර කූඩුවක් තිබ්බ දරුවෝ ඒ අයත්… පොඩි උන් පැහැනෙවා තමයි… හැබැයි මේ අය කුණු වෙනතරමට ඉදිලා තිබුණේ….සන්නිවේදන තාක්ෂණේ ඇතුලේ බිහිවුනු සමාජ මාධ්‍ය රාජ්‍යයක දැමූ පොඩි පාතාල part එකක්…මේ වගේ දෙයකට සමාජ මාධ්‍ය වපසරියේ ලැබිල තිබුණු අවධානය views, shares ගණනින් අවබෝධ කරගන්න පුළුවන් වුණා… යමක් ඉක්මණට මිනිසුන්ට ළඟා කරන්න ඕනි නම් සමාජ මාධ්‍යය තරම් හොඳ මාධ්‍යයක් තවත් නෑ… මේ විත්තිය මේ පොඩි උන් දැනගෙන තිබුණා… නමුත් ඒ මිනිසුන්ට ළඟාකල පණිවිඩය කිසිම හරයකට නැති දෙයක්…

ඇත්ත… අපේ පොඩි කාලෙයි දැන් ඉන්න පොඩි අයගේ කාලෙයි තිබුණු තාක්ෂණ අතරේ ලොකු වෙනසක් තියෙනවා… අපි ඉස්සෙල්ලාම දැක්කේ ගඩොල් කැට size mobile phone …. ඒ කාලේ ඒක luxury item එකක්… නමුත් දැන් පොඩි උන් ඉපදෙදිම දකින්නෙම හීනි touch screen තියෙන mobile phone … දැන් ඒක common commodity එකක්…තාක්ෂණේ මිනිසුන්ට අවශ්‍යයයි… ඒවගේම නූතන පරම්පරාව ඒ ගැන යාවත්කාලීනවීම අනිවාර්යයි… නමුත් ප්‍රශ්නේ තියෙන්නේ තාක්ෂණයේ නෙමෙයි… තාක්ෂණයේ අවභාවිතයයි… තවත් ගැඹුරට ගියොත් මනුස්සයාගේ චිත්තනය හා හැඟීම මතයි… මේක මානව ගැටළුවක් වෙන්නේ එතනයි…

ලංකාවේ කාලෙන් කාලේට හැදෙනවා රැල්ලක්… Star රැල්ලත් එහෙම ආව රැල්ලක්… ඇත්ත දක්ෂතාවලට අවස්ථාවක් දෙන්න ඕනි… ඒකට අවශ්‍ය කරන පීඨිකාව මාධ්‍ය හදලා දුන්නා… පොඩි උන්ටත් ඒත් එක්කම තිරයේ ඉඩක් ලැබුණා… ඒක ඉතාමත් හොඳයි වගේම වටිනා කාලීන අවශ්‍යතාවයක්…උසස් අරමුණක්.. ප්‍රශ්නේ ආවේ එතන නෙමෙයි… ප්‍රශ්නේ ආවේ පොඩි උන් අධික වාණිජකරණයට ලක්කිරීමය… කෙටියෙන්ම කිව්වොත් පොඩි උන් හූරන් කෑමය…ඒ හූරන් කෑම ඇතුළේ සමාජයට සිදුවුණු හානිය මනින්නට බැරිවේවී…

මේ තරඟ විනිශ්ච මණ්ඩලවලින් තේරීල එක්තරා සන්ධිස්ථානයකට ආවාම ජනතාවට භාරදෙනවා sms වලින් ජයග්‍රහකයා තෝරන්න… දැන් මේ තරඟය දිනන්න මොනවද ඕනි කරන්නේ…. Election campaign එකක්… දරුණු campaign එකක්… කොයි අම්මා තාත්තාද කැමති තමන්ගේ දරුවා පැරදෙනවා දකින්න… ඉතින් අම්මා තාත්තා කරනවා campaign … පොඩි එකත් campaign ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ නමුත් උදේ ඉඳන් රෑ වෙනකන් පීඨිකාවල සිංදු කියනවා ඡන්ද එකතුකරන්න… sponsorship ගන්න… අන්තිමේදී සහජ දක්ෂතාවයක් ඔප්නංවගන්න කියලා ගියපු තරඟේ නිසා පොඩි එකාට ඉස්කෝල්ත් නැහැ…. සිරිත්මල්දම පොත මේසේ උඩ තනියම… පොඩි උන් පොඩි කාලේම කියවනවා ආත්මාර්ථයේ හෝඩි පොත…

සමහර තරඟවල තියෙනවා ජනප්‍රියම තරුව කියලා segment එකකුත් පොඩි උන් වෙනුවෙන්… ඒක තනිකරම sms… ජනප්‍රියම label එක හරිම දරුණු category එකක්… ඒකෙන් අන්ධවුණාම දක්ෂතාවය ඔපමට්ටක් කරගන්න ගන්න උත්සහයේ බැස්ම පටන්ගන්නවා… පොඩිකාලේ පොඩි උන් දිරිමත් කරන්න ඕනි දක්ෂතා ඔපමට්ටම් කරන්න මිසක ජනප්‍රිය කරන්න නෙමෙයි… ජනප්‍රියත්වය + point එකක් මුදල් හම්බකරන්න … නමුත් ඒකේ පැවත්ම කොච්චර කල්ද කියන්න අමාරුයි… මොකද ජනප්‍රියත්වය කියනදේ රඳාපවතින්නේ බොහෝ කරුණු මත පදනම්ව නිසා… සමහරවිට විෂය පථයට කොහෙත්ම අදාළ නැති කාරණයක් නිසත් ජනප්‍රිය වෙන්න පුළුවන්… ඒ වගේම ජනප්‍රියත්වය අමාරු දෙයක් balance කරන්නත් හරි හමන් අත්දැකීමක් නැතුවත්… ඒ වගේ දෙයක් පොඩි එකෙක්ගේ ඔළුවට කාන්දු කිරීම බොහොම භයානකයි…මොකද ජනප්‍රියත්වයේම එල්ලිලා ඉඳලා දක්ෂතා කුසලතා වර්ධනය නොකරගත්තොත් අනාගතයේ මුළු ජීවිතේම විනාශවෙලා යන්න පුළුවන් නිසා… එහෙම වුණු චරිත අපිට දකින්න ලැබිලා තියෙනවා…

සමහර දෙමව්පියන් මේ කිරි සප්පයන්ගෙන් තමන්ගේ හීන සැබෑ කරගන්න හදනවා… සමහරවිට ආදරේ වැඩිකමට වෙන්න පුළුවන්…. නමුත් ඒක ආත්මාර්ථකාමී සිතුවිල්ලක්… දෙමව්පියන් දරුවන්ට නිසි මඟ කියාදී ඒ ඔස්සේ ඔවුන් ගොඩනඟන ඔවුන්ගේ හීන වලට අත්වැලක් වීමයි කළයුත්තේ… දෙමව්පියන්ගේ යුතුකම වචන කිහිපයකට ලඝු කලහොත් “ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම” යන්න දරුවන්ගේ පොඩි ඔළුගෙඩ් තුළට කාන්දු කිරීමයි…නමුත් ඒ දේ වැඩිහිටියන් අතින් වෙනවද? උදාහරණ කිහිපයක් අරන් බලමු…

ලෙඩවෙලා පාසල මඟහැරුණු ලමයෙක්ට miss වුණු note එකක් ලියාගන්න පොතක් දෙන ළමයෙක් හොයාගන්න අද කාලේ හරි අමාරුයි… ඇයි ඒ??? ළමයි අතරේ තියෙන්නේ හැල්මේ දුවන race එකක්… හොඳින් හරි නරකින් හරි 1 වෙන්න තමයි හැමෝටම ඕනි… ඒකට උල්පන්දම් දෙන්නේ කවුද??? දෙමව්පියෝ නැත්නම් වැඩිහිට් සමාජයම තමයි… වාර විභාග ලකුණු ගන්න ආවාම ඕක හොඳටම බලන්න පුළුවන්… පෝලිමේ teacher ගාවට යන්න අම්මලා තාත්තලා ළඟම ඉන්න අම්මා තාත්තගේ ළමයාගේ ලකුණු එක්ක සංසන්දනය පටන්ගන්නවා…

“ ඔයාගේ පුතාට ලකුණු කීයද mathsවලට? අපේ එක්කෙනාටනම් 90 යි” බොලේ දාල බලනවා. උත්තර දෙන මනුස්සයාගෙ ඇස්වලින් පොඩි ඉරිසියාවක් ගලනවා.

“ අපේ කෙනාට ලකුනු 85 යි මෙයා. බලන්නකෝ මෙයාගේ පහුගිය දවස් ටිකේ tution sir ආවේ නැහැනේ… ඒකයි මෙහෙම වුණේ… මේ ඒක නෙමෙයි ඔයාගේ පුතාට english වලට කීයද?” ඔන්න ඒයා බොලේ pass කලා… දැන් අනික් කෙනාගේ මූණ ඇඹුල් වෙනවා….

“ ආහ් ඒකට… පොඩ්ඩක් ඉන්න මට මතක නෑ… මේ තියෙන්නේ… ලකුණු 80 යි… හරි tution එකක් තිබ්බෙත් නැහැනේ…..”

ඔන්න ප්‍රශ්නේ අහපු කෙනාටා මාර happy …

“ අපේ පුතාට ලකුණු 95 ක් ඒකට… අද කාලේ english නැතුව මුකුත් කරන්න බැහැනේ…”

හීන් නුලේ ජය පදය ගහනවා… මේ දෙබස දිගටම වෙනවා… දෙමව්පියෝ රැස්වීමෙන් පිටවෙලා යන්නේ වෛරය,ක්‍රෝධය, ලැජ්ජාව,තරහව,ආත්මානුකම්පාව හිතේ කැකෑරෙමින් තියෙද්දි… දැන් මේ වාඩුව ගන්නේ කාගෙන්ද…. අර හය හතර නොතේරෙන පොඩි එකාගෙන්…

“අම්මේ බඩගිනියි” පොඩි එකා එනවා හතිදාගෙන නාවර පෙරාගෙන ගෙදර…

“ බඩගිනියි??? කන්නම දෙන්න තමා වටින්නේ… අද මට ලැජ්ජා හිතුණා ඔයාගේ ලකුණු දැකලා… බලන්න ඔයාගේ යාළුවා සනේශ්ගේ ලකුණු…”

පොඩි එකා හොල්මන්…

“අම්මේ ඉතින් මගේ average එක 90 ක් නේ… චිත්‍රවලට 100 ක් තියෙනවනේ”

“ චිත්‍රවලට 100ක් විතරක් අරන් මක් කරන්නද… බලන්න ඔයාට english වලට ලකුණු 80 යි තියෙන්නේ… ඒකට සනේශ්… ඒ පොඩිඑකා… සට සට ගාල english වලින් කතාකරන්නේ…බලන් ඉන්න ආසයි වගේම ලෝභයි… ඔයාට තාම බැහැනේ එහෙම කතාකරන්න මෙච්චර tution, elocution ගිහිල්ලත්”

“ ඒ වුණාට සනේශ්ට මට වඩා ලකුණු නැහැනේ අනික් ඒවට”

“ මේ ඒකෙන් වැඩක් නැහැ… ඔයාට english වලට ලකුණු නැහැ… අද ඉඳන් cartoon බලන්න තහනම්… සෙල්ලම් කරන වෙලාව අඩු කරන්න ඕනි… ඔය ඔක්කම හින්දා තමයි ඔයාට englishවලට ලකුණු නැත්තේ… ඊලඟ term එකේ ලකුණු 95 ක් ඕනි හැම එකටම”

“අනේ අම්මේ….” පොඩි එකාගේ හිත කඩාවැටෙනවා…

“ අනේ පණේ නැහැ… ඒක තීන්දුයි… මම තාත්තටත් කියනවා මේ ගැන…ඔයාව හුරතල් කලා වැඩියි… බලන්න අපි මෙච්චර වියදම් කරනවා… ඔයාට ගානක්වත් නැහැ…”අම්මා පොඩි එකාට confirmation bias වල තරම පෙන්නල පුප්පගෙන යනවා…

පොඩි එකාට ප්‍රශ්නයක් අහන්නවත් ඉඩක් නැහැ… දැනුමක්, විද්‍යාවක් නිර්මාණය වෙන්නේ අහපු ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ගිහින්… නමුත් වර්තමාන සමාජය ප්‍රශ්න අහන මිනිසා දිහා බලන්නේ වපර ඇහෙන්… හැමෝම පතන්නේ ඕනි දෙයකට එහෙයි කියන යන්ත්‍රයක් මිසක හිතන මිනිහෙක් නෙමෙයි…

පොඩි එකාට අණ්ඩර දෙමළ වගේ මේ කථාව…. Average එකත් 90ක්…නමුත් බරපතල සිර දඬුවමක් තීන්දු වෙලා…සමහරවිට මේ සනේශ්යුයි, මේ ළමයයි හොඳම යාළුවෝ වෙන්න ඇති… Interval එකේ එකට කෑම බෙදන් කාපු පොඩි උන් දෙන්නෙක් වෙන්නත් පුළුවන්… නමුත් අද ඉඳලා මේ ළමයට සනේශ්ව වහ කඳුරු වගේ… මොකද මේ ළමයගේ මුලු ලෝකෙම බිඳ වැටිලා සනේශ්ගේ english ලකුණු නිසා…සනේශ් හා මේ දරුවා මේ කතාවට මම ඈඳාගත්ත මනඃකල්පිත චරිත දෙකක්… නමුත් මේ චරිත අපේ සමාජයේ තියෙනවා ඕනි තරම්…

හිරකාරයෙක්ට ඉස්සෙල්ලාම නැතිවෙන්නේ තමන් ආසකරපු දේවල්… මේ පොඩි එකත් හිරකාරයෙක් වගේ… වෙනස තමයි උසාවියකින් සාධාරණ නඩු විභාගයකින් තොරව වැරදිකරුවෙක් වුණු චූදිතයෙක් මේ පොඩි එකා… අඩුමගාණේ පොඩි එකාට තමන්ගේ මතය තහවුරු කරන්න නැත්නම් burden of proof එකටවත් අවස්ථාවක් නෑ… ඊටත් පොඩි එකා කරපු වැරැද්දකුත් නැහැ… නිකමට හිතන්න අයින්ස්ටයින්ගේ, එඩිසන්ගේ අම්මා තාත්තත් මෙහෙම වුණානම් අද මේ ලෝකේ මෙහෙම දියුණු නොවෙන්න තිබ්බා…

මෙලොව එළිය දකින පොඩි උන් අඬන්න විතරයි දැනගෙන ලෝකෙට එන්නේ… ඒක තමයි පොඩි කාලේ උන් දන්න එකම සන්නිවේදන මාධ්‍යය… බඩගිනිවුණාම, තනිවුණාම, වේදනාවක් දැනුණාම ඒක කියන්නේ අඬලා…. ඉන් පස්සේ තමා අම්මා තාත්තාගෙන් අකුරක් දෙකක් අල්ලන් කියවන්නයි, අතේ එල්ලිලා ඇවිදින්නයි ඉගෙනගන්නේ… එහෙව් පොඩි උන්ට target දෙනවා sales වගේ කරන්න… “ශිෂ්‍යත්වයට අපිට මෙච්චරක් ඕනි, මේ subject වලට 95ට වඩා ඕනි”… වරදකට නැහැ කිසිම ඉඩක්…මේ පොඩි එකාගේ දෛවය ඊට පස්සේ මවයි පියයි තීරණය කරනවා… පොඩි එකා පැය 24 x 7 ම වැඩ අම්මගෙයි තාත්තගෙයි සිහින සැබෑ කරන්න… වැඩ කිව්වට බලෙන් වැඩේ කරගන්නේ…. දවස් 7 ම… නිර්මාණශීලී අදහසක් හිතන්න කාලයක් නෑ… තනිකරම හිත් පිත් නැති යන්ත්‍රයක් වෙනවා… එහෙමයි අමනුස්සකම නිර්මාණය වෙන්නේ… අන්තිමට කිසිම මනුස්සයෙක් ගැන නොසිතන, සොබාදහම ගැන නොහිතන යන්ත්‍රයක් හැදෙනවා… ඒ යන්ත්‍රය තව යන්ත්‍ර පැටව් ගහනවා… ලෝක තරාදියේ යන්ත්‍ර පැත්ත මිනිසත්කම පැත්තට වඩා බරවෙලා අවසානයේ තරාදිය කඩා වැටෙනවා…දැනටමත් ජීවන නිපුණතා වගේ විෂයන් ඇවිල්ලා තියෙනවා මිනිසත්කම ගැන කතාකරන්න… හෙට අනිද්දට මේක තවත් හැල්මේ දුවන විෂයක්වෙලා වාණිජකරණයට ලක්වුණු තවත් විෂයක්මාලාවක් නැතිනම් කෙටියෙන්ම කිව්වොත් tution පවා ඇතිවියහැකි ප්‍රවණතාවයක් දකින්න හම්බවුණොත් මා පුදුම වෙන්නේ නෑ… දැනටමත් ඒ දේ වෙලාද කියන එක ගැන මම හරියටම දන්නෙත් නෑ…

ඉහත කිව්ව කාරණා දිහාම බැලුවම පේන එක දෙයක් තමයි දෙමව්පියන් තමන්ගේ සිහින වෙනුවෙන් ළමයා භාවිතාකරනවා කියන එකයි… කොටින්ම social status එක හදාගන්න ළමයා භාවිතා කරනවා කියන එක පැහැදිලියි…අපි නිකමට හිතමු අපේ කථා නායක ළමයා මාධ්‍යයක් ඉස්සරහ චිත්‍රයක් ඇඳල පළමුවෙනියා වුණා කියලා… අර අම්මට තාත්තාට ඊට වඩා දෙයක් නැතිවෙයි එහෙම වුණනම්… නමුත් වාර විභාගයකදී මේ ලබපු ජය වැදගත් නැහැ… මොකද ඒ??? වෙන කිසිම කාරණයක් නැහැ… වාර විභාගයකින් ලබපු ලකුණු 100 න් social status up වෙන්නේ නැහැ…අනික ඒ මදිවට social status up වෙන subject එකක් නෙමෙයි චිත්‍ර පාසලේදී… සෞන්දර්ය විෂයන්වලට අත්වෙලා තියෙන්නේ මේ පාසල් ක්‍රමයේ එහෙම තත්වයක්… ඒත් තරඟයෙන් ලබපු ජයෙන් ජනප්‍රිය වෙලා social status up වෙනවා… ඕක තමයි තිත්ත ඇත්ත…

ඒකයි මම කියන්නේ ඒක ආදරයට එහා ගිය සමාජ තලය උසස් කරගැනීමේ තණ්හාවක් කියලා… මම කියන්නේ නැහැ හැම අම්මා තාත්තෙක්ම මෙහෙමයි කියලා… එහෙම කිව්වොත් මම අසාධාරණයි… නමුත් මේ social status up කරන්න ගිහිල්ලම දරුවන්ගේ ජීවිත් විනාශ කරපු අම්මලා තාත්තලා ඉන්නවා… ඒක බොරුවක් නෙමෙයි…

ඒ නිසාම දරුවාගේ උත්පත්තියෙන් ආපු සහජ දක්ෂ්තා ඔපමට්ටම් වෙන්නේ නැහැ… ජනප්‍රියත්වය කියන බැලුම් බෝලය උඩ ගිහිල්ලා හිල් වුණ දාට වැටෙන තැනක් හොයාගන්න බැරිවෙනවා… ඒක දරුවාගේ කරුමය වෙනවා… දරුවාට ආදරෙයි නම් දක්ෂතා ඔපමට්ට්ම කරන්න අවශ්‍ය ශිල්ප ඥණය ලබාදෙන්න… ඒකට පොඩි එකාගේ පොඩි කාලේ කාබාසිනියා කරන්න එපා… ඉස්සර ළමා පිටියෙන් බිහිවුණු ගායක ගායිකාවෝ අදටත් ක්ෂේත්‍රයේ ඉන්නවා… ඒ අය ජනප්‍රියයි… මගේ මතය නම දරුවන්ට කෙටි ක්‍රම කියලා දෙන්න එපා ජනප්‍රියත්වය වගේ දෙයක් ලබන්න ඕනි කුණුගොඩක් කරලා… පැවැත්මක් නැහැ… ඊට වඩා මහන්සියෙන් ලබාගන්න ජයක අගය කියලා දෙන්න… දීර්ඝ කාලයක් බැබලේවී… වැටෙද්දී අල්ලගන්න…නැගිට්ටවන්න… ඒ පිනම ඇති අම්මේ තාත්තේ ඔබට බුදු වෙන්න…

මම බලපු video වල හිටපු රෞද්‍රමල් කැකුළු නිර්මාණය කලේ කවුද… උන් බඩින් එද්දිම මේ හරුප කියාගෙන අවාද… නැහැ… මේ අපේ සමාජයේ නිර්මාණ… අපිම තමයි නිර්මාණකරුවෝ… “සිඟිති පාතාලේ හිස ඔසවයි” ජනප්‍රියම වදන… කණ්නාඩිය ඉස්සරහට යන්න… සිඟිති පාතාලේ සාඩම්බර නිර්මාණකරුවෝ බලාගන්න පුලුවන්…ඒ වගේම බොළඳ පුහු දෙබස් දොඩවන දරුවන් ඉන්නවා… මේ කාගේ නිර්මාණද… මේ අපේම නිර්මාණ… මොකද වැඩිහිට අපි පෙන්නලා දීලා තියෙනවා කුණු market කරන එක ලේසි හා profitable විත්තිය අපේ බාල පරම්පරාවට… ඕක තමයි ඇත්ත…

උදේ ඉඳන් රෑ වෙනකන් රූප පෙට්ටියේ යන ටෙලි නාට්‍ය, චිත්‍රපටි බලන්න… music video, වෙළඳ දැන්වීම් බලන්න… බොහෝවිට දකින්නේ මනස විකෘති කරන ක්‍රෝධය, වෛරය වපුරන දේවල්… ගීතයක් හෝ music video එකක්  ඇහුවොත් නැත්නම් බැලුවොත් තියෙන්නේ ප්‍රේමයෙන් පැරදී මියයාමක් හරි, කෙල්ල හෝ කොල්ලා මරාදමන දර්ශනයක් හරි, ප්‍රේමයට වෛරකරමින් කාලය කාබාසිනියා කරපු සිද්ධියක් බොහෝවිට…සුලභ දෘෂ්ටි අගතියෙන් පෙළෙන බාල පරම්පරාවක් ඔවුන් නිර්මාණය කරනවා ratings ලබා ගැනීමේ කෑදර අරමුණින්… හාස්‍ය තියෙන්නේ ඒ දේවල් වපුරන මාධ්‍යයම ළමා මානසික සෞඛ්‍ය ගැන උදේට විද්වත් මණ්ඩලයක් සමඟ සාකච්ඡා කිරීමයි… ඒ විද්වත් මණ්ඩලය හ්ම් සද්දයක් නැහැ…. අපි හැමෝටම මතක තියාගන්න දෙයක් තියෙනවා… අපි මිනිස්සුන්ගෙන් ජීවත් වෙන මිනිස්සු… නිදහස් අධ්‍යාපනයේ ඉඳන්ම, නිදහස් සෞඛ්‍යයේ ඉඳන්ම, ඔබ මා ගමන්ගන්නා තාර පාරේ පවා තියෙන්නේ පැල්පතේ ඉඳන් සිටු මැදුර දක්වාම මිනිසුන්ගේ දහඩිය සුවඳයි… ඒ නිසා මිනිසා පරිස්සම් කරගැනීම අපි කාගෙත් වගකීමයි… ඒ වගකීම හමුවේ නිහඬව සිටීම මිනිස්කමටත් කරන නිග්‍රහයක්…

තව දෙයක් කියන්න හිතුණා පරම්පරා ඝට්ටනය ගැනත්… සමහර අපේ බාල පරම්පරාවේ උදවිය ලබාදෙන නිර්මාණ ගැන අපේ වැඩිහිටි පරම්පරාව දක්වන සැලකිල්ල හරිම අඩුයි…බාල පරම්පරාවේ හොඳ දේවල් වපර ඇහින් බැලීම හරි සුලබයි…. ගී පද රචනාවක් ලබාදුන්නොත් ඒකේ වචනයක් වත් නොකියවා අහක දාන අවස්ථා එමටයි… ඉතින් අර නිර්මාණකරුවොත් කුණු marketing වල බිල්ලක් වෙනවා පස්සේ කාලේක… කථාව ඔයිට වඩා වෙනස් වෙන්න තිබුණා විනාඩියක් දෙකක් අරන් නිර්මාණය කියෙව්වානම්… මේ නිසා අපිට නැතිවුණු අග්‍රගණ්‍ය නිර්මාණ බොහෝ ඇති.. මම වැඩිහිටි පරම්පරාවට ආරධනා කරනවා ඉඩක් දෙන්න මේ බාල පරම්පරාවට…

කුණු marketing කරලා තමාගේ ගතමනාව හොයාගන්න මුදලාලි මහත්ම මහත්මීන් මේ සමාජයේ ජීවත්වෙනවා… ධන බලය, නිල බලය, දේශපාලනික සම්බන්ධතා වලින් පොහොසත් මේ උදවිය රටේ අනාගතය කාබාසිනියා කරනවා… ඇත්තම කිව්වොත් පොඩි උන්ගේ මනස විකෘතිකරලා, උන්ගේ ශක්තිය හීනමාන කරල ජීවත් වෙනවා… අර videoවල දැක්කේ එහෙම දෙයක්… ඒ තමයි විනාශය…කාලාන්තරයක් තිස්සේ අපේ කොන්දක් නැති දේශපාලකයින්, ඕනි දෙයකට එහෙයි කියන වැඩිහිටි සමාජය, කුණුම පමණක් ජීවිකාවකරගත් මාධ්‍යය වපුරපු බීජ… දැන් ඒවා වැඩිලා මහ තුරු ලතාවෙලා… ඒ වැල් යන්නේ අයාලේ…මැස්සක් බඳින්නයි සිද්ධවෙලා තියෙන්නේ නිවැරදි දිශානතියට ගන්න… ඒක ලේසි වැඩක් නෙමෙයි…

මැතිවරණ සංදර්ශනවල දරුවෝ වඩාගත්තට වැඩක් නැහැ මේ දරුවන් විනාශකරන මිනිසුන්ට ආවඩන ගමන්… මට හිනායන කාරණයක් තියෙනවා… මගේ පාසල් ජීවිතයේ විවිධ කටයුතු සඳහා දේශපාලකයින් සහභාගී වුණු අවස්ථා තිබුණා… සමහරු පාසලේම ආදිශිෂ්‍යයෝ… මේ අය දරුවන්ගේ උත්සවවලට ඇවිදින් කතාකලේ දේශපාලනය… පොඩි උන්ට සර්වජන ඡන්ද බලය තියෙනවද? එවන් සභාවල කතාකලයුත්තේ ආදර්ශමත් කතාවක්… දරුවන්ට දැනෙන කතාවක්… දේශපාලනික මහප්‍රාණ වැඩක් නෑ… වැඩිහිටි පරම්පරාවෙන් සමාජගත වෙන්න ඕනි ආදර්ශ මිසක් අපුල ජුගුප්සාජනක අදහස් නෙමෙයි…

ළමයි කියන්නේ තමන්ගේ social status up කරන්න දෙවියෝ දුන්නු තිළිණයක් නෙමෙයි… ලිංගික ගණුදෙනුවකින් ශුක්‍රාණුවක් හා ඩිමබයක් සංසේචනය වෙලා ගැහැණියකගේ ගර්භාෂයේ දස මසක් වැඩිලා මෙලොව එලිය දකින දරුවා හයක් හතරක් දන්නේ නෑ… පොඩි එකා ඉගෙනගන්නේ වැඩිහිටි අපෙන්… ඒ නිසා පොඩි උන්ට ගහලවත් බැනලවත් වැඩක් නැහැ උන්ගේ මදාවි වැඩවලට… ළමුන් අතර බෙදීම, ක්‍රෝධය ඇතිකරල තියෙන්නෙත් වැඩිහිට් පරම්පරාවයි… Ratrace එකේ හැල්මේ දුවන්න දරුවන්ට පුරුදු කලේ අපි…හැමදෙයකටම තරඟයක් නිර්මාණය කලේ අපිමයි…

ඇත්ත ආර්ථික විද්‍යාවට අනුව මිනිසාට incentive එකක් තියෙන්න ඕනි යමක් කරන්න… පොඩි එකත් මනුස්සයෙක් නිසා incentive එකක් දුන්නාට වරදක් නැහැ… නමුත් incentive එක දෙන්න ඕනි පොඩි එකාගේ හීනවලට පාර කපන හරි දේ කරන්න මිසක් කුණු ගොඩකට එකතුවෙන්න නෙමෙයි… එහෙම එකක් නුදුන්නාම තමයි secondary camera එක on කරලා මදාවී අදහස් වයසට නොගැලපෙන්න දාලා සමාජ පිලිලයක් විදිහට කල එලි බහින්නේ… ළමයාට තියෙන්න ඕනි ප්‍රශ්න අහලා උත්තර සොයන නිර්මාණශීලීව හිතන මනසක්… නැතුව God Father මනසක් නෙමෙයි… ඒ මනසට අවශ්‍ය වාතාවරණය හදලා දෙන්න ඕනි වැඩිහිට් පරම්පරාවයි… ඒ අයත් “අලි බබාල” වුණාම වෙන්නේ මේ වගේ “මැරහොරු” බාල පරම්පරාවක් නිර්මාණය වීමයි…මේ කථාව ලියැවෙන විදිහ වෙනස් කරන්න පුළුවන් අපිටමයි… රටේ අනාගතය සුරක්ෂිත කරන්න මේ තීරණය අපි ගතයුතුමයි…

අවසානයේ මෙසේ ලියා තබමි…

ලාභයම මූලිකවූ සමාජ රාමුවක් තුළ…

දරුවාද වෙළඳ භාණ්ඩයක් වුවහොත් දිගින් දිගටම…

දිනෙක මාවතකදී නෝට්ටු හා කාසි වෙනුවෙන් කිනිස්සකින් ඔබෙ ගෙල සිඳෙනු ඇත්තේ…

“අලි බබා හැදූ මැරහොරෙකු”

අතින්ම බවයි.

 

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: